ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශනය ඩිජිටල්කරණය කිරීම (Digitalization of Terrestrial Television Broadcasting -DTTB) වසර කිහිපයක් තිස්සේ සාකච්ඡාවට ලක්වෙමින් තිබෙන කරුණකි.

වැඩ නිම කිරීම සඳහා මුලදී නියම කර ගත් සියලු කාලසීමාවන් දැනටමත් අවසන්ව තිබේ. නොයෙකුත් අවස්ථාවන්හිදී ව්‍යාපෘතිය අවසන් කිරීමේ නව දිනයන් ප්‍රකාශයට පත් වුවද, තත්වයේ වෙනසක් දක්නට නැත. මෙම නව රූපවාහිනී විකාශන මාධ්‍යය අත්දකින්නට අතිශය අශාවෙන් බලාපොරොත්තු දල්වාගෙන සිටින පුරවැසියන් වන අපට, එම හැකියාව දිගින් දිගටම නොලැබීම, කනගාටුවකි.

a6cc10b270d60e07120c524bef4e58db XLශ්‍රී ලංකා රජය ජපානය සමඟ ගිවිසුම්ගත වූයේ 2014දී 

ශ්‍රී ලංකාවේ ඩිජිටල් රූපවාහිනී සම්ප්‍රේෂණය ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ජපානය සමඟ ගිවිසුම්ගත වූයේ 2014දීය. මෙහිදී ජපන් ISDB-T ප්‍රමිතිය අප රට තුළ දියත් කිරීමට තීරණය විය. අප රටට වඩාත්ම උචිත DTV තාක්‍ෂණය වන්නේ ISDB-T ද, නොඑසේනම් වෙනෙකක්ද යන්න පිළිබඳ වූ මතභේදයක් මධ්‍යයේය මෙම තීරණයට එළඹුණේ. කෙසේ වෙතත්, ව්‍යාපෘති කාර්යාලයක්​ද කඩිනමින් පිහිටුවන ලදී. ඉන්පසුව, රජයේ අනෙකුත් බොහෝ වැඩසටහන් මෙන්ම, හදිසියේම එහි වැඩ කටයුතුද නතර වුණි. පසුව, 2021 අප්‍රේල් මාසයේදී, ඉදිරි ගමන සඳහා රජය නව අවසරයක් ලබා දුන්නේ අවසන් ප්‍රතිඵලය වඩාත් වැඩදායක කිරීම උදෙසා තවත් අංග කිහිපයක් එකතු කරමිනි. විෂය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විත ව්‍යාපෘති කාර්යාලයක් වෙතින් මේ වන විට එහි වැඩ කටයුතු කරමින් තිබුණද, ව්‍යාපෘතිය තවමත් ගමන් කරන්නෙ ගොළුබෙලි වේගයෙනි. පවතින ආර්ථික දුෂ්කරතා මත එසේ සිදුවෙනවා විය හැකිය. මෙම අද්විතීය රූපවාහිනී අත්දැකීම භුක්ති විඳීමට අප තව කොපමණ කාලයක් බලා සිටිය යුතු ද?

WhatsApp Image 2021 12 28 at 05.46.19 750x375 1

නෙළුම් කුළුණ ඉඳිකිරීමේ ප්‍රධාන අරමුණ වූයේ බස්නාහිර පළාත ආවරණය වන පරිදි ඩිජිටල් රූපවාහිනි හෙවත් DTV ඇන්ටනා සවි කිරීම බව නොරහසකි. අවාසනාවකට මෙන්, දැන් අප සතුව ඇත්තේ DTV සම්ප්‍රේෂණයකින් තොරව ආලෝකමත් වන නෙළුම් කුළුණකි.

What is DTTB

කෙසේ වුවද, ඩිජිටල් රූපවාහිනිය යනු කුමක්දැයි විමසා බලමු. ඩිජිටල් රූපවාහිනිය යනුවෙන් අදහස් කරනුයේ වර්තමානයේ භාවිතා වන සාම්ප්‍රදායික ඇනලොග් ක්‍රමය​ට වෙනස් වූ ඩිජිටල් විකාශන ආකෘතියක් භාවිතයෙන් රූපවාහිනී සංඥා සම්ප්‍රේෂණය කිරීමයි. ඩිජිටල් විකාශනය හරහා ප්‍රේක්ෂකයන්ට ලැබෙන ශ්‍රාව්‍ය-දෘශ්‍ය ගුණාත්මක භාවය ඇනලොග් විකාශනයට වඩා සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතින බව සාමාන්‍ය දැනුමකි. රූපවාහිනී තිරය මත තවදුරටත් සෙවනැ​ලි රූප හෝ වෙනත් ආකාරයේ විකෘති වීම් නොපවතිනු ඇත. විකාශනය කෙරෙන වැඩසටහන් නැරඹීමට අමතරව, ඩිජිටල් විකාශනයකදී රූපවාහිනී නරඹන්නන්ට EPG (ඉලෙක්ට්‍රොනික් වැඩසටහන් මාර්ගෝපදේශය) වැනි අමතර පහසුකම් වෙත ප්‍රවේශ විය හැකි අතර එමගින් පසුව විකාශනය වන වැඩසටහන් පහසුවෙන්ම සොයා ගත හැකිය.

මේ වන විට රූපවාහිනී විකාශන ජාල වර්ග 4ක් අප රටේ ක්‍රියාත්මකව පවතී:

  1. එක් එක් රූපවාහිනී විකාශකයින් සතු නොමිළේ නැරඹිය හැකි ඇනලොග් භෞමික විකාශන ජාල. (රූපවාහිනී, අයිටීඑන්, හිරු, දෙරණ, සිරස, ස්වර්ණවාහිනී, ටීඑන්එල්, සියත, සුප්‍රීම් ආදී නාළිකා)
  2. සැටලයිට් නොහොත් DTH (Direct to Home) නම් වූ චන්ද්‍රිකා පදනම් කරගත් බෙදාහැරීමේ ජාල (Dialog TV , ෆ්‍රී TV ආදිය)
  3. කේබල් ටීවී ජාල (ආස්ක් ටීවී, ඩෑන් ටීවී)
  4. IPTV ජාල (PEO TV)

75847නිදහස් ඇනලොග් සම්ප්‍රේෂණයේදී, රූපවාහිනී මධ්‍යස්ථානය මගින් දිවයින පුරා පැතිරී ඇති ඔවුනගේ සම්ප්‍රේෂණ ඇන්ටනා එකක් හෝ කිහිපයක් භාවිතා කරමින් නාලිකා සංඥා බෙදා හරිනු ලබයි. එම සංඥාව ග්‍රහණය කර ගැනීම සඳහා අපගේ නිවසේ හෝ කාර්යාලයේ ඇති රූපවාහිනී යන්ත්‍රයට ඇන්ටනාවක් භාවිතා කිරීමට සිදුවේ. නාළිකා සම්ප්‍රේෂණ ඇන්ටෙනාවේ සිට නිවසට ඇති දුර සහ නිවසේ භාවිතා වන ඇන්ටෙනාවෙහි ප්‍රබලත්වය මත රූපවාහිනී තිරය මත දිස්වන පින්තූරයේ මෙන්ම එහි ශබ්දයේ ගුණාත්මකභාවය තීරණය වෙයි. අපගේ නිවෙස් වල බොහෝ ඇන්ටනාවලට එක එල්ලේම සියලුම රූපවාහිනී නාලිකා ග්‍රහණය කරමින් පැහැදිලි ශ්‍රාව්‍ය-ද්‍රුශ්‍ය අත්දැකීමක් අප​ට ලබා දීමට නොහැකි බව අපි දනි​මු. නිවසේ ඇන්ටෙනාව සෑම දිශාවටම කරකවමින් නාළිකා සුසර කිරීමට ගත් උත්සාහයන්හිදී මුහුන දුන් සිත කලකිරවන සුලු අත්දැකීම් අප කාටත් තිබේ.

DNXg3LhpFBl3YTd8tD0O

ඉහත දැක්වූ අනෙක් අවස්ථා තුනම ගාස්තු අය කරන Pay-TV මෙහෙයුම් වේ. කේබල් හරහා හෝ චන්ද්‍රිකා හරහා රූපවාහිනී සංඥා ලබා ගැනීමට Set-Top- Box (STB) නම් වූ විශේෂ උපකරණයක් මිලදී ගත යුතුය. එවැනි ජාලයන්හිදී STB එක හරහා බොහෝ නාලිකා ලබා ගැනීමට රූපවාහිනී යන්ත්‍රයට හැකියාවක් ලබෙන අතර, පාරිභෝගිකයා භාවිතා කරන පැකේජය සඳහා මාසික ගෙවිමක් කළ යුතු වේ. මීට අමතරව, ඉලෙක්ට්‍රොනික-වැඩසටහන්-මාර්ගෝපදේශය (EPG), Rewind TV වැනි විවිධ විශේෂාංග සැපයීමක්ද මෙම ජාල තුළ සිදුවේ. නොමිලේ විකාශනය වන ඒවා හා සසඳන විට, මෙම නාලිකා උසස් තත්ත්වයක ඇති අතර පාරිභෝගිකයින්ට HD (High Definition) නාළිකා පවා ​ලැබිය හැක. ඔබට සැබෑ HD අත්දැකීමක් ලබා ගැනීමට, HD රූපවාහිනී කට්ටලයක් තිබීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඔබේ රූපවාහිනියට HD තත්වයේ රූපවාහිනී සංඥා ලැබීමද අත්‍යාවශ්‍ය වේ. දැනට ඔබ Pay-TV භාවිතා නොකරන්නේ නම්, ඔබට එවැනි HD අත්දැකීමක් ලබා ගත නොහැක.

ඩිජිටල් රූපවාහිනී විකාශනය ආරම්භ වූ පසු, නිවසේ ඇන්ටෙනාව කරකැවීමේ අවශ්‍යතාවය පහව යනු ඇත. නමුත් ඩිජිටල් සංඥා ලබා ගැනීම සඳහා Set-Top-Box එකක් සමඟින් සියලුම නාලිකා එකම ස්ථානයක ග්‍රහණය කර ගන්නා සරල ඇන්ටනාවක් භාවිතා කිරීමට අපට සිදුවේ. එසේ වුවද, සමහර රූපවාහිනී යන්ත්‍රවල ඩිජිටල් සුසරකයක් ඇති අතර, එවැනි යන්ත්‍රවලට බාහිර STB එකක් අවශ්‍ය නොවේ. අවාසනාවකට මෙන්, අප රටේ තිබෙන රූපවාහිනි යන්ත්‍රවල ඇති ඇතැම් ඩිජිටල් සුසරකයන්ට ජපන් ISTB-T ප්‍රමිතිය ග්‍රහණය කර ගත නොහැක. එවැනි අවස්ථාවන්හිදී, බාහිර STB එකක් භාවිතා කිරීමට සිදුවනු ඇත. කෙසේ වුවද ඇනලොග් රූපවාහිනී නැරඹීමේදී ඇතිවෙන නොයෙකුත් ආකාරයේ බාධාවන් සහ විකෘති වීම් DTV භාවිතයේදී ඇති නො​වේ.

samsung bendable

ඩිජිටල් රූපවාහිනී සම්ප්‍රේෂනයේදී පූර්ණ HD සිට 4K සහ 8K දක්වා සුපැහැදිලිතාවක් සහිත රූප ලබා දිය හැක. වඩා උසස් දසුන්වලට අමතරව, ඩිජිටල් රූපවාහිනී ශ්‍රව්‍ය ගුණාත්මක භාවය ද ඉතා උසස් ය. මෙයට හේතුව ඩිජිටල් රූපවාහිනිය ස’රවුන්ඩ් සවුන්ඩ් සහ ඩොල්බි ඕඩියෝ ශබ්ද ගෙන ඒම සඳහා සමත් වීමයි.

