1200 x 80 DMirror

රොසන් යනු ස්ටුඩියෝ මැනේජර් ය.



එලෙස හැඳින්වූයේ ඒ ජාතියේ වෙනත් ස්ටුඩියෝ මැනේජර්ලා නොමැති නිසාය.

රොසන් කාටත් කතා කළේ ' පුතා' කියාය.

රොසන්ගේ තාත්තා ඔහු ළග වැඩ කළත් රොසන් ඔහුටත් කතා කරනු ඇත්තේ පුතා යනුවෙනි.

රොසන් පුතා කියන්න ගොස් වැඩ වරද්දා ගත්තේ එක අවස්ථාවකදී ය.

ඒ නෙවිල් මහත්තයාට පුතා කියන්න ගිහින් ය.

" ඔයා කොහොමද මට පුතා කියන්නේ ...?"

ඒජන්සියේ සිටින වයෝවෘද්ධම ආර්ට් ඩිරෙක්ටර් වූ නෙවිල් ගේම ඉල්ලුවේය.

" සොරි පුතා " රොසන් ඒකත් ෂේප් කර ගත්තේ එසේය.

රොසන් ගේ සියලු කතා පටන් ගන්නේ ගම්පොල ප්‍රදේශයෙනි.

" පුතා අපි ඒ කාලේ ගම්පොල ඉන්න කොට...."

යනාදී වශයෙන් ඇරඹෙන කතාව ත්‍රාසය, භීතිය, කොමඩි හා ෆයිට් මැදින් අවසන් වේ.

වරක් රොසන් ඇක්සිඩන්ට් එකක් ගැන විස්තර කළේය.

එය කාර් එකක් හා මෝටර් සයිකල් අනතුරකි.

" පුතා, අපි හොයනවා හොයනවා මෝටර් සයිකල් එක නෑ...

අන්තිමට බලද්දී මෝටර් සයිකල් එක තිබුනේ කොස් ගහේ අත්තක් උඩ..."

මෝටර් සයිකලේ පැදපු එකා එතකොට හිටියේ හඳේ දැයි කවුරුවත් ඇසුවේ නැත්‍තේ " පුතා...අම්මට ...." කියා එවිට ඔහු ජාතිය අමතන බැවිනි.

වරක් ක්‍රිස් නැමැති සුද්දා සමග රොසන් වැඩකට ගියේය.

රොසන් ගේ පෙනුමත් සුද්දෙකු මෙනි.

ඔවුන් ආපසු පැමිණියේ හෝර්ටන් පෙදෙස හරහා ය.

එකල හෝර්ටන් පෙදෙස අවට කුඩ තියාගෙන බත් පැකට් විකිණීම සුලබ දසුනකි.

රොසන් වාහනයෙන් බැස බත් පැකට් එකක මිල විමසුවේය.

රොසන් සුද්දෙකු යැයි සිතූ වෙළෙන්දා ඉංග්‍රීසියෙන් අස්ප ගානක් කිව්වේය.

කිහිප වතාවක් කතා කළ ද වෙළෙන්දා බත් පැකට් එකේ ගාන අඩු කරන්නේ නැත.

" තෝ හිතුවේ මං සුද්දෙක් කියලද...."

රොසන් එක දිගටම කුණුහරුපයෙන් වෙළෙන්දාට දෙසන්න පටන් ගත්තේ ‍ය.

නියම මිලට බත් පැකට් එක ලැබුනේ ඉන් පසුය.

දැන්වීම් ආයතනවල ලනු දෙන්නේ අමුතුම ආකාරයට ය.

කාට හෝ ප්‍රයිවෙට් වැඩක් සදහා පණිවිඩයක් ලැබුනු බව පවසා ග්‍රීන් කැබින් එක හෝ සෙරමික් එක ඉදිරියේ හිටගෙන ඉන්න සැලැස්වීම ස්ටුඩියෝ එකේ කාගේත් පරම සතුටයි.

" මචං, උඹට කෝල් එකක් ආවා...10,00 ට ග්‍රීන් කැබින් එක ඉස්සරහට එන්න කිව්වා..."

ලනුව කෑ එකා පැයක් දෙකක් හෝ අව්වේ කර වෙවී හිටගෙන සිටී.

" කෝ අරූ..." කියා රොසන් හොයන්නේ ඔය අල්ල පනල්ලේ ‍ය.

රොසන්ට ඇත්ත පැවසූ විට කරන්නේ
 " අයියෝ පුතා වැඩ ගොඩ ගැහිලා... අන්න අරූව අඬගහගෙන එන්න ..."

අන්තිමට ලනුව දුන් එකාටම ලනුව කෑ එකා කැඳවාගෙන ඒමට සිදුවේ.

වරක් ස්ටුඩියෝ එකේ හාදයෙක් රොසන්ට ස්ටුඩියෝ එකේම වැඩ කරන අයෙක් සම්බන්ධයෙන් කේළමක් කීවේය.

" පුතා කෝ ඌ දැන් ...? "

රොසන් විමසූ විට ලොකේෂන් එක ද ලැබුනි.

" ඉන්න පුතා මං දෙන්නං ඕකට..." කියා රොසන් ගිනි කසයා මෙන් පිටවී යයි.

මද වෙලාවකට පසුව ගොස් බලන පෙනෙන්නේ බනිනවා වෙනුවට ඔහුගේ කරට අතකුත් දමාගෙන සිගරැට් එකක් අදින රොසන් ය.

" පුතා මම දුන්නා අරූට..."

රොසන් ආපසු ස්ටුඩියෝ එකට එන්නේ එසේ කියාගෙනය.

දිනක් ස්ටුඩියෝ එකේ බර කතාවකි.

ඒ ඉබි මස් ගැනය.

ඉබි මස් වල හයිය , ඉබි මස් කෑ විට ඉන්ජෙක්ෂන් ගසන්නට බැරි බව ආදී කතා රැසක් මෙහිදී කියැවිණ.

මේ සියල්ලම සාවධානව අසා සිටින රොසන් මෙසේ කියයි.

" පුතා ඒ කාලේ... ගම්පොල ඉන්න කොට මං ඉබ්බෝ 35 ක් කාලා තියෙනවා ..."

රොසන් මෙසේ කියන විට එහි සිටි නයනජිත් ප්‍රනාන්දු පැමිණි රොසන් ගේ පිට අතගා බලයි.

" මොකද  මගෙ පිට අත ගෑවේ..?"

කලබල වන රොසන් අසයි.

" මං බැලුවේ පිටේ ඉබි කටු තියෙනවද කියලා..."

නයනජිත් ඇඟට පතට නොදැනී කියා මාරු වෙයි.

සමහර දිනවලට රොසන් ලේන්සුවේ කොන් දෙක කරකවමින් පැමිණේ.

" පුතා, අද අමුඩේ...! "

ඉන් කියැවෙන්නේ හවස 5 න් පසු රෑ වැඩ බවයි.

රොසන්ලා වැනි මිනිසුන් නැති ඇඩ්වර්ටයිසිං ලෝකය ඇත්තටම හිස්‍ ය.

" පුතා අද අමුඩේ...! "

කොහේදෝ සිට රොසන් එසේ පවසනු දැනුදු ඇසේ.

 
 

(ඇඩ්ඩා විසින් ලියන ලදි)


ඇඩ්වර්ටයිසිං ලෝකය වෙනත් ලිපි :


ඇඩ්වර්ටයිසිං ලෝකය (7) : වහල ගැසීම

ඇඩ්වර්ටයිසිං ලෝකය (6) : අධිකාරි මං කංකුං දේවී...!

ඇඩ්වර්ටයිසිං ලෝකය (5) :මහා කලු සිංහලයා

ඇඩ්වර්ටයිසිං ලෝකය (4) : පොල් ගහේ කතාව

ඇඩ්වර්ටයිසිං ලෝකය (3) : රොබට් vs රොබට්

ඇඩ්වර්ටයිසිං ලෝකය (2) : ලබු ගුණේ

ඇඩ්වර්ටයිසිං ලෝකය (1) : කන්දප්පාට කුණුහරුප වරුසාවක්!


JW

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

WhatsApp Image 2022 12 10 at 10.33.30 AM

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය