සංස්ථාපිත නීති අධ්‍යාපන සභාව නිකුත් කරන ලද රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන්

පරාජයට පත් වීමත් සමග එකී ගැසට් නිවේදනය නිකුත් කිරීම සහ ඊට ආනුෂංගික කරුණු සම්බන්ධයෙන් සමාජ කතිකාවක් ආරම්භ වී තිබේ.

එකී ගැසට් නිවේදනය ඉදිරිපත් කිරිමට හේතු වූ කාරණා පිළිබඳව සහ එහි අවශ්‍යතාවය පිළිබඳව අවබෝධයකින් තොරව එය හුදෙක්ම පටු අරමුණු වෙනුවෙන් ඉදිරිපත් කරන ලද්දක් බවට ඇතැමුන් මා වෙත චෝදනා කිරීම මෙය ලිවීමට ප්‍රස්තුත විය.

සංස්ථාපිත නීති අධ්‍යාපන සභාවේ සභාපතිවරයා ගරු අග්‍රවිනිශ්චයකාරතුමා වන අතර සාමාජිකයන් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුතුමන්ලා දෙපලක්, නීතිපති තුමා, සොලිසිටර් ජනරාල්තුමා මෙන්ම අධිකරණ අමාත්‍යාංශයෙන් ලේකම්, නීතිඥ සංගමයේ සභාපති හා ලේකම් යන අයද නීතිය පිළිබඳ විශාරදයන් සහ අධ්‍යාපනඥයකුගෙන් සමන්විත සමාජයේ පුළුල් පැතිකඩක් නියෝජනය කරන සම්භවයකින් යුක්ත වුවන්ගෙන් සමින්විත වෙි.

 

එකී ගැසට් නිවේදනයට පදනම් වූ යෝජනාවලිය හුදෙක්ම ඉංග්‍රීසි භාෂාව විභාග මාධ්‍ය ලෙස ප්‍රකාශ කිරීම අරමුණු කරගෙන ඉදිරිපත් කරන ලද්දක් නොවන අතර, එහි අන්තර්ගතය පිළිබඳව අවබෝධයකින් තොරව හෝ වෙනත් ලාභ ප්‍රයෝජන උදෙසා එහි සාධනීය අංගයන් හෙලිදරව් කිරීමෙන් තොරව කටයුතු කිරීමත් ප්‍රතිචාර දැක්වීමත් කනගාටුවට කරුණකි.



ඉහත කී විද්වත් මණ්ඩලය මගින් එකී යෝජනාවලිය ඉදිරිපත් කරන ලද්දේ නීති අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වර්ධනය කරමින් රටට වැඩදායි වර්තමාන අවශ්‍යතාවයන්ට ගැලපෙන වෘත්තිකයන් බිහි කිරීමේ ඒකායන අරමුණ ඇතිවය. එහි අඩංගු සෙසු සාධනීය අංගයන් සාකච්ඡා කිරීමට ප්‍රථමව විවාදයට බඳුන්ව ඇති ඉංග්‍රීසි භාෂාවට අදාළ ප්‍රතිපාදන පිළිබඳව සැකවින් කරුණු දක්වමි.
 
ශ්‍රි ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 (1) ව්‍යවස්ථාව සහ එහි ව්‍යතිරේකයට අනුව උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික භාෂා සම්බන්ධයෙන් විධිවිධාන අදාළ නොවිය යුතුය. ඒ අනුව උසස් පෙළ Z Score කුසලතා මත බඳවා ගන්නා වෛද්‍ය, ඉංජිනේරු, තොරතුරු තාක්ෂණ ආදී පීඨ වල ඉගැන්වීමේ මාධ්‍ය සහ විභාග මාධ්‍ය (Medium of Instruction and Examination) ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කරනු ලබන අතර මෑත කාලීනව කළමනාකරණ පිඨයේ ද පේරාදෙණිය හා යාපනය විශ්ව විද්‍යාලවල නීති උපාධි අංශ වල ද ඉංග්‍රීසි භාෂාව එකම මාධ්‍ය වශයෙන් භාවිතා කරනු ලබයි. එබඳු සන්දර්භයක් තුළදී ශ්‍රම වෙළඳපොළට සහ සමාජ අවශ්‍යතා වලට මෙන්ම ජාත්‍යන්තර තත්වයන්ට මුහුණ දීම සඳහා නීති වෘත්තිකයන් සුදානම් කිරීමේ වගකීම සංස්ථාපිත නීති අධ්‍යාපන සභාවට නිතැතින්ම පැවරේ.


