අපි සැවොම: කරන, කියන සහ දකින සෑම දෙයක ම එක් මානයකට වඩා පවතී.
ඒ, එක් මානයක් ‘‘හොඳ’’ යනුවෙන් ද, තවත් මානයක් ‘‘නරක’’ යනුවෙන් ද, අනෙක් මානය ‘‘මධ්‍යස්ථ’’ යනුවෙන් ද මත ත්‍රිත්වයක් පවතී. නමුදු මේ මාන ත්‍රිත්වය ම: කාලයට, ද්වීපයට, දේශයට සහ පුද්ගලයාට හෝ පුද්ගල කණ්ඩායමකට අනුව ගත් විට සාපේක්ෂ ය. ‘අතීත කාමය’ නමැති සංකල්පය ද එබඳු ය.
එය එක් පසෙකින් ඉතා සුන්දර ය; මිහිරි ය. තවත් පසෙකින් දොම්නස් සහගත ය; කර්කශ ය. ඇතැම් අතීතකාමී සිතුවිලි මුවට සිනහ නංවන අතර ඇතැම් අතිතකාමී සිතුවිලි දෙනෙතට කඳුළු නංවයි. ඕනෑම පුද්ගලයකුගේ අතීත කතා තුළ මේ සියලු පාර්ශ්ව අඩු වැඩි වශයෙන් අන්තර්ගත ය.
අද ලියන්නට සුදානම් වන්නේ ඒ අතිතකාමී සිද්ධි දාමයකි; එම සිද්ධි දාමයට සම්බන්ධ වූ වටිනා පුද්ගලයකුගේ අතීත සමරුම් අතුරින් බිඳකි; ඔහුගේ ජීවිතය සහ මගේ ජීවිතය අතර පැවති සහසබඳතාවේ එක් පරිච්ඡේදයකි.
අතීතයෙන් බිඳක්
ඒ 80 දශකයේ මැද භාගය යි. තවත් සරලව පවසන්නේ නම් 1985 වසර යි. එකල මහරගම නගරය අද තරම් දියුණු නොමැත; නගරය මැදින් දිවෙන පරණ පාර මෙන් ම හයිලෙවල් පාර ද අද තරම් පුළුල් නොමැත. හයිලෙවල් පාරේ සිට පමුණුව පාරට හැරෙන ස්ථානයේ මේ වන විට පිහිටා තිබෙන ‘සමරසිරි ට්‍රේඩර්ස්’ එකල ‘සමරසිරි හෝටලය’ යි. එවකට එය මහල් ගොඩනැගිල්ලක් නොවේ. එම ගොඩනැගිල්ලට යාබදව එකල ‘චීන දත් බඳින ස්ථානය’ යන මැයෙන් වූ බෝඩ් ලැල්ලක් සවි කළ ව්‍යාපාරික ආයතනයක් (මේ වන විට එම ව්‍යාපරය දෙහිවල පාරේ පවතින බව සැල ය) පැවතිණ. එතුළ ම කුඩා කොටසක බුකියක් (face book නොව අස්වයන්ට ඔට්ටු අල්ලන ස්ථානයක්) පිහිටා තිබිණ. එකල මහරගම තරුණ සේවා මධ්‍යස්ථානය පිහිටි ස්ථානයට අනෙක් පස... එනම් මේ වන විට කොට්ටාව දෙස සිට මහරගමට පැමිණ පරණ පාරට හරවන සථානයේ කුඩා ලොතරැයි කුටියක ලොතරැයි අලෙවි කරන පුද්ගලයෙකු වන කන්නන්ගර නමැති පුද්ගලයා දිනපතා ම ලොතරැයි කුටියට යෑමට පෙර මෙම බුකියට යැම සිරිතක් කරගෙන තිබිණ. නමුදු ඔහු කිසිදු දිනක බුකියේ දී ලොතරැයි අලෙවි නොකළේ ය. ඒ, එම බුකියට උදෙන් ම ලොතරැයි රැගෙන තරුණයෙක් පැමිණෙන බැවිනි.
එම තරුණයා සහ කන්නන්ගර ඉතා කුලුපග මිතුරන් ය. මේ තරුණයා: චිත්‍රපට, නාට්‍ය සහ චිත්‍රකතා පිස්සෙකු බව ද කන්නන්ගර දැන සිටියේ ය. එකල මහරගම නගරයේ මතු නොව කොළඹ අවට පිහිටි සියලු සිනමා ශාලාවල ප්‍රදර්ශනය වන සියලු චිත්‍රපට නරඹන, නැරඹූ පුද්ගලයෙකු ලෙස මෙම තරුණයා ප්‍රසිද්ධ වි සිටියේ ය. මේ අතර මෙම ස්ථාථායේ (දත් බඳින ස්ථානය) වෘත්තියෙන් මුද්‍රණ ශිල්පියකු වූ, නමුදු වෘත්තියට වඩා වේදිකාවට ඇලුම් කළ පුද්ගලයෙකු ද නිතර ගැවසුණේ ය. අද ලිපියේ කතා නායකයා ද ඔහු ය. ඔහු නමින් ප්‍රියා කේ ජයකොඩි ය. එකල බොහෝ දෙනෙකු ඔහු හැඳින් වූයේ ‘ජයකොඩි’ යනුවෙනි. මෙතැන් සිට ලිපියේ ද ඔහුගේ නම ජයකොඩි ලෙස සටහන් කරන්නේ ඔහුට ගෞරවයක් වශයෙනි.
කැමති ද නාට්‍යයක රඟපාන්න...?
දිනක් යට කී තරුණයා අදාළ ස්ථානයේ ලොතරැයි අලෙවි කරන මොහොතේ එතැනට පැමිණි කන්නන්ගර ජයකොඩිට තරුණයා හඳුන්වා දෙමින් ‘‘මේ ඉන්නෙත් පිචර් පිස්සෙක්. ඒ වගේ ම නාට්ටි පිස්සෙක්. මිනිහ ටිකට් වික්කට දැනටත් මේ හැම තැනම තියෙන හෝල්වල දුවන හැම පිචර් එකක් බලල ඇති. නාට්ටිත් එහෙමයි.’’ යැයි තරමක විස්තරයක් කළේ ය.
‘‘ආ... එහෙම ද... එහෙනං අපිටත් පුළුවං වෙයි මිනිහගෙං වැඩක් ගන්න.’’
එලෙස පැවසුවේ ජයකොඩි ය.
‘‘ඔවු ඔවු... අහල බලන්න...’’
කන්නන්ගර ජයකොඩිට පැවසී ය.
එවිට තරුණයා අසලට පැමිණි ජයකොඩි ‘‘ඇත්ත ද මේ කියන්නෙ...?’’ යැයි විමසී ය.
තරුණයා ‘‘හම්ම්ම්...’’ යැයි පැවසුවේ මඳ ලජ්ජාශීලිව ය.
‘‘කැමති ද නාට්‍යයක රඟපාන්න...?’’
ජයකොඩි තරුණයාගෙන් විමසී ය.
‘‘අපෝ කැමතියි. ඒක මං ඉස්කෝලෙ යන කාලෙ ඉඳල තිබුණ හීනයක්.’’
තරුණයා එවර පිළිතුරු දුන්නේ ලජජාශීලී බව පලවා හරිමිනි.
‘‘ඒ කියන්නෙ ඉස්කෝල යන කාලෙ නාට්‍යවල රඟපාල තියෙනව ද...?’’
ජයකොඩි තරුණයාගෙන් විමසී ය.
‘‘ඔවු... හතරෙ පංතියෙ ඉඳල ම... ගියපු හැම ඉස්කොලෙකදි වගේ ම රඟපෑව.’’
තරුණයා ක්ෂණිකව ම පැවසී ය.
‘‘හරි... එහෙනං මල්ලි ඔයා ඉස්සෙල්ලම අපේ රංග පර්ෂදයට බැඳෙන්න. අපේ අලුත් කෝස් එක ලබන මාසෙ පටන්ගන්නව. කැමති ද...?’’
තරුණයා කැමැත්ත පළ කළේ වචනයෙන් නොව හිස සැලීමෙනි.
‘‘හරි... මල්ලි... ඔයාට පේනව නේද අර ගොඩනැගිල්ල...’’ යැයි පවසන අතර ජයකොඩි, හයිලෙවල් පාරෙන් මහරගම පුස්තකාල මාවත ආරම්භ වන ස්ථානයේ වම් පස පිහිටි ගොඩනැගිල්ලක් පෙන්වී ය.
‘‘ඒකෙ තමයි ක්ලාස් එක තියෙන්නෙ. ලබන මාසෙ කිව්වට තව සති දෙකයි නෙ... ලබන මාසෙ පළවෙනි ඉරිද උදේ අට වෙද්දි එතෙන්නට එන්නකො. හරි... වැඩි විස්තර අපි පස්සෙ කතා කරමු.’’
සැබෑ වූ නළු සිහිනය
සති දෙකක් ඉක්ම ගොස් එළඹි පළමු ඉරිදා හරියට ම උදෑසන අට වන විට තරුණයා අදාළ ගොඩනැගිල්ලේ පළමු මහලට පියමැන්නේ අනාගතයේ නළුවකු වීමේ බලාපොරොත්තුවෙනි.
එම පාඨමාලාව සඳහා සම්පත් දායකයන් ලෙස එවකට ජනප්‍රිය සහ ප්‍රවීණ නාට්‍ය ශිල්පින් කිහිප දෙනෙක් ම පැමිණ සිටියහ. ඒ අතර: අනුර වරාගොඩ, අදීශ කාංචන, පේමසිරි කල්පගේ, ජයතිලක හේරත් යන අය වූහ. අවාසනාවකට අද මේ අතුරින් අනුර වරාගොඩ හැර අනෙක් තිදෙනා ම අප අතරින් වෙන්ව ගොසිනි.
එදින සිට ප්‍රියා කේ ජයකොඩි ඒ තරුණයාගේ මිතුරකු මතු නොව ඔහුගේ පළමු නාට්‍ය සහ රංග කලා ගුරුවරයා ද විය. සය මසක ඇවෑමෙන් එම තරුණයා ඇතුළු පිරිසක් නාට්‍ය සහ රංග කලා පාඨමාලාව හදාරා, ඊට අදාළ ප්‍රායෝගික සහ න්‍යායාත්මක පරික්ෂණයෙන් ද සමත් වුහ. ඉක්බිති ඒ අතුරින් කිහිප දෙනෙකු ප්‍රියා කේ ජයකොඩි නාට්‍ය වේදියාගේ නාට්‍ය කිහිපයකට ම සම්බන්ධ වුහ. යට කී තරුණයා ද: ඉද්දමල් (දෙවන නිෂ්පාදනය), සද්දන්ත ඇත්තු (දෙවන නිෂ්පාදනය) සහ සරෝජා දේවී යන නිර්මාණ ත්‍රිත්වය සඳහා රංගනයෙන් දායක විය.
අතීත මතක සුවඳ ඔස්සේ ජයකොඩි සොයා යෑම
කෙසේ වුව ද 1990 දශකය ආරම්භයෙන් පසු එම තරුණයා සහ ප්‍රියා කේ ජයකොඩි මුණ නොගැසෙන තත්ත්වයක් ඇති විය. ඒ සඳහා එවකට පැවති සමාජ දේශපාලන හේතු බලපෑ ය. යළි ඔහුට ජයකොඩි හමුවන්නේ 2002 වසරේ දී ය. ඒ වන විට ජයකොඩි නාට්‍යකරණයට සමු දී යළි මුද්‍රණ ක්ෂේත්‍රයේ රැකියාවක නියැළෙන බව පැවසී ය.
එතැන් සිට පසුගිය වසරක පමණ කාලයක් ගෙවී යන තුරු එදා තරුණයකුව සිටි, මේ වන විට මැදිවිය ද පසු කර සිටින ජයකොඩිගේ ශිෂ්‍යයාට ජයකොඩි අමතකව තිබිණ. දැන් ඔහු දෙදෙරු පියෙකි. ඔහුගේ දියණියගේ සමීපතම යෙහෙළියක වෙසෙන්නේ පන්නිපිටියේ රත්මල්දෙණිය පාරේ ය. දිනක් දියණිය සමග ඒ යෙළියගේ නිවසට යන විට ඒ පරිසරය ඔහුට ඉතාම සමීප බව දැනිණ. නමුදු ඒ පෙර ආත්මයක නොවන බව නම් හොඳට ම විශ්වාස ය. ඒ, ජයකොඩි නමැති මිතුරා, ගුරුවරයා විසූ නිවස පිහිටි පෙදෙස ය.
ජයකොඩි විසුවේ තමාගේ ම නිවසක වන බැවින් හෙතෙම තවමත් ජීවතුන් අතර සිටී නම් එම නිවසෙහි විසිය යුතු බව ඔහු විශ්වාස කළේ ය. එම සැකය මත අදාළ නිවස ආසන්නයේ පිහිටි වෙළෙඳ සැලකින් දිනක් ඔහු ජයකොඩි පිළිබද විමසී ය. ඔහුගේ සැකය නිවැරැදි ය; ජයකොඩි තවමත් ජීවතුන් අතර ය; අදාළ නිවසේ ඔහු තවමත් දිවි ගෙවන්නේ ය. ඒ අනුව පසුගිය දිනෙක ඔහු තම පළමු නාට්‍ය හා රංග කලා ගුරුවරයා වූ ප්‍රියා කේ ජයකොඩි සොයාගෙන ඔහුගේ නිවසට ගියේ ය. ඒ අන් කිසිවකු නොව මෙම ලියුම්කරු ය.
මෙතැන් සිට ලියැවෙන්නේ එකල වේදිකාවේ ජයකොඩි නැංවූ ප්‍රියා කේ ජයකොඩි නාට්‍යවේදියාගේ කතාන්දරය යි.
පිචර් එකක රඟපාන්න කැමති ද...?
