BREAKING
Top Ad
විශේෂාංග

නීති විදුහලට වැඩේ දුන්නා ඊළඟට වෛද්‍ය විද්‍යාලයට - (නීතිඥ අනුර හෑගොඩ)

T

The Leader

March 26, 2023 • 4:52 AM

නීති විදුහලට වැඩේ දුන්නා ඊළඟට වෛද්‍ය විද්‍යාලයට - (නීතිඥ අනුර හෑගොඩ)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අපේ උතුරා යන සිංහල ජාතිකත්වය, දේශ ප්‍රේමය, දේශ මාමකත්වය ‘සිංහ ලේ’ ගොජ දමමින් අපි අපේ සටන ඊයේ පෙරේදා ජය ගතිමු.
  • දැන් ඉතිරිව ඇත්තේ අපේ රජ පරම්පරාවන් හී තිබූ නීති ක්‍රම, උල සිටුවීම්, හිස් ගැසුම්, පුවක් ගස් බැඳ දෙකට ඉරීම් ආදී සුවිශේෂී දඬුවම් ක්‍රම නැවත හඳුන්වා දීමය.
  •   අපේ ගමේ බිහිවී කොළඹ නීති විද්‍යාලයට ඇතුල් වී නීතිඥයෙක් වීමට සිහින මව මවා සිටි කොල්ලන්ට කෙල්ලන්ට ඒ පාර වහන්නට, ඉංග්‍රීසියෙන් කතා කරමින් නීති සම්පාදනය කළ හැත්ත බුරුත්ත අතුගෑවී යන්නට ම අපි පාර්ලිමේන්තුවේ දී වැඩේ දුන්නෙමු.
  •   2017 දී නීති සංගමයේ ඉල්ලීම පරිදි එක්රැස් වූ නීති විශාරදයන්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, නීති පති දෙපාර්තමේන්තුව සහ ජ්‍යෙෂ්ටයින් එකතුව ‘නීති අධ්‍යාපනයේ අනාගතය මෙන්ම එය ගුණාත්මකව පවත්වාගෙන යාම සඳහා නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කරන ලදහ.
අකුරු ප්‍රමාණය (Font Size):

තව දවස් කීපයකින් හත් දවසේ බණ දානේ ය. දැන් ඉතිරිව ඇත්තේ අපේ රජ පරම්පරාවන් හී තිබූ නීති ක්‍රම, උල සිටුවීම්, හිස් ගැසුම්, පුවක් ගස් බැඳ දෙකට ඉරීම් ආදී සුවිශේෂී දඬුවම් ක්‍රම නැවත හඳුන්වා දීමය.  

අපේ ගමේ බිහිවී කොළඹ නීති විද්‍යාලයට ඇතුල් වී නීතිඥයෙක් වීමට සිහින මව මවා සිටි කොල්ලන්ට කෙල්ලන්ට ඒ පාර වහන්නට, ඉංග්‍රීසියෙන් කතා කරමින් නීති සම්පාදනය කළ හැත්ත බුරුත්ත අතුගෑවී යන්නට ම අපි පාර්ලිමේන්තුවේ දී වැඩේ දුන්නෙමු. අප සමඟ නීති විදුහලේ එකට ඉගෙනුම ලබද්දී ඉංග්‍රීසියෙන් ම බඩ ගිය අයත් අප හා සමග අත්වැල් බැඳ ගැනීම ම මොන තරම් දියුණුවක ලක්ෂණයක් දැයි යන්න අපට සිතා ගන්නට බැරි තරම් සතුටට කරුණක් වී තිබේ.

එහෙත් නීති විද්‍යාලයේ පාඨමාලාව ඉංග්‍රීසියට හැරවීමේ මහා ජාතික කුමන්ත්‍රණයේ ආරම්භය පිළිබඳව සටහනක් කල යුතුය.

 

2017 දී නීති සංගමයේ ඉල්ලීම පරිදි එක්රැස් වූ නීති විශාරදයන්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, නීති පති දෙපාර්තමේන්තුව සහ ජ්‍යෙෂ්ටයින් එකතුව ‘නීති අධ්‍යාපනයේ අනාගතය මෙන්ම එය ගුණාත්මකව පවත්වාගෙන යාම සඳහා නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කරන ලදහ. එහි මුලික නිර්දේශයන් අතර නීති විද්‍යාලයේ දේශන සහ විභාග ඉංග්‍රීසියෙන් පැවැත්වීම ක්‍රමානුකුලව ඇරඹිය යුතු බව සහ ප්‍රමිතියෙන් අඩු විදේශීය නීති උපාධියනට වැට බැඳීමත් විය.  එය 2017 දෙසැම්බර් මස 2 දා කොළඹ කින්ග්ස්බරි හෝටලයේ දී නීතිඥ සංගමය විසින් එළි දැක්වෙන ලදී. මාස හතකට පසු  2018 ජූලි 03 වන දින එය සංස්ථාපිත නීති අධ්‍යාපන සභාවට ඉදිරිපත් කරන ලද අතර 2019 මාර්තු 6 වනදින විශේෂ සභාවක් මඟින් සාකච්චාවට භාජනය කරන ලදී. එම කරුණු පිළිගත් නීති අධ්‍යාපන සභාව 2019 නොවැම්බර් 28, දින නීති විදුහලේ විදුහල්පති හරහා එය අධිකරණ අමාත්‍යවරයා වෙත යොමු කරන ලදී.

 

අමාත්‍යවරයාගේ අනුමතිය සහිතව එය 2020 දෙසැම්බර් මස 30 වන දින ගැසට් ගත කෙරින. ඒහි වූයේ ප්‍රධාන කරුණු අතරින් විභාග කරුණ සුවිශේෂී විය.

1. 2022 පළමු වසර අවසානයේ පරීක්ෂණ සඳහා පෙනී සිටින සිසුන් විෂයයන් 7 න් තුනක් ඉංග්‍රීසියෙන් පෙනී සිටිය යුතුය.

2. 2023 වසරේ දෙවන වසරේ පරීක්ෂණ යේදී විෂයයන් 8 න 5 කට ඉංග්‍රීසියෙන් පෙනී සිටිය යුතුය.

3. 2024 හෙවත් අවසාන වසරේ විභාගයේ දී සියලුම විෂයයන් සඳහා ඉංග්‍රීසියෙන් පෙනී සිටිය යුතුය.  


මේ අනුව පැහැදිලිවම වසර දෙකක පෙර දැනුම් දීමක් මේ කරුණ සඳහා සඳහා ලැබී තිබේ. එමෙන්ම එහි විශේෂිතම කරුණක් වන්නේ සිසුන් ඉංග්‍රීසියෙන් පිළිතුරු ලියූ විට ඒවායේ ව්‍යාකරණ හෝ අක්ෂර වින්‍යාෂ  වැරදි ඇතොත් ඒවා නොසලකා හැර පිළිතුරට පමණක් අවධානය යොමු කරන ලෙස විභාග පරීක්ෂක වරුන්හට උපදෙස් දී තිබීමයි.

කෙසේ වෙතත් මෙම ප්‍රශ්නය තුල පැහැදිලිවම ඇත්තේ පට්ට පටු දේශපාලන බලාපොරොත්තුය. අහිංසක ගැමි තරුණයා තරුණිය රවටා ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා යැයි පෙන්වා ඔවුන් චන්දපොළට දක්කා ගෙන යන තෙක් පමණක් නීති විදුහලේ ඉංග්‍රීසි විරෝධයට තමන් පණ දෙනබව ඉංග්‍රීසි විභාග ක්‍රමයට විරුද්ධ වූ පාර්ලිමේන්තු මන්ත්‍රීන් ඉතා හොඳින් දනිති.

 

ඔවුන් බොහෝ දෙනෙක් සාමාන්‍යයෙන් කතා කරන්නේ ද ඉංග්‍රීසියෙන් ය. ඔවුන් බොහොමයකගේ දූ දරුවන් ඉගෙන ගන්නේ ජ්‍යාතන්තර පාසල්වලය. නො එසේනම් විදේශ රටවලය. ඒ දරුවන් ගෙන් බොහොමයකට සිංහල කියවීමට හෝ ලිවීමට නොහැකිය. නමුත් ඔවුන් ගේ අප්පලාට අවශ්‍ය වන්නේ ලංකාව නමැති කුරුබිළියට තවත් නොදියුණු, ජාත්‍යන්තර භාෂා නොදත් අතවැසි පිරිසක් ඇතිකර ගන්නටය. බණ්ඩාරනායක සිංහල ප්‍රතිපත්තිය තවම ක්‍රියාත්මක වනවා කියා කිය හැක්කේ මෙවිටය. (ගෙදරට ඉංග්‍රීසි , ගමට සිංහල.)  තවත් කරුණක් ඇත. මෙය සිංහල ශිෂ්‍යයනට පමණක් ඇති ප්‍රශ්නයක් නොවේ. දෙමල, මුස්ලිම් සියල්ලෝම මෙයට මුහුණ පෑ යුතුය.

