ප්‍රසන්නට සහ මට නැවතත් සමන්ගේ නිවස තුළට වී අලස ලෙස කාලය ගෙවා දමන්නට සිදුව තිබිණ. සමන් අප සමග වැඩි ඇයි හොදයියක් පැවැත්තුවේ නැත. ඔහු හැකි හැම විටම අප දෙදෙනා පිළිබඳව චෝදනා මුඛයෙන් සෙසු අය සමග කතා කරනු මට කීප වරක්ම අසන්නට  ලැබිණි.

 

ප්‍රසන්න සමඟ තනිව ගත කළ කාලයේ මට අලුත් හෝඩුවාවක් ලැබිණි. ඒ  “යූ.එන් වීසා” (UN Visa) නම් වූ වීසා විශේෂයක් පිළිබඳවය. යූ.එන් යනු කුමක්දැයි ප්‍රසන්න වෙත වැටහීමක් තිබුනේ නැත. නමුත් යූ.එන් යනු ලොව පුරා ප්‍රචලිත ජාත්‍යන්තර සංවිධානයක් වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය (United Nations) හැඳින්වීමට යෙදුන ඉංගේ‍රීසි නමේ කෙටි යෙදුම බව මම දැන සිටියෙමි.

 

එක්සත් ජාතීන්ගෙ සංවිධානය කිසියම් රටක වෙසෙන විදේශිකයන් හට වීසා ලබා දීමෙ හැකියාවක් නැති බව ද මම දැන සිටියෙමි. එම සංවිධානය කළ හැක්කේ කිසියම් රටක වෙසෙන විදේශීක පුද්ගලයකුට හෝ පුද්ගලයින් කණ්ඩායමකට, සාධාරණ හේතු ඇත්නම් දේශපාලන රැකවරණය ලබා දෙන ලෙස අදාළ රටින් ඉල්ලා සිටීම පමණි. එය එක්සත් ජාතීන්ට අනුබද්ධිත තවත් ආයතනයක් වන “එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳව වූ මහ කොමසාරිස් කාර්යාලය” (UNHCR) නම් වූ අයතනය හරහා සිදුවන ජාත්‍යන්තර මානව හිමිකම් සම්බන්ධවූ ක්‍රියවලියකි. මැලේසියාව එම කටයුත්තේදී එක්සත් ජාතීන් සමඟ ඉතා සහයෝගයෙන් කටයුතු කරන රටක් විය. විශාල සංඛ්‍යාවක් මියන්මාර් ජාතිකයින්, ශ්‍රී ලාංකික ද්‍රවිඩයන්, පාකිස්තාන  ජාතිකයන්, අප්‍රිකානුවන් හා මැදපෙරදිග කලාපයේ නොයෙක් රටවලින් පැමිණි පිරිස් මැලේසියාව තුළ, එක්සත් ජාතීන්ගේ මැදිහත් වීම මත තාවකාලිකව රැකවරණය ලැබූහ. ඒ කරුණද මම දැන සිටියෙමි.

 

නමුත් සමන් හෝ නිවසේ රැඳී සිටි කිසිවෙකු මා දන්නා තරමින් විදේශයක් තුළ දේශපාලන රැකවරණය ලබන්නට හේතු වන පරිදි  ලංකාව තුළදී කිසිදු දේශපාලනමය හෝ සමාජයමය අතවරයකට ලක් වූවෝ නොවූහ. හුදෙක් ඔවුන් මැලේසියාවට පැමිණ තිබුනේ ආර්ථික කාරණා පදනම් කරගෙනය. ප්‍රසන්න මට හෙලි කළේ එම නිවසේ රැදී සිටි සමන්ගේ බිරිඳ ඇතුළු පවුලෙ ඇතැම් අය වෙත ආශික් විසින් යූ.එන් වීසා ලබා දී ඇති බවය. මම ඒ හොඩුවාව ඔස්සේ කරුණු සොයන්නට වෙහෙසුනද පැහැදිළි තොරතුරක් හොයා ගැනීමට නොහැකි විය.
           

දිනක සමන් වෙත ආශික් වෙතින් දුරකතන ඇමතුමක් ලැබී තිබිණ. එයින් කියැවී තිබුණේ ක්වාලාලාම්පුර් අග නුවර රැකියාවක් ඇති බවත්, ලාංකිකයන් අතුරෙන් මා පමණක් ඒ සඳහා සූදානම් කරන ලෙසත්ය. සමන් මට දන්වා සිටියේ මගේ ඉංග්‍රීසි දැනුම හේතුවෙන් ආශික් මා පමණක් ඒ සඳහා තෝරාගෙන ඇති බවය. පසු දින උදෑසනම මම තවත් බංගලිදේශ ජාතිකයන් කිහිප දෙනෙකු සමඟ ක්වාලාලාම්පුර් බලා පිටත්ව යා යුතු විය.

 

“ මල්ලි ඔයාගෙ සල්ලිත් ලොක්කා ඉල්ලනවා .... වීසා වලට ලබන මාසෙ මුල ෆින්ගර් ප්‍රින්ට් තියන්න ලොක්කා ඔක්කොම ලෑස්ති කරලයි තියෙන්නෙ ....  අනික ඔයා යන්නෙ සුපිරි රෙස්ටුරන්ට් එකකට ....  තුන් වේල කාල බීල හොදින් වැඩ ටික කරගෙන ඉන්නයි තියෙන්නෙ ....  මේක ඔයාට ගැලපෙන රස්සාව ....  ලොක්කත් ඒක කිවුවා ....”
         

malaysia ringgit rm singapore dollar sgd currency 03 file photo data

 

අවසානයෙ සමන් මා වෙතින් රැකියා වීසා සඳාහා වූ රින්ගිට් 1500 ක අත්තිකාරම ඉල්ලා සිටියේය. නමුත් මේ වන විට පැහැදිලිවම සමන්ට හෝ ආශික්ට රැකියා වීසා ලබා දිය නොහැකි බව මම දැන සිටියෙමි. මට ඔවුන් අතර රැදී සිටීම සඳහා ඔහු ඉල්ලා සිටින මුදල ලබාදීම හැර වෙනත් විකල්පයක් නොවීය. මා වෙනත් යා හැකි තැනක් හෝ දන්නා කෙනෙකු නොවීය. මම සත්‍ය දැන දැනම සමන්ට අදාළ මුදල ලබා දුන්නෙමි. ඒ බව දැනගත් සමන්ගෙ මස්සිනා මට නොයෙක් වර දොස් කීවේය.

වර්ෂ 2013 සැප්තැම්බර් මස 11 වැනි බදාදා දින,
         

ipohsn

 

එදින උදයේම සමන් විසින් මා ඉපොහි පිහිටි දුම්රිය ස්ථානය වෙත කුලී රථයකින් රැගෙන යන ලදි. අපි එහි යනවිටත් තවත් බංගලිදේශ ජාතිකයෝ සිවු දෙනෙකු දුම්රිය ස්ථානයේ වාහනය අංගනය තුළ බිම හිඳගෙන අප එනතුරු රැදී සිටියහ. සමන් ඔවුන්ගේ නඩයේ නායකයා වූ “අක්බර් බායි” නම් වූ මැදිවියේ වූ මිනිසෙකුට මා බාරදෙන ලදි. ඒ වින විටත් ඔහු පස්දෙනෙකු සඳහා දුම්රිය ප්‍රවේශපත්‍ර ලබාගෙන තිබිණි. සමන් පැමිණි කූලී රථයෙන්ම පිටව ගිය පසු අපි දුම්රිය ස්ථානයට පිවිස දුම්රියට ගොඩ වුනෙමු.
       

5904097 GGeRZmGRHGuxPjfhzUA5Ot LZ n6cQT3LBLQBNt8ZV4පැය ගණනාවක ගමනකින් පසුව අපි ක්වාලාලාම්පුර් නගරයේ දුම්රිය ස්ථානයකින් බැස වීදියට පිවිසුණෙමු. එම පෙදෙස ජනාකීර්න  විය. ඉන්දුනීසියානුවෝ, බංගලිදේශ ජාතිකයෝ හා මැලේසියානු ද්‍රවිඩයෝ වීදි පුරා වූහ. වීදි අයිනේ වූ කුඩා කඩවල ද විදේශිකයෝ බහුළව සේවය කරමින් වුන්හ. අක්බර් බායි පුරුදු කාරයෙකු ලෙස ඉදිරියෙන්ම වීදි හරහා ගමන් කළ අතර අපි සිවු දෙනා අපේ ගමන් මලු ද කර තබාගෙන ඔහු පසු පස ගියෙමු. අපි මිනිත්තු හතලිහක් පමණ එලෙස වීදී දිගේ ගමන් කොට අවසානයේ “ජලන් පුදු ” නම් වූ වීදියට පිවිසියෙමු.
       

එයද ඉතා ජනාකීර්න එකක්  විය. වීදිය දෙපස පලතුරු වෙළෙන්දෝය. චීනුන් හා ඉන්දුනීසියානුවන් බහුලව එම වීදියේ වෙළදාම් කටයුතුවල නියුතු වූහ. පලතුරු වලට අමතරව, තැනක කුකුලන් විකිණීමට තබා තිබිණි. තවත් තැනක සුළු මුදලකට පදිකයෙන්ගේ කකුල් සම්බාහනය කරන චීනුන්ය. තවත් තැනක මාලු වෙළෙන්දන්ය. එය මුඩුක්කු වැනි කුඩා කඩ කාමර හා ඒවාට පසුපසින් වූ පැරණි  මහල් ගොඩනැගිලි සංකීර්ණයකින් යුතු ප්‍රදේශයක්  විය.
       

අපි ඉන්දියානු තේ කඩයකට ගොඩවී වඩේ කා තේ බීවෙමු. ඔහු යලි පැමිණෙන තුරු එහි රැදී සිටින ලෙස දන්වා අක්බර් එතැනින් පිටව ගියේය. අපි තේ කඩයේ හිඳගෙන සිටියෙමු. තේ කඩයේ එල්ලා තිබූ රෑපවාහිණී තිරයේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් විකාශණය වෙමින් තිබිණි. එය නැරඹීම සඳහා එකා දෙනා බැගින් රොක් වී තේ කඩය වටා සැළකිය යුතු පිරිසක් අවසානයේ රොක් වී සිටියහ. බහුතරය ඉන්දියානුවන් වූ අතර පාකිස්තානුවන් කිහිප දෙනෙකුද ඒ අතර වූහ. අපිද ඔවුන් සමඟ ක්‍රිකට් තරගය නරඹමින් සිටියෙමු. බොහෝ වෙලාවක් එතැන ගත කළ මුත් අක්බර් ආපසු පැමිණියේ නැත. අපි කැළඹුන සිතින් පසුවුනෙමු. බොහෝ වේලා ගත වූ පසු අක්බර් ආපසු පැමිණියේය. ඔහු තම තමන්ගේ ගමන් මලුද රැගෙන ඔහු පසු පස එන ලෙස දන්වා නැවතත් වීදිය දිගේ පහළට ඇවිද ගියේය.
       

කඩ බක්කි හරහා, මුඩුක්කු කාමර  අතරින් රිංගා ගොස් ඉතා පරණ මෙනුමැති මහල් ගොඩ නැගිල්ලකට ඇතළු වුනෙමු. පළමු මහල පසුකර දෙවන මහලද පසුකළෙමු. අපි ඉහළටම ගමන් කළෙමු. තුන්වන මහලේ පිවිසුමට ඝනකම් යකඩ ගේට්ටුවක් දමා තිබිණි. ඉබි යතුර ඉවතින් සිර කරන්නට සකසා තිබූ එම දොර සිරමැදිරියක දොරක් බඳු එකක් විය. අපි එය විවෘත කරගෙන තුන්වන මහලට ඇතුළු වුනෙමු. අප පිවිසුණේ ඉදිරි පස දොර හැරෙන්නට වෙනත් ජනේල කිසිවක් නොවූ වාතාශ්‍රය ඇතුළු වීමට වෙනත් කිසිඳු මඟක් නොතිබූ කුකුල් කූඩුවක් වැනි වූ අධික උෂ්ණත්වයකින් යුතු වූ අවකාශයකට විය.

 

jail malaysia 2510
         

තැන තැන ඇතිරූ කාඩ් බෝඩ් මත බංගලීන් කිහිප දෙනෙකු වැතිර සිටියේය. ඔවුන්ගේ රෙදි මලු හා ගලවා ඉවත් කළ රෙදිපිළි, සපත්තු මේස් ආදිය තැන තැන අපිලිවෙලට ගොඩ ගසා තිබිණි. ඔවුන් අපගේ පැමිණීම පිලිබඳව කිසිදු අවධානයක් යොමු කළේ නැත. එකෙකු දෙන්නෙකු හැර ඇතැමෙක් අප දෙස ඇස් ඇර බැලුවේ වත් නැත. කෙලවරක වැසිකිලියක් වූ අතර එයට දොරක් නොතිබුණි. පහළට එල්ලා වැටෙන සේ රැඳවූ සරම් රෙද්දකින් එය ආවරණය කොට තිබිණ. අපිරිසිදු වැසිකිළියෙන් හා අපිළිවෙළට ගොඩ ගසා තිබූ බංගලීන්ගේ කිලිටි ඇඳුම් වළින් නැග ආ තද දුර්ගන්ධය පෙනහලු සිර කරවන සුළු විය.

 

අකබර් පැවසුවේ ඒ අපගේ නව නවාතැන්පොළ බවයි. ඒ මම කිසි සේත් බලාපොරොත්තු නොවූ ස්ථානයකි. එවැනි තැනක නතරවීම මට සිතාගත නොහැකි විය. කිසි සේත්ම එතැන නතර වී රැකියාවකට යාමට මම සුදානම් නොවුනෙමි. නමුත් නිහඬව සිටියෙමි.  
         

අක්බර් එතැනින් පිටව ගිය වෙලාවක් බලා මම මගේ ඇදුම් බෑගයද ගෙන පහළට බැස ගත්තෙමි. ජලන් පුදු වීදියේ වේගයෙන් පහළට ගමන් කළ මට කුලී රථයක් නවතා ගත හැකි විය. එහි නැගී පුදු සෙන්ට්‍රල් මද්‍යම බස් නැවතුමට පැමිණියෙමි. මගේ අරමුණ වූයේ නැවත තමන් සොන්ග් චුන් බලා පිටත්වීමයි. නමුත් මා පමා වූවා වැඩිය. ඒ වනවිටත් ඉපො බලා පිටත්වන දවසේ අවසාන බස් රථයද පිටත්ව ගොස් තිබිණි.    

 


         

ඒ රාත්‍රිය පුදු සෙන්ට්‍රල් බස් නැවතුම්පොළේ ගත කරනවා හැර යන්නට එන්නට වෙනත් තැනක් මා වෙත නොවීය. අසල කඩයකින් පරාටා දකක් තේ වතුරේ පොඟවා කුස පුරවා ගත් මම බස් නැවතුම්පොළෙ තුළ  පුටුවකට බර දී රාත්‍රිය ගෙවා දමන්නට හිත හදා ගත්තෙමි.
       

බස් නැවතුම්පොළෙ  සුවපහසු තැනක් විය. මා හැරෙන්නට තවත් මගීන් කිහිප දෙනෙකුම එහි රාත්‍රිය ගත කරමින් වුන්හ. ඔහුන් අතරින් බොහෝ දෙනෙකු විදේශිකයන් බව හඳුනාගත හැකි විය. බහුතරය බංගලිදේශ ජාතිකයන් විය. ඔවුහු මැලේසියාවේ සෑම අස්සක් මුල්ලක් පාසාම පැතිරී සිටියහ.
         

රාත්‍රිය කෙමෙන් ගත වෙමින් පැවතුණි. මම නින්දත් නොනින්දත් අතර ගත කලෙමි. ඉඳ හිට එහෙ මෙහෙ යන නැවතුම්පොළේ ආරක්ෂකයෝ, පොලිස් කාරයෝ හේතුවෙන් එහි අනාරක්ෂිත බවක් නොවීය. ඇතැම් විට අමුතු හැසිරීම් ඇති පුද්ගලයන් පැමිණ, පුටුවලට බරදී මොහොතක් හිඳ සිට නැවත පිටව ගියහ. ඔවුහු මත් ද්‍රව්‍ය වැනි යමකින් මත් වී සිටින බව පෙනෙන්නට තිබුණි.

 

අළුයම වන්නට එතැන සිටි බංගලිදේශ ජාතික තරුණයෙක් අසළට ඉන්දියානු තරුණියක් පැමිණ හිඳ ගත්තාය. මට තරමක් සමීපයෙන් සිටි ඔවුන්ගේ කතා බහ මට ඇසණ. ඇය ඉංග්‍රීසියෙන් කතා කළ මුත් තරුණයාට ඉංග්‍රීසි භාෂාව තේරෙන බවක් පෙනෙන්නට නොතිබිණ. ඔහු තරමක් චකිතයකින් හා බියකින් යුතුව සිටින බව පෙනෙන්නට තිබුණි. තරුණිය ඔහුට පැහැදිලි කළේ ඇගේ නවාතැන්පොළට පැමිණ සුව සේ නිදි ලබා උදයේ පිටව යා හැකි බවය. ඇය ඔහුව කිසියම් උගුලකට හසු කරගන්නට උත්සාහ දරමින් තිබුණි. ඔහුගේ වාසනාවට ඔහුට ඉංග්‍රීසි දැනුමක් නොවීය. ඇය බොහෝ වේලාවක් ඔහු අසල දැවටෙමින් සිට, ඈතින් පොලිස් කාරයන් දුටු බැවින් එ තැනින් මග හැර ගියේය.

 

මේ ආකාර වූ සිදුවීම් මැද අළුයම ගෙවෙමින් උදෑසන එළඹී තිබුණේය. මම වැසිකිලියේ තිබූ ජල කරාමයෙන් මුව කට දොවාගෙන ගොස් දෙවන මහලේ වූ කවුළුවෙන් ප්‍රවේශ පතක්ද ගෙන ඉපො බලා එ දින පිටත්වන පළමු බස් රථයට නැග අසුන් ගතිමි.
         

බස් රථය අමන්ජයා පර්යන්තය කරා ලඟාවනතුරුම මට නින්ද ගොස් තිබිණ. එතැනින් කුලී රථයක නැගී මම තමන් සොන්ග් චුන් හි සමන්ගේ නිවසට ලඟා වුනෙමි. මැලේසියාව තුළ මගේ දෙවන රැකියාවද එළෙස අහවර විය.
       

ඒ මගේ දෙවන පලා ඒම විය. මම නවාතැන්පොළින් පලා ගොස් ඇති බව සමන්ට කල්තියාම ආරංචි වී තිබුණේය. නැවත ඔහුගේ නිවසට මා පැමිණෙන බව ඔහු දැන සිටින්නට ඇත.
         

සමන් පසු වූයේ අධික කෝපයෙනි. ඔහු මට ඇසෙන්නට වෙනත් අයට කෑගෑවේය. කිසියම් හේතුවකට ඔහු කිසි විටෙක මා වෙත ඔහුගේ කෝපය කෙලිම පළ ගකළේ නැත. එදින දවස පුරාම කිසිවෙක් මා සමඟ කතා කළේවත් , සිනහසුනේවත් නැත. මම ඒ පිලිබඳව වැඩි සැලකිල්ලක් නොදක්වා සිටියෙමි. සමන්හට මම ඒ වන විට මුදල් ලබා දී තිබිණි. මගේ වගකීමෙන් ඔහුට ගැලවී යා නොහැකි බව ඔහුට ඒත්තු ගන්වන්නට මට උවමනා විය.
       

කිහිප වරෙක ආශික් වෙතින් සමන්ට දුරකතන ඇමතුම් ලැබිණි. සමන් ඔහුට කරුණු පැහැදිලි කරමින් බොහෝ දේ කැඩුන ඉංග්‍රීසියෙන් පැහැදිලි කළේය. සමන්ගේ අදහස වූයේ මෙවැනි දේ නැවත නැවතත් සිදු වුවහොත් ආශික් වෙතින් කිසිදු උදවුවක් උපකාරයක් නොලැබී යා හැකි බවයි. තවත් දින කීපයක් මම සමන්ගේ නිවසට වී ගතකළෙමි.

 
Rasika Apaye kathawa
 
රසික එස් චන්ද්‍රසේකර
This email address is being protected from spambots. You need JavaScript enabled to view it."
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

JW

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්