ඉන්දියානු වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂිකා කාර්ති ගොන්සල්වෙස්ගේ ‘එළිෆන්ට් විස්පරස්’ නැරඹූ ෆ්‍රන්ස මිත්‍රවරියක් එය බැලුවාදැයි මගෙන් විමසීමක් කළා ය.
‘නෙට්ෆ්ලික්ස්’ ඔස්සේ එය තුන් හතර වතාවක් මුළුමනිම නරඹූ බව කීවෙමි. එවර ඇය ඇසුවේ ලංකාවේ අලි ඇතුන්ගේ කල දසාව ගැන ය. කලකට ඉහත ලංකාවේ සංචාරය කර ඇති ඇය ‘පින්නවල’ ගැන මෙනෙහි කළා ය.
මම ඇයට ‘චාන්දනී’ නම් වූ ඩොක්‍යුමෙන්ට්‍රිය යැව්වෙමි. වඩා විධිමත්ව කළේ නම් ඔස්කාර් සම්මානය දිනූ කාර්ති ගොන්සල්වෙස්ගේ නිර්මාණය මෙන්ම හිත රිද්දනසුළු කඳුළු උණනසුළු කෘතියක් වීමේ විභවයක් ඒ තුළ වෙතැයි චාන්දනී නැරඹූ ඇය කීවා ය. එවර මම ඇයට පින්නවල පසුකාලීන යථාර්ථය ගැන කීවෙමි. නඩුහබ ගැන කීවෙමි. මෙකී නොකී සියලු කරුණු හන්දා ලංකාවේ ‘හීලෑ අලි’ නමින් නම් කර සිටින්නේ සැබැවින්ම නම් ‘වහල් අලි’ බව කීවෙමි.
ඇය ලංකාවේ අලි ඇතුන් ගැන හොයන්නට පටන් ගෙන තිබුණා ය. ලෝකයේ වැඩියෙන්ම අලි ඇත්තු මරා දාන රට කුමක්ද කියා දන්නේදැයි පසු දිනෙක ඇය මගෙන් ප්‍රශ්න කර සිටියා ය.
‘ලංකාව’ මම කීවෙමි.
‘’ඒ මගේ මවු බිම. ඒ අලි ඇතුන්ගෙත් මව් බිම’’ මම තවදුරටත් කීවෙමි.
එසේ අලි ඇත්තු මරා දමන්නට හේතු කවරේදැයි එවර ඇය විමසා සිටියේ ය.
යටත් විජිත සමයේ ‘විනෝදයට’ සහ ‘ප්‍රමෝදයට’ සුද්දෝ-දන හාමුපුත්තු අලි දඩයම් කළ අයුරු මෙන්ම වන සංහාරයික දේශපාලනය විසින් අලින්ට ‘යන එන මං’ නැති කර එය ‘අලි-මිනිස් ගැටුම’ නමින් නාමකරණය කළ ඉතිහාසය ඇය දන්නා බව මට දැනුණි. එමෙන්ම වසර 2019 අලි 407ක් මරාදමා තබා තිබූ අලි ඝාතන රෙකෝඩ්ඩුව පසුගිය වසරේ අලි 439ක් මරා දමා අලුත් කරන්නට සාඩම්බර ශ්‍රී ලාංකික පුරවැසියන්ට හැකිවූ බව ඇය දැන සිටි බව මට වැටහිණ.
ඇය මෙකී සියලු කරුණු දන්නා බව හැඟී ගියෙන් ඇගේ ප්‍රශ්නයට පිළිතුරු ලෙස ඇය නොදන්නා යමක් කීම මැනැවැයි මම සිතුවෙමි.
මා ඇයට කීවේ තමන්ට අබිමුඛ ‘අනෙකාට ආදරය නොදැක්වීම’ මෙතරම් අලි මරා ලෝක වාර්තා තැබීමේ පදනම වන බවයි. අනෙකාට ආදරය නොකරන සමාජයකින් අලි ඇත්තුන්ට මතු නොව වඳුරෙක්ට රිළවුන්ට පවා පිළිසරණ වෙනුවට හිමිවන්නේ ‘අබසරණ’ ය. තමන් ඉපදුණු මව්බිමට ආදරේ නම් ගහකොළට සතා සරුපයාට ඇලුම් කළ යුතු ය. හිතූ හිතූ පරිදි පරිසරය කාබාසිනිය කරමින් ඔක්සිජන් කන්නදැයි අසන ජාතියක් අලි රැගන්නේ කෙසේ ද?
අනෙකාට ආදරය නොකිරීම අලි ඝාතනයේ පදනම යැයි මා කියනා දේ හැඟුම්බර ප්‍රකාශයක් බවත්, එසේ නොවන්නේ නම් එය පහදන ලෙසත් ඇය මගෙන් ඉල්ලා සිටියා ය.