 

එදා මෙන් නොව අද නීති වෘත්තීය උසාවියට පමණක් සිමා වී නැත. මහා පරිමාන නීති කන්තෝරු තිබේ. ජාත්‍යන්තර ව්‍යාපාර තිබේ. Outsourcing නමැති විදේශයෙන් ලැබෙන වැඩ තිබේ. අද නීතිඥයා හොඳ ඉංග්‍රීසි දැනුමින් සන්නද්ධ විය යුතුය. එසේ නොවන්නන් හට තම සේවාදායකයන්හට පුර්ණ ක්‍රමවත් සේවාවක් දීමට ඇති හැකියාව පුර්ණ වන්නේ නැත. තමන්ට විරුද්ධ පාර්ශවයේ නීතිඥයා ඉංග්‍රීසියෙන් නඩුව ඉදිරිපත් කිරීම කල හොත් එයට උත්තර දීමට නොහැකි ඉංග්‍රීසි නොදත් නීතිඥයාගේ දුර්වල කමින්  බැට කන්නේ අහිංසක සේවාදායකයාය. නීතිඥයාහට  වුවද උසාවියේ දී සියුම් ලැජ්ජාවක් දැනෙන්නට පුළුවන. එදාට, අද පාර්ලිමෙන්තුවේ දී ඉංග්‍රීසියට විරුද්ධව ඔබේ පැත්තට ඉස්සූ අත හොයා ගන්නට ලැබෙන්නේ නැත. ඔවුන් බිල්ලට දී ඇත්තේ අහිංසක ගැමි ඔබය.

සිංහල චන්ද ගන්නට බණ්ඩාරනායක, ජේ ආර්. ජාතික ඇඳුම ඇඳ බෞද්ධයන්  වූවාක් මෙන් නීති විද්‍යාලයීය ඉංග්‍රීසි ප්‍රශ්නයේ දී ඉංග්‍රීසි විභාග එපා කියා අත ඉස්සු අය අතර එවැන්නන් සිටින බව පැහැදිලිව පෙනේ. ඒ දෙතුන් දෙනෙක් සිංහලෙන් නීති උගන්වන කඩ සමග කිට්ටු ගනුදෙනු වල නිරත වන්නන් බවට අලුත්කඩේ කතාවක් ද පවතී. සමහරෙක් එම ආයතනයන් ගෙන් නිකුත් කරන ලද සහතික ප්‍රයෝජනයට ගෙන නීති විදුහලේ අවසාන විභාග සිංහලෙන් කරන්නන් යැයි රාවයක් ද ඇත. මේ කොයිකෙනුත් සිදුවන්නේ ප්‍රමිතිය කාණු පල්ලට වැටීම පමණි.

 

මේ ඉංග්‍රීසි කතාවේ දී අප පිළිබඳවත් වචනයක් කතා නොකලොත් අඩුවකි. මා, ගෙදර ඉංග්‍රීසි කතා නොකල මධ්‍යම පන්තියක නිවසකින් ඉංග්‍රීසි කතා නොකරන පාසලකට ගොස් නීති විදුහලට ඇතුල්වී සිංහලෙන් විභාග කොට සමත් වී නීතිඥයෙකු වූ වෙකුය. අනතුරුව වසරකින් එංගලන්තයට ගොස් එහි සොලිසිටර් නමැති නීති විභාගය සමත්ව වසර 38 ක් එහි නීතිඥයෙකු ලෙස කටයුතු කරමි. දුම් දාගෙන ඉංග්‍රීසිය ඉගෙනගත් අප ඉංග්‍රීසිය සහ එහි ඇති වටිනාකම තේරුම් ගෙන සිටියේ නීති විදුහලේ සිටමය. ලංකාවේ නීතිඥයෙක් ලෙස දිව්රුම් දී පළමු දින උසාවියට එළඹි දිනයේදී එය සිය ගුණයකින් වැඩිවී දැනෙන්නට විය. ඒ ගැන වැඩිදුර කතා අවැසි නැත. එය දන්නෝ දනිති. නොදන්නෝ උසාවි ගොස් දැන ගනිති.

 

වෛද්‍ය, ඉංජිනේරු පීඨයන් හී ඉංග්‍රීසියෙන් ඉගෙනීම සහ විභාග ලිවීම නීති විදුහල හා සැසඳීම විහිලුවට කරුණක් යැයි යමෙක් ලියා තිබෙනු දුටිමි. හෙට අනිද්දා යාපනයේ සහ පේරාදෙණියේ නීති පීඨ වලින් පිටවන ඉංග්‍රීසියෙන් හදාරා, ඉංග්‍රීසියෙන් විභාග ලියූ සිසුන් නීතිඥයින් ලෙස දිවුරුම් දුන් විට විහිළුවට භාජනය වන්නේ කලින් කියූ කරුණ ලියූ අයම බව කණගාටුවෙන් කිව යුතුය.

