ආගමකට සම්බන්ධකම් ඇති යම් යම් වස්තු පූජනීයත්වයෙන් සළකා ඒවාට පුදපූජා ගරු බුහුමන් පැවැත්වීම ඒ ඒ ආගමික සංස්කෘතීන්හි දක්නට ලැබෙන ලක්ෂණයකි.

ශ්‍රී ලාංකික බෞද්ධ සංස්කෘතියෙහිද බුදුන් වහන්සේට සම්බන්ධ කොට ගැනෙන එබඳු පූජාවස්තු වර්ග තුනක් යටතේ දැක්වෙයි. උද්දේසික, පාරිභොගික හා ශාරීරික වශයෙන් එම වර්ග තුන හැඳින්වෙයි. බුදුන් වහන්සේ උදෙසා පුදපූජා පැවැත්වවීමට තනා ගැනෙන බුදුපිළිම ආදිය පළමු ගණයට වැටෙයි. උන්වහන්සේ පරිභොග කළ සිවුර, පාත්‍රය වැනි දේ දෙවැනි ගණය නියෝජනය කරයි. බුදුන් වහන්සේගේ ශරීරයට සම්බන්ධ දන්තධාතු කෙසධාතු ලළාට ධාතුව ආදිය තෙවැනි වර්ගයට අයත් කොට ගෙන තිබේ.

 

මෙබඳු පුදපූජා වර්ග බුදුදහමට සෘජුව සම්බන්ධ නොවුනත් භාරතීය සංස්කෘතියෙන් ශ්‍රී ලාංකික සංස්කෘතියට උරුම වී කාලාන්තරයක් පවත්වාගෙන එන බැවින් ඒවා ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාවගේ පාරම්පරික උරුමයන් බවට පත්ව තිබේ. පොදු ජනතාවගෙන් බහුතරයක් බුදුදහමින් ඉගැන්වෙන ප්‍රතිපත්ති තම ජීවිත සමග බද්ධ කරගෙන නැතත් ඔවුන්ගේ ප්‍රමුඛ ආගමික ලබ්ධිය බවට පත් වන්නේ මෙම සංස්කෘතික උරුමයන් පූජනීයත්වයෙන්  සැළකීමයි. මේ නිසාම යමකු විසින් කරන මෙම පූජාවස්තු ගැරහීම හෝ හෙළා දැකීම ඔවුන්ගේ හදවත් පසාරු කරගෙන යාමක් බවට පත් වෙයි.

 

චිරාත් කාලයක් පැවත එන විශ්වාසයන් අර්ථවත් වුව ද නොවූව ද ඒවා ගැරහීම කිසිසේත්ම ශිෂ්ට සමාජයක් අනුමත නොකරයි. එසේ ගැරහීමෙන් ඒවා විශ්වාස කරන්නවුන්ගේ සිත් රිදවීමක් සිදුවන බැවිනි. අනෙක් අතට එබඳු දේ ජනතාව අතර ගැටුම් ඇතිවීමකට ද හේතුපාදක වියහැකිය.

 

ආගමික ඇදහිලි පුදපූජා හෝ සංස්කෘතික ලක්ෂණ අර්ථශූන්‍යයයි කෙනෙකුට පෙනීයන්නේ නම් ඒවාට අනුගත නොවී සිටීමට කෙනකුට ඇති අයිතියට බාධා කළ නොහැකිය. බලාත්කාරයෙන් ඒවා පිළිගැන්වීමකට හෝ ප්‍රතික්ෂෙප කරවීමකට ද කෙනෙකුට අයිතියක් නැත. එහෙත් ඒවා පුද්ගල හෝ සමාජ ප්‍රගතියට බාධක වන්නේ නම් ඒවායේ අහිතකර ලක්ෂණ පෙන්වා දෙමින් පුද්ගලයන් දැනුවත් කිරීමේ අයිතිය කවරෙකුට වුව ද තිබේ. බුදුන් වහන්සේ තම ධර්මය ව්‍යාප්ත කරවීමේදී ප්‍රයෝජණයට ගෙන ඇත්තේ මෙම අයිතියයි.

 main qimg ac93f66f2a93c850f11946d7ebf45340 lq

 

ආගමික සංස්කෘතීන්හි පිළිගැනෙන පූජාවස්තු හා ඒවාට කෙරෙන පුදපූජා සම්බන්ධයෙන් සිදු කෙරෙන ගැරහීම් හා අවලාද පිළිබඳ බුදුදහමේ ආකල්පය විමසා බැලීම මෙහිදී වැදගත් වෙයි.

 

කිසිදු යහපත් දෙයක් හෝ ක්‍රියාවක් බුදුදහමේ අපවාදයට බඳුන් නොවේ. යහපත් යනුවෙන් බුදුදහමින් අර්ථවත් වන්නේ තමන් අනුන් යන දෙපිරිසේම යහපතට හේතුවන දේයි. යම් කිසි දෙයක් බුද්ධිමතුන්ගේ පැසසීමට (විඤ්ඤූ පසත්ථ) හේතු වේද ඒවා බුදුදහමින් ද පිළිගැනෙයි. යම්කිසි දෙයක් බුද්ධිමතුන් විසින් ගැරහීමට ලක් කෙරේ (විඤ්ඤූ ගරහිත) ද බුදුදහමද ඒවා ගැරහීම සාධාරණීකරණය කරයි. අනාචාරයෙහි යෙදෙන භික්ෂූන් ගැරහීම බුදුන් වහන්සේ විසින් ද සිදු කොට තිබේ. විගරහි බුද්ධො භගවා යනුවෙන් දැක්වී ඇත්තේ එබඳු අවස්ථාවන්හිදීය. එහෙත් මෙහිදී ගැරහීම යනුවෙන් අදහස් වන්නේ පුද්ගලයාට හෝ වස්තුවට අශිෂ්ට වචන භාවිතයෙන් බැණවැදීම නොවේ. අපහාස කොට ලජ්ජාවට පත් කරවීමයි.

 

පර්වත, වන ආරාම, වෘක්ෂ වැනි දේ පූජ්‍යස්ථාන වශයෙන් සළකා ඒවාගෙන් පිහිට පැතීම බුදුදහම අනුමත නොකරයි. ඒ සඳහා අර්ථවත් ක්‍රියාමාර්ග බුදුදහමින් යෝජනා කෙරෙයි. එහෙත් ඒවා අපහාසයට උපහාසයට බදුන් නොකරයි. විශාලාවෙහි වජ්ජි පාලකයන් තමන්ගේ පූජ්‍යස්ථානවලට ගරුබුහුමන් දැක්වීම වජ්ජි රාජ්‍යයේ අභිවෘද්ධියට හේතුවක් බව බුදුන් වහන්සේ විසින් පැවසී ඇති බව මහා පරිනිර්වාණ සූත්‍රයෙහි දැක්වෙයි. එබඳු ස්ථාන ජනතාව එකාබද්ධ කරවන මාධ්‍යයන් වශයෙන් පැවතීම බුදුන් වහන්සේගේ ප්‍රකාශයට හේතු වන්නට ඇත.

 

ආගමික සංස්කෘතියෙන් උරුමව පූජ්‍යත්වයෙන් සැළකෙන යම් යම් පුද්ගලයන්, ස්ථාන හෝ වස්තූන්ට පුදපූජා පැවැත්වීම කාලාන්තරයක් පැවතීම නිසාම එයම තමතමන්ගේ ආගම ධර්මය කොට සැළකීමට පොදුජනයා පෙළඹෙන බවක් දක්නට ලැබේ. එමගින් සිදුවන්නේ අදාළ ආගම ධර්මයේ හරයන් තමතමන්ගේ ජීවිත තුළින් ඈත් වී යාමයි. ජනතාවගේ භෞතික හා ආධ්‍යාත්ම්ක ප්‍රගතිය සාධාලිය හැකි ආගම ධර්මයක් උරුමව තිබියදී එය අමතක කරවාලමින් පුදපූජා ප්‍රමුඛත්වයට එන විට ආගම ධර්මයේ වටිනාකම තේරුම් ගත්තවුන් විසින් ජනතාවට සරු නිසරු කම් වටහාදීම ආගම ධර්මයට නිගා කිරීමක් නොවේ. බුදුන් වහන්සේ විසින් ම ඒ ආදර්ශය බෞද්ධ ජනතාවට ලබා දී තිබේ. තමන්ට කරන නියම පූජාව වන්නේ තමා දෙස බලා සිටීම නොව ධර්මය දෙස බලා ධර්මය දැකීමයයි බුදුන් වහන්සේ විසින් වරක් වක්කලි නමැති හිමි නමකට පවසා තිබේ.

 

ආගමානුබද්ධ පූජාවස්තු ගැරහීම පමණක් නොව ආගම ධර්මයන්ට මෙන් ම ආගමික ශාස්තෘවරුනට ගරහන අවස්ථාද දක්නට ලැබේ. මේ කිසිවකට ගැරහීම බුදුදහමින් අනුමත නොවෙයි. ගැරහීම් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් බුදුදහමේ ආකල්පය පුද්ගලබද්ධ වන්නකි. භික්ෂුවක හෝ භික්ෂුණියක වීසින් බුදුන්, දහම් හා සඟුන් ගැරහීමට ලක් කිරීම දඬුවම් ලැබියහැකි වරදකි. නියම වියයුතු දඬුවම් විනයෙහි දැක්වී තිබේ.

 

භික්ෂුවක හෝ භික්ෂුණියකගෙන් හැර වෙනත් අයකුගෙන් සිදුවන එබඳු ගැරහීමකට දඬුවම් දීමක් පිළිබඳ සඳහනක් ධර්මයෙහි හෝ විනයෙහි දක්නට නැත. එහෙත් එබඳු අවස්ථාවක පිළිපැදියයුතු ආකාරය පිළිබඳව බුදුන් වහන්සේ විසින් භික්ෂූන්ට කළ අනුශාසනයක් බ්‍රහ්මජාල සූත්‍රයෙහි දැක්වෙයි. එහි මෙසේ පැවසෙයි: ”මහණෙනි, අනුන් මගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ නුගුණ කියද්ද, ඒ නුගුණයෙහි තොප විසින් කෝප නොවිය යුතුය. අමනාප නොවිය යුතුය. අසතුටු නොවිය යුතුය. ඒ නුගුණ කියන්නන් කෙරෙහි කිපීමෙන් හෝ නොසතුටු වීමෙන් තොපටම අන්තරාය වන්නේය.” බුදුදහම දක්වන මෙම සහනශීලී ගුණය කෙතරම් අගනේදැයි සෑම කෙනකුගේම අවධානයට යොමු විය යුත්තකි,

 

බුදුදහමට අදාළව බලන විට එතරම් අගයක් නැතත් ශ්‍රී ලාංකික බෞද්ධ සංස්කෘතියෙහි බෙහෙවින්ම උච්චස්ථානයකට පත්ව ඇති දළදා වහන්සේට අපහාසයක් සිදුවන අයුරින් කෙරුණු ප්‍රකාශයක් පිළිබඳව මේ දිනවල බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබේ. මෙය ගිහි පුද්ගලයකු විසින් කරනු ලැබූ ප්‍රකාශයකි. දළදා වහන්සේ සම්බන්ධයෙන්ම තවත් මීටත් වඩා දරුණු අපහාසයකැයි සිතිය හැකි ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරමීන් පවතී. පළමු ප්‍රකාශයෙන් දළදාව ලබ්බකැයි පැවසෙයි. දෙවැන්නෙන් දළදාව ඌරු දතකැයි පැවසෙයි. මෙම ප්‍රකාශය සිදු වන්නේ පළමුව බුදු කෙනෙකැයි හඟවා පසුව රහතෙකැයි පවසන පුද්ගලයකු වෙතිනි.

 

 

 

මෙම ප්‍රකාශ දෙකින්ම දළදා වහන්සේට අපහාස වේයයි පිළිගතහොත් පළමු අපහාසයට වඩා දෙවැන්න අතිශයින් ම දරුණුය. ලබ්බ පිළිකුල් දනවන්නක් නොවන අතර ඌරු දත පිළිකුල් බවත් රුදුරු බවත් හඟවයි. අනෙක් අතට පළමු අපහාසය ගිහියකුගෙන් වන අතර දෙවැන්න පැවිද්දකු බව පිළිගනු ලබන්නකුගෙනි. තම ශාස්තෘන් වහන්සේ‌ගේ දන්ත ධාතුවකැයි බෞද්ධයන් විසින් පිළිගන්නා දළදාවහන්සේ ඌරු දතකැයි පැවිද්දකු විසින් පැවසීම එම ශාස්තෘවරයාට කළ දරුණුම අපහාසය නොවන්නේද? එය ඌරු දතකැයි ඔප්පු කර දක්වන තුරු එය අපහාසයක් ම වන්නේය.

 

 

එහෙත් පුදුමයකට මෙන් පළමු අපහාසයට එල්ල වී ඇති බලවතුන්ගේ විරෝධය​ දෙවැන්න සඳහා දක්නට නොලැබේ. සීමීත අසන්නන් පිරිසක් අත පමණක් සැරිසැරුණු පළමු අපහාසාත්මක ප්‍රකාශය මුළුමහත් රටෙහි පමණක් නොව ජාත්‍යන්තරයෙහි ද ප්‍රචලිත වන අන්දමීන් රටේ පාලක පක්ෂයත් ඒ මානසිකත්වයෙහිම සිටිනා ඇතැම් විරුද්ධ පාක්ෂිකයිනුත් මැති සබය දෙදරවා විරෝධතා දැක්වූ බව දක්නට ලැබිණ. මැති සබයෙහි ඒ විරෝධය නැගුනේ එම පුද්ගලයාට පමණක් නොව ඔහු අයත්යැයි සැළකෙන දේශපාලන​ පක්ෂයකට ද එල්ල වන අයුරෙනි.

 

භික්ෂූන් අතර ඇතිවන ගැටළුවක් විසඳීම ප්‍රශ්නකාරී වූ විට ඒ පිළිබඳ විස්තරාත්මක විමසීමකට නොගොස් කැත කුණක් තණ කොළ අතුරා වසා දමන්නාක් මෙන් ගැටළුව සමථයකට පත් කිරීමක් භික්ෂු අධිකරණ සමථ අතරෙහි දැක්වෙයි. එය හැඳින්වෙන්නේ (තිණවත්ථාරක) නමීනි. දළදා වහන්සේට සිදුවූ අපහාසයද නිහඬව විසඳා ගතයුතුව තිබූවකි. එහෙත් මැතිසබය ඒ අපහාසය පිළිබඳව ලෝකයම දැනුවත් කොට තිබේ. දළදා වහන්සේට අපහාසයක් සිදු කොට ඇතැයි ලෝකයට හඬගා කීමෙන් සිදුවන්නේ දළදා වහන්සේගේ ශ්‍රී නාමයට කැළලකි.

 

අධිකරණ ඇමතිවරයාට අනුව පළමු අපහාසය ආගමික සංහිඳියාව බිඳී ගොස් දරුණු ජනතා ගැටුමකට මග පෑදෙයි. එහෙත් මැතිසබය තුළ නැගුනු විරෝධය දෙස මැදහත් සිතින් බලා සිටින්නකුට ඇති වන හැඟීම වන්නේ එම අපහාසය කළ පුද්ගලයා හා ඔහු සම්බන්ධ කොට සැළකෙන දේශපාලන පක්ෂය කෙරෙහි ජනතා අප්‍රසාදයක් ඇති කරවීමට එම විරෝධයම හේතුකාරක විය හැකි බවයි. ආගමික සංහිඳියාව යනු විවිධ ආගමිකයන් අතර පවතින අන්නොන්‍ය අවබෝධය සහ සමගියයි. මෙම අපහාසය ආගම් අතර ගැටුමක් ඇතිවීමට හේතුවක් නොවේ.

 

බෞද්ධයන්ගේ පුදපූජාවන්ට බඳුන් වන දළදා වහන්සේට කෙරෙන අපහාසයක් බුදුදහම විනාශ කිරීම අරමුණු කර ගත්තෙකැයි අර්ථකථනය කිරීමට මැති සබයේ ඇතැම් කථීකයන් දැරූ උත්සාහයක් ද දක්නට ලැබිණ. බුදුදහම කුමක්ද ඒ වටා ආරෝපනය කරගෙන ඇති පුදපූජා හා බැඳුනු ස්ථාන හා වස්තු කවරේදැයි වෙන් කොට හැඳින ගැනීමේ හැකියාව ඔවුන් සතුව නැති බව හෙළි වීමක් පමණි. එයින් සිදු වූයේ. නිසරු දෙයෙහි සරු බව දැක්මත් (අසාරෙ සාරමතිනො) සරුදෙයෙහි නිසරු බව දැක්මත් (සාරෙචාසාර දස්සිනො) බොහෝ දෙනාගේ ස්වභාවය වී තිබේ.

 

එකම වස්තුවක් අරභයා ඇති වූ අපහාස දෙකකින් දරුණුම අපහාසය ඵිළිබඳව නිහඬ පිළිවෙතකුත් අනෙක් අපහාසය පිළබඳව දැඩි පිළිවෙතකුත් අනුගමනය කිරීමට පාලක පක්ෂය පෙළඹී ඇත්තේ කුමක් නිසාද? එමගින් පැහැදිළි වන්නේ එහි සැඟවුණු රහසක් ඇත් බවකි. පක්ෂපාතී වීම බුදුදහමීන් හෙළා දකින දුර්ගුණයකි. අපක්ෂපාතීව තීන්දු ගැනීම ධර්මයට අනුගත වීමක් ලෙස බුදුදහමින් දැක්වෙයි. බුදුදහම ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දී ඇති රජයක ලිච්ඡවි පාලනය අගයන ජනාධිපතිවරයකු යටතේ වෙසෙන ජනතාවක් රජයෙන් බලාපොරොත්තු වන්නේ සැමට සමව සිදුවන ක්‍රියාකාරිත්වයකි.



kapila a(කපිල අභයවංස)

උපුටා ගැනීම - colombotelegraph.com

 

 
JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්