ජූලි මස මුල් දින 15 තුළ පැමිණීම්වල සුළු මන්දගාමීත්වයක්; සමස්ත සංචාරකයන් සංඛ්‍යාව මිලියන 1.23 ඉක්මවයි
ඉන්දියාව පෙරමුණේ; ආදායම් ඉලක්ක සපුරා ගැනීමට ඉහළ වටිනාකමකින් යුත් සංචාරකයන් ආකර්ෂණය කරගැනීමේ අවශ්‍යතාව මතුවෙයි
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය 2026 වසරේ දෙවන අර්ධයට පිවිසෙමින් පවතින්නේ රජය අපේක්ෂා කරන ඉහළ සංචාරක පැමිණීම් සහ විදේශ විනිමය ආදායම් ඉලක්ක සපුරා ගැනීමේ තීරණාත්මක අභියෝගයකට මුහුණ දෙමිනි. ක්ෂේත්‍රයේ වර්ධනය අඛණ්ඩව පවත්වා ගනිමින් පවතින ආදායම් පරතරය අවම කර ගැනීම සඳහා ඉදිරි මාස කිහිපය අතිශයින් වැදගත් වනු ඇතැයි සංචාරක අංශ පෙන්වා දෙයි.
නවතම සංචාරක දත්ත විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ ජූලි මාසයේ මුල් දින 15 තුළ මෙරටට ජාත්‍යන්තර සංචාරකයන් 91,122 දෙනෙකු පැමිණ ඇති බවයි. එය 2025 වසරේ එම කාලසීමාව තුළ වාර්තා වූ 92,951ක පැමිණීම් සමඟ සැසඳීමේදී සියයට 3.04ක සුළු අඩුවීමකි. ප්‍රධාන සංචාරක වෙළඳපොළවල පාසල් නිවාඩු කාලය සහ මෙරට සංස්කෘතික උත්සව බහුලව පැවැත්වෙන මාසයක් වුවද මෙම මන්දගාමීත්වය වාර්තා වී තිබේ.
පැමිණීම්වල ප්‍රගතිය සහ ප්‍රධාන වෙළඳපොළවල්
මෙම සුළු පසුබෑම මධ්‍යයේ වුවද, 2026 වසරේ මේ දක්වා පැමිණ ඇති සමස්ත සංචාරකයන් සංඛ්‍යාව මිලියන 1.23 (1,230,000) ඉක්මවා යාම සුවිශේෂී කඩඉමකි. කෙසේ වෙතත්, පසුගිය වසරේ මේ හා සමාන කාලසීමාවට සාපේක්ෂව සමස්ත පැමිණීම් සියයට 2ක පමණ ප්‍රමාණයකින් පසුපසින් පවතින බැවින් සංචාරක ප්‍රවර්ධන ආයතන සහ ක්ෂේත්‍රයේ නියුතු ව්‍යවසායකයන් කෙරෙහි ඉදිරි මාසවලදී වැඩි ශක්තියක් ජනනය කිරීමේ පීඩනය එල්ල වී ඇත.
ශ්‍රී ලංකාවේ සංචාරක වෙළඳපොළ තවදුරටත් රැඳී පවතින්නේ ප්‍රධාන රටවල් කිහිපයක් මතය. ඒ අතරින් ඉන්දියාව මෙරට විශාලතම සංචාරක සන්නායකය බවට පත්වෙමින් සිය ස්ථානය තහවුරු කරගෙන තිබේ. ඉන්දීය සංචාරකයන් ජූලි මස මුල් දින 15 තුළ පමණක් 20,480ක් පැමිණ ඇති අතර, මේ වසරේ මේ දක්වා පැමිණ ඇති සමස්ත ඉන්දීය සංචාරකයන් සංඛ්‍යාව 314,163කි.
මීට අමතරව එක්සත් රාජධානියෙන් සංචාරකයන් 117,844ක්, චීනයෙන් 81,665ක් මෙන්ම ඔස්ට්‍රේලියාව සහ නෙදර්ලන්තය වැනි රටවලින් ද සැලකිය යුතු සංචාරකයන් පිරිසක් පැමිණ තිබේ.
ආදායම් උපායමාර්ග සහ තරඟකාරිත්වය
කෙසේ වෙතත්, සංචාරක ක්ෂේත්‍රයේ සාර්ථකත්වය තීරණය වන්නේ පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව මතම පමණක් නොව, ඔවුන් මෙරට තුළ සිදුකරන වියදම් සහ ඉන් උපයන විදේශ විනිමය ප්‍රමාණය මතය. සංචාරකයන් මෙරට රැඳී සිටින කාලය දීර්ඝ කිරීම, ඉහළ මට්ටමේ සුඛෝපභෝගී සංචාරක සේවා (Premium Travel Experiences), සුවතා සංචාරක පැකේජ (Wellness Tourism) සහ ශක්තිමත් ගමනාන්ත අලෙවිකරණ වැඩසටහන් (Destination Marketing) මඟින් ආර්ථික ප්‍රතිලාභ උපරිම කරගත යුතු බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ආසියානු කලාපයේ සෙසු තරඟකාරී සංචාරක ගමනාන්තයන් ඔවුන්ගේ යටිතල පහසුකම්, ප්‍රවර්ධන කටයුතු සහ ගුවන් ගමන් සබඳතා (Aviation Connectivity) වෙනුවෙන් දැවැන්ත ආයෝජන සිදුකරමින් පවතින පසුබිමක, ශ්‍රී ලංකාව ද සිය ගෝලීය වෙළඳපොළ ස්ථාවරය ශක්තිමත් කළ යුතුය. ඒ අනුව, ඉදිරි ශීත සෘතු සංචාරක සමය (Winter Season) සාර්ථක කර ගැනීම, ගුවන් ධාරිතාව ඉහළ නැංවීම සහ ඉහළ අගයකින් යුත් සංචාරකයන් (High-Value Travellers) ආකර්ෂණය කර ගැනීම 2026 වසරේ ජාතික සංචාරක ඉලක්ක සපුරා ගැනීමේ ප්‍රධාන සාධක වනු ඇත.
(සටහන | සම්පත් ධීරසේකර )
මුලාශ්‍රය :
Sri Lanka Tourism Faces Crucial Test As 2026 Earnings Targets Hang Balance