ඉංග්‍රීසියෙන් විභාග ලිවීම නැවත බමුණු කුලයක් ඇති වීමක් යැයි හැන්දෙන් ගෑරෑප්පුවෙන් කන ඉංග්‍රීසියෙන් විභාග ලියූ විද්වතෙක් ලියා තිබිණ. ටොයිලට් රෝලත් බන්දේසියක තබාගෙන වැසිකිලියට ගෙන්නා ගන්නා සමහරෙක් ඉංග්‍රීසියෙන් ලිවීමෙන් සිංහල අභාවයට යනවා යයි කියා තිබිණ. ඔවුනට කිය යුත්තේ එකකි. එනම් අවුරුදු 443 ක් විජාතිකයන් යටත් කරගෙන සිටියත් ඊටත් කලින් චෝල මාග ආදීන් උත්සාහ කලද, ඒ කිසිවෙකුට සිංහල භාෂාව තුරන් කරන්නට පුළුවන් වුනේ නැත. ඉතින් නීති විදුහලේ විභාග ගැන තව කතා කුමකට ද?. ඉංග්‍රීසියෙන් විභාග තැබුවා යැයි කියා මව් භාෂාවක් තුරන් වන්නේ කෙසේද?

 

ශ්‍රී ලංකාවෙන් රුසියාවට යන සිසුවා රුසියන් බස ද චීනයට යන සිසුවා චීන බස ද මාස කීපයකින් නිදහසේ ප්‍රගුණ කරගන්නේ එතැන පටු දේශපාලන බලාපොරොත්තුවක් ඇති එවුන් නොසිටින නිසා යයි කියමි. කොටළු හම පොරවාගත් දියවන්නාවේ වෘකයින් ගේ වාස භවනින් ගමේ අහිංසක තරුණ තරුණියන් තවත් රැවටීමට ඉඩ දිය යුතු නොවේ. පුස්තකාලයක් යනු කුමක් ද යන්නවත් අවබෝධයක් ගන්නට, තමන් නිතිපතා පසු කරගෙන යන පාර්ලිමේන්තුවේ පුස්තකාලයට නිකමට හෝ ගොඩවන කී දෙනෙක් මෙම නීති විද්‍යාල ඉංග්‍රීසි යෝජනාවට විපක්ෂව චන්දය දුන්නේද යන්න ඒනයින් ම අවබෝධ වී ඇත.

 

 FB IMG 1639376465940

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ චන්දිම වීරක්කොඩි

 

අද ඉංග්‍රීසියට කත් අදින්නෙක්, ගමේ තරුණ පරම්පරාවේ නීති අධ්‍යාපනයට අකුල් හෙලන්නෙක් ලෙස ලේබල් වැදුණු, ඉංග්‍රීසි විභාග ක්‍රමයට පක්ෂව චන්දය දුන් එකම පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ගේ පින්තුරයක් මල් තියා පුදන්නට කවදා හෝ අනාගත නීතිඥවරුන් සොයනවා ඇත. ඒ උසාවියේදී, සම්මුඛ පරීක්ෂණයක දී, විදේශයක දී ඇණ ගත්ත දාටය. එහෙත්, සිංහලෙන් නීති විභාගය සමත්ව තමන් මියෙන තුරා ගමේ උසාවියේ රථවාහන නඩු, කසිප්පු නඩුවලට පමණක් පෙනී සිටීම අරමුණු කරගත් නීතිඥයෙකුට මේ කතා වලින් වැඩක් නැත.

මෙයට උරදුන් තවත් දේශපාලනඥයෙක් සිටී. ඒ අමාත්‍ය අලි සබ්රි ය. නීති විභාග ඉංග්‍රීසියෙන් පැවැත්විය යුතු ස්ථාවරයේ සිට කටයුතු කල ඔහු ඒ පිලිබඳ පාර්ලිමේන්තු ඡන්ද විමසන දින නිල සංචාරයක යෙදී සිටිය බව දැනගන්නට ලැබිණ. සිටියා නම් නොඅනුමානව ඔහුත් චන්දිම මන්ත්‍රීවරයා සමඟ අත්වැල් බැඳගනු නොඅනුමානය.

