මා තුන්වැනි ශ්‍රේණියේ සිටි කාලයේ පමණ, අප පානදුරේ පදිංචියට ආ අතර, අපගේ නිවෙස පිහිටා තිබුණේ ගාලු පාරේ ම ය. අපේ අල්ලපු ගෙදර සිටි මිලන් මුදලාලිගේ (පානදුරේ හා හොරණ සුප්‍රකට ස්වර්ණාභරණ ව්‍යාපාර
ජාලයක වූ මිලන් ජුවලර්ස් අධිපති මනමේන්ද්‍ර මහතා) නිවසේ තාප්පෙට කවුරුත් අත නොතැබූ අතර, අපගේ තාප්පයේ නම් නාට්‍ය, චිත්‍රපට හා දේශපාලන පෝස්ටර් එකක් පිට එකක් ඇළවිණි.
අතින් අඳින ලද රතු ම රතු ජවිපෙ පෝස්ටර් කුඩා මගේ සිත ඇද ගති. ඉස්කෝලේ ගොස් එන විට, රත්මලානේ ග්ලාස් කොම්පැනියට හැරෙන හන්දියට යාබද ව ඇති උස තාප්පයක ඇළවෙන ජවිපෙ අති විශාල පෝස්ටර් රාජයා මා තවත් වශී කළේ ය. පසු කලෙක මා 'ලාජර් දෑන් ලයිෆ්' ලෙස ඉගෙන ගත් උපමාව ගැලපෙන්නේ ජවිපෙට බව මට පසක් විය. ඒ නිසා ය ජවිපෙ සංවිධාන යාන්ත්‍රණය ගැන මා තුල කුඩා කල සිට කුතුහලයක් තිබුණේ.
1977 දී ජවිපෙ මැයි රැලිය පැවැත් වූයේ දෙමටගොඩ පිට්ටනියක ය. ඒ හිරේ නොගිය ගමනායක, වාස් තිලකරත්න හා සේනානායක (කෙලී) ඇතුළු පිරිසකගේ සංවිධානයෙනි. දෙමටගොඩ රැලියේ ලැයිස්පීකරයේ හඬ වැලිකඩ සිරගත ව සිටි සගයන්ට ඇසුණු බව කියැවේ. 1977 ඔක්තෝබරයේ පමණ රුසියානු විප්ලව සංවත්සරයට සමගාමී ව හයිඩ් පිටියේ රැලියක් යට කී පිරිස සංවිධානය කර පෝස්ටර ද අළවා තිබුණ විට ය අනපේක්ෂිත ව විජේවීර ඇතළු නායකත්වය ජේ.ආර් ජයවර්ධන නිදහස් කරනු ලැබුවේ. එය ද සැමරීම සඳහා හයිඩ් පිටියේ රැලිය ප්‍රතිසංවිධානය කළේ ය.
හයිඩ් පිටියට වඩා විශාල ඉඩක් ඇති හා අවධානය ලැබෙන කේන්ද්‍රීය ස්ථානයක් සොයන සාකච්චාව විජේවීර ඇතුළු නායක පිරිසක් නීතීඥ ප්‍රින්ස් ගුණසේකරගේ නිවසේ කෙරෙද්දී ය ගුණසේකර මහතා කියා ඇත්තේ යැයි කියැවෙන්නේ, එකල පළාත් පාලන ඇමති ව සිටි ආර්. ප්‍රේමදාසට කතා කොට කොළඹ නගර සභා අවකාශය ඉල්ලා ගත යුතු බව. වාර්තා වන්නේ, ගුණසේකර මහතා ප්‍රේමදාස මහතාගේ අංකය කරකවා, රිසිවරය විජේවීරට දුන් පසු ව, අදාළ කාරණය සුහද ව හා ක්ෂණික ව බේරා ගත් බවයි.
විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති සාර්ථක ඒ නගර සභා රැළියෙන් අනතුරු ව එය සපයා දුන් ප්‍රේමදාස මහතාට 'තැන්ක්ස්' කිරීම පිණිස ජවිපෙ නායකත්වය ප්‍රින්ස් ගුණසේකරගේ කොළඹ 7, රොස්මීඩ් පෙදෙසෙන් දිවෙන ආර්කේඩියා ගාඩ්න්ස්හි පිහිටි නිවෙසට යාබද ව පිහිටි ප්‍රේමදාස මහතාට එකල අයිති ව තිබුණා යී කියන රොස්මීඩ් පෙදෙසේ නිවෙසකට ගිය බව ද කියැවේ. සුහද ව පැවැති ඒ හමුව කෙරෙන අතර, කමිසයක් ද නැතිව පුටුවෙන් පුටුවට පැන දඟකම් කළ සුරතල් 'චබී' පිරිමි දරුවා දැන් ජාතික නායකත්වයේ සිටින බව පැරණි ජවිපෙ නායකයෝ මතක් කරන්නෝ උණුසුම් සිතෙනි.
