ලේඛකයා විසින් Counter Punch වෙබ් අඩවියට Unabomber: Troubled Life of a CIA Mind Control Victim හිසින් යුතුව ලියනු ලැබූ ලිපියේ සිංහල පරිවර්තනය
ඔහු වරෙක ගණිතඥයෙකි. සම්පූර්ණ ශිෂ්‍යත්වයක් ලබා හාවර්ඩ් විශ්ව විද්‍යාලට ඇතුලත් වී සිය උසස් අධ්‍යාපනය මැනවින් සාර්ථක කරගත් බුද්ධිමතෙකි. පසුව ප්‍රධාන පෙලේ රාජ්‍යය සහ පෞද්ගලික ආයතන නිසා සමස්ථ සමාජයට සිදුවූ නස්පැත්තිය ගැන කලකිරී සියල්ල අත්හරිමින් වනගත වූ මිනිසෙකි. තාක්ෂණික මෙවලම් වලින් දිනෙන් දින සමාජයට සහ ස්වභාවික වස්තුන් වලට සිදුවන විනාශය නිසා පීඩාවට පත් වී එම පීඩාව වෛරයට පෙරළා තම සතුරන්ගෙන් පළිගැනීමට ප්‍රචණ්ඩත්වය භාවිතා කළ පුද්ගලයෙකි. වසර 17 ක් පුරා ඇමෙරිකා එක්සත් ජනපදය බිය ගන්වනු ලැබූ ඔහු මොන්ටානා හී තනාගත් තම වන කුටියේදී නිපදවනු ලැබූ තැපැල් බෝම්බ 16 ක් පමණ විවිධ පාර්ශවයන් ඉලක්ක කොට පුපුරුවා හැරීමට සමත් වූ තනි ත්‍රස්තවාදියෙකි.
වොෂින්ටන් පොස්ට් හි පළ කළ "කාර්මික සමාජය සහ එහි අනාගතය" නැමති රචනාව
ඔහු සිය බෝම්බ ප්‍රහාර නැවත්වීමට නම් තමන් විසින් රචනා කරනු ලැබූ වචන තිස්පන්දහසකින් යුතු "කාර්මික සමාජය සහ එහි අනාගතය" නැමති රචනාව මුද්‍රණය කොට ප්‍රසිද්ධ කරන ලෙස නිව්යෝර්ක් ටයිම්ස් සහ වොෂින්ටන් පොස්ට් පුවත්වලට නියෝග කරනු ලැබුවේ ඒවායේ පිටපත් දෙකක් තැපැල්කොට යැවීමෙනි. ඔහුගේ නියෝගය පිළිපදිමින් අදාල පුවත්පත් ඒවා පළකරනු ලැබීය. ඉන් පසු ප්‍රහාර මාලාව නැවතුණු නමුත් ඔහුගේ සහෝදරයාගේ පැමිණිල්ලකට අනුව මෙම හුදෙකළා ත්‍රස්තවාදියා අත්අඩංගුවට ගනු ලැබීය. එෆ්බීඅයි සිය ඉතිහාසයේ වැඩිම මුදලක් වියදම් කරනු ලැබූ මෙහෙයුම අවසන් වූයේ එලෙසය.
ටෙඩ් (තියඩෝර්) කිසින්කි හෙවත් "යුනබොමර්" නමැති ඛේත නාමයෙන් හඳුන්වනු ලැබූ මෙම පුද්ගලයා පසුගියදා සිර මැදිරියේදී මිය ගියේය. මියයන විට 81 වැනි වියේ පසු වූ ඔහුගේ මරණය එක්සත් ජනපදයේ බලධාරීන්ට අනුව සියදිවි නසා ගැනීමකි. මෙම පුද්ගලයා ගැන කියවීම වැදගත් වන්නේ ඔහු හුදු අපරාධකරුවෙක් පමණක් නොව ඔහුගේ ජීවිතය, විවෘත රාජ්‍යය, ගැඹුරු රාජ්‍යය ( ඩීප් ස්ටේට්) සහ සාමන්‍යය ජන සමාජය අතර ඇති ගැඹුරු සම්බන්ධය අධ්‍යනය කිරීම සඳහා ඉතාම වැදගත් සාක්ෂියක් නිසාය. ඔහු නිවට, දීයාරු, සහ අවස්ථාවාදී වාමාංශිකන් දැඩිව පිළිකුල් කළේය. ලෝක ඉතිහාසය පුරා සිදුවූ ප්‍රධාන සමාජ පරිවර්තනයන් ගැන හැදෑරීම පමණක් නොව ඒගැන වාරණයකින් තොරව රචනා කළේය.
