*ඇමෙරිකානු වෙළඳ නියෝජිත කාර්යාලයේ (USTR) තීරණය හමුවේ ශ්‍රී ලංකාවේ රබර් නිෂ්පාදනවල තරගකාරීත්වය සුරැකෙයි
*ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු රජය සහ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඉටුකළ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමට SLAMERP ප්‍රසාදය පළකරයි
ඇමෙරිකා එක්සත් ජනපදයේ වෙළඳ නියෝජිත කාර්යාලය (USTR) විසින් සිදුකරන ලද 301 වගන්තියට අදාළ විමර්ශනවලින් අනතුරුව, ශ්‍රී ලංකාවේ අපනයන භාණ්ඩ සඳහා 10%ක තීරුබදු ප්‍රතිශතයක් පැනවීමට ගත් තීරණය ශ්‍රී ලංකා රබර් නිෂ්පාදකයන්ගේ සහ අපනයනකරුවන්ගේ සංගමය (SLAMERP) විසින් උණුසුම් ලෙස පිළිගෙන තිබේ.
මෙම සාධනීය තීරණය හමුවේ මෙරට අගය එකතු කළ රබර් නිෂ්පාදන අපනයන ක්ෂේත්‍රයට විශාල ප්‍රබෝධයක් සහ උත්තේජනයක් හිමිවන බව එම සංගමය පෙන්වා දෙයි.
තරගකාරී වෙළඳපොළ තුළ හිමිවූ වාසිය
මෙම 10% තීරුබදු සීමාව ලබාදීම හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳපොළේ ප්‍රධාන තරගකාරී රටවල් සමඟ එක හා සමාන මට්ටමක (Tariff Parity) රැඳී සිටීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබී ඇත.
මීට පෙර පැවැති මූලික නිගමන අනුව ශ්‍රී ලංකාවට මීට වඩා වැඩි තීරුබදු ප්‍රතිශතයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි අනුමාන කෙරුණු අතර, එසේ වූයේ නම් දැඩි තරගකාරීත්වයක් සහිත ජාත්‍යන්තර රබර් වෙළඳපොළ තුළ ශ්‍රී ලංකාවේ අපනයනකරුවන් දැඩි අවාසිදායක තත්ත්වයකට පත්වීමට ඉඩ තිබිණි.
පසුගිය මාස 18ක කාලය තුළ ඇමෙරිකානු තීරුබදු ප්‍රතිපත්තියේ සිදුවූ වෙනස්කම් හමුවේ, මුලින් ප්‍රකාශයට පත් වූ 44%ක අන්‍යෝන්‍ය තීරුබද්ද (Reciprocal Tariff) පසුව 30% දක්වාත්, අනතුරුව 20% දක්වාත් පහත වැටුණු අතර, අවසාන තීරණයේදී ශ්‍රී ලංකාව 10%ක බදු කාණ්ඩයට ඇතුළත් කිරීමට ඇමෙරිකානු බලධාරීන් පියවර ගෙන තිබේ.
රජයේ සහ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුම ඇගයීමට
මෙම වාසිදායක තත්ත්වය උදාකර ගැනීම වෙනුවෙන් අඛණ්ඩව රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් කටයුතු කළ ජනාධිපති අනුර කුමාර දිසානායක ඇතුළු ශ්‍රී ලංකා රජයට, ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ ට, වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට, විදේශ කටයුතු අමාත්‍යාංශයට, වාණිජ දෙපාර්තමේන්තුවට සහ අපනයන සංවර්ධන මණ්ඩලයට (EDB) සමස්ත රබර් කර්මාන්ත ක්ෂේත්‍රය වෙනුවෙන් SLAMERP සංගමය සිය කෘතඥතාව පළකර සිටියි.
මේ පිළිබඳව අදහස් දක්වමින් SLAMERP සභාපති පුෂ්පික ජානධීර සඳහන් කළේ, ගෝලීය වෙළඳපොළේදී මිලදී ගන්නන් නිෂ්පාදනවල ගුණාත්මකභාවය, විශ්වාසනීයත්වය සහ පිරිවැය සලකා බලන බැවින් මෙම බදු සමානතාවය හිමිවීම ශ්‍රී ලංකාවේ අපනයන ක්ෂේත්‍රයට අතිශය තීරණාත්මක ජයග්‍රහණයක් බවයි.
රබර් කර්මාන්තයේ ජාතික වැදගත්කම
කාර්මික හා වෛද්‍ය අත්වැසුම්, ටයර්, ඝන ටයර් (Solid Tyres), කාර්මික රබර් භාණ්ඩ මෙන්ම ස්වාභාවික රබර් මෙට්ට සහ කොට්ට ඇතුළු අගය එකතු කළ රබර් නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වෙළඳපොළක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය කටයුතු කරයි.
දෙස් විදෙස් රැකියා ලක්ෂ ගණනකට සහ ජීවනෝපායන්ට සෘජුවම සහාය වන මෙම ක්ෂේත්‍රය, මෙරටට විදේශ විනිමය උපයා දෙන ප්‍රමුඛතම නිපැයුම් ක්ෂේත්‍රයක් ද වේ. රජය සහ පෞද්ගලික අංශය එක්ව කටයුතු කිරීමෙන් ජාතික අපනයන ක්ෂේත්‍රයට මුහුණදීමට සිදුවන අභියෝග සාර්ථකව ජයගත හැකි බවට මෙම සිදුවීම හොඳම නිදසුනක් බව පෙන්වා දෙන SLAMERP සංගමය, ඉදිරියටත් රජය සමඟ එක්ව දේශීය රබර් කර්මාන්තයේ ගෝලීය තරගකාරීත්වය ඉහළ නැංවීමට කැපවන බව වැඩිදුරටත් අවධාරණය කරයි.
මුලාශ්‍රය :
SLAMERP welcomes 10% US tariff rate, hails Govt.’s sustained advocacy







