('බුකර් ප්‍රයිස් එක සහ ලංකාව ගෙවපු ප්‍රයිස් එක' යන ශීර්ෂයෙන් යුතුව 'ද ලීඩර්' හි පළවූ අරවින්ද හෙට්ටිආරච්චි ගේ ලිපියට ප්‍රතිචාරයකි)




ජාත්‍යන්තර කීර්තියක් සහිත විශිෂ්ට බ්‍රිතාන්‍ය සාහිත්‍ය සම්මානයක් වන “බුක ත්‍යාගය” මෙවර හිමිකර ගනු ලැබූ උත්පත්තියෙන් ලාංකිකයෙකු වන බ්‍රිතාන්‍යවාසී ශෙහාන් කරුණාතිලකගේ ප්‍රහසනාත්මක ප්‍රබන්ධය වන “සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා” කෘතියේ ප්‍රකාශන හිමිකම් උල්ලංඝණය කරමින් අනියමින් සමාජ මාධ්‍ය ජාලයෙහි බෙදා ගන්නා නිල නොවන පීඩිඑෆ් පිටපතක් මටද ලැබුණි.


මෙතෙක් ඔහුගේ නිර්මාණය හරියාකාරව කියවා නොමැති හෙයින් සමාජ මාධ්‍ය ජාලවල විශේෂයෙන් ලාංකිකයින් එම සම්මානනීය කෘතිය සම්බන්ධයෙන් තබන සටහන් ගැන මම මෙහි කිසිවක් සඳහන් නොකරමි.


එනමුත් එම කාතිය සඳහා ශෙහාන්ට “බුක ත්‍යාගය” ලැබීම සීරුවෙන් අවප්‍රමාණය කරමින් එය පාදක කොට මේ රටේ ඉංග්‍රිසි ඉගෙනීම බණ්ඩාරනායක 1956 “සිංහල ඔන්ලි” මගින් සාමාන්‍ය ජනතාවට අහිමි කළේ යැයි “බුකර් ප්‍රයිස් එක සහ ලංකාව ගෙවපු ප්‍රයිස් එක” මැයෙන් අරවින්ද හෙට්ටිඅරච්චි නැමැත්තකුගේ “ද ලීඩර්” වෙබ් අඩවියේ පළකර තිබූ වැල්වටාරම ගැන සටහනක් තැබිය යුතු යැයි සිතින.


ආරම්භයේම කිව යුත්තේ “සමාජ විශ්ලේශකයෙකු” යැයි ලේබල් අලවා ගැනීමට පෙර, එවැනි ලිපියකට තොරතුරු උපුටා දැක්වීමේදී ඒවායේ මූලය සඳහන් කළ යුතු බැව් ඔහු ඉගෙන ගත යුතු බව ය.


“පැණි පුවක්” කා භ්‍රාන්තියකට හසු වූ අටේ පන්තියේ කොලු ගැටයෙකු කියූ කතා වැනි කතා අතරින් මෙය එක කතාවකි. ඉන්දියාව ඉංග්‍රීසි රාජ්‍ය භාෂාවක් ලෙස තබා ගැනීම සම්බන්ධයෙන් “ඇමරි-යූරෝ” මාධ්‍යවේදීන් (කොහේ කවුරුන්දැයි නොදනිමි) ඇසූ විට “ඉන්දියානු පරිපාලනය” (කවුද බොල ඒ ?) එය ඔවුන්ගේ ආර්ථික තීන්දුවක් යැයි කියූ බැව් ඔහු කියා තිබිණ. 

