ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ඉංදියානු සංචාරයට පෙර උතුරු හා නැගෙනහිර පළාත් ජනතාවගේ ගැටළු විසඳීම සඳහා වන

ජනාධිපතිවරයාගේ යෝජනා මාලාව එම පළාත් නියෝජනය කරන මන්ත්‍රීවරුන් වෙත ඉදිරිපත් කර තිබිණි. මෙම විසඳුම් කවරක් වුවත් එය පිළිගැනීම හෝ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හෝ අපහැදිලිතාවයක් තිබුණත් මෙහිදී තමන්ගේ විසඳුම තුළ ක්‍රියාත්මක වන කරුණු රැසක් ජනාධිපතිවරයා පෙන්වා දී තිබිණි.

Ranil Tamil Leaders

ඒ අනුව උතුරු හා නැගෙනහිර පළාත් සංවර්ධනය සඳහා රජය දැනට ගෙන යන වැඩපිළිවෙළ ගැන කරුණු දක්වා තිබිණි. මෙම උතුරේ සංවර්ධන සැලැස්මේ විශේෂ අරමුණක් වන්නේ හරිත හයිඩ්‍රජන් සහ ඇමෝනියා නිෂ්පාදනය හරහා කලාපයේ පුනර්ජනනීය බලශක්ති විභවය ප්‍රයෝජනයට ගැනීමය. මෙමඟින් ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ කොළඹ වරාය වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන අතර පුනරීන් නව නගරය පුනර්ජනනීය බලශක්ති ආර්ථීකයේ කේන්ද්‍රස්ථානය ක්ෂේත්‍රයේ ප්‍රබල වර්ධනයක් ඇති කිරීම ඉලක්ක කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

එසේම කංකසන්තුරේ වරාය සහ වව්නියා හා පලාලි ගුවන් තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතිය, උතුරු පළාත සහ දකුණු ඉන්දියාව යා කරන බෝට්ටු සේවාව, කන්කසන්තුරේ, පරන්තන් සහ මාන්කුලම් ආයෝජන ප්‍රවර්ධන කලාප පිළිබඳවද උතුරු පළාත තුළ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා යාපනයේ සහ මන්නාරම සංචාරක ආකර්ශනීය ස්ථාන සංවර්ධනය, මන්නාරම කොටුව සහ දූපත් කන්කසන්තුරේ වරාය සහ වඩමාරච්චි ආශ්‍රිතව සංචාරක බෝට්ටු සවාරි ව්‍යාපෘතිය ගැන ද කරුණු අඩංගුය.

එසේම මීට දින කිහිපයකට පෙර කොළඹ දී ඉන්දීය ව්‍යාපාරික හමුවකටද ජනාධිපතිවරයා සහභාගී වී තිබිණි. එහිදී ඉන්දියාව වැනි ප්‍රබල රටක් සමග ව්‍යාපාර සබඳතා ශක්තිමත් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථීකයට විශාල වාසිසහගත තත්ත්වයක් නිර්මාණය කරගත හැකි බවත් ඉන්දියාවේ මෝදි අගමැතිවරයා ගෙන යන මූල්‍ය ප්‍රතිපත්තිය නිසා ඉන්දියාවට ආර්ථීකමය වශයෙන් ඉදිරියටම ඒමට හැකි වීම මත ශ්‍රී ලංකා ආර්ථීකයේ ඉදිරි දැක්මටත් මනා පිටිවහලක් වෙන බව පෙන්වා දී තිබිණි.

 

“මට අවශ්‍ය වන්නේ, ශ්‍රී ලංකාව දැඩි තරගකාරී ආර්ථීක රටාවකට නතු කිරීමටයි. හරිත ආර්ථීකයක් හා ඩිජිටල් ආර්ථීකයක් තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථීක තත්ත්වය ශක්තිමත් තලයකට ඔසවා තැබීමට හැකියාව තිඛෙනවා.

 

අපේ ආර්ථීකය ශක්තිමත් කිරීමට නම් ඉන්දියාව සමග සමීප සබඳතා පැවැත්විය යුතුයි. ලංකාවේ ආර්ථීක අරමුණු සහ ඉලක්ක ජය ගැනීමට දෙරටේ සහයෝගීතාවය ඉතා වැදගත්. දෙරට අතර නව ගිවිසුම් ඇතිකර ගැනීමේ හැකියාව සොයා බලා අදාළ අංශ ඒ සඳහා යොමු කළ යුතුයි˜ යනුවෙන් ජනාධිපති රනිල් අදහස් දක්වා තිබිණි.

ඉන්දියානු රුපියල ලංකාවේ සංසරණය වීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලීමට අප ඉදිරියේ දී කටයුතු කරනවා. රටක් දියුණු වීමට නම් ලෝකයට විවෘත විය යුතු බවත් ඊට අදාළ කඩිනම් නීති ප්‍රතිසංස්කරණ ගෙන එන බවද පවසා තිබිණි.

මෙම හමුවට පෙර විදේශ ඇමැති අලි සබ්‍රි මාධ්‍ය සාකච්ඡාවකදී පවසා තිබුණේ ජනාධිපතිගේ ඉන්දියානු සංචාරයේදී දෙරට අතර බලශක්ති ජාල සම්බන්ධතාව (grid connectivity), වරාය සංවර්ධනය සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කරන බවය.

ඉන්දියානු මාධ්‍ය තුළ ද මෙම සංචාරය ගැන සඳහන්ව තිබුණේ ආර්ථීක සහ බලශක්ති වෙළඳාම සඳහා දෙරට අතර බන්ධන සහ විදුලි සම්ප්‍රේෂණ ජාල සම්බන්ධ කිරීම පිළිබඳ ගිවිසුමක් අත්සන් කරනු බවත් ශ්‍රී ලංකාව තුළ ඉන්දියානු ආයෝජන වැඩි කිරීම, ඉන්දියානු රුපියල්වලින් වෙළඳ පියවීම් සහ ඉන්දියානු සංචාරකයින් ගලා ඒම වැඩි කිරීම ඇතුළුව ඉන්දියාවේ ආර්ථීකය සමඟ වැඩි ඒකාබද්ධතාවයක් සඳහා (economic and energy connectivity and integration&) ක්‍රියා කරනු ඇති බවය. එසේම ත්‍රිකුණාමලය වරාය සංවර්ධනය සම්බන්ධයෙන් ඉන්දියාව කැමැත්ත පළ කර ඇත.

 

ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ ශ්‍රී ලංකාව, ඉන්දියාවේ  “අසල්වැසිභාවය ප්‍රථමව˜ ප්‍රතිපත්තියේ සහ දැක්මෙහි වැදගත් හවුල්කරුවෙකු වන බවත් මෙම සංචාරය දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය ශක්තිමත් කරනු ඇති අතර ක්ෂේත්‍ර කිහිපයක් හරහා සම්බන්ධතාවය වැඩිදියුණු කිරීම සහ අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රයෝජනවත් සහයෝගීතාවයක් සඳහා ඇති මාර්ග ගවේෂණය කරනු ඇති බවය. ඒ අනුව මෙම අවස්ථා කිහිපය එකිනෙකට සම්බන්ධ වන තැනක් තිබේ. ඒ ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා ගෙන තිඛෙන පියවරයන්, ඉන්දියාව සමඟ වන සහසම්බන්ධතාවය ය.

කොහොම නමුත් ජනාධිපතිවරයා කාලාන්තරයක් මුළුල්ලේ දැරූ මතය වූයේ රට ලෝකයට විවෘත කිරීම හරහා එම සංවර්ධන ඉලක්ක ජය ගැනීම විය යුතු බවය. මීට පෙර අවස්ථා ගණනාවකදී දකුණු ආසියානු කලාපයෙත් අග්නිදිග ආසියානු කලාපයේත් විශේෂයෙන්ම දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකාවට සමීප ප්‍රාන්ත 5ක අනාගත සංවර්ධනය ගැන ඔහු අනාවැකි කියා තිබේ. එමෙන්ම එක් කලාපයක් ලෙස එකිනෙකා හා සම්බන්ධ වන පොදු වුවමණාවක් ලෙස මෙම සංවර්ධන ක්‍රියාදාමය සිදුවීම ගැන ජනාධිපතිවරයා බර තබා තිබුණේ එමඟින් මෙරට සංවර්ධනය සඳහා විශාල ඉඩක් විවර කරගැනීමේ හැකියාව පවතින නිසාය. එමෙන්ම බටහිර, නැගෙනහිර සහ මධ්‍යම අප්‍රිකාවේ මේ වන විට සිදුවන සංවර්ධනය සහ ඉරාන පකිස්තාන වෙරළ තීරයේ වන සංවර්ධනය මඟින් ඉන්දියානු සාගර කලාපය තුළ වන නව පිබිදීම ගැනත් ඔහු කරුණු පෙන්වා දී තිබුණේ එහි විපුල ප්‍රයෝජනය අත්පත් කර ගැනීම විය යුතු බව අවධාරණය කරමිනි. ජනාධිපතිවරයාගේ මේ දැක්ම ප්‍රතික්ෂේප කළ නොහැකිය. මන්ද තව දුරටත් හුදකලා රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට යා හැකි දුරක් නැති බව නිදහසෙන් පසුව ගෙවුණු 75 වසර මුළුල්ලේ පෙන්වා දී ඇති සත්‍යය වන බැවිනි.

