"අපිට ඕන අලුත් රටක්; ජීවිතයක් තියෙන රටක්." මේ අරගල බිමේ තරුණ ක්‍රියාකාරීන් අතර රැව් නැගෙන සටන් පාඨයකි. ඔවුන් ඉල්ලා සිටින්නේ අලුත් ආණ්ඩුවකට හෝ අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ඔබ්බෙන් යන

දෙයකි.

මේ දේශපාලන පණිවිඩය වටහා ගැනීමට අසමත් වන තාක් දුරට අපට වත්මන් නිමේෂයේ සුවිශේෂකත්වය ග්‍රහණය කර ගන්නටද නොහැකි වනු ඇත.

 දවසේ දේශපාලන න්‍යාය පත්‍රය සැකසීමේදී පාර්ලිමේන්තුවාදී පක්ෂ දේශපාලනයට, මහා ප්‍රාග්ධනයට සහ වාණිජ මාධ්‍යවලට මෙතෙක් හිමිව තිබූ ආධිපත්‍ය මාස කිහිපයක් තිස්සේම 'අරගල බිම' විසින් අභියෝගයට ලක් කරනු ලැබීම වනාහී එසේ මෙසේ සංසිද්ධියක් නොවේ.

'අරගල බිමේ' එකී අභියෝගාත්මක බලය මේ වනවිට තරමක් ක්‍ෂය වී ගොස් තිබේය යන්න සැබෑය. ගාලු මුවදොර සහ මහනුවර අරගල බිම් වෙතට මැයි නමවනදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව වෘත්තීය සමිති එකතුවක් විසින් දියත් කරන ලද සමස්ත මහා වැඩ වර්ජනය හදිසියේ නතර කර දමනු ලැබීමත්, ඉනික්බිතිව සිදු වූ රනිලාගමනයත් නිසා දේශපාලන සංස්ථාපිතයට වාසිදායක ලෙසත් අරගල බිමට අවාසිදායක ලෙසත් බල තුලනය නැවත සැකසුණු බවද සැබෑය.


 දැන් ක්‍රියාත්මක වන සීතල මර්දනයේ මෙහෙයුම ආරම්භ වූයේ වැඩ වර්ජනය නතර කිරීමත් සමග නිර්මාණය වූ එම දේශපාලන හැරවුමේ ප්‍රතිපලයක් ලෙස බවද එතරම්ම සැබෑවකි. නමුත්, තවමත් මෙරට දේශපාලනයේ වඩාත් තීරණාත්මක ගුරුත්ව කේන්ද්‍රය වන්නේ පාර්ලිමේන්තුවෙන් සහ විධායකයෙන් පිටත සිට ක්‍රියාත්මක වන 'අරගල බිම' නමැති අවකාශය බව පසුගියදා නැවත වරක් තහවුරු විය.



ඒ, අරගල බිමේ අපේක්ෂාවන් පාර්ලිමේන්තුව තුළ නියෝජනය නොවන බවට චෝදනා කරමින් සජබ සහ ජාජබ නියෝජිතයින් සතියක කාලයකට පාර්ලිමේන්තුව වර්ජනය කිරීමේ තීරණය දැනුම් දීම මගිනි.

Sajith anura12022

"අපි ජනතා අරගලය සමග සිට ගන්නවා" යැයි සජිත් ප්‍රේමදාස ආවේගාත්මකව පැවසීමෙන් පසුව අනුර කුමාර දිසානායක "පාර්ලිමේන්තුව කතා සාප්පුවක් බවට පත්ව තිබේය" යන අන්තරේ කැඳවුම්කරුගේ ප්‍රකාශය පුනරුච්ජාරණය කරන තරම් දුරට ගියේය. මෙතෙක් කලක් පාර්ලිමේන්තු දේශපාලනය කෙරෙහි වැඩි අවධානයක් දක්වමින් සිටි සාම්ප්‍රදායික දේශපාලන නායකත්වයන්ගේ පැත්තෙන් මෙවන් තීන්දුවක් ප්‍රකාශයට පත් වීම ඉතාම සංකේතාත්මක සංසිද්ධියකි.


අලුත් දේශපාලන භාෂාවක අවශ්‍යතාව :


මේ ආකාරයෙන් අරගල බිම ඉතාම බලපෑම් සහගත නව දේශපාලන පරිමණ්ඩලයක් ලෙසින් ගොඩ නැගෙමින් තිබුණද, තවමත් එයට තම අභිලාෂයන් ප්‍රකාශයට පත් කිරීම සඳහා නව දේශපාලන භාෂාවක් නිර්මාණය කර ගන්නට හැකිව තිබෙන බවක් නොපෙනේ.

අරගල බිම තුළින් ඉදිරිපත් වන බොහෝ යෝජනා පවතින පාර්ලිමේන්තු පක්ෂ දේශපාලනයේ රාමුව තුළම සිදු කෙරෙන කුඩා කුඩා ප්‍රතිසංස්කරණවලට සීමා වී තිබීමෙන් ගම්‍ය වන්නේ එයයි.

මේ මොහොතේ අප සමාජයක් ලෙස මුහුණදෙමින් සිටින පැවැත්ම පිළිබඳ අනතුර හමුවේ එවන් ප්‍රතිසංස්කරණවල පවා වැදගත්කමක් තිබෙනවා විය හැකිය. නමුත්, වත්මන් අර්බුදයේ ව්‍යුහාත්මක ස්වභාවය දෙස බලන විට හුදෙක් පාර්ලිමේන්තුවාදී පක්ෂ දේශපාලනයේ රාමුවෙන් ඔබ්බට ගිය බරපතල සමාජ දේශපාලනික පරිවර්තනයක අවශ්‍යතාව අද පැන නැගී තිබෙන බව අපට ප්‍රතික්ෂේප කළ නොහැකිය.

එම පරිවර්තනය තේරුම් කිරීමට වත්මනෙහි ප්‍රධාන ධාරාවේ දේශපාලනය තුළ ප්‍රචලිතව තිබෙන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ, දූෂිත නොවන පක්ෂයක් බලයට ගෙන ඒම, ජනතාවාදී ආණ්ඩුවක් පත් කර ගැනීම වැනි පැරණි කතාන්තර සමත් වන්නේ නැත. ඒ වෙනුවට අද අරගල බිම විසින් අලුත් කතාන්දරයක් නොහොත් කතා ආඛ්‍යානයක් නිර්මාණය කරගත යුතුව තිබේ.



මගේ අදහස වන්නේ අප දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ මතුපිට කතාන්දරයේ සිට ව්‍යවස්ථාව පදනම් වන්නේ යැයි සැලකෙන සමාජ සම්මුතිය පිළිබඳ වඩා මූලධාර්මික කතාන්දරයට මාරු විය යුතු බවයි. එසේම අලුත් ආණ්ඩුවක් පිළිබඳ ගතානුගතික කතාන්දරයේ සිට අලුත් ජනරජයක් පිළිබඳ රැඩිකල් කතාන්දරයට මාරු විය යුතු බවයි.



මෙහිදී වත්මන් තීව්‍ර අර්බුදය තුළ අප විසින් කළ යුතුව ඇත්තේ වඩා ආසන්න, වඩා අනුභූතික සහ වඩා ප්‍රායෝගික දේ ගැන පමණක් කල්පනා කිරීමය යන ජනප්‍රිය ආප්තෝපදේශය මම පිළි නොගනිමි. එම ප්‍රවේශයේ ඇති ගැටළුව වන්නේ අපද අර්බුදයේම කොටසක් බවත් අපගේ ආසන්න විසඳුම් හුදෙක් අර්බුදයේම ප්‍රකාශනයක් විය හැකි බවත් නොතකා හැරීමයි.

ඒ වෙනුවට, අර්බුදයේ තීව්‍රතාව විසින් සැබවින්ම අපගෙන් ඉල්ලා සිටිනු ලබන්නේ අපගේ සමාජ පිළිවෙළ මෙතෙක් පදනම් වී තිබුණු භෞතික සහ සංකල්පීය කුළුණු වඩා ගැඹුරු, වඩා දාර්ශනික සහ වඩා මූලධාර්මික ලෙස Jayadewa 0222නැවත විමසා බලන්නා වූ බුද්ධිමය ව්‍යායාමයක් විය නොහැකිද?



වත්මන් අර්බුදය සම්බන්ධයෙන් මෑත දිනෙක කොළඹ විශ්ව විද්‍යාලයේ පැවති සම්මන්ත්‍රණයකදී මහාචාර්ය ජයදේව උයන්ගොඩ විසින් කරන ලද ප්‍රධාන අවධාරණයක් වූයේද මෙයයි. බොහොමයක් තරුණ ශාස්ත්‍රඥයින් තමන් දැනටමත් අර්බුදය තේරුම් කොට තිබේ යැයිද අවශ්‍යව ඇත්තේ තම වියුක්ත විශ්ලේෂණයන් බාහිර සමාජයට සන්නිවේදනය කිරීමක් යැයිද පවසන විට පරිණත දේශපාලන විද්‍යාඥයා විමසා සිටියේ සැබවින්ම අර්බුදය කුමක්දැයි ශාස්ත්‍රීය ප්‍රජාව වටහාගෙන තිබේද යන්නයි.


අර්බුද සමයක් යනු අප සමාජයේ මූලධාර්මික පදනම් නැවත පිරික්සා බැලීමට, විචාරයට ලක් කිරීමට සහ නව සමාජ පර්යායක් පරිකල්පනය කිරීමට ලැබෙන අවස්ථාවක් නොවේද? අප විශ්වවිද්‍යාල තුළ උගන්වන සමාජ සහ දේශපාලන න්‍යායන් සියල්ලක්ම පාහේ එවන් විචාරාත්මක බුද්ධිමය මැදිහත්වීම්වල ප්‍රතිපල නොවේද?

ගැටළුව වන්නේ අප දේවල් අනවශ්‍ය තරම් වියුක්තව දැකීම නොව අවශ්‍ය තරම් වියුක්ත චින්තනමය ක්‍රියාකාරීත්වයන්හි යෙදීමට අසමත් වීම විය නොහැකිද? 

 
ඉහත විදර්ශනා ඇසුරු කරමින් මේ ලිපියේ ඉතිරි කොටස ප්‍රයත්න දරනු ඇත්තේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබඳ වඩා ආසන්න සහ සංයුක්ත කතාන්දරයේ සිට නූතන ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුක්‍රම පදනම් වන්නේ යැයි සැලකෙන වඩා ගැඹුරු සහ වියුක්ත කතාන්දරය නැවත විමසා බැලීමටය; ඒ අනුසාරයෙන් වත්මන් ලාංකීය අර්බුදය වටහා ගැනීමේ කිසියම් සංකල්පීය ප්‍රවේශයක් සකසා ගැනීමටය.                                                      



සමාජ සම්මුතියේ කතා ආඛ්‍යානය  



නූතන නියෝජන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය පදනම් වන්නා වූ සමාජ ගිවිසුම නොහොත් සම්මුතිය පිළිබඳ කතා ආඛ්‍යානය අප දැන් කෙටියෙන් විමසා බලමු. එම කතා ආඛ්‍යානය බැලූ බැල්මට ප්‍රබන්ධයක් වුවත් එහි ඓතිහාසික අරුතක්ද තිබේ.


Terranova 1 1024x578
                          ඩොන්නා හැරවේ


ඩොන්නා හැරවේ පවසා ඇති පරිදි කතා ආඛ්‍යානයක් යනු හුදෙක් ප්‍රබන්ධයක් වන්නේ නැත; කරුණුවලට විරුද්ධ යමක් වන්නේද නැත. කතා ආඛ්‍යාන යනු කරුණු සහ ප්‍රබන්ධ එකට ගෙත්තම් කිරීමෙන් නිමැවෙන ඓතිහාසික වියමන් ය. සමාජ සම්මුති න්‍යාය අපට එවන් ඓතිහාසික වියමනක් වූ කතා ආඛ්‍යානයක් ලෙස සලකා බැලිය හැකිය.



සමාජ සම්මුති සම්ප්‍රදායේ වඩාත් වමට බර චින්තකයා වන රූසෝ වැඩි අවධානයක් යොමු කරන්නේ පාලකයා සහ පාලිතයා අතර මැතිවරණයකදී ඇති කරගනු ලබන සම්මුතියට නොවේ. එම සම්මුතියට එළැඹීම සඳහා අප පළමුවෙන් මැතිවරණ මගින්, එනම් බහුතර ජන්දයෙන් පාලකයින් තෝරා පත් කරගන්නා ක්‍රමය පොදුවේ පිළිගත යුතුය.



එසේනම්, නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අප කිසියම් සම්මුතියක් ඇති කරගෙන තිබිය යුතුය. එම මූලික සම්මුතිය රූසෝට අනුව ප්‍රාරම්භක සම්මුතියකි (foundational contract). එවන් ප්‍රාරම්භක සම්මුතියක් නොතිබුණේ නම්, සුළුතරය විසින් බහුතරයේ තීරණය පිළිගනු ලැබිය යුත්තේ මන්දැයි ඔහු විමසයි.

එපමණක් නොව, ඔහුට අනුව ජනතාව ජනතාවක් බවට පත් වන්නේ එම ප්‍රාරම්භක සම්මුතියට එළැඹීමේ ක්‍රියාව මගිනි. ප්‍රජාතාන්ත්‍රික සමාජයක මූලික පදනම වන්නේ එයයි. 
 
එසේම මැතිවරණවලදී අප ඒකමතික තීරණයකට පැමිණෙන්නේ නොමැති වුවත්, මැතිවරණ ක්‍රමයට අප සාමූහිකව එකඟ වූ ප්‍රාරම්භක අවස්ථාවේදී අප අතර ඒකමතිකත්වයක් තිබී ඇත. ඒ වනාහී අපගේ අනාගත දේශපාලන ක්‍රමය සකස් විය යුත්තේ කවර නම් වටිනාකම් පද්ධතියක් මතද යන ප්‍රශ්නය අරභයා ඇති කරගනු ලැබූ ඒකමතිකත්වයකි.



සමාජ සම්මුතිය පිළිබඳ කතා ආඛ්‍යානයේ ඓතිහාසික පැතිමානය සඳහා වැදගත් නිදසුනක් නම් ඇමෙරිකානු නිදහස් ප්‍රකාශනයයි. එයින් ප්‍රකාශ වන්නේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව සටන් වැදුණු ඇමෙරිකානු ජනපදවල ජනතා නියෝජිතයින් ඔවුනගේ අනාගත පාලන ක්‍රමය හැඩ ගැසිය යුත්තේ කවර මූලධර්ම මතද යන කාරණය අරභයා ඇති කරගත් සම්මුතියකි.



1976 ජූලි 04 වනදා සම්මත කරගත් නිදහස් ප්‍රකාශනය වනාහී එක්සත් ජනපදයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් වඩා මූලික වූ පදනම්මය ලියැවිල්ල ලෙස සැලකේ. තෝමස් ජෙෆර්සන් විසින් කෙටුම්පත් කරන ලද නිදහස් ප්‍රකාශනය ආරම්භ වන්නේ "සියලු මිනිසුන් සමානව නිමවනු ලැබ තිබේය" යන ප්‍රකාශයෙනි. එසේම මිනිසුන් සතුව ඇති ජීවිතය, නිදහස සහ සතුට අත්පත් කරගැනීම යන අයිතීන් කිසිවෙකුටත් ඔවුන්ගෙන් උදුරාගත නොහැකි යැයි එය තවදුරටත් පවසයි.

කෙනෙකුට එක්සත් ජනපද දේශපාලන ක්‍රමය ගැන කොතෙකුත් විවේචන තිබුණද, එරට 'සැබවින්ම පවතින ප්‍රජාතන්ත්‍රවාදයේ' (really existing democracy) සීමාවන් ප්‍රශ්න කිරීමේදී මෙම ස්වාධීනතා ප්‍රකාශනයේ මූලධර්ම මත පදනම් විය හැකිය. නිදසුනක් ලෙස, ඇමෙරිකානු සිවිල් අයිතීන් ව්‍යාපාරයේදී සිදු වූයේ එයයි.          


ලාංකීය යටත්විජිත අනෙකාගේ සම්මුතිය


ඉහත කී සමාජ සම්මුතියේ ඓතිහාසික පැතිමානය අනුව බැලූ විට ලාංකීය නූතන ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුක්‍රමය සම්බන්ධයෙන් අප ඇසිය යුතු මූලික ප්‍රශ්නයක් වන්නේ මෙයයි. මෙරට තුළ ප්‍රජාතාන්ත්‍රික ආණ්ඩුක්‍රමික ආයතන සහ ක්‍රියා පටිපාටීන් ස්ථාපිත වූයේ ස්වදේශිකයින් අතර ඇති වූ ප්‍රාරම්භක සම්මුතියක ප්‍රතිපලයක් ලෙසින්ද, නැතහොත් බ්‍රිතාන්‍ය තුළ ඇති වූ ප්‍රාරම්භක සම්මුතියක ප්‍රතිපලයක් ලෙසින්ද? සැබවින්ම ඉහත ප්‍රශ්නයට පිළිතුර වන්නේ දෙවැන්න බව පෙන්වා දීම අසීරු නැත.