‘’වන විනාශය ; මාස හතට හෙක්ටයාර් 2500ක් ගිනි තියලා’ යැයි ‘ද ලීඩර් ඩොට් එල් කේ’ වෙබ් අඩවියේ පළවූ ප්‍රවෘත්තියෙන් පටන් ගත් මම ජරාජීර්ණ දේශපාලන සන්දර්භය තුළ තබා මහ වනයේ කෙට්ටු වීමේ ඉතිහාසය තේරුම් ගැනීම කෙරෙහි බර තබා මූලික පැහැදිලි කිරීම කළෙමි. ඉක්බිති විග්‍රහ කළ යුතුව තිබුණ් ‘අනෙකාට ආදරය නොදැක්වීම’ පිළිබඳ දේශපාලන අදහසයි. එය ඇරඹිය යුතුව තිබුණේ මෙලෙසිනි.
යුද්ධයේ අවසන් සමය තුළ දෙමළ වැසියන් ඝාතනය කර දමන්නට සමාජයක් ලෙස දැක්වූ අනුග්‍රහය, ආශිර්වාදය සහ එසේ ඝාතනය කරන කල්හි ලද ප්‍රමෝදය පිළිබඳ ඉතිහාසය මෙනෙහි කිරීම හරහායි.
2008 වසරේ අග භාගයේ මෙන්ම 2009 වසරේ මුල් මාස කිහිපය තුළ, එනම්, යුද්ධයේ අවසන් අදියර තුළ ඝාතන තීව්‍ර වත්ම ක්‍රිකට් තරගයක ලකුණු ගණින්නා සේ මරා දැමුණු දෙමළ පුරවැසියන් ගණනය කළ සමාජයක් පැවතුණු බව රතිඤ්ඤා පත්තුකළ, කිරිබත් කෑ සියල්ලන්ට අමතක ය. සිවිල් වැසියන් දහස් ගණනින් මරා දැමූ පසු ‘සිවිල් වැසියන්ට සිදුවිය හැකි අනතුරු නිසා සංග්‍රාමික ගුවන් යානා මෙන්ම ගුවන් අවි භාවිතය නතර කරන බවත් කොටි සංවිධානයට එරෙහිව දියත් කළ සංග්‍රාමික මෙහෙයුම අවසන් බවත්’ රජය නිවේදනය කළේ 2009 අප්‍රේල් 27වැනිදා ය. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවනාගාරයට ජවිපෙ නායකත්ව මණ්ඩලය විසින් වහාම පුවත්පත් සාකච්ඡාවක් කැඳවනු ලැබ, බර අවි ප්‍රහාර හා ගුවන් ප්‍රහාර නතර කරන්නට රජය ගත් තීන්දුව ප්‍රකාශය පත් කිරීම නිසා ‘’විරෝධාර හමුදාව’ මේතාක් සිදුකළ පරිත්‍යාග හා කැපකිරීම් හරහා ලබා ගත් ජයග්‍රහණ බොඳ කිරීමකට ලක්වන බවත් එවක ජවිපෙ නායකයා වූ සෝමවංශ අමරසිංහ විවෘතවම ප්‍රකාශ කළේ අප්‍රේල් 28වැනිදා ය. අනෙකාට දක්වන ලද ආදරයේ ප්‍රමාණය ඉතිහාසය තුළ ලියැවී ඇත්තේ එහෙම ය.
2015 වසරේ මාර්තු මාසයේ මුල ස්වාධීන රූපවාහිනිය වෙනුවෙන් උපුල් ශාන්ත සන්නස්ගල මෙහෙයවූ ‘සත්‍යාගාරය’ උණුසුම් සංවාදයේ හෘදය සාක්ෂියේ කැඳවුම්කරු වූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක යුද්ධය ගැන අසන ප්‍රශ්නයට දෙන පිළිතුරු දෙන්නේ මා මෙතෙක් කියූ අනෙකාට දැක්වූ ආදරය පිළිබඳ දේශපාලන අදහසට සාක්ෂි වෙමිනි.
එහිදී දැවැන්ත යුද්ධයක් නිර්මාණය වීමේ පසුබිම ගෝලීය හා කලාපීය උදාහරණ සමඟින් විග්‍රහ කරන ඔහු තම පක්ෂයේ දායකත්වය කෙසේ වීදැයි විග්‍රහ කර ‘නමුත්’ කියා සිය හෘදය සාක්ෂිය කැඳවයි.
