කිසියම් පුද්ගලයෙකු හෝ පුද්ගලයන් කණ්ඩායමක් ජීවිතයෙන් පලා යාම සහ ජීවත් වීම සඳහා පලා යාම යනු සිද්ධි දෙකකි. මෙම සිද්ධි දෙක අතුරෙන්

ජනතාවගේ වැඩි අවධානය යොමු වන්නේ ජීවිතයෙන් පලා ගිය පුද්ගලයෙකුගේ හෝ පුද්ගල කණ්ඩායමකගේ සිද්ධිය කෙරෙහි පමණි.


නමුදු ජීවත් වීම සඳහා ම වෙනත් ස්ථානයකට, වෙනත් ගමකට හෝ වෙනත් රටකට පලා යන සිද්ධි කෙරෙහි ජනතාවගේ අවධානය එතරම් යොමු නොවේ. කලාතුරකින් හෝ එසේ යොමු වෙනවා නම් යොමුවන්නේ කිසියම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් දේශපාලන හේතු මත සිය නිවස, ගම, ප්‍රදේශය හෝ රට අතහැර ගියහොත් පමණි.


අපි දන්නා ඉතිහාසය පුරා ම සිදුවූයේ එසේ පලා ගිය පුද්ගලයා හෝ කණ්ඩායම පලා යාමට තුඩු දුන් හේතුව පිළිබඳ ඕපා දූප සෙවීම හෝ අදාළ පුද්ගලයා හෝ කණ්ඩායම පලා යාමෙන් ඉක්බිති ඔවුන් ගෙවන ජීවිතය පිළිබඳ ඕපාදූප සෙවීම පමණි. නමුත් මිනිසෙකු හෝ මිනිස් කාණ්ඩයක් තවත් මිනිසෙකුට හෝ මිනිස් කාණ්ඩයකට බියේ පලා යාම කෙතරම් ම්ලේච්ඡ ද සහ අනාගතයේ එසේ පලා නොයන තැනට තම තමන් ජීවත් වන සමාජය පත් කළ යුතු නොවේ ද යන්න අදහස් කරන පිරිස් අවම ය. කෙදිනක හෝ කිසිවකු එසේ සිතීම අරඹන්නේ තමන් ද එබඳු තත්ත්වයකට පත්වීමෙන් ඉක්බිතිව ය. එය ද සිදුවන්නේ ඉතා කලාතුරකිනි. වඩ වඩාත් සිදුවන්නේ සහ සිදු කරන්නේ අනෙකා පලා ගිය පසු එම පුද්ගලයාට හෝ කණ්ඩායමට උරුම: ගේ  දොර, නිවාස, වතු - පිටි හෝ ගස් වැල්වලින් ලබනා ඵල තමන් සතු කරගැනීමට යත්න දැරීම ය.

 

55778 LKA20180821TAMILSLANDAP 1558094225141 

 

මෙය රාජ්‍ය මට්ටමෙන් ගත්ත ද එසේ ය. ඒ සඳහා කදිම නිදසුන යුද සමයේ සිය ගම් බිම් අතැර ගිය දෙමළ සහ මුසල්මානු ජනතාවගේ දේපළ කොල්කැම සඳහා මේ වන විට රාජ්‍ය පාලකයන් දරන උත්සාහය යි; බෞද්ධාගමිකයෝ දරන උත්සාහය යි.

 

මිනිසා පාලනය කිරීම සඳහා මිනිසා විසින් ම මිනිසකු තෝරා පත් කරගනු ලැබූ දිනයේ සිට පාලකයකු සහ පාලිතයකු බිහි විය. එතැන් සිට කාලයාගේ ඇවෑමෙන් පාලකයා විසින් පාලිතයා පෙළනු ලැබීම ක්‍රම ක්‍රමයෙන් වර්ධනය විය. මෙය ලක් දෙරණට මතු නොව ලොව විසු සියලු පාලිතයන්ට බලපෑ ය. එකී පෙළීම ගෝත්‍රික සමයෙන් ඇරඹී රාජාණ්ඩු සමයේ සිට යටත් විජිත සමය දක්වා ද, එතැන් සිට ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී යැයි කියාගන්නා පාලන සමයේ ද නොවෙනස්ව පැවතිණ; අනාගතයේ ද නොපැවතෙනු ඇතැයි විශ්වාස කළ නොහැකි ය.


