දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා සේවක අර්ථ සාධක අරමුදලේ ආයෝජන සඳහා ගෙවන පොලි ප්‍රතිශත පහළ හෙලීමට එරෙහිව අද (අගෝස්තු 28 වැනිදා) දහවල් කොළඹදී විරෝධතාවක් පැවැත්වීමට වෘත්තීය

සමිති ඇතුළු බහුජන සංවිධාන ක්‍රියාකාරීහූ සූදානම් වෙති.

ඒ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ වෘත්තීය සමිති, බහුජන සංවිධාන හා දේශපාලන පක්ෂ නියෝජිතයින් 24 දෙනෙකුට අද පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා කොළඹ ස්ථාන කිහිපයකට ඇතුළු වීම වළක්වමින් අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති පසුබිම තුළයි.

මෙරට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් නැවත වතාවක් බොහෝ දෙනාගේ අවධානය යොමුව ඇත්තේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු පෞද්ගලික විශ්‍රාම අරමුදල් රජයේ සුරැකුම්පත්වල කර ඇති ආයෝජන සඳහා ගෙවන පොලී අනුපාතික පිළිබඳ අවසන් තීරණයක් අද දිනයේ (අගෝස්තු 28 වැනිදා) ගැනීමට නියමිත බවට වන තොරතුර සමගයි.

aa8b54b0 4567 11ee 9b58 cb80889117a8

ණය ප්‍රතිව්‍යුහගතකරණය මොකද වෙන්නේ?

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ යෝජනාව පසුගිය ජූලි මස පළමු වැනිදා පාර්ලිම්න්තුවේදී වැඩි ඡන්ද 60කින් සම්මත විය.

යෝජනාවට පක්ෂව ජන්ද 122ක් ලැබුණු අතර විපක්ෂව ඡන්ද 60ක් ලැබී තිබුණි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ යෝජනාව සම්මත වීමත් සමග සමාජය තුළ කතාබහට ලක්වූ ප්‍රධාන මාතෘකාව වුයේ ඉන් සේවක අර්ථ සාධක අරමුදල සහ පෞද්ගලික අංශයේ විශ්‍රාම අරමුදල් සඳහා බලපෑමක් එල්ල විය හැකි බවටයි.

පාර්ලිමේන්තුවේදී අනුමත වූ එම යෝජනාවට අනුව සේවක අර්ථ සාධක අරමුදල සඳහා ගෙවනු ලබන පොලී ප්‍රතිශතය 9%ක් දක්වා අඩු කිරීමට යෝජනා කර තිබේ.

සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල විසින් එම පොලී ප්‍රතිශත ස්වෙච්ඡාවෙන්ම පිළිගැනීම පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොතිබීම හේතුවෙන් ඒ පිළිබඳ තීරණය අද දිනයේ දැනුම් දීමට නියමිතව ඇත.

b355b270 4567 11ee 9b58 cb80889117a8

'මේක රජයේ ණය අඩු ආදායම්ලාභීන්ගෙන් හිලව් කිරීමක්'

සේවක අර්ථ සාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ පොලී කප්පාදුවක් අනිවාර්යෙන්ම සිදුකළ යුතු බවට වන අරමුණ මත මහ බැංකු අධිපතිවරයා සිටින බවත් ඊට අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරනු ලැබුවේද ඔහු විසින් බවත් සිවිල් ක්‍රියාකාරිනියක් මෙන්ම නීතිඥවරියක් වන ලක්මාලී හේමචන්ද්‍ර බීබීසි සිංහල වෙත පැවසුවා ය.

ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ EPF සහ ETF අරමුදල් සඳහා රජයෙන් ගෙවිය යුතු පොලී සම්බන්ධයෙන් බරපතල අවධානමක් මේ වන විට මතුව ඇති බවයි.

"දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී ලක් රජය විසින් බැංකු සහ අනෙකුත් දේශීය පුද්ගලික ණය හිමියන්ට ගෙවිය යුතු සම්පුර්ණ පොලී ගෙවන ගමන් කම්කරුවන්ගේ පමණක් පොලී කප්පාදු කිරීමට කටයුතු කරමින් යනවා. මේක ඉතා අසාධාරණ ක්‍රියාවලියක් ලෙසයි අප දකින්නේ."

"විශේෂයෙන් රටේ වතු සේවකයින්, ඇගළුම් සේවකයින් අඩු ආදායම්ලාභීන්ට ඇති එකම ඉතුරුව තමයි සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල කියන්නේ. ඔවුන් දුක්මහන්සි වී උපයන වැටුපෙන් ඉතිරි කරන මේ මුදල් සඳහා උපරිම පොලියක් ගෙවන්න අවශ්‍යයි රජය."

"නමුත් ඔවුන්ට ගෙවන පොලිය අඩු කරලා මෙරට මෙන්ම විදේශයන් හි සිටින ධනවතුන්ගේ පොලී සහ ණය නැවත ගෙවීම කම්කරුවන්ගේ මුදල් වලින් රජයේ ණය හිලව් කිරීමක් ලෙසයි අප දකින්නේ."

"ඒ නිසා EPF සහ ETF අරමුදල්වල පොලී කප්පාදුව වහාම නවත්වන ලෙස රජයට දැනුම් දී සිටිනවා." යැයි ඇය පැවසුවාය.
මේ අතර ඊට පහසුකම් සැපයීම සඳහා ආදායම් බදු පනත සංශෝධනය කිරීමට ද රජය විසින් කටයුතු කරගෙන යන බව නීතීඥ ලක්මාලි හේමචන්ද්‍ර සඳහන් කළාය.

ඇය සඳහන් කළේ, මෙම බදු සංශෝධනය මගින් අර්ථ සාධක අරමුදලට අමතර බලපෑමක් එල්ල කිරීමට රජය පියවර ගනිමින් සිටින බවයි.

ඒ, පොලී කප්පාදුවට එකඟ වන්නේ නැත්නම් 30%ක් දක්වා බදු වැඩිකරන බව කියමින් මේ වන විට ඊට අදාළ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව ඇය පැවසුවාය.

c128ab00 4567 11ee 9b58 cb80889117a8.jpg

මෙම කෙටුම්පත මගින් සේවක අර්ථ සාධක අරමුදලට අමතර බලපෑමක් එල්ල කරන බවත් එම යෝජනාව ඉතා අසාධාරණ බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

එමෙන්ම අර්ථ සාධක අරමුදලේ භාරකරු ලෙස කටයුතු කරන මහ බැංකු අධිපතිවරයා විසින්ම මෙහි සියලු දේ මුල සිට අග දක්වා සැලසුම් කොට ක්‍රියාවට නංවා ඇති බව පැවසූ ඇය, සේවකයින්ට මේ හේතුවෙන් ඊට එරෙහිව විරෝධය දැක්වීමට ඇති අවකාශය ඉතා සීමිත බවද පෙන්වා දෙනු ලැබුවාය.

මීට එරෙහිව සේවකයින් විරෝධතාවයන් මෙන්ම අධිකරණය හමුවේ පෙත්සම් පවා ගොනු කර ඇති පසුබිමක ඒවා පිළිබඳ කිසිදු සැලකිල්ලක් නොදක්වා අඩු ආදායම්ලාභීන්ගේ ඉතුරුම් මුදල් උපයෝගී කර ගෙන ධනවතුන්ගෙන් ගත් ණය සහ පොලී ගෙවීමට රජය පියවර ගනිමින් සිටින බව ඇය සඳහන් කළාය.

එමෙන්ම දැනට පාර්ලිමේන්තුව හමුවේ ගොනු කර ඇති ආදායම් බදු සශෝධන කෙටුම්පතට එරෙහිව සිය ඡන්දය භාවිතා කොට කම්කරුවන්ගේ ඉතුරුම් ආරක්ෂා කර ගැනීමේ වගකීම සියලු මන්ත්‍රීවරුන් සතුව ඇති බව නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර පැවසුවාය.

'මේකෙන් බලාපොරොත්තු වන දේ ප්‍රශ්නගතයි'

දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීමේදී සේවක අර්ථ සාධක අරමුදලට පමණක් ඉලක්ක ගතවීම සම්බන්ධයෙන් සිය පක්ෂය විරෝධය පළකරන බව ජාතික ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසුරිය බීබීසි සිංහල වෙත පැවසුවා ය.

ඇය සඳහන් කළේ ආණ්ඩුව පළමුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමක් නොකරන බවට පැවසූ බවත් එමෙන්ම සේවක අර්ථ සාධක අරමුදලට අත නොතබන බවට පොරොන්දු වූ බවයි.

කෙසේවෙතත් අවසානයේදී විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමක් නොකර දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලක්‌ කිරීමට ආණ්ඩුව පියවර ගනිමින් සිටින බව මන්ත්‍රීවරිය සඳහන් කළාය.

මෙහිදී සේවක අර්ථ සාධක අරමුදල ඉලක්ක කර ගෙන ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කිරීමට ආණ්ඩුව පියවර ගැනීම ආසාධාරණ ක්‍රියාවක් බවත් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ බර සාධාරණව බෙදී යා යුතු බවත් ඇය පෙන්වා දුන්නාය.

මෙවැනි ණය ප්‍රතිව්‍යූහගතකරණ ක්‍රියාවලියක් හරහා ලැබෙන ප්‍රතිඵලය කුමක්ද යන්න බරපතල ප්‍රශ්නගත කරුණක් බව ද මන්ත්‍රීවරිය වැඩිදුරටත් පැවසුවාය.

එමෙන්ම සේවක අර්ථ සාධක අරමුදලේ පොලී අනුපාත පහළ දැමීම සහ ආදායම් බදු සංශෝධන කෙටුම්පතට සිය පක්ෂය විරුද්ධ බවද ඇය අවධාරණය කළාය.

d901b5a0 4567 11ee 9b58 cb80889117a8.jpg

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අවශ්‍යයි විදේශිය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න'

මේ අතර දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ දී සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල මත පමණක් බර පැටවීමක් කර ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් බීබීසි සිංහල, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ ගෙන් විමසනු ලැබීය.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ දේශපාලන පැවැත්මට සටන් පාඨ සාදන පිරිස් කරන යෝජනාවෙන් අවසානයේ සිදුවන්නේ රටේ බැංකු පද්ධතියට බලපෑමක් ඇතිවන ආකාරයේ විසඳුමකට තල්ලු කිරීම බවයි.

එමගින් නැවත රටේ කලබලකාරී තත්ත්වයක් ඇතිවිය හැකි බව ද අමාත්‍යවරයාගේ අදහසයි.

"අපට බැහැ රටේ බැංකු පද්ධතියට බලපෑමක් එල්ල වන ආකාරයෙන් ජනතාවගේ තැන්පතු වලින් කපා හැරීමක් කරන්න, පොලී කපා හැරීමක් කරන්න, ආයෝජකයින් විසින් භාණ්ඩාගාර බිල්පත් හෝ භාණ්ඩාගාර බැඳුම්කරවල කර තිබෙන ආයෝජන කපා හැරීමක් කරන්න හෝ ඔවුන්ගේ විශ්වාසය කඩා වැටෙන අයුරින් කටයුතු කරන්න."

"එවැනි කපා හැරීමක් සිදුකළොත් අද ETF එක ගැන කිඹුල් කඳුළු හෙලන අය දැන ගන්න ඕන ඒක EPF / ETF අරමුදල් වලිනුත් කපා හරින්න රජයට සිදුවනවා කියලා."

"මේ දේශපාලනඥයින් උත්සහ ගන්නේ මේ වැඩපිළිවෙල කඩාකප්පල් කරල රට නැවත වරක් බරපතල ආර්ථික කඩා වැටීමකට තල්ලු කරලා ඔවුන්ට දේශපාලන වාසි ගන්න. නමුත් එය යහපත් දෙයක් නෙමෙයි."

"අධිකරණය විසින් ලබා දෙන තීන්දුවලට ගරු කරමින් පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවූ යෝජනාව ක්‍රියාවලියට නංවන්න අප සුදානමින් ඉන්නේ."