මේ සඳහා ඇති හොඳම නිදසුන වන්නේ ලංකා විජිතයට සර්වජන ජන්ද බලය හඳුන්වා දීමේ සංසිද්ධියයි. ඩොනමෝර් කොමිසම විසින් මෙරටට සර්වජන ජන්ද බලය හඳුන්වා දෙනු ලබන විට ස්වදේශික නායකයින් රැසක්ම එයට විරුද්ධ වූ බව රහසක් නොවේ.

ආරම්භයේ සිටම එයට පක්ෂව කතා කළේ බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය සමග සම්බන්ධයක් තිබූ ලංකා කම්කරු පක්ෂයේ නායක ඒ.ඊ. ගුණසිංහ පමණි. ඊට අමතරව, ඒ වනවිට බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාල තුළ ඉගෙනුම ලබමින් සිටි ලාංකීය ශිෂ්‍ය කණ්ඩායමක්ද ඩොනමෝර් ප්‍රතිසංස්කරණවල ඇතැම් සීමාවන් ප්‍රශ්න කරන අතරම සර්වජන ජන්ද බලයට පක්ෂව කතා කොට තිබිණ.

ඉන් වසර කිහිපයකට පසුව ලාංකීය වාමාංශික ව්‍යාපාරයේ සමාරම්භක නායකයින් වූයේ ඔවුන්ය. කෙසේ වුවත්, සර්වජන ජන්ද බලය දිනා ගැනීම අරමුණු කොටගත් කුඩා සංවිධාන කිහිපයක් එකල පැන නැගුණද, එය කෙසේවත් පුළුල් බහුජන ව්‍යාපාරයක් බවට පරිවර්තනය වූයේ නැත.


VHE Lord Dunmore teaser                              ඩොනමෝර් සාමිවරයා


නමුත්, බ්‍රිතාන්‍ය තුළ නම් සර්වජන ජන්ද බලය සඳහා වූ ඉතාම ප්‍රබල සම්මුතියක් ඒ වනවිට නිර්මාණය වී තිබිණ. ඒ සඳහා වූ ප්‍රධාන ව්‍යාපාර දෙකක් 19 වන සියවසේ අගභාගයේ සිටම බ්‍රිතාන්‍ය තුළ වේගයෙන් වර්ධනය විය. ඒ ස්ත්‍රී ජන්ද බලය සඳහා වූ ව්‍යාපාරය සහ කම්කරුවන්ගේ ජන්ද බලය සඳහා වූ ව්‍යාපාරයයි.

ආරම්භයේදී මෙම ව්‍යාපාර දෙක අතර එතරම් සම්බන්ධයක් නොතිබුණද, පසුව විශේෂයෙන්ම එමලීන් පෑන්ක්හර්ස්ට්ගේ නායකත්වයෙන් ස්ත්‍රී ව්‍යාපාරය සහ වාමාංශය අතර කිසියම් පාළමක් නිර්මාණය විය.

මෙම බහුජන ව්‍යාපාරයන්හි ප්‍රතිපලයක් ලෙසින් පළමුව 1918 ජනතා නියෝජනය පිළිබඳ පණතින් කම්කරුවන්ට මුළුමනින්මත් ස්ත්‍රීන්ට සීමිත වශයෙනුත් ජන්ද බලය හිමි විය. ඉනුත් වසර දහයකට පසුව, එනම් 1928 දී සමාන ජන්ද බල පණතින් සර්ව-ස්ත්‍රී ජන්ද බලය ස්ථාපනය කෙරිණ.

ලංකාවට ඩොනමෝර් කොමිසම පැමිණෙන්නේ හරියටම මේ කාල පරිච්ජේදය තුළදීය. එහි ප්‍රධානියා වූ ඩොනමෝර් සාමිවරයා ස්ත්‍රීන්ගේ අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් වැඩ කළ අයෙකි. සෙසු සාමාජිකයින් වූ ද්‍රමන්ඩ් ශීල්ස් සහ ෆ්‍රාන්සස් බට්ලර් යන දෙදෙනාට වාමාංශික පසුබිමක් තිබිණ.

මේ සියල්ලටමත් වඩා 1929 දී බලයට පත් රැම්සේ මැක්ඩොනල්ඩ්ගේ කම්කරු පක්ෂ ආණ්ඩුව යටත්විජිත තුළ ආණ්ඩුකරණය සම්බන්ධයෙන් කිසියම් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. යටත් විජිත භාර ලේකම් ලෙසින් පත් වූ සිඩ්නි වෙබ් බ්‍රිතාන්‍ය මධ්‍ය-වාමාංශික ෆේබියන් සමාජයේ සාමාජිකයෙකු විය. ඔහුට සමාජවාදී බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයක් පිළිබඳ සිහිනයක් තිබූ බවද කියැවේ!



 ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වදේශිකකරණය  




මේ අනුව, ස්වදේශිකව ප්‍රජාතාන්ත්‍රික විප්ලවයක් හෝ අධිරාජ්‍ය විරෝධී බහුජන අරගලයක් සංවිධානය නොකළ ලාංකිකයා හට සර්වජන ජන්ද බලය ලැබෙන්නේ ලංකාව තුළ නොව බ්‍රිතාන්‍ය තුළ නිර්මාණය වූ ඓතිහාසික සමාජ සම්මුතියක ප්‍රතිපලයක් ලෙසිනි. නමුත්, එයින් කියැවෙන්නේ ලාංකික සමාජය හුදෙක් මෙසේ පිටතින් පැමිණි ප්‍රජාතාන්ත්‍රික රාමුව නිෂ්ක්‍රීයව භාර ගත් බව නොවේ.


යටත් විජිතවැසියා යනු දේශපාලන ඒජන්සියක් නොමැති නිෂ්ක්‍රීය ග්‍රාහකයෙකු විය නොහැකිය. ඒ වෙනුවට අප පසුගිය සියවසකට ආසන්න කාල පරිච්ජේදයක් තුළ සිදු කොට තිබෙන්නේ නූතන නියෝජන ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය අපගේම ඇතැම් ස්වදේශික සම්මුතීන්ට අනුව නැවත නිර්වචනය කර ගැනීමය.

එම ස්වදේශික සමාජ සම්මුතීන් අතර ජනවාර්ගික සහ ආගමික ජාතිකවාදයත් අනුග්‍රාහක දේශපාලනයත් ප්‍රමුඛ තැනක් ගනී.

1972 පළමු ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් පදනම් වී ඇත්තේ එකී ස්වදේශික සම්මුතීන් මතය. දෙවන සම්මුතිය 'අනුග්‍රාහක නිදහස් වෙළඳපලවාදයක්' සමගද සම්බන්ධය.


මගේ අදහස වන්නේ වත්මන් ජනතා අරගලය විසින් ඉහත කී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දෙකම පදනම් වූ සමාජ සම්මුතීන්හි කුළුණු දැඩි ප්‍රහාරයකට ලක් කරමින් තිබෙන බවයි. එබැවින්, පැරණි සමාජ සම්මුතීන් දැන් තවදුරටත් වලංගු වන්නේ නැත. ඒ වෙනුවට, නිදහසින් පසු ලාංකීය ඉතිහාසයේ පළමු වරට ප්‍රජාතාන්ත්‍රික මූලධර්ම මත පදනම් වූ සමාජ සම්මුතියක් ගොඩ නංවා ගැනීමේ අවස්ථාවක් දැන් නිර්මාණය වී තිබේ. සැබෑ අරුතින් ජනරජයක් නිර්මාණය කර ගැනීමට ස්වර්ණමය අවස්ථාවක් ලැබී තිබේ. අද අපගේ බුද්ධිමය ශ්‍රමය වැය කළ යුතුව ඇත්තේ එම වියහැකියාව ඓතිහාසික ජයග්‍රහණයක් බවට පරිවර්තනය කර ගැනීම සඳහාය.      
     
 
sUMITH cHAMINDAc                                     

(සුමිත් චාමින්ද)
කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.
 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්