 

එවැනි කතා මගින් මවන ප්‍රබන්ධ දෙකක් ගැන ඉතා සැකෙවින් මම පැහැදිලි කිරීම් කරමි. පළමුවැන්න, ඉන්දියාවේ දියුණුව ඇත්තේ ඔවුන් ඉංග්‍රිසි භාෂාවට ලබා දී ඇති ඉහළ ගරුත්වය හා එය රාජ්‍ය භාෂාවක් ලෙස තියා ගැනීම නිසා යැයි කියන්නාවූ පට්ටපල් කෙබරය ගැන ය. දෙවැන්න අපේ රටේ සිංහල පමණක් 1956 දී බණ්ඩාරනායක විසින් රාජ්‍ය භාෂාව කිරීම හා ඉංග්‍රිසි ඉගෙන ගැනීම සාමාන්‍ය දරුවන්ට අහිමි කර ඇතැයි කියන වල්පල් තොගය ගැන ය.

 

ඔහු ලියා ඇති අයුරු, “අපට වඩා හොඳ” නිදහස් අරගලයක් ඉන්දියානුවන් කළේ යැයි කීමම විහිළුවකි. අපේ රටේ නිදහස් අරගලයක් තබා විරෝධතා රැස්වීම් හෝ නොවුනි. අපගේ ප්‍රභූ පිරිස් පෙත්සම් ලියමින් නිදහස සඳහා අයැද සිටියාට වඩා කිසිවක් නොකළහ.


ඉන්දියානු නිදහස් අරගලයේ “බහුතර වැසියෝ ඉංග්‍රීසි අයින් කරන්න කිව්වහම නේරු ඒකට ඉඩ දුන්නේ නැහැ” යැයි හෙට්ටිආරච්චි ලියා ඇත. ඔහු ඉන් කියන්නේ නිදහසට පෙර රාජ්‍ය පරිපාලනය සඳහා ඉංග්‍රීසි පාලකයින් යොදා ගත් ඉංග්‍රීසි භාෂාව අහෝසි කරන මෙන් බහුතරයක් ඉල්ලා සිටි බව ය. ඉන්දියානු නිදහස් අරගලය විසින් තහවුරු කෙරුණු බ්‍රිතාන්‍ය විරෝධී සමාජ මතය සමග එය එසේ විය යුත්තකි. එහෙත් “නේරු ඒකට ඉඩ දුන්නේ නැහැ” යැයි ඔහු කියන්නේ නෙහ්රු කවදා කොහේදී කෙසේ ඊට හරස් වූයේ දැයි කිසි විස්තරයක් නැතිව ය.


312094641 4246643572226638 1412002726129708414 n

නිදහස් අරගලය අතරතුරම ඊට නායකත්වය දුන් ඉන්දියානු කොංග්‍රස් පක්ෂය ඉන්දියාවේ භාෂා ප්‍රතිපත්තිය සකස් කිරීම වෙනුවෙන් 1928 දී නෙහ්රුගේ මූලිකත්වයෙන් කමිටුවක් පත් කළේය. එම කමිටුව ප්‍රාන්ත සීමා නිර්ණය කිරීම වෙනුවෙන් දේශීය භාෂා සාධකයක් ලෙස භාවිත කළේය. කොන්ග්‍රස් පක්ෂය හින්දුස්තානි භාෂාව ඔවුන්ගේ පක්ෂයේද නිල භාෂාව ලෙස තීන්දු කළේය. සමස්ථ ඉන්දියාවේම ජාතික භාෂාව හින්දුස්තානි විය යුතු යැයි ගාන්ධිගේ යෝජනාව වූ අතර හින්දුස්තානි බස ලිවීමට නෙහ්රු යෝජනා කෙරුවේ උර්දු හෝ නාගරි අක්ෂර ය. (The Language Policy of India / p-124 : Dr. Mustafa – DELICAN document) ඉංග්‍රීසි තබා ගැනීමේ කතාවක් ඒ කොතැනකවත් නොවුනි. එවගේම අමතක නොකළ යුත්තේ එහි කතා කරන ඉන්දියාව වත්මන් පකිස්තානය හා බංගලාදේශයද ඇතුළත් නොබෙදුණු මහා “භාරතය” වූ බවය.      


පදනමක් මූලයක් නැති ඔහුගේ එවැනිම තවත් කතාවක් වන්නේ බහුතරයක් ඉංග්‍රීසි අයින් කළ යුතු යැයි කීවත් නෙහ්රු එයට ඉඩ නොදුන්නේ යැයි කීමය. “අපි අවුරුදු සීයක් එංගලන්තකයින්ගේ (???) පරිපාලනය යටතේ හිටියේ. ඒ නිසා එක පාරට ඇඳුම් ගලවනව වගේ ඉංග්‍රිසි ඉවත් කරන්න බැහැනේ. අපි අවුරුදු 15 ක් කල්ගමු” යැයි නෙහ්රු කියුවේ යැයි ඔහු ලියන්නේය. ඔහු තව දුරටත් ලියා ඇත්තේ “ඒ කරල නේරු 1947 ඉඳන් 1965 වෙනකං අවුරුදු 15 ක් ඉල්ල ගත්ත පුරවැසියන්ගෙන් ඉංග්‍රීසි ඉවත් කරනවාද නැතිද කියලා තීරණය කරන්න නේරු කල් ගත්තා” යනුවෙනි. ඒ උපුටා ගැනීම හා සංවාදය ඇතිවූ තැනක් දිනයක් ගැන තොරතුරු කිසිත් නැත.


ඔහුට 1947 සිට 1965 වනවිට අවුරුදු 15 ක් නොව 18 ක් යැයි ගණන් හදන්නට නොහැකි වූයේ මේ කතාව ඔහු කාගෙන් හෝ ලබා ගත් දිරච්ච කඹයක් විය යුතු හෙයිනි. අවුරුදු 15 ගණන් හැදෙන්නේ ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරමින් බලාත්මක කළ 1950 සිට මිස ඉන්දියාව නිදහස ලැබූ 1947 අගෝස්තු මාසයේ 15 වන දින සිට නොවන්නේය. 1935 ඉන්දියානු ආණ්ඩුපාලන පනත අහෝසි කරමින් ඉන්දියාව සමූහාණ්ඩුවක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණු නිදහස් ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර බලාත්මක කෙරෙන්නේ 1950 ජනවාරි 26 වන දින ය. එදින “සමූහාණ්ඩු දිනය” නැතිනම් “ජාතික දිනය” ලෙස සමරනු ලබන්නේය.


අවුරුදු 15 ක් නෙහ්රු කල් ගැනීමේ කතාව ගැන ඔහු අසන්නේ 1965 දී සිදුවූයේ කුමක්දැයි කියා ය. “හින්දි ඔන්ලි පොලිසියක් ආවද?” යැයි මහ උජාරුවෙන් අසා ඔහුම උත්තර දෙන්නේ “නැහැ” යැයි කියා ය. ඔහු අල්ලා ගෙන ඇති දිරච්ච කඹයට අනුව ඔහු ලියන්නේ “1965 දී එයාලා තීරණය කළා ඉංග්‍රීසි තව දුරටත් තියා ගන්න” යැයි කියා ය. “එයාලා” යනු සමස්ථ ඉන්දීය ජනතාවද, හින්දි කතා කරන ජනතාවද, දෙමළ ජනතාවද, කොංග්‍රස් නායකයින්ද නැතිනම් ලොක් සභාවද යැයි අපි නොදනිමු.

 

