සාමාන්‍යයෙන් දේශපාලකයන් සමාජය ඉදිරියේ යමක් පවසන්නේ, තමන් කියන දේ හරහා තමන්ට අත්වෙන

ලාභ පාඩු කිරාමැන ඉන් තමාට කිසිදු පාඩුවක් අවාසියක් නොවන බවට විශ්වාසයක් ඇත්නම් පමණි. උගත්කම්, බුද්ධිමත්කම්, තරාතිරම් වගේම හෘදසාක්ෂියේ ගුණයන් සියල්ල සිය දේශපාලන වාසිය වෙනුවෙන් මිස සමාජයේ උන්නතිය වෙනුවෙන් භාවිත නොකරන්නට ඔවුහු සැමවිටම පරිස්සම් වෙති. ඔවුනගේ පරිස්සම නිසාම බොහෝ විට සමාජයේ පැසසුම් ලබන්නෝද වෙති. එහෙත් තමන්ට අත්වන වාසි අවාසි නොතකා තමන්ගේම වූ වැඩපිළිවෙලක් දැක්මක්, හෙට රට ගැන සිහිනයක් සහිතව සමාජය ඉදිරියේ සත්‍ය පවසන්නන්ට, අනතුර පෙන්වන්නන්ට, මග කියන්නන්ට සැමවිටම හිමිවූයේ සමාජයේ ගැරහුම්ය. කෙණහිලිකම්ය. අවමානයන්ය.

 

එසේ සැමවිට ගැරහුමට, සමාජ අවමානයට ලක් වූ අපේ කාලයේ ප‍්‍රධාන පෙළේ දේශපාලකයන් දෙදෙනකු හඳුනාගත හැකිය. පළමුවැන්නා දිවංගත මංගල සමරවීරය. දෙවැන්නා අද මේ රටේ ජනාධිපති රනිල් වික‍්‍රමසිංහය. එහෙත් මේ දෙදෙනාගේම විශේෂය වූයේ, කවර බාධක පැමිණියත් රට පිළිබඳ තමන්ගේම වූ සිහිනය අත්නොහැර ඒකායන අරමුණකින් කටයුතු කිරීමය. එය සුමට සියුමැලි මාවතක් නොවුව ද එකී මාවතේ මංගලගේ විශේෂය වූයේ සිය ඉලක්කය වෙනුවෙන් බර අඩි තැබීමට දෙවරක් නොසිතීමය.

Mangala Ranil

මේ දෙදෙනා ගැන වරෙක වරුණ රාජපක්ෂ සමාජ මාධ්‍ය සටහනක් තබමින් පවසා තිබුණෙ, ”‍මංගල කියන්නේ ලංකාවේ අන්තිම රැඩිකල් ලිබරල්වාදියා, රනිල් කියන්නේ ලංකාවේ අන්තිම ක්ලැසිකල් ලිබරල්වාදියා”‍ කියාය. මෙකී කතාවේ සත්‍යතාවය විමසිය යුත්තේ, මංගලගේ මෙන්ම රනිල්ගේ ද දේශපාලන භාවිතාව ඇතුළේ මිස අනෙකෙකුගේ ඇසින් බලා නොවේ.

 

 

රැඩිකල් ලිබරල්වාදියා

Mangala 4

මංගල සමරවීර 1988 මාතර දිස්ත‍්‍රික්කයෙන් දේශපාලනයට අත්පොත් තැබුවේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙනි. නිදහස් පක්ෂය යනු ලංකා දේශපාලනයේ ජාතිවාදයට ආගම්වාදයට රාජ්‍ය මැදිහත්වීමක් හරහා නිල භාවයක් ලබාදුන් පක්ෂය බව දේශපාලනය ගැන උනන්දුවක් සහිත මෙරට  ඕනෑම පුරවැසියකු දන්නා සත්‍යයකි. එපමණක් නොව පැරණි වැඩවසම් සමාජ ක‍්‍රමයන් තුළ ක‍්‍රියාත්මක වූ යල්පැනගිය සමාජ කුල, බල, ප‍්‍රභූ ධුරාවලි සිය දේශපාලන වැඩපිළිවෙල හරහා අලූ‍ත් වටයකින් සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු ලෙස සමාජය තුළ නැවත ස්ථාපිත කරමින් යල්පැනගිය වැඩවසම් සමාජ ධූරාවලිය යාවත්කාලීන කිරීමට කටයුතු කළ පක්ෂය ද විය. එවන් වූ අන්තගාමීත්වයකට නෑකම් කී දේශපාලන පක්ෂයකින් සිය ගමන ඇරඹූ මංගල සමරවීර සිය දේශපාලන භාවිතාව තුළ ජාතිවාදයට විරුද්ධ, ආගම්වාදයට විරුද්ධ, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පක්ෂ, යුද්ධයට විරුද්ධ, සාමයට පක්ෂ, එසේම නිදහස් වෙළඳපොල ආර්ථිකයට පක්ෂ, පුහු සමාජවාදයට විරුද්ධ, මානවවාදයට පක්ෂ ලිබරල්වාදියෙකු විය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සිහිනය

 

සමාජවාදී හෝ වේවා ධනවාදී හෝ වේවා කවර දේශපාලන භාවිතාවක් නිසා හෝ බලකාමීන්ගේ රුදුරු සැහැසිකම් නිසා කිසිදු පුරවැසියකුගේ ජීවත්වීමේ පරම අයිතිය උදුරාගැනීමට කිසිවකුට අයිතියක් නොමැති බව විශ්වාස කළ මංගල ඊට එරෙහිව සටන් වැදුනේය. ”සියලූ‍ සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා... යන්න තමයි ප‍්‍රජාතන්ත‍්‍රවාදය කියන්නෙ” මංගලගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දැක්ම නිර්මාණය වුණේ එහෙමය.

mangala 1

1989 පාර්ලිමේන්තුවට පත්වූ නවක මන්ත‍්‍රීවරයකු ලෙස සිදු කළ මංගල කතාවේදීම, එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස දේශපාලන භාවිතාව දැඩිව විවේචනය කළේ ඒ නිසාය. එසේම සමාජ භීෂණයට, පුද්ගල අතුරුදන් කිරීම්වලට එරෙහිව 88-89 කාලයේ දිවි අහිමි වූවන් සොයා රටපුරා ඇවිද ගිය මව්වරු එකතු කොට ”මව්පෙරමුණ” නිර්මාණය කරන්නේ ද ඒ වෙනුවෙනි. ”අහිංසකයන්ගේ ආරාමය” වගේම මෑතක නිර්මාණය වූ ”අතුරුදන් වූවන්ගේ කාර්යාලය” ද එහිම තවත් දිගුවකි.

එපමණක් නොව මේ රටේ මානව හිමිකම් සුරක්ෂිත කරනු පිණිස මංගල තැබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී බරපතලම පියවර වූයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගෙනෙන ලද ජිනීවා මානව හිමිකම් යෝජනාව හා එකඟවීමය. එය හුදෙක් පාවාදීමක් යැයි විරුද්ධවාදීහු පෙන්වා දුන්න ද සත්‍ය වශයෙන් ම එය එසේ නොවීය. මන්ද එවකට විදේශ කටයුතු අමාත්‍යවරයා වූ මංගල සමරවීර එකඟතාව පළමුව පවසා සිටියේ, ”ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් වගවීමට සිය ආණ්ඩුව සුදානම් බවත්, ඒ සඳහා අවශ්‍ය නෛතික හා විමර්ශන ආයතන ශ‍්‍රී ලංකාව තුළ ගොඩනගන බවත් ජාත්‍යන්තරයේ අත්දැකීම් හා උපදේශන පමණක් ඒ සඳහා පාදක කරගැනීමට කටයුතු කරන බවත්ය. එසේම ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට අවශ්‍ය මූලික පියවර රැසක් මේ වන විටත් ගනිමින් සිටින බවත් එම නිසා යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයක අවශ්‍යතාවයක් නොමැති බවය.” එවන් වූ ගිවිසුම්ගත නොවීමක් එදා සිදුවූයේ නම් අදද ශ‍්‍රී ලංකාව ලෝකයෙන් හුදකලා වූ රටක් වනවා නොඅනුමානය.

 

 සාමයේ සිහිනය

 ශ‍්‍රී ලාංකේය පුරවැසියන් වූ උතුරේ දෙමළ ජන කණ්ඩායමක් ද දකුණේ සිංහල ජනතාව ද දෙපසට බෙදී එකිනෙකාට චෝදනා කරගනිමින්ද ගරහමින්ද අවි ඔසවා මිනිසුන් ඝාතනය කරමින්ද වසර ගණනාවක් පුරා රට තුළ යුදවාදී ගැටුමක නිරතව සිටි සමයක යුද්ධය එපා සාමය ගොඩනගමු යැයි දැඩි විශ්වාසයකින් මංගල කටයුතු කළේය.

mangala 5

 

ඒ වෙනුවෙන් ”පොතයි - ගඩොලයි” එක්තැන් කරමින් ඇරඹූ ගමනේ උච්චතම අවස්ථාව වූයේ ”සුදු නෙළුම් ව්‍යාපාරය” නිර්මාණය කිරීම හරහාය. මෙරට ජාතිවාදීන්ගේ පරම සතුරා බවට මංගල පත්වන්නේ එතැන් සිටය. එහෙත් සිය උත්සාහය අත්නොහළ මංගල එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්කළ පසුබිමක දී ”අහන්න” ඔස්සේ ද දියත් කළේය.

 

තවද මේ රටේ සාමයේ සිහිනයට අකුල් හෙළන කවරෙකුට වුවද මංගල විරුද්ධ විය. රටේ සාමය පිළිකෙව් කළ දේශපාලකයා ද බෞද්ධ පූජකයා ද ජාතිවාදියා ද ආගම්වාදියා ද වාමවාදියා ද යන්න මංගලට අදාළ නොවීය. ඔහු ඔවුන්ට එරෙහිව වැරෙන් පහර දුන්නේය. තක්කඩියා, චීවරධාරියා වගේම ජාතිවාදීයා, ළිංමැඬියා යැයි ඔවුන්ට ආමන්ත‍්‍රණය කිරීමට මංගල කටයුතු කළේ හුදෙක් පුද්ගලික වුවමනාව නිසා නොව රටේ අනාගතය සුබසිද්ධිය වෙනුවෙනි. එසේම ”මේ රට සිංහල බෞද්ධ රටක් නොවේ” යැයි රටට හඬ ගා කිව්වේ ද මංගලය. ඒ අතිශය බිහිසුණු අයුරින් සිංහල බෞද්ධ කල්ලි කණ්ඩායම් සාහසික ලෙස සිය ප‍්‍රචණ්ඩත්වය රට පුරා වපුරමින් සිටි සමයකය.

 එහෙත් මංගල සිය දිවියෙන් සමුගන්නා මොහොත දක්වා අත්නොහළ එකී සිහිනය සැබෑ නොවූවක්ව අදත් රට ඉදිරියේ ඉතිරිව ඇත්තේ රටේ අවාසනාවටය.

 mangala 3

 

සංවර්ධනයේ සිහිනය

 

මංගල පාර්ලිමේන්තු දේශපාලනය ආරම්භ කරමින් 1989 අපේ‍්‍රල් මාසයේ සිය පළමු කතාව ඉදිරිපත් කරමින් එකල පැවැති සමාජ ප‍්‍රචණ්ඩත්වයට තදින් පහර ගැසුවා පමණක් නොව ශ‍්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනයන්ගේ විවෘත ආර්ථික ප‍්‍රතිපත්තිය අගය කිරීමට ද අමතක නොකළේය. ”සිරි ලක දේ සිරි සැපදේ” යැයි අදහන පක්ෂයක සාමාජිකයෙකුව සිටිමින් විරුද්ධ පක්ෂයේ ආර්ථික දැක්ම අගය කිරීමට මංගලට හැකියාව තිබුණි.

 

මංගලගේ කතාව පමණක් නොව ක‍්‍රියාව ද විවෘත ආර්ථික ප‍්‍රතිපත්තියට සමපාත විය. මංගල තැපැල් හා විදුලි සංදේශ ඇමතිවරයාව සිටිය දී මෙරට සංනිවේදන ක්ෂේත‍්‍රයේ සුවිශේෂී වෙනස්කම් සිදු කිරීමට නොබියව පියවර තැබීය. මංගල එදා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමට පියවර ගත්තේය. දේශීය සම්පත් විදේශිකයන්ට විකුණනවා යැයි මරහඬ තැලූ විරුද්ධවාදීගේ ආර්ථික දැක්ම කෙතරම් පටු ද යන්න පෞද්ගලීකරණය වූ ටෙලිකොම් ආයතනයේ සාර්ථකත්වය හමුවේ සනාථ විය. මංගල ඔවුනට පිළිතුරු දුන්නේ බලලෝභීත්වයෙන් ”පොඩි ළිඳක ලොකු ගෙම්බෙකු” වෙනවාට වඩා පුළුල් දැක්මකින් අධ්‍යනයකින් රටේ සංවර්ධන දිශානතිය විමසා බැලිය යුතු බවය. මංගල අන්ත ලිබරල්වාදියකු යැයි විරුද්ධවාදීහු චෝදනා කරමින් අවලාද නගද්දි මංගල කටයුතු කළේ නිදහස් ආර්ථික ක‍්‍රමයක් තුළ පීඩාවට පත්වන ජනතාවට සහන සලසන සුවිශේෂී ආරක්ෂණවාදී දැලක් සහිත ලිබරල්වාදයක් වෙනුවෙනි.

mangala 6

එපමණක් නොව අනාගත සංවර්ධන ඉලක්ක කරා යන ගමන වෙනුවෙන් වූ නීල හරිත ආර්ථිකයක් පදනම් කරගත් ” Vision 2025”‍ හරහා ”ගම්පෙරළිය”, ”Enterprise Sri Lanka” වැනි ප‍්‍රායෝගික වැඩසටහන් තුළින් මහජනතාවට රටේ අනාගතය පිළිබඳ නැවුම් බලාපොරොත්තු දැල්වීමට මංගල සමත් විය. එහි පරම අධිෂ්ඨානය වූයේ මේ රටේ තරුණ තරුණියන් ව්‍යවසායකයින් බවට ගොඩනගා රටම ව්‍යවසායකයන්ගේ පාරාදීසයක් බවට පත්කිරීමය.

එසේම ශ‍්‍රී ලංකාව සංවර්ධනය කිරීමට නම් ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සංහිඳියාව නැමැති කුළුණු මත සංවර්ධනය ගොඩනැගිය යුතු යැයි තදින් විශ්වාස කළේය. එය රට වෙනුවෙන් අත්නොහළ ඔහුගේ සිහිනයම විය.

 

සංස්කෘතික සිහිනය

ශ‍්‍රී ලාංකේය පොළොවේ ඉතිහාසයක් පුරා පැළ කර ඇති ප්‍රෞඪ සංස්කෘතික උරුමයන්ගෙන් රටේ ආනාගය වෙනුවෙන් සුරැකිය යුත්තේ කුමක් ද අත්හළ යුත්තේ කුමක් ද යන්න මනා අවබෝධයක් මංගල සතුවිය. ඒ අනුව මංගලටම වූ සුවිශේෂී සංස්කෘතික ගුණාංග ගණනාවක් විය. තමන් මන්ත‍්‍රීවරයෙක් ද අමාත්‍යවරයෙක් ද යන්න නොසලකා තමන්ට ”මංගල” යැයි ආමන්ත‍්‍රණය කරන්න යැයි තමා ඉදිරියට එන  ඕනෑම අයෙකුට අවසර දුන්නේ මංගලය.

 ”මෙහි සර්ලා, මැඩම්ලා, අංකල්ලා, ඇන්ටිලා නොමැත. නම කියා ආමන්ත‍්‍රණය කිරීමට තරම් නිදහස් වන්න.” ව්‍යාජ දේශපේ‍්‍රමයට එරෙහිව මංගල ගොඩනැගූ සැබෑ දේශපේ‍්‍රමියෝ කාර්යාලයේ පුවරුවක මංගල සටහන් කොට තිබුණේ එහෙමය.

එපමණක් නොව කුඩා දරුවන්ට උදේ හවස කවර තරාතිරමේ වුවද වැඩිහිටියන්ට වඳින්න පුරුදු පුහුණු කරන සංස්කෘතික සමාජයක මංගල තමන් ඉදිරියේ හිස නැමූ කුඩා දියණියක අමතා පවසා සිටියේ කවදාවත් දේශපාලකයන්ට වඳින්න එපා කියාය. තවකෙකු ඉදිරියේ කොන්ද නවන, හිස පහත්කරන සංස්කෘතියට මංගල එදිරි වූයේ එහෙමය.

තමන්ගේ ලිංගික ජීවිතයට ගරහන, අවලාද නගන අයවලූ‍න්ට සිනාමුසුව මංගල පිළිතුරු දුන්නේ, ”ලේ උරාබොන කූඩැල්ලෙක් වෙනවට වඩා සමනළයෙක් වීම මට ආඩම්බරයක්” කියාය.

 

මංගල සමරවීර රැඩිකල් ලිබරල්වාදියකු වන්නේ, මේ සුවිශේෂී ගුණාංගයන්ගෙන් පිරුණු ප‍්‍රායෝගික දේශපාලකයකු වීම නිසාය. දශක තුනක් පුරාවට අත්නොහළ සිහිනය ඉතිරි කර අද මංගල සමරවීර දිවියෙන් සමුගෙන දෙවසරක් ගතවී හමාරය. රනිල් වික‍්‍රමසිංහ වරෙක පවසා සිටියේ, ”මංගලගේ සිහිනය රටේම සිහිනය” කියාය.

 අද අන්තිම රැඩිකල් ලිබරල්වාදියා ඉතිරි කර ගිය සිහිනය ඔස්සේ අන්තිම ක්ලැසිකල් ලිබරල්වාදියා අනේකවිද කෙනෙහිළිකම් හමුවේ නොනැවතී ඉදිරියට යමින් සිටියි. එකී සිහිනය මංගලගේවත් රනිල්ගේවත් හුදු පුද්ගලවාදී සිහිනයක් නොව අපි හැමෝගෙම සිහිනය යැයි මේ රටේ සියලූ‍ පුරවැසියන් තේරුම්ගෙන කටයුතු කරන දාක රටම නිදහසේ සිනාසෙනු ඇත. මංගලගේ සිහිනය ද එයමය.

 

C.S.K.තුෂාර
Chatham Street Journal - 2023.08.27

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්