පාසල් අධ්‍යාපනයට විෂයක් ලෙස ලිංගික විද්‍යා අධ්‍යාපනය ඇතුළු කිරීමේ තීන්දුව සමගින්

07 වන වසර සඳහා සැකසුනු පෙළ පොතට සිංහල-බෞද්ධ සුචරිතවාදීන් විරුද්ධ වීමත් සමග ලිංගික විද්‍යා අධ්‍යාපනය ඇණ හිටින. ලිංගික විද්‍යා අධ්‍යාපනය නවතා දැමීමට ගුරු වෘත්තියේද නිහඬ එකඟතාවයක් තිබිණ.

7

ගුරු සංගම් සමග ගුරු වෘත්තීයද පොදුවේ ගත් කළ වැඩවසම්වාදී පසුගාමී සංස්කෘතික ගොනුවකි. ඔවුන් අතර ලිංගිකත්වය පිළිබඳ නවීන පුළුල් දැනුමක් ඇත්තේ නැත. එනිසාම ලිංගික අධ්‍යාපනය විෂයක් ලෙස පාසල් අධ්‍යාපනයට ඇතුළත් කිරීමේදී එය ස්ථානගත විය යුත්තේත් එහි පදනම විය යුත්තේත් කවර කාරණා සමගද යන්න ගැන ගුරු සේවාවෙහි කිසිදු අදහසක් නැත.



දියුණු නූතනවාදී වෘත්තීය පෞරුෂයක් ගුරු වෘත්තියට ලබා නොදී, ලිංගික විද්‍යා අධ්‍යාපනය හුදු ශාරීරික වර්ධනය හා ප්‍රජනනය සම්බන්ධ සරළ ඉගැන්වීමක් වශයෙන් සීමා කර ළමුන්ට ඉගැන්වීමේ සමාජ අසාධාරණයක් සිදුවෙතැයි මම කියමි.

එයට හේතු ලෙස මම මෙසේ කියමි. මේ රටේ වාර්ෂික ළමා හිංසන සහ ළමා අපචාර සංඛ්‍යා ඉතාම ඉහළය. ජාතික ළමා ආරක්ෂක අධිකාරයට 2020 වසරේ පළමු දින 60 ඇතුළත පමණක් ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 2,500 ට වඩා වැඩිය. පැමිණිලි සඳහාවන ඔවුන්ගේ විශේෂ දුර කතන අංකය වන 1929 ට දිනකට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව දළ වශයෙන් 40 කි. ළමා ආරක්ෂක අධිකාරය විසින් කරනු ලැබූ අධ්‍යනයකට අනුව පාසල් ළමුන්ගෙන් අවම සියයට 80 ක් තම සිසු ජීවිතය තුල එක් වරක් හෝ ගුරුවරයෙකුගෙන් හෝ විදුහල්පතිගෙන් පීඩාකාරී ශාරීරික දඬුවම් ලබා ඇත.

 School
පාසලේ පීඩාකාරී ශාරීරික දඬුවම් වලට අමතරව ළමා හිංසන හා අපචාර වැඩිමනත් වාර්තා වන්නේ පාසල් වලින් ය. එවගේම එවැනි හිංසන හා අපචාර බොහෝමයක් වාර්තා නොවන්නේද පාසල් වලින් ය. ළමා හිංසන එසේ වාර්තා නොවීමට හේතු කිහිපයකි. වඩාත් බහුලව අසන්නට ඇත්තේ ගුරුවරුන්ගෙන් පෙරළා සිදුවිය හැකි නොසැළකීම්, ගැරහීම්, බොරු චෝදනා මත දඩුවම් කිරීම් වැනි හේතු කාරණා මත ළමා හිංසන සහ අපචාර වලට එරෙහිව පැමිණිලි කිරීමට බොහෝ දෙමාපියන් මැලි වන බවය. තවකක් වන්නේ, ඇතැම් ළමුන් දෙමාපියන්ට හෝ කීමට ඇති අකමැත්ත සහ බිය ය. තවත් ළමුන් පංතියේ හා පාසල් කටයුතු වලදී අමතර වාසි ලබා ගැනීම වෙනුවෙන් ලිංගික හැසිරීම් වලට පුරුදු වීමය. අනෙක, ඉහළ පංති වල විශේෂයෙන් සිසුවියන් දැනුවත්ව ලිංගිකව හැසිරීමට නතු වූවත් ප්‍රාථමික හා ද්විතියික පංතිවල සිසු සිසුවියන් බොහෝ විට අතපත ගෑම්, කිති කැවීම්, තොල ගෑම්, නිරුවත් ඡායාරූප හෝ චලන රූප බැලීමට වැනි හිංසන වලට හසු වන අතර, ඒ ඔස්සේ මතු ලිංගික පෙළඹවීම් වලටද නතු විය හැකි යැයි අවබෝධයක් නොමැති වීමය.



පාසලෙන් බැහැරව සිදුවන ළමා අපචාර ගැන කතාවටද මෙතෙක් ලිංගික විද්‍යා අධ්‍යාපනය නිවැරදිව පාසලේ ඉගැන්වීමක් නොවීමද එක් බරපතල කාරණාවක් යැයි කිව යුතුය. නිසි දැනුවත් කමක් නොමැති, අයාලේ ගොස් අහුලා ගත් වැරදි සහ විකෘති අර්ථ දැක්වීම් හා අත්දැකීම් සමගින් හදා ගන්නා ආකල්ප හා විශ්වාස පොදි බැඳන් බාහිර සමාජයට පය තබන යෞවනයින් විවාහය තුලද වයසට ගියද ඒ උකහා ගත් ආකල්ප, අත්දැකීම් වලින් නොමිදෙන බැව් සරළ සත්‍යයකි. ගුරුවර ගුරුවරියන් පාසලට එන්නේද ඒ සමාජයෙන්ම බැව් අමතක නොකළ යුත්තකි.    
වෘත්තීන් කුමක් වූවත් අධ්‍යාපන සහතික කුමක් වූවත් මේ සමාජයේ අප නඩත්තු කරන්නේ ලිංගිකත්වය ගැන යල් පිනූ අනවබෝධයෙන් ගනුදෙනු කරන්නාවූ ස්ත්‍රී පුරුෂ පිරිසිකි. ලිංගික විද්‍යා අධ්‍යාපනය හුදු ජීව විද්‍යා පාඩමක් විලසින් ළමුන්ට ඉදිරිපත් කිරීමෙන් සමාජයේ නඩත්තු වන පාදඩ ආකල්ප, වටිනාකම්, පුද්ගල විකෘතීන් බිඳිය නොහැක. ලිංගිකත්වය නැතිනම් ලිංගික හැසිරීම ශරීර වර්ධනය සමග ජෛව විද්‍යාත්මකව ඇතිවෙන්නාවූ අවශ්‍යතාවක් ඉටු කෙරෙන රළු ප්‍රජනන ක්‍රියාවලියක් වන්නේ සත්ව ලෝකයේ පමණි. එළෙසින් ලිංගිකත්වය අත් විඳින්නන් දර පළන්නන් වැනිය.

romantic

මානව පරිනාමය තුල මනුස්ස ලෝකයේ ලිංගිකත්වයට අතිශය මානුෂීය මානයක් එකතුව ඇත. එනිසා මනුස්ස ලෝකයේ ලිංගිකත්වය අන්‍යෝන්‍ය ගරුත්වය සමගින් වන “ආදරය, ප්‍රේමය, ස්නේහය” ඉල්ලා සිටින්නකි. ලිංගික හැසිරීම් සඳහා මනුස්ස ලෝකයේ එක්තරා සීමාවන් පැනවෙන්නේත් ලිංගික හැසිරීම් තම වර්ගයා බෝ කිරීමේ කාර්යට එහා ගිය රම්‍යවාදී (Romantic) සංතෘප්තිමය පැවැත්මක් වන්නේත් ඒ “ආදරය, ප්‍රේමය, ස්නේහය” සමගින් ය. එය ඇතැම් තැන්හි විරුද්ධ ලිංගිකයින්ගේ බැඳීමකට පමණක් සිමා නොවන, සම ලිංගික සේවනයටද අදාල වන්නේ එබැවින්ය. එනිසා ලිංගික අධ්‍යාපනය පාසලට ගෙන ආ යුත්තේ සත්ව ලෝකයෙන් වෙනස්වන “ආදරය, ප්‍රේමය, ස්නේහය” වැළඳ ගනු ලබන මනුස්ස ලෝකයේ සංතෘප්තිමය ලිංගිකත්වය පිළිබඳ රම්‍යවාදී මානුෂීය මානයත් සමග ය.



එවැනි යොමුවක් සමග ලිංගික විද්‍යා අධ්‍යාපනය ඉගැන්විය යුත්තේ 07 වසරට සීමා නොකෙරෙන, 06 වසරේ සිට සාමාන්‍ය පෙළ දක්වා වසර 06 ක ඉගැන්වීමක් ලෙසින් ය. විෂය ආරම්භ විය යුත්තේ ළමා හිංසන සහ අපචාර සම්බන්ධව ළමුන් දැනුවත් කිරීමේ පාඩම් සමග ය. කුඩා දරුවෙකුට වූවත් පෞද්ගලිකත්වය සම්බන්ධ පැහැදිලි සීමාවන් ඇතැයි ඔවුන්ට මෙන්ම වට පිටාවේ සියල්ලන්ටත් අවබෝධයක් ලබා දීමත් සමග ය. “ලිංගිකත්වය” හා “ආදරය” යැයි මේ වනවිට ඛණ්ඩකර ඇති සමස්ථ ලෞකික ජීවින පැවැත්ම පිළිබඳ ඉගැන්වීම් හඳුන්වා දිය යුත්තේ 10 හා 11 වසර වන විටය. එවැනි ඉගැන්වීම් රසාස්වාදය, රස වින්දනය සමගින් එක පෙළට තැබිය යුත්තකි. පාසල් අධ්‍යාපනයේ සාහිත්‍ය වැදගත් විෂයක් විය යුත්තේ ජීවිතය එළෙසින් රස විඳින්නට හැකි යෞවනයක් බිහි කිරීම වෙනුවෙන්ය.

Isurumuni

රසාස්වාදය ගැන කතා කිරීමේදී වර්තමානයේ ළමුන්ට පමණක් නොව ගුරුවර ගුරුවරියන්ටද “ඉසුරුමුණියේ පෙම් යුවල” ගැන කතා කළ හැක්කේ මොනවාද? එය බොහෝ දෙනෙක් සාලිය සහ අසෝකමාලා පෙම් යුවලගේ යැයි කියනු ඇත. කලාතුරකින් කෙනෙකු එය වෛශ්රාවණ රජුගේ සහ ඔහුගේ කුණි රැජිනගේ යැයි කියනු ඇත. එහෙත් චිත්‍රා සෝමපාල ගයන “තුරුලට ලංවී පෙම් රස උරණා, රසයේ රස උල්පා, පෙමටම කැපවුනු පෙම් යුවලකි ඒ....” යැයි වන ඉසුරුමුණියේ පෙම් යුවල ගැන ගීත රචකයා කියන්නාවූ ප්‍රේමාන්විත බැඳීම ගැන කෙරෙන රස වින්දනයක් දකින්නේ ද? පෙම් රස උලුප්පමින් මේ යුවල පෙමටම කැපවුනේ යැයි රචකයා කියන්නේ කවර ආකාරයේ බන්ධනයක් ගැනද? ලිංගික විද්‍යා අධ්‍යාපනය උගන්වන පංති කාමරයක ඒ පදමාලාව විවරණය කර රස විඳින්නට අවස්ථාවන් තිබිය යුතුය. සුනිල් ආරියරත්න ලියා නන්දා මාලිනි ගයන “ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ කිරණ සේ අචින්ත්‍යයි, පාරිශුද්ධයි, සුරම්‍යයි...” ගීතය 11 වන වසරේ පංති කාමරයක සාකච්ඡා කිරීමට ගුරුවරයෙකු ගුරුවරියක ඉදිරිපත් වනු ඇතිද? රාගයෙන් තොර ප්‍රේමයක් තිබිය නොහැකි යැයි වරක් මහාචාර්ය සුචරිත ගම්ලත් කියුවත් ප්‍රේමයෙන් තොර රාගයක් තිබිය හැකි යැයි කිසිවකු කියනු ඇතිද? ඒ දෙකටම ඉඩ ඇතැයි කීවත් ප්‍රේමයක් නොමැති රාගයක ඇති අමනුස්සකම ඇත්තේ සිය ගණනින් සිදුවන ස්ත්‍රී දූෂණ වලය. දහස් ගණනින් බාලවයස්කාර දැරිවියන් දූෂණය කිරීමෙහි ය. තවත් දහස් ගණනින් ළමුන් ලිංගික අපචාරයන්ට ලක් කිරීමෙහිය.  



පෞද්ගලික ජීවිතයේත් සමාජ ජීවිතයේත් ආකල්ප, වටිනාකම්, හර පද්ධතීන් තීන්දු කරන්නාවූ ශිෂ්ට සම්පන්න ජීවිත පැවැත්මක පදනම රසසාස්වාදය දැන හඳුන සිටීම පමණක් නොව, එය විඳින්නටද දැන උගෙන සිටීමය. ආදරය, ප්‍රේමය, ස්නේහය මනුස්ස ලෝකයට අත්‍යාවශ්‍ය පරාර්ථකාමී බැඳීම් සමුදායක් ලෙස ලිංගිකත්වය සමග කතා කළ යුත්තේ එබැවින්ය. සාහිත්‍ය රසාස්වාදය අවශ්‍ය වන්නේද දියුණු සෞන්දර්යාත්මක සංස්කෘතියකින් තොර යාන්ත්‍රික තරගකාරී සමාජයක ආකල්ප, වටිනාකම්, හර පද්ධතීන් තීන්දු වන්නට ඉඩ නොදිය යුත්තේද එය විනාශකාරී සමාජ පැවැත්මකට හේතුවන හෙයින්ය. ඉතාම සරළව කියන්නේ නම්, ලිංගිකත්වය හා රසාස්වාදය පිළිබඳ ඉගැන්වීම් ආරම්භ විය යුත්තේ දියුණු සංස්කෘතියකින් ඔප නැගුණු පෞරුෂයකට හිමිකම් කියන ගුරු සේවාවක් ඇති පාසල් අධ්‍යාපනයක ය.


kusal perera(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම - කුසල් පෙරේරාගේ ෆේස්බුක් ගිණුමෙන් )
2023 අගෝස්තු 26

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්