අනෙක් පසින් ‘සිංහල’ රජ සමයේ මතු නොව: පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි සහ වෙනත් ආක්‍රමණියෝ ද පාලිත ජනයා පෙළූහ; ඉක්බිති ලක් වැසියනට ලැබුණා යැයි පවසන ඊනියා නිදහසෙන් පසු ද පාලකයන් විසින් පාළිතයා පෙළනු ලැබී ය. වර්තමානයේ ද එය එලෙසින් ම සිදුවෙමින් පවතී. වෙනසක් පවතී නම් ඒ සිවු වසරකට පසු හෝ අට වසරකට පසු බලය ඩැහැගන්නා පාලකයන්ගේ පක්ෂ හෝ වර්ණය වෙනස් වීම පමණි. කුමන වර්ණයකින් පැමිණිය ද, ඔවුන්ගේ ක්‍රියාකලාප වෙනසක් නොවන බව අද්‍යතන මොහොත සාක්ෂි දරයි.


‘‘පලවා හැරීම’’ හෝ ‘‘පලා යාම’’ පිළිබඳ අවධානය යොමු කරන විට දක්නට ලැබෙන අවස්ථා සහ සිද්ධි කිහිපයක් පවතී. ඇතැම් පිරිස් කුලයෙන් පහත් යැයි සලකා පලවා හැරේ. තවත් පිරිසක් ජාතියෙන් අඩු යැයි පවසා පලවා හැරේ. ඇතැම් පිරිස් අදහන ආගම පහත් යැයි සලකා පලවා හැරේ. පුද්ගලයන් වශයෙන් ගතහොත් පවුල නමැති සංස්ථාව තුළ පවා අනෙකා පලවා හරින අවස්ථා අප කොතෙකුත් දැක ඇත; අසා ඇත. තවත් තැනෙක ‘‘ඒකා පිටගංකාරයා‘‘ යැයි පවසා පලවා හරියි; එසේත් නොමැති නම් අදාළ ප්‍රදේශය මතු නොව රට ම අත්හැර පලායන තත්ත්වයට පත් කරයි. මේ කුමනාකාරයෙන් පලවා හැරිය ද එසේ පලවා හරින්නේ හෝ පලා යන තත්ත්වයට පත් කරන්නේ තමන් මෙන් ම මිනිස් ප්‍රජාවක් නොවේ ද යන්න පිළිබඳ අවබෝධයක් නොමැති ගෝත්‍රික පිරිස් වර්තමානයේ ද වෙසෙති.


එදා ජීවත්වූ පාලිතයන් එක් නිශ්චිත මොහොතක දී පාලකයන්ට එරෙහිව සටන් වැද තාවකාලික ජයග්‍රහණයක් ලැබුව ද වර්තමානයේ මෙන් ම  එකල ද පාලකයෝ යළි හිස එසවූහ; පාලකයන්ට එරෙහිව සටන් කළ පාලිතයෝ පසුපස හඹා ගොස් ඔවුහු ඝාතනය කළහ. පාලකයන් තමන් පසු පස හඹා එන බව ඉව වැටුණු වහාම පාලිතයෝ තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් දිවයිනේ විවිධ ඉසව් කරා පලා ගියහ; සුදු අධිරාජ්‍යවාදින්ට පය ගැසීමට නොහැකි තැන් කරා පලා ගියහ. එසේ ගිය පිරිස් මහා වනාන්තර තුළට ගාල් වී, ඒ අවට තමන්ගේ නිවහන් තනාගත්හ; තමන් දන්නා බව බෝග වගා කරමින් ජීවිකාව සරි කර ගත්හ. නමුත් ඔවුන්ට වැඩි කාලයක් එසේ නිදහසේ ජීවත්වීමට නොහැකි විය. ඒ, ඔවුන් අධිරාජ්‍යවාදී බත්බැළ නිලමක්කාරයින්ගේ ගොදුරු බවට පත් වීම හේතුවෙනි. වර්තමානයේ ද පාලිත ජනයා දුක් විඳින්නේ එබඳු බත්බැළයන් පාලිත ජනයාගේ සියලු වත්කම් සුරාගන්නා බැවිනි.

