බලය බෙදාගැනීම, ජාතික ප්‍රශ්නය විසඳීම, සාමය ගොඩනැගීම, සංහිඳියාව. සංක්‍රාන්ති යුක්තිය ආදිය වෙනුවෙන් රජය හා NGO පසුගිය වසර 30කට වැඩි කාලය තුළ රු. බිලියන ගණනක් වැය කර ඇත.
ලංකාවේ ඒ ගැන නොලියූ දෙයක් නැත. නොකළ පුහුණුවක් නැත. ඒ ගැන හදාරන්නට ලාංකිකයන් නොගිය රටක් නැත. ඒ වෙනුවෙන් ඇතැම් වාමාංශිකයන් ආයුධ පවා ගත්හ. එහෙත්, දැන් 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඒ කිසිවෙකු පෙනී සිටින්නේ නැත.
බොහෝ දෙනෙකු කියන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරන්නේ දේශපාලන වාසි ගැනීම සඳහා බවය. දේශපාලන වාසි ගැන නොසිතා කරන ලද කිසිවක් ලංකාවේ දේශපාලනය තුළ නැති තරම්ය. දේශපාලන වාසි ගත්තත් මොකද? අවශ්‍ය දේ වෙනවා නම් එයට උපකාර කළ යුතු නැද්ද?
රනිල් වික්‍රමසිංහ හැමදාමත් බලය බෙදීමට පක්ෂව සිටි අයෙකි. 13+ යන වචනය නිර්මාණය කළේ මහින්ද රාජපක්ෂය. දැන් කතා කරන්නේ ඇත්තටම 13+ ගැන නොවේ. ඉඩම් හා පොලිස් බලතල පවා නොමැතිව හෝ පළාත් සභා නැවත සක්‍රිය කිරීම පිළිබඳවය. ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යය.
කොට්ඨාස හා සමානුපාතික මිශ්‍ර ක්‍රමය හා කාන්තා නියෝජනය ඉදිරියට ගෙන එමින් ලහිලහියේ පළාත් සභා පනත සංශෝධනය කරන්නට මෛත්‍රී – රනිල් යහපාලන ආණ්ඩුව කටයුතු කළා. ඒ සඳහා අවශ්‍ය 2/3 බහුතර ඡන්දය ලබාගැනීමට ජවිපෙ හා දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට සහයෝගය දුන්නා. ඡන්දය දීම සඳහා ඇතැම් මන්ත්‍රීවරුන් ගුවනිනුත් ගෙන්වාගත්තා. මෙහිදී පළාත් සභා මැතිවරණය කල් දමාගැනීම වැඩිපුර ම අවශ්‍ය වුණේ ඒ වන විට නැවත නැගී එමින් සිටි මහින්ද රාජපක්ෂ බලවේගයේ තර්ජනය හමුවේ පළාත් පාලන මැතිවරණය පරාජය වනු ඇතැයි බියෙන් සිටි ජනාධිපති සිරිසේනගේ පාර්ශ්වයේ දේශපාලනඥයන්ටයි. පළාත් සභා මැතිවරණය කල් දැමීම සඳහා උපක්‍රමවලට අවශ්‍ය සහාය ලබාගැනීම සඳහා ඩිලාන් පෙරේරා සුවිශේෂ සම්බන්ධීකරණයක් සිදු කළා. ඔහුගේ පියා ඌව පළාත් සභාවේ ආණ්ඩුකාර ධූරයට පත් කළේ ඒ වෙනුවෙන් ගෙවන ලද මිල ලෙස විය හැකියි.