 
එකී කාර්ය ඉටු කිරීම සඳහා ඉංග්‍රීසි මාධ්‍ය සම්බන්ධයෙන් ප්‍රතිපාදන සැලැස්වීම අනිවාර්ය යුගයේ අවශ්‍යතාවයක් බව හඳුනා ගත් නීති අධ්‍යාපන සභාව එය ක්‍රමානුකුලව සහ පියවරෙන් පියවර හඳුන්වා දීම සඳහා ඉතා දීර්ඝ අධ්‍යනයකින් පසුව කටයුතු කරන ලදී. මෙම ගැසට් නිවේදනය එලි දකින්නේ එබඳු දීර්ඝ ව්‍යායාමයක මහඟු ප්‍රතිඵලයක් වශයෙනි.



දේශපාලඥයකු වශයෙන් ඇතැමි අවස්ථාවලදී ජනප්‍රිය නොවන එහෙත් නිවැරදි තීන්දු තීරණ ගතයුතු බව මා තරයේ විශ්වාස කරමි. එවන් තීරණ ජනප්‍රියත්වය මත නොව කුසලතාවය මත පදනමි විය යුතු බවට මා විශ්වාස කරමි.
 
නීති අධ්‍යාපනය සභාවේ අදාල රෙගුලාසි සම්මත කර ගැනීම සදහා කටයුතු කරන අවස්ථාවෙදී මා විසින් නීති අධ්‍යාපන සභාවට පත්කරන ලද කිසිදු  නියෝජිතයකු එහි නොවූ අතර, ඇත්ත වශයෙන්ම මීට පෙර ධුරය දැරෑ අධිකරණ අමාත්‍යවරිය විසින් පත් කරන ලද නියෝජිතයින් එහි විය. ඔවුන්ගේ කාලය අවසන් වීමෙන් පසු මා පත්කරනු ලැබුවේ ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන, ජනාධිපති නීතීඥ හර්ෂ අමරසේකර, ජනාධිපති නීතීඥ නවීන් මාරපන, ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස්, මහාචාර්ය කාමෙනා ගුණරත්න යනාදී මහත්ම මහත්මීන්ය.
 
එලෙස මා වෙත ලබා දෙන ලද රෙගුලාසි වල ඉංග්‍රීසි භාෂාව ක්‍රම ක්‍රමයෙන් ඉදිරිපත් කීරිමට කරන ලද යෝජනාව එක් යොජනාවක් පමනක් වු අතර ඒ හැරැනකොට වඩාත් ඵලදායී නීති අධ්‍යාපනයේ ක්‍රමවත් හා ගුණාත්මක වර්ධනයක් සදහා බොහෝ යෝජනා තිබු බව කිව යුතුය.


 
පාර්ලිමේන්තුවේ දී පරාජයට පත් වූ ගැසට් නිවේදනය මගින් යෝජනා කොට තිබු ප්‍රධානතම සාධනීය යෝජනාව වුයේ නීති අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ආරක්ෂා කර ගැනීම පිණිස විදේශීය විශ්ව විද්‍යාල මගින් ප්‍රදානය කරනු ලබන L.LB. උපාධි නියාමනය කිරීමයි.  ඒ අනුව තෝරා ගන්නා ලද රටවල් 6කට අයත් විශ්ව විද්‍යාල මගින් ලබා දෙනු ලබන උපාධි අදාළ රට තුළ නීතිඥවරයකු වශයෙන් කටයුතු කිරීම සඳහා සුදුසුකම් ලබන පිළිගත් උපාධියක් වීම අනිවාර්ය කරන ලද අතර ඒ මගින් කිසිදු නියාමනයකින් තොරව මුදල් ගෙවීමෙන් පමණක් උපාධියක් ලබා ගෙන නීතිඥවරයකු ලෙස කටයුතු කිරීමට තිබු අවස්ථාව ද නියාමනය කරන ලදී. තවද ලොව කවර හෝ රටක විශ්ව විද්‍යාලයක් එහි නීති අධ්‍යාපනය QS වර්ගීකරණයට අනුව ලොව පළමු 100 තුළ පසු වන්නේ නම් එබඳු විශ්ව විද්‍යාලයකින් ලබා ගන්නා උපාධියක් ද ලංකාව තුළ පිළිගැනීමට ලක් විය.



පෞද්ගලික විශ්ව විද්‍යාල තුලින් පැමිණෙන සිසුන් වසර තුනක කාලයක් දැඩි වෙහෙසකින් පසු උපාධිය ලබාගෙන නැවතත් නීති විද්‍යාලයේ වසර තුනක විභාග වලට ද මුහුණ දීමට සිදු වීම එකී සිසුන්ට කරන ලද බලවත් අසාධාරණයක් වූ හෙයින් ඔවුන්ට දේශීය නීති පිළිබඳව (නීති ඉතිහාසය, පුද්ගලික නීති සහ දේපළ නීතිය බඳු) නීති හඳුන්වා දීමේ විශේෂ කඩයිම් විභාගයකින් පසු නීති විද්‍යාලයේ අවසන් වසර සඳහා පමණක් සහභාගී වීමේ අවස්ථාව උදා කර දීම පෞද්ගලික විශ්ව විද්‍යාල සිසුන් සඳහා අත්කර දුන් මහත් අස්වැසිල්ලකි.
 
දේශීය විෂය නිර්දේශයක් මත පදනම්ව ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබා දෙන කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ සිසුන්ටද සිය උපාධියෙන් පසු නැවතත් ශ්‍රි ලංකා නීති විද්‍යාලයේ සම්පුර්ණ වසර තුනෙහිම විභාග සඳහා සහභාගී වනු වෙනුවෙනට අවසන් වසර විභාගයට පමණක් සහභාගී වීමට අවස්ථාව සලසා දීම එකී ගැසට් නිවේදනයේ තවත් සාධනීය අංගයකි.


 
එකී ගැසට් නිවේදනයෙහි සියළු සාධනීය අංගයන් පැවතියදී ඒවා ගැන අංශු මාත්‍රයකවත් සඳහනක් නොමැතිව භාෂාව පමණක් උලුප්පවාලමින් සිසුන් තුළ මෙන්ම පොදුවේ ජනතාව තුළ අනියත බියක් ඇති කොට ගැසට් නිවේදනයේ අඩංගු සමස්ථ යෝජනාවලියම එක්වරම ප්‍රතික්ෂේප කිරීම පිටුපස අදෘශ්‍යමාන බලවේග ක්‍රියාත්මක වී ඇති බව ඕනෑම අයෙකුට තේරුම් ගත හැකිය.



ජාත්‍යන්තර භාෂාවෙන් උසස් අධ්‍යාපනය ප්‍රගුණ කරන බොහෝ අයට මුළු ලෝකයේම විවෘත වන අතර ලොකයේ විවිධ ස්ථාන වලදී තම දක්ෂතාව පෙන්වීමට පමනක් නොව සේවා ආර්ථිකයක් සපයන ශ්‍රී ලංකාව වැනි රටකට විදේශිකයන්ට හා විදෙස් සමාගමි සමග ගනුදෙනු කිරීමටද, ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය වැනි ඉහල අධිකරණ වල පෙනී සිටීමට උසස් අධ්‍යාපනය තව දුරටත් ඉදිරියට කරගෙන යාමටද ද ජාත්‍යන්තර පොත් පත් නීරික්ෂනය හා අනෙකුත් දේ කළමණාකරණ කිරීමට ඉංග්‍රීසි භාෂාවෙන් ලැබෙන පිටිවහල අතිමහත්ය.
 
නීති පොත් පත් මෙන්ම නඩු වාර්තාද ඉංග්‍රීසියෙන් පළවන සන්දර්භයක් තුළ සිංහලෙන් අධ්‍යාපනය ලබා දී එම දරුවන්ට ලබා දෙන්නට උත්සහ කරන්නේ කුමක්දැයි මම ජාති හිතෛෂීන් ගෙන් අසනු කැමැත්තෙමි.
 
මේ පිටුපස ඇත්තේ සාමාන්‍ය පැලැන්තියෙන් එන දරුවන්ගේ අවස්ථාව හකුලා ඉංග්‍රීසියෙන් පමණක් කටයුතු කලහැකි බමුණු කුලයේ අයට පමනක් මම අවස්ථා සීමා කිරීම පමණය. සත්‍ය වශයෙන්ම මෙය ජයග්‍රහණයක් නොව පරම්පරා දෙක තුනක් අපස්සට හරවා යැවීමකි. මේ සදහා සුදුසු ලෙස කටයුතු කිරීමට ලැබුණු අවස්ථාවේදී අප සියලු දෙනාම පමා වී ඇති බව මා හට ඉතා පැහැදිලිය.
 
