රනිල් හදන්නේ ලංකාව දකුණු ආසියාවේ යුක්රේනය කරන්නදැයි ප්‍රශ්න කෙරෙන, 'ද ලිඩර්' පළ වූ මහාචාර්ය චරිත හේරත්ගේ අදහස් දැක්වීම කියවන්නැයි මගෙන් ඉල්ලා සිටි පාඨකයෙක් මෙවැනි අපතයන් රටට සිදු කරමින්

සිටින විනාසය, ඔහුට මතක් කර, අනේ රනිල්ටත් රටට යමක් කිරීමට අවස්ථාවක් සලසා තමන්ගේ වැඩක් බලා ගන්නැයි චරිත හේරත්ට වටහා දෙන්නැයි ඉල්ලා සිටියේය.


සත්තකින්ම චරිත හේරත් යනු වර්තමාන දේශපාලනයෙහි නො තකා හැරිය යුතු චරිතයකි. චරිත, ජී.ඇල්. පීරිස්, ඩලස් ආදින් සමග රාජපක්ෂලා බලයෙන් පහ වූ  පසුව පොහොට්ටුවෙන් වෙන්වී සිටිති. තම පැවැත්ම වෙනුවෙන් තැන නො තැන දන ගා,  ආත්මය කෙළෙසා ගත් ජී.එල්. පීරිස් ගාණට චරිත , ඩලස් වැටීම යනු ඔවුන් සතු අයිතියකි. එහෙත් රනිල් සමග ජනාධිපති තනතුරට තරග කරමින්, සජිත් ප්‍රේමදාසගේ ලණුව ගිල්ල මේ ත්‍රීමූර්තිය සිය අනාගතය සුරක්ෂිත කර ගැනීමට තැන තැන ඇවිදිති.

charitha herath
තේ එකට සීනි මදි කී විට නැවත බිත්තියට මුවා වී තේ කෝප්පයට හැන්දක් දමා සද්ද ඇහෙන්න කාල් ගා නැවත තේ මේසයට එවන ගමේ තේ කඩ කාරයාගේ ගැනට වැටුණ චරිතලාට මේ රටේ සාමාන්‍ය මිනිසුන් වෛර කිරීම නම් ඛේදවාචකයෙකි. එහෙත් ඕනෑම විගඩමකට අඳින, ජී.ඇල්. පිරිස් සමග චරිත හේරත් කෙසේ වෙතත් ඩලස් පෙළ ගැසීම යනු අපත කතාවටත් වඩා බාල හැඳින්වීමකට සුදුසුකම් ලබන්නාහ.

ඩලස්ට යම් අතීතයක් තිබිණ. මැයි 9 වෙනිදා මහින්දට අගමැති කමෙන් අස්වන ලෙස ලිඛිතව දැන්වීමක් යවන දවසටත් ඩලස් යම් තරමකට චරිතයකි. (මහින්දට අභියෝග කළ ඩලස් රනිල්ට එකතු නො වීම නිසා කපා හරින්නේදැයි කෙනෙකුට ඇසිය හැකිය.) නැත. අරගලය නොවිණි නම් රාජපක්ෂලා යනවා බොරුය. ඩලස් මහින්දට යැවූ ලිපිය, අරගලයෙන් ලැබූ උත්තේජනයකි. එහෙත් ඩලස් සජිත්ලාට එකතුවී ගෙදර යාමට බඩු බඳිමින් සිටි රාපක්ෂලාට වැඩෙන්නට හැර, රනිල් කොටුමස් කිරීම හේතුවෙන් බැසිල්, සාගර කාරියවසම්ලාට ප්‍රකාශ නිකුත් කිරීමට අවකාශ සැලසීමේ පාපයට ඩලස්ද වගකිව යුතුවේ.