ඉන්දියාවේ සංස්කෘතික විවිධත්වය හා සංකීර්ණත්වය සමග නිදහසට පෙර සිටම “ජාතික හා රාජ්‍ය භාෂා” සම්බන්ධ දිගු වාද විවාද පැවතින. ඔවුන් “ජාතික භාෂාව” ලෙස අර්ථකතනය කෙරුවේ, සමස්ථ ඉන්දීය ජනතාවට ඔවුන්ගේ අභිමතය අනුව තමන්ගේ දෛනික කාර්යන්හිදී සීමා කොන්දේසි නොමැතිව භාවිත කිරීමට යොදා ගත හැකි භාෂාව “ජාතික භාෂාව” වශයෙනි. ඒ අනුව නිදහස් ඉන්දියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඔවුන්ගේ එකම “ජාතික භාෂාව” හින්දි වන්නේ ය. ඔවුන්ගේ “රාජ්‍ය භාෂාව” වන්නේ මධ්‍යම ආණ්ඩුව තම රාජකාරී සඳහාත් ප්‍රාන්ත ආණ්ඩු සමග ගනුදෙනු කිරීම සඳහාත් භාවිත කරන්නාවූ භාෂාව ය. ඒ වෙනුවෙන් හින්දි “රාජ්‍ය භාෂාව” ලෙස නම්කර ඇති අතර, ඉංග්‍රීසි නම් කෙරෙන්නේ අවශේෂ රාජ්‍ය භාෂාව (Associate Official Language) වශයෙනි.

 

ඒ සමග ප්‍රාන්තවල “රාජ්‍ය භාෂා” ලෙස ඒවායේ ප්‍රධාන භාෂා සමග හින්දි භාෂාවද ව්‍යවස්ථාගත කර ඇත. අසාමි, බෙංගාලී, ගුජරාති, හින්දි, කණ්නඩා, කෂ්මීරි, මලයාලම්, මරාති, ඔරියා, පන්ජාබි, සංස්කෘත, දෙමළ, තෙලගු සහ උර්දු යන භාෂා 14 ක් ව්‍යවස්ථාවෙහි ප්‍රාන්ත නිල භාෂා ලෙස සඳහන් වන්නේය. පසුව 1976 දී ව්‍යවස්ථාවට ගෙනෙනු ලැබූ 21 වන සංශෝධනය මගින් සින්ද් භාෂාව 15 වන ප්‍රාන්ත භාෂාව ලෙස ඇතුළු කෙරිණ. පසුව එම ලේඛනය භාෂා 22 ක් දක්වා වැඩි විය. එබැවින් ඉන්දියාවේ රාජ්‍ය භාෂා ලෙස සැළකෙන්නේ හින්දි භාෂාව සමග සෑම ප්‍රාන්තයකම ප්‍රධාන භාෂාව ය.


ඒ සමග “හින්දි ඔන්ලි” කෙරුණදැයි අසන ප්‍රශ්නයට කිව යුත්තේ ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි ජාතික භාෂා ප්‍රතිපත්තිය සකසා ඇත්තේ “හින්දි පමණක්” වන ප්‍රතිපත්තිය දේශපාලනිකව බලාත්මක කරමින් යැයි කියා ය. එය තව දුරටත් තහවුරු කෙරෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 351 වන අනු ව්‍යවස්ථාව මගින් ය. එහි ප්‍රතිපාදන අනුව, හින්දි භාෂාව දියුණු කිරීමත් ප්‍රචලිත කිරීමත් එමගින් ඉන්දීය සංස්කෘතීන්ගේ පොදු පැවැත්මෙහි ප්‍රකාශනය වෙනුවෙන් හින්දි බස ප්‍රවර්ධනය කිරීමත් මධ්‍යම ආණ්ඩුවේ වගකීමකි. (https://www.mha.gov.in/sites/default/files/Eighth_Schedule.pdf) 

 

එවැනි දේශපාලන පසුබිමක “සමාජ විශ්ලේෂක” හෙට්ටිආරච්චිගේ ඉංග්‍රීසි හා අවුරුදු 15 ක කතාව කුමක්ද? එය නොදන්නා දේ කතා කිරීමේ “පාදෙනි ඉස්මුරුත්තාව” වැන්නකි. නිදහසින් පසු භාෂා ප්‍රතිපත්තිය පිළිබඳව ඉහතින් සඳහන් කළ ආචාර්ය මුස්තාෆාගේ ශාස්ත්‍රීය අධ්‍යනයෙහි සඳහන් වන්නේ, “ව්‍යවස්ථා ප්‍රතිපාදන අනුව මධ්‍යම ආණ්ඩු මට්ටමෙන් හින්දි භාවිත කළ යුතු අතර ප්‍රාන්ත මට්ටමින් තමන්ගේ භාෂා භාවිත කළ හැකිය. 1950 සිට වසර 15 ක් යනවිට ඉංග්‍රීසි මුළුමනින් ඉවත් කළ යුතු විය. එහෙත් අපට දැකිය හැකි අයුරු, හින්දි භාෂාවට තිබූ විරෝධය හේතුවෙන් දේශපාලනික සම්මුතියක් ලෙස ඉංග්‍රීසි භාෂාවට නොනිල පැවැත්මක් ලැබිණ.” (පිටුව 125)

 

නිදහස් අරගලයෙහි ඉන්දීය ජාතිකත්වය හැදීමට ගාන්ධි හින්දි භාෂාව මෙවලමක් ලෙස යොදා ගැනීමට එරෙහිව නැගුණු විරෝධයට දේශපාලන හේතුවක් ඇත. ඉන්දියාවේ භූගෝලීය බෙදීමෙහි පැහැදිලිව දැකිය හැකි භාෂාමය බෙදීමක් ඇත. උතුරු ඉන්දියාවේ පොදු භාෂාව ඉන්දු-ආර්ය මූලයන් සහිත හින්දු භාෂාව වන අතර දකුණු ඉන්දියාවේ පොදු භාෂාව ද්‍රවිඩ මූලය සහිත කණ්නඩා, දෙමළ, මලයාලි හා තෙලගු භාෂාවන්ය. නිදහස් අරගලය තුල බ්‍රිතාන්‍ය විරෝධය ප්‍රධාන වූවත් 1935 පමණ වනවිට ගාන්ධිවාදී හින්දු ආධිපත්‍ය බ්‍රහමින්වාදි ආධිපත්‍යයක් ලෙස ප්‍රතික්ෂේප කරමින් දෙමළ ජනතාව වෙනුවෙන් වෙනම “දෙමළ” දේශයක් සඳහා කැඳවීම් තිබිණ. එය 1938 දෙසැම්බරයේ දී සාධාරණත්වය සඳහාවන පක්ෂයේ (Justice Party) 14 වන සමුළුවෙහිදී ද්‍රවිඩ ජනතාව සඳහා ද්‍රවිඩ රාජ්‍යයක් ඉල්ලීමට මාරු කෙරිණ. එහි මූලිකත්වය දැරූ පෙරියර් ඊ. වී. රාමසාමි ද්‍රවිඩ රාජ්‍ය යැයි පැවසුයේ ද්‍රවිඩ මූලයක් ඇති භාෂා කිහිපය භාවිත කෙරෙන දකුණු ඉන්දීය ප්‍රාන්ත ප්‍රදේශයන් ය. 1950 දී රාමසාමිගේ නායකත්වයෙන් වෙන්වී ද්‍රවිඩ මුන්නේත්‍ර කසාහම් පක්ෂය පිහිටුවා ගත් අන්නාදොරෙයිද හින්දි විරෝධය 60 දසකයට ගෙන ආවේය. ඔවුන්ගේ හින්දි විරෝධය සමග කොන්ග්‍රස් නායකයින් ඇති කරගත් සම්මුතියක් ලෙස ඉංග්‍රීසි භාෂාව මධ්‍යම රජය හා ප්‍රාන්ත අතර අවශේෂ සම්බන්ධීකරණ භාෂාවක් ලෙස ඉතිරි වූවා මිස, ඉංග්‍රිසි භාෂාව සඳහා ඔවුන්ගේ වෙනත් කැමැත්තක් නොවුනි. 

 

ඉංග්‍රීසි පිළිබඳව ඉන්දියාවේ ඇති සමාජීය පිළිගැනීම හා උනන්දුව මැනිය හැක්කේ ඔවුන්ගේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීනතාව හා සමාජ භාවිතය අනුවය. ඉන්දියාවේ 2011 වසරේ කෙරුණු ජනගහන සංගණනයට අනුව ඉංග්‍රීසි කතා කරන ප්‍රතිශතය සියයට 10.6 කි. ඉන් සියයට 6.8 ක් පවසා තිබූයේ ඔවුන්ගේ දෙවන භාෂාව ඉංග්‍රීසි යැයි කියා ය. මේ ප්‍රතිශතයට අනුව, ඉන්දියානු පහළ මැදපංතිය අතහැර සියයට 14 ක් වන සෙසු මැද හා ඉහළ මැදපංතිය ගත් විට, ඔවුන්ගෙන් සියයට 03.4 ට ඉංග්‍රීසි හසුරුවා ගන්නට නොහැකිය.

 

ඉන්දියාව හා ලංකාව සසඳන විට, හෙට්ටිආරච්චිගේ “1956 සිංහල ඔන්ලි ප්‍රතිපත්තියෙන් පස්සෙ රටේ සාමාන්‍ය පංතියේ දරුවන්ට ඉංග්‍රීසි ඉගෙන ගන්න තියෙන චාන්ස් එක නැති කෙරුවා බණ්ඩාරනායක - අද ඔන්ලයින් ජොබ් එකක් කරල ඩොලර් ටිකක් හොයාගන්න තියෙන ෆ්‍රී චාන්ස් එකවත් ලබා ගන්න බැහැ මේ රටේ බහුතර තරුණ තරුණියන්ට. නිපුනතාව තිබුණට වැඩක් නැහැ. ඉංග්‍රීසි බැහැ.” වැනි කතා පදනමක් නැති පැණි පුවකේ කතා ය.

 

51col4964576 copy143842397 4887705 25092016 fra gray

බණ්ඩාරනායකගේ සිංහල භාෂා ප්‍රතිපත්තිය මගින් 1956 සිට සිංහල භාෂාව අනිවාර්ය කෙරුවේ රාජ්‍ය පරිපාලනය සඳහාය.

 

ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යන ආයතනයේ “Talking Economics” බ්ලොග් අඩවියේ Building a More English-Literate Sri Lanka : The Need to Combat Inequities යැයි අශානි අබයසේකර පළ කර ඇති අධ්‍යනයට අනුව, සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2017 සමීක්ෂණයක් මගින් ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 15 ට වැඩි ජනගහනය අතර ඉංග්‍රිසි කතා කළ හැකි ප්‍රතිශතය සියයට 21 ක් යැයි ගණන් බලා ඇත. එය ඉන්දියාවට වඩා සියයට 09.4 ට වඩා වැඩිය. සබරගමුව විශ්ව විද්‍යාලයයේ ඉංග්‍රීසි භාෂා කථිකාචාර්යවරියක් වන ආචාර්ය නිලුෂිකා ප්‍රසංගනී සිත්තරගේ විසින් 2018 පළ කරන ලද ඇයගේ “English Language Education in Sri Lanka‘’ පර්යේෂණ පත්‍රිකාවට අනුව, ලාංකීය නාගරික සමාජයේ සියයට 32.9 ක් ඉංග්‍රීසි කතා කරන අතර, ඔවුන්ගෙන් සියයට 34.1 ට ලියන්නට හා කියවන්නට හැකිය.


අනෙක් කාරණාව නම් මේ “සමාජ විශ්ලේශකයා” බණ්ඩාරනායකගේ සිංහල භාෂා ප්‍රතිපත්තිය ගැනවත් නොදන්නෙකි. සිංහල භාෂා ප්‍රතිපත්තිය මගින් 1956 සිට සිංහල භාෂාව අනිවාර්ය කෙරුවේ රාජ්‍ය පරිපාලනය සඳහාය. ඒ අනුව 1962 වන විට රාජ්‍ය පරිපාලනයේ සියලු සේවකයින් සිංහල නිපුණතා විභාගය සමත් විය යුතු විය. එය බලපෑවේ දෙමළ රජයේ සේවකයින්ට සහ දෙමළ කතා කරන ජන ජීවිතයට ය. එය දෙමළ ජනතාවට කෙරුණු බරපතල අසාධාරණයක් විය. ඔවුන්ගේ මූලික අයිතියක් අහෝසි කිරීමක් විය.
 