‘’....නමුත් අපි දකින අඩුවක් තියෙනවා. ඒ යුද්ධයේදී සාමාන්‍ය සිවිල් පුරවැසියන් මුහුණදෙන ගැටළුව පිළිබඳව මීට වඩා අවධානය අපි යොමුකළ යුතුව තිබුණා. විශේෂයෙන් මුළුමහත් සමාජයක්ම, යුද්ධයේ මනස්කාන්ත දර්ශනයට යම් ප්‍රමාණයකට හැඟීම්බරව යටවීම අපිටත් සැළකිය යුතු ප්‍රමාණයකින් සිදුවුණා. ‘’
සිවිල් වැසියන් පිළිබඳ අවධානයෙන් ගිලිහී යාම නිසාත් තමන් ම දෘෂ්ටිවාදය නිර්මාණය කළ යුද්ධය පිළිබඳ වූ මනස්කාන්ත දර්ශයෙන් මුසපත්වීම නිසා සිදුවූ අඩුපාඩුව හින්දාත් මරා දමන ලද දෙමළ මිනිසුන් ගණනින් කෙතරම් විශාලදැයි ජවිපෙ හෝ ජනබලවේග ව්‍යාපාරය කියන්නේ නැත. එබැවින් එය මෙනෙහි කළ යුතු ය. අනෙකාට ආදරය නොදැක්වීමේ ‘අලි ප්‍රවාදය’ සාධනය කරනු පිණිස ය.
යුද්ධය අවසන් වීමෙන් පසු, මන්නාරමේ හිටපු රදගුරුවරයා වූ රායප්පු ජෝෂප් ‘උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම’ ඉදිරියේ සාක්ෂි දෙමින් රජයේ ම ජනග්‍රහණ වාර්තා මත පදනම්ව කොමිසමෙන් ඉල්ලා සිටියේ 146679ක් වූ දෙමළ ජනයාට කුමක් සිදුවී දැයි හෙළිදරව් කරන ලෙස ය.
කිසිඳු සිවිල් වැසියෙක් යුද්ධයේ අවසන් අදියරේදී මිය නොගිය බව කී රාජපක්ෂ ආණ්ඩුව ක්‍රමයෙන් සිය ස්ථාවරය වෙනස් කරමින් මළමිනී ගණනයේ යෙදුණු අයුරු 2018 වසරේ ජූනි මස 03 වැනිදා ‘අනිද්දා’ පුවත්පතේ මුලවරට පළවූ ‘’අඩුවෙන් මරා වැඩියෙන් ආඩම්බර වීම’’ මැයෙන් රෝහිත භාෂණ අබේවර්ධන සහෝදරයා විසින් ලියැවුණු ‘සමකය’ කොලමෙහි මූලාශ්‍ර සහිතව විග්‍රහ කෙරී ඇත. මරා දැමුණු දෙමළ වැසියන් පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් ද පිළිගන්නා 2012 වසරේ නෙැවැම්බරයේ සම්පාදිත එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර විමර්ශන වාර්තාවට අනුව මෙම මරා දැමුණු දෙමළ මිනිසුන් ගණන හැත්තෑ දහසකට අධික ය.
මෙම ‘අත්වැරදිම්’ හෝ ‘අතපසුවීම්’ ඉතිහාසය මෙසේ අප විසින් සංක්ෂිප්තව යළි මෙනෙහි කෙරුණේ අලි ඇතුන් ඝාතනයට ප්‍රධානම හේතුව අනෙකාට ආදරය නොකිරීම බව අප විසින් මිතුරියට කියන ලද ප්‍රකාශය තව දුරටත් තහවුරු කරලනු පිණිස ය.
මරා දැමුණු අනෙකා ගැන ඉතා හොඳින් පැහැදිලි වන ‘අලි උදාහරණයක්’ ජවිපෙ මෙන්ම මාලිමා යාන්‍ත්‍රණයේ නියමුවා වන අනුර කුමාර දිසානයක විසින් ඉකුත් ජූලි 15වැනිදා පේරාදේණිය විශ්ව විද්‍යාල පරිශ්‍රයේ පැවති ‘පේරා හඩ’ නොහාත් පේරාදෙණිට විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථින්ගේ හමුවේ දී ඉතා සරලව සිංහලෙන්ම මෙසේ පැවසුණි.
‘’අලි මිනිස් ගැටුමේ පසුගිය අවුරුද්දෙ විතරක් අලි 439ක් ඝාතනය කරලා තියෙනවා. එකතැනකට ගොඩගහලා හිතන්නකො, අපිට මොනවගේ චිත්‍රයක්ද මැවෙන්නෙ කියලා’’
එකී වචන ‘අනුර කුමාර සහෝදරයාගේ’ මෙන්ම උද්යෝගීමත් මාලිමා ක්‍රියාකාරීන්ගේ අවධානය පිණිස සිංහලෙන්ම පුනර් රචනය කරමි. මෙලෙසිනි.
‘’යුද්දයේ අවසන් අදියරේ විතරක් දෙමළ මිනිස්සු හැත්තෑ දහකට අධික ප්‍රමාණයක් ඝාතනය කරලා තියෙනවා. එක තැනකට ගොඩගහලා හිතන්නකො, මොනවගේ චිත්‍රයක්ද මැවෙන්නෙ කියලා.’’
(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී