ලක්වාසී ජනතාව සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට මේ වන විටත් ලහිලහියේ සූදානම් වෙමින් සිටිති.



ගතවූ වසර තුනක කාලය තුළ දී කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය නිසා මෙරට ජනතාවට 2019 වසරෙන් පසු සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සිතැඟි පරිදි සැමරීමට හැකියාව නොලැබුණි.

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ වැදගත් සංස්කෘතික අංගයක් වන ගනුදෙනු කිරීම සහ නෑගම් යාමේ දී ඥාතීන්ට තෑගිබෝග ලබාදීම සාමාන්‍ය සිරිතකි.

වර්තමානයේ පවතින දැඩි උද්ධමනකාරී ආර්ථික පසුබිම තුළ මෙරට ජනතාවට අලුත් අවුරුදු සැමරීමේ දී යම් ඵලදායී වෙනසක් සිදුකළ හැකි ද යන්න සම්බන්ධව බීබීසී සිංහල සේවය සොයා බැලීමක් සිදු කළේ ය.

ඒ පාරිසරික, සෞඛ්‍යමය, සහ ආර්ථික වශයෙන් වෙනසක් සිදුකරමින් අලුත් අවුරුද්දේ තෑගි දෙන්නේ කෙසේද යන්න පිළිබඳව යි.



පරිසරයට හානියක් නොවන ලෙස

අලුත් අවුරුද්ද සඳහා සිය සමීපතමයින්ට තෑගි ලබාදීමේ දී පරිසරයට හානියක් නොවන ආකාරයට කටයුතු කිරීමට සියලුම දෙනා මෙවර අලුත් අවුරුද්දේ දී වගබලා ගත යුතු බව පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක හේමන්ත විතානගේ යෝජනා කරයි.

බීබීසි සිංහල සේවයට ඔහු සඳහන් කළේ, නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩයක 50% - 54%ක ප්‍රමාණයක් ඇත්තේ ඇසුරුම් බවත්, ඒවා පරිසරයට මුදා හැරීමේ ක්‍රියාවලිය සීමා කරලීමට සියලු දෙනාට වගකීමක් ඇති බවත් ය.

"හැකි සෑමවිටම වෙළදපළෙන් භාණ්ඩ මිල දී ගැනීමේ දී ඒවා සඳහා එක් එක් ඇසුරුම් ලබා ගැනීම සීමා කිරීමට අප කටයුතු කළ යුතු වෙනවා. හොඳම දේ, තමන් භාණ්ඩ මිල දී ගැනීමට යන විට නිවසේ සිට එම භාණ්ඩ රැගෙන ඒමට අවශ්‍ය කරන මල්ලක් රැගෙන යාම. මේ නිසා ඔබේ නිවස තුළට අනවශ්‍ය ලෙස පොලිතින් හෝ ෂොපින් බෑග් එකතුවීම අඩුවනවා," පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂකවරයා පැවසුවේ ය.


ඇඳුම් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීමේ දී මේ ගැනත් අවධානය යොමු කරන්න

උත්සව සමයේ දී හෝ ඉන් පිටත දී ඇඳුම් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය මිල දී ගැනීමේ දී ඒවායේ අඩංගු මයික්‍රොෆයිබර් සම්බන්ධයෙන් මහජනතාව තුළ දැනුවත්භාවයක් තිබීම අත්‍යවශ්‍ය බව ඔහු පවසයි.

"උදාහරණයක් වශයෙන් ගත්තම අප වෙළඳසැලකින් කමිසයක් මිල දී ගත්තම එම කමිසය අඩංගු ඇසුරුමේ විශාල ප්ලාස්ටික් කැබලි සංඛ්‍යාවක් තියෙනවා දකින්නට පුළුවන්. කොලර් එක වටේ තියෙන ප්ලාස්ටික් කැබැල්ල ඇතුළුව බොහෝ දේ ඒ තුළ අන්තර්ගතව තිබෙනවා. ඇඳුම් මිල දී ගැනීමේ දී කපු රෙදිවලින් මසන ලද ඇඳුම් මිල දී ගැනීමට ජනතාව උනන්දු විය යුතු යි. පොලියෙස්ටර් වැනි රෙදිවලින් මසා නිම කරනු ලබන ඇඳුම් රෙදි සෝදන යන්ත්‍රයක දමා එක් වරක් සෝදනු ලබන විට මයික්‍රොෆයිබර් හත්ලක්ෂයක් පමණ පිටවෙනවා කියා සොයාගෙන තිබෙනවා. පොලියෙස්ටර් වැනි ප්ලාස්ටික් මිශ්‍ර රෙදි භාවිතයෙන් ඉවත්වී කපු රෙදිවලින් මසන ලද ඇඳුම් මිල දී ගැනීමට ජනතාව පෙළඹීම ඉතා වැදගත්."

