මේ ලියවිල්ලෙ සමහර කරුණු සදාචාර විරෝධී යැයි ඔබට සිතෙනු ඇත. ඇතැම් කරුණු අමානුෂික යැයි ඔබට සිතෙනු ඇත.

එබඳු කරුණු කියවද්දී ‘‘මූ නම් මනුස්සයෙක් නෙවෙයි’’ යැයි සිතිය හැකි ය. එහෙත් ඒ හැම සිතුවිල්ලක් එසේ සිතන ප්‍රජාවගේ මානය මිස මගේ මානය නොවන බව පළමුව සඳහන් කරන්නට මම කැමැත්තෙමි. මන් ද මේ මට හැඟෙන දැනෙන ආකාරය යි. එය කිරා මැන බලා නිගමනයකට එළඹීම පාඨක ප්‍රජාවගේ තීරණයකි. මන්ද පිළි ගත්ත ද නොගත්ත ද තිත්ත ඇත්ත එය යැයි මම විශ්වාස කරමි.

මෙබඳු අදහසක් පළ කරන්නට නිමිත්ත වූයේ: කිසියම් පුද්ගලයෙකු  දුම්රිය වැසිකිළියක් තුළ දරුවකු දමා යාම සහ අදාළ සිදුවීමෙන් ඉක්බිති එම දෙමාපිය යුවළ අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගත කරන තෙක් සිදුවූ සිද්ධි දාමය යි.


වගකීමෙන් නිදහස් විය හැකි ද?


පළමුවෙන් ම මගේ චෝදනාව එල්ල වන්නේ මේ දෙමාපිය යුවළට ය. ඒ, පවත්නා සාම්ප්‍රදායික මානයේ සිට නොව විද්‍යාත්මක මානයක සිට ය. එනම් විවාහයට පෙර ලිංගික සංසර්ගයේ නොයෙදිය යුතු ය හෝ එය පාපාකාරි ක්‍රියාවකිය යන අදහසේ සිට නොවේ. ලිංගික අවශ්‍යතාව යනු සෑම ජීවියෙකුගේ ම අවශ්‍යතාවකි.එය මනුසතා කෙරෙහි බලපාන්නේ ද පුරුෂයකුගේ සහ කාන්තාවකගේ ශරීරයේ හෝමෝන ක්‍රියාවලියේ ප්‍රතිපලයක් ලෙසිනි. එය සංසිඳුවාගැනීමෙන් ඉක්බිති කාන්තා ගර්භාෂයක් තුළ දරුවකු පිළිසිඳ ගැනීම ද එකී ක්‍රියාවලියේ ම අවසන් ඵලය යි.

ඇති තතු එසේ වුව ද  මේ වන විට දරුවකු පිළිසිඳ නොගන්නා ආකාරයට පිරිමියෙකුට සහ ගැහැනියකුට ලිංගික සංසර්ගයේ යෙදිය හැකි ක්‍රම අනන්තවත් පවතී. ඇතැම් විවාහක යුවළ පවා කිසියම් ආර්ථික ස්ථාවරයක් කරා එළඹෙන තෙක් දරුවන් බිහිකිරීමේ ක්‍රියාවලියෙන් වියුක්තව සිටිති. කිසියම් ආකාරයකින් වැරැදීමකින් හෝ පිරිමියකුගේ ශුක්‍රානු කාන්තාවකගේ ගර්භාෂයට ඇතුළු වුව ද දරුවකු පිළිසිඳ ගැනීම වැළැක්වීම සඳහා අවශ්‍ය ඖෂධ වර්ග අවශ්‍ය තරම් වෙළෙඳපළේ පවතී. එවන් තත්ත්වයක් තුළ මේ යුවළ අතර ඇතිවූ ලිංගික සංසර්ගයෙන් ඉක්බිති දරුවකු පිළිසිඳගැනීම වළකාගන්නට තරම් මොවුන් නොදැනුවත් අය ද නොවේ. ඔවුන් වසර 25ක් හෝ එම වයස පසු කළ යුවළකි. අනෙක් පසින් මෙම තරුණිය පවසා ඇති ආකාරයට ඇය ගැබිනියක බව වටහාගෙන ඇත්තේ කලලයට සිවුමසක් ද පිරීමෙන් ඉකිබිතිව ය. එය ද විශ්වාස කළ හැකි කරුණක් නොවේ. එබැවින් මෙම සිද්ධියේ පළමු වගකීම දැරිය යුතුතේ අදාළ දෙමාපිය යුවළ ය. එකී වගකීමෙන් නිදහස්වීමට ඔවුන්ට නොහැකි ය.


දරුවකු නඩත්තු කළ නොහැකි නම්...
 

 101815696 046797224

දැන් අප විමසා බැලිය යුත්තේ කුමන හෝ අත්වැරදීමකින් අවිවාහක (විවාහක කාන්තාවකට ද මෙය බලපාන අවස්ථා පවතී) කාන්තාවකගේ කුස තුළ දරුවකු පිළිසිඳගත් පසු ඊට සම්බන්ධ පිරිමි පාර්ශ්වය වෙත කිසියම් නිදහස් වාතාවරණයක් මේ සමාජය තුළ පැවතිය ද කාන්තාවකට එකී තත්ත්වය ඒ ආකාරයෙන් ම පවතී ද යන්න ය. අවිවාහක කාන්තාවක හෝ විවාහක කාන්තාවක වුව ද සිය ස්වාමියාගෙන් හැර වෙනත් පිරිමියෙකු හා සංසර්ගයේ යෙදී දරුවක පිළිසිඳ ගතහොත් සමාජයක් ලෙස, රටක් ලෙස ඒ සඳහා අනුගමනය කළ යුතු නිසි ක්‍රියාමාර්ගයක් මෙරට පවතී ද...? නැත පවතින්නේ එබදු කාන්තාවක් සමාජයෙන් වියුක්ත කර දමන, අවලාද අපහාසවලට ලක් කරන ක්‍රියාමාර්ග පමණි. ඇතැම් අවස්ථාවල දී පවුලේ සොයුරු සොයුරියන් පවා මෙබඳු කාන්තාවක් කෙරෙහි මානුෂීය ආකාරයෙන් කටයුතු නොකරන අවස්ථා අනන්තවත් පවතී. එසේ නම් අප ඒ සඳහා අවධානය යොමු කළ යුතු නොවේ ද...?
 
 
දරුවකු නඩත්තු කළ නොහැකි නම් දරුවකු බිහි නොකළ යුතු ය යන්න මගේ පුද්ගලික හැඟීම ය. ඒ සඳහා විවාහක ද නැද්ද යන්න වලංගු නොවේ. විවාහක යුවළකට වුව ද ඔවුනොවුන්ගේ ආර්ථික පසුබිම, සමාජ පසුබිම, පවුල් පසුබිම යනාදි තත්ත්ව මත දරුවකු වෙනුවෙන් දැරිය යුතු වගකීම් කොටස දැරිය නොහැකි නම්, ඉටු කළ නොහැකි නම් එවන් යුවළක් මෙලොවට දරුවන් දායාද නොකිරීම වඩාත් සුදුසු ය. මන්ද සිංහල ජාතිය වඳවෙනවා යැයි වහසි බස් දොඩන ගිහි පැවිදි දෙපාර්ශ්වය ම දරුවන් බිහි නොකරන අය වෙත දොස් පැවරුව ද ඒ දරුවන් රක්ෂා කළ යුත්තේ කෙසේ ද යන්නට පිළිතුරු සපයන්නට අසමත් ය; ක්‍රමවේදයක් නොමැතිවීම පිළිබඳ නිහඬ ය.
 
 
තන්හාවේ ඇරඹුම


සැබැවින් ම මා ඔබ ඇතුළු හැම දෙනාට ම දරුවන් අවශ්‍ය වන්නේ ඇයි...? දරුවන් බිහි නොකිරීමෙන් සිදුවන අයහපත කුමක් ද...? දරුවන් අවශ්‍ය වන්නේ ලෝකයේ පැවැත්ම ආරක්ෂා කිරීම සඳහා යැයි කිසිවකු පිළිවදන් සපයන්නට පිළිවන. එවිට මට නැගෙන පැනය වන්නේ මම සහ ඔබ ලෝකයේ පැවැත්ම ආරක්ෂා කරන්නේ කුමකට ද යන්න ය. මේ සඳහා විවිධ පුද්ගලයෝ විවිධ පිළිතුරු සැපයිය හැකි ය. එහෙත් මට අනුව නම් අපි කිසිවකු ලෝකය ආරක්ෂා කළ යුතු නොවේ. මන් ද අපි කිසිවකු සදාකාලික ජීවින් නොවේ. කිසිදු ආකාරයකින් සදාකාලික ජීවියෙකු විය නොහැකි මමත් ඔබත් තව දුරටත් එබඳූ ජීවින් බිහි කිරීමෙන් බලාපොරොත්තු වන්නේ කුමක් ද..? මට හැඟෙන ආකාරයට තන්හාවේ ආරම්භය එතන ය. තන්හාව දුරු කරන්නේ නම් පළමුව කළ යුත්තේ දරුවන් බිහි කිරීමෙන් වැළකී සිටීම ය. තම අභිමතය පරිදි ජීවත්වීමේ ක්‍රමවේදයක් සකසා ගැනීම ය. තවත් සරලව පවසන්නේ නම් ‘‘නෑ... අපිට දරුවන් වුවමනා නෑ.’’ යැයි ඍජුව ප්‍රකාශ කළ හැකි, එය ප්‍රායෝගිව ක්‍රියාත්මක කළ හැකි තත්ත්වයකට පුද්ගලයන් පත්වීම ය.


එක ගෙයි කෑමේ රහස

17ftrfCEM1ghWTD6 cover

අතීතයේ ද දරුවන් බිහි කළේ තම තමන්ගේ පුද්ගලික දේපළරැක ගැනීම සඳහා ය. ‘‘එකගෙයි කෑම’’ නමැති ක්‍රියාව ද අපේ සංසෘකාතික උරුමයක් නොව ආර්ථික රටාවකි. පවුලේ සොයුරු දෙපළ සඳහා ම එක කාන්තාවක් විවාහ කරගත්තේ සංස්කෘතික රටාවක් අනුව නොව පවුලේ දේපළ වෙනත් පවුලක් අතර බෙදී යාම වැළැක්වීම සඳහා ය. මෙහි උත්ප්‍රාසාත්මක ක්‍රියාව වන්නේ ඒ සඳහා වන්දි ගෙවන්නට සිදුවන්නේ ද තවත් ගැහැනියකට වීම ය. එබඳ කාන්තාවන් බහුතරයක් කෙබඳු මානසික මෙන්ම ශාරීරික පිඩාවකට පත්වන්නට ඇති ද යන්න උපකල්පනය කිරීම පවා අසීරු ය. ඉදින් එවන් වාතාවරණයක් තුළ ලෝකයේ පැවැත්මට යැයි පවසා තම තමන්ගේ පැවැත්මට දරුවන් බිහි කර හදා වඩා සමාජයට යොමු කිරීම යනු හුදෙක් ආත්මාර්තකාමි සිතුවිල්ලක් මිස සමාජ සද්කාර්යයක් යැයි මා පුද්ගලිකව පිළිනොගන්නේ ය. එය සමාජ අවශ්‍යතාවකි. තවත් සරලව පවසන්නේ නම් ‘‘ඇයි ඔයාල දරුවො හදන්නැත්තෙ...?, ඇයි ඔයාලට දරුවො නැත්තෙ...?’’ යනුවෙන් සමාජය නගන ප්‍රශ්නය සඳහා විසඳුමක් ලෙස දරුවන් බිහි කිරීමකි. කිසියම් යුවළක් සමාජයේ අවශ්‍යතාව වෙනුවෙන් දරුවන් බිහි කර, හදා වඩා තම ජීවිත කාලය ම ඒ වෙනුවෙන් වැය කළ යුතු ද...? එය මොන තරම් විකාර සහගත ක්‍රියාවක් ද...?

‘‘එසේ නම් ඔබ සහ ඔබේ බිරිඳ දරුවන් නිර්මාණය කළේ ඇයි...?’’ දැයි කිසිවකු ප්‍රශ්න කළ හැකි ය. ඒ සඳහා මගේ අවංක සහ ඍජු පිළිතුර වන්නේ දරුවන් නිර්මාණය කර සමාජගතකිරීමේ අවශ්‍යතාවක් මට පුද්ගලිකව නොතිබුණ බව ය. එහෙත් කාන්තා පාර්ශ්වයෙන් එය ඊට වඩා සපුරා ම වෙනස් ය. ඇයට දරුවකු අවශ්‍ය ම ය. ඒ, දරුවකුගේ අවශ්‍යතාවට වඩා සමාජයෙන් එල්ලවන අපහාස, උපහාස සහ අවලාදවලින් මිදිමේ වුවමනාව සඳහා ය. එම තත්ත්වය මත වුවද දරුවන් නිර්මාණය කළේ නම් ඒ දරුවන් නිසි වයසට එළඹෙන තෙක් හදාවඩා සමාජ ගතකිරීම මගේත් බිරිඳගේත් වගකීමකි. එම වගකීමෙන් නිදහස්වීමට මා සහ මගේ බිරිඳ මතු නොව කිසිදු සැමියෙකුට හෝ බිරිඳකට නොහැකි ය. මන්ද යුවළක් දරුවකු බිහිකරන්නේ දරුවාගේ වුවමනාවට නොව දෙමාපියන්ගේ හෝ සමාජයේ වුවමනාව මත ය. එහෙත් සමාජය අදාළ වගකීම බාර නොගනී. එසේ නම් එකී වගකීම පැවරෙන්නේ දෙමාපිය යුවළ වෙත ය. ඔවුන් ඒ ‘‘වගකීම’’ ඉටු කළ යුතු ම ය. මන්ද ඒ සඳහා සමාජය වගවන්නේ නැත.