"මේ විදිහට අධිකරණ ක්‍රියාමාර්ගවලට නොගිහින් තිබුණා නම් පෙර යෝජනා කළ දිනවලට අනුව සියලු කටයුතු කරන්න තිබුණා. විශේෂයෙන් ද්විපාර්ශ්වික ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් කරන්න තිබ්බා."

"මේ නිසා යම් ප්‍රමාදයක් සිද්ධ වෙයි. නමුත් අපි විශ්වාස කරනවා මේක ජාතික අවශ්‍යතාවයක් නිසා අධිකරණය විසින් මේ සම්බන්ධයෙන් තීන්දුවක් අපිට ලබා දෙයි කියලා." රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ය.

"ඉදිරියේදී වෙළඳපොල තීරණය කරයි පොලි අනුපාතයන් ගැන"

"2025 වෙනකම් සියයට 12 කුත්, තව අවුරුද්දක් සියයට 09ක් සහ ඉදිරි කාලයේ දී වෙළඳපොළ විසින් පොලි අනුපාතයන් තීරණය කරාවි."

"විපක්ෂයේ බොහෝ අය සමාජගත කරන්නේ සාවද්‍ය තොරතුරුයි."

"අපිට තීරණය කරන්න වෙනවා ආර්ථික වශයෙන් බින්දුවට වැටිලා ඉන්නවද කිසිම කෙනෙක්ගෙන් සහයෝගයක් නැතිව, එහෙම නැත්නම් යළි එවැනි තත්ත්වයක් ඇති නොවෙන්න වගබලා ගන්නවද කියලා." රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

අනුන්ගේ සල්ලි ගැන තීරණයක් ගන්න පාර්ලිමේන්තුවට කොහෙන්ද බලයක් ?

මහ බැංකුව නිකුත් කර ඇති ඇතැම් භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ආයෝජනය කළ පෞද්ගලික අංශයේ ආයෝජකයින්ට 26% කට ආසන්න පොලී ප්‍රතිශතයක් ගෙවීමට කටයුතු කර ඇති පසුබිමක සේවක අර්ථ සාධක අරමුදල සඳහා ගෙවන පොලී ප්‍රතිශතය 9%ක් දක්වා පහත හෙලීමට සුදානම් වීම සැබවින්ම ගැටලු සහගත ක්‍රියාවක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ බීබීසී සිංහල වෙත පැවසුවේය.

ඔහු පැවසුවේ සේවක අර්ථ සාධක අරමුදලට පසුගිය වසරේ 14%ක පොලියක් ගෙවා ඇති බවත් නව පොලි අනුපාතිකය ක්‍රියාවට නංවනු ලැබුවහොත් එමගින් සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින්ට දැඩි ආසාධාරණයකට මුහුණ දීමට සිදුවන බවත්ය.

" උදාහරණයක් විදිහට ගත්තම දැනට සේවක අර්ථ සාධක අරමුදලේ රුපියල් ලක්ෂ 10ක ශේෂයක් තියෙන කෙනෙක්ට 14% ඉදලා 9% දක්වා පොලිය අඩු කළාම 5%ක් පොලියක් අඩුවෙනවා."
"එහිදී ලැබෙන පොලි මුදල වසරකට රුපියල් 50,000කින් අඩුවනවා කියලා හිතමු. එහෙම වුනොත් අවුරුදු 15ක් ගත වෙන කොට ඒ සාමාජිකයාට අහිමිවන මුදල රුපියල් හත්ලක්ෂ පනස්දහසක්."

"දැනට ගණන් බලා තිබෙන විදිහට වසර 2038 වෙද්දී සියයට 14 ක පොලී අනුපාතිකය අනුව ගියොත් EPF අරමුදල රුපියල් ට්‍රිලියන 25ක් දක්වා වර්ධනය වෙනවා. මේ වෙද්දී ගත්ත පියවර නිසා එම අරමුදලේ තියෙන්න යන මුදල ට්‍රිලියන 13යි."

"මේ අනුව බලනකොට ආණ්ඩුව EPF අරමුදලෙන් ට්‍රිලියන 12ක් අරන් ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න. සොච්චම් බද්දක් ධනපතියන්ට පනවලා ආණ්ඩුව සම්පුර්ණ බර එදාවේල හොයා ගන්න මහන්සි වෙන දුප්පත් මිනිස්සු මත පටවලා."

"ලොකු ධනපතීන් රුපියල් බිලියනයකට ආසන්න මුදලක් බදු වශයෙන් ගෙවීම් පැහැර හැරලා තියනවා කියලා පාර්ලිමේන්තුවේදී හෙළිවුණා."

"පාර්ලිමේන්තුවට මුල්‍ය බලය තියෙන්නේ කියලා පසුගියදා ජනාධිපති කිව්වා. මේ මුදල ජනතාවගේ. ඉතින් අනුන්ගේ සල්ලි ගැන බලයක් කොහෙද පාර්ලිමේන්තුවට තියෙන්නේ? එතැන නීතිමය ගැටලුවක් තියෙනවා. අපි ඒ වෙනුවෙන් සටන් වදිනවා." ඔහු වැඩිදුරටත් පැවසීය.

සමාජ ආරක්ෂණ දායක බදු කෙටුම්පතක් පාර්ලිමේන්තුවට

මේ අතර, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව සමාජ ආරක්ෂණ දායක බදු කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති බව සමගි ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න බීබීසි සිංහල වෙත පැවසුවේය.

මන්ත්‍රීවරයා සඳහන් කළේ අර්ථ සාධක අරමුදල සඳහා යෝජනා කර ඇති 9% ක පොලි ප්‍රතිශතයට එකඟ නොවන්නේ නම් සේවක අර්ථ සාධක අරමුදලෙන් දැනට අයකරන 14%ක් වූ බද්ද 30% දක්වා වැඩි කළ යුතු බවට නව බදු කෙටුම්පතෙන් යෝජනා කර ඇති බවය.

"මේක බොහොම ආසාධාරණයයි. සියලු දෙනාම මේ බද්දට වගේම පොලිය පහල දැමීමට එරෙහි වන්න ඕන." මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අද මොකද වෙන්නේ ?

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු අනෙකුත් විශ්‍රාම වැටුප් අරමුදල් මත රජය විසින් පැනවීමට යන ආසාධාරණ පොලි ප්‍රතිශත පහළ හෙලීමට එරෙහිව අද (අගෝස්තු 28 වැනිදා) කොළඹදී විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට නියමිත බව සිවිල් ක්‍රියාකාරිකයෙකු වන තරිඳු උඩුවරගෙදර බීබීසි සිංහල වෙත පැවසුවේය.

ඔහු සඳහන් කළේ, "යුනයිට්" නමින් හඳුන්වන වෘත්තීය සමිති එකමුතුව විසින් ආණ්ඩුව ගෙන යන ආසාධාරණ වැඩපිළිවල රැසකට එරෙහිව මෙම විරෝධතාව පැවැත්වීමට සැලසුම් කර ඇති බවය.

බැංකු සේවක සංගමය, එක්සත් කම්කරු සංගමය, ගුරු සංගමය, ටෙලිකොම් ඇතුළු වෘත්තීය සමිති ගණනාවක් සහ සංවිධාන රැසක් එකමුතුවෙන් මෙම විරෝධතාවය පැවැත්වෙන බව ඔහු සඳහන් කළේය.

මෙහිදී සේවක අර්ථ සාධක අරමුදලේ පොලි අනුපාතය පහත හෙලීමේ උත්සාහය පමණක් නොව සෞඛ්‍ය කේෂ්ත්‍රයේ මෙන්ම ගොවීන් මුහුණ දී ඇති ජල ගැටලු ඇතුළුව සියලුම ක්ෂේත්‍ර ආවරණය වන පරිදි විරෝධතාවය ක්‍රියාත්මක කරන බව ද තරිඳු උඩුවරගෙදර පැවසුවේය.
(BBC සිංහල සේවය)


  

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්