(රමිලා ඌසුෆ්- තව්ෆීක්, සුමේදා ජයකොඩි සහ ඉවාන් ඒකනායක විසින් සම්පාදනය කරන ලද නිබන්ධයක සිංහල පරිවර්තනයකි.)


අයුක්තිය, අසාධාරණය හා අපරාධ හමුවේ සමාජයේ බහුතරය නිහඬ නරඹන්නන් වීම, සමාජ මනෝවිද්‍යාත්මක අධ්‍යයනයන්ට පාදක වූ ගැටලුවකි. ශ්‍රී ලංකාවේ අද්දැකීම් පදනම් කරගෙන මෙම විෂය පිළිබඳව ලියැවුණු වැදගත් ශාස්ත්‍රීය නිබන්ධයක් Bystander Behaviour and Non-intervention: Explanations and Possibilities හිසින් මෑතක දී පළ විය. රමිලා ඌසුෆ්- තව්ෆීක්, සුමේදා ජයකොඩි සහ ඉවාන් ඒකනායක විසින් සම්පාදනය කරන ලද මෙම නිබන්ධයෙහි සිංහල පරිවර්තනයකි මේ.

මෙම ලිපියෙන් සාකච්ඡා කෙරෙන විෂය පිළිබඳව සංවාදයක් ‘නොදැක්කා සේ සිටීම- ලෙඩක් ද? හැටි ද?‘ හිසින් පසුගියදා Zoom ඔස්සේ පැවැත්වුණු අතර මනෝවෛද්‍ය නිහාල් රංජන් සහ මාධ්‍යවේදිනී ජයනි අබේසේකර සම්පත්දායකයින් ලෙස සහභාගි වූහ. ‘ශ්‍රී ලංකා බැරෝමීටර්’ සමීක්ෂණ වැඩසටහන සංවිධානය කළ මෙම සංවාදය මෙහෙයවන ලද්දේ ජනමාධ්‍යවේදී ජයසිරි ජයසේකර විසිනි.


n n 2022.1.25

නොදැක්කා සේ සිටීම සහ සක්‍රීය පුරවැසි භූමිකාව:
රමිලා උසුෆ්-තව්ෆීක්, සුමේද ජයකොඩි, ඉවෑන් ඒකනායක




බොහෝ අවස්ථාවන්හි දී මාධ්‍ය විසින් යමෙකුට පහරදීම සම්බන්ධයෙන් කතා පුවත් පළ කරනු ලැබේ. හිරිහැර කිරීම්, අපයෝජන, ස්ත්‍රී දූෂණ හෝ මිනීමැරුම් පිළිබඳ එවැනි වාර්තා අප සියල්ලන්ම භීතියට, ත්‍රාසයට හා කෝපයට පත් කරයි. එහෙත් ඒ පිළිබඳව හඬක් නැගීමට ඉදිරිපත් වන්නේ අතළොස්සකි.

ඒසේ කරන්නන්ගේ උද්යෝගය ද ක්‍රමක්‍රමයෙන් හීන වී යයි. නැවත එවැනි සිදුවීමක් වන තෙක් කාලය ගෙවී යයි. ප්‍රචණ්ඩත්වයට ගොදුරු වීම සහ ම්ලේච්ඡත්වය  පිළිබඳ මෙසේ පුනරාවර්තනය වන කථා, ප්‍රශ්න කිහිපයක් මතු කරයි.

මෙම සිදුවීම් සිදු වන බව කිසිවෙකු දුටුවා ද? ඒවා වළක්වා ගැනීම සඳහා අනතුරු ඇඟවීමක් කිරීමට කිසියම් ප්‍රයත්නයක් ගෙන තිබුණේ ද? ඔබත් මමත් එම සිද්ධිය වූ ස්ථානයේ සිටියා නම් අපි කුමක් කරන්නෙමු ද? අපට කුමක් කළ හැකි ද?



2014 වසරේ දී එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) විසින් ශ්‍රී ලංකා කාන්තාවන්ගේ අත්දැකීම් පිළිබඳව කරන ලද වාර්තාවකින් හෙළි වූයේ  සමීක්ෂණයට ලක් කළ ශ්‍රී ලාංකික කාන්තාවන්ගෙන් ආසන්න වශයෙන් 90% ක් පමණ පොදු ප්‍රවාහනයේදී ලිංගික හිංසනයට ලක්ව ඇති බවයි.



බොහෝ කාන්තාවන් සිහිපත් කළේ සාක්ෂිකරුවන් සමූහයක් සිටිය ද ඉන් කිසිවෙකුත් ඔවුන්ගේ සහායට නොපැමිණීම හෝ ඔවුන් වෙනුවෙන් පෙනී නොසිටීම හේතුවෙන් ඔවුන්ට වඩාත් අවදානමක් හා හුදෙකලා බවක් දැනුණු නිසා ඔවුන්ගේ අත්දැකීම් තවත් උග්‍ර වූ බවයි.

කෙසේවෙතත්, වඩාත් විස්මයට තුඩු දෙන තවත් කාරණයක් නම්, පොදු ප්‍රවාහන සේවා නිරන්තරයෙන් භාවිත කරන්නන් සහභාගිකරවා ගනිමින් 2016 වසරේ දී ඔක්ස්ෆෑම් (Oxfam) ආයතනය විසින් කළ එවැනිම අධ්‍යයනයක දී ද අනාවරණය වූ, සාක්ෂිකරුවන්ගෙන් 82% ක් එවැනි සිදුවීම්වලට මැදිහත් නොවූයේ එම හිරිහැර කිරීමේ සිදුවීම් “ඔවුන්ට අදාළ දෙයක් නොවන” බවට ඔවුන් තුළ තිබූ විශ්වාසය යි.



මැදිහත් වීමේ සහ නොවීමේ කඩඉම:



මැදිහත් නොවීමේ හා උදාසීනත්වයේ මෙම ආකල්පය, කාන්තාවක් සිය නිවාසය තුළ ම ගෘහස්ත හිංසනයට ලක්වීම, ජනවාර්ගික හෝ ආගමික සුළුතරයකට අයත් සාමාජිකයින් ප්‍රසිද්ධියේ හිරිහැරයට ලක්වීම, ළමයකු අපයෝජනය වීම, නොඑසේ නම් දේශපාලනික බලපෑම මත කිසියම් ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදුවීම යන ඒ සියලු සිදුවීම් තුළ කැපී පෙනෙන්නට තිබේ.



පුද්ගලයින් සෑම විටම පාහේ අනතුරු ඇඟවීම් සංඥා දකින අතර ඇතැම් විට ඔවුන් එම සිදුවීමටම සාක්ෂි දරයි, නැතහොත් එය එසේ සිදුවන බවට ඔවුහු දනිති. එහෙත් වින්දිතයාට සහාය දැක්වීමට එක් වෙමින් ඔවුන් වෙනුවෙන් හඬක් නැගීමට ඉදිරිපත් වන්නේ ඉතා අතළොස්සක් පමණි. ඇතැම්විට කිසිවකුත් එසේ කරන්නේ නැත.




නමුත් ශ්‍රී ලංකාවේ වීදියක සිදු වන හදිසි අනතුරක් හා මෙය සංසන්දනය කරන්න. කෑමොර දෙන, නළා නාද වන, වීදුරු බිඳී ඇති අවස්ථාවක් ගත් විට වීදියේ දී විශාල පිරිසක් වින්දිතයින්ට සහාය දැක්වීම (ඇතැම් විට සහාය අවශ්‍ය ප්‍රමාණයටත් වඩා) සඳහා එම ස්ථානයට එක්රොක් වනවා ඇත.



මැදිහත් නොවී පසෙකට වී සිටින නරඹන්නාගේ ප්‍රතිචාරය කියාපාන මෙම සංසිද්ධිය තවත් ප්‍රශ්න රාශියක් මතු කරයි. මිනිසුන් ප්‍රතික්‍රියා කොට මැදිහත් වන්නේ  කුමනාකාරයේ අවස්ථා සඳහාද? හදිසි අනතුරකදී හෝ වේවා, ස්වාභාවික විපතකදී හෝ වේවා, අයුක්තිසහගත හෝ හිරිහැරයට පත්වන සිදුවීමකදී හෝ වේවා, ම්ලේච්ඡ ක්‍රියාවකදී හෝ වේවා, වෙනත් අයකු දුක් විඳින මොහොතක, අපගේ  පුද්ගලික ප්‍රතිචාරයට හේතු වන්නේ කුමක්ද?

උදව්  කිරීමට හෝ ඉවත්ව යෑමට පුද්ගලයකු ගත් තීරණයට හේතු වන සාධක මොනවා ද? මැදිහත් නොවීමට හා උදාසීනබවට  සමාජයීය පිරිවැයක් තිබේ ද? සරලව එය අපට ගෙවිය නොහැකි පිරිවැයක් ද?

පොදු අවධානය යොමු කළ යුතු, මහජන උනන්දුවට ලක් විය යුතු සහ තමන්ගේ පෞද්ගලික ලෝකයෙන් ඔබ්බට යන කාරණා ගැන සැලකිලිමත් වන, සක්‍රිය පුරවැසි සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් මෙම ප්‍රශ්න පිළිබඳව නැවත මෙනෙහි කරන ලෙස අප ඔබට ආරාධනා  කරමු.





පුද්ගලයෙකුගේ ජාතිය, ආගම හෝ වෙනත් අසමාන කාරණා නොසලකා හරිමින්, අයුක්ති සහගත ලෙස පීඩා විඳින ඕනෑම අයෙකුගේ යහපත වෙනුවෙන් කථා කිරීමට තරම් එඩිතර බවක් ගොඩනැගීමට හා පෝෂණය කිරීමට අප ප්‍රායෝගික ක්‍රම සොයාගත යුතු ය.





කළු ජූලියේ රූපරාමු

1983 SRILANKA
සිංහල තරුණයින් පිරිසක් විසින් දෙමළ තරුණයෙකු බො‍රැල්ල බස් නැවතුම්පොළ අසලදී නිරුවත් කර ඇති අයුරු. (ජායා -චන්ද්‍රගුප්ත අමරසිංහ)



1983 වසරේ කුප්‍රකට කළු ජූලි සමය වෙත ගමන් කරන විට, කණ්ඩායම් අතර උදව් උපකාර කිරීම සහ නොකිරීම යන කාරණා දෙක සම්බන්ධයෙන් සිත් කාවදින රූපරාමු අපට දැකගත හැකි ය.

මෙහි දී, දක්ෂ සිංහල ඡායාරූප ශිල්පියෙකු වන චන්ද්‍රගුප්ත අමරසිංහ, ඔහුගේ කැමරාවෙන් එම අවාසනාවන්ත මාසයේදී ගනු ලැබූ ඡායාරූප, අපේ  කාලයේ  අඳුරුතම අවස්ථා කිහිපයක් සනිටුහන් කරයි. එම ඡායාරූප අතුරින්  වඩාත්ම සිතට කාවදින පින්තූරය වන්නේ, තරුණ, දමිළ ජාතිකයෙකු යයි සිතිය හැකි නිරුවතින් වාඩි වී සිටින පුද්ගලයෙකුට සිංහල තරුණයෙක් පයින් ගැසීමට සූදානම්ව සිටින ඡායාරූපයයි.

අපරාධකරු තමා වෙත යොමු වූ කැමරාවට සිනාසෙමින් ඔහුගේ ප්‍රහාරයට සූදානම් වන අතර ප්‍රේක්ෂකයෝ ඒ දෙස බලා සිටිති. අමරසිංහ පසුව තහවුරු කළේ එම පුද්ගලයා ඝාතනය වූ බව යි. අමරසිංහගේ මෙම ඡායාරූපයේ සහ අනෙකුත් ඡායාරූපවලද මෙය පොදු දෙයක් ලෙස දැකිය හැක. එනම් සෑම විටම ඒ හැම තැනක ම ප්‍රේක්ෂකයන් සිටීම යි.

හමුදාව හෝ පොලිසිය යන එවැනි අවස්ථාවන්ට මැදිහත් වීමට නීතියෙන් නියම කර ඇති අයගෙන් පවා ඇතැම්විට මේ සඳහා පැවතියේ ද නිහඬ ප්‍රතිචාරයකි [1].




පසුකාලීනව අමරසිංහට- මෙහි දී මැනවින් පසක් වන නමුත් අපහසු ප්‍රශ්න කිහිපයකට මුහුණ දීමට සිදුව තිබේ : එනම්, එවැනි දැවෙන වාතාවරණයක් තුළ ඔහුගේ කාර්යභාරය කුමක් ද? හිංසනයට ලක් වූ සුළුතරයකගේ බිහිසුණු කතා වස්තුන් පසු පරම්පරාව සඳහා ග්‍රහණය කර ගැනීම ද? නැතහොත් ඔහුගේ  කැමරාව පසෙකට දමා එම සිදුවීමට මැදිහත් වී එය වෙනස් කිරීම ද?



අමරසිංහ මුහුණ පෑ උභතෝකෝටිකය බොහෝ ආකාරවලින් අපගේ උභතෝකෝටිකය ද වේ. වෙනත් කෙනෙකු විපතකට පත්වීමේ සිදුවීමක් අප ඉදිරියේ දිගහැරුණේ නම්, අප තෝරාගන්නේ අපගේ ජංගම දුරකථනය හා ක්ෂණික ගෝලීය ප්‍රවේශය මගින් ඉතිහාසය විශ්වාසවන්තව පටිගත කරන්නෙකු වීමට ද නැත්නම් ඉතිහාසය වෙනස් කිරීමට මැදිහත් වූ නියෝජිතයෙකු වීමට ද?

1983 ජූලි මාසයේ වෙනත් සිදුවීම් පිළිබඳ වාර්තා මගින් ද පැහැදිලව ම පෙනී යන්නේ එවැනි අවස්ථාවන්ට මැදිහත් වීම සහ උපකාර කිරීම මගින් ජීවිත බේරා ගත හැකි බව යි.