1978 සිට මැයි දින රැලිය ජවිපෙ වාර්ෂික කැලැන්ඩරයේ වැදගත් ඉවෙන්ටුවක් විය. වෘත්තීය සමිති හා කම්කරු ක්ෂේත්‍රය ජවිපෙ බල කඳවුරක් නොවුණත් මැයි රැලිය දැඩි වෙහෙසක් දරා පවත්වනු ලැබුයේ පක්ෂයේ ශක්තිය පෙන්වීමට ය. ජවිපෙ මැයි පෙළපාලිය දෙවැනි වන්නේ නුවර පෙරහරට පමණි. එය ඒ තරම් විශාල ය, දිග ය, විචිත්‍ර ය. ජන විඥානය පුළුල් කරන ඇවිදින පාසලක් බඳු ය. පෙළපාලියේ ඔළුබක්කන් ද යොදා ගන්නේ මේ අධ්‍යන කර්තව්‍යට යි.
කුකුල් සායමින් රතු කළ පිහාටු සහිත බෙරේ(ට්) තොප්පි පැළඳ රුසියානු හෝ චීන හමුදාව මෙන් ඍජුව ගමන් ගන්නා කැඩෙට් කණ්ඩායම් මුල් කාලයේ සංවිධානය කැරුණේ පක්ෂයේ කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්කවල සම්භන්ධීකරණයෙනි. කොළඹ අවට ප්‍රජා ශාලා කිහිපයක් මැයි පළමු දින රාත්‍රියට වෙන් කරවා ගන්නේ, දුර බැහැරින් එන සහෝදර සහෝදරියන්ට රැය පහන් කොට පසුව දා ගම් බිම් බලා යන්නට ය. කිරුලපනේ කුරේ ප්‍රජා ශාලාව ඒ කාලයේ වෙන් කෙරුණේ මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්ක නියෝජිතයින්ට ය.
මාස කිහිපයක් වෙහෙස දරා, නූලට සැලසුම් කර, කවුරුත් මවිත කරවන සුවිශාල වේදිකාවක් ඉදි කර, ක්‍රියාත්මක කෙරෙන මැයි දින පෙලපාලිය හා රැලිය අවසන් වූ වහා ම සංවිධායකවරු පසු දින විවේකයක් ද නොගෙන කරන විශේෂ දෙයක් තිබේ. එනම් මැයි දෙවැනි දින ම, ලබන වසරේ මැයි රැලියට අවශ්‍ය පිටිය හා නවාතැනට ප්‍රජා ශාලා වෙන් කිරීමයි. මේ සංවිධාන කිරීමේ විනය හා පරිචය ධනවාදී නවීන සමාගමක්ටවත් තිබේ ද යී සැක සහිත ය.
මේ වසරේ ද මේ ආකාරයෙන් ම ජවිපෙ පෙළපාලිය හා රැලිය අති සාර්ථක ලෙස පැවැත් විණ. වසර ගණනාවක් රැලිය පැවැත් වූ බී.ආර්.සී පිටියට නොගොස් නගර ශාලා පරිශ්‍රයේ හා විහාර මහා දේවියේ පැවැත්වුණේ මන්ද කියා මම නොදනිමි. ප්‍රින්ස් ගුණසේකරමයා ද මිය පරලොව ගියේ 2018 දී ය. කෙසේ හෝ, 1977 දී ජවිපෙ නායකත්වය හිරෙන් නිදහස් වී, නව පිටුවක් දිගු හළ ටවුන් හෝලයට ම නැවත ආගමනය සුවිශේෂත්වයකි.
මෙවර ජවිපෙ පෙළපාලියේ කාගේත් ඇහැ කන ගැටුණේ, සමාජවාදී තරුණ සංගමය (SYU) විසින් කළ අයිතමයට ය. ටිපරයකට (සමකාලීන සමාජ මාධ්‍ය අර්ථයෙන් නොව ඇත්ත ම ටිපරයකි, එනම් බොඩියක් නොගසා චැසිය වටා මිටි වැටක් ගැසූ ලොරියකි) පැට වූ බටහිර සංගීත බෑන්ඩ් කණ්ඩායමක්, වාහනය ධාවනය වන අතර සමබර ව සිට මියුරු සරින් වාදනය කරනාතර, රතු ටීෂර්ට් හැඳි විශාල තරුණ පිරිසක් "යෞවනේ නැගෙන ගිණි පුපුරයි - අරගලේ ප්‍රාණ වායුව යි.." නමැති ගීතය සෘතිය ඇතිව ද නැතිව ද මහ හඬින් ගැයීමයි. ගීතයේ අන්තරා කොටස, සෙසු ගීතයේ ලයාන්විත රිද්මයෙන් මිදී, "එස්-වයි-යූ ..... එස්-වයි-යූ...." ලෙස හත් අට වතාවක් බිග්-මැචාරයකට ගිගුළීම විශේෂ අවධානයක් දිනාගති. මේ බිග්-මැච්-චියර් නද මට හොඳින් හුරු පුරුදු නිසා මා මුලින් සිතුවේ ජාජබකරණය වූ ගල්කිස්සේ සැන් තෝමස් කොලිජ් කොල්ලන් පිරිසක් 'එස්-ටී-සී' කියනවා ද කියා යි.
කෙසේ නමුත්, මෙවන් නවීකරණ නැමියා අප අගය කළ යුත්තේ 'කියුබාවට අත නොතබනු' වැනි පැරැණි රසාංග නව පරපුරට නොදිරවන බැවිණි. ඇරත්, මැයි දිනය කියුබාවේ නොවැලැක්විය හැකි හේතුවක් නිසා නොපැවුත් වූ බව ද වාර්තා විය.
ඉවෙන්ට් ඔර්ගනිසින් කියා නිශ්චිත හා සුවිශේෂී වෘත්තීය ක්ෂේත්‍රයක් ශ්‍රී ලංකාවේ ඉස්මතු වුණේ පසු ගිය දශකයකට පමණ පෙරාතුව ය. මේ ක්ෂේත්‍රය මේ වන විට නැතිව ම බැරි සේවාවක් සපයන ව්‍යාපාර ලෝකයේ වැදගත් සංඝටකයකි. සමාගම් ලෙස සංවිධානය වී ඇති මේ ක්ෂේත්‍රය ඉහල වෘත්තීය ප්‍රමිතීන් අනුව ඕනෑම ඉවෙන්ටුවක් අනර්ඝ ලෙස සංවිධානය කර දෙන්නේ ඊට සරිලන ගාස්තුවක් ද අය කරමිණි. වැඩවසම් කාලයේ 'අත්තමට'කළ වැඩ කෙමෙන් ධනවාදී පරිවර්තනයකට භාජනය වන ලංකාවේ කෙරෙන්නේ ඉවෙන්ට් ඔර්ගන්යිසින් සමාගම් විසිනි. ක්ෂේත්‍රයක් ලෙස අනන්‍ය නොවුණු කලෙක පවා ජවිපෙ විසින් කළ ඇත්තේ ඉස්තරම් වර්ගයේ ඉවෙන්ට් ඔර්ගනයිසින් බව පැහැදිලි ය.
ඇත්තෙන් ම ජවිපෙ විසින් කර ඇත්තේ පෙර ගමන් කරුවෙකුගේ කාර්යය යි. අතීතයට බලපාන පරිදි මේ පිළිගැනීම ලාංකීය සමාජය විසින් පමා වී හෝ කළ යුතු ය. එදා මෙදා තුර පක්ෂයක් ලෙස ඔවුහු කතාවෙන් නොව ක්‍රියාවෙන් පෙන්නුම් කළ ඒ විශේෂ ප්‍රාගුණ්‍ය ඉකුත් සතියේ පැවැති මැයි දිනයේ ද මැනවින් ස්ථාපිත කළ හ. ඇත්තෙන් ම, ලංකාව යනු රටක් නොවී ඉවෙන්ටුවක් වූවා නම් එහි අවිවාදිත හා අද්විතීය ඔර්ගනයිසින්කරු ජවිපෙ වීම කිසිවෙකුට වැළකිය නොහේ.
දේශපාලන හා සමාජ විශ්ලේෂක
(මෙම ලිපිය 'අනිද්දා' පුවත්පතේ පලවූවකි. අවධාරණ හා ජායාරුප අපෙන් - සංස්කාරක )