කෙසේ වුවද සිංහල භාෂාව කරපින්නාගෙන කිඹුල් කඳුළු හෙලන ඊනියා ජාති මාමකයින් සිය දරුවන්ට විදේශ වල ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීමත්, අහිංසක දුප්පත් නමුත් අති දක්ෂ  දුවා දරුවන් හට ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථාව අහුරා දේශපාලන වාසි ලබා ගැනීම අවාසනාවකි. එය ඉතිහාසය යලි යලි මවාපෑමකි.


 
මා හට මෙම ගැසට් නිවේදනය හඳුන්වා දීමේදී කළයුතු කාර්යභාරය වුයේ නිදහස් අධ්‍යාපනයේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කරන හා සෙත සැලසෙන නිර්භය තීරණයක් ගන්නවාද, නොඑසේනම් ජනප්‍රිය මාතෘකාවක් තෝරාගෙන රටේ අනාගතය බිල්ලට දී ජනප්‍රිය තීන්දුවක් ගන්නවද යන කරුණයි. එහිදී මා තොර ගත්තේ නීතිය පිළිබඳ හසල දැනුමක් ඇති මෙරට ව්‍යවස්ථාවෙන් ඒ සඳහා බලය ලබා දී ඇති විද්වත් නීති අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ගන්නා ලද තීරණයට ජිවය ලබා දීමය.



FGDSGවිදේශ අමාත්‍යවරයා අධිකරණ ඇමති සමග නිල විදෙස් සංචාරයක


 
මගේන් බොහෝ දෙනෙකු අසන පැනයක් වන්නේ එම "ඡන්ද  විමසන අවස්ථාවෙදී පාර්ලිමේන්තුවේ නොසිටියේ මන්ද"යන්නයි. මෙම රෙගුලාසි පිළිබඳව සාකච්ඡා කරන ලද අවස්ථා වලදී සහ ඡන්දය විමසන අවස්ථා වලිදී මා නිල සංචාරයක් සදහා රටින් පිටවී ඇති බැවින් මා හට එම අවස්ථාවට සහභාගි වීමට අවස්ථාවක් නොලැබීම පිළිබඳව මා කනගාටුවෙමි. එවැනි  අවස්ථාවක් ලැබී තිබුනේ නමි මාද නොපැකලිවම චන්දිම වීරක්කොඩි මන්ත්‍රීතුමා සමග තනිවම හෝ මේ සඳහා පක්ෂව ඡන්දය දෙන්නට පසුබට නොවන බව සදහන් කල යුතුය.
 
තවද නීතිඥ වෘත්තීයේ සැම විටම ඉංග්‍රීසි කථා කල හැකි හා නොහැකි ලෙස පංති දෙකක් දෙකක් දැකිය හැක. ඉංග්‍රීසි කථා කල නොහැකි නීතිඥවරුන් අභියාචනාධිකරණට යන්නේ නැත, ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තර්ක කරන්නේද නැත, විදේශිය සේවා දායකයින් වෙනුවෙන් සේවය සපයන්නේද නැත. එය ඉංග්‍රීසි කථා කලහැකි පන්තියකට සීමා වී ඇත. දේශපාලඥයින් ඹවුන්ගේ නඩුවක් පැමිණි විට ඉංග්‍රීසි කථා කල හැකි නීතිඥවරුන් සොයා ගෙන යනු ඇත. නිසි භාෂා ප්‍රවීණත්වයක් ලබා ඇත්නම් මෙම පංතිය භේදය තුරන් වනු ඇත, එහෙත් ලද ජයග්‍රහණය හේතුවෙන් මෙම පංතිභේදය තව දුරටත් ඉදිරියට පවත්වාගෙන යනු ඇත.
 
අවසනාවකට එය කවදා හෝ නිවැරදිභාවයට පැමිණෙන විට පරමිපරා දෙක තුනක සාමාන්‍ය පැලැන්තියේ දරැ දැරියන් ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලබන අය සමග කරට කර ගැටී නීතිඥ වෘත්තියේ නිරත වන්නට තිබු අවස්ථාව අහිමි කිරීමයි.

(ජනාධිපති නීතිඥ අලි සබ්රි)
විදේශ අමාත්‍ය.


සබැඳි ලිපි :

නීති විදුහලට වැඩේ දුන්නා ඊළඟට වෛද්‍ය විද්‍යාලයට -(නීතිඥ අනුර හෑගොඩ)

නීති අධ්‍යාපනය ගැන පාර්ලිමේන්තුවේ ඇත්තටම උනේ මොකද්ද ?

නීති උපාධියට කඩ්ඩ ඕන යෝජනාවට චන්දිම තනිවම හිටගනී

 

 

 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්