පුද්ගලික හාස්කම්වලින් රාජ්‍යයක් ගොඩනැගිය නො හැක. එසේම වැටුණු රාජ්‍යයක් යළි ගොඩනැගීම ද තනි පුද්ගලයෙකුට සිදුකළ නො හැක. එහෙත් රාජ්‍යයක් ගොඩ නැගීමේ ව්‍යාපෘතියකට නායකත්වය දීමට තනි
පුද්ගලයෙකුට පුළුවන. එහෙත්, ඒ පුළුවන්කම රඳා පවතින්නේ හුදු පුද්ගල හපන්කමක් මත නොව සාමුහික මූලෝපායික වැඩ පිළිවෙළක් සහ ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සැදී පැහැදී සිටින සාමුහිකත්වයේ එකඟතාව සහිත නායකත්වයක් නියෝජනය කිරීමට, එකී නායකයාගේ ඇති අවංක සහ නිහතමානී කැමැත්ත මත ය.


මෙරට ගිලී ඇති අර්බුදය විසඳීමට යැයි කියා පරණ අය යොදා තනාගත් ‘අලුත් ආණ්ඩුවට’ පුද්ගලිකව සහය නො දී ගෝලීය දේශපාලන ආර්ථික ප්‍රජාව පස්මහ බැලුම් බලන්නේ ඒ නිසා ය. ගෝලීය දේශපාලන ආර්ථික ප්‍රජාව ඇතැම් අරමුණු සඳහා පුද්ගලයින් පාවිච්චි කළත් සම්බන්ධතා පවත්වන්නේ රාජ්‍යයන් සමඟය. අපට අහිමි කොට ඇත්තේ හෝ නැත්තේ ඒ රාජ්‍යය ය.  
 


යම් තරමකින් හෝ දකුණු ආසියාතික රටවල්වල එක හා සමාන සහචර පාලකයින් අතර ගොඩනැගෙන පුද්ගලික සම්බන්ධතා යුරෝපීය, ඇමෙරිකානු සහ අනෙකුත් කලාපවල රාජ්‍යයන්වල පාලකයින් අතර ගොඩනැගෙන්නේ නැත. ගොඩ නැගුනත් වැඩක් නැත. මන්ද එම රාජ්‍යයන් සහ ඒවායේ පාලකයින් කටයුතු කරනුයේ හෝ කටයුතු කරන්නට ඔවුන්ට සිදුවී තිබෙන්නේ රාජ්‍ය අභිලාශ සහ අරමුණුවලට අනුකූලවය.


ජාතිකරාජ්‍යවාදය - ජනනියෝජිතආණ්ඩුවාදය සහ යහආණ්ඩුකරණය :




පසුගිය වකවානුවේ ආ කොවිඩ් වසංගතය සහ ගෝලීය අවි ගැටුම් නිසා සිදු වුනේ බලගතු රාජ්‍යයන්වල ජාතිකරාජ්‍යවාදය වඩාත් ශක්තිමත් වී, පරිස්සම් සහ අරපරිස්සම් රාජ්‍ය උපායමාර්ගකරා එම රාජ්‍යයන් අවතීර්ණය වීම ය. 
සිදු වූ හෝ වර්ධනය වූ හෝ තවත් දෙයක් වුයේ ජනනියෝජිතආණ්ඩුවාදය සහ යහආණ්ඩුකරණය පිලිබඳ ගෝලීය උනන්දුව වර්ධනය වීමය.

එය ඇතැම් විට රාජ්‍යයන් අතර දේශපාලන ආර්ථික උපායක් විධියට භාවිතා වුවද ජනනියෝජිතආණ්ඩුවාදය සහ යහආණ්ඩුකරණය පිළිබඳව වූ ගෝලීය උනන්දුව සුළුකොට තැකිය නො හැකිය.

ඇත්ත වශයෙන් ම ගෝලීය ලිබරල් දේශපාලන ආර්ථිකය තුල ඉතා ඉහලින් අලෙවිවන සංකල්පීය භාණ්ඩ ඒවා ය; සංකල්පීය වෙළඳපොල එය ය. මෙරට පාලකයින් නොතකා හැරියේ ඒ වෙළඳපොළ ය. ඉන් හෑරුණේ රටක් ගිල්ලවිය හැකි වලකි.
 
