වටිනාකම් කෘත්‍රිමව ඉහළ නැංවීම් සහ අතුරු මූල්‍ය පහසුකම් හරහා LTV සීමා උල්ලංඝනය කිරීමට එරෙහිව අනතුරු ඇඟවීමක්
මූල්‍ය සමාගම්වල අභ්‍යන්තර පාලනය ශක්තිමත් කරමින් පද්ධතිමය අවදානම් වැළැක්වීමට මැක්‍රෝප්‍රුඩෙන්ෂල් අංශයේ අවධානය
නියාමන සීමා පැනහැරීමේ ක්‍රමවේදයන් සහ CBSL රතු එළිය
වාහන ණය ලබාදීමේදී පනවා ඇති උපරිම සීමාවන් මගහැරීම සඳහා යොදාගන්නා විවිධ උපක්‍රමීය ක්‍රමවේදයන් ඉලක්ක කරගනිමින්, ශ්‍රී ලංකා මධ්‍යම බැංකුව (CBSL) විසින් මෝටර් රථ මූල්‍යකරණ ක්ෂේත්‍රය කෙරෙහි පනවා ඇති නියාමන අධීක්ෂණය තවදුරටත් දැඩි කර තිබේ.
මධ්‍යම බැංකුවේ මැක්‍රෝප්‍රුඩෙන්ෂල් නිරීක්ෂණ දෙපාර්තමේන්තුව (Macroprudential Surveillance Department) විසින් නිකුත් කරන ලද නවතම උපදෙස් මාලාව මගින් සියලුම බලපත්‍රලාභී මුදල් සමාගම් වෙත අවධාරණය කර ඇත්තේ, 2026 වසර සඳහා පනවා ඇති 'ණය සහ වටිනාකම අතර අනුපාතය' (Loan-to-Value - LTV) පිළිබඳ නියෝග උල්ලංඝනය වන පරිදි සකස් කෙරෙන කිසිදු මූල්‍යකරණ ව්‍යුහයකට ඉඩ නොතබන බවයි. වාහන තක්සේරු වටිනාකම් කෘත්‍රිමව ඉහළ නැංවීම සහ වෙනත් අතුරු මූල්‍ය ක්‍රමවේද හරහා මෙම නියාමන පියවරයන්හි ඵලදායීතාව අඩපණ කිරීමට දරන උත්සාහයන් පිළිබඳව නියාමකයාගේ විශේෂ අවධානය යොමු වී ඇත.
තක්සේරු වටිනාකම් පිම්බීම සහ අතුරු මූල්‍ය පහසුකම්වල අභියෝගය
මධ්‍යම බැංකු අධීක්ෂණ අංශවල පරීක්ෂාවට ලක්ව ඇති ප්‍රධාන කරුණු කිහිපයක් පිළිබඳව මෙම උපදෙස් මාලාව මගින් හෙළිදරව් කෙරේ. ඉන් පළමුවැන්න වන්නේ, මුදල් සමාගම් වෙත ඉදිරිපත් කෙරෙන ඇතැම් වාහන තක්සේරු වාර්තා සහ විකුණුම්කරුවන්ගේ ඉන්වොයිස් පවතින වෙළඳපල මිලගණන්වලට වඩා සැලකිය යුතු ලෙස ඉහළ අගයකින් යුක්ත වීමයි. මෙලෙස වත්කම්වල සැබෑ වටිනාකම වංචනික ලෙස නිරූපණය කිරීම මගින් තනි තනි ගනුදෙනුවලින් ඔබ්බට ගිය පද්ධතිමය අවදානමක් නිර්මාණය වන බව මධ්‍යම බැංකුව පෙන්වා දෙයි.
දෙවන කරුණ වන්නේ, ප්‍රධාන වාහන ණයට අමතරව ලබාදෙන අතුරු මූල්‍ය පහසුකම් (Bridging Finance) හෝ වෙනත් ආදේශක ණය පහසුකම් භාවිත කිරීමයි. මෙම පහසුකම් ප්‍රධාන වාහන ණයෙන් පරිබාහිරව පවතින බව පෙනී ගියද, ඒවා ලීසිං, හයර් පර්චස් හෝ වෙනත් වාහන ණය සමග සම්බන්ධ වන අවස්ථාවලදී LTV සීමාවන් තුළටම ඇතුළත් වන බව මධ්‍යම බැංකුව පැහැදිලි කර ඇත. ඒ අනුව, පාරිභෝගිකයා වෙත ලැබෙන සමස්ත ණය ප්‍රමාණය නියාමන සීමාවන්ට වඩා ඉහළ යන පරිදි ණය පහසුකම් බෙදා වෙන් කිරීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීම සිදුකළ නොහැක.
නීතිමය වචනාර්ථයෙන් ඔබ්බට ගිය පද්ධතිමය ස්ථාවරත්වය
මෙම උපදෙස් මාලාව මගින් යම් ආයතනයකට එරෙහිව සෘජු නීතිමය පියවර ගැනීමක් හෝ පරීක්ෂණයකට ලක්වන ආයතන නාමිකව සඳහන් කිරීමක් සිදුකර නොමැති වුවද, එහි ඇතුළත් භාෂා රටාව මගින් ප්‍රකාශ වන්නේ දැඩි නියාමන ස්ථාවරයකි. තාක්ෂණික වශයෙන් පනතට අනුකූල වීම පමණක් ප්‍රමාණවත් නොවන අතර, අදාළ නියෝගවල "ආකෘතිය මෙන්ම එහි යටි අරමුණද" (Form and Substance) සුරැකෙන පරිදි කටයුතු කිරීමට මූල්‍ය ආයතන බැඳී සිටින බව අවධාරණය කෙරේ.
ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රයේද නියාමකයන් ලේඛනගත නීතිමය පක්ෂපාතීත්වයට වඩා අදාළ මූල්‍ය නිෂ්පාදනයේ ස්වාභාවික ආර්ථික බලපෑම පිළිබඳව වැඩි අවධානයක් යොමුකරයි. එබැවින්, කෙටිකාලීන වාණිජ ලාභ තකා නියාමන අරමුණු පසෙකලා කටයුතු කිරීමෙන් මුළු මූල්‍ය පද්ධතියේම ඔරොත්තු දීමේ හැකියාව සහ ස්ථාවරත්වය පළුදු විය හැකි බව මධ්‍යම බැංකුව අනතුරු අඟවයි.
2026 ජූලි 28 වැනි දින නිකුත් කරන ලද මෙම උපදෙස් මාලාවත් සමග, වාහන තක්සේරු වාර්තාවල නිවැරදිභාවය තහවුරු කරගැනීම, ලේඛන සූක්ෂමව පරික්ෂා කිරීම සහ මූල්‍යකරණ ව්‍යුහයන් අනුමත කිරීමට පෙර දැඩි අභ්‍යන්තර පාලනයක් පවත්වාගෙන යාම බලප්‍රත්‍රලාභී මුදල් සමාගම්, වාහන තක්සේරුකරුවන් සහ වෙළෙඳුන් හමුවේ ඇති ප්‍රධාන වගකීමක් බවට පත්ව තිබේ.
(සටහන | සම්පත් ධීරසේකර )
මුලාශ්‍රය :
CBSL Targets Loopholes Undermining Vehicle Loan Restrictions Across Industry