"ප්‍රංශ සහ රුසියානු විප්ලව අසාර්ථක වූ බව කව්වොත් ඔබ ඊට විරුද්ධ වනු ඇත. නමුත් බොහෝ විප්ලවයන් වලට ඉලක්ක දෙකක් තිබේ. එකක් නම් පැරණි සමාජය විනාශ කිරීම වන අතර අනෙක විප්ලවවාදීන් විසින් අපේක්ෂා කරන ලද නව සමාජ ආකෘතියක් පිහිටුවීමය. වාසනාවකට මෙන්, ප්‍රංශ සහ රුසියානු විප්ලවවාදීන් ඔවුන් සිහින මැවූ නව ආකාරයේ සමාජයක් නිර්මාණය කිරීමට අසමත් විය. එහෙත් පැරණි සමාජය විනාශ කිරීමේදී ඔවුන් බෙහෙවින් සාර්ථක විය. සමාජයක නව, පරමාදර්ශී ස්වරූපයක් නිර්මාණය කිරීමේ ශක්‍යතාව පිළිබඳව අපට මිත්‍යාවක් නැත. බොහෝ ඊනියා විප්ලවවල අරමුණ වූයේ පවතින සමාජය විනාශ කිරීම පමණි," ඔහු සඳහන් කළේය. විවිධ නිර්ණාමික නම් සඳහන් කරමින් ලියනු ලැබූ ලිපි රාශියක මෙවැනි සමාජ, දේශපාලන, සහ ආර්ථික කාරණා රාශියක් ගැන විශ්ලේෂණය කළේය.
පුද්ගලයෙකු වයස අවුරුදු 16 දී හර්වර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී පසුව ගණිතය පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කොට ඉතාම කෙටි කාලයකින් සියලු දෑ අතහැර හුදෙකලා ජීවිතයටක හුරු වී ත්‍රස්තවාදියෙකු බවට රූපාන්තරණය වීම ඉතා අසාමාන්‍යය සිදුවීමකි. මෙම පුද්ගලයාගේ ජීවිතය ගැන වැඩිදුර විමසා බැලීමට පෙර ඔහු ජීවත් වූ කාලය සහ ඔහු හාර්වර්ඩ් විශ්ව විද්‍යාලට ඇතුළත් වූ අවධියේදී ඇමෙරිකා එක්සත් ජනපදයේ සමාජ සහ දේශපාලන ස්වභාවය ගැන විමසා බැලීම ප්‍රයෝජනවත් වේ.
ඒවන විට දෙවන ලෝක යුද්ධය අවසන් වී වසර පහක් පමණ ගතවී තිබුණි. නාසි ජර්මනිය මුළු මනින්ම පරාජය කර තිබු අතර ජපානය සහ ඉතාලිය ඇතුළු බටහිර සන්ධානයට එරෙහිව යුධ වැදුණු රටවල් ක්‍රමයෙන් බටහිර රටවල් සමග කුළුපඟ වීම ආරම්භ කර තිබු කාලයක් විය. මේ අතර ඇමෙරිකා එක්සත් ජනපද පරිපාලනය වෙනම ව්‍යාපෘතියක් කෙරෙහි අවධානය යොමු කොට තිබුණි. එනම් ජර්මනිය පරාජය කොට දෙවන ලෝක යුද්ධය අවසන් කිරීම සඳහා මිත්‍ර පාර්ශවය යැයි කියාගත් කණ්ඩායමට සහයෝගය ලබාදුන් ජෝශප් ස්ටාලින් විසින් පරිපාලනය කරනු ලැබූ සෝවියට් සංගමය සතු බලය දිය කර ලෝකයේ බලය තමන් වෙතට කේන්ද්‍රගත කර ගැනීම කෙරෙහිය.
සීතල යුද්ධය ලෙස පසුව හැඳින්වූ මෙම ඉතා සංකීරණ ව්‍යාපෘතියේ විවිධ අනු-ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා එක්සත් ජනපදය ඇමෙරිකානු සමාජයේ විවිධ ස්ථරයන් කෙරෙහි අවධානය යොමු කළේය. විදේශිකයින් යොදා මීට පෙර අත්හදා බලනු ලැබූ බොහෝ පර්යේෂණ ස්වදේශිකයින් යොදාගෙන අත්හදා බැලීම වැදගත් වූයේ රාජ්‍යය ව්‍යුහය වඩාත් ශක්තිමත් කොට ලොව සුපිරි බලවතා ලෙස බලය පවත්වාගෙන යෑමටය. විශේෂයෙන් මිනිසුන්ගේ මනස රාජ්‍යයේ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මෙහෙවිය හැකි ආකාරය කෙරෙහි එහිදී මූලික අවධානය යොමු කරනු ලැබීය. මෙම සිදුවීම් බැලු බැල්මට ප්‍රබන්ධ කතාවක කොටස් වල ස්වභාවයක් ගත්තද ඇමෙරිකා එක්සත් ජනපදයේ විවිධ ආයතන වල පිහිටි පර්යේෂණාගාර තුළදී ඒවා සිදුකරනු ලැබුවේ විශාල පිරිවැයක් දරමිණි.