 

දැන් අපට හරිම සතුටුය. නීති විද්‍යාලය හරිය. දැන් තියෙන්නේ ඉංග්‍රීසියෙන් උගන්නන, ඉංග්‍රීසියෙන් විභාග පවත්වන මෙඩිකල් කොලීජිය ඇතුළු ජාති ද්‍රෝහී අධ්‍යාපන ආයතනයන්හි ඉංග්‍රීසිය කපා දමා සිංහල කිරීමය. ඔබ අතට එන ඉංග්‍රීසියෙන් ලියැවුණු වෙළඳ ගිවිසුමක්, බදු ගිවිසුමක් හෝ වෙන ඕනෑම ලියවිල්ලක් ඉංග්‍රීසි පුළුවන් නීතිඥයෙකුට කරා ගොස්  පෙන්නා වැඩේ කරගත හැකි නිසා එය ඒ හැටි වැඩකුත් නොවේය.  ඔබටත් ගානක් තියාගෙන, ඉංග්‍රීසි පුළුවන් නීතිඥයෙකුට නඩුවට පෙනී සිටීමට උපදෙස් දීමට හැකි නිසා එය ද ඒ හැටි වැඩක් නොවේය.

 

කෙසේවෙතත් ඔය ඉංගිරිසිය එපා කියූ කිසිම දෙශපාලකයෙක් තමන් ගේ නඩුවක දී ඉංග්‍රීසියෙන් වැඩ කිරීමට නොහැකි නීතිඥයෙකුට කිසිම නඩුවක් දෙන්නේ නැත. ඒ ගැන කිසිම සැකයක් නැත. දේශපාලකයනට අවශ්‍ය වී ඇත්තේ ඉංග්‍රීසියෙන් වැඩ නොකරන, ජාත්‍යන්තරය ජය නොගත්, ඇමසන් වනාන්තරය මතින් හෙලිකොප්ටරයක් පියාඹන විට දී ඒවාට දුණු ඊතල මානන ගෝත්‍රිකයන් මෙන් තමන්ගේ අනුගාමික තරුණ තරුණියන් හෙයින් ඒ අහිංසකයන්ගේ අනාගතය විනාශ වුවාට ඔවුන්ට කම් නැත. මොවුන් කවදා හෝ පොල් පොට් ගේ බින්දු වර්ෂය සැමරුව හොත් එය පුදුමයට කරුණක් ද වන්නේ නැත.  

පොතක් ලිවිය හැකි කරුණු තිබෙන මෙම ප්‍රශ්නය පිළිබඳව මා සද්භාවයෙන් ලියූ ලිවිම මෙසේ අවසන් කරමි.

ජාත්‍යන්තර පාසල්වල ඉගෙනගත්, විදේශ නීති උපාධි විභාග සමත් සිසුන් සහ ගමේ අහිංසක තරුණ තරුණියන් අතර නීති ක්‍ෂේස්ත්‍රයේ පරතරය දැනටම ඇතිවී තිබේ. ඉංග්‍රීසිය නිසි පරිදි නොහසුරවන නීතිඥවරුන් ඉහළ උසාවි වලට යන්නේ නැත. එතැනින්ම වැඩේ හමාරය. ඉංග්‍රීසියෙන් විභාග පැවැත්වීමෙන් බිහිවෙතැයි අර විද්වතා බිය වී සිටින ‘ඉංග්‍රීසි බමුණු කුලය’ දැනටමත් කොළඹ උසාවි වසාගෙන ඉවරය. එය බිඳ ලන්නට හැකිවන්නේ නීති විද්‍යාලයෙන් බිහිවන හැම සිසුවෙක් ම එක ලෙස ඉංග්‍රීසියෙන් සන්නද්ධ වී සිටියොත් පමණමය.

බොරු දේශ ප්‍රේමයක්, භාෂා ආලයක්, ජාතිමාමකත්වයක් ඉදිරියට දමා තරුණ පරම්පරාවන් මොට කර ඔවුන්ගේ ගේ වටිනා අනාගතය විනාශ නොකරන මෙන් දේශපාලන ප්‍රජාවගෙන් දොහොත් මුදුන් තබා ඉල්ලා සිටිමු.



anura hegoda(ජ්‍යේෂ්ඨ නීතිඥ අනුර හෑගොඩ)


@anurahegoda-studyandwork9562

උපුටා ගැනීම -lankanewsweb.net



සබැඳි පුවත් :
නීති අධ්‍යාපනය ගැන පාර්ලිමේන්තුවේ ඇත්තටම උනේ මොකද්ද ?

නීති උපාධියට කඩ්ඩ ඕන යෝජනාවට චන්දිම තනිවම හිටගනී




JW


 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...