කොට්ඨාස ක්‍රමයත් ඇතුළත් මිශ්‍ර ක්‍රමයකට පළාත් සභා මැතිවරණ පැවැත්වීමට නම්, අලුතෙන් කොට්ඨාස සීමා නිර්ණයක් කළ යුතු වුණා. ඒ වෙනුවෙන් සීමා නිර්ණය කොමිෂන් සභාවක් පත් කර, සීමා නිර්ණය කිරීමක් සිදු කළා. එහෙත්, පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ පක්ෂත්, මහින්ද රාජපක්ෂ නායකත්වය දෙන විපක්ෂයේ පක්ෂත් එක්ව එම සීමා නිර්ණය කොමිෂන් වාර්තාව පරාජය කළා. සීමා නිර්ණ කොමිෂම පත් කළ, ජනාධිපතිවරයාගේ පක්ෂය නියෝජනය කළ පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාෆා පවා සීමා නිර්ණය කොමිෂන් වාර්තාවට විරුද්ධව ඡන්දය දීම හාස්‍යජනකයි.
දැනට ක්‍රියාත්මක පනත අනුව පළාත් සභා මැතිවරණ පවත්වන්නට නම් අලුත් සීමා නිර්ණයක් සිදු කර එය සම්මත කරගත යුතුයි. එහෙත්, ඒ සඳහා විධිමත් අන්දමින් කටයුතු කරන බවක් පෙනෙන්නේ නැහැ. නැතිනම් පළාත් සභා පනත සංශෝධනය කළ යුතුයි.
පළාත් සභාවල කාන්තා නියෝජනය ඉහළ නැංවීම ප්‍රගතිශීලී පියවරක්. පළාත් පාලනයේ කාන්තා නියෝජනය ඉහළ නැංවීම සඳහා ගත් පියවරවලින් ස්ත්‍රී පුරුෂ සමාජභාවී පදනමින් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වීමට අවශ්‍ය පදනම වැටුණා. එය පළාත් සභාවලත් සිදුවීම හොඳ දෙයක්. සීමා නිර්ණය යනු කරගැනීමට බැරි තරම් සංකීර්ණ දෙයක් නෙමෙයි. නැත්තේ ඒ සඳහා උනන්දුව පමණයි.
මේ වන විට දෙමළ ජාතික සන්ධානය පවා 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බවක් දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම, ඔවුන්ගේ පාලනය යටතේ පැවති උතුරු පළාත් සභාව සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වුණේත් නැහැ. මධ්‍යම ආණ්ඩුවෙන් ලබාදෙන ලද ප්‍රතිපාදන වැය කිරීමේ කාර්යක්ෂමතාවවත් පළාත් සභාවලට හා පළාත් රාජ්‍ය සේවයට තිබුණේ නැහැ.
හැබැයි, මේ සියල්ල මැද, මේ ප්‍රශ්නය අනාගත පරපුරට රැගෙන යා යුතුත් නැහැ. එසේම, අප මේ මොහොතේත් බලය බෙදාගැනීමේ ප්‍රශ්නය විසඳා නොගත්තොත්, එය දෙමළ ජාතිවාදීන්ට ඉතා වාසිදායක වෙන්නට පුළුවන්. සිංහල ජාතිවාදීනුත් පළාත් සභා විරෝධය ඔස්සේ බලය ගොඩනගා ගැනීම ගැන සිතනවා. එහෙත්, ඔවුන් ලබාගන්නා වාසිය සිංහල ජාතියට අවාසිදායක විය හැකියි. උතුරට විසඳුමක් නොමැතිකම දිග්ගැසෙන්නේ ඉන්දියාවේ දකුණුදිග තමිල්නාඩු ප්‍රාන්තය මෙන්ම හින්දුත්වය ද ශක්තිමත් වෙමින් තිබෙන සංදර්භය තුළ බව අප අමතක නොකළ යුතු නැහැ. ඉන්දියාව බලවත් වෙමින් තිබෙන්නේ ලංකාව ආර්ථික වශයෙන් දුර්වල වී දේශපාලනික වශයෙන් අස්ථාවර වී තිබෙන පසුබිමක් තුළයි. අප අභ්‍යන්තර ප්‍රශ්න විසඳාගෙන ඉදිරියට යාම වැදගත් වන්නේ මෙම සංදර්භය තුළයි.
අජිත් පැරකුම් ජයසිංහ)
දේශපාලන හා සමාජ විශ්ලේෂක