වනේ ගිජිඳා ය දුටුවොත් වනසා ය
ළිඳේ පණිඳා ය වැටුනොත් ඌ කා ය
අතකින් කරවැලෙකි අතකින් දඬුබෑය
මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑ ය



ඊයේ දවස (2023/03/08) යනු ද මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑ දවසකි. ඒ මරණ තුන කුමක් ද සහ පැණි කෑ මිනිසා කවුද යන්න තෝරා බේරා ගැනීම පාඨක ප්‍රජාවට බාර කරන අතර ම ඊයේ දවස ගැන නම් යමක් ලිවිය යුතු යැයි හැඟිණ.


සැසිවාර අවසාන කිරීමේ අරමුණු


ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සැසිවාර ඉතිහාසය පිරික්සීමේ දී එකී කටයුත්ත 1947 ඔක්තෝබර් 14වන දින දක්වා ඈතට දිවෙන්නකි.

සාමාන්‍ය අවබෝධයට අනුව නම් ‘‘පාර්ලිමේන්තු වාරාවසාන කිරීම’’ යනු පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව නවතා දමා කෙටි විරාමයක් ලබාගැනීම ය. මෙම ක්‍රියාවලිය සිදු කරන්නේ බලයේ සිටින ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් ම පැවරී ඇති බල-තල අනුව ය. ඊට අදාළ බලය පැවරී ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 70 (1) විධානයෙනි. ඒ අනුව ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම සහ යළි ආරම්භ කිරීම සිදු කළ හැකි ය. එහෙත් එක් සැසියක් අවසන් කර අවම වශයෙන් දෙමසක් ඇතුළත යළි නව සැසි වාරය ආරම්භ කළ යුතු ය.

 

යට සඳහන් කළ පරිදි පාර්ලිමේන්තු සැසි වාරයක් අවසන් කිරීම සහ ආරම්භ කිරීම කළ යුත්තේ ඇයි ද යන්නට දක්වා ඇති හේතුව පාර්ලිමේන්තු කටයුතු තාවකාලික නවතා දමා කෙටි විරාමයක් ගැනීම වුව ද ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කටයුතු අවසන් කර ඇත්තේ ද, යළි ආරම්භ කර ඇත්තේ ද ඒ ඒ අවස්ථාවල දී පැවති ආණ්ඩුවල කටයුතු පහසු වන පරිදි ය. තවත් සරලව පවසන්නේ නම් ඒ ඒ ආණ්ඩුවලට වාසිදායක තත්ත්ව ඇති කරගැනීමට සහ අවාසිදායක තත්ත්ව මගහරවා ගැනීම සඳහා ය. මීට කදිම උදාහරණයක් ලෙස සැලකිය හැකිවන්නේ 2021 දෙසැම්බර් මස 12වන දින නවවන පාර්ලිමේන්තුවේ පළමු සැසි වාරය අවසන් කිරීම ය.

 

එදා පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීම පිළිබද දේශපාලන විශ්ලේෂකයෝ සහ විරුද්ධ පාක්ෂිකයෝ ඉදිරිපත් කළ කරුණ වූයේ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් කරන ලද යුදගනවි බලාගාර ගිවිසුම සම්බන්ධයෙන් වූ අනාවරණයක් පිළිබද සාකච්ඡා කිරීම මගහැරීම සඳහා සැසිවාරය අවසන් කළා යන්න ය.