"එමෙන්ම රූපලාවන්‍ය කටයුතු සඳහා යොදා ගනු ලබන ස්ක්‍රබ්, ආලේපන සහ සන්ස්ක්‍රීම් ඇතුළු දෑ තුළත් මයික්‍රොෆයිබර් අඩංගු වී තිබෙන බවට සොයාගෙන තිබෙනවා," ඔහු පෙන්වා දෙයි.


දරුවන්ට තෑගි දීමේ දී මේ ගැනත් සිතන්න

xdfgsdrgh

මේ අලුත් අවුරුද්දේ දී දරුවන්ට තෑගි ලෙස හිමිවිය හැකි මයික්‍රොප්ලාස්ටික් අඩංගු දෑ මොනවාද කියා සොයා බැලීමත් ඉතා වැදගත් බව හෙතෙම පෙන්වා දෙයි.

ඔහු සඳහන් කළේ, දරුවන්ට තෑගි ලබාදෙන විට ප්ලාස්ටික්වලින් නිර්මාණය කෙරුණු උපකරණ ලබාදීමෙන් හැකි තාක් වැළකී සිටීමට කටයුතු කළ යුතු බව යි.

"ගොඩක් අවස්ථාවල දී දරුවන්ටත් මයික්‍රොප්ලාස්ටික්වල බලපෑම එල්ලවී ඇති බවට සොයාගෙන තිබෙනවා. ප්ලාස්ටික්වලින් සාදන සෙල්ලම් භාණ්ඩ ඔවුන් වරක් පමණයි භාවිතා කරන්නේ. පසුව ඒවා පරිසරයට මුදා හරිනු ලබනවා. මේ නිසා ප්ලාස්ටික්වලින් සාදන ලද තෑගි ලබාදීම වෙනුවට ලීවලින් සාදන ලද තෑගි ලබාදීම වඩා හොඳ යි."



අවුරුදු සමයේ දී තෑගි දෙන විට වෙනසක් කරන්න

උදාවන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ දී තෑගි දීමට මිල දී ගනු ලබන කේක්, බිස්කට් වැනි දෑ ඇසුරුම් කිරීමට අනවශ්‍ය ලෙස පොලිතීන් යොදා ගැනීම සීමා කිරීමට ජනතාව වගබලා ගත යුතු බව ද හෙතෙම පවසයි.

"සාමාන්‍යයෙන් තෑගි දීමට මිල දී ගන්නා කේක්, බිස්කට් වැනි දෑ ඇසුරුම් කිරීමට අප පොලිතින් කවර සහ ෂොපින් බෑග් ආදිය වෙළදසැල්වලින් ඉල්ලා සිටිනවා. එලෙස ඇසුරුම් කිරීමට පොලිතින් සහ ෂොපින් කවර ආදිය ලබා ගැනීම සීමා කිරීමට උත්සහ කළ යුතු යි. හේතුව මෙම ඇසුරුම් ද පරිසරයට එකතුවීම නිසා ඇතිවන දූෂණය ඉතා ඉහළ අගයක් ගන්නවා," ඔහු කියා සිටියේය.

වර්තමානය වන විට දෛනිකව මෙරට තුළ ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට මුදා හැරීමේ ක්‍රියාවලිය වේගවත් වී ඇති බව ද හෙතෙම අවධාරණය කළේය.

"අප මීට පෙර ගණන් බලා තිබුණේ දෛනිකව මෙට්‍රික් ටොන් 3000ක පමණ ප්‍රමාණයක් ප්ලාස්ටික් අපද්‍රව්‍ය පරිසරයට මුදා හරිනු ලබනවා කියලා. නමුත් වර්තමානය වන විට එය මෙට්‍රික් ටොන් 13, 000 ක් දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ වගේම නාගරික පරිසරයේ ජීවත්වන පුද්ගලයෙකු දෛනිකව ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් තුනත් හතරත් අතර ප්‍රමාණයක් පරිසරයට මුදාහරිනවා කියලා දැනට ගණන් බලා තිබෙනවා," ඔහු බීබීසි සිංහල සේවය වෙත පැවසුවේ ය.

e546ygherඇඳුම් මිලට ගන්නට තදබදයක්


පරිසරය සුරකින වගකීම ඔබම දරන්න

දිනෙන් දින ඉහළ යන කැළිකසල ගැටලුවට පිළියමක් වශයෙන් තනි පුද්ගලයින් හරහා ඉදිරියේ දී පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා නව වැඩපිළිවලක් සකස් කිරීම ඉතා වැදගත් බව පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂක හේමන්ත විතානගේ අවධාරණය කළේ ය.

"පසුගිය මාර්තු 30 වෙනිදා පළමු වරට ලෝකය 'ශුන්‍ය කසල දිනය' ලෙස සමරනු ලැබුවා. පුද්ගලයෙකු තනි තනි වශයෙන් තමන් ගෙන එන ප්ලාස්ටික්, පොලිතින් ඇසුරුම් සහ අනවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සීමා කිරීම හරහා මෙම ක්‍රියාවලියට දායක වීමේ හැකියාව තිබෙනවා."

"ඒ වගේම තමන් සතුව තිබෙන ප්ලාස්ටික් භාණ්ඩ ආදිය එක්වරක් භාවිතකොට පරිසරයට මුදාහැරිම සිදුනොකර එය නැවත භාවිතයට ගැනීම හෝ එය වෙනත් පුද්ගලයෙකුගේ භාවිතයට ලබාදීම තුළදී මෙම ශුන්‍ය කසල කියන ක්‍රමයට අනුගතවීමට හැකියාව තිබෙනවා."

"අවම වශයෙන් මේ ලෝකයේ සමස්ත ජනගහණයෙන් 25%ක් මේ ආකාරයේ ශුන්‍ය කසල ක්‍රියාවලියට දායකවීම හරහා පිරිසරයට මුදාහැරෙන කසල ප්‍රමාණය විශාල සංඛ්‍යාවකින් අඩු කරගන්න හැකියාව තිබෙනවා," ඔහු සිය යෝජනා ඉදිරිපත් කළේ ය.


අලුත් අවුරුද්ද සැමරීමේ දී ශරීර සෞඛ්‍යය ගැනත් අවධානය යොමු කරන්න

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යනු බොහෝ දෙනා සීනි සහ පිටි අඩංගු ආහාර බහුලව භාවිතයට ගනු ලබන කාල සීමාවක් නිසා, ජනතාව තම සෞඛ්‍ය තත්ත්වය සමබන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ අංශයේ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස පවසයි.

විශේෂයෙන් රටේ පවතින ආර්ථික තත්ත්වය මත ජනතාව සෞඛ්‍ය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් අලුත් අවුරුදු සැමරීම සිදුකළ යුතුව ඇති බව ද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළා ය.

"ලංකාවේ මේ වන විට 30%ක පමණ ප්‍රමාණයක් දියවැඩියාවෙන් පෙළෙනවා. ඒ වගේම තමුන්ට තවමත් දියවැඩියාව තිබෙනවා කියලා නොදැන සිටින පිරිසකුත් සිටිනවා. සීනි බහුල ආහාර මේ කාල සීමාවේ දී ජනතාව තමන්ගේ ආහාරයට එකතුකර ගැනීමෙන් පසුව දියවැඩියා රෝගයට ගොදුරුවීමේ වැඩි හැකියාවක් ගොඩක් වැඩියි."

"ඒ වගේමයි තෙල් බහුල ආහාර. ලංකාවේ 45%ක පමණ වැඩිහිටියන් සංඛ්‍යාවක් ස්ථුලභාවයෙන් පෙළෙනවා. තෙල් බහුල ආහාර අපි වැඩි වශයෙන් ආහාරයට ගත්තොත් ස්ථුලභාවයට පත්වීමේ වැඩි අවදානමක් තිබෙනවා," විශේෂඥ වෛද්‍ය ජයතිස්ස පවසා සිටියා ය.


ආහාර සඳහා සීමාවක් පනවාගන්න

asddfe

අලුත් අවුරුද්ද වෙනුවෙන් බොහෝ දෙනා කැවිලි ඇතුළු ආහාර පිසීමේදී සීමාව ඉක්මවා කටයුතු කරන බවක් පෙන්නුම් කරන නිසා ඒ සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීම ඉතා වැදගත් බව විශේෂඥ වෛද්‍ය ජයතිස්ස පැවසුවා ය.

"බොහෝ දෙනා කැවිලි ආදිය පිසීමේ දී සීමාවක් නැතිව එය සිදුකරනවා. ඒ නිසා අලුත් අවුරුද්දේ චාරිත්‍රයන් සඳහා අවශ්‍ය කැවිලි පමණක් පිසගැනීම ඉතා සුදුසුයි. අනවශ්‍ය විදිහට ඥාතින්ගේ නිවෙස්වලට දෙන්න කියලා කැවිලි හදන්න එපා. අලුත් අවුරුද්දේ දී තෑගි දීමේ දී කේක්, බිස්කට් වැනි දේ ලබා නොදී වියළි ආහාර ද්‍රව්‍ය, පාසැල් යන වයසේ දරුවන් සිටී නම් ඔවුන්ට පොත් ඇතුළු පාසල් උපකරණ ලබාදීමට පියවර ගැනීම ඉතා සුදුසු යි." වෛද්‍යවරිය පවසා සිටියා ය.


ආර්ථිකය සහ අලුත් අවුරුදු සැමරීම

ගතවූ වසර තුනට සාපේක්ෂව මේ වන විට රටේ ආර්ථිකය යම් මට්ටමක ස්ථාවර බවක් පෙන්නුම් කරනු ලැබුව ද, ජනතාව අලුත් අවුරුදු සැමරීමේ දී සිය ආර්ථිකය ගැන වඩාත් කල්පනාකාරී විය යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ ආර්ථික හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය වසන්ත අතුකෝරල පවසයි.

"කොවිඩ් වසංගතය නිසා 2020 සහ 2021 යන වසර දෙකේ දී ජනතාවට අලුත් අවුරුදු සැමරීමට නොහැකි වුණා විවිධ සීමාවන් පනවා තිබීම නිසා. ඒ වගේම පසුගිය 2022 වසරේ දී අලුත් අවුරුදු සැමරීමට හැකියාව ලැබුනේ නැහැ ජනතාවට. එයට හේතුව වුණේ රටේ ඇතිවෙලා තිබුණු ආර්ථික අර්බුදය යි. ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් සහ විදුලි කප්පාදුව නිසා ජනතාවට දැඩි පීඩනයක් එල්ලවී තිබුණා."

"නමුත් මේ වසරේදී ජනතාවට යන්න එන්න හැකියාව ලැබී තියෙනවා. පෝලිම් නැතිවෙලා, පනවා තිබූ විවිධ සීමාවන් ඉවත් කරලා තියෙනවා. නමුත් ජනතාවගේ ආදායම් තත්ත්වය විශාල වශයෙන් වැටිලා තියෙන්නේ. ඒ වගේම පවතින උද්ධමනකාරී තත්ත්වය තුළ භාණ්ඩ සහ සේවා වල මිල ගණන් ඉහළ ගිහින් තිබෙනවා."

"මේ නිසා ජනතාව විශාල පිරිසකට ආර්ථික අර්බුදය නිසා රැකියා අහිමිවුණා. ඒ වගේම රටේ සියලුම දෙනාට වගේ උද්ධමනය ඉහළයාම නිසා අමාරුවෙන් ජීවත්වෙන තත්ත්වයට පත්වුණා. ඒ වගේම නව බදු සංශෝධනයන් නිසා රටේ විශාල පිරිසකට බදු ගෙවීමට සිදුවුණා."

"මේ කියන සන්දර්භය තුළ යි අද වන විට ජනතාව අලුත් අවුරුද්ද සැමරීමට කටයුතු කරන්නේ. දැන් සමාජයක් විදිහට ආර්ථිකයක් විදිහට අපේ ආර්ථිකය තාම යථා තත්ත්වයට පත්වෙලා හෝ ආර්ථිකය ක්‍රමක් ක්‍රමයෙන් ප්‍රසාරණය වෙන තැනක නෙමෙයි සිටින්නේ. ආර්ථිකයක් විදිහට අපි තවමත් පල්ලෙහාට ගමින් කරමින් සිටින්නේ," යනුවෙන් මහාචාර්ය අතුකෝරල පවසයි.


අවුරුදු සමරන්න ණය වෙන්න පෙර සිතා බලන්න

අලුත් අවුරුදු සැමරීමේ දී තම දරුවන් සතුටු කිරීම සඳහා සංස්කෘතික අංග පැවැත්වීමට කටයුතු කරනවා හැර ඒවා ඉදිරියට ගෙන යාමට ජනතාවට වත්කමක් නොමැති බව මහාචර්ය වසන්ත අතුකෝරල පවසා සිටියේ ය.

"රටේ එක්තරා ආදායම් මට්ටමකින් ඉහළ සිටින පිරිසක් ණයවර කාඩ්පත් භාවිතයට පෙළඹී සිටිනවා. ඒ නමුත් පවතින උද්ධමනකාරී තත්ත්වය තුළ භාණ්ඩ මිල ඉහළ ගිහින් තිබීම සහ බදු ව්‍යුහය තුළ ආදායම් අඩුවී තිබෙනවා. මේ කාරණාවන් නිසා ගොඩක් දෙනෙක් තමන් සතු රන් භාණ්ඩ උකස් කිරීමට සහ ණයවර කාඩ්පත් මඟින් අලුත් අවුරුද්දේ තම අවශ්‍යතා සපුරා ගැනීමට පෙළඹී තිබෙනවා. රටේ ආර්ථිකය ධනාත්මකව ගමන් කරනවා නම් ණයවර කාඩ් භාවිතා කිරීම ගැටලුවක් නැහැ. නමුත් රටේ ආර්ථිකය සෘණාත්මකව ගමන් කරන්නේ. මෙවැනි අවස්ථාවල දී ණයවර කාඩ්පත් මඟින් ලබාගන්නා ණය ඉදිරි මාස කිහිපයේ දී නැවත ගෙවීමට ශක්තිය තිබෙනවා ද කියා සොයා බලන්න වටිනවා. එසේ නොවුණහොත් එය අපගේ මෙන්ම දරුවන්ගේ අනාගතයට බලපෑම් එල්ල කරනවා. ණය වෙද්දී අපට එය නැවත පියවීමට හැකියාව තිබෙනවා ද කියා සිතීම වැදගත්."


ආර්ථිකයට බරක් නොවී අලුත් අවුරුද්ද සමරන්නේ කොහොමද?

මෙවර උදාවන අලුත් අවුරුද්ද සැමරීමේ දී ජනතාව අනවශ්‍ය වියදම් සීමාකොට, ඒවා ඵලදායී දෙයක් සඳහා යෙදවීමට කටයුතු කළ යුතු බව මහාචාර්ය අතුකෝරල පවසයි.

"විශාල ලෙස රතිඤ්ඤා, මල් වෙඩි ඇතුළු ගිනිකෙළි භාවිතය සීමා කිරීම වගේම, අවුරුදු සමයේ පවත්වන සූදු පොලවල් සහ මත්ද්‍රව්‍ය සඳහා කරන වියදම් සීමාකොට තම දරු පවුල සමග අවුරුදු චාරිත්‍ර ඉටු කරමින් සතුටින් කාලය ගත කිරීමට ජනතාවට හැකියාව තිබෙනවා. මේ ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්වෙලා සිටින ඔබ වටා සිටින පවුල් ගැන සොයා බලා, ඔවුන්ට අවශ්‍ය වියළි සලාක ලබාදීම සහ ඇඳුම් සැපයීම සිදු කිරීම කාලෝචිත යි. මේ අවුරුද්ද අපි අපිවම සතුටුකර ගන්නා අවුරුද්දක් බවට පත් නොකරගෙන, අප සිටින සමාජය සතුටු කරවන අවුරුද්දක් බවට පත්කිරීමට කටයුතු කිරීම වටිනවා,"යි ද මහාචාර්ය අතුකෝරල ප්‍රකාශ කළේ ය.

(BBC සිංහල සේවය )

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්