Groundviews යනු උදව් උපකාර කිරීම සහ මැදිහත්වීම පිළිබඳ කථා සම්පාදනය කරන ලේඛනාගාරයකි. "සදාතනික වීරයන්: කළු ජූලියේ  නොකී කතා" ආදියෙන් සිංහල ජනයා තම දමිළ අසල්වැසියන්ට, මිතුරන්ට, සගයන්ට හෝ නෑදෑයින්ට උදව්  කළ අවස්ථා ‘කතා සිතියමක්‘ මාර්ගයෙන් මෙහිදී ඉස්මතු කරපෙන්වයි.

මැරයන් විසින් මිනිසුන්ට සහ දේපළවලට පහර දීම වැළැක්වීම, දමිළ පවුල්වලට ඔවුන්ගේ නිවෙස්වල රැකවරණය ලබා දීම සහ කොළඹ අවට පිහිටුවා ඇති අවතැන් කඳවුරුවලට යෑමට සිදු වූවන්ට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීම යනාදී ක්‍රියා හරහා එම මැදිහත්වීම් සිදු වී තිබුණි. කොළඹ 4 සාගර පාරෙහි හි එක් කතාවක් මෙසේය:



කොළඹ 4, සාගර පාර : 83- ජූලි




“ඔවුන් එන විට සවස 3ට හෝ 4ට විතර ඇති. අපි ඔක්කොම සිටියේ පාරේ. ජෙසුයිට් දේවස්ථානය ඉදිරිපිට දමිළ නිවසක් තිබුණා. පූජකවරයා පැමිණ එම නිවසේ දොරටුව අසල සිටගෙන හිටියා. ඔහු ඔවුන්ට කිව්වේ කුමක්දැයි කියන්න මම දන්නේ  නැහැ. නමුත් ඔවුන් ඉවත්ව ගියා. ඔහුගේ මැදිහත්වීම නොතිබුණා නම් එම නිවසට පහර දීමට ඉඩ තිබුණා…”


සමාජ මනෝ විද්‍යාවේ පරාර්ථකාමී හැසිරීම (Altruistic behavior) පිළිබඳ අධ්‍යයනයන් හෙළි කරන්නේ අන්‍යයන්ට උදව්  කිරීමට උත්සාහ කරන අයට, තමන් විසින්ම නිර්මාණය කර ගන්නා උණුසුමෙන් බොහෝ දේ ළඟා කරගැනීමට ඉවහල් වන බවය [2].




ඒ සඳහා බොහෝ කරුණු සාක්ෂි දරයි. මිනිස් ජීවිතයට වටිනාකමක් දෙන ආචාරධර්මයන් පැවතීම, ඇතැම් විට වින්දිතයන් කිසිසේත් නොදැන සිටින අවස්ථාවක පවා ඔවුන් වෙනුවෙන් ස්ථාවරයක් ගැනීමට සමහරුන්ව පෙළඹවිය හැකිය. සමහර සිංහල පවුල් පළිගැනීමේ අවදානමට ලක් වූ නමුත් එය නොතකමින් වින්දිත දමිළ අසල්වැසි මිතුරන්ට සහ සගයන්ට සහයෝගය දැක්වීමට පියවර ගැනීම මෙහි දී නිදසුනක් ලෙස දැක්විය හැකි ය.

මන්ද ඔවුන් පීඩාවට පත් වූවන් සමඟ පූර්ව සබඳතා පවත්වා ඇති නිසා, එසේ නොමැති නම්, වෙනත් දමිළ ජනතාව සමඟ අඩුම වශයෙන් සම්බන්ධතා හෝ  පවත්වා ඇති නිසා ඔවුන්ට වේදනාව ඉතා පහසුවෙන් හඳුනා ගැනීමට හැකියාව තිබුණු අතර අයුක්තිය සම්බන්ධයෙන්  ඔවුන් තුළ ඇති වූ කෝපයට හේතුව මෙය වීමට ද පුළුවන.

මේ තුළින් පැහැදිලව පෙනෙන කාරණය නම්, වෙනත් වාර්ගික කණ්ඩායම් සමඟ ක්‍රියා කිරීම සහ සම්බන්ධතා පැවැත්වීම මගින් කෙනෙකු “අනෙක් අයගේ අනන්‍යතාව” පොදු අනන්‍යතාවක් හා සහසම්බන්ධ කරගැනීමට ඉඩ ප්‍රස්ථාව ලැබීමය.




ආර්ථිකමය වශයෙන් ගත් කළ, 1983 ජූලි මස සිදු වූ විනාශය ශ්‍රී ලංකාව දශක ගණනාවක පසුබෑමට ලක් කළ බව [3] දන්නා නමුත් පුද්ගලයින් බෙදීමකට භාජනය වීමෙන් සිදු වූ සමාජ පිරිවැය ගණනය කිරීමක් මෙතෙක් සිදු වී නොමැති බව ද අපි දනිමු.



එහෙත්, වසර 27ක් පුරා පැවතුණු යුද්ධයේ සමාජ පිරිවැය, ජීවිත දහස් ගණනක් අහිමි වීම, විශ්වාසය, සමගිය හා ස්ථාවරත්වයේ බිඳීයෑම, පෞද්ගලික වශයෙන් ඇති වූ කම්පනයන් සහ ආයතනික වශයෙන් සිදු වූ විනාශය ගණනය කිරීමට පවා හැකි  ද?

එයට එරෙහිව ක්‍රියාත්මක වූ ඒ දෙස විවේචනාත්මක බැලූ ප්‍රේක්ෂක පිරිසකගේ මැදිහත් වීමෙන් එය වළක්වා ගන්නට හෝ නැතිනම් අවම කර ගැනීමට ඉඩ තිබුණා ද?





බස් රථයක සිටින ප්‍රේක්ෂකයින්ට පොදු ප්‍රවාහනයේ දී බහුලව සිදුවන ලිංගික හිංසන සංස්කෘතිය වෙනස් කළ හැකි ද? වීදිවල සිදුවන ළමා අපයෝජන, ගෘහස්ථ හිංසනය හෝ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමට අදාළ අසල්වැසියන්ට සහ වෙනත් අයට හැකිද? “නරඹන්නාගේ  බලපෑම” (Bystander effect) යනු සැබවින්ම කුමක්ද? එය සැමට සුරක්ෂිත සමාජයක් නිර්මාණය කිරීමට යොදා ගත හැකි ද?



පසෙකට වී සිටින නරඹන්නාගේ හැසිරීම





1969 වසරේ දී නිව්යෝර්ක් නගරය, ලෝකයට සිතීමට තවත් සුවිශේෂී ඛේදවාචකයක් ලබා දුන්නේය. එනම්, කිටී ජෙනොවේස් නම් තරුණිය පැය ගණනක් උපකාර ඉල්ලා කෑගැසීමෙන් පසුවත් ඇයගේ නිවසේදීම පිහි ඇනුමකට ලක්ව ඝාතනය වීමේ සිදුවීම ය.

සිත සසල කරවන කාරණය නම්, අනවසරයෙන් ඇතුළු වූ තැනැත්තා වරක් ඇයගේ මහල් නිවාස ගොඩනැගිල්ලට ඇතුළු වී පිහියකින් ඇන, රාත්‍රියේදී නැවත පැමිණ පහර දී අවසානයේ ඇයව මරා දැමීමයි.