වසර ගණනාවකට පසු මහජන පරිශීලනය සඳහා මධ්‍යම බුද්ධි ඒජන්සිය (සී.අයි.ඒ) විසින් සංශෝධන සහිතව ප්‍රසිද්ධ කරනු ලැබූ රහසිගත ලේඛනවල මෙම ව්‍යපෘති වලින් සමහරක් ගැන විස්තර කොට තිබේ. එම්කේඅල්ට්‍රා නමැති ඛේත නාමයෙන් හැඳින්වූ සී.අයි.ඒ. සංවිධානයට අනුබද්ධ විද්‍යාත්මක බුද්ධි කාර්යාලය විසින් පවත්වාගෙන යනු ලැබූ මිනිස් මනස පාලනය සහ එහි රසායනය වෙනස් කිරීමේ හැකියාවන් ගැන අත්හදා බැලූ පර්යේෂණ වැඩසටහන ඒ අතර ප්‍රධාන එකකි. පුද්ගලික විමුක්තිය, මානව ගරුත්වය, මනාව අයිතිවාසිකම් ගැන පාරම්බාන එක්සත් ජනපද පරිපාලනයේ ඇති අතිශය බියජනක සහ පිළිකුල් සහගත යථාර්තය මෙම ව්‍යාපෘතිය ඔස්සේ ලෝකයට නිරාවරණය විය. එක්සත් ජනපද පරිපාලනයේ සැබෑ මෙහෙයුම්කරුවා වන සැඟවුණු රාජ්‍යය ( ඩීප් ස්ටේට්) තම බලය පවත්වාගෙන යෑම සඳහා ඕනෑම අමානුෂික කටයුත්තක් කිරීමට මැලිනොවන ස්වභාවය එහිදී හෙළිදරව් විය. ඔවුහුගේ කටයුතු වල දුක්ඛිත අස්වැන්න වූයේ ඇතැම් අතිදක්ෂ ඇමෙරිකානු විශ්ව විද්‍යාල සිසුන්ගේ ජීවිත ඇවිදින මළකඳන් බවට පත්විය.
එක්සත් ජනපද රජයේ නිල අනුග්‍රහයෙන් 1950 ගණන්වල මුල් භාගයේදී ආරම්භ කරනු ලැබූ එම්.කේ. අල්ට්‍රා ව්‍යාපෘතිය අවම වශයෙන් 1960 ගණන්වල අගභාගය දක්වා අඛණ්ඩව පැවති බවත් ඊට එක්සත් ජනපද පුරවැසියන් නොදැනුවත්වම පරීක්ෂණ විෂයයන් ලෙස භාවිතා කළ බවත් සී.අයි. ඒ. ලේඛණ වල සඳහන් වේ. අදාළ පර්යේෂණ ගැන 1977 දී කොංග්‍රස් මණ්ඩලය හමුවේ අදහස් දක්වනු ලැබූ ටෙඩ් කෙනෙඩි මෙසේ සඳහන් කළේය.
"සී.අයි.ඒ. හි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා හෙළි කළ තොරතුරු වලට අනුව, විශ්ව විද්‍යාල ඇතුළු ආයතන තිහකට අධික සංඛ්‍යාවක් මෙම "පුළුල් පරීක්‍ෂණ සහ අත්හදා බැලීම්" වැඩසටහනකට සම්බන්ධ කර ඇති අතර ඊට ස්වදේශිකයින් මෙන්ම විදේශිකයින් නියෝජනය වන පරිදි සියලු සමාජ මට්ටම්වල සාමාජිකයින් ඇතුළත් කොට ඔවුන්ට රහසිගත මත්ද්‍රවය ලබාදී පරීක්ෂණ සදහා පාවිච්චි කොට තිබේ."