මහරගම පුවක්පිටිය ජන්ම භුමිය කරගත් ජයකොඩි අධ්‍යාපනය ලැබුවේ මහරගම බුවනෙකබා විද්‍යාලයේ ය. ඔහු, එකල පැවති එච්. එස්. සී. ඊ. විභාගයට පෙනී සිටීමෙන් අනතුරුව අධ්‍යාපනයට සමුදුන්නේ ය. ඊළඟට ඔහුගේ බලාපොරොත්තුව වූයේ ජීවත් වීම සඳහා ආදායම් මාර්ගයක් පාදාගැනීම ය. ඒ වෙනුවෙන් ඔහු තෝරාගත්තේ මුද්‍රණ ක්ෂේත්‍රය යි. ඒ අනුව හෙතෙම පිටකොටුවේ පිහිටි ස්ටාර්කෝ මුද්‍රණාලයේ රැකියාවකට බැඳිණ. ඒ වන විට නළුවකු විමට හෝ කලා ක්ෂේත්‍රයට පිවිසීමට ඔහුගේ අදහසක් නොතිබිණ. නමුදු මුද්‍රණාලයේ දී හමු වූ තවත් කලාකරුවෙක් ඔහුගේ කලා හැකියා විනිවිද දුටුවේ ය. ඒ අන් කිසිවකු නොව එවකට සිටි දක්ෂතම අංග රචනා ශිල්පියකු වූ සනත් විජේවර්ධන ය.
එවකට වයස අවුරුදු 19ක් වූ ජයකොඩි තරුණයාගේ හැඩ රුව මෙන් ම ඔහු දිගට වවා තිබූ කොණ්ඩයෙන් පවා පිළිබිඹු කළේ කලාකරුවකුගේ හැඩ තල ය. සනත් විජේවර්ධනගේ අවධානය යොමු වූයේ ද මේ ශාරීරික ලක්ෂණ කෙරෙහි ය. දිනක් සනත් මේ තරුණයාගෙන් අපුරු පැනයක් විමසී ය.
‘‘ජයකොඩි... තමුසෙ කැමති නැද්ද පිචර් එහෙක රඟපාන්න...?’’
ඒ පැනයට ‘‘හා’’ කියනවා හැරෙන්නට වෙනත් පිළිතුරක් ජයකොඩි සතුව නොතිබිණ. පසු දිනෙක සනත්, ජයකොඩිට සිය නිවසට එන්නැයි පැවසී ය. ඔහුගේ කැඳවීමට අනුව එම නිවසට ගිය ජයකොඩිගෙන් වැඩි දුරටත් තොරතුරු විමසූ සනත් තවත් ආරාධනයක් කළේ ය. ඒ පසු දින උදෑසන හත වන විට වත්තල සමාරා හෝටලට පැමිණෙන ලෙස ය. ආපසු සේවා ස්ථානයට ගිය ජයකොඩි පසු දින සේවයට නොපැමිණෙන බව පවසා හෙට දිනයේ තමා නළුවකු වන බවට වූ බලාපොරෝතු සහිතව නිවසට පැමිණියේ ය.
පළමු සිනමා රංගනය
පසු දින පාන්දර ම සුදානම් වූ ජයකොඩි, සනත් පැවසූ වත්තල සමාරා හෝටලය වෙත ගියේ ය. ඔහු එහි යන විටත් කේසර සිංහයෝ නමැති චිත්‍රපටයේ දර්ශන රූ ගත කරමින් තිබිණ. ජයකොඩි දුටු සනත් ඉතා ආදරයෙන් ඔහු පිළිගෙන ඒ මොහෙතේ ම චිත්‍රපටයේ ප්‍රධාන නළුවකු වූ ලයනල් දැරණියගලගේ කණ්ඩායම වෙත ජයකොඩි බාර දුනි. ඒ, අන් කිසිදු හේතුවක් නිසා නොව පියදාස විජේකෝන් සහ ළයනල් දැරණියගල යන දෙදෙනා චිතුපටයේ රඟ දක්වන්නේ දෙපිලක සිට සටන් කරන කණ්ඩායම් දෙකක් වශයෙන් බැවිනි. ඔහු අයත් වූ කණ්ඩායමේ සිටි පිරිස අතුරෙන් වර්තමානයේ දී ජයකොඩිගේ මතකයේ රුඳී තිබෙන්නේ රෝහණ හෙට්ටිආරච්චි පමණි. මෙදින තවත් විශේෂ සිද්ධියක් ද සිදු වුණි. එනම් සටන් ජවනිකාවක් අතරතුර දි ජයකොඩිගේ අතක ආබාධයක් ඇති වීම ය. ඔහුගේ වැළමිට අසලින් අස්ථියක් පිටතට පැන්නේ ය. නමුත් කණ්ඩායමේ දෙකෙහි ම සිටි පිරිස එකාවන්ව පෙළ ගැසී හැකි ඉක්මනින් ජයකොඩි වෛද්‍යවරයෙකු වෙත රැගෙන ගියහ. අත සුවපත් වන විට ද ලයනල් දැරණියගල ජයකොඩි පිළිබඳ සහතිකයක් දි තිබිණ. එනම් ඔහුට දිගු ගමනක් යා හැකි බව ය.
බලාපොරොත්තු කඩ වීම සහ වේදිකාවට ගොඩවීම
කේසර සිංහයෝ චිත්‍රපටයේ රූ ගතකිරීම් අවසන් වන විට ජයකොඩි වෙත තවත් චිත්‍රපටයක් සඳහා ඇරයුම් ලැබී තිබිණ. ඒ, ‘ගෙදර බුදුන් අම්මා’නමැති සිනමා නිර්මාණය සඳහා ය. එම නිර්මාණයේ ඔහුට සිය දක්ෂතා දක්වන්ට තිබුණේ බොනිපස් ප්‍රනාන්දු සමග ය. නමුදු සිනමා නිර්මාණය නිකුත්වන විට එහි ජයකොඩි රඟපෑ කොටස් දක්නට නොතිබිණ. එහෙත් ඔහු පසුබැස යන්නට සූදානම් නොවින.
මෙම කාලය අතරතුර එවකට සිටි දක්ෂ වේදිකා නිර්මාණ ශිල්පියෙකු වන කීර්ති නිශ්ශංක ජයකොඩිට හඳුනා ගන්නට ලැබිණ. කීර්ති ඒ වන විට ‘අලි බබයි ඇඳෙන් එකයි’ යන මැයෙන් නාට්‍යක් වේදිකා ගත කරන්නට සූදානමින් සිටියේ ය. එම නාට්‍යයේ ද චරිතයක් සඳහා ජයකොඩි තෝරාගෙන තිබිණ. ඔහුට එවර රඟපෑමට සිදු වූයේ: සුනිල් හෙට්ටිආරච්චි, කුමාරි පෙරේරා, ඉමාෂා පෙරේරා, දෙනවක හාමිනේ යනාදි එවකටත් ජනප්‍රිය සහ ප්‍රවීණ නළු නිළියන් සමග ය. ජයකොඩි වෙත ලැබි තිබුණේ සියදෝරිස් නමැති චරිතය බව තවමත් ඔහුගේ මතකයේ රැඳි පවතී.
‘සිතක ආශා’ මුදුන්පත් වීම
එම නාට්‍යයේ දර්ශන වාර කිහිපයකින් පසු කාලයක් ඔහුට කිසිදු නාට්‍යයකට හෝ සිනමා නිර්මාණයකට දායක වීමට නොහැකි විය. එබැවින් ඔහු යළිත් සුපුරුදු වෘත්තියට අවතීර්ණ විය. වෘත්තියට පැමිණ මාස කිහිපයක් ගත වන විට ජයකොඩි හට නාට්‍ය ක්ෂේත්‍රයේ දක්ෂයකු වූ සිරිමල් කොතලාවලගේ සමීපතම මිතුරකු වූ ලයනල් පෙරේරා හමු විය. ඔහු ඒ වන විට ‘යකඩ දෝලි’ යන මැයෙන් වූ නාට්‍යයක වැඩ අරඹා තිබිණ. ජයකොඩි හට එම නාට්‍ය යේ ද චරිතයක් නිරුපණය කිරිමේ අවස්ථාව ලැබිණ. එම නාට්‍යයේ ප්‍රධාන භූමිකාවට පණ පෙව්වේ ප්‍රවීණ වේදිකා නිළි ශ්‍රියානි කළුබෝවිල ය. එම නාට්‍යය පෙර රඟපෑ නාට්‍ය කිහිපයට වඩා ජනප්‍රිය වූවා සේ ම දිවයිනේ විවිධ ප්‍රදේශවල දී ද වේදිකා ගත කෙරිණ.
‘යකඩ දෝලි’ නාට්‍ය යෙන් පසු ජයකොඩි රඟපෑමට එකතු වන්නේ ‘මිනිස් යකෙක්’ නමැති නාට්‍ය සඳහා ය. ඊළඟට ඔහු රඟපැ නාට්‍ය ‘සිතක ආශා’ නම් විය. මෙම නාට්‍ය ඔහුගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය. ඒ, ‘සිතක ආශා’නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපැමට වරම් ලැබුණේ ජයකොඩිට වන බැවිනි. මෙම කාලය අතරතුර ඔහුට යළි සිනමා නිර්මාණ කිහිපයකට ද දායක වීමට අවස්ථාව ලැබී තිබිණ. ඒ අතුරින් වර්තමානයේ ඔහුගේ මතකයේ රැඳී පවතින්නේ දයා රාජපක්ෂගේ චිත්‍ර කතාවක් ඇසුරෙන් හේමසිරි සෙල්ලප්පෙරුම අධ්‍යක්ෂණය කළ ‘සත්වෙනි දවස’ පමණි.
පළමු ස්වතන්ත්‍ර වේදිකා නිර්මාණය
කාලය ගෙවී යමින් පවතින අතර ජයකොඩි ද සුපුරුදු වෘත්තියේ ද යෙදෙමින් වේදිකා නිර්මාණ සඳහා ද දායක වෙමින් සිටින අතර තමන්ගේ ම වූ නිර්මාණයක් කළ යුතු ය යන අදහස පහළ විය. ඔහු ඒ සඳහා පළමුව කතා ශාරාංශයක් ලිවී ය. දෙවනුව එය වේදිකා නාට්‍ය පිටපතක් ලෙස සකසා ගත්තේ ය. ඒ ඔහුගේ ප්‍රථම නාට්‍ය නිර්මාණය යි. ඔහු එය නම් කළේ ‘සද්දන්ත ඇත්තු’ යන මැයෙනි. එහි වස්තු බීජය වූයේ පාලක සහ පාලිත දෙපිරිස අතර පවත්නා ගැටුම ය.
1986 වසරේ දි පළමුවෙන් ම වේදිකා ගත වූ මෙම වේදිකා නිර්මාණය සඳහා එවකට සිටි ජනප්‍රිය මෙන් ම ප්‍රවීණ නළු නිළියන් වූ: ආරියසේන ගමගේ, අනුර වරාගොඩ, කාන්ති අමරසිංහ, ජයතිලක හේරත්, අදීශ කාංචන යන පිරිස සහභාගි කරවා ගැනීමට ද ජයකොඩිට හැකි විය. මෙම වේදිකා නාට්‍ය නිර්මාණය එවකට බොහෝ සෙයින් කතා බහට ලක්විය. නාට්‍ය කොළඹ මතු නොව: ගාල්ල, මාතර සහ කුරුණෑගල යනාදි පෙදෙස්වල ද වේදිකා ගතකිරීමට හැකි විය. නමුදු එවකට පැවති දේශපාලන හස්තය විසින් මෙම වේදිකා නිරිමාණය සඳහා විවිධාකාරයේ බලපැම් එල්ල කරන්නට විය. එය හේතුවෙන් ම නාට්‍යය වේදිකා ගත කිරීම නතර කිරීමට සිදුවිය. මන්ද ඒ වන විට රටේ දේශපාලන වාතාවරණය ද ප්‍රවේශ වෙමින් පැවතියේ බොහෝ බියකරු අවධියකට ය.
ප්‍රේමදාසට ආවැඩීම
අනතුරුව ජයකොඩි තිසියම් නම්‍යශිලිත්වයකට පැමිණ රැඩිකල් නිර්මාණයක් වෙනුවට ප්‍රශස්තිකරණ නාට්‍යයක් නිර්මාණය කළේ ය. ඒ සදහා ප්‍රවීණ නළු නිළියන් මෙන් ම ඒ වන විට ඔහු විසින් පවත්වාගෙන යනු ලැබූ ‘ප්‍රිය - ජය රංගන ශිල්ප පර්ෂදය’ මගින් පවත්වනු ලැබූ පාඨමාලාවෙන් සමත් වූ පිරිස අතුරෙන් කිහිප දෙනෙක් ද සහභාගි කරගත්තේ ය. එය නම් කළේ ‘ඉද්ද මල්’ යනුවෙනි. මෙය සැබැවින් ම ආර්. ප්‍රේමදාස මහතාගේ ‘සියක් ලක්ෂයක් රුක් සෙවණ සහ දස ලක්ෂයක් නිවෙස්’ නමැති සංකල්පයට උපහාර පිණිස නිෂ්පාදනය කළ නිර්මාණයකි. එම වේදිකා නිර්මාණය ද එවකට පැවති දේශපාලනික වාතාවරණය හේතුවෙන් වැඩි කාලයක් රඟ දැක්විමට නොහැකි විය.
