* එක්සත් ජාතීන්ගේ සම්බාධක, පාරිභෝගික නිරීක්ෂණ සහ නීති විරෝධී ගනුදෙනු වාර්තා නොකිරීම නිසා රුපියල් මිලියන 14.6ක පරිපාලන දඩ
* බැංකු, මුදල් සමාගම්වලට අමතරව ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයකටත් චෝදනා
ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ (AML) සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මර්දනය කිරීමේ (CFT) නියාමන රීති බරපතළ ලෙස උල්ලංඝනය කළ මූල්‍ය ආයතන සහ නියමිත අනෙකුත් ව්‍යාපාරික ආයතන 11කට එරෙහිව රුපියල් මිලියන 14.6ක සමස්ත පරිපාලන දඩ මුදලක් පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය තොරතුරු ඒකකය (FIU) පියවර ගෙන තිබේ.
2025 ඔක්තෝබර් සිට 2026 මාර්තු දක්වා වූ කාලසීමාව ආවරණය කරමින් සිදුකරන ලද මෙම පරීක්ෂණ සහ බලාත්මක කිරීමේ ක්‍රියාමාර්ගය, ජාත්‍යන්තර මූල්‍ය කාර්ය සාධක බලකායේ (FATF) 'අළු ලැයිස්තුවට' (Grey list) තෙවන වරටත් ශ්‍රී ලංකාව ඇතුළත් වීමේ අවදානම මඟහරවා ගැනීමට වෙහෙසෙන සංවේදී මොහොතක සිදුවීම විශේෂත්වයකි.
සම්බාධක පැනවූ පුද්ගලයන් සහ නීති උල්ලංඝනයන්
මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත (FTRA) යටතේ පනවා ඇති විධිවිධාන අනුගමනය නොකිරීම, ඉහළ වටිනාකමකින් යුත් මුදල් ගනුදෙනු නියමිත වේලාවට වාර්තා නොකිරීම, එක්සත් ජාතීන්ගේ සම්බාධක ලැයිස්තු පරීක්ෂාවන් ප්‍රමාද කිරීම සහ දේශපාලනික වශයෙන් බලපෑම් සහිත පුද්ගලයන් (PEPs) පිළිබඳ විමර්ශනය නොකිරීම මෙම ආයතනවලට එල්ල වී ඇති ප්‍රධාන චෝදනා වේ.
1- Citizens Development Business Finance PLC (CDB): එක්සත් ජාතීන්ගේ සම්බාධක ලැයිස්තුවේ සඳහන් පුද්ගලයන් තිදෙනෙකු සමඟ ව්‍යාපාරික සබඳතා පවත්වාගෙන යාම, අදාළ වත්කම් අත්හිටුවීමට පියවර නොගැනීම සහ පැය 24 පුරා වූ නීතිමය කාලසීමාව තුළ බලධාරීන් දැනුවත් නොකිරීම හේතුවෙන් වැඩිම දඩය වන රුපියල් මිලියන 3ක දඩයක් නියම වී ඇත.
2- Cargills Bank PLC: රුපියල් මිලියනය ඉක්මවූ විද්‍යුත් අරමුදල් හුවමාරු ගනුදෙනු 18ක් වාර්තා නොකිරීම සහ සම්බාධක ලැයිස්තු යාවත්කාලීන නොකිරීම වෙනුවෙන් රුපියල් මිලියන 2ක දඩයක් පනවා ඇත.
3- Indian Overseas Bank: නියමිත පරිදි පාරිභෝගික අනන්‍යතාව තහවුරු නොකිරීම සහ විද්‍යුත් මුදල් හුවමාරු දත්ත යාවත්කාලීන නොකිරීම නිසා රුපියල් මිලියන 1ක දඩයක් පනවා තිබේ.
4- LB Finance, LOLC Securities සහ Janashakthi Finance: නියමිත කාල සීමාව තුළ මුදල් ගනුදෙනු වාර්තා (Cash Transaction Reports) ලබානොදීම වෙනුවෙන් පරිපාලන දඩවලට ලක්ව ඇත.
ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ පවතින අවදානම
මූල්‍ය ආයතනවලට අමතරව ජාත්‍යන්තර වශයෙන් මුදල් විශුද්ධිකරණය සඳහා අධික අවදානමක් සහිත ක්ෂේත්‍රයක් ලෙස හඳුනාගෙන ඇති ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ආයතන කිහිපයකට ද දඩ පනවා තිබේ.
පාරිභෝගික අනන්‍යතාව තහවුරු නොකිරීම, තොරතුරු වාර්තා පවත්වා නොගැනීම සහ ආයතනික අවදානම් තක්සේරු නොකිරීම හේතුවෙන් ස්වර්ණමහල් ජුවලර්ස් ලිමිටඩ් (Swarnamahal Jewellers Ltd) වෙත රුපියල් මිලියන 2ක දඩයක් නියම කර ඇත. මීට අමතරව Colombo Jewellery Stores, Zay's (Pvt) Ltd සහ Harbour Village (Pvt) Ltd යන ආයතන වෙත ද සම්බාධක නීති අනුගමනය නොකිරීම වෙනුවෙන් පරිපාලන දඩ පනවා තිබේ.
ගෝලීය මූල්‍ය ක්ෂේත්‍රයේ බලපෑම
අදාළ ආයතන අතුරින් ඇතැම් ආයතන නීති විරෝධී හෝ සම්බාධක ලැයිස්තුගත නෙට්වර්ක් සමඟ සෘජු සබඳතා පවත්වා නැති බව තහවුරු වී තිබුණ ද, අභ්‍යන්තර නිරීක්ෂණ පද්ධතිවල පවතින දුර්වලතා ජාත්‍යන්තර අපරාධකරුවන්ට භාවිත කිරීමට ඉඩකඩ සලසන බව විමර්ශකයෝ පෙන්වා දෙති.
මූල්‍ය අර්බුදයකින් පසු යථා තත්ත්වයට පත්වෙමින් පවතින ශ්‍රී ලංකාව වැනි ආර්ථිකයක, ජාත්‍යන්තර බැංකු (Correspondent Banks) සමඟ පවතින විශ්වාසනීයත්වය බිඳවැටීම හරහා විදේශ ප්‍රේෂණ, ආනයන වියදම් සහ විදේශ ආයෝජන ක්‍රියාවලියට අහිතකර බලපෑම් එල්ල විය හැකිය.
මෙම දඩ පැනවීම් හුදෙක් පරිපාලනමය පියවරක් පමණක් නොව, ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය නිරීක්ෂණ ඇගයීම්වලට පෙර මෙරට මූල්‍ය පද්ධතියේ විනිවිදභාවය සහ නීතිමය රාමුව ශක්තිමත් කිරීමට රජය දක්වන සූදානම පිළිබඳ ප්‍රබල සංඥාවක් ලෙස ක්ෂේත්‍රයේ විශ්ලේෂකයෝ සලකති.
(සටහන | සම්පත් ධීරසේකර )
මුලාශ්‍රය :