 

එදා එය සිදු කළේ පාලකයන්ගේ බත්බැළයන් පමණක් වුව ද වර්තමානයේ එසේ නොවන පිරිස් ද අනෙකා නොදැනුවත්ව ම ඔහුගේ හෝ ඇයගේ දේපළ බලහත්කාරයෙන් අත්පත් කරගන්නා ආකාරය අවම වශයෙන් වසරකට කිහිපයක් හෝ වාර්තා වේ. ඒ ඇතැම් අවස්ථාවල දී අදාළ දේපළ කොල්ලකනු ලැබ ඇත්තේ රාජ්‍යය විසින් ම ය. ඇතැම් විට රාජ්‍ය පාලකයන්ගේ අන්තේවාසිකයෝ ය. තවත් සමහර විට පාතාල මැරයෝ ය. මෙම සිද්ධි පාදක කරගෙන නිර්මාණය වී ඇති සාහිත්‍ය කලා නිර්මාණ ද පවතී. වසර සිය ගණනක් නොව දහස් ගණනක සිට මෙය මේ ආකාරයෙන් ම පැවතිය ද එබඳු සිදුවීම් සපුරා විනාශ කර දැමීමට එදා මෙදා තුර පාලකයෝ අසමත්ව සිටිති. සැබැවින් ම නම් එය අසමත් වීමක් නොව නොසලකා හැරීමකි. මන්ද පාලකයන්ට තම පැවැත්ම ආරක්ෂා කරගැනීම සඳහා වඩා ප්‍ර යෝජනවත් වන්නේ සාමාන්‍ය ජනයා නොව පාලකයන් වෙත බැළමෙහෙවර කරන පිරිස් ය. ඔවුන් බොහෝ විට පාතාලයෝ විය හැකි ය; ආරක්ෂක අංශ විය හැකි ය; නිල නොවන මැර හමුදා විය හැකි ය.

 

mudubimටී. එම්. ඒ. තිලකසිරිවර්ධන විසින් රචිත‘‘මුඩු බිම් යදම්’’ කෘතියේ එන ප්‍රධාන චරිත ද්වය වන සියාතු සහ සොබනා ප්‍රමුඛ පරම්පරාවට තම ගම් බිම් අහිමි වූයේ ද මීට වසර 180කට ඉහත ජීවත්වූ, පාලකයන්ගේ නොපනත්කම් හේතුවෙනි.


මෙම කෘතිය තුළින් පාඨක ප්‍රජාව වෙත ඉදිරිපත් කරන්නේ සියාතු සහ සොබනා ප්‍රමුඛ දොළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් 1818 වසරේ ජූලි මාසයේ 17වන දිනත් 20වන දිනත් අතර තම ගම්බිම් අතැර පලා යන ආකාරය යි; ජීවිතවලින් පලා නොගොස් ජීවිතය රැක ගැනීමේ අරමුණ වෙනුවෙන් පලා යන ආකාරය යි; මෙසේ පලා යන පිරිස අධිරාජවාදින්ගෙන් ජීවිත ගලවාගෙන ගොස් එතැන් සිට අසීරුවෙන් ගොඩනගාගත් ජීවිත යළි පාලක බත්බැළ නිමක්කාරයින්ගේ ග්‍රහණයට නතුවන ආකාරය යි; ඒ බත්බැළයින් යළිත් වතාවක් පාලිතයන් සූරා කන ආකාරය යි.


රාජාණ්ඩු සමයේ මතු නොව යටත් විජිත පාලන සමයේ ද, වර්තමානයේ ද පීඩිතයා පෙළීම සඳහා පීඩකයා භාවිත කරන ප්‍රබලතම අවිය වන්නේ පාලකයන්ගේ වරදාන, වරප්‍රසාද භුක්ති විඳින අතර මැදි ජන කොටස ය. එකල ඔවුන් රාජරාජ මහාමත්‍යාදින්ගේ සිට නිලමේ, කෝරලේ සහ ආරච්චි යනාදි ලෙස වර්ග කර තිබිණ. අද එය: ඇමති, රාජ්‍ය ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී, පළාත් සභා මහ ඇමති, මන්ත්‍රී, මහා නගරසභා නගරාධිපති, නගර සභා සභාපති, ප්‍රාදේශීය සභා සභපතිගේ සිට මන්ත්‍රිවරයාගෙන් පහළට සිටි සියලු නිලධරයන් දක්වා මෙය විහිද යයි.


එදා සියාතු, සොබනා ප්‍රමුඛ පිරිස දුක් මහන්සියෙන් වගා කරගත් කඹුරු ටික මංකොල්ල කන්නේ ආරච්චි යන මැයෙන් යට සඳහන් කළ බත්බැළ නිලධරයෝ ය. එහෙත් අධිරාජ්‍යවාදින්ට පවා යටත් කරගත නොහැකි වූ සියාතු සහ සොබනාගේ පරම්පරාව ආරච්චි ඉදිරියේ දණ නොනමන්නේ වත්මන් පරපුරට ද අගනා පාඩමක් කියා දෙන විලසිනි. වර්තමානයේ රාජ්‍යයෙන් වියුක්තව පැවතිය නොහැකි වුව ද එදා සොබනා සහ සියාතු ප්‍රමුඛ පිරිස ආරච්චිගේ බල ව්‍යුහයෙන් වියුක්ත වන්නේ ඔවුනොවුන්ගේ ස්වාධිනත්වය ආරක්ෂා කරගනු වස් ය. එය අසීරු කටයුත්තක් වුව ද කාලයාගේ ඇවෑමෙන් ආරච්චිගේ බල ව්‍යුහයට අභියෝග කරන්නට සියාතු සහ සොබනාගේ ඊළඟ පරම්පරාවට හැකිවන්නේ ය.


තවත් පසෙකින් ගත් විට එකල ද අද මෙන් ම නරක හෝ දුසිරිත ඉතා වේගයෙන් වර්ධණය විය. විශේෂයෙන් ම ඒ සඳහා රාජ්‍ය නිලධර බත් බැළයෝ සිය උපරිමයෙන් ඒ සඳහා දායක වූහ. සියාතු සහ සොබනාගේ පරපුරේ එක් පුරුකක් ද මේ ආකාරයට රාජ්‍ය බත්බැළයන්ගේ ග්‍රහණයට නතුවන්නේ ඒ පරම්පරාවේ පළමු පාවා දෙන්නා ලෙස ය. ඔහු ඒ පරම්පරාවේ ජුදාස් ලෙස නාමකරණය කළ ද වරදක් නැත.

 

මන්ද අප අතර වෙසෙන ඇතැම් පිරිස් ස්ව උත්සාහයෙන් මහන්සි වී යමක් උපයාගෙන, එම මුදලෙන් දිවි සරි කරගන්නට යත්න දරන විට තවත් එකෙක් හෝ කිහිප දෙනෙක් අඩු වෙහෙසකින් වැඩි මුදලක් උපයා ගැනීමේ අදිටනින් අනීතික ක්‍රියාවල නිරත වෙති; එමෙන් ම ඔවුහු නිරන්තරයෙන් ම පාලක පෙළැන්තියේ අවශ්‍යතාව අනුව කටයුතු කරන්නට සැදි පැහැදි සිටිති. ඒ ධර්මතාව එදා මෙන් ම අදට ද වලංගු ය. එය අනාගතයට ද එසේ ම බලපාන බව සක් සුදක් සේ පැහැදිලි ය. මන්ද දහසක් නිර්භය, අදීන මිනිස්සු අතර එක් ජුදාස් කෙනෙක් සිටීම පාලකයන්ගේ අවශ්‍යතාව සපුරා ගැනීමට හොඳින් ම සෑහේ. ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගෙන් සැදුම් ලත් ඕනෑම අරගලයක් වුව පැය කිහිපයක් ඇතුළත අවස්ථාවාදී දේශපාළුවන්ගේ ග්‍රහණයට නතු වුවහොත් ඒ සමස්ත අරගලය ම යළි ආපිට හැරීම අරුමයක් නොවේ. එහෙත් පාවා දෙන්නන්ගේ සහ බත්බැළයන්ගේ සූක්ෂමතා සූක්ෂම ආකාරයෙන් ම පරාජය කළ හැකි බව ද ‘‘මුඩු බිම් යදම්’’ කෘතිය තුළින් අපට පසක් කර දෙයි.

 

thilakasiri 01.jpg 01මෙම කෘතියේ කතුවරයා ද එවන් නිර්භිත පරපුරකින් පැවත ආවෙකි. ඔහු ලියන්නේ ඔහුගේ කතාවයි; ඔහුට පෙර සිටි පරම්පරා කිහිපයක කතාවයි. හෙතෙම ඒ කතාව නූතන පරම්පරාව වෙත දායාද කරන්නේ හුදු නිර්මාණකරණයේ යෙදීමට ඇති රුචිකත්වය මත ම නොව අනාගත පරම්පරාවට ද සිය අත්දැකීම් දායාද කිරීමේ අරමුණෙනි; ඔවුන් ගිය මග යන්නැයි අනාගත පරම්පරාවට පණිවිඩයක් දීමේ අරමුණෙනි. එය හුදෙක් සාහිත්‍ය කෘතියක් ලියා, ජනප්‍රියත්වයට පත්ව, සම්මානයක් දෙකක් ලබා වැජඹෙනවාට වඩා වටිනා මෙහෙයකි.

 

මෙම කෘතිය කියවීමෙන් අප උගත යුත්තේ පාලකයන්ට එරෙහිව සටන් වැදීම යනු පාලිතයන්ගේ වගකීමක් බවයි. අනෙක් පසින් අද සිටින පාලිතයා එසේ සටන් වැදිය යුත්තේ තමා වෙනුවෙන් නොව හෙට බිහිවන පාලිතයා පුරවැසියෙක් කිරීමේ බලාපොරොත්තුවෙනි; තවත් පාලිත පිරිසක් බිහි කිරීමේ බලාපොරොත්තුවෙන් නොවේ.

 

‘‘මුඩු බිම් යදම්’’ කෘතිය ඒ සඳහා පාලිත ප්‍රජාවට කදිම උත්තේජනයක් සපයයි. එම උත්තේජනය කොතෙක් ද යන්න නිවැරදිව අවබෝධ කරගැනිමට නම් ‘‘මුඩු බිම් යදම්’’ කියවිය යුතු ය; අවබෝධ කර ගතයුතු ය; අනෙකාට ද එය අවධාරණය කළ යුතු ය.




නීතිය බල්ලට ගිය රටක ජනතාවගේ නීතිය සාධාරණ ද...? - (ජයසිරි අලවත්ත)(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2022/12/18   


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්