 



කෙටි කලක් තුළ වැඩි වාර ගණනක්


මේ වන විට රනිල් වික්‍රමසිංහ ජනාධිපති ලෙස පත්වී ගෙවී ඇත්තේ හත් මසක කෙටි කාලයකි. මෙම කෙටි කාලය තුළ ඔහු දෙවරක් පාර්ලිමේන්තු සැසිවාර අවසන් කර යළි අරඹා ඇත. ඇතැම් විට එය ඉතා කෙටි කාලයක් තුළ වැඩි වාර ගනනක් පාර්ලිමේන්තු සැසි වාර අවසන් කර යළි ඇරඹි කාල සීමාව හෝ සිමා (අනාගතයේ) ලෙස ඉතිහාස ගතවීමට ද ඉඩ-කඩ පවතී. මන්ද ඔහු බලයේ සිටින කාලය ඇතුළත තව කී වතාවක් එසේ කරයි ද යන්න පැහැදිලි නොමැති බැවිනි.

කෙසේ වෙතත් බලයේ සිටින ජනාධිපතිවරයා කුමන හේතුවක් මත පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබුව ද, යළි ආරම්භ කළ ද ඒ වන විට විරුද්ධ පක්ෂයේ සිටින අය ඊට එරෙහිව විවිධ කරුණු ඉදිරිපත් කිරීම සාමාන්‍ය සිද්ධියකි. මෙවර ජානාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරන මොහොතේ ද එබදු චෝදනා එල්ල විය. එමතු නොව යළි ඊයේ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන අවස්ථාවේ දී එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සැසිවාරය කල් තබා යළි ආරම්භ කිරීමේ දී ඒ සදහා කිසිදු විරෝධයක් නොපෑ පිරිස් මෙවර සැසිවාරය ආරම්භ කිරීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට විරෝධය පෑවේ ‘‘රාජාසන මේනියාව’’ නමැති Tag line එකක් ද එල්ලමිනි.
 
 
 
 
එහෙත් රනිල් වික්‍රමසිංහ ඒ කිසිදු විරෝධයක් තඹයකට මායිම් නොකරමින් තමන්ගේ කටයුත්තේ නියැළුණේ ය; තම ප්‍රතිපත්ති ප්‍රකාශනය ද සභාගත කළේ ය.
 
 
 
එහෙත් මේ කිසිවකු ‘‘රාජාසන කතාව’’ පරාජය කිරීමට නොපෙලඹුණහ. ඔවුන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රාජාසන කතාවට හෝ ඔහු විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවලියට සැබැවින් ම අකමැත්තක් දැක්වූවා නම් කළ යුතුව තිබුණේ ඊට විරෝධය පා, ඡන්දයක් ඉල්ලා සිටීම ය; අනතුරුව ඡන්දයකින් රාජාසන කතාව පරාජය කිරීම ය. එසේ නොකර ගස්ගල් යටට වී විරෝධය පෑම යනු සැබැවින් ම විරෝධය පෑමක් ද යන්න ගැටලුවකි.


බදු ගෙවීමේ අසමානතාව


ඊයේ දිනයේ සිදු වූ තවත් විශේෂ සිදුවීමක් නම් ප්‍රබල රාජ්‍ය ආයතන ත්‍රිත්වයක් (වරාය, ඛනිජ තෙල් නිතිගත සංස්ථාව, විදුලි බලමණ්ඩලය) ඇතුළු තවත් විවිධ ආයතනවල වෘත්තිය සමිති එක්ව කොළඹ නගරයේ දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් දියත් කිරීම ය. ඒ රජයේ නව බදු ප්‍රතිපත්තිවලට එරෙහිව ය.
 
 


