රටවල් 15කට අධික සංඛ්‍යාවක සමාගම් 300ක දායකත්වයෙන් පැවැත්වෙන 'Intex සහ InMac 2026' ප්‍රදර්ශනය අගෝස්තු මාසයේදී කොළඹදී
බංග්ලාදේශය, වියට්නාමය සහ ඉන්දියාව සමඟ තරඟ කිරීමට නම් ස්වයංක්‍රීයකරණය සහ AI තාක්ෂණය හඳුන්වා දීම අනිවාර්යයි
ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය 2030 වසර වන විට ඇමරිකානු ඩොලර් බිලියන 8ක අපනයන ආදායමක් උපයා ගැනීමේ අභිලාෂකාමී ඉලක්කයක් සෙවීමට කටයුතු කරමින් සිටින පසුබිමක, ගෝලීය වෙළඳපොළේ පවතින දැඩි තරඟකාරිත්වයට මුහුණ දීම සඳහා මෙරට නිෂ්පාදන පද්ධතිය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීමේ හදිසි අවශ්‍යතාවක් මතුව තිබේ.
ජාත්‍යන්තර ගැනුම්කරුවන් වේගවත්, පරිසර හිතකාමී සහ උසස් තාක්ෂණයෙන් යුත් නිෂ්පාදන ක්‍රියාවලීන් (Faster, Greener & Tech-driven production) අපේක්ෂා කරන වටපිටාවක, මෙරට ඇඟලුම් ක්ෂේත්‍රයේ පැවැත්ම තීරණය වන්නේ තාක්ෂණික පරිවර්තනය මත බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පෙන්වා දෙති.
මෙම පසුබිම තුළ, දකුණු ආසියාවේ ප්‍රමුඛතම ජාත්‍යන්තර රෙදිපිළි ප්‍රසම්පාදන ප්‍රදර්ශනය වන ‘Intex’ සහ ඇඟලුම් යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ ස්මාර්ට් තාක්ෂණය හඳුන්වා දෙන ‘InMac’ ප්‍රදර්ශනය 2026 අගෝස්තු 5 සිට 7 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා (BMICH) පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
තාක්ෂණික පරතරය සහ කලාපීය තරඟකාරිත්වය
ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රය සදාචාරාත්මක නිෂ්පාදන ක්‍රියාවලීන් (Ethical Manufacturing) සහ උසස් තත්ත්වයේ ඇඟලුම් සම්බන්ධයෙන් ජාත්‍යන්තරව ඉහළ කීර්තියක් අත්කරගෙන තිබේ. කෙසේ වෙතත්, කලාපීය නිෂ්පාදන යෝධයන් වන බංග්ලාදේශය, වියට්නාමය සහ ඉන්දියාව වැනි රටවල් සිය නිෂ්පාදන ධාරිතාව වේගයෙන් ඉහළ නංවමින්, නිෂ්පාදන පිරිවැය අඩු කරගැනීම සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා ස්වයංක්‍රීයකරණය (Automation), කෘතිම බුද්ධිය (AI) සහ ඩිජිටල් නිෂ්පාදන පද්ධති සඳහා දැවැන්ත ලෙස ආයෝජනය කරමින් සිටී. මෙමඟින් නිර්මාණය වන තාක්ෂණික පරතරය වත්මන් මෙරට ඇඟලුම් ක්ෂේත්‍රය මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයයි.
මෙවර පැවැත්වෙන ඒකාබද්ධ ප්‍රදර්ශනය සඳහා රටවල් සහ කලාප 15කට අධික සංඛ්‍යාවකින් පැමිණෙන ජාත්‍යන්තර සමාගම් 300කට වැඩි ප්‍රමාණයක් සහභාගී වන අතර, එය ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවැත්වෙන විශාලතම රෙදිපිළි සහ යන්ත්‍රෝපකරණ ප්‍රදර්ශනය ලෙස සැලකේ. මෙහිදී ‘InMac’ ප්‍රදර්ශනය හරහා මීළඟ පරම්පරාවේ මහන මැෂින්, රෙදි කැපුම් උපකරණ, ඩිජිටල් මුද්‍රණ (Digital Printing) සහ පරිසර හිතකාමී නිමවුම් තාක්ෂණයන් (Eco-friendly finishing technologies) හඳුන්වා දීමට නියමිතය.
අමුද්‍රව්‍ය විවිධාංගීකරණය සහ ගෝලීය විශ්වාසය
ඇඟලුම් නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන නූල්, රෙදිපිළි සහ තිරසාර අමුද්‍රව්‍ය සපයන ගෝලීය සැපයුම්කරුවන් සමඟ මෙරට නිෂ්පාදකයින් සම්බන්ධ කිරීම ‘Intex’ ප්‍රදර්ශනයේ මූලික අරමුණයි. මෙමඟින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් සමාගම්වලට සිය අමුද්‍රව්‍ය සපයා ගැනීමේ මාර්ග (Sourcing) විවිධාංගීකරණය කිරීමටත්, සුවිශේෂී රෙදිපිළි නවෝත්පාදනයන්ට ප්‍රවේශ වීමටත් අවස්ථාව හිමිවේ.
Worldex India ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා ආර්ති භගත් (Arti Bhagat) ප්‍රකාශ කරන්නේ, මෙම ප්‍රදර්ශනය සඳහා චීනය සහ ඉන්දියාව ප්‍රමුඛ කරගනිමින් ලැබී ඇති ඉහළ ජාත්‍යන්තර දායකත්වය හරහා ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රයේ දිගුකාලීන වර්ධනය පිළිබඳව පවතින ගෝලීය විශ්වාසය මනාව පැහැදිලි වන බවයි. ගෝලීය අමුද්‍රව්‍ය සහ දියුණු යන්ත්‍රෝපකරණ ඒකාබද්ධ කිරීම මඟින් ශ්‍රී ලංකාවේ 2030 අපනයන දැක්ම ශක්තිමත් කෙරෙන නිශ්චිත සැලැස්මක් (Blueprint) මෙමඟින් සැපයෙන බව ද ඇය සඳහන් කළාය.
ආයෝජන සහ ප්‍රතිපත්තිමය සහායක අවශ්‍යතාව
තාක්ෂණික නවීකරණයන් සඳහා ඉහළ විභවයක් පැවතිය ද, නවීන යන්ත්‍රෝපකරණ හඳුන්වා දීම සඳහා විශාල ප්‍රාග්ධන ආයෝජනයක් (Capital Investment), දක්ෂ තාක්ෂණික ශ්‍රමිකයන් සහ ඩිජිටල් ක්ෂේත්‍රයේ ප්‍රවීණතාවය අත්‍යවශ්‍ය වේ. විශේෂයෙන්ම මෙරට පවතින ඉහළ මෙහෙයුම් පිරිවැය සහ ගෝලීය වෙළඳපොළේ පවතින අවිනිශ්චිතතා හමුවේ, සුළු හා මධ්‍ය පරිමාණ (SME) ඇඟලුම් නිෂ්පාදකයින්ට මෙවැනි තාක්ෂණික යාවත්කාලීන කිරීම් සඳහා මූල්‍ය ප්‍රතිපාදන සොයා ගැනීම දැඩි අසීරු කාර්යයක් වී තිබේ.
ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන අන්තර්ක්‍රියාකාරී ව්‍යාපාරික සංසද (Interactive Business Forum) සම්මන්ත්‍රණවලදී ඩිජිටල් පරිවර්තනය, තිරසාරභාවය (Sustainability) සහ ස්මාර්ට් නිෂ්පාදනය (Smart Manufacturing) වැනි තේමාවන් ඔස්සේ දැනුම බෙදා ගැනීමට කටයුතු සූදානම් කර ඇත. ඇඟලුම් ක්ෂේත්‍රයේ සාර්ථකත්වය රඳා පවතින්නේ හුදෙක් ප්‍රදර්ශන කුටි සංඛ්‍යාව මත නොව, මෙම නවීන තාක්ෂණයන් ප්‍රායෝගිකව මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ අපනයන වර්ධනය උදෙසා භාවිත කරන්නේ කෙසේද යන්න මත බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ඒ අනුව ඩොලර් බිලියන 8ක අපනයන ඉලක්කය සපුරා ගැනීම සඳහා තිරසාර ආයෝජන මෙන්ම ශක්තිමත් රාජ්‍ය ප්‍රතිපත්තිමය සහායක් ද කඩිනමින් අවශ්‍යව ඇත.
(සටහන | සම්පත් ධීරසේකර )
මුලාශ්‍රය :
Can Global Technology Drive Sri Lanka’s Apparel Export Revival?







