*බලහත්කාර ශ්‍රමය වැළැක්වීමේ අමෙරිකානු වෙළඳ නීති යටතේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 17කට 10%ක බදු පැනවීම සක්‍රීය වෙයි
*ඇඟලුම් ඇතුළු ප්‍රධාන අපනයනවල මිල ඉහළ යෑමෙන් ඇමෙරිකානු වෙළඳපොළේ තරඟකාරීත්වය ගිලිහී යාමේ අවදානමක්
බලහත්කාර ශ්‍රමය යොදාගනිමින් නිපදවන භාණ්ඩ ආනයනය වැළැක්වීමේ අරමුණින් අමෙරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති නව වෙළඳ නීති යටතේ ශ්‍රී ලංකාවෙන් අමෙරිකාවට යවන භාණ්ඩ සඳහා සියයට 10ක අතිරේක බද්දක් (Section 301 Tariff) පැනවීමට අමෙරිකානු වෙළඳ නියෝජිත කාර්යාලය (USTR) පියවර ගෙන තිබේ.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ පාලනාධිකාරිය විසින් නිවේදනය කරන ලද මෙම නව බදු ප්‍රතිපත්තිය ජූලි 24 වැනිදා සිට වහාම ක්‍රියාත්මක වන පරිදි පනවා ඇත.
මෙම බදු සංශෝධනය යටතේ ඇතැම් රටවලට සියයට 12.5ක ඉහළ බදු අනුපාතයක් පනවා ඇති අතර, ශ්‍රී ලංකාවට සියයට 10ක අඩු බදු කාණ්ඩය හිමිව තිබීම යම් සහනයක් වුවද, එමඟින් මෙරට ප්‍රධානතම අපනයන වෙළඳපොළක් වන අමෙරිකාව තුළ ශ්‍රී ලාංකේය නිෂ්පාදනවල තරඟකාරීත්වය සැලකිය යුතු ලෙස අඩුවීමේ අවදානමක් පවතින බව අපනයනකරුවෝ පෙන්වා දෙති.
බදු පැනවීමේ පදනම සහ ශ්‍රී ලංකාවේ ස්ථානගතවීම
අමෙරිකානු වෙළඳ නියෝජිත කාර්යාලයේ නිරීක්ෂණයට ලක්වූ රටවල් 60 අතුරින් ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය, මැලේසියාව, කැලඩාව, මෙක්සිකෝව සහ එක්සත් රාජධානිය ඇතුළු රටවල් 17ක් සියයට 10ක බදු කාණ්ඩයට ඇතුළත් කර ඇත. චීනය, වියට්නාමය, තායිලන්තය, දකුණු කොරියාව සහ ජපානය ඇතුළු අනෙකුත් රටවල් 41කට සියයට 12.5ක ඉහළ බදු අනුපාත පනවා තිබේ.
අමෙරිකානු තක්සේරුවට අනුව, බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ තහනම් කිරීම සඳහා නීතිමය හා පරිපාලනමය පියවර ගෙන ඇති හෝ ඊට කැපවී ඇති රටවලට මෙලෙස සියයට 10ක සාපේක්ෂව අඩු බදු අනුපාතය හිමිව තිබේ. ශ්‍රී ලංකාවේ පවතින ශ්‍රම පාලන රාමුව සහ මෑතකදී ගත් නීතිමය පියවරයන් හේතුවෙන් සියයට 12.5ක වඩාත් දැඩි බදු ප්‍රතිපත්තියෙන් මිදීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත.
ඇඟලුම් සහ අපනයන ක්ෂේත්‍රයට එල්ලවන බලපෑම
ශ්‍රී ලංකාවේ විශාලතම තනි අපනයන වෙළඳපොළ වන අමෙරිකා එක්සත් ජනපදයට යවන ප්‍රධානතම භාණ්ඩ වන්නේ ඇඟලුම්, රබර් නිෂ්පාදන, තේ, සාගර නිෂ්පාදන සහ කාර්මික භාණ්ඩයි.