 
රටක ජනතාව රජයට බදු ගෙවිය යුතු ය. ඒ පිළිබඳ විවාදයක් නොමැත. නමුදු එම බදු මුදල් අයකිරීම සාධාරණ පදනමක් මත සිදුවිය යුතු ය. මේ වන විට රාජ්‍ය හෝ පුද්ගලික සේවකයකුගේ වැටුප මුදලින් රුපියල් ලක්ෂයක් වුව ද එහි වෙළඳපොළ වටිනාකම රුපියල් පනස් දහසත් හැට දහසත් අතර ප්‍රමාණයකට අවප්‍රමාණ වී තිබේ. ඒ අනුව මීට මාස නවනයකට හෝ වසරකට පෙර රුපියල් ලක්ෂයකින් ලබාගත් භාණ්ඩ ප්‍රමාණයක් මේ වන විට එම මුදලට ලබාගත නොහැකි ය. එබැවින් මෙම බදු මුදල් ගණනය කිරීමේ දී රජය ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුව තිබිණ. එනම් මේ වන  විට රටේ පවතින උද්ධමනයට සාපේක්ෂ ලෙස බදු පැනවීමට තිබිණ. එවිට ලක්ෂයක් හෝ ඊට වැඩි වැටුපකත් ලබාගන්නා අය ගෙවිය යුත්තේ ඉතා සොච්චම් බද්දක් යැයි කිසිවකු තර්ක කළ හැකි ය. එය සත්‍යයකි. නමුත් අද ලක්ෂයක් යනු මුල්‍යමය වටිනාකමක් හෙවත් ඉලක්කම් වටිනාකමක් පමණි. එසේ නම් රජය කළ යුතුව තිබුණේ රටේ පවතින උද්ධමන තත්ත්වයට සහ භාණ්ඩ මිලට සාපේක්ෂ ලෙස බදු මුදලක් අය කිරීම ය.


පුද්ගලික අංශය සහ ව්‍යාපාරිකයෝ


ඒ කතිකාව රාජ්‍ය සේවක පාර්ශ්වයෙනි. ඊළඟට අවධානය යොමු කළ යුත්තේ පුද්ගලික අංශය සහ ව්‍යාපාරික ප්‍රජා පාර්ශ්වය වෙත ය. පුද්ගලික අංශයේ සේවක සේවිකාවන්ගෙන් ද යම් බද්දක් අය කරගත යුතු ය. නමුත් ඒ සඳහා ද කිසියම් ප්‍රමිතිගත තත්ත්වයක් ඇති කළ යුතු ය. මන්ද ඔවුන්ට රාජ්‍ය සේවකයන් ලබන තරම් දීමනා හෝ වෙනත් පහසුකම් නොමැති බැවිනි. එසේ වුව ද ඔවුන් ද භාණ්ඩ මිලදී ගත යුත්තේ පවතින මිලට ම ය; ඔවුන් ද ජල ගාස්තු සහ විදුලි ගාස්තු ගෙවිය යුත්තේ පවතින තත්ත්වයට සාපේක්ෂව ය. ඒ සඳහා රජය නිසි වැඩ පිළිවෙළක් අනුගමනය කළ යුතු ය.
 
 
මේ රටේ උපරිම වංචා සහගත ලෙස බදු ගෙවන්නෝ නම් ව්‍යාපාරිකයෝ ය. ඔවුන් උපයන ආදායම හෝ ලබන ලාභය කොතෙක් ද යන්න නිසියාකාරයෙන් ඉදිරිපත් නොකරයි; ඒ මතින් ම ඔවුන් ගෙවන බද්ද අවම මට්ටමක පවතී. රටක පැවැත්මට ව්‍යාපාරික ප්‍රජාව අත්‍යවශ්‍ය බවට විවාදයක් නොමැත. නමුදු ඔවුන් උපයන ආදායමට නොව ලාබයට සරිලන බද්දක් අයකරගැනීමට තරම් නිසි වැඩපිළිවෙළක් මෙතෙක් රට කරවූ කිසිදු ආණ්ඩුවක් ක්‍රියාත්මක කර නැත. ආණ්ඩු වෙනස් වන වාරයක් වාරයක් පාසා ඒ ඒ ආණ්ඩු බලයට පත්කිරීම සඳහා වියදම් කළ ව්‍යාපාරික ප්‍රජාව වෙත එක් එක් ආකාරයේ සහන සැලසීම ආණ්ඩුවල ප්‍රතිපත්ති විය. එය අහෝසි කළ යුතු ය. රට කරවන ඕනැම ආණ්ඩුවක් මෙරට ව්‍යාපාරික ප්‍රජාව උපයන ආදායම සහ ලාබය (ලාබය යනු සියලු වියදම් වෙන් කළ පසු ඉතිරිවන මුදල බව ද අපි මතක තබාගත යුතු ය) කොතෙක් ද යන්න විමර්ශනයට ලක් කර ලාබයට සාපේක්ෂ බදු මුදලක් අය කළ යුතු ය. එසේ නොමැතිව සීමිත ආදායමක් (වැටුපක්) ලබා, අසීමිත වියදමක් දරන රාජ්‍ය සේවක වැටුපෙන් අසාධාරණ ලෙස බදු අයකිරීම වහා වෙනස් කළ යුතු ය. එසේ නොවන තාක් මේ ආකාරයේ උද්ඝෝෂණ තව තවත් වර්ධනය වීම වැළකිය නොහැකි ය.
 