ඵලය විනාස කිරීමට පෙර


තත්ත්වය එසේ වුව ද කිසියම් ආකාරයක බලහත්කාරී ලිංගික ක්‍රියාවකට යටත් වීමේ සිට, අත්වැරදීමකින් සිදුවන දරු උපතක් හෝ අවිවාහක යුවළක් අතර ඇතිවන ලිංගික සංසර්ගයේ ඵලයක් ලෙස උපදින දරුවන් වෙනුවෙන් කළ යුත්තේ කුමක් ද යන්නට නිසි වැඩපිළිවෙළක් අප රට තුළ ස්ථාපිත කර නොමැත. නීති සම්පාදනය කර තිබෙන්නේ ද එහි විරුද්ධ පාර්ශ්වය වෙනුවෙනි. රටක් ලෙස අප කළ යුත්තේ දරුවන් මහමග දමා යන මවුවරුන්ට හෝ පියවරුන්ට නීත්‍යනුකුල දඬුවම් පැමිණවීම නොව ඔවුන්ට එසේ කිරීමට සිදුවුයේ ඇයි ද යන්න සොයා බලා ඒ සඳහා විසඳුම් සෙවීම ය. නමුත් රටක් ලෙස අප නිරන්තරයෙන් ම සිදු කරන්නේ ඵලය පාර්ශ්වය මත පමණක් අවධානය යොමු කිරීම ය. ඵලයට හේතුව කුමක් ද යන්න වියුක්ත කිරීම ය. වසර ගණනාවක් පුරා ම සිදුවන්නේ මෙම සිදුවිම් දාමය ම ය. එය වෙනස් කර, ඒ වෙනුවෙන් නීති - රීති සම්පාදනය කළ යුතු ය. ඒ වෙනුවෙන් මෙබදු අදහස් කිහිපයක් යෝජනා කළ හැකි ය.
 
kaj

# දරුවාගේ මවගේ හෝ පියාගේ හෝ දෙදෙනාගේ ම කැමැත්ත පරිදි සිදු කළ හැකි ලෙස ගබ්සාව නීති ගත කළ යුතු ය. එහි දී කාන්තාව බලහත්කාරි ලිංගික අතවරයට ලක්වි ඇති නම් ඇගේ තනි කැමැත්ත පරිදි ගබ්සා කිරීමේ අයිතිය ලබා දිය යුතු ය.

# අවිවාහක යුවළක් අතර සිදු වූ ලිංගික සංසර්ගයක ප්‍රතිඵලයක් ලෙස දරුවෙක් ජනිත වූයේ නම්, ඒ දරුවා හදා-වඩා ගැනීමට තරම් සාධාරණ හේතු පවතී නම් එවන් දරුවන් වෙනුවෙන් රාජ්‍ය මැදිහත් විය යුතු ය; දරුවාගේ වගකීම රාජ්‍ය හෝ වෙනත් පාර්ශ්වයක් බාරගත යුතු ය.

# කිසියම් කාන්තාවක් ගැබ්ගෙන සිටී නම් ඇය විවාහක ද නැද්ද යන් තර්කය පසෙක ලා ඇය ගැබිනියක, මවක ලෙස බාරගන්නා සමාජ ක්‍රමවේදයක් සැකසිය යුතු ය ඒ සඳහා සමාජ ආකල්ප වෙනස් කිරීමේ වගවීම රාජ්‍ය විසින් සම්පාදනය කළ යුතු ය.

# සමාජය ද කිසියම් කාන්තාවක් ගැබිනියක හෝ මවක් නම් ඇගේ මවුවත් භාවය සලකනවා මිස ඇය විවාහක ද අවිවාහක ද යන්න පිළිබඳ පුහු සදාචාරවාදි මතය බැහැර කළ යුතු ය.

# එබඳු සිදුවීමකින් ඉක්බිති සමාජ ගතවන කාන්තාව සහ පුරුෂයා කෙරෙහි වෙනස් ලෙස සැලකීම බැහැර කළ යුතු ය. කිසිවකු එසේ සලකන්නේ නම් ඔහුට හෝ ඇයට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ගයක් ගත හැකි ලෙස ලාංකීය නීති පද්ධතිය වෙනස් කළ යුතු ය.

# අවසන් වශයෙන් සමාජයේ සියලු මනුෂ්‍යයෝ අනෙකා ද මනුෂ්‍යයෙකි යන ආකල්පයේ සිට කටයුතු කළ යුතු ය.


එසේ නොවන තාක් ‘‘මීනගයා’’ සිදුවීම බඳු සිදුවීම් අනාගතයේ ද සිදුවනු ඇත. එබදු දෑ සිදුනොවන්නට රාජ්‍යය, රාජ්‍යයක් ලෙස ද සමාජ,ය සමාජයක් ලෙස ද ඔවුනොවුන්, ඔවුනොවුන්ගේ වගකීම් ඉටු කළ යුතු ය.



jayasiri 04 e1619629387941(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
2023/03/15


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්