 
 
එනමුත් සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කිරීම පාසල් හා විශ්ව විද්‍යාල අධ්‍යාපනයට බලපෑවේ නැත. පාසල් අධ්‍යාපනයෙහි ඉගැන්වීමේ මාධ්‍ය වශයෙන් මව් බසද (සිංහල සහ දෙමළ) දෙවන භාෂාව වශයෙන් ඉංග්‍රිසිද නිල වශයෙන් තීන්දු කෙරිණ. 1956 වනවිට ඉංග්‍රීසි ඉගැන්වූ පාසල් බහුතර සංඛ්‍යාව බස්නාහිර ප්‍රදේශයට සහ ගාල්ල, මහනුවර සහ යාපනය වැනි ප්‍රධාන නගර වලට සීමාවූ පාසල් විය.
 
මීට වසර 130 ට පෙර මහරගම ගුරු පුහුණු විදුහල ආරම්භ කළ දිනයේ සිට ඉංග්‍රිසි භාෂාව ඉගැන්වීමට ගුරුවරුන් පුහුණු කෙරුණි. බණ්ඩාරනායකගේ 1956 සිංහල භාෂා පනතින් පසු 60 දසකයේදී ඉංග්‍රිසි ගුරු පුහුණුව පේරාදෙනිය, මීරිගම, අට්ටලාචෙන්නෙයි වැනි ගුරු පුහුණු විදුහල් කිහිපයකම කෙරිණ. බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව 1970 දී විෂයමාලා සංවර්ධන ආයතනය ස්ථාපිත කරමින් ගණිතය, විද්‍යාව, ඉංග්‍රිසි භාෂාව ඇතුළු විෂයන් ගණනාවක විෂයමාලා දියුණු කළේය. ඒවා ඉගැන්වීම සඳහා විෂය බාර ගුරුවර ගුරුවරියන් වෙනුවෙන් පුහුණු සැසි පැවැත් වූහ. 1972 ක්‍රියාත්මක කෙරුණු “නව අධ්‍යාපන ක්‍රමය” යටතේ ඉංග්‍රිසි භාෂාව 06 වන ශ්‍රේණියේ සිට අනිවාර්ය කෙරිණ. පහසුකම් ඇති පාසල්වල 03 වන ශ්‍රේණියේ සිට ඉංග්‍රිසි ඉගැන්වීමට උනන්දු කෙරුණි.
 

එම තීන්දුව අඛණ්ඩව අවුරුදු 50 ක් තවමත් ක්‍රියාත්මක වන අතර, මීට දසක 02 ට පෙර රජයේ පාසල්වල ඉංග්‍රීසි මාධ්‍යයෙන් සියලු විෂයන් ඉගැන්වීමද ආරම්භ කෙරුණි. අවුරුදු 130 ක කාලයක් එළෙසින් පාසල්වල ඉංග්‍රීසි උගන්වා ඇති රටේ අධ්‍යාපන අමාත්‍යාංශයේ 2020 පාසල් සංගණනයට අනුව ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයන් ඉගැන්වීමට හැකි ගුරුවර ගුරුවරියන් ඇත්තේ සියයට 01.1 ක් නැතිනම් 2,727 ක් පමණි. ඔවුන්ගෙන් බහුතරය ඇත්තේ කොළඹ, ගම්පහ, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල ජනප්‍රිය පාසල් වලය. 2020 පාසල් සංගණනයට අනුව වවුනියාව, කිලිනොච්චිය, මුලතීවු සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්විය හැකි ගුරුවරුන් ඇත්තේ 10 ට අඩු සංඛ්‍යාවකි. එවගේම ඉංග්‍රිසි දෙවන භාෂාව වශයෙන් උගන්වන ගුරුවරුන් බහුතරයක් ඇත්තේද බස්නාහිර, වයඹ හා මධ්‍යම පළාත්වල වලට අමතරව යාපනය, මඩකළපුව, මාතර, ගාල්ල හා කෑගල්ල දිස්ත්‍රික්ක වලය.


z p xi teacher

අවශ්‍ය ගුරුවරුන් අවශ්‍ය පාසල් වලට නොමැතිවීමේත් ඇතැම් ජනප්‍රිය පාසල්වල අතිරික්ත සංඛ්‍යාවන් සිටීමේත් විෂමතාව පාසල් පරිපාලනය දේශපාලනීකරණය වීමේ බරපතල ගැටළුවකි. එහෙත් මූලික ගැටළුව ඇත්තේ ගුරු සේවාවේ ගුණාත්මක තත්ත්වයෙහි ය. එය ඉංග්‍රීසි වලට පමණක් නොව, සිංහල භාෂාවටද අදාල වන්නකි. ගුරු පත්වීමකට සුදුසු අධ්‍යාපනයක් සහිත පත්වීම් ලබා දීමේ නිශ්චිත පිළිවෙතක් නොමැති වීමත් ගුරු පුහුණුවෙහි ඇති පසුගාමීත්වයත් විදුහල්පති සේවාවේ ඇති පසුගාමිත්වය සමග දූෂණයත් හේතුවෙන් පාසල් අධ්‍යාපනයේ ඇති දුබල බලහත්කාරයත් මේ බිඳ වැටීමට ප්‍රධාන හේතු වන්නේ ය.
 

එනිසා සෑම වසරකම පාසල් සිසු සිසුවියන් ලක්ෂ 42 ක් පමණ ඉගෙන ගන්නා අධ්‍යාපන පද්ධතියක අප කළ යුත්තේ මේ හෙට්ටිආරච්චි කියන ආකාරයට ඩොලර් කීයක් හරි සොයා ගන්නට හැකි “ෆ්‍රී චාන්ස්” සඳහා ඉංග්‍රීසි ඉගැන්වීමට “අරගලය කරපල්ලා” යැයි කීම නොවේ. ඒ මෝඩ ජුණ්ඩන්ගේ හීනමානයට ගැලපෙන කතා මිස ගැටළු තෝරා බේරා ගෙන විසඳුම් ගැන කෙරෙන කතා නොවේ. අප කළ යුත්තේ සමස්ථ විධිමත් අධ්‍යාපනයම විෂය මාලා සමග දියුණු ගුරු පුහුණු ආයතන සමගින් දුර දිග යන ප්‍රතිසංස්කරණයකට බඳුන් කරන මෙන් ඉල්ලා සිටීම ය.  
 

එබැවින් අකර්ශනීය සිරස්තල සමග පල් හෑලි පළ කිරීමෙහි මට ඇති ප්‍රශ්නය නම්, සමාජය හා වැදගත් සන්නිවේදනයක් කරනවා යැයි අප සිතා සිටින ජනප්‍රිය වෙබ් අඩවියක් වන “theleader.lk” සංස්කාරක මණ්ඩලය මෙවැනි හෑලි පළ කිරීමට දෙවරක් නොසිතීමෙහි ය. “සංස්කරණය” යනු පළ කිරීම සඳහා ලිපියක් සුද්ද පවිත්‍ර කිරීමට පෙර, එය පළ කිරීමට තරම් වැදගත් දැයි ඇගයීමක්ද කිරීමය. එවැනි ඇගයීමකදී තැනක් දිනයක් කර්තෘත්වයක් නැති ඕපාදූප සඳහා වැදගත් කමක් තිබිය නොහැකිය.  



IMF 'රහස්‍ය සම්මුති' මාධ්‍යවේදීන් කියවන්නේ කෙසේද?- (කුසල් පෙරේරා)(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2022 ඔක්තෝම්බර 22

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්