* සාම්ප්‍රදායික පාලන රාමුවෙන් මිදී නැවුම් උපායමාර්ගික නායකත්වයකට යොමුවීමේ අවශ්‍යතාව SLID සමුළුවේදී අවධාරණය කෙරෙයි
* භූ-දේශපාලනික කම්පන, කෘත්‍රිම බුද්ධියේ බලපෑම සහ පරිසර සමාජීය වගකීම් (ESG) ව්‍යාපාරික පැවැත්මේ තීරණාත්මක සාධක බවට පත්වෙයි
ලෝක මට්ටමින් සිදුවන වේගවත් වෙනස්වීම් සහ නැගී එන අභියෝග හමුවේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල සතුව පවතින සාම්ප්‍රදායික පරිපාලන ආකෘතීන් තවදුරටත් ප්‍රමාණවත් නොවන බව විදේශීය සහ දේශීය කළමනාකරණ විශේෂඥයෝ පෙන්වා දෙති.
ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනය (SLID) මඟින් සංවිධානය කරන ලද 'Corporate Director Summit 2026' සමුළුවේදී ප්‍රකාශ වූයේ, හුදෙක් මූල්‍ය පාලනයට සහ නීතිමය රාමුවලට පමණක් සීමා නොවී කෘත්‍රිම බුද්ධිය (AI), භූ-දේශපාලනික අස්ථාවරත්වය සහ කාලගුණික අවදානම්වලට මුහුණ දිය හැකි පරිදි ආයතන සූදානම් කිරීම අධ්‍යක්ෂ මණ්ඩලවල මූලික වගකීම විය යුතු බවයි.
භූ-දේශපාලනය, කෘතිම බුද්ධිය සහ නායකත්වය
සමුළුව ඇමතූ SafeSea සමූහයේ නිර්මාතෘ සහ සභාපති ආචාර්ය එස්.වී. අංචන් සඳහන් කළේ, ගෝලීය වශයෙන් හටගන්නා දේශපාලන හා යුදමය ගැටලු මඟින් වෙළෙඳ මාර්ග, සැපයුම් දාම සහ මූල්‍ය ප්‍රවේශයන්ට සෘජු බලපෑමක් එල්ල කරන බැවින් භූ-දේශපාලනය යනු අධ්‍යක්ෂ මණ්ඩල සාකච්ඡා කළ යුතු ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇති බවයි.
නියාමන සහ පාලන පද්ධති පවතින ගැටලුවලට ඵලදායී ලෙස මුහුණ දීමට බාධාවක් නොවිය යුතු බව පෙන්වා දුන් ආචාර්ය අංචන්, හදිසි අවස්ථාවලදී සංකීර්ණ අනුමැති ක්‍රමවේද නිසා තීරණ ගැනීම ප්‍රමාද වන බව පැවසීය. එමෙන්ම කෘත්‍රිම බුද්ධිය (AI) ඔස්සේ කාර්යක්ෂමතාව ඉහළ නංවාගත හැකි වුවද, ආයතනික නායකත්වයේ වගවීම සහ අවසන් තීරණ ගැනීමේදී මිනිස් බුද්ධිය හා පරිණතභාවය ප්‍රතිස්ථාපනය කිරීමට තාක්ෂණයට නොහැකි බව හෙතෙම අවධාරණය කළේය.
තිරසාර පැවැත්ම සහ ගෝලීය දැක්ම
මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් පෙන්වා දුන්නේ, තිරසාරභාවය සහ පාරිසරික වගකීම යනු ව්‍යාපාරවලට එකතු කළ අමතර අංගයක් නොව ප්‍රධාන ව්‍යාපාරික උපායමාර්ගයේම කොටසක් බවට පත්ව ඇති බවයි. පරිසර ආරක්ෂණය සහ සමාජීය වගකීම් නිසි ලෙස කළමනාකරණය කරන සමාගම්වලට ජාත්‍යන්තර ආයෝජන, පාරිභෝගිකයින් සහ දක්ෂ මානව සම්පත ආකර්ෂණය කරගැනීමේ වැඩි ඉඩකඩක් පවතින බව ද හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ තුර්කි තානාපති ආචාර්ය සෙමිහ් ලුට්ෆු ටුර්ගුට් ප්‍රකාශ කළේ, දේශපාලනික, තාක්ෂණික සහ ආර්ථික පරිවර්තනයන් හමුවේ ඇතිවන අවදානම් කළමනාකරණය සඳහා ශ්‍රී ලාංකේය අධ්‍යක්ෂවරුන්ට ගෝලීය දැක්මක් සහ පෙර දැක්මක් තිබීම අත්‍යවශ්‍ය බවයි.
සමුළුවේ ප්‍රධාන පණිවිඩය
SLID සමුළුවේ සභාපති චාරක පෙරේරා සහ තාක්ෂණික කමිටු සභාපති සුතීෂ් බාලසුබ්‍රමනියම් පෙන්වා දුන්නේ, මෙම සංවාදයන්හි අන්තර්ගතය පදනම් කරගනිමින් ඉදිරියේදී අධ්‍යක්ෂවරුන් වෙනුවෙන් මාර්ගෝපදේශ සංග්‍රහයක් ද නිකුත් කිරීමට නියමිත බවයි. ශ්‍රී ලාංකේය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ පැවැත්ම තීරණය වන්නේ වෙනස්වන ලෝකයට අනුගත වීමේ හැකියාව සහ කඩිනම් උපායමාර්ගික තීරණ ගැනීමේ ප්‍රගල්භභාවය මත බව මෙහිදී පොදුවේ අවධාරණය විය.
ආයතනික සාර්ථකත්වය යනු හුදෙක් නීතිමය නීතිරීතිවලට අනුකූල වීම පමණක් නොව, අනාගතයේ ඇතිවිය හැකි නොපෙනෙන අවදානම් කලින් හඳුනාගෙන, නව තාක්ෂණය සහ තිරසාර භාවිතයන් ඒකාබද්ධ කරමින් ආයතනය මෙහෙයවීම බව SLID සමුළුවේදී නිගමනය කෙරිණි.
(සටහන | සම්පත් ධීරසේකර )
මුලාශ්‍රය :
Sri Lanka’s Future Boards Must Navigate AI, Climate And Geopolitical Risks