 

50887204 356075161841299 1647620051123044352 n
 අරගලයේ තේමාව රට හෙම්බත් කළ පීඩාව මිස, රාජපක්ෂ විරෝධය නොවන අතර රාජපක්ෂලා භාරගත් අවස්ථාවේ රට අපායක්ව නො තිබිණ. රටේ පීඩනයට හේතුව සිය කෙරුවාව බව  චේතනාන්විතව පිළිගත් රාජපක්ෂලා ස්වේච්ඡාවෙන් පළා ගියේ කාට හෝ රට ගොඩ දැමීමේ ඉඩකඩ සලසමිනි. ඒ අවස්ථාවේ, සජිත්  හෝ අනුර වගකීම භාර නො ගත්තේ බැරිකම නිසා මිස නල්ලමලේ ජන වරමක් ගැන හිතලා නොවන බව පත්තර කාරයෙකු වන ඩලස්ට නො තේරෙනවා නොවේ.

 දැන් ඩලස් කරන්නේ තමන් විශ්වාසය කළ දේශපාලනය ශක්තිමක් නොව ජී.එල්.ලා චරිතලා සමග කල්ලි ගැසී සජිත් ප්‍රේමදාස ට හෝ අනුර කුමාරට ජැක් ගැසීමට උත්සාහ කිරීම ය.  රටේ බලය ඇල්ලීමට ආර්. ප්‍රේමදාස ක්‍රමයට මිනිසුන්ට මොනවා හෝ ඛෙදා උත්සාහ කරන සජිත් යනු බංකොලොත් රටට සාපයක් මිස උත්තරයක් නොවේ. අනුරු කුමාර.... ?  නියඟයෙන් ගොවිතැන් පාළු වූ ගොවින් පිරිවරා සමනල වැව වැව් බැම්ම කැඩීමට ගිය නාමල් කරුණාරත්න මෙහෙය වූ නායකයා ය. රාජපක්ෂලාගෙන් ගැලවුණ රටේ මිනිසුන් ඉල්ලා සිටින්නේ ක්‍රමයක් මිස හාදයෙක් නොවේ. තමන් විශ්වාස කළ ක්‍රමය සාක්කුවේ දමා ගෙන බැසිල් රාජපක්ෂලා අනුව ගිය ඩලස්ට, තෝරා ගැනීමක් ඇත්තේම නැත. චන්ද්‍රිකා වමට සිග්නල් දමා දකුණට හැරුණා කියා රටත් එපාවී අමෙරිකාවට ගිය ඩලස්, 2005 දී මහින්දට එක්ව 2022 මැයි 8 වෙනිදා කෙලවෙන තෙක් රාජපක්ෂලාට සුවච කීකරුව සිටීමත්, වර්තමාන හැසිරීමත් අතර කිසිදු වෙනසක් නැත.

 
 අද රනිල්ට එරෙහි බලවේගයක් නිර්මානය කිරීමට තැන තැන ඇවිදින ඩලස්ලා චරිතලා සීනි බදු ඩීල් ගැසූ, ඍජු බදු නතර කළ රාජපක්ෂ ආණ්ඩුවේ බුරුල් වූ ඇණ මුරුච්චි බව තේරුම් ගෙන චරිතට දෙකක් ලියන්නැයි මා උනන්දු කළ පාඨකයන් තුළ පවත්නා කෝපය රට විනාස කිරීමට දායකවිම ගැන සමාව තබා කණගාටුව හෝ ප්‍රකාශ කර නැති නිසා විය හැකිය.

117840579 3345734942152464 8576549720272328856 n
ගෝඨාභය හරහා මහතීර්ලා ලී ක්වාන් යූලා දුටු මහාචාර්ය චරිත හේරත් කියන දකුණු ආසියාවේ යුක්රේන කතාව සතාගේ හැටියට ගැලපෙන අං තට්ටුවට වඩා යමක් නොවේ. ගෝඨාභය රටේ ජනාධිපති හැටියට දිළිසෙමින් සිටියදී කොවිඩ් වසංගතය තුනී වීම සමගම පෙළ ගැසුණ, ගුරු වැටුප් වර්ජනය අළලා චරිත හේරත් ලංකාදිපයට ලියූ ගුරු සිත රිදිලාද යනුවෙන් ලියූ ලිපිය පමණක් ඩලස් චරිත ජී.එල්. කල්ලියේ දේශපාලන වහල් දැක්මට උදාහරණයකි.

 ඒ ලිපියට අනුව, ගුරු වර්ජනය කියන්නේ කුමක්ද? කොරෝනා වසංගතය නිසා වසර එක හමාරකට වැඩි කාලයක් ගෙදරට කොටු වී සිටි ගුරුවරුන් තුළ ඇතිවූ මානසික ආතතිය පිට කර ගැනීමට පාරට බැසීමක් මිස, වැටුප් සටනක් නොවන බව කියන චරිත හේරත්, ජෝෂප් ස්ටාර්ලින් නිරෝධායනයට ගෙන නො ගියා නම් ගුරු සංහතියට වැටුප් විෂමතාව දැනුණේ නැතියි ලියා තිබේ. 1994 සිට ආණ්ඩු හතක් විසින් නො විසඳූ ගුරු වැටුප් ගැටලුව එදා චරිත හේරත් සමච්චලයට ලක් කළේ රට බංකොලොත් කළ ගෝඨාභයගේ ආරක්ෂාව වෙනුවෙනි.

රටේ පැවති ආර්ථීක හා වසංගත තත්වය නො තකා මෙසේ වර්ජනය කිරීම මූලික වෘත්තීය සටන් ආචාර ධර්ම කඩ කිරීමක් ලෙස චෝදනා කළ චරිත හේරත්ට බදු ගැසීමට එරෙහිව විශ්වවිද්‍යාල ප්‍රජාව පාරට බැසීමෙන් උසස් පෙළ දරුවන්ගේ ප්‍රතිපල පමා කිරිමත් වෘත්තීය සටන් ආචාර ධර්ම කඩ කිරීමක් ලෙස දැනුණේ නැත.

ඒ ලිපිය පුරා චරිත හේරත්ගුරු සංහතිය සමච්චලයට ලක් කරයි. රටේ සිටින 249944ක ගුරු සංහතියෙන් ගුරු 121569ක් හෙවත් 47.7%ක් ගුරුවරු කිසිම පුහුණුවක් නැති මැට්ටන් බව සඳහන් කළ, චරිත හේරත් සිය ලිපියෙන් ගුරුවරු සටන් කළ යුත්තේ වැටුප් සඳහා නොව සිය වෘත්තිය තත්වය වැඩිදියුණු කර ගැනීමට බවට ඉඟි කළේ ය. අද චරිතලා මේ දඟ කවන්නේ 1986 විද්‍යා පීඨ ඇති කොට ගුරු සේවය නිත්‍ය වෘත්තීය මට්ටමට ඔසවා තැබිමට ක්‍රියා කළ රනිල් වික්‍රමසිංහ පළවා හැරීමටය.

 චරිතලාගේ කාසියේ දෙ පැත්තම ඇත්තේ බූරු මූණකි. තමන්ට නායකත්වය දුන් පාලකයා රටක් විනාස කරද්දී වෘත්තීය සටන් හෙළා දුටු මේ අපතයන් අදත් රටට ශක්තියක් වීමට කල්පනා නො කරති. බලයේ සිටින විට තම පැවැත්මට කසඩයන් වන විපක්ෂයට ගිය විට මානව හිතවාදින් වන මේ මිනිස්සු රටේ හෙට දවස වෙනුවෙන් කිසිදාක කළ දෙයක් තිබේදැයි ඔවුන් තමන්ගෙන්ම අසා දැන ගත යුතුවේ.


චරිත හේරත් ලංකාදිපයට ලියූ ඒ ලිපියේ ඉතාම අනුවේදනීය කොටස උපුටා දක්වනු කැමැත්තෙමි. '' වෘත්තීය ක්‍රියා මාර්ගයකට ආදර්ශයට ගත යුත්තේ දේශපාලන ක්‍රියා මාර්ග සඳහා ලෙනින් ලබා දුන් සමහර සටන් පාඨයන් ය. ලෙනින් කීවේ පියවරක් ඉදිරියට පියවර දෙකක් පසුපසට නැවතත් වේගයෙන් ඉදිරියට කියා ය. මා කියන්නේ දැන් පියවර දෙකක් පසුපසට ගොස් රජයට මේ සඳහා අවස්ථාව ලබා දිය යුතු බවය. එහෙත් කණගාටුවට කාරණය වන්නේ අපේ ගුරු භවතුන් ලෙනින්ව අමතක කර ස්ටාර්ලින් අනුගමනය කිරීමය.''

අප විමසිය යුත්තේ චරිත හේරත් ඩලස් අලහප්පෙරුම, ජී.එල්. පීරිස් මේ සිදු කරමින් සිටින්නේ ලෙනින්ට අනුව ඉදිරියට යාමද හෝ පස්සට යාමද කියාය.
IMG 2657

 ජනාධිපති ලෙස ගෝඨාභය අනුරාධපුරයේදී දිවුරුම් දුන් 2019 නොවැම්බර් 18 වෙනි දින ලංකාදීපය හරහා මහාචාර්ය චරිත හේරත්, මෙසේ ලියා තිබේ. රටේ ජනතාව ගෝඨා ජනාධිපති බලයට පත් කළේ රටේ (අ) ජාතික ආරක්ෂාව (ආ)  ආර්ථීකය හා (ඇ) රාජ්‍ය යන්ත්‍රණය යන කරුණු තුන ශක්තිමත් කිරීම සඳහා ය. එහෙත් වසර තුනක් ඉක්මීමට පෙර රටේ (අ) ජාතික ආරක්ෂාව (ආ)  ආර්ථීකය හා (ඇ) රාජ්‍ය යන්ත්‍රණය අවුලෙන් අවුලට පත්වීම හේතුවෙන් හැට නව ලක්ෂයක් පත් කළ විධායක ජනාධිපති වෙනුවට, එක් මන්ත්‍රී අසුනකට සීමාවූ රනිල් රටේ විධායක ජනාධිපති ලෙස පත් කිරීමට පොදු ජන පෙරමුණ ක්‍රියා කළේ රටේ යහපතට වඩා තම ආරක්ෂාවටය.  

 
2001දී රටේ අගමැති වූ රනිල් වික්‍රමසිංහ ආර්ථීකය යහපත් වන තෙක් රස්සා නොදීම ආර්ථීකයට මිස, එජාපයට යහපත් නොවීය. ගෝඨා උපාධි ධාරින් හැට පන් දහසකට එක් රැයින් රස්සා දීම පොහොට්ටුවට මිස ආර්ථීකයට යහපතක් නො වීය. රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ නිදහස් ලබා වසර සියයක් ගෙවුණ තැන ලංකාවේ පැවැත්ම ගැන සඳහන් වේ.

එස්.බී.දිසානායක හිතන විදියට රනිල් එළවා යළි රාජපක්ෂලා පැමිණිය හැකිය. ඒ අභියෝගයට මුහුණ දීමට ජනාධිපති රනිල් වටා විපක්ෂය ඒකරාශි විය යුතුවේ. අරගලය දිනා දුන් ජන වරම යනු රනිල් ය. පාර්ලිමේන්තු බහුතරය රනිල් තෝරා ගත්තේ රටේ  පීඩනය නිසාය. 2022 ගෝල්පේස් අරගලය රටට අවශ්‍ය දැක්ම තෝරාදී හමාරය. තමන්ට  අවශ්‍ය කාගේත් සහාය බව රනිල් කියන්නේ ක්‍රමයක් හඳුනා ගැනීමට ඇති කැමැත්ත නිසා ය.

අයිඑම්එෆ් යන්න එපා නම් විකල්පය කියන්නැයි රනිල්  කියන්නේ වෙනත් පිළියමක් නැති නිසා ය. 2020 මහ ඡන්දයෙන් ප්‍රතික්ෂේප වූ රනිල් වික්‍රමසිංහ, 2022 බලයට පත් වුණේ පුද්ගලයෙක් ලෙස නොවේ. රටට විසඳුමක් හැටියටය. චරිතලා ඩලස්ලා ජී.එල්.ලා එය නො දන්නවා නොවේ. අද වාහන දුවන්නේත්, දරුවන් පාසල් යන්නේත් රටේ පෙරහැර කරන්නෙත් 2022දී ලැබුණ විසඳුම නිසා ය.


chandrasiri senevirathne
(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

විංසති සඟරාවෙන් උපුටා ගන්නා ලදි.




සබැඳි ලිපිය :
රනිල් හදන්නේ ලංකාව දකුනු ආසියාවේ යුක්ක්‍රේනය කරන්නද? - (මහාචාර්ය චරිත හේරත්)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්