ඒ වන විට භීෂණ සමයේ කුටප්‍රාප්තියට පැමිණ තිබිණ. උතුර ද දකුණ ද ගිනි ඇවිළෙමින් පැවතිණ. තව දුරටත් නාට්‍ය ක්ෂේත්‍රෙය් රැඳී සිටීම තරමක් අපහසු වු බැවින් ජයකොඩි යළි සුපුරුදු රැකියාව කෙරෙහි යොමු විය. එහෙත් ජයකොඩි නමැති නාට්‍යකරුවාට නාට්‍ය ලෝකය අමතක කළ නොහැකි විය. එබැවින් හෙතෙම තවත් නාට්‍ය පිටපතක් රචනා කර ඒ සඳහා නිෂ්පාදකයෙක් සොයමින් සිටියේ ය. විජිත තලම්පිටිය නමැති කලා හිතවතා ප්‍රියා ජයකොඩිට හමු වන්නේ මේ අතර ය.
රැඟුම් පාලක මණ්ඩලයේ අවසරය ප්‍රමාද වූ බැවින් ජයකොඩි එවකට රැගුම් පාලක මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ ආර්. පල්ලෙවෙල හමු විය. එහි දී ජයකොඩිට අසන්නට ලැබුණේ අපුරු පිළිතුරකි.
‘‘ඔයා නේද ‘සද්දන්ත ඇත්තු’ නාට්‍ය කරේ...?’’
පල්ලෙවෙල ජයකොඩිගෙන් විමසී ය.
‘‘ඔවු මිස්ට පල්ලෙවෙල ඒනාට්‍ය මගේ තමයි... ඇයි...?’’
ජයකොඩි නිභයව පැවසී ය.
‘‘බලනව මනුස්සයො අපි ඒ නාට්‍ය නිසා ලොක්කගෙං කොච්චර බැණුං ඇහුවද කියල. අන්තිමට නාට්‍ය කරපු මිනිහ හොයාගන්නත් බැරි වුණා. මට මේ පිටපත දැක්කට පස්සෙ තමයි නම මතක් වුණේ. එහෙනං ඔයයි මිනිහ...’’
පල්වෙල පැවසුවේ ජයග්‍රාහි සිනහවක් මුව නංවමිනි.
‘‘ඉතිං මිස්ට පල්ලෙවෙල සද්දන්ත ඇත්තු නාට්‍යයෙයි මේ නාට්‍යයෙයි අතර සම්බන්ධයක් නැහැ නෙ... නාට්‍යකාරයො කියන්නෙ එහෙ තමයි. හොඳ හොඳ විදියටත්, නරක නරක විදියටත් දකින්න සහ ඒ ගැන අපේ නිර්මාණවලින් කතා කරන්න අපිට අයිතිය තියෙනව. අනික මං ඊට පස්සෙ ප්‍රේමදාස මහත්තයට උපහාර පිණිසත් නාට්‍යයක් කරානෙ.’’
ජයකොඩි එසේ පැවසුවේ කිසියම් සහනයක් බලා පොරොත්තුවෙනි. නමුදු පල්ලෙවෙලගෙන් කිසිදු සාධනීය පිළිතුරක් නොලැබිණ. ඔහු සරෝජා දේවි පිටපත අනුමත කිරීමෙන් වැළකී සිටියේ ය. මේ වන විට නාට්‍යයේ මංගල දර්ශනය සඳහා දින වෙන් කර ප්‍රවේශපත් ද අලෙවි කර තිබිණ. ජයකොඩි දැඩි අපහසුතාවකට පත්විණ.
සරෝජා දේවී වෙනුවට සද්දන්ත ඇත්තු කරළියට
සරෝජා දේවි වේදිකා ගත කරන්නට සතියකටත් අඩු කාලයක් තිබිය දී ජයකොඩි සිය නිෂ්පාදකයා සමග ද සාකච්ඡා කර වෙනත් නිගමනයකට එළඹිණ. ඒ අනුමත නොකළ ‘සරෝජා දේවි’ නාට්‍ය වෙනුවට ‘සද්දන්ත ඇත්තු’ වේදිකා ගතකිරීම ය. නළු නිළි පිරිස ද කාර්මික පිරිස ද ඊට කැමැත්ත ප්‍රකාශ කළහ. වහා ක්‍රියාත්මක වූ පිරිස යළි සද්දන්ත ඇත්තු නාට්‍ය පුහුණු වූහ. තවත් පිරිසක් ‘සරෝජා දේවි තහනම්. ඒ වෙනුවට සද්දන්ත ඇත්තු’ යන මැයෙන් පොස්ටර් ව්‍යාපාරයක් දියත් කළහ. සියලු දෙනාගේ සහභාගිත්වයෙන් 1989 වසරේ මැයි 25වන දින සවස 06.30ට මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී ‘සරෝජා දේවි’ වෙනුවට ‘සද්දන්ත ඇත්තු’ නාට්‍ය වේදිකා ගත කළේ ය.
අනතුරුව එළඹියේ භීෂණයේ දරුණු ම අවධිය යි. ඒ අවධිය ඉක්වීමෙන් පසු ජයකොඩි යළිත් මුද්‍රණ කර්මාන්තයට පිවිසිණ. ඒ අතර ඔහුට කලකින් හමු නොවූ කලාකරුවකු යළි හමු විය. ඒ හර්බට් රංජිත් පීරිස් ය. ඔහු ජයකොඩිගේ ජීවිතයේ සුවිසෙස් පුද්ගලයෙකි. ජයකොඩි ඒ සම්බන්ධයෙන් වු මතකය අවදි කළේ ය.
උප්පැන්න සහතිකයේ නම වෙනස් කෙරේ
ජයකොඩි කලා ක්ෂේත්‍රයට පිවිස වසර තුන හතරකට පසු ඔහුට හර්බට් රංජිත් පීරිස් කලාකරුවා හමු වී ඇත. ඔහුගේ අනුදැනුම මත සිනමා නිර්මාණ සඳහා ද දායක වී ඇත. නමුත් ඒ වන විට ක්ෂේත්‍රයේ අය ජයකොඩි හඳුනාගෙන සිටියේ ‘ප්‍රියා කේ ජයකොඩි’නමැති නමින් නොව කුමාරසිරි පෙරේරා යන නමිනි. ඒ, ඔහුගේ සම්පුර්ණ නම පී. එන්. කුමාරසිරි පෙරේරා වූ බැවිනි. නමුදු හර්බට් එම් රංජිත් කලාකරුවා පැවසුවේ ඒ නම දිගු වැඩි සහ උච්චාරණයට අපහසු බවයි. ඒ අනුව ඔහු ම ‘ප්‍රියා කේ ජයකොඩි’ යන නම යෝජනා කළේ ය. එතැන් සිට කුමාරසිරි පෙරේරා ‘ප්‍රියා කේ ජයකොඩි’ නමින් ක්ෂේත්‍රයට පිවිසිණ.
යට සදහන් කළ පරිදි ජයකොඩිට යළි හර්බට් රංජිත් පීරිස් හමුවීමෙන් ඉකිබිති හර්බට්, ඔහුගේ ටෙලි නිර්මාණ සඳහා ජයකොඩි සම්බන්ධ කරගත්තේ ය. ඊට පෙර ද ජයකොඩි හර්බට් ගේ ‘හිරු සඳු හමුවේ’ සහ ‘හිරුට මුවාවෙන්’ යන නාට්‍ය සඳහා දායක වී තිබිණ. මෙවර ඔහු සම්බන්ධ වූයේ ‘ලෝකාන්තය’ ටෙලි නිර්මාණය සඳහා ය.
අවසන් වේදිකා නිර්මාණය
කලින් සඳහන් කළ පරිදි ම ජයකොඩිට මොන ප්‍රශ්න ගැටලු පැන නැගුණ ද වේදිකාවෙන් ඉවත් වන්නට සිත් නොදුන්නේ ය. මෙවර ඔහුගේ නාට්‍ය අමාරුව සමහන් කරගත්තේ 1994 වසරේ දී ‘පිස්සු වාට්ටුව’ නමැති නිර්මාණය වේදිකා ගත කරමිනි. ඒ වන විට ඔහු සුපුරුදු මුද්‍රණ රැකියාවේ ද නිරතව සිටියේ ය. ‘පිස්සු වාට්ටුව’ වේදිකා නිර්මාණය පෙර නිර්මාණ තරම් තදින් වැලද ගන්නට ප්‍රේක්ෂක ප්‍රජාව කැමැත්තක් නොදැක් වූ බැවින් එහි දර්ශන පහ හයකට වඩා වේදිකා ගත නොකෙරිණ.
තමන්ගේ ම මුද්‍රණාලයක් අරඹයි
මධුවිත අහිමි වීමේ වේදනාව
ඔහුගේ කලා පර්ෂදය ආරම්භයේ සිට අවසන දක්වා හෙතෙම බොහෝ ශිෂ්‍ය ශිෂ්‍යාවන් බිහි කර ඇතුවාට සැක නැත. අද ඒ ඇතැම් අය ද කලා ක්ෂේත්‍රෙය් නියැළි සිටිනවාට ද සැක නැත. ඒ අතුරින් කිහිප දෙනෙකුට හෝ මෙම ලිපිය ඇස ගැටුණේ නම් හැකි අවස්ථාවක 0712965571 දුරකතන අංකය අමතා එම කලාකරුවා සම්බන්ධ කරගන්නා ලෙසත්, සම්බන්ධ කරගෙන ඔහු සමග කතා බස් කරන ලෙසත්, හැකි නම් ඔහුගේ දුක සැප බීමට යන ලෙසත් අවසන් වශයෙන් මම ඔබගෙන් ඉල්ලා සිටිමි.
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2023/08/06