සමාජ මනෝ විද්‍යාඥයින් දෙදෙනෙකු වන ඩාර්ලි සහ ලතේන් ඇතුළු ව තවත් බොහෝ දෙනෙක් මෙහිදී  ඇසූ ප්‍රශ්නය වූයේ ජෙනොවේස් මහත්මිය උපකාර ඉල්ලා කළ කෑගැසීම ඇසුණ ද ඇයගේ අසල්වැසියන් බොහෝ දෙනෙක් ඊට සම්බන්ධ නොවූයේ මන්ද යන්න යි. පුවත්පත් වාර්තා ආශ්‍රයෙන් කළ ගැඹුරු විමර්ශනයකින්ද  අනාවරණය වූයේ  NYPD වෙත ඇමතුම් ලබා දී තිබූ  නමුත් කිසිවෙකු ශාරීරිකව ඇය වෙත ළඟා වීමට හෝ ඇයගේ ජීවිතය බේරා ගැනීමට උත්සාහ නොකළ බව යි.




කිටී ජෙනොවේස් සිදුවීමෙන් පන්නරය ලත් සමාජ මනෝ විද්‍යාඥයින් දෙදෙනෙකු වන ඩාර්ලි සහ ලතෙන් [4] යමෙකුට උදව් උපකාර සහ ආරක්ෂාව අවශ්‍ය වන අවස්ථාවන්හි දී පුද්ගලයන් ක්‍රියාත්මක නොවීම/ ඒ වෙනුවෙන් මැදිහත් වීමට පැකිළීම විස්තර කිරීම සඳහා "Bystander Behavior" (පසෙකට වී සිටින නරඹන්නන්ගේ හැසිරීම) යන යෙදුම නිර්මාණය කරන ලදි.



මෙම නරඹන්නාගේ හැසිරීමේ ප්‍රධාන ලක්ෂණය වනුයේ යමෙකුට පැහැදිලවම උපකාර අවශ්‍ය වූ විට පවා වෙනත් අය එහි සිටින නිසා සහ වෙනත් අයෙකු මැදිහත් වනු ඇතැයි යන උපකල්පනය නිසා එයට මැදිහත් නොවීමට මිනිසුන් පෙළඹවී සිටීම ය. ඩාර්ලි  සහ ලතෙන් තර්ක කරන්නේ යම් සිදුවීමක් අවට  සිටින පිරිස වැඩි නම්, ඕනෑම පුද්ගලයෙකු ඉදිරිපත් වී සහාය දැක්වීමට ඇති සම්භාවිතාව අඩු බවයි.



83 ජූලි: තරුණ ප්‍රහාරකයකුගේ අතීත ආවර්ජනය:




ඉතිහාසඥයකු හා විද්වතකු වන නිර්මාල් දේවසිරි යනු, 83 කළු ජූලි ප්‍රහාරය වැනි අපරාධයකට හවුල්වීම පිළිබඳ පසුතැවිලි වන තැනැත්තන්ගෙන් කෙනෙකි.

විකල්ප නාලිකාව [5] පළ කරන ලද දුර්ලභ යූ ටියුබ් වීඩියෝවක දී දේවසිරි, තරුණ සිසුවෙකු ලෙස ඔහු සහ ඔහුගේ පංතියේ ළමයින් ද්‍රවිඩ ජාතිකයෙකුට අයත් කුඩා කඩ පිලකට පහරදීම සම්බන්ධයෙන් වූ සිදුවීමකට සම්බන්ධ වූයේ කෙසේ ද යන්න පිළිබඳව සාකච්ඡා කරයි.



මෙයට ගුරුවරු හා හමුදා නිලධාරීන් ද ඇතුළත් වූ බව විස්තර විචාරයේ දී ඔහු ප්‍රේක්ෂකයින්ට ව්‍යංගයෙන් හඟවයි. තරුණ දේවසිරි සහ ඔහුගේ  මිතුරන් විසින් සිදු කරන ලද සාපරාධී ක්‍රියාවන් හමුවේ ඔහුගේම පාසලේ ගුරුවරුන් සහ නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් නිහඬව සිටි අයුරු පිළිබඳ ව ඔහු මෙහි දී සිහිපත් කරයි.

ඇතැම් කුඩා වැරදි හමුවේ තරවටු කරන වැඩිහිටියන් ද මොරටුවෙහි පිහිටි දමිළ කඩයකට වාර්ගික උසිගැන්වීමක් මත සිදු වූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන්  මුනිවත රකින ලදි. මොවුන් ද පසෙකට වී සිටි නරඹන්නන් යන කොටසට අයත් වේ. මන්දයත් මොවුන්ගේ මෙම අප්‍රකාශිතභාවය සහ නිහඬ බව,  පිළිගැනුම සහ අනුමත කිරීමක් ලෙස තරුණ නීති කඩ කරන්නන්ට ඇතැම් විට රුකුලක් වන්නට ඇති බැවිනි.

සිත්ගන්නා කරුණ නම්, මෙම අසාමාන්‍ය හෙළිදරව්ව තුළ පවා දේවසිරි සහ ඔහුගේ මිතුරන්ගේ ක්‍රියාවෙහි බරපතළකම එලෙසින්ම අර්ථකථනය නොවී, ලජ්ජාශීලී සිනහවෙන් මෙය තරුණ කමට සිදු වූ දෙයක් ලෙස නිර්වචනය වීමය. නැතිනම් "කොලුකමට" ඉංග්‍රීසියෙන් "boys would be boys" යන අරුත් දෙන වදන්වලින් මෙය නිර්වචනය වීමයි.

නමුත්, මෙම සම්මුඛ සාකච්ඡාවේ දී දේවසිරි හැඟීම්බරව ප්‍රකාශ කළ “මෙවැනි සිදුවීමක් කිසි විටෙකත් පුනරාවර්තනය නොවනු ඇත” යන කියමන ද පරයා, අද වන විට ක්‍රිස්තියානි පල්ලිවලට, මුස්ලම් ප්‍රජාවට සහ ව්‍යාපාරවලට එරෙහිව එල්ල වන පෙර සිදු වූ ප්‍රහාරයන් ට සමාන ප්‍රහාර කරණකොටගෙන මෑතකාලීන ඉතිහාසය නැවත නැවතත් ඔහුව සමච්චලයට ලක් කිරීම පුදුමයට තුඩු දෙන කරුණක් බවට පත් වී ඇත.




2019: කුලියාපිටිය හා මිනුවන්ගොඩ



මෙම  ප්‍රහාරයන්ගෙන් වඩාත් මෑතකදී දැකගත හැකි වූ ප්‍රහාරය වන්නේ, 2019 වසරේ පාස්කු ඉරිදා බෝම්බ පිපිරීමෙන් පසුව කුලියාපිටිය හා මිනුවන්ගොඩ ප්‍රදේශවල සිදු වූ ප්‍රහාරයන්ය.