වෛද්‍යය ෆ්‍රෑන්ක් ඔල්සන්
මෙම පරීක්ෂණ කිහිපයකම සමාජ තත්වයන් සැලකිල්ලට නොගෙන ප්‍රබල මනෝවිද්‍යාත්මක ඖෂධයක් වන එල්එස්ඩී එම මිනිස් විෂයන් වලට එන්නත් කොට ඇත. මෙම බිහිසුණු පරීක්ෂණයට සම්බන්ධ වී සිටි වෛද්‍යය ෆ්‍රෑන්ක් ඔල්සන්ගේ හදිසි මරණය මෙම ක්‍රියාකාරකම් නිසා සිදුවූ නමුත් එය සියදිවි නසාගැනීමක් ලෙස හැඳින්වීමට බලාධිකාරිය තීන්දු කළේය. එසේම අදාළ පරීක්ෂණ ගැන විමර්ශණය කිරීම සඳහා පත්කරනු ලැබූ රොකෆෙලර් කොමිසමද ඔල්සන්ගේ මරණය ගැන කිසිවක් සඳහන් නොකරමින් නිර්නාමික වෛද්‍යවරයෙකුගේ මරණයක් ගැන සඳහන් කොට තිබේ. නමුත් පසුව හෙළිදරව් වූ තොරතුරු වලට අනුව සී.අයි.ඒ. සංවිධානය ඔල්සන්ට එල්එස්ඩී බලෙන් ලබාදී ඇතිබව හෙළිදරව් විය. සිදුවූ විපත ගැන ඔල්සන්ගේ පවුලේ සමාජිකයින්ගෙන් ඇමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුව වෙනුවෙන් සමාව අයැදීමට එවකට ජනාධිපති ෆෝර්ඩ් අමතක නොකළේය. එසේම එම්.කේ. අල්ට්‍රා ව්‍යාපෘතිය යටතේ සිදුකළ බොහෝ කටයුතු නීතිවිරෝධී බවත් එම පරීක්‍ෂණවල විද්‍යාත්මක අර්ථයක් නැති බවත් සීඅයිඒ පිළිගත්තේය. වඩාත් බියජනක කාරණය වූයේ අදාළ පරීක්ෂණ කටයුතු නිරීක්‍ෂණය කළ නියෝජිතයන් සුදුසුකම්ලත් විද්‍යාත්මක නිරීක්ෂකයන් නොවීමය. ඉතා අවලස්සන කාරණය නම් අදාළ පර්යේෂණයේ බොහෝ තොරතුරු සහ සාක්ෂි විනාශ කිරීමට එකල සී.අයි.ඒ. අධ්‍යක්ෂක ලෙස කටයුතු කරනු ලැබූ රිචර්ඩ් හෙල්ම්ස් නියෝග කිරීමය. එනිසා එම අමානුෂික පර්යේෂණයේ සැබෑ තොරතුරු රාශියක් අහිමි වූ අතර ඒ ගැන විමර්ශණය කිරීම සඳහා පත්කරනු ලැබූ චර්ච් සහ රොකෆෙලර් කමිටුවලට අවශ්‍යය නිගමන සහ නිර්දේශ වලට එළඹීමට ප්‍රමාණවත් සාක්ෂි නොතිබුණි.
කෙසේ වෙතත් රාජ්‍යය ආයතන සහ විශ්ව විද්‍යාල තිහකට වැඩි ගණනක් තුළ සිදුකරනු ලැබූ මෙම පර්යේෂණවලදී හාවර්ඩ් විශ්වවිද්‍යාලයටද ප්‍රමුඛත්වය හිමි විය. හාවර්ඩ් විශ්වවිද්‍යාලය තුළ එම ව්‍යාපෘතිය බාරව කටයුතු කරනු ලැබුවේ ඇඩොල්ෆ් හිට්ලර් ගැන මනෝ විශ්ලේශනයක් ඉදිරිපත් කරනු ලැබූ වෛද්‍යය හෙන්රි ඒ. මර්රි විසිනි. 1950 දී, මර්රි විසින් "දක්‍ෂ විද්‍යාල පිරිමින් අතර පෞරුෂ වර්ධනයේ බහුවිධ ඇගයුම්" යන මාතෘකාව යටතේ වසර තුනක අත්හදා බැලීම් මාලාවකට හාර්වඩ් මනෝවිද්‍යාඥයින් කණ්ඩායමක් මෙහෙයවූයේය. අනෙකුත් ස්ථානවලදී මෙන්ම මර්රි යටතේ සිදුකරනු ලැබූ එම පර්යේෂණයේ අරමුණ වූයේද, බොහෝ ඖෂධ වර්ග මෙන්ම වෙනත් ක්‍රමවේද රහසිගතව භාවිතා කරමින් තනි පුද්ගල මානසික තත්ත්වයන් හැසිරවීමට සහ මොළයේ ක්‍රියාකාරිත්වය වෙනස් කිරීමට හැකි ආකාරය තහවුරු කිරීමය. ටෙඩ් කිසින්කි වෛද්‍යය මර්රි විසින් දියත් කරනු ලැබූ එම මනස හැසිරවීමේ පර්යේෂණ වලට යොදාගත් ශිෂ්‍යයෙකි. පර්යේෂණ සඳහා ටෙඩි ඇතුළු හාර්වඩ් උපාධි අපේක්ෂකයින් විසි දෙදෙනෙකු යොදාගෙන, ඔවුහු ආතතිය වැනි අන්ත තත්ත්වයන් යටතේ ප්‍රතිචාර දක්වන ආකාරය මැන බලනු ලැබීය.