දකුණු ආසියාවේ රටවල් පසුගිය අවුරුදු දෙක තුන තුළදී කොවිඩ් වසංගත තත්වය හා ලෝක ආර්ථීක අර්බුදයේ බලපෑමට හසුව සහ ආර්ථීකමය වශයෙන් අර්බුදයන්ට ගොදුරුවීම වලක්වා ගැනීමට ගත් ආර්ථීකමය පියවරයන්ගේ වැරදි නිසා යම් පසුබෑමකට ලක් වුවත් ඉදිරි වසර කිහිපය තුළදී යළි සිග්‍ර වර්ධනයක් අත්පත් කරගැනීම සිදු වනු ඇති බවට ජාත්‍යන්තර මුල්‍ය විශ්ලේෂණයන් මේ වන විට පෙන්වා දී ඇත. එසේම ආසියානු සෙසු කලාපවලට වඩා දකුණු ආසියානු කලාපය ඉදිරි පිම්මක් පනිනු ඇති බවත් පෙන්වා දී තිබේ.

India sri lanka

කොහොම නමුත් මේ වන විට ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය තුළදී, අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය මත පදනම් වූ ශක්තිමත් ඉන්දු – ලංකා සබඳතාවක් වෙනුවෙන් දෙරට අතර පුළුල් ආර්ථීක හවුල්කාරිත්ව දැක්මක් ප්‍රකාශයට පත් කර ඇත.

 

සමුද්‍රීය කටයුතු, ගුවන් සබඳතා, බලශක්ති සහ විදුලිබල සබඳතා, වෙළෙඳ, ආර්ථීක සහ මූල්‍ය සබඳතා, පුද්ගල සබඳතා යන ක්ෂේත්‍ර 05 ඔස්සේ මෙම හවුල්කාරිත්ව දැක්ම ප්‍රකාශයට පත්කර තිඛෙන අතර මෙය ශ්‍රී ලංකාවේ සංවර්ධන ගමනේ සංධිස්ථානයක් වනු ඇත.

මේ වන විට ඉන්දියාව ප්‍රමුඛව දකුණු ආසියානු කලාප එකිනෙකා සමඟ වන සහයෝගය මත ගොඩ නැගීම දෙසට ඇදෙමින් පවතින ප්‍රවණතාවය අනුව මෙම සංචාරය තුළදී ඉන්දියාව සමඟ වන සහසම්බන්ධිත නව ආර්ථීක සහයෝගිතාවය දකුණු ආසියානු කලාපය තුළ ඉතා වේගයෙන් ශ්‍රී ලංකාවට සංවර්ධිත රාජ්‍යයක් ලෙස ගොඩ නැගීමට අවශ්‍යකරන මඟ විවර වනු ඇති බව පැවැසිය හැකිය.

කොම නමුත් මෙම කලාපීය සහයෝගිතාව ගැන සාකච්ඡාව දශක ගණනාවක් පැරණිය. විවිධ සැලසුම් පවා ඉදිරිපත් වී තිබිණි. මේ වන විට දකුණු ආසියානු උප කලාපීය ආර්ථීක සහයෝගිතා (SASEC) වැඩසටහන මගින් 2016 දී ඉදිරිපත් කළ 2025 වසර දක්වා වන කාලය තුළ ක්‍රියාත්මක කිරීමට අදාළ ප්‍රවාහනය, වෙළඳ පහසුකම්, බලශක්තිය සහ ආර්ථීක කොරිඩෝ සංවර්ධනය ව්‍යාපෘති සැලසුමක් ද තිබේ.

ඒ අනුව දකුණු ආසියාව තුළ වෙළඳ සහ ආර්ථීක සහයෝගීතාව වැඩි කිරීම, නැගෙනහිර ආසියාව සහ අග්නිදිග ආසියාව වෙත සම්බන්ධතා ඇති කිරීම සහ කලාපීය සහයෝගීතාවය තුළින් තිරසාර ආර්ථීක ගමන ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කරගත් ප්‍රධාන මෙහෙයුම් ගණනාවක් ඉදිරිපත් විය.

බහුවිධ ප්‍රවාහන පද්ධති හරහා භෞතික සම්බන්ධතාවය වැඩි දියුණු කිරීම, ප්‍රවාහනය සහ වෙළඳ පහසුකම් සඳහා පුළුල් ප්‍රවේශයක් අනුගමනය කරමින්, ගොඩබිම්, මුහුදු ගමන් මාර්ග පහසුකම් පුළුල් කිරීම. බලශක්ති අවශ්‍යතා සපුරාලීම සඳහා සහ බලශක්ති විශ්වසනීයත්වය සුරක්ෂිත කිරීම සඳහා පුළුල් හා විවිධාංගීකරණය වූ බලශක්ති සැපයුමක් සහ විදුලි වෙළඳාම වැඩි දියුණු කිරීම. එක් එක් රටවල ආර්ථීක කොරිඩෝ අතර සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සහ වැඩිදියුණු කළ දේශසීමා සම්බන්ධතා හරහා ආයෝජන වැඩිකිරීම කිරීම ආදිය වෙයි. ඒ අනුව බංග්ලාදේශය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල ආර්ථීක කොරිඩෝ තුනක් සඳහා සැලසුම් කිරීම ද සිදුවෙමින් පැවැතිනි.

 

මේ වන විට ඉන්දියාව එහි ඊසානදිග අසල්වැසියන් වන භූතානය, බංග්ලාදේශය සහ නේපාලය සමඟ ඒකාබද්ධ කිරීමෙන් (BBIN- ව්‍යාපෘතිය) කලාපයේ වෙළඳ හා ආර්ථීක සංවර්ධනය වැඩි කිරීම සඳහා පියවරයන් ගෙන් තිබේ. ඩිජිටල් ජාල සම්බන්ධතා, බලශක්ති, පුනර්ජනනීය බලශක්ති සහ මාර්ග, පාලම්, දුම්රිය මාර්ග ඇතුළත් ප්‍රවාහන සම්බන්ධතා වැඩි කිරීම පදනම් කරගෙන මෙම ඒකාබද්ධතාවය ගොඩනගමින් ඇත. ඒ අනුව ඊඊෂභ ආර්ථීක සහයෝගිතාවය අද වන විට දකුණු ආසියාව ලෝකයේ අවම වශයෙන් හෝ ඒකාබද්ධ වූ ප්‍රදේශවලින් එකක් බවට පත්කර ඇත. මෙම ව්‍යාපෘතිය මඟින් මෙම රටවල් හතරේ දේශසීමා හරහා නිදහස් වෙළෙඳාමට සහ මගී ප්‍රවාහනයට ඉඩ සැලසේ. මෙම ව්‍යාපෘතියටම ශ්‍රී ලංකාව ඈඳා ගැනීම පිළිබඳවත් ඉන්දියව හා එක්ඟ වූ ආර්ථීක හවුල්කාරිත්ව දැක්ම තුළ ප්‍රකාශ කර ඇත.

BBIN

මෙම නව උපාය මාර්ගය වැදගත් වන්නේ පොදුවේ මෙම කලාපීය රටවල් වෙළාගෙන අති පොදු දුර්වලතා මෙමගින් ජය ගැනීමේ හැකියාවක් ලැඛෙන බැවිනි. සමස්ත වෙළඳාමෙන් සියයට පහක් පමණ ඇති ලෝකයේ අඩුම අන්තර් කලාපීය වෙළඳ අනුපාත ඇති කලාපයක් ලෙස දකුණු ආසියාව සැලකේ. ඊට හේතුව ව්‍යාපාර සහ ආයෝජන සඳහා සැලකිය යුතු බාධාවන් මේ කලාපයේ පොදු ලක්ෂණයක් ලෙස පැවැතීමය. ව්‍යාපාරයක් ආරම්භයට විවිධ අධිකාරීන් දහයකට වඩා වැඩි ගණනක් වෙත යමින් කඩදාසි පුරවමින් මාස ගණන් අවුරුදු ගණන් ගත කිරීමට සිදුවීම සාමාන්‍ය තත්වයකි. අපනයන ආනයන නිෂ්පාදන සහතික කිරීම සඳහා සුදුසුකම් ලත් රසායනාගාර හිඟයන් පහසුකම් අවම වීම ආදි හේතුවෙන් නැව්ගත කිරීම් සති ගණන් ප්‍රමාද වේ. මෙම දේශසීමා ප්‍රමාදයන් ම`ගින් වෙළඳ පිරිවැය වැඩිවීමත් වෙළදාම් අධෛර්මත් කිරීමත් නිසා එය ඒ ඒ රාජ්‍යවල වර්ධනයන්ට බාධා පමුණුවා ඇත. එසේම රටවල ප්‍රවාහන මාර්ග, සේවා ස්ථාන, ගබඩා ආදී යටිතල පහසුකම්වල දුර්වලතාවයන් ද සෘජුවම මේ සඳහා බාධා ඇති කරයි.

BBIN ව්‍යාපෘතිය මඟින් නිෂ්පාදන සහ සේවා බාධාවකින් තොරව ගලා යාම සහතික කිරීම සඳහා, මෙම රටවල අතර මහා මාර්ග දුම්රිය මාර්ග ඇතුළු බහු-මාදිලි ප්‍රවාහන ජාල පුළුල් කිරීම, බලශක්ති උණතාවයන් වැළැක්වීම, ලේඛන කටයුතු විධිමත් කිරීම, ඩිජිටල්කරණය කිරීම, භෞතික පරීක්ෂණ බාධා ඉවත් කිරීම සඳහා ශිල්පීය ක්‍රම වැඩිදියුණු කිරීම, දේශසීමා සංක්‍රමණය සක්‍රීය කිරීම, රෙගුලාසි නවීකරණය කිරීම මගින් වා‚ජ කටයුතු සඳහා ක්‍රියාවලීන් වඩාත් කාර්යක්ෂම කිරීම බලාපොරොත්තු වේ.

 

මෙම සංවර්ධන ක්‍රියාදාමය සඳහා වන මූලික පිරිවැය ඉහළ විය හැකි නමුත්, දිගුකාලීන ප්‍රතිලාභ මූලික පිරිවැයට වඩා වැඩි වනු ඇත. ප්‍රවාහන යටිතල පහසුකම් සහ ආර්ථීක වර්ධනය අතර හිතකර සහසම්බන්ධයක් ඉහළ, මධ්‍යම සහ අඩු ආදායම්ලාභී රටවල බොහෝ අධ්‍යයනයන් පෙන්නුම් කර ඇත. ප්‍රවාහනය, ආර්ථීක වර්ධනයේ ප්‍රධාන එන්ජිම වන බැවින් ප්‍රවාහන යටිතල පහසුකම් රටක සංවර්ධනයේ දී තීරණාත්මක වේ. කලාපයේ සියලුම පාර්ශ්වකරුවන්ට හා සම්බන්ධ වන බහු විධ ප්‍රවාහන යටිතල පහසුකම් නිර්මාණය කළ හැකි නම්, දකුණු ආසියානු කලාපයටම සැලකිය යුතු ලෙස සිය සංවර්ධන අපේක්ෂා යථාර්ථයක් කර ගැනීමේ හැකියව විවෘතව පවතී.

Modi Ranil

මේ අනුව ජනාධිපතිවරයාගේ ඉන්දියානු සංචාරය අරමුණ වන්නේ විශේෂයෙන්ම ඉන්දියාව ප්‍රමුඛව කලාපීය සහයෝගිතාවය මත නව සංවර්ධිත අවධියක් කරා ශ්‍රී ලංකාව ගෙන යෑමට බව පැහැදිලිය.

දකුණු ආසියාව සඳහා කලාපීය සහයෝගීතාවයේ අනෙක් ප්‍රතිලාභය කුමක්ද යන්න ගැන කෙටියෙන් සඳහන් කළහොත් කලාපීය සහයෝගීතාවය රටවල් අතර සංවාදය සහ අවබෝධය ප්‍රවර්ධනය කිරීම ම`ගින් කලාපයේ වැඩි ස්ථාවරත්වයක් සහ ආරක්ෂාවක් ඇති කිරීමට හේතු විය හැක. දකුණු ආසියාවේ ජනතාව අතර වැඩි සංස්කෘතික හුවමාරුවක් සහ අවබෝධයක් ඇති කළ හැකි අතර එමඟින් කලාපය තුළ වැඩි ඉවසීමක් සහ සහජීවනයක් ඇති කළ හැකිය. කලාපයේ රටවල ආර්ථීකයන් ඒකාබද්ධ කිරීමට සහ ගෝලීය වෙළෙඳපොළ තුළ වඩාත් තරඟකාරී කිරීමට උපකාරී වේ. මේ අනුව ගොඩනැගෙන කලාපීයවාදය දකුණු ආසියාවේ රටවලට ඔවුන්ගේ අනාගතය සඳහා හවුල් දැක්මක් වර්ධනය කරගැනීමට සහ පොදු අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා අන්‍යයන් හා එකට වැඩකිරීම කළ හැකි වීමය.

එහෙත් මේ සඳහා වන අභියෝගයන් රැසක් ජය ගැනීමට සිදුවේ. දකුණු ආසියාවේ අන්තර් කලාපීය වෙළඳාම ගෝලීය වශයෙන් අඩුම වන අතර අපනයනය පදනම් කරගත් නිශ්පාදන දුර්වලය, එමෙන්ම චීනය සහ එක්සත් ජනපදය අතර වන භූ දේශපාලනික ගැටුමට කුඩා රටවල් මැදිව සිටීම, ඓතිහාසික ගැටුම්, දේශසීමා ආරවුල්, කලාපයේ රටවල් අතර පවතින දේශපාලන ආතතීන් සහ රටවල් අතර විශ්වාසයක් නොමැතිකම කලාපීය සහයෝගීතාවය ගොඩනැඟීමට බාධා කර ඇත. ආර්ථීක වශයෙන් දියුණු රටවල් මෙන්ම අඩු සංවර්ධිත රටවල් කිහිපයක් කලාපයේ පැවැතීම මත වෙළඳාම සහ ආයෝජන සඳහා සම මට්ටමක් නොමැති වීම. කලාපය ත්‍රස්තවාදය, අන්තවාදය සහ ඛෙදුම්වාදී ව්‍යාපාර ඇතුළු විවිධ ආරක්ෂක ගැටළුවලින් පීඩා විඳිම. කලාපයේ රටවල් බොහොමයක ප්‍රාදේශීය සහ ජන කොටස් අනුව දළ දේශීය නිෂ්පාදිතය දක්වන දායකත්වය විශාල ලෙස වෙනස් වීම. ආදී ගැටළු මෙම කලාපීය සංවර්ධනයට බාධාවන් ලෙස පවතී. ඒ කෙසේ නමුත් මේ සියළු ගැටළු විසෙ‌දෙදෙ ඇත්තේ කලාපයම එක් පද්ධතියක් ලෙස සමාන්තර ගොඩනැංවීමක් ඉලක්ක කරගැනීම තුළ පමණකි. තනි තනි රාජ්‍යයන්වලට ඒ සඳහා ගත හැකි ක්‍රියා මාර්ග සීමාසහිතය.

 

මේ මොහොතේ ජනාධිපති රනිල්ගේ දේශපාලන සහ ආර්ථීක මෙහෙයුම යනු මෙරට විපක්ෂය කරමින් සිටින තාලයේ සිල්ලර ප්‍රාථමික ගෝත්‍රික පන්නයේ දූපතට සීමා වූ දේශපාලනයෙන් ඔබ්බට ගොස් රට ජාත්‍යන්තර වශයෙනුත් ඔසවා තබන දියුණු මෙහෙයුමක් බව මෙම ඉන්දියානු සංචාරය තුළින් ද යළි පෙන්නුම් කර ඇත.

 

- ජයතුංග බණ්ඩාර
Chatham Street Journal - 2023.07.20

 

සබැඳි පුවත්

රනිල් - මෝදි හමුවෙන් ලංකාවට ප්‍රතිලාභ රැසක්

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්