83 සිද්ධීන්ට සමානව මෙහිදී ද, බොහෝ ප්‍රහාරයන් ඇඳිරි නීතිය තැකීමට නොගෙන දියත් වූ ඒවා විය. ප්‍රහාරකයින් කොපාවේශ වී ප්‍රහාරයන් දියත් කරන විට හමුදා නිලධාරීන් හා පොලීසිය ඇතුළු මහජනතාව හුදෙක් බලා සිටි බවට බොහෝ වාර්තාවන්හි සඳහන් වී තිබුණි. විශේෂයෙන් මුස්ලම් කාන්තාවන් මෙම ප්‍රහාරයන්ට ගොදුරු වූ  අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට කිසිවෙක් උපකාර කිරීමට ඉදිරිපත් නොවූහ:

“32 හැවිරිදි නීතිඥවරියක වන ඉනාස් ජින්නා මහත්මිය වෙත නාඳුනන පුද්ගලයෙකු පැමිණ, "ඔය ජරාව (ඇයගේ  හිජාබ් වස්ත්‍රය ගැන සඳහන් කරමින්) ඔළුවෙන් ගලවලා, විසික්කරලා, මේ  රටෙන් යන්න" ලෙසට පවසා ඇත. ඇය පවසන අයුරින් අසල සිටි ආරක්ෂක නිලධාරියා එහි දී  කිසිවක් නොකර මුනිවත රැක ඇත.”[6]



gettyimages 1145323332Sri Lankan protesters hold placards at a demonstration in Colombo on May 21, 2019. ISHARA S. KODIKARA/AFP/GETTY IMAGES



මෙහි දී නීතිය ක්‍රියාත්මක කරන්නන්ගෙන් දිගින් දිගටම දක්නට ලැබෙන  ඉදිරිපත්/මැදිහත් නොවීමේ ලක්ෂණය පිළිබඳව ප්‍රශ්න මතු කරයි. ඔවුනට බලය පැවරී තිබුණත් කෙනෙක් යම් හිංසනයකට ලක් වන අවස්ථාවකදී ඔවුන්ගේ මැදිහත් වීම වළකාලන හේතු මොනවාද? ඒ කවර හෝ අයුරින් ඔවුන්ගේ කාර්යභාරය සහ යුතුකම ඔවුන්ට පැහැදිලි වී නැති බවක් පෙන්නුම් කරයි ද?

නැතිනම් මනුෂ්‍යයන් වශයෙන් ඔවුන් තුළ ඇති පෞද්ගලක පක්ෂග්‍රාහීත්වයන් මෙමගින් පිළිබිඹු කරයි ද? එසේ මැදිහත් නොවන්නේ අපරාධකරු සමඟ ගැටීමට ඇති  බිය නිසා ද? බල ව්‍යුහයන් මගින් යම් අයුරකින් ඔවුන්ගේ පියාපත් සිඳ දමා තිබේ ද? නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පුහුණු පාසල්වලදී මෙම ගැටලු පිළිබඳව කවදා හෝ සාකච්ඡා කර තිබේ ද?



වඳ පෙති සහ වඳ කොත්තු



විශේෂයෙන් සිංහල ප්‍රජාව ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ සරුභාවය අඩු කිරීම සඳහා මුස්ලම් ව්‍යාපාර විසින් ආහාර, ටොෆි වැනි පැණි රස ආහාරවල, සහ යට ඇඳුම්වල පවා වඳ ඖෂධ ඇතුළත් කර ඇති බවට 2012 වර්ෂයේ දී ජනප්‍රි මාධ්‍යවල කතාවක් පැතිරෙන්නට විය.



ලෝක සෞඛ්‍ය  සංවිධානය විසින් මෙය අසත්‍ය බවත් එවැනි දෙයක් කළ නොහැකි බවත් පුන පුනා ප්‍රකාශ කර තිබියදීත්, මෙම කතාව සමාජ මාධ්‍ය හරහා ලැව්  ගින්නක් මෙන් පැතිර යන බවක් පෙනෙන්නට තිබුණි. එහෙත්  ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) සහ දැනට ඇති ප්‍රධාන වෘත්තීය සමිතිය වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ඇතුළු වෛද්‍ය සංගම්  සමූහය මේ  පිළිබඳව කිසිදු මතයක් ඉදිරිපත් නොකර දැඩි නිහඬතාවයක පසු විය.




මෙම  කටකතාව පැහැදිලිව ම මනහ්කල්පිත වූවත්, විවෘතව ද්වේශය හා සැකයන් ඇති කළත්, ප්‍රජාවන් අතර ගැටීම්  වර්ධනය කළත්, මුස්ලම් විරෝධී හැඟීම් අවුස්සන මෙවලමක් ලෙස මෙම වැරදි තොරතුරු පැහැදිලව හඳුනාගත හැකි වුවත්, මේ සඳහා හඬක් නැගිය හැකි කතා කිරීමට බලය ඇති ප්‍රජා වෛද්‍ය වෘත්තිකයෝ මෙහි දී නිහඬව ම සිටියෝ ය. සියලුම වෘත්තීයවේදියෝ මුනිවත රැක්කෝ ය.

2018 වසරේ දී "වඳ පෙති" කතාවක් පදනම් කරගෙන අම්පාරෙහි විසූ  මුස්ලම්වරුන්ට පහර දීමේ  සිදුවීමෙන් අනතුරුව පමණක් වෛද්‍යවරු කිහිපදෙනෙක් මෙය සත්‍ය වශයෙන්ම මිථ්‍යාවක් යැයි පැවසීමට ඉදිරිපත් වූහ.

අන්ත-ජාතිකවාදීන්ගේ කෝපයට භාජනය වීමට ඇති බිය සහ ද්‍රෝහියෙකු ලෙස හංවඩු ගසනු ඇතැයි යන බිය, මෙවැනි භයානක ලෙස ගොතන ලද කථාවලට එරෙහිව කතා කිරීමට යම් බලතල තිබූ වෘත්තිකයන් නිහඬ කිරීමෙහිලා වැදගත් කාර්යභාරයක් ඉටු කළ බවට සැකයක් නැත. ඇත්ත වශයෙන්ම මෙම  බිය සඳහා ප්‍රමාණවත් හේතුවක් තිබුණි.

එනම්, අන්ත-ජාතිකවාදී සිංහල ජාතිකයින් පිරිසක් විසින් මුස්ලිම් සාප්පුවලට අනුග්‍රහය දැක්වූ සිංහල ජනතාවට බිත්තරවලින් පහර දී පරුෂ වචන භාවිතා කරමින් ඔවුන්ව වාචිකව අපයෝජනයට ලක් කළ බව අප සැම දන්නා කරුණකි. ප්‍රචණ්ඩත්වයට, හංවඩු ගැසීමට සහ නෙරපා හැරීමට ලක් වීමට ඇති බිය, මැදිහත් වීම වළක්වනු පිණිස ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ බවට මෙහි දී සැකයක් නැත.




රාමක්‍රිෂ්ණා පාර: 1983



14a borella rioters 1983 burning e1469110569248
මෙය යළි සංවේදී ලෙස නිදර්ශනය කර ඇත්තේ 1983 නිශාන්ගේ "බාල්දිය හෝ වාල්දිය": එක් අක්ෂරයකින් වෙන් වූ ලෝක දෙකක්: යන කතාංගයෙනි:

“අපි ජීවත් වූයේ කොළඹ පිහිටි ප්‍රධාන වශයෙන් දෙමළ ජනයා වාසය කළ වැල්ලවත්ත ප්‍රදේශයේ. අපට සිංහල අසල්වැසියන් දෙදෙනෙක් සිටියා; අප අවට ඇති අනෙක් සෑම නිවසක්ම හා ආයතනයක්ම අයිති වූයේ දෙමළ ජාතිකයන්ට. ඒ නිසා මම මගේ ආරක්‍ෂිත "සිංහල බැල්කනිය" ඔස්සේ දුටු දේ මා වඩාත් භීතියට පත් කළා. විවිධ හැඩයන්ගෙන් හා ප්‍රමාණයන්ගෙන් යුත් යගදා, යකඩ පොලු, පිහි ආදිය රැගත් මිනිස්සුන්ගෙන්, අඩි 30ක් පමණ පළල රාමක්‍රිෂ්ණා පාර අවහිර වී ඇති අයුරු මා දැක්කා. ඔවුන් දැකීමට පෙර පවා අපට ඔවුන්ගේ සංඥා දැක ගැනීමට පුළුවන් වුණා. දෙමළ නිවෙස්වලින්  ගිනිගෙන  දැවෙන දුමාරය පාර දක්වා ම පැතිරී තිබුනා. මිනිසුන් බියෙන් කෑගසන භයානක මරළතෝනි හඬ අපට ඇහෙද්දී, මගේ  අම්මා නොනවත්වා කෑ ගසා අඬන්නට වුණා.”[7]

භීතිය ඇතැමුන් නිහඬ කර වෙනතක් බලාගැනීමට යොමු කරද්දී, තවත් සමහරෙක් තමන්ට ප්‍රහාර එල්ල වීමට තර්ජනයක් ඇති බව දැන දැන ම අසල්වැසියන් හට පිළිසරණක් වූහ. මෙම  වෙනසට හේතුව කුමක් ද?

ජීවිතයක් බේරා ගැනීම ඇතුළුව තවත් කෙනෙකුට උපකාර කිරීමට අවදානමක් ගන්නේ කුමන අවස්ථාවේදී ද සහ ඒ මක් නිසා ද යන්නෙහි වෙනසක් ඇති කිරීමට සිත්ගන්නාසුලු මැදිහත් වීමේ විචල්‍යයන් සමූහයක් හේතු වන බව පෙනේ.

මෙසේ උදව් කළ පුද්ගලයින් බොහෝ විට (සැමවිටම නොවේ) පුද්ගලික සම්බන්ධතාවක් අනෙකා සමඟ ගොඩනගා ගෙන තිබුණි. - මිතුරන්, සගයන් සහ අසල්වාසීන් - එම නිසා, අනාගත උපකාරක හැසිරීම තීරණය කිරීමේදී පුද්ගල කණ්ඩායම් අතරෙහි පවතින ක්‍රියා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇති බව මෙමගින් තේරුම් ගැනීමට පුළුවන් වේ.

දෙවනුව, උපකාරකයින්ට උපකාර කිරීම සඳහා යම් තරමක සමාජ ප්‍රාග්ධනයක් තිබිය යුතු බව පැහැදිලි වේ. උදා: ජේසූ නිකායික පූජකවරයාගේ සිද්ධියේ දී මෙන්, මෙම සමාජ ප්‍රාග්ධනය ප්‍රජාවක් තනතුරු කෙරෙහි දක්වන ගරුත්වය, ඔවුන්ගේ සම්බන්ධතා සහ ආශ්‍රය කරන පිරිස හෝ වෘත්තීය තත්ත්වය හෝ ප්‍රත්‍යක්ෂ වන වෙනත් ශක්තියක් හා සම්බන්ධ කළ හැකි ය.




හෙන්රි ටජ්ෆෙල් වැනි න්‍යායාචාර්යවරුන් සමාජ කාණ්ඩ සහ කණ්ඩායම් පදනම් වූ අනන්‍යතාවන් මඟින් විපතට පත් වූ කෙනෙකුට ප්‍රතිචාර දැක්වීම තීරණය වන ආකාරය පිළිබඳව සඳහන් කර ඇත. ඔහු පැවසූයේ, වින්දිතයා තම "කණ්ඩායමේ" කෙනෙක් ලෙසට හෝ ඔහු/ඇය හා සම්බන්ධ කිසියම් පොදුභාවයක් ඇති බවට හෝ අනන්‍යතාවක් ඇති බවට හැඟී ගියහොත්, බොහෝ විට එම පුද්ගලයා අනෙකාට උපකාර කිරීමට හෝ සක්‍රිය නරඹන්නෙකු වීමට පෙළඹෙන  බවයි.



සක්‍රිය නරඹන්නන් පෝෂණය කිරීම:



උදාසීනබව අවම කරන, පරාර්ථකාමිත්වය සහ උපකාරක හැසිරීම් වර්ධනය කරන සාධක නැතහොත් ජාතිය, ස්ත්‍රී පුරුෂ භාවය, ප්‍රදේශය, සමාජ තත්වය හෝ  වෙනත් ඕනෑම ආකාරයකින් අපට වෙනස් පුද්ගලයන් සමඟ මිත්‍රත්වයක් ඇති කර ගැනීමට ඉවහල් වන සාධක සමාජ විද්‍යාඥයින් “හරස් කණ්ඩායම් අන්තර්ක්‍රියා” (cross group interaction) ලෙස හඳුන්වයි.

අපගේ (සම ජාතීය) කවයෙන් ඔබ්බට ගිය වෙනත් සබඳතා, අන්තර්ක්‍රියා සහ ආශ්‍රයන් වැඩි වන තරමටම, අනෙක් පුද්ගලයන් සමඟ හා වීම, අනෙක් පුද්ගලයා තම අනන්‍යතාවයේ කොටසක් ලෙස දැකීම වඩාත් පහසු කරවයි. වාර්ගික අනන්‍යතා අභිබවා ගිය වඩාත් අන්තර්ග්‍රහනීය අනන්‍යතාක් එනම් ජාතික අනන්‍යතාවක් වර්ධනය කර ගැනීම තුළින් හුදෙක් මම “සිංහල” “දමිළ” “මුස්ලම්” හෝ වෙනත් වාර්ගික කණ්ඩායමකට අයත් පුද්ගලයෙකු ලෙස නොව තමා “ශ්‍රී ලාංකිකයෙකු” ලෙස දැකීමට ඉඩ සලසයි.

මෙසේ බලන කල, අයුක්තියට ගොදුරු වූවන් කෙරෙහි සදාචාරාත්මක වගකීමක් සහිත හැඟීමකින් යුතුව කටයුතු කිරීමටත්, සමාජීය හැසිරීම් සහ සක්‍රිය පුරවැසිභාවය ප්‍රවර්ධනය කිරීම සිදු කරන අතරතුර අන් අය සමඟ එක්ව කටයුතු කිරීමටත් පොළඹවන්නේ අන්තර්ග්‍රහණීය අනන්‍යතාවයි.