Polime 2022.07.24


වෙළඳපොල ම රාජ්‍යය වීම  



1948 සිට කෙසේ වෙතත් 1977 සිට නම් මෙරට පාලකයින් ගොඩනැගුවේ රාජ්‍යයක් නොව රාජ්‍ය ආර්ථිකයකුත් නොව වෙළඳපොළක් පමණය. එසේ කීම ද නොගැලපේ. මන්ද ඔවුන් කලේ වෙළඳපොළක් ගොඩනැගීම නොව ඒ සඳහා තැරව්කාරකම් කිරීම ය; ඒ මගින් සිය පුද්ගලික ධන රාශිකරණය සහ ඊට උපකාරී වන සේ බලය තහවුරු කර ගැනීමය.


අනුන්ගේ භාණ්ඩවලට ලාභයි ලාභයි කියා කෑ ගැසුවා මිසක ඒවාට අතරමැදිකම් කොට කොමිස් අල්ලස් ලබා ගත්තා මිසක, ඒ වෙළඳපොලේ විකිණීමට ස්වදේශීය භාණ්ඩ සහ සේවා සුලබ වනලෙස මෙරට ආර්ථිකයේ විවිධාංග වර්ධනය කළේ නැත. නිෂ්පාදන ආර්ථිකයක් ගැන උනන්දු වුණේ නැත. ‘නිලධාරීන්’ ලෙස නම්කරගත් බහුතරයක් රාජ්‍යකාර්යධරයින් විසින් කළේ ‘ටයිධාරින්’ ලෙස පාලකයින්ගේ සහ වෙළෙන්දන්ගේ ව්‍යාපෘතියට උදව් කොට තම පැවැත්ම සහ සිය පවුල්වල සමෘද්ධිය සකසා ගැනීමය. ඔවුන් නිල සහ ටයි (කරපටි) දරන්නන් වුවා මිස රාජ්‍යයක වගකීම් දරන රාජ්‍යකාර්යධරයින් වූයේ නැත.



වසර හතලිස් ගණනක් තිස්සේ මෙරට ජනයා රාජ්‍යය යැයි කියා රැවටුනේ මෙන්න මේ පාලක පරිපාලක තැරව්කාරයින්ගේ වෙළඳපොළට ය. සියලු දේ වෙළඳපොළින් ගත හැකි වූ තරමට බොහෝ අයට, විශේෂයෙන්ම මැදපන්තිකයින්ට රාජ්‍යය අමතක ම වී ගියේ ය. 
රාජ්‍යය ගැන යම්තම් හරි කැක්කුමක් තිබුණේ නම් ඒ, අන්ත දුගී ජනයාට සහ ඇතම් වෘත්තීය සංගම්වලට පමණක් ය. නමුත් රාජ්‍යය ගිලීයාමෙන් ආරක්ෂා කරගැනීමට ඔවුන්ට හැකියාවක් තිබුණේ නැත.



බුද්ධිමය රැකවරණ




රාජ්‍යය යටකරගෙන මතු වූ, එනම් පාලකයින්ගේ සහ පරිපාලකයින්ගේ තැරව්කාරකම් මත ඉදි වූ වෙළඳපොළට බුද්ධිමය රැකවරණ සැපයීමට බොහෝ උගතුන් ඉදිරිපත් විය. එහි දී විශ්වවිද්‍යාල ඇතුළු සියලු අධ්‍යාපන ආයතන පෙරමුණේ රාළ ලා විය.

ඔවුන්ගේ තර්කය වුණේ නවලිබරල් ආර්ථික ක්‍රමය විසින් රාජ්‍යය අවම කොට වෙළඳපොළ විශාල කිරීම නිසා සියලු මහජන සුබසිද්ධීන් වෙළඳපොළ විසින් සලසා දෙන බවය; එම නිසා බයවෙන්නට දෙයක් නැති බවය; පොදු මිනිසාගේ සියලු පීඩා නැති කිරීමේ ආශ්චර්යමත් දෑ වෙළඳපොල අනුහසින් සිදුවන බවය; ඒ නිසා වෙළඳපොළට ගැලපෙන ලෙසට අප සියල්ල සකස්විය යුතුය; වැඩකළ යුතු ය.

මෙවැනි පසුබිමක අධ්‍යාපනය, සෞඛ්‍යය, මගී ප්‍රවාහනය, කෘෂිකර්මය, සුළු හා මධ්‍යම පරිමාණ නිෂ්පාදන අංශ ආදී සියල්ල වෙළදපොළ යටතට ම පත්කිරීමේ දේශපාලන සහ බුද්ධිමය මෙහෙයුම සාර්ථක විණි.



පොදු ජනයා වෙළඳපොළ ඉත්තන් සහ එය ඉදිරියේ යාදින්නන් බවට පත්කළ ඒ මෙහෙයුම සිදු වුණේ නිදහස, සමානාත්මතාව, ප්‍රජාතන්ත්‍රවාදය, අයිතීන්, විවෘතභාවය යන ලිබරල් සායම් නවලිබරල් වෙළඳපොළ ක්‍රියාන්විතය මත තවරමිනි.

 
sri lanka economy
 

 ඒ අනුව වෙළඳපොළ ම රාජ්‍යය විය. එසේ වුණේ ආර්ථික විද්‍යා වාණිජ විද්‍යා සමාජවිද්‍යා පිලිබඳ මහා උගතුන්ගේ සහ සිවිල් සමාජ ක්‍රියාකාරිකයින්ගේ බුද්ධිමය අර්ථකතන මැද ය.

නමුත් මේ බුද්ධිමතුන් වටහා නොගත් දෙයක් වුනේ යුරෝපීය සහ උතුරු ඇමෙරිකානු රටවල නවලිබරල් වෙළඳපොල රාජ්‍යයට වඩා විශාල වුවාට රාජ්‍යය තරම් බලවත් වුනේ නැත කියන කරුණය. එවැනි රටවල රාජ්‍යයයේ ගුණාත්මක සහ විධිමත් නියාමනය වෙළඳපොළට අවශ්‍ය විය. එසේම රාජ්‍යයයේ ශක්තිමත් පැවැත්මට වෙළඳපොළ වර්ධනය ද ඉවහල් විය.



මේ රටේ වුණේ එහි අනෙක් පැත්ත ය. එනම් රාජ්‍යයට වඩා විශාල වෙළඳපොළක් සේම රාජ්‍යයට වඩා බලවත් වෙළඳපොළක් නිර්මාණය වීමය. රාජ්‍යය වෙළඳපොල අතකොළුවක් බවට පත් වීම ය; එහි අණසකට යටත් වීම ය; රාජ්‍යය වෙළඳපොළ අංගෝපාංගයක් බවට පත් වීම ය. මෙරට රාජ්‍යය ගිලී ගියේ ඒ ආකාරයට ය.

පාලකයින්, රාජ්‍යකාර්යධරයින් (නිලධාරින්) සහ ව්‍යාපාරිකයින් ඒ ගිලී යන රාජ්‍යය නමැති නැවේ කෑලි අත්පත් කරගත්තේ තම මුතුන්මිත්තන් ගේ පුද්ගලික උරුමයන් බෙදාගන්නා ආකාරයෙනි.

භුමිය සහ සම්පත් ඔවුන් අතර බෙදී ගියේ පොදු ජනයාට ඒවා අස්වාමික කරමිණි; රාජ්‍යය යනු ජනසමාජයට අයිති දෙයක් ය, පාලකයින් යනු එහි භාරකරුවන්ය යන ඓතිහාසික පිළිගැනීම නොතකා හරිමිණි.  

නමුත් ඒ රාජ්‍යයත් සමඟ ගිලී යමින් සිටින්නේ මේ රටේ පොදු ජනතාව මිස පාලකයින් නොවේ ය. මන්ද පාලකයින් බේරා ගැනීමට වෙළඳපොළ ඩිංගි බෝට්ටු සහ ට්‍රෝලර් යාත්‍රා ජාතික ලැයිස්තු නාවික ගමන්මාර්ගය හරහා පැමිණෙමින් සිටී. 
ඒවා පාලකයින් බේරාගන්නා අතරම පොදු ජනතාව මුලාවේ මහා මුහුදට ඇද දැමීමද එකවර සිදුකරනු ඇත. අවදියෙන් සිටින්න.  


ලිබරල්වාදයට එරෙහිව නවලිබරල්වාදය 32425037


තවද, අප තේරුම් ගත යුතු ඉතා වැදගත් කරුණක්, එනම් මෙරට නවලිබරල් උගතුන් අමතක කල කරුණක් වේ. එම කරුණ වන්නේ, අවම රාජ්‍යය හෝ රාජ්‍යය අවම කිරීම යනුවෙන් අදහස් වනුයේ කුමක් ද යන්නය. ඊට පිළිතුරු සෙවීමේ දී, නවලිබරල්වාදය යනු ලිබරල්වාදයේ දිගුවක් නොව ඊට එරෙහිව මතු වූ එකක් ය යන්න අප පළමුව සිහි තබා ගත යුතු ය.

එනම් ලිබරල්වාදයේ අකීකරු, ඊටත් වඩා විකෘති දරුවෙකි. ඒ අනුව නවලිබරල්වාදය ලිබරල් ඇගයුම් සහ වටිනාකම්වලට එරෙහිව හුදු වෙළඳපොල අනුහස වෙනුවෙන් පමණක් පෙනී සිටින ප්‍රවාහයක් ය යන්න ඊ ලඟට අප සිහි තබා ගත යුතු කරුණ ය. එය වඩාත් භයානක වී ඇත්තේ අප වැනි රටවල ය.

පොදුජන සමාජයේ නිදහස, අයිතීන්, පුද්ගලික දේපොළ අයිතිය සහ සුභසාධනය වෙනුවෙන් පෙනී සිටීම සහ ක්‍රියාත්මක වීම ලිබරල් දේශපාලන ආර්ථික ක්‍රමයක මුලික ලක්ෂණය ය. 
යුරෝපා සහ උතුරු ඇමෙරිකානු රාජ්‍යයන් හි තවමත් ලිබරල් ඇගයුම් නො නැසී පවතින්නේ නවලිබරල්වාදී ආර්ථික ක්‍රමය ඒමට පෙර එම රාජ්‍යයන්හි ලිබරල් ඇගයුම් සහ මූලධර්ම මත පදනම් වූ රාජ්‍යය ප්‍රතිපත්ති බලවත් ලෙස කිඳා බැස මුල් ඇදී ආයතනගත වී ඇති නිසා ය.

 ඒ නිසා එම කලාපවල උපරිමවාදී නවලිබරල් වෙළඳපොලට වඩා අවමවාදී ලිබරල් රාජ්‍යය තවමත් බලවත් ය. එනම් දරුවාට වඩා පියා බලවත් ය. 
අවසාන විග්‍රහයේ දී නවලිබරල් වෙළඳපොළ ලිබරල් රාජ්‍යයට බය ය. 
නමුත් අපේ රාජ්‍යය වෙළඳපොලට බය ය. අහෝ, විපතක තරම. නමුත් මෙරට පාලකයිනුත් ඒ වෙළඳපොලේ තැරව්කරුවන් නිසා එය ඔවුනට ප්‍රශ්නයක් නොවේ ය.
 


රාජ්‍යය අවමවීම


නවලිබරල්වාදය තුල වෙළඳපොළ බලවත් වී රාජ්‍යය අවම වී සමාජය බලවත් වන බව වචනවල අර්ථයෙන් තේරුම් කල මෙරට බොහෝ බුද්ධිමතුන් එහි හරයාත්මක අර්ථය සහ ක්‍රියාකාරිත්වය කෙරෙහි අවධානය යොමු කළේ නැත.


ලිබරල් රාජ්‍යය මූලධර්ම සක්‍රීයව ආයතනගත වී ඇති රාජ්‍යයක අවම වීම යනු රාජ්‍යය දුර්වල වීම නොවේ. රාජ්‍යයට සහ පොදුජන සමාජයට අදාළ තීරනාත්මක අංශ පමණක් තම අයිතියේ තබාගෙන, රාජ්‍යය ආර්ථික ඒකකයක් නොවී ඒ කටයුතුවලින් ඈත් වී එය සමාජයේ වගකීම් භාරගෙන ඊට වගවෙන බලවත් දේශපාලන ඒකකයක් බවට පත්වී ම ය. ඒ මගින් සමාජය සහ රාජ්‍යය ශක්තිමත්ව පවත්වාගෙන යාමය; ආරක්ෂා කිරීමය; නීතිය සහ පිළිවෙළ රැකීමය; වෙළඳපොල රාජ්‍යයට සහ සමාජයට ඒවායේ පැවැත්මට හානිකර ලෙස හැසිරෙන්නේ නම් එය නියාමනය කිරීමය.


නවලිබරල්වෙළඳපොල විශාල බව ඇත්තකි. නමුත් එය රාජ්‍යය තරම් උත්තරීතරත් නැත; ප්‍රබලත් නැත. එවැනි සමාජවල රාජ්‍යය ගිල්ලවා දැමීමට හෝ ගිල දැමීමට නවලිබරල් වෙළඳපොල ක්‍රමය උත්සාහ ගන්නේද නැත. 
එසේම එවැනි රටවල නියෝජිතයින් මිස පාලකයින් නැත හෝ ඉතාම අඩුය. රාජ්‍යකාර්යධරයින් මිස ‘නිලධාරින්’ නැත. 
ඒ නිසාම රාජ්‍යය සහ එහි සම්පත් තම පුද්ගලික දේපොලක් හෝ උරුමයක් ලෙස සලකන ඒවාට හිතූ හිතූ දේ කරන කල්ලි සහ කණ්ඩායම් නැත. ඒ රටවල ලස්සන සහ පිළිවෙල රැඳී තිබෙන්නේ ඒ නිසා ය.


නමුත් ලංකාවට ආ නවලිබරල්වාදයටත් ප්‍රජානියෝජනආණ්ඩුවාදයටත් (නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය) වුණේ එකම ආකාරයේ විකෘතියක් ය. නියෝජිතවරණ මගින් තෙරීපත්වන්නේ නියෝජිතයෝ නොව පාලකයෝ ය. රාජ්‍යකාර්යධරයින් නිලතනතුරුවලින් මාන්නය හදාගත් නිලධාරීන් සහ ටයිධාරින් ය. රාජ්‍යය සහ එහි සම්පත් මේ දෙගොල්ලොම පාවිච්චි කරනුයේ තම පරම්පරාගත පුද්ගලික දේපළ පරිහරණය කරන අයුරින්ය. රාජ්‍යය පුද්ගලික දේපොළක් ම විය. ලංකාවේ නවලිබරල් වෙළඳපොල විශාල වුනෙත් ප්‍රබල වුනෙත් ලිබරල් රාජ්‍යය අවම වී දුබල වුනෙත් මෙවැනි පසුබිමකය.

 
sri lanka economic crisis inflation 16480115834x3
ඉතින්, පාලකයින්ගේ පුද්ගලික දේපොළක් හෝ බූදලයක් බවට රාජ්‍යය පත් වීමේ සහ නවලිබරල් වෙළඳපොළ සහ රාජ්‍යය අතර සම්බන්ධය වැරදි ලෙස භාවිතා කිරීමේ ආනිශංස දැන් අප ගෙවමින් සිටින්නෙමු. 
ඒ වැරැද්ද නිසා සෞඛ්‍ය, අධ්‍යාපනය, මගී ප්‍රවාහනය, ගමනාගමනය, ආහාර සුරක්ෂිතතාව, සුබ සාධනය, පොදුජන ආරක්ෂාව, රාජ්‍ය ආරක්ෂාව, ගොවිතැන, කුඩා සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත  ආදී සියල්ල විනාශ වී ඇත.

ඒ  විනාශය මහා හෙණයක් ලෙස පොදු ජන හිස මතට කඩා වැටී ඇත. මේ විනාශය වැළක්විය හැකි ද?  හැකි කාටද? හැකි අය වෙතොත් ඒ හැකි අය කොතරම් නම් පරිස්සමකින් මූලෝපායික සැලසුම් වැඩපිළිවෙලවල් රට ජනතාව සහ රාජ්‍යය වෙනුවෙන් සකසා ගත යුතුද යන්න ගැන සිතීමක් ඇති කරවීම මෙවර මගේ ‘කිවි දා දැක්මේ’ අරමුණ විය.

 
DhammaD

(ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, ධම්ම දිසානායක)

කොළඹ විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව
සහ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයන අංශය
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
(24.6.2022/ කිවි දා දැක්ම/ලංකාදීප)


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්