වත්මන් අමෙරිකානු බදු ක්‍රමය යටතේ (MFN Baseline Tariffs) ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන සඳහා දැනටමත් සාමාන්‍යයෙන් සියයට 16.5ක මූලික බද්දක් අය කෙරෙන අතර, ඇතැම් ඇඟලුම් වර්ග සඳහා එය සියයට 20 සිට 24 දක්වා ඉහළ අගයක පවතී. මෙම නව සියයට 10ක අතිරේක බද්ද එකතු වීමත් සමඟ අමෙරිකාවට ඇතුළු වන ශ්‍රී ලාංකේය ඇඟලුම් සඳහා වන සමස්ත බදු බර සාමාන්‍යයෙන් සියයට 26.5ක් දක්වා ඉහළ යනු ඇත. එමෙන්ම සාමාන්‍යයෙන් සියයට 2 සිට 5 දක්වා මූලික බදු පවතින රබර් නිෂ්පාදන සඳහා ද සමස්ත බද්ද සියයට 12 සිට 15 දක්වා ඉහළ යයි.
වාර්ෂිකව ඩොලර් බිලියන ගණනක විදේශ විනිමය උපයමින් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා සපයන ඇඟලුම් කර්මාන්තයට මෙමඟින් දැඩි අභියෝගයක් එල්ල වේ. අමෙරිකානු ආනයනකරුවන් විසින් මෙම අතිරේක පිරිවැය පියවා ගැනීම සඳහා භාණ්ඩවල මිල අඩු කරන ලෙස මෙරට අපනයනකරුවන්ට බලපෑම් කිරීමට හෝ වෙනත් අඩු පිරිවැය සහිත රටවල් වෙත යොමු වීමට ඉඩකඩ පවතී.
ගෝලීය සැපයුම් දාම සහ ඉදිරි අභියෝග
2022 ආර්ථික අර්බුදයෙන් පසු මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් පවතින මොහොතක, විදේශ විනිමය ඉපැයීම් තහවුරු කරගැනීමට අපනයන වර්ධනය අත්‍යවශ්‍ය සාධකයකි.
මෙම බදු සංශෝධනය මඟින් පෙනී යන්නේ, ජාත්‍යන්තර වෙළඳපොළට ප්‍රවේශ වීමේදී භාණ්ඩවල මිල සහ ගුණාත්මකභාවයට අමතරව ශ්‍රම ප්‍රමිතීන්, මානව හිමිකම් සහ සැපයුම් දාමවල පාරදෘශ්‍යභාවය තීරණාත්මක සාධක බවට පත්වෙමින් තිබෙන බවයි.
ප්‍රධාන අපනයන වෙළඳපොළවල් කිහිපයක් මත පමණක් යැපීමේ පවතින අවදානම ද මෙමඟින් නැවතත් මතුකර ඇති අතර, අනාගතයේදී අමෙරිකානු වෙළඳපොළ තුළ සිය රඳවාගැනීම තහවුරු කරගැනීම සඳහා ශ්‍රම ප්‍රමිතීන් ඉහළ නැංවීම, සැපයුම් දාම නිරීක්ෂණය සහ සක්‍රීය වෙළඳ රාජ්‍ය තාන්ත්‍රිකභාවය ශ්‍රී ලංකාවට තීරණාත්මක වනු ඇත.
අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය කාලයේ පනවන ලද ඇතැම් හදිසි බදු නීති නීති විරෝධී බවට තීන්දු කිරීමෙන් පසුව, ට්‍රම්ප් පාලනාධිකාරිය 1974 වෙළඳ පනතේ 301 වගන්තිය (Section 301 of the Trade Act of 1974) යටතේ පවතින විකල්ප නීතිමය බලතල භාවිත කරමින් මෙම නව බදු පනවා ඇත. ගෝලීය වෙළඳපොළ තුළ බලහත්කාර ශ්‍රමය පිටුදැකීමට බලපෑම් කිරීම මෙහි ප්‍රකාශිත අරමුණ වුවද, සංවර්ධනය වෙමින් පවතින රටවල අපනයන ආර්ථිකයන් කෙරෙහි මෙයින් එල්ල වන බලපෑම සුළුපටු නොවේ.
(සටහන | සම්පත් ධීරසේකර )
මුලාශ්‍රය :
US Tariff Shift Puts Sri Lanka's Export Competitiveness under Pressure