කෙසේ වෙතත් වර්තමාන ශ්‍රී ලාංකික සන්දර්භය තුළ ප්‍රාථමික, ද්විතීයික මට්ටමින් පමණක් නොව තෘතීයික මට්ටමින් ද පවතින්නේ වැඩි වැඩියෙන් ධ්‍රැවීකරණය හා වෙන් කිරීම සිදු කරන අධ්‍යාපන පද්ධතියකි. වැඩි වශයෙන් ශ්‍රී ලංකාවේ දරුවන් වර්ධනය වන්නේ අනෙකුත් ආගමික, සංස්කෘතික හෝ වාර්ගික පසුබිමකට අයත් එකදු මිතුරෙකුගේ හෝ ආශ්‍රයක් නොමැති පරිසරයක ය.

 භාෂාව ප්‍රධාන බාධකය වීම මෙම බෙදීම් හා ඛණ්ඩනය කිරීම තවදුරත් දැඩිව සිදු වීමට හේතුවකි. මෙමගින් මුළුමනින්ම පසක් වන්නේ “බෙදීම් තුළින් පාලනය”යන කෲර ප්‍රතිපත්තිය එහි මහ මොළකරුවන්ගේ අභාවයෙන් ඔබ්බට ද ජීවත් වූ බවකි.





ජාතියේ හදවත් හා මනස හැඩගැස්වීමේ ප්‍රධාන භූමිකාව නැවත ලබා ගැනීම/රඳවා ගැනීම සඳහා අධ්‍යාපන ක්‍රමය මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය මෙය වේ. මේ වෙනුවෙන්, සමාජ ඒකාබද්ධතාව සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීම සඳහා නිර්මාණය කරන ලද වැඩසටහන් විශේෂයෙන් අධ්‍යාපන සැකසුම් තුළ කියාත්මක කළ යුතු වේ.


One Nation12
තව ද, ශ්‍රී ලංකාව කෙදිනක හෝ වර්ගවාදය හා වාර්ගික උසිගැන්වීම් ප්‍රචණ්ඩත්වයේ සංස්කෘතියට ඵලදායී ලෙස පිළිතුරු දීමට නම්, මෙම භූමියේ වෙසෙන මුස්ලම්, දෙමළ සහ සිංහල දරුවන් එකට එක්ව කටයුතු කිරීම වෙනුවෙන් පොදු අනන්‍යතාවක් ගොඩනගා ගැනීම සඳහා වන අවස්ථා, සහ ක්‍රියාකාරකම් ඇති කර දිය යුතු වේ.


ධනාත්මක නරඹන්නන් පුහුණු කිරීම:



වඩාත් මෑත කාලවලදී නරඹන්නන්ගේ බලපෑම් න්‍යාය අභියෝගයට ලක් වී ඇති අතර තවදුරටත් එය වර්ධනය වීමට මෙමගින් පිටිවහලක් වී ඇත. වෙනත් නරඹන්නන් සිටීම උපකාර කිරීමේ හැසිරීමට බාධාවක් ලෙස ක්‍රියා කරන බව මුල් මතයන් තරයේ කියා සිටිය ද මාර්ක් ලෙවින් "නරඹන්නන්ගේ ආචරණය ගැන නැවත සිතීම"හි  සඳහන් කරන්නේ අනෙකුත් නරඹන්නන් සැබවින්ම ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි අතර ඔවුන් උපකාර කිරීමේ චර්යාවන් පෙන්නුම් කිරීමට අපව දිරිමත් කරන බව ය.



“කණ්ඩායමක් ලෙස මැදිහත් වීම, ඕනෑම තනි පුද්ගලයෙකු මැදිහත්කරුවෙකු වීමේ සම්භාවිතාවට තර්ජනයක් එල්ල කරයි යන අදහස පසෙකට දමා එය වඩා සාර්ථක මාර්ගයක් ලෙස පිළිගන්න; වින්දිතයකුට අත්විඳින්නට සිදු වන දේ ගැන අවට සිටින නරඹන්නන්ට දැනුම් දෙන්න; සාර්ථකත්වය ඉහළ නැංවීම සඳහා අසල සිටින නරඹන්නන්, වින්දිතයින් සහ අපරාධකරුවන් අතර පවතින සමාජ සම්බන්ධතාවල බලය උපයෝගී කර ගන්න”.



නරඹන්නන්ගේ ආචරණය පිළිබඳ මෙම ස්ථාවරය, ක්‍රමවත් අධ්‍යාපනයක්/පුහුණුවක් ඔස්සේ ක්‍රමානුකූලව හා සංවිධානාත්මකව සමාජයට ප්‍රතිලාභ ලබා ගත හැකි ආකාරය පිළිබඳව ගවේෂණය කිරීමට අපව දිරිමත් කරයි. හදිසි අවස්ථාවන්ට වඩාත් හොඳින් මුහුණ දීමට ලබාදෙන ප්‍රථමාධාර පුහුණුව සහ මනෝවිද්‍යාත්මක ප්‍රථමාධාර (PFA) [8] පුහුණුව ඵලදායී වනවා සේම, වැදගත් අංශ 4ක් හඳුන්වාදීම තුළින් එම අවස්ථාවන් සඳහා යමෙකු ගොදුරු වන්නේ නම්, ඒ සඳහා මහත් විශ්වාසයකින් යුතුව ප්‍රතිචාර දැක්වීමට ජනතාව සවිබල ගැන්වීමට මෙය උපකාරී වේ.

සිදුවීමක් නිවැරදිව දැකීමට සහ ග්‍රහණය කර ගැනීමට මුලින්ම නරඹන්නාට ඉගැන්විය යුතු ය. එවිට මැදිහත්වීමක් අවශ්‍ය වන්නේ කුමන අවස්ථාවේදී ද යන්න නිවැරදිව හඳුනාගැනීමට ඔහුට හෝ ඇයට පුළුවන් වේ.

මීළඟට ඔහු හෝ ඇය එසේ මැදිහත්වීමේ දී ඔවුන්ගේ ආරක්‍ෂාව පිළිබඳ ව තක්සේරු කළ යුතු ය, ක්‍රියාත්මක වීමට පුද්ගලික වශයෙන් වගකීම භාර ගැනීමට හැකියාවක් තිබිය යුතු අතර මැදිහත් වීමට ඉවහල් වන ශිල්පීය ක්‍රම සහ විකල්ප රාශියක් ඉගෙන ගත යුතු වේ.

# සෘජු ප්‍රතිචාර දැක්වීම, අවධානය වෙනතකට යොමු කිරීම සහ පැවරීම වැනි විකල්ප ප්‍රතිචාර මේ ආකාරයෙන් පාර්ශ්වස්ථතා පුහුණුවේ දී ඉස්මතු කරයි. ඍජු ක්‍රියාමාර්ගයන් යටතට යම් ආකාරයකින් අපරාධකරු සමග ඍජුව සම්බන්ධ වීම සුදුසු දැයි තක්සේරු කිරීම ඇතුළත් වේ.

# අවධානය වෙනතකට යොමු කිරීම යනු අපරාධකරුගේ  අවධානය වෙනතකට යොමු කිරීමෙන් වින්දිතයාට පැන යෑමට අවස්ථාවක් ලබා දීමයි. තව ද පැවරීම යනු, එම කාර්යය සඳහා සුදුසු වෙනත් තුන්වන පාර්ශ්වීය පුද්ගලයෙකු හෝ වෙනත්  නරඹන්නෙකු ක්‍රියාවට යෙදවීම  වේ.

# වින්දිතයින්ට උපකාර ලබා ගත හැකි ස්ථාන පිළිබඳ තොරතුරු සැපයීම; අවශ්‍යතා තක්සේරු කිරීම, ඔවුන්ට මනා ලෙස කාලය ලබා දී සාවධානයෙන් ඔවුන් පවසන දේ අසා සිටීම, සුදුසු පුද්ගලයන් හා සම්බන්ධ කිරීම මගින් වින්දිතයාට සන්සුන්ව සිටීමට හා නැවත තමා පාලනය කර ගැනීමට උපකාරී වීම ආදී  ස්වරූපයන්ගෙන් ඔවුන්ට මූලික මානසික “ප්‍රථමාධාර” ලබා දීම මෙහි දී පුළුල් ලෙස ප්‍රචලිත කරවිය  හැකි ප්‍රයෝජනවත් නරඹන්නන්ගේ මැදිහත්වීම්වල කොටස් වේ.

අද දක්නට ලැබෙන සාර්ථක පුහුණු වැඩසටහන් බොහොමයක් දැනටමත් අප අවට සිටින අවදානමට ලක්වූවන්ගේ ජීවිත අනතුරුවලින් වළකාලීමේ හා ආරක්ෂා කිරීමේ බලපෑමක් ඇති කර තිබේ.




මෙහි දී, රතු කුරුස සංගමය විසින් ලබාදෙන ප්‍රථමාධාර පිළිබඳ පුහුණුව, දරුවන්ගේ ආරක්ෂාව සඳහා උගන්වන බලපෑමක් ඇති කිරීමට සමත් සන්නිවේදන ක්‍රම, බස් රථවලදී සිදු වන හිංසනය පිළිබඳ ගැටලුව විසඳීමේ  වැඩසටහන් එනම්, "අපේ බස් එකේ එපා" හෝ "සද්දයක් දාන්න" ආදිය තුළින් ඉස්මතු කරන්නේ ඉගැන්වීම් සහ පුහුණුව මගින් වින්දිතයින් මෙන්ම නරඹන්නන්ට ද මේ සඳහා ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමට හැකි වී තිබීම ය.

නිගමන:


නරඹන්නාගේ බලපෑම, උපකාරක හැසිරීම් වළකාලන ඍණාත්මක එකක් විය යුතු නොවේ. ක්‍රමානුකූල පුහුණුවක් හා රජයේ සහ සිවිල් සමාජයේ ප්‍රධාන පාර්ශ්වකරුවන්ගෙන් ලබාගන්නා සහයෝගය මගින් ආචාරධර්ම පද්ධතියක් නිර්මාණය කිරීම සහ අන්‍යයන් සමඟ එක්ව කටයුතු කරන අනන්‍යතාවක් ගොඩනැගීම සඳහා ඵලදායී ලෙස පියවර ගත හැකි අතර, සක්‍රිය පුරවැසියන් හා උපකාරක හැසිරීම ප්‍රවර්ධනය කිරීම ද සිදු කළ හැකි ය.

ජාතික මට්ටමින් සිදු වන වාර්ගිකව උසිගන්වන ලද ප්‍රචණ්ඩත්වයන් සහ පුද්ගල මට්ටමින් සිදු වන ම්ලේච්ඡ ක්‍රියා හා ඒ ආශ්‍රිතව ඇති වන කම්පනයන් මගින් ඇති විය හැකි දැවැන්ත හා ගණනය කළ නොහැකි සමාජ පිරිවැය මෙමගින් අවම කරගැනීමට හැකි ය.

පසුකාලීනව ‘නරඹන්නාගේ හැසිරීම‘ පිළිබඳ සිදු කළ පර්යේෂණවලින් පෙනී යන්නේ ප්‍රධාන අංග 4ක් ඔස්සේ සාමාන්‍ය ජනතාව අතර මේ පිළිබඳ දැනුවත්භාවයක් ඇති කළ හැකි බව යි:



1. යමෙකුට උපකාර අවශ්‍ය වන / යම් ප්‍රශ්නයකට ගොදුරු වී ඇති අවස්ථාවක්  දැන හඳුනා ගැනීම

2. මැදිහත්වීමක් ඒ සඳහා අවශ්‍ය බව හඳුනා ගැනීම

3. ඒ ගැන යමක් කිරීමේ වගකීම භාර ගැනීමට හැකි වීම/ ඒ සම්බන්ධයෙන් යමක් කිරීම  (වෙනත් අයෙකු යමක් කරනු ඇතැයි බලා සිටීමට වඩා)

4. මැදිහත් වීම සඳහා ඇති උපාය මාර්ග දැන සිටීම, කළ හැකි දේ  පිළිබඳ අදහසක් තිබීම / මැදිහත් වීමට තරම් තමා දක්ෂ බව සිතීම.



අධ්‍යාපන හා ආගමික ආයතන, මාධ්‍ය, නීතිය ක්‍රියාත්මක කරන පුද්ගලයින් සහ සිවිල් සමාජ කණ්ඩායම් වැනි බලගතු ක්‍රියාකාරීන් විසින් සෑම මට්ටමකම සක්‍රිය  පුරවැසිභාවය දිරිමත් කළ යුතු ය. 
 
තව ද, අවශ්‍යතා ඇති කෙනෙකුට උදව් කිරීම හෝ මහජන යහපත උදෙසා ක්‍රියාකාරී ස්ථාවරයක් ගැනීම තුළින් සමාජයට බලපෑම් කිරීමේ දී සෑම දෙනෙකුම තම තමන්ගේ භූමිකාව හොඳින් හඳුනාගෙන එය වැළඳ ගත යුතු ය.




[1] These pictures are widely available on the internet. For example, they are included in The Agony and the Ecstasy of a Pogrom: July 1983 by Michael Roberts retrieved at https://groundviews.org/2018/08/12/the-agony-and-ecstasy-of-a-pogrom-july-1983/

[2] https://www.frontiersin.org/articles/10.3389/fpsyg.2016.01349/full

[3] https://www.washingtonpost.com/archive/politics/1983/08/02/rioting-shatters-sri-lankas-hopes-for-economic-development/8d840647-e0ab-4c10-aa29-54260e6b7ebc/
 
 [4] Effects of bystander sexual assault prevention programs on promoting intervention skills and combatting the bystander effect: a systematic review and meta-analysis Heather Hensman Kettrey1 & Robert A. Marx2  Journal of Experimental Criminology https://doi.org/10.1007/s11292-020-09417-y

[5] The video can be accessed at https://www.youtube.com/watch?v=PUBrSOfLA8M

[6] Sri Lanka’s Veil Ban is Fueling Hate by Chandni Doulatramani retrieved at https://foreignpolicy.com/2019/05/23/sri-lankas-veil-ban-is-fueling-hate/

[7] This story and more can be accessed at https://groundviews.org/wp-content/uploads/2013/09/Black-July.pdf

[8] Psychological First Aid Guide for Field workers :  https://www.who.int/publications/i/item/9789241548205



සබැඳි පුවත් :
නොදැක්කා සේ සිටීම: ලෙඩක් ද? හැටි ද? - සංවාදය 28 සිකුරාදා සූම් ඔස්සේ

Leader Whats app

 

 

 

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්