13 එදා සහ අද
 
 


 
ඊයේ පැවති අනෙක් උද්ඝෝෂණය වූයේ 13ට එරෙහි සංඝ විරෝධය යි. 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව යනු එවකට පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 138 දෙනෙකුගේ වැඩි ඡන්දයෙන් සම්මත වූ ව්‍යවස්ථාවකි. එදා ඊට එරෙහිව ලැබුණේ ඡන්ද 11ක් පමණි. එමෙන් ම එවකට ආණ්ඩුපක්ෂයේ සිටි අමාත්‍යවරු දෙදෙනෙක් ද මෙම ව්‍යවස්ථාවට එරෙහිව ඡන්දය භාවිත කළ බව ද අපි අමතක නොකළ යුතු ය; ඒ හා සමානව ම මේ අමාත්‍යවරු දෙදෙනා උග්‍ර ජාතිවාදින් බව ද අපි අමතක නොකළ යුතු ය. 
 
තව ද මෙම පනත ගෙන ආ මොහොතේ සිට මීට එරෙහිව විවිධ බලවේග ඉදිරියට පැමිණි අතර ඒ සියලු දෙනා කටයුතු කළේ මෙරට වෙසෙන ‘‘සුළු’’ යැයි නාමකරණයට ලක් කර ඇති ‘‘බෞද්ධ නොවන’’ ප්‍රජාවට එරෙහි මතයක සිට ය. අවසන 13වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අධිකරණයේ පිහිට පතන්නට ද මෙම පිරිස් කටයුතු කළහ. එහි දී අධිකරණයේ තීරණය වූයේ පළාත් සභා පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවයි. එහි දී නව දෙනෙකුගෙන් යුත් විනිසුරු මඬුල්ලකින් පස්දෙනෙක් එක් පාර්ශ්වයක සිට ද, සිවු දෙනෙක් තවත් පාර්ශ්වයක සිට ද තීන්දුවක් ලබා දුන්නේ ය. බහුතර මතය වූයේ පළාත් සභා පනත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බවයි. නමුදු මෙම පනතට එරෙහි පිරිස නිරන්තරයෙන් ම මතුරන මන්ත්‍රය වූයේ අදාළ නඩුවට විපක්ෂව සිවු දෙනෙක් පෙනී සිටිය බවයි. එනම් බහුතරයේ මතය පිළිගන්නට පළාත් සභා පනතට විරුද්ධවන පිරිස් අකමැත්ත පළ කළහ.

යට සඳහන් ඡේද ද්විත්වයේ එන වැඩි ඡන්ද යනු බහුතරයකගේ මතය යි; බහුතරයකගේ මතය යනු සත්‍ය යි; එය සාධාරණයි; එය ඉතා නිවැරැදි ම තීන්දුවක් යැයි මෙම ලියුම්කරු පුද්ගලිකව පිළි නොගනී. එමෙන් අදාළ සංශෝධනයට එරෙහි වූ සිරිල් මැතිව් සහ ගාමිණි ජයසුරිය පමණක් ජාතිවාදින් යැයි ද මෙම ලියුම්කරු පිළි නොගනි. එය ඉදිරිපත් කළේ 13වන සංශෝධනයේ පසුබිම පැහැදිලි කිරීමේ අරමුණෙනි.

ජේ. ආර්. ජයවර්ධන යනු ද උග්‍ර ජාතිවාදියෙකි. ඒ සඳහා ඉදිරිපත් කළ හැකි සාක්ෂි ඇති තරම් පැවතිය ද මෙම ලිපිය ඒ සඳහා ඉඩ වෙන් නොකරන්නේ ඒ සඳහා කරුණු ඉදිරිපත් කරන්නේ නම් පිටු දෙසියක පමණ කෘතියක් වුව ද ලිවිය හැකි බැවිනි. එබැවින් ලියුම්කරු මෙතැන් සිට 13වන ව්‍යවස්ථාවේ අන්තර්ගත පළාත් සභා පනතට ලියුම්කරුගේ කැමැත්ත ප්‍රකාශ කරමින් ම මෙරට වෙසෙන ඇතැම් පිරිස් ඒ සඳහා විරුද්ධත්වයක් දක්වන ප්‍රධාන කරුණු දෙකක් සම්බන්ධයෙන් පමණක් කෙටි පැහැදිලි කිරීමක් කරමි.


පළාත් සභා බිල්ලා 


පළාත් සභා පනතට එරෙහි බහුතරයකගේ විරුද්ධත්වය සටහන් කෙරුණේ පොලිස් සහ ඉඩම් බලතල ලබා දීම සම්බන්ධයෙනි. එමෙන් ම ඉඩම් බලතල ලබා දීමෙන් ඉක්බිති එම ඉඩම්: බෙදා දීම, බදු දීම සහ විකිණීම අදාළ පළාත් සභාවලට අයත් බැවින් අප රටේ ඉඩම් වෙනත් රටවලට කුණු කොල්ලයට විකුණතැයි මේ පිරිස් විරෝධය පෑහ. එහෙත් රටේ ආර්ථික මර්මස්ථානය පැවති හමුදා රෝහල අයත් භූමිය චීනයේ ෂැංග්‍රිලා සමාගමට කුණු කොල්ලයට විකුණා එවකට රටේ පාලක පක්ෂයේ නායකකාරාදිහු කෝටි ගණන් කොමිස් ලබාගන්නා විට මේ ගිහි පැවිද්දෝ දෙපාර්ශ්වය ම ඇටි කෙහෙල් කෑ උගුඩුවන් සේ ගොළු වත රැක්කාහ. මේ වන විට ද විවිධ දේශපාළුවන්ගේ අනුදැනුම මත රට පුරා ඉඩම් මංකොල්ල කමින්, බහු ජාතික සමාගම්වලට පවරමින් සිටියි. ඒ පිළිබඳව ද මොවුන් නිහඩ ව්‍රතය රකී.

එයින් පැහැදිලි වන්නේ රටේ පාලකයන්ට රටේ ඉඩම් විකිණීමට අවශ්‍ය නම් ඒ සඳහා පළාත් සභා පනත ඔවුන්ට අදාළ නොවන බවයි. එසේ නම් පළාත් සභා සඳහා ඉඩම් බලතල ලබා දුන්න ද නොදුන්න ද පාලකයන්ට අවශ්‍ය නම් එම ඉඩම් තමන් කැමති සමාගමකට විකුණා කොමිස් ලබාගන්නට ඔවුන්ට හැකිය; ඔවුන් ඒ සඳහා පසුබට නොවන්නේ ය.
 
 
තවත් පසෙකින් ගත් විට මේ වන විට උතුරු නැගෙනහිර මුල් පදිංචිකරුවන්ට අයත් විශාල ඉඩම් ප්‍රමාණයක් හමුදාව අතට පත් කරගෙන ඇති අතර එම ඉඩම් ‘‘සිංහලකරණය’’ කිරීම දිගින් දිගටම සිදු කරමින් පවතී; බෞද්ධකරණයට ලක් කරමින් පවතී. පළාත් සභා පනත නිසියාකාරයෙන් ක්‍රියාත්මක කෙරෙන්නේ නම් යට කි ආකාරයට රාජ්‍ය හමුදා විසින් අත්පත් කරගන්නා ලද ඉඩම් නැවත එහි මුල් පදිංචිකරුවන්ට ලබා දිය යුතු ය. එසේ වුවහොත් එම පළාත්වල බලහත්කාරයෙන් සිදුකරණ ‘‘සිංහලකරණය’’ සහ ‘‘බෞද්ධකරණය’’ වැඩ පිළිවෙළ වළපල්ලට යනු නියත ය. රටේ වෙසෙන ස්වොත්තමවාදින්ට මෙය දරගත නොහැකි තත්ත්වයකි. එහෙයින් ඔවුන් සර්වකාලීන 13 විරෝධීහු ම වන්නෝ ය.
 
 
පොලිස් බල-තල භීතිකාව


පොලිස් බලතල බෙදීම සම්බන්ධයෙන් ද ඇතැම් අයගේ වීරෝධයක් පවතී. නමුත් පළාත් සභා පනත ස්වාධීන මතයක සිට කියවන්නේ නම්; කියවා වටහා ගන්නේ නම් පොලිස් බල-තල පැවරීම යනු පළාත් සභා විරෝධීහු පවසන තරම් බියකරු ක්‍රියාවක් නොවේ.

මෙම පනතට අනුව: ජාතික පොලිස් කොට්ඨාසයක් සහ පළාත් පොලිස් කොට්ඨාසයක් ලෙස කොටස් දෙකක් පවතී. ඒ අනුව ජාතිවාදින් සහ ආගම්වාදින් මතු කරන පරිදි රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් මතුවන්නේ නම් ඒ සඳහා ජාතික පොලිස් කොට්ඨාසයට මෙන් ම සන්නද්ධ හමුදාවට ද ඊට මැදිහත් විය හැකි ය. එහෙත් ‘‘සිංහල බෞද්ධ’’ මානසික ව්‍යාධියෙන් පෙළෙන වුන්ට මෙය වටහා දීම අසිරු ය. ඔවුන් නිරතුරුවම තේ කෝප්පයේ කිඹුල්ලු දකින පිරිසකි. ඔවුන් දකින්නේ ඔවුන්ට වාසි සහගත පාර්ශ්වය ම පමණි.


13 සහ සිවුර
 
 
 
මෙරට වෙසෙන බුද්ධ චීවරය ඇඟ ලාගත් පිරිසක් ඊයේ දිනයේ පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ පාර්ලිමේන්තු සංකීර්ණය දෙසට පා ගමනකින් යාමට උත්සාහ කළේ ද 13වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමට එරෙහිව ය. ඔවුන් පවසන්නේ 13වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ හොත් රට කැඩෙන බවයි. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දරන සමයේ ඔහු පැවසුවේ දහතුන අභිභවන තරමේ බලය බෙදීමක් රටට අවැසි බවය. ඒ මොහොතේ මේ චිවරධාරිහු ‘‘හම්’’ ශබ්දයක් නොනැගූහ. එමෙන් ම ඔවුන් නිහඬව සිටින්නේ ඇයි දැයි කිසිවකු විමසුවේ ද නැත. 13ට විපක්ෂ වන්නට සිහිපත් වී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෙම අදහස කරළියට රැගෙන ඒමෙන් අනතුරුව ය. එයින් පැහැදිලි වන්නේ ‘‘මහින්ද නම් ඕන දෙයක්’’ බඳු අදහසකි. නමුත් මේ චිවරධාරිහු සිහි තබාගත යුතු එක් දෙයක් පවතී. එනම් තව දුරටත් මේ රට ජාති, ආගම් වශයෙන් භේද බින්න කිරීම එතරම් පහසු නොවන බවයි.
 