DTV ක්‍රියාත්මක වූ පසු, රූපවාහිනී නාළිකා පවත්වාගෙන යන්නන්ටද පුළුල් පරාසයක වාසි ලැබේ. ඔවුනටම අයිති, අධික නඩත්තු පිරිවැයකින් හෙබි විකාශන ජාලයන් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් ඔවුනට ඇති නොවේ. රජය විසින් පිහිටවනු ලබන ඩිජිටල් සම්ප්‍රේෂන ජාල මෙහෙයුම්කරු (Digital Broadcast Network Operator) විසින් සියලුම නාලිකා එකතු කර ඒවා එක වර එක ජාලයක් තුළ විකාශනය කරනු ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සියලුම නාලිකාවලට එක සමාන ආවරණයක් සහ ශ්‍රව්‍ය-ද්‍රුෂ්‍ය ගුණාත්මක බවක් ලැබෙනු ඇත. නාලිකා අතර තරඟය සිදුවෙනුයේ ඔවුන්ගේ වැඩසටහන්වල විවිධත්වය සහ තත්වය මත පදනම්වය. මේ අනුව, කුඩා පරිමාණ රූපවාහිනී ක්‍රියාකරුවන්ට පවා විශාල ක්‍රියාකරුවන් සමඟ එක සමාන පදනමක සිට තරඟ කළ හැකිය. කෙසේ වෙතත්, විශාල ක්‍රියාකරුවන්ට දැනට තිබෙන ආධිපත්‍යය බිඳී යන බැවින්, මෙසේ වීම ඩිජිටල්කරණය සඳහා ඔවුනගෙන් ප්‍රතිරෝධයක් ලැබීමට හේතු විය හැකිය.

මෙහි විශාලම ප්‍රතිලාභියා වනුයේ විදුලි සංදේශ නියාමන ආයතනයයි. විදුලි සංදේශ ඇතුළු අනෙකුත් ප්‍රයෝජනවත් භාවිතයන් සඳහා රූපවාහිනී තරංග සංඛ්‍යාත වර්ණාවලියේ කොටසක් මුදා හැරීමට ඉඩ සැලසෙන බැවිනි ඒ. තරංග සංඛ්‍යාත යනු අතිශය විරල සම්පතක් බව අප සැවොම වටහා ගත යුතුය. මෙම වාසිය අත් වන්නේ DTV නාලිකා කිහිපයක් රැගෙන යාමේ හැකියාව එක් රූපවාහිනී සංඛ්‍යාතයකට ඇති බැවිනි. අනෙක් අතට මෙයින් අදහස් වන්නේ ඉදිරියේදී අලුත් රූපවාහිනී නාලිකාවලටත් ඉඩක් ලැබෙන බවකි.

සමස්තයක් වශයෙන්, ඩිජිටල් රූපවාහිනිය පිළිබඳ කතාව සිත් ඇදගන්නා සුළුය. නමුත් මෙය යථාර්ථයක් වන්නේ කවදාද යන්න වැදගත් ප්‍රශ්නයක් ලෙස තවදුරටත් පවතී.

 

Screenshot 2023 08 27 at 15.37.35ඉංජිනේරු. අජන්ත සෙනෙවිරත්න
හිටපු ප්‍රධාන විධායක නිලධාරී, ශ්‍රී ලංකා ටෙලිකොම් PEO TV.
හිටපු අධ්‍යක්ෂ ජනරාල්, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්