1200 x 80 DMirror

 
 

''ගෝඨා ගෙදර ගිය පසුව නිර්මාණය වන හෙට දවස ගැන අප ප්‍රමාණවත් තරමින් පරිකල්පනය කොට තිබේද?'' පසුගිය ජූනි මාසයේදී ගාලු මුවදොර, මහනුවර සහ ගාල්ල ගෝඨාගෝගම් තුළ පැවති

සම්මන්ත්‍රණ කිහිපයකදී මම මේ ප්‍රශ්නය අරගලයේ ක්‍රියාකාරීන්ගෙන් විමසා ඇත්තෙමි.

තවමත් ගෝඨා ගෙදර ගොස් නොතිබුණු ඒ දිනවල පශ්චාත්-ගෝඨා යුගයක් සඳහා පොදු උපායමාර්ගික ප්‍රවේශයක් ගැන කල්පනා කිරීම පහසු කාරණයක් වූයේ නැත.

අද දවසේදී අරගලයේ ප්‍රතිපලයක් ලෙස ගෝඨා ගෙදර ගොස් තිබියදීත් එය කිසිසේත්ම පහසු අභියෝගයක් වන්නේ නැත.


 මේ අසමත්භාවය පිළිබඳව අරගලයේ කිසිදු පාර්ශවයකට චෝදනා කිරීම සාධාරණ නැතැයි මට හැඟේ. මන්දයත්, පසුගිය මාස තුනක පමණ කාල පරිච්ජේදය තුළ පැවති සිදුවීම්වල වේගවත්භාවයත් තීව්‍රතාවත් ඉදිරියේ අරගලයේ පාර්ශවකරුවන් අතර අරගලයේ දීර්ඝ හෙට දවස ගැන එකඟතාවක් ගොඩ නගා ගැනීම අතිශයින්ම අසීරු කාර්යයක් විය.



එය අප සියල්ලන් විසින්ම පසු කර එන ලද අහඹු අනිශ්චිත නිමේෂයකි. ඒ නිමේෂය වෙතට කඩා වැදුණු අලුත දේශපාලනීකරණය වූ මහජනයා කිසිදු නිශ්චිත දේශපාලන නායකත්වයකට තබා දේශපාලන දැක්මකට හෝ ගොණු කළ හැකි නොවීය.


එය අප කිසිවෙකුත් ඉතිහාසය තුළ පෙර අත් විඳ නොතිබුණු ආකාරයේ මහජන නැගී සිටීමකි. ජන සමාජයේ සියළුම විවිධත්වයන් එතුළ නියෝජනය විය. ඔවුන්ව එක්සත් කරන්නට සමත් වූ එකම පොදු අභිලාෂය වූයේ ජනතා කෝපයට සහ විරෝධයට ලක්ව පැවති රාජපක්ෂ පාලන තන්ත්‍රය පෙරළා දැමීම පමණි.


සැබවින්ම ආරම්භයේදී දේශපාලන පක්ෂ සහ සංවිධාන සිටියේ මෙම බහුජන රැල්ලට පිටුපසිනි. නිර්පාක්ෂික ජනතාව යන හිස් හැඟවුම්කාරකය දේශපාලන ශබ්ද කෝෂයට එක් වූයේ එවන් පසුබිමක් තුළය.

ඓන්ද්‍රීය බැමි රහිත එකතුවක්



නමුත්, ක්‍රම ක්‍රමයෙන් අරගලය වෙනස් පැතිමාන දෙකක් සහිතව විකාශනය වන්නට පටන් ගත්තේය. එනම්, එක් පසෙකින් සාංසිද්ධික මහජන නැගී සිටීමේ පැතිමානයත් අනෙක් පසින් අරගල බිම තුළ ගොඩ නැගුණු නව 'සාමූහික නායකත්වයේ' පැතිමානයත් වශයෙනි.

දෙවැන්න තුළ ජවිපෙ සහ පෙසප ඇතුළු කණ්ඩායම් ගණනාවක් නියෝජනය විය. එසේම, ගාලු මුවදොර සහ රටේ වෙනත් තැන් කිහිපයක නේවාසික අරගල බිම් ගොඩ නැගීම මගින් අරගලයට කිසියම් අවකාශීය පැවැත්මක් ලබා දෙන්නට එහි නියමු සාමූහිකය සමත් විය. එම නේවාසික අරගල අවකාශයන් සමග කිසියම් අනුරාගික බැඳීමක් එයින් පිටත විසූ විරෝධතාකරුවන් අතර ගොඩ නැගුණි.

202205asia srilanka protester fire.jpg
මැයි නමවෙනිදා ගාලු මුවදොර සහ මහනුවර අරගල බිම්වලට එල්ල වූ ප්‍රහාරයන්ට එරෙහිව රට පුරා පැතිර ගිය විරෝධතාවලින් සංකේතවත් වූයේ එයයි.

මේ නව තත්ත්වය තුළ කිසියම් දුරකට පොදු ජන සමාජයට ආමන්ත්‍රණය කිරීමේත් ඔවුන්ව සටනට කැඳවීමේත් සංකේතීය බලයක් අරගල බිමේ සාමූහිකය විසින් හිමි කරගනු ලැබූ බවක්ද පෙනී ගියේය. ගාලු මුවදොරින් කෙරුණු කැඳවීමට ජූලි නමවෙනිදා මහජනයා ප්‍රතිචාර දැක්වූ ආකාරය එතෙක් කිසිවෙකුටත් පරිකල්පනය කළ හැකිව තිබූ දෙයක් නොවේ.

නමුත්, මේ සංකේතීය ආමන්ත්‍රණයේ බැම්ම හැරුණු කොට අරගල බිමේ සාමූහිකයත් සාංසිද්ධිකව නැගී සිටි ජනතාවත් අතර වෙනත් කිසිදු ඓන්ද්‍රීය බැම්මක් (organic bond) පැවතියේ නැත. ජනතා කොටස් සමග කිසියම් ඓන්ද්‍රීය බැම්මක් පැවතියේ ජවිපෙ, පෙසප, අන්තරය, වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන වැනි ඒ වනවිටත් දේශපාලනයේ නිරතව සිටි සංවිධානාත්මක එකතූන් සතුව පමණි.

නමුත්, ඔවුන්ට ඓන්ද්‍රීය බැමි පැවතියේ ඔවුනගේ සාමාජිකයින් සහ අනුගාමිකයින් සමග බව අමුතුවෙන් කිව යුතු නැත.


අරගලයට පැමිණි මහජන සමූහයත් අරගල බිමේ 'සාමූහික නායකත්වයත්' අතර පැවති මෙම විසම්බන්ධය ආරම්භයේ සිටම ප්‍රතීයමාන විය. අරගලයේ උච්චතම අදියර සලකුණු වූ ඓතිහාසික ජූලි නමවෙනිදා ගාලු මුවදොර මාර්ගය තෙරපෙන තරමේ ජන ගංගාවක් ගලා ගියද, ගෝඨාගෝගමේ අවකාශය සාපේක්ෂ නිදහස් තෝතැන්නක් ලෙස පැවතිණ. එහි ගම්වැසියන් මුණ ගැසෙන්නට ජනයා එතරම් උනන්දු වූ බවක් නොපෙනිණ. අන්තරයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ජනාධිපති මන්දිර පරිශ්‍රයට පැමිණි මොහොතේදී නාඳුනන මිනිසුන් විශාල පිරිසක් ඔහුව අත්පොළොසන් දී පිළිගත් බව පමණක් අසන්නට ලැබිණ.


                 

වෙනස් ප්‍රවේශ   :


අද දිනයේ අරගලයේ අසමත්භාවයන් ගැන පසු-ආවර්තී ලෙස විචාරයේ යෙදෙන බොහොමයක් දෙනා නොතකා හරින කාරණයක් වන්නේ සැබවින්ම අරගලයට සම්බන්ධ වී සිටි සංවිධානාත්මක කණ්ඩායම් එම අසමත්භාවයන් ජය ගැනීමට දැනුවත් ප්‍රයත්නයක නිරත වී සිටි බවයි.


යම් හෙයකින් වමේ පක්ෂ හා සංවිධානවල ආකෘතියට දරාගත නොහැකි තරමේ සුවිශාල මහජන නැගී සිටීමක් සිදු වුවහොත් කළ යුත්තේ කුමක්ද ප්‍රශ්නය වමේ සාකච්ජා තුළ මතුවෙමින් තිබුණේ මිරිහාන උද්ඝෝෂණයට සති ගණනාවකට පෙර සිටය. මා සමග පුද්ගලික හමුවකදී පුබුදු ජයගොඩ සහෝදරයා මේ ප්‍රශ්නය ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් කළා මට මතකය.


නමුත්, සංවිධානාත්මක දේශපාලන ව්‍යාපාරවලට පෙර සූදානමක් ඇති කරගත නොහැකි තරම් වේගයෙන් බහුජන ක්ෂේත්‍රයේ සිදුවීම් පෙළ ගැසෙමින් තිබුණි. අරගල රැල්ල ආරම්භ වන විට පෙසප පාර්ශවයෙන් ජන අරගල ව්‍යාපාරයට කිසියම් මුල පිරීමක් සිදු කොට දින කිහිපයක් ගතව තිබුණා පමණි.


ජාජබ ඒ වනවිට වැඩි අවධානයක් යොමු කොට සිටියේ තම දිස්ත්‍රික් සම්මේලන කෙරෙහි මිස උද්ඝෝෂණ ක්‍රියාමාර්ග කෙරෙහි නොවේ. නමුත්, ප්‍රධාන ධාරාවේ දක්ෂිණාංශික පක්ෂවලට දරාගත නොහැකි ආකාරයේ ජනතා විරෝධයක් උත්සන්න වෙමින් පවතින බව ජාජබ නායකයින්ද හඳුනාගෙන සිටියා විය යුතුය.    


කෙසේ වුවත්, ගෝඨා ගෙදර යැවූ පසුව අප දකින්නට කැමති තත්ත්වය ගැන ප්‍රධාන ප්‍රවේශයන් දෙකක් අරගල අවකාශය තුළින් ඉදිරිපත් වන්නට විය. ජවිපෙ/ජාජබ ප්‍රවේශය වූයේ ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා සැබෑ ජන මතය නියෝජනය කෙරෙන නව පාර්ලිමේන්තුවක් තෝරා පත් කරගත යුතු බවයි. පෙසප, අන්තරය සහ වාම බුද්ධිමය කව කිහිපයක් විසින් යෝජනා කරනු ලැබුවේ කම්හල්, ගොවිබිම් සහ වැඩපළ මට්ටමේ සිට ගොඩ නගනු ලබන මහජන නියෝජන ආයතන ජාලයක් මගින් පාර්ලිමේන්තුවට සහ විධායකයට බලපෑම් කිරීමේ යාන්ත්‍රණයක් නිර්මාණය කළ යුතුය යන්නයි.

මෙම ප්‍රවේශයන් දෙක අවශ්‍යයෙන්ම එකිනෙක බැහැර කරන ඒවා නොවූවද, ජවිපෙ/ජාජබ සහ පෙසප අතර පොදු එකඟතාවක් ගොඩ නගා ගැනීමට අසමත් වීම හමුවේ ඒවා ඉදිරිපත් වූයේ තරඟකාරී ප්‍රවේශයන් ලෙසය. අවසානයේදී ඉන් එකක්වත් සාර්ථක කරගන්නට පෙර දේශපාලන ප්‍රභූ තන්ත්‍රයේ ප්‍රති-ප්‍රහාරය ආරම්භ විය.


මේ අනුව, වමේ පක්ෂ සහ සංවිධාන අතර අවම එකඟතාවක් ගොඩ නගා ගන්නට අසමත් වීම අරගලයේ අසමත්භාවයේ කේන්ද්‍රීය සාධකයක් වූ බව පිළිගන්නට සිදුවේ. මගේ අදහස නම්, මේ සම්බන්ධයෙන් වැඩි වශයෙන් වග කිව යුතු වන්නේ ජවිපෙ/ජාජබ නායකත්වය බවයි.


 මන්දයත්, පෙසප නායකත්වය දෙවතාවක්ම ජවිපෙට සාකච්ජා සඳහා නිල වශයෙන් ආරාධනා කළේය. පළමුවර එම ඇරයුම නොතකා හරිනු ලැබූ අතර, දෙවන වර ජවිපෙ වෙනුවට ජාජබ සාකච්ජා සඳහා සහභාගී කරවනු ලැබීය. අවම එකඟතාවක් ඇති කරගන්නට අසමත් වූ මෙම සාකච්ජාව පවත්වනු ලැබුවේ අරගලය තුළ ඒකාබද්ධ ක්‍රියාකාරීත්වයක් සඳහාත් පොදු උපායමාර්ගයක් සඳහාත් වූ අවශ්‍යතාව තදින්ම මතුව තිබියදීය.

ජාතික ජන බලවේගය - පෙරටුගාමී අතර සාකච්ඡාවක්


මැතිවරණ දේශපාලනයේදී දැනට දුර්වල තැනක සිටින පෙසප ජන අරගල දේශපාලනයේදී ශක්තිමත් පාර්ශවකරුවෙකු වේය යන කාරණය ජවිපෙ/ජාජබ නායකත්වය විසින් ප්‍රමාණවත් තරමින් සැලකිල්ලට ගත් බවක් නොපෙනේ.

තම ඉල්ලීම වන හදිසි මැතිවරණයක් දිනා ගැනීම සඳහා වුවත් පාර්ලිමේන්තුවෙන් පිටත බලය ශක්තිමත් කළ යුතුය යන්නත්, තම ඉල්ලීම අරගලයේ පොදු සටන් පාඨයක් ලෙස මතු කරගත යුතුව තිබූ බවත්, පෙසප සමග වන විරසකය එයට බාධාවක් බවත් අඩු තරමින් අනුභූතික දේශපාලනය තුළ ජවිපෙ/ජාජබ නායකත්වය විසින් වටහාගත යුතුව තිබුණි.


වමේ පක්ෂ දෙක අතර නායකත්ව මට්ටමෙන් කිසියම් එකඟතාවක් ගොඩ නගා ගන්නට සමත් විණි නම්, මැතිවරණ ප්‍රවේශය සහ මහජන කවුන්සිල ප්‍රවේශය සම්බන්ධ කරගත් පොදු උපායමාර්ගික ප්‍රවේශයක් ගොඩ නගා ගත හැකිව තිබිණ. නොඑසේව, තමන් වඩා නිවැරදි යැයි දකින උපායමාර්ගික ප්‍රවේශය අනෙකා විසින්ද භාරගත යුතු යැයි උඩඟු ලෙස කල්පනා කරන තාක් දුරට දෙපාර්ශවයටම මේ ගැටළුව විසඳාගත නොහැකි වනු ඇත.                                              


පොදු පෙරමුණක අවශ්‍යතාව



දේශපාලනය සංස්ථාපිතය අභියෝගයට ලක් කරමින් පැන නගින මහජන නැගී සිටීම් හමුවේ තිබෙන අසීරුතම අභියෝගය වන්නේ ඒවායෙහි අභිලාෂයන් එක්කෝ පවතින ආයතනික රාමුව තුළින්ම ඉටු කරගන්නේ කෙසේද යන්නයි; නැතහොත් ඒවා ඉටුකෙරෙන නව ආයතනික රාමුවක් ගොඩ නගාගන්නේ කෙසේද යන්නයි. සමකාලීන ජන අරගලයට අදාළව ගත් කල, මේ අභියෝගය දැන් ඉතාම තීව්‍ර ලෙස මතුවී තිබේ.


මේ කාරණයේදී මෙන්ම දැන් ගොඩ නැගෙමින් පවතින අධිකාරීවාදී සහ මර්දනකාරී පාලන තන්ත්‍රයට මුහුණ දීමේදීද ප්‍රජාතාන්ත්‍රික බලවේගවල හදිසි අවශ්‍යතාව වනු ඇත්තේ ප්‍රජාතාන්ත්‍රික ජනතා පෙරමුණක අවශ්‍යතාවයි.



එවන් පෙරමුණක් සඳහා බාධාව එල්ල වන්නේ මා මිත්‍ර නිර්මාල් දේවසිරිගේ වචනයෙන් කිව හොත් අරගලයේ රැඩිකල් අන්තය වෙතින් යැයි කීම කරුණුමය වශයෙන් වැරදිය.

අරගලයේ රැල්ල උස්ව නැගීමට පෙරම පෙසප බොහෝ විපාක්ෂික නායකත්වයන් සමග ද්වි-පාක්ෂික සාකච්ජා පැවැත්වූ බවද, ඒ අතර දෙමළ සන්ධානය මෙන්ම සමගි ජන බලවේගය පවා සිටි බවද, අන්තරය වත්මන් අර්බුදය විසඳීම සඳහා වූ තම යෝජනා විපක්ෂයේ සියළු පක්ෂවලට ප්‍රසිද්ධියේ ඉදිරිපත් කළ බවද, ගාලු මුවදොර අරගලකරුවන්ගේ ක්‍රියාකාරී සැලැස්ම සියළු විපාක්ෂික නායකත්වයන් වෙත පිළිගැන්වූ බවද, ඒ බොහොමයක් දෙනා මහජන කවුන්සිලය ඇතුළු යෝජනා සාධනීයව භාර ගත් බවද, අරගලයේ සාමූහික නායකත්වය ඔවුනට එරෙහි මර්දනය ගැන විදේශ තානාපති අංශ සහ මානව අයිතිවාසිකම් සංවිධාන දැනුවත් කිරීමට පවා තීරණය කොට තිබෙන බවද අමතක නොකළ යුතුය.

මර්දනකාරීත්වයට මුහුණ දෙමින් ඉදිරියට යාමට සිදුව තිබෙන අරගලයේ වත්මන් අදියරේදී සියලුම වාම, ප්‍රගතිශීලී සහ ප්‍රජාතාන්ත්‍රික බලවේග අතර ඉතාම පුළුල් එකතුවක් ගොඩ නගා ගත යුතු බව හොඳින්ම අවබෝධ කරගෙන සිටින්නේ අරගලයේ ඊනියා රැඩිකල් අන්තයයි.

නමුත්, තවමත් මේ ප්‍රයත්නයට බාධා කරන බරපතල සාධකයක් අරගල අවකාශයේ මධ්‍යයෙන්ම වැටී ඇත. ඒ අන් කිසිවක් නොව ජවිපෙ/ජාජබ සහ පෙසප අතර මූලික එකඟතාවක් හෝ අවබෝධතාවක් ගොඩ නංවා ගැනීමට අසමත්ව තිබීම නමැති සාධකයයි.


මේ මොහොතේ හෝ නායකත්ව මට්ටමේ අවම එකඟතාවක් ගොඩ නංවා ගැනීමට මේ දෙපක්ෂය අසමත් වුව හොත්, දෙපක්ෂයේ ක්‍රියාකාරීන් හට ඉදිරි කාලයේදී කිසියම් සංවාදයක් ඇති කරගන්නට පොදු අවකාශයක් වික්‍රමසිංහ පාලනය විසින් නිර්මාණය කර දෙනු ඇත. ඒ සිර කඳවුරු නමැති පොදු අවකාශයයි.                        

sUMITH cHAMINDAc
(සුමිත් චාමින්ද)
කතිකාචාර්ය
කොළඹ විශ්ව විද්‍යාලය
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58