එම පර්යේෂණ වලින් තම මනසට කිසිඳු බලපෑමක් නොවූ බව නඩු විභාගයේදී කිසින්කි ප්‍රකාශ කළද, ඊට ප්‍රතිවිරුද්ධ අදහස් රාශියක් එම සදාචාර විරෝධී රහස් පර්යේෂණ ගැන විමර්ශනය කරනු ලැබූ පර්යේෂකයින් සඳහන් කොට ඇත. ඒ ගැන දීර්ඝ වශයෙන් විමර්ශනය කොට "හාවඩ් සහ යුනබෝමර්: ඇමරිකානු ත්‍රස්තවාදියෙකුගේ අධ්‍යාපනය" නමැති කෘතිය රචනා කරනු ලබු හාවර්ඩ් සරසවියේ අධ්‍යාපනය ලැබූ ඇල්ස්ටන් චේස්ගේ නිගමනය වූයේ කිසින්කි සහ ඔහුගේ පන්තියේ මිතුරන් නොදැනුවත්වම මර්රිගේ පහත් පර්යේෂණ උපක්‍රම වලට ගොදුරු වූ බවය. එහිදී “දුක්ඛිතකම, ලිංගික මනඃකල්පිතයන්, බලයට ඇති ආශාව, පාලනය කරගත නොහැකි කෝපය සහ වේදනාව" ආදී චිත්තවේගයන් ඔවුහුට බලෙන් ඇතිකරනු ලැබීය.
එම පර්යේෂණ වලින් පුද්ගලයින් රැඩිකල්කරණයට මෙන්ම ප්‍රචණ්ඩක්‍රියා වලට යොමුවීම නොවැලක්විය හැකිවිය. ඒ අනුව මර්රි ඇතුළු කණ්ඩායම පමණක් නොව ඔවුන්ගේ අමානුෂික ප්‍රජාතන්ත්‍රවිරෝධී පර්යේෂණ සඳහා අනුග්‍රහය දැක්වූ සී.අයි. ඒ. සංවිධානය සිදුකළ අපරාධ වලින් විවිධ මානසිකවියාධීන් බිහි වූ බවට නැගෙන චෝදනාව ප්‍රතික්ෂේප කළ නොහැකිය. ගැඹුරු රාජ්‍යය විසින් සැබෑ රාජ්‍යය සතුවිය යුතු යහපත් ගුණාංග සහ පොදු වගකීම් යටපත් කොට ඒවා සිය අරමුණු වෙනුවෙන් භාවිතා කර ඇති ආකාරය හඳුනා ගැනීම සඳහා ටෙඩ් කිසින්කි යනු තවත් එක් අවාසනාවන්ත පුද්ගලයෙකු පමණි.
වඩාත් බියජනක යථාර්තය වන්නේ, වසර ගණනාවක් තිස්සේ සමාජය වෙනස් කිරීමට එක් පසෙකින් ගැඹුරු දේශපාලන අදහස් ප්‍රසිද්ධ කරමින් සහ අනෙක් පසින් ප්‍රචණ්ඩත්වය මෙවලම කරගනිමින් කටයුතු කළ කිසින්කි වැනි හුදෙකළා පුද්ගලයින් ඔවුන්ගේ මරණයෙන් පසු මනුෂ්‍ය ශිෂ්ඨාචාරයට ඉතුරුකරන නොදන්නා සහ ගණන් කළ නොහැකි සාධකය. මහා සමාජය හමුවේ "දුෂ්ඨ අපරාධකරුවන්" ලෙස සිය ජීවිත නිමා කරන මෙවැනි පුද්ගලයින්ගේ ජීවිත අවසානයේ ශේෂවන දෑ යම් තැනක වෙනස් අකාරයෙකින් බීජ ලෙස පතිත වී විවිධ මුහුණුවරින් පැලවීම වැළක්විය හැකි ද?
(නිලන්ත ඉලංගමුව)