රාජපක්ෂවරුන්ගේ දේශපාලනය ඇරඹෙන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ යකඩ සපත්තුවට පෑගී සිටි ඓතිහාසික රුහුණේ සිංහල ගොවි ජනතාව මුදා ගැනීමේ ඓන්ද්‍රීය නිදහස් සටනකිනි.


යටත් විජිත සමයේ සුදු ඒජන්තවරුන් සහ ඔවුන්ගේ අනුකාරක විදානාරච්චිලාගේ අනුකම්පා විරහිත අයුක්තියට අසාධාරණයට එරෙහිව නැගී සිටින ඩී. එම්. සහ ඩී. ඒ. රාජපක්ෂ දෙසොයුරන් විසින් ගිරුවායේ කුරහන් පීදෙන බිමෙන් අරඹන එම අව්‍යාජ සිංහල නිදහස් සටන පසුකලෙක බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිශ්චිතව මිදෙන ‘ජනරජය’ නිර්මාණය කිරීම දක්වාත් ඉන් තවත් කාලයකට පසුව එන කොටි ත්‍රස්තවාදීන්ගෙන් මෙරට ජනතාව නිදහස් කරගැනීම දක්වාත් දිවෙන පුරාවෘත්තයක් බඳුය.

 

පෘතුගීසි ලන්දේසි බ්‍රිතාන්‍ය පාලකයන් විසින් කොල්ල කා ගත් සිංහල ගොවිබිම් අහිමි වූ තම සහෝදර දුප්පත් ගොවි ජනතාවගේ කුසගිනි නිවීම වෙනුවෙන් ඩී. එම්. රාජපක්ෂ මහත්මා තම බිරිඳගේ ගෙලබැඳි රන් මාලය පවා කොටස් කර පරිත්‍යාග කළේ යැයි පැරණි ගම්වාසීහු කියති. පරිත්‍යාගශීලීත්වය වනාහී රාජපක්ෂවරුන්ගේ ගුණාංගයකි. එම මහත්මා ගුණය මතුවටත් රැකෙනු ඇත.

 

da rajapaksha

ඩී. ඒ. රාජපක්ෂ

 

ඩී. ඒ. රාජපක්ෂ මහත්මා තම උපරිම ශක්තිය යොදවා හැකි සෑම බිම් අඟලකම ගොවිතැන් කරමින් තම වැඩිමහල් සහෝදරයාගේ විමුක්තිදායක සටනට නිහඬව උර දුන්නේ ඉපැරණි මාගමින් ඇරඹි ගැමුණු රජුගේ නිදහස් සටනට උන්වහන්සේගේ සොයුරු සද්ධාතිස්ස කුමරා දිගාමඩුල්ලේ යොදුන් දසදහස් ගණන් වගා කළ බවට මහාවංශයේ එන විස්තරය සිහියට නංවමිනි.

 President

 

දශක ගණනාවකට පසුව චමල් මහින්ද ගෝඨාභය රෝහණ රාජපක්ෂ සහෝදරයන් එකිනෙකා වෙනුවෙන් උරදෙමින් මෙරටින් කොටි ත්‍රස්තවාදය තුරන් කිරීමට නායකත්වය ගැනීම ඓතිහාසික පුනරාවර්තනයක් වැනිය. රාජපක්ෂවරුන්ගේ දේශපාලනයේ සුවිශේෂී ලක්ෂණයක් වන්නේ රට ආගම ජාතිය වෙනුවෙන් එකාවන්ව අත්වැල් බැඳගනිමින් සමගි සම්පන්නව කටයුතු කිරීමේ උදාර ගුණයයි. එය අනාගත රාජපක්ෂවරුන් තුළත් නොනැසී පවතිනු ඇත.

 

කුරහන් පාට යනු “මේ සපත්තුවේ පාට නේද?” යැයි සිය සපත්තුව උස්සා පෙන්වමින් වරෙක අවඥාවෙන් ඇසූ පී. ජේ. හැරිසන් නමැති ඉංග්‍රීසි ජාතික ඒජන්තවරයාට තම අතරැඳි වේවැලෙන් පහර දුන් “රුහුණේ සිංහයා” නමින් එකල සිංහලයන්ගේ නොමද ගෞරවාදරයට පාත්‍ර වූ එඩිතර ඩී. එම්. රාජපක්ෂ මහත්මාගේ සොයුරාගේ පුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඉන් දශක ගණනාවකට පසුව කළ මානුෂීය මෙහෙයුම වළක්වාලීමට මෙහි පැමිණි යුරෝපීය ඒජන්තයන් ගහක් යටට කැඳවා “අප නුඹලාගේ යටත් විජිතයක් නොවේය” යනුවෙන් එඩිතරව ප්‍රකාශ කිරීම දෙවැනි වේවැල් පහරක් බඳුය.

 

හිරු නොබසින අධිරාජ්‍යයේ මහා බ්‍රිතාන්‍යයන්ට බිය නොවූ එදා රාජපක්ෂවරු මෙදා කොටි ත්‍රස්තවාදීන්ට තබා කිසිදු පරබලවේගයකට බිය නොවන පොදුජන නායකයින්ය. ඔවුන්ට එම හැකියාව ලැබෙන්නේ අන් කිසිවකින් නොව, මේ භූමියේ උපන් මේ භූමියේ මියැදෙන ජාතිමාමක දනන් හට සියවසක් පමණ තිස්සේ අවංකව සේවය කර ස්වභාවයෙන් දිනාගත් නොසෙල්වෙන පොදු මහජන විශ්වාසය සහ ආදරය හේතුවෙනි. ඩී. එම්. රාජපක්ෂ මහත්මා වරෙක ගැයූ කවියක් මෙසේය:

“ගිරුවා දනන් වෙත හද බැඳි කරුණාවෙන්
මගෙ ජීවිතය උන් සේවෙට ඇරුණාවෙන්
ජාතික අනුරාගෙ හද තුළ පිරුණාවෙන්
ඉන්පසු ඕන සබයක මා මැරුණාවෙන්”

1945 මැයි 18 වැනිදා මන්ත්‍රණ සභා මන්ත්‍රීවරයෙකුව සිටියදී ඩී. එම්. රාජපක්ෂ මහත්මා මෙලොවින් සමු ගත්තේය. එතුමාට නිහඬව අයෝමය ශක්තියක් වූ සොයුරු ඩී. ඒ. රාජපක්ෂ මහත්මා දේශපාලනයට එන්නේ ඉන් වසරකටත් පසුව ගිරුවායේ ජනතාව ඔහු දිනක් අස්වද්දමින් සිටි කුඹුරටම පැමිණ ඉල්ලා සිටීම නිසාය. එකිනෙකා පරයා යමින් නොඉවසිලිමත් පුද්ගලික දේශපාලන තරග කිරීම රාජපක්ෂ ප්‍රතිපත්තිය නොවේ. අනාගතයේත් එම ප්‍රතිපත්තිය වෙනස් නොවනු ඇත.

 pg8 1

දකුණේ පමණක් නොව ලක්දිව පුරා විහිදුනු ගොවිබිම් ඒවායේ පාරම්පරික උරුමක්කාරයන් වන ස්වදේශික ගොවි ජනතාව වෙනුවෙන් දිනා දීමට ඩී. ඒ. රාජපක්ෂ මහත්මා කළ සටන ඉතිහාසයේ රන් අකුරින් ලියැවී තිබේ. අද වනවිට විදේශික කෘෂිරසායන සමාගම් ග්‍රහණයට නැවතත් යටත් වී දුක් විඳින ලාංකේය ගොවි ජනතාව ඉන් මුදවා ගැනීමට එතුමාගේ පුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නොබියව සටන් කිරීම එම ඓතිහාසික සටන සිහියට නංවයි.

 

da 1බ්‍රිතාන්‍ය අනුකාරකවාදීන්ගේ ආධිපත්‍යයට විරුද්ධව එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහත්මා සමග විපක්ෂයට එකතු වුණු පළමු මන්ත්‍රීවරයා ඩී. ඒ. රාජපක්ෂ මහත්මාය. සුප්‍රසිද්ධ “56 යේ විපල්වය”ට මග පාදමින් බෞද්ධ ශාසනය මත පදනම්ව නිර්මාණය වූ ශ්‍රේෂ්ට සිංහල ශිෂ්ටාචාරය නැවත නගා සිටුවීමට රාජපක්ෂවරු එදා සිටම කටයුතු කර තිබේ. කුමන බාධා පැමිණියත් අනාගතයේත් එම ප්‍රතිපත්තියේ වෙනසක් නොවනු ඇත.

සියවසක් පමණ තිස්සේ ලක්දිව ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වෙමින් නින්දා ප්‍රශංසා ජය පරාජයන් සමසමව දරාගනිමින් අනේක කැපකිරීම් කරමින් ධර්මපාල ප්‍රතිපත්තියේ යමින් ලක් දෙරණත් සම්බුද්ධ ශාසනයත් සිංහල ජාතියත් ආරක්ෂා කරමින් දේශහිතෛශී අව්‍යාජ ලාංකික ජනතාව වෙනුවෙන් රාජපක්ෂවරු එදා මෙන්ම අදත් අද මෙන්ම හෙටත් සමගියෙන් නිහතමානීව මිත්‍රශීලීව සේවය කරනු ඇත.

(ගෝඨාභය රාජපක්ෂ කාර්යාලය)
2023 ජනවාරි 26

(මූලාශ්‍ර: වැසුණු මංපෙත - ගිරුවායේ දේශපාලන සම්ප්‍රදාය පිළිබඳ ඓතිහාසික විග්‍රහයකි - ලක්ෂ්මන් පියදාස 1997)


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්