“අරගලකරුවෝ ජනපති කාර්යාලය හතර වටෙන්ම වට කරති. මුදල් ලේකම්ට සාකච්ඡාව පමා වෙයි” යනුවෙන් ජූනි 21 වෙනි අගහරුවාදා ලංකාදීප මුල් පුවත පළවේ.

එහි තවදුරටත් මෙසේ දැක්වේ. “ගාලු මුවදොර ගෝඨා ගෝ හෝම් අරගලයේ නිරත පිරිස් ජනාධිපති ලේකම් කාර්යාලයේ ලෝටස් පාර වන පිවිසුම් දොරටු දෙකද අවහිර කරමින්” ආදි ලෙස දැක්වේ.

ජූනි 20 වෙනිදා අංජුල මහික වීරරත්නගේ ලංකාදීප වාර්තාව අනුව, අගමැති ප්‍රධාන මහ බැංකු අධිපති, මුදල් ලේකම්, අග්‍රාමාත්‍ය ආර්ථික උපදේශක ආචාර්ය සමරතුංග ආදි නිලධාරින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස සමග සාකච්ඡා කළේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මිස, ජනාධිපති ලේකම් කාර්යාලයේදී නොවේ.


ජනාධිපති ලේකම් කාර්යාලයේ ලෝටස් පාර වන පිවිසුම් දොරටු දෙකද අවහිර කිරීම තුළ මුදල් අමාත්‍යාංශය අකර්මන්‍ය කිරීමක් අපේක්ෂා කළ හැකිද? ඒ තත්වය තුළ මුදල් ලේකම් පමණක් 20 වෙනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී උක්ත දූත පිරිස හමුවීමට යාම මෝඩ කතාවකි. බඩගෝස්තරයට බොරුව සහ ඇත්ත අතර පාවෙන ලංකාවේ සමහර මාධ්‍ය අතරට, ලංකාදීපයත්  තල්ලු වෙන හැටියකි.

විසි වෙනි සදුදා ජනාධිපති ලේකම් කාර්යාලය අබියසදී පොලිසිය, අරගල කරුවන්ට පහරදී ඔවුන් අත් අඩංගුවට ගත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත පිරිස හමුවීමට පැමිණි මුදල් ලේකම්ට බාධා කිරීම නිසා ය. ලංකාදිප කර්තෘ  22 වෙනි බදාදා කතුවැකියෙන් එකී පොලිස් පහරදීම සාධාරණීකරනය කරමින්  ගෝල්පේස් අරගලය හෑල්ලු කරයි.

රාජ්‍ය මට්ටමේ නිල සාකච්ඡාවක් පැවති බව දැන සිටියා නම් කිසි විටෙක එවැනි බාධා කිරීමක් නො කරන බව අරගලකරුවෝ කියා සිටිති. අරගලකරුවන්ගේ ප්‍රකාශයෛන් කොටසක් පමණක් උපුටා දක්වන 'ලංකාදීප' කතු වැකිය එකී විරෝධතාව හරහා දූත මණ්ඩල සාකච්ඡාවලට බාධා එල්ලවූ බවට චෝදනා කරමින් නො නැවතී අරගලයේ මූලික පරමාර්ථවලට පටහැනි බවද අවධාරණය කරයි.

එහෙත් අරගලකරුවන්ගේ  විත්ති වාචකය මෙයට හාත්පසින්ම වෙනස්ය. ජූනි 20 දාට යෙදෙන අපකීර්තිමත්  ගෝඨාභය රාජපක්ෂගේ උපන් දිනය සැමරීමට මල්වඩම් සමග ගෝඨා ගෝ හෝම් ගම අරගල කරුවන් පැමිණෙන බව බුද්ධි අංශ වාර්තා කර තිබිණ. එයින් කුපිතවූ ජනාධිපති පොලිස්පති ලවා මෙකී පහරදීම කළ බවට අරගලකරුවෝ චෝදනා කරති.  

 

Goata

මේ පහරදීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කළ භාෂණය සහ විරෝධය දැක්වීමේ අයිතිය උල්ලංඝණය කිරීමකි. මේ පහරදීම සාධාරණීකරණය කිරීමට මාධ්‍ය කිහිපයක් මුදල් ලේකම් මහින්ද සිරිවර්දන පාවිච්චි කළ බව පැහැදිලිය. මේ තත්වය තුළ මුදල් ලේකම් මහින්ද සිරිවර්දන, තමන් සහභාගිවූ උක්ත දූත මණ්ඩල රැස්වීම සැබෙවින්ම පැවති ස්ථානය, සාකච්ඡාව ආරම්භ වූ වේලාව සහ තමන් ඊට සහභාගිවූ වෙලාව පිළිබද ප්‍රකාශයක් කළ යුතුවේ. එසේ නොකළොත් ජන අරගලය දිය කර හැරීමට මහින්ද සිරිවර්දනලාත් රාජපක්ෂලාට සහාය වූ බවට උපකල්පනය කිරීමට සිදුවේ.



ලංකාදිප වාර්තාවට අනුව  මුදල් ලේකම්ට සාකච්ඡාවට ප්‍රමාද වී ගියාද දන්නේත් මහින්ද සිරිවර්දන පමණකි. නිල සාකච්ඡාව අගමැති කාර්යාලයේදී පැවතියේ නම්, මහින්ද සිරිවර්දන පමණක් මෙසේ තනිව ජනාධිපති ලේකම් කාර්යාලයට ගියේ  ඇයි? ලෝටස් පාරේ ජනාධිපති ලේකම් කාර්යාල පිවිසුම අවහිර කළාට මුදල් අමාත්‍යාංශ පිවිසුමට එය බලපාන්නේ කෙසේද? මුදල් අමාත්‍යාංශයේ සිට ජනාධිපති ලේකම් කාර්යාලයට මුදල් ලේකම් පැමිණියේ පා ගමනින්ද? වාහනයකින්ද යන්නත් පැහැදිලි කළ යුතුවේ.



ජූනි 20 වෙනි දින සිද්ධිය උපුටා දක්වන විමල් වීරවංශ මුදල් ලේකම් මහින්ද සිරිවර්දනට බාධා කිරීම අනුව අන්තර්ජාතික මූල්‍ය අරමුදල් සාකච්ඡාවට බාධා කිරීම නිසාම, ගෝල්පේස් අරගලය දැන් කුඩු කාරයන් අත්පත් කරගෙන ඇති බවට චෝදනා කරයි.

ගෝඨාගෝගම විනාස කර විසුරුවා හැරීමට බරපතල කුමන්ත්‍රණයක් පවත්නා බව රහසක් නොවේ. මැයි 9 වෙනිදා ඒ හපන්කම කරන්නට ගොස් මහින්දට අගමැති කමත් නැතිවිය. තවමත් සක්‍රිය ඒ කුමන්ත්‍රණයට විමල් වීරවංශලා සමග මුදල් ලේකම් මහින්ද සිරිවර්දන සම්බන්ධද නැද්ද යන සැකය දුරු කළ හැක්කේ මහින්ද සිරිවර්දනට පමණකි.

අඩංගුවට ගත් අරගල කරුවන් අධිකරණයට ඉදිරිපත් කළ පොලිසිය සැක කරුවන් පෙරෙට්ටුවකට ඉදිරිපත් කළ යුතු හෙයින් බන්ධනාගාර ගත කරන ලෙස සහ ඔවුන්ට ඇප ලබා දුනහොත් මහජන කලබලයක් ඇතිවේ යයි පොලිසිය කරුණු දැක්වීය. අරගලකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස්, පොලිසිය තම සේවාදායකයන්ට පහර දුන් බව සහ පොලිස් නිලධාරින් අරගලකරුවන්ගේ ඡායාරූප ගත් බව අධිකරණයට සැලකර අරගලකරුවන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේය. දෙපාර්ශවයේ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත් තිලින ගමගේ, පොලිසිය කළ කරුණු දැක්වීම ප්‍රතික්ෂේප කරමින් සියලු සැක කරුවන්  මුදල් ඇප මත  මුදා හැරියේය.
IMG 20220620 WA0005 1024x768
හය මසක් විදේශගව සිට 20 වෙනි දින මව්රට පැමිණී ශ්‍රී ලාංකිකයෙකු රටේ වර්තමාන තත්වය ගැන ඇතිවූයේ තිගැස්මකි. එතෙක් රට ගැන තමන් තුළ පැවති අවබෝධය දිවයිනට පා තබා පැය හතළිස් අටක් ගතවීමට පෙර උඩුයටිකුරුවීම පිළිබඳ මුහුණ දුන් පුද්ගලික අත්දැකීමකට ලඝු කළ යුතු නැත.

කා විසින් හෝ ක්ෂණිකව රටේ අවශ්‍යතා ඉටු කිරීමට පියවර ගත යුතු අතර කිසිදු බෙදීමකින් තොරව නිරාමිෂව කවුරුත් ඊට සහාය දැක්විය යුතුය සාධාරණ අවබෝධය, රටේ සාමාන්‍ය ජනතාව තූලට කා වැද්දී නති බව ඔහු ඒත්තු ගත්තේය.  

පවත්නා තත්වය තුළ අරගලය අල්ලාගෙන සිටිය හැකිද යන්න මධ්‍යම පාන්තික සිවිල් සමාජයට සැක කරති. ගෝඨාගෝහෝම් ගම කේන්ද්‍ර කොට පවත්නා විරෝධය එසේම පවත්නා බව සැබෑය. එහෙත් එහි ශුද්ධවූ අව්‍යාජ යථා ස්වරූපය  ආරම්භයට වඩා වෙනස් වෙමින් පවත්නා  බවක් කිසිවෙකු නිරීක්ෂණය කර තිබේද? විපක්ෂය කිසි විටෙකත් අරගලය ආරම්භයේ රටේ රෝපනය කළ පොදු හැඟීම් අපෙක්ෂා සමග කිසි විටෙකත් ඒකාත්මිකව සිට ගත්තේ නැත.

එපමණක් නොවේ. විවිධ චරිත හරහා අරගලය තුළ තම බළල් අත් එහෙ මෙහෙ කිරීමට උත්සාහ කළහ. ඉන්ධන ඖෂධ වැනි මූලික අවශ්‍යතා කෙටි කලක් තුළ ජනතාවට ලැබිය යුතුය යන පොදු අවබෝධය විපක්ෂයේ හැසිරීම තුළ දක්නට නැත.


විපක්ෂයේ බහුතරය පවත්නා  දුෂ්කරතා හරහා ජනතාව තවත් පීඩාවට තල්ලු කර මහ මැතිවරණයක් හරහා සිය දේශපාලන මතවාදය රට තුළ තහවුරු කිරීමට තැත් කරනු මිස, පවත්නා අපහසුවෙන් සාමුහිකව රට ගොඩ දැමීමට උත්සාහ නොකරති.


බදාදා පාර්ලිමේන්තුව ඇමතූ අගමැති රනිල් වික්‍රමසිංහ සජබයට සහ ජවිපෙට වගාව සදහා අවශ්‍ය ඉඩම් නිදහස් කර ඇති හෙයින් වහා ඔවුන් ප්‍රකාශ කළ පරිදි වගා කටයුතු ආරම්භ කරන ලෙස දැන්වීය. ඒ හරහා රටේ ජනතාවට ඔවුන් සැබෙවින්ම වවනවාද කටින් බතල කොළ සිටුවනවාද යන්න විමසා බැලීමේ අවස්ථාව අනියමින් සලසා දී ඇත. සමහර විට සජබය, සහ ජවිපෙය වගාව සදහා එකී ඉඩම් නිදහස් කළේ සර්ව පාක්ෂික ආණ්ඩුවකින් නොවන බව කියා වගා කටයුතු නොකර සිටින්නටද පිළිවණ.



Dhammika Perera copy 2               ධම්මික ලවා රටට යම් ජයග්‍රහණයක් ලබා ගැනීමට උත්සාහ කිරීම පාපයක් නොවේ.


ව්‍යාපාරික ධම්මික පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රි වරයෙකු ලෙස දිවුරුම් දී හමාරය. තවදුරටත් සාම්ප්‍රදායික පුරුදු කනවැන්දුමේ ගැලී නොසිට එකී සාර්ථක ව්‍යාපාරිකයා හරහා පවත්නා අසීරු තත්වයෙන් ගොඩ ඒමට ධනාත්මක ප්‍රවේශයක් ඔහු උනන්දු කරවීමට රටේ ජනතාව පුරුදු විය යුතු බව සමහර සබුද්ධික සිවිල් පුරවැසියන් කල්පනා කරති.

ධම්මික පෙරේරා සතු  ව්‍යාපාරික ඤාණය සහ ඔහු ලැබූ අත්දැකීම් බොහෝය. එකී විශ්වාසයෙන් මේ සාර්ථක මිනිසා ලවා රටට යම් ජයග්‍රහණයක් ලබා ගැනීමට උත්සාහ කිරීම පාපයක් නොවේ.  

මතුවන හැම මිනිසාටම හොරකම ආරෝපනය කර කඩා බිද දැමූ යම් පිරිසක් අදත් රටේ දේශපාලනය හැසිරවීමට වළිකමින් සිටින්නාහ. අපට ශුද්ධවූ මිනිසුන් හමුවේදැයි  යන්න නොව තමන් කොරතම් පරිශුද්ධද යන්න පපුවට තට්ටු කර විමසා දැනගත යුතුවේ.


ව්‍යාපාරිකයෙකු ලෙස ධම්මික පෙරේරා ආදායම් බදු ගෙවීම් පැහැර හරිමින් සිටිම ගැන නිතරම උඩුගම් බලා යන මා මිත්‍ර විශ්‍රාමික විදුහල්පති සගයා අලුත්  මතයක් ඔසවා තබයි. ඔහු කියන්නේ බදු පැහැර හැරිය ව්‍යාපාරිකයන් පිළිබඳ වාර්තා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අලුත් කතා නොවේ. ඒවා මිනිසුන් ඇද වැට්ටීමට මිස රට ගොඩ නැගීමට කිසි විටෙක කිසිවෙකු පාවිච්චි කර නැති බව හෙයින් හිඟ බදු වාර්තා චෝදනාවක් නොව හිඟ බදු මුදල් අය කර ගැනීමේ නව ක්‍රමවේද හදුනා ගැනීමට අවස්තාවක් කරගත යුතු බව මා මිත්‍ර විශ්‍රාමික විදුහල්පති සගයා ඉත්තේරුවටම කියා සිටියි.  



ආවේගයෙන් දුරස්ව රටේ යහපත වෙනුවෙන් හිතන සමහර පුරවැසියන් මෙසේ කල්පනා කරන්නේ පාර්ලිමේන්තු යාමටවත්, පක්ෂය දිනවීමටවත් නොව රටේ ඇද  වැටීම පිළිබද ගැඹුරු දැක්මක් ඇතිවය.  

ඒ අතර අරගලයෙන් මත්වූ තරුණ සමහරු හිතන දේ අහන්නත් බිය වද්දන තරම්ය. මැදි වයසට ළං වෙමින් සිටින්නෙකු කීවේ අල බතල වවන්න යයි උපදෙස් දීමට ආණ්ඩුවට අයිතියක් නැති බවය. ඔහු කියන්නේ ආණ්ඩුව නිර්මානය කළ මේ ව්‍යසනයෙන් රට ගොඩ කිරීම පාලකයන් සතු වගකීම වන අතර, වගා කර කන ලෙස තමන්ට නියෝග නොකළ යුතු බවය.

මේ ආවේගශීලි නැඹුරුව අනුර කුමාර දිසානායක දර්ශණයට අනුගතව ව්‍යසනයේ කර්තෘ කවුදැයි සොයා යන්නෙකුගේ කල්පනාවක් විය හැකිය. දෙවන ලෝක යුද්ධ කාලයේ ජීවත්වූ බහුතරය වර්තමානයේ අප අතර නැත. එහෙත් අල්ලක් වපුරා මල්ලක් ගෙට ගමු සිය රට දේ සිරි සැප දේ වැනි ඉතිහාසගත උද්යෝග පාඨ අපේ පරම්පරාවේ සමහරුන්ට මතක ඇතුවාට සැක නැත.


ඒ ඉතිහාසය අපට කියන්නේ රට රටේ ජනතාව ව්‍යසනකාරි තත්වයකට මැදිවූ  අවස්ථාවක එහි කර්තෘ කාරකයන් නොසොයා තමන් පිළිබද වගකීමකින් ජීවත්වූ බවට සාක්ෂි දක්වා සිටින්නාහ.


බඩගින්නෙන් පෙළෙන්නාට අපේක්ෂා කරන්නේ තො`ථ ගානා තණක් වැනි හෝ අල්ප විසඳුමක් මිස එහි නිර්මාතෘන් සොයා නඩු අසා දඩුවම් කිරීමක් නොවේ. මෙයින් අදහස් වන්නේ අතීතය වළ දමා සොරුන් මුදා හැරීමක් නම් නොවේ. තවත් ආකාරයකින් කියයි නම්  පීඩාව තමන්ම දරා ගනු මිස අනුන් පිට පැටවීමෙන් යහපතක් නොවන බවය.  

බඩ සා ගින්න නිවීමට වැදූ දරුවා කැලණි ගඟට විසි කොට (වැල් පාලමෙන් ගඟට වැටුණ) මව ඊට උදාහරණයකි. ඇය අපේක්ෂා කළ සුභදායි හෝ අසුභදායි අතාර්කික උත්තරය ඇයගේ දරුවාට මිස ඇයට ලබාගත නොහැකි විය. ඒ ඇය තෝරා ගත් විසඳුම සමාජය අනුමත නොකළ හෙයිනි.

අහිමි වී ගිය රටේ සෞභාග්‍ය උදා කර ගැනීමට, හැට නව ලක්ෂයක් පෙළ ගැසී නිර්මානය කළ නායකයා පිස්සෙකු යන්න නිර්දේශපාලනික තීන්දුවකි. එහෙව් රටේ ජනතාවගේ බඩගින්නට පීඩනයට නායකත්වය දීමටත් සමහරු වළි කති.


 104048602 img 1305 2
පසුගිය ආණ්ඩු සමයේ මෛත්‍රී, මහින්දව අගමැති කිරීම


තනි මන්ත්‍රිවරයෙකුට අගමැතිකම දුන් ආකාරය ගැන ප්‍රශ්න කරන මෛත්‍රිපාල සිරිසේන තනි මිනිසෙකු වෙමින් මහින්ද රාජපක්ෂ අගමැති කිරීමට කල උත්සහයත් පාස්කු කුමන්ත්‍රණයට යටිතල පහසුකම් සැලසූ හැටිත් කල්පනා කළ යුතුවේ. 2015 රටේ මිනිස්සු සිරිසේන ජනාධිපති කරන විට ඔහු වර්තමානයේ නායකත්වය දරන පක්ෂයෙන් නෙරපා සිටි අයෙකි.

නීතිඥයන් වෛද්‍යවරුන් පවා දෙවේල කන තැනට දරුවන් සමග හිත හදාගෙන සිටිති. සාර්ථක වෘත්තීන්හී නියැළි ඔවුන්ට දෙවේල කමින් කලක් අල්ලා සිටින්නට ශක්තිය ලැබේවා. එහෙත් දිනකට එක් වේලකින් කුස පුරවා ගත් රටේ බහුතරය මේ නිමේෂයෙහි කුමක් කරන්නේද? එය රටක් ලෙස අලුතින් කල්පනා කළ යුතුවේ.

සෙම්ප්‍රතිෂ්‍යාව වැළඳුන නීතිඥයෙකුට හුමාලය ඇල්ලීමට අවශ්‍ය වුවද, දරුවන්ගේ උවමනා වෙනුවෙන් ගෑස් සිලින්ඩරය පරෙස්සම් කරමින් අමාරුවන් හුස්ම ගන්නා බව මා සමග පැවසීය.

අද අප ගෙවන්නේ අම්මේ තාත්තා කතා කරන්නේ නෑ කියන දවසකි. හෙට අක්කේ, මල්ලී ඇස් අරින්නෑ යයි කෑ ගසන දරුවන් පමණක් තනිවූ නිවෙස් සහිත හෙටක් ප්‍රාර්ථනා නො කළ යුතුවේ.  

Chandrasiri Senevirathne 21

(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්