 
රතු ලෝගුව සහ යන්නෙ කොහේද මල්ලෙ පොල්


රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 13වන ව්‍යවස්ථා සංශෝධනය කරළියට රැගෙන ආවේ සැබෑ ලෙසම එය ක්‍රියාත්මක කීරිමට නොව දේශපාලන උගුලක් ඇටවීම සඳහා යැයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා පවසන්නේ 13 අපේ රටට අවශ්‍ය සංශෝධනයක් යැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරිය වන ආචාර්ය හරිනි අමරසුරිය ප්‍රකාශ කර තිබිය දී ය. එසේ නම් ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය යනු එක් ප්‍රතිපත්තියක් අනුව කටයුතු නොකරන දේශපාලන ව්‍යාපාර දෙකක් දැයි ජනතාවට සැක සිතේ. ඒ අනුව 13ට පක්ෂ අය ද විපක්ෂ අය ද ජනතා විමුක්ති පෙරමුණට හෙවත් ජාතික ජන බලවේගයට ඡන්දය භාවිත කිරීමේ දී ප්‍රවෙසම් විය යුතු ය. මන්ද ඔවුන්ට නිසි ප්‍රතිපත්තියක් තිබෙන බව ප්‍රත්‍යක්ෂ කිරීමට ඔවුන් අපොහොසත් වන බැවිනි.
 
 


නන්නත්තාරයෝ සහ 13


මේ පවතින්නේ මැතිවරණ සමයකි. එහි දී විවධ පාර්ශ්ව විවිධ වේශයෙන් මැතිවරණය සඳහා ඉදිරිපත්වි සිටිති. ඒ අතර දේශපාලනික වශයෙන් නන්නත්තාර වී ඇති පිරිස් ද වෙති. ඔවුන් අතර 13ට පක්ෂ සහ විපක්ෂ අය ද සිටිති. එමෙන් ම මේ ආකාරයට පක්ෂ විපක්ෂ දෙපිරිස එක ම ලකුණෙන් ද ඡන්දයට ඉදිරිපත් වී සිටිති. ඉදින් ඔවුන් වෙනුවෙන් ඡන්දය භාවිත කිරීමේ දී ද 13ට පක්ෂ සහ විපක්ෂ දෙපිරිස ම කල්පනාකාරි විය යුතු ය. මන්ද එකම පක්ෂයක දෙපිරිසක් 13වන ව්‍යවස්ථා ව පිළිඳද මත දෙකක් දරන විට අනාගතයේ ඔවුන් බලයට පත් වුවහොත් කුමක් සිදුවේ ද යන්න පිළිබඳව ය.

මෙබඳු වාතාවරණයක් තුළ දී කළ යුත්තේ කුමක් දැයි කිසිවකු හෝ විමසන්නට පිළිවන. ඒ සදහා ලියුම්කරුගේ පුද්ගලික මතය නම් මේ සඳහා ජනමත විචාරණයක් පැවැත් විය යුතු ය. එසේත් නොමැති නම් 13වන ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර නවතම ව්‍යවස්ථාවක් සම්මත කරගත යුතු ය. එහෙත් බලයේ සිටින දේශපාළුවෝ තම බලය රැක ගැනීම සඳහා වාසි පැත්තට හෝයියා කියන්නේ නම් තව දුරටත් සිදුවන්නේ රට සහ ජනතාව අතරමං වීම පමණි. ඒ සඳහා ද අවැසි තරම් උදාහරණ තිබුණ ද ඒවා මතුකරලීම නිෂ්ඵල කටයුත්තකි.


jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


2023/02/09


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්