මරාගෙන මැරෙන සටනින් නොමැරී රැකෙන සටනට!
මෙය ආර්ථික අර්බුදය හමුවේ දරුවන් 15 දෙනෙකු සමග ජීවිතය ගැටගසාගන්නට නොමැරී මැරෙන තාත්තලා පස්දෙනෙකු සහ අම්මලා තිදෙනෙකු ගැන කතාවකි. විශේෂය වන්නේ ඔවුන් සිය ළමා වියේදී මරාගෙන මැරෙන යුද්ධයක සොල්දාදුවන් ලෙස බරපතළ ආබාධිත තත්ත්වන්ට ගොදුරු වූවන් වීමය.
========================
කන්දසාමි නාගේෂ්වරී
ජීවිතයේ පළමු වරට යුද ඇඳුමක් හැඳ, ස්වයංක්‍රීය ගිනි අවියක් අත දරන විට කන්දසාමි නාගේෂ්වරී පාසලේ හත වසරේ දැරියකි. ඒ, විවිධ ප්‍රසංගයක, නාට්‍යයක හෝ විකට ඇඳුම් තරගයක නිරූපණයක් ලෙස නොවේ. බිහිසුණු ගිනි අවි පිපිරෙන, මරණය හොල්මන් කරන සැබෑ යුද බිමක, සැබෑවටමය!
‘‘1996දී මඩකලපුවේ වාකනේරිවල ඉන්නකොට තමයි මාව එල්.ටී.ටී.ඊ. එකෙන් අරන් ගියේ. 2000 අවුරුද්දෙ, අලිමංකඩ සටනේදී ක්ලේමෝ එකකට මාව තුවාල වුණා. කකුල් දෙකටම වෙඩි වැදුණා. එක කකුලක් කපන්න සිද්ධ වුණා. අනිත් කකුලත් බරපතළ විදියට ආබාධිත වුණා. එතකොට මගේ වයස අවුරුදු 16යි.‘‘
ඇගේ ජීවිතය බේරී තිබුණේ අනූනවයෙනි. තවත් වසර හතක ඇවෑමෙන්, 2007දී කරුණා අම්මාන් එල්ටීටීඊයෙන් බිඳී යෑමත් සමග ඇයද ඉන් මිදී ආපසු ගමට පැමිණියාය. එහෙත් ඒ වන විට ඇගේ යැයි කිවහැකි කිසිවකු ඉතිරි වී සිටියේ නැත. ඇයට වඩා වසර 19ක් වැඩිමල් මිනිසකු ඇය කෙරෙහි සානුකම්පිත විය.
‘‘එයාගෙ කලින් බිරිඳ මියගිහින්. එයාට ගෑනු ළමයින්ම පස්දෙනෙක් හිටියා. එයා මාව කසාද බැන්දා. අපට පුතෙක් ලැබුණා. මහත්තයා කළේ ධීවර රස්සාව. අපි බොහොම අමාරුවෙන් තමයි ජීවිකාව කරගෙන ගියේ. දැන් එයාට අවුරුදු 58යි. අසනීපයි. ඒ නිසා රස්සාවක් කරගන්න විදියක් නැහැ. රජයෙන් මට ලැබෙන රු. 5,000 ආබාධිත දීමනාවෙන් තමයි අපි ජීවත් වෙන්නේ.“
වැළලූ අතීතයක ජීවමාන සාක්ෂි!
නාගේෂ්වරීගේ කතාව, නොදරු වියේදී බිහිසුණු ඉරණමකට ඇද දැමූ එක් දැරියක පිළිබඳ ඛේදවාචකයක් නොවේ. එය, කිසිදු වගවිභායකින් තොරව වළලා දැමුණු ඉතිහාසයේ එක් අඳුරු කාලපරිච්ඡේදයක් දෙසට, අකුණු සැරයක් මෙන් ක්ෂණිකාලෝකයක් විහිදුවන්නකි. තිස් වසරක යුද ඉතිහාසය තුළ, බලහත්කාරයෙන් ළමා සොල්දාදුවන් බවට පත් කළ පිරිස කොපමණද, එයින් කොපමණ පිරිසක් මියගොස් ඇත්ද යන්න දන්නා කෙනෙකු නැත. ඒ තබා, ආබාධිත තත්ත්වයට පත්ව තවමත් ජීවත්වන පිරිස කොපමණද යන්න ගැන පවා, යුද්ධය නිම වී 13 වසරකට පසුවත් කිසිදු සොයාබැලීමක් නැත. නැගෙනහිර පළාතේ අම්පාර හා මඩකලපුව යන දිස්ත්‍රික්ක දෙක පදනම් කරගෙන, අපේ ශක්ති ප්‍රමාණයෙන් කළ සොයාබැලීමේදී හමු වූ, එවැනි නව දෙනෙකු පිළිබඳ තතු මෙම ලිපියට පාදක වෙයි. ඔවුන් පිළිබඳ අතීත කතා පුවත් මෙන්ම වර්තමාන කතා පුවත්ද හදවත් කම්පාකරවනසුලුය.
එම නවදෙනාගෙන් එක් අයකු හැර අන් සියලු දෙනාම යුද පුහුණුවට රැගෙන ගොස් ඇත්තේ, පාසල් අධ්‍යාපනය ලබමින් සිටියදී, බලහත්කාරයෙනි. තිදෙනෙකු ගැහැනු වන අතර පිරිමි 6 දෙනෙකි. සියලු දෙනාම 12-17 වයස්වල පසුවූවන්ය. ඔවුන්ගෙන් 5 දෙනෙකුම ආබාධිත තත්ත්වයට පත්ව ඇත්තේ, යුදබිමට ගොස් සිව් වසරක් ඇතුළතදීය.
සමීක්ෂණයට ලක් වූ නවදෙනා- අබාධවල ස්වභාවය අනුව:
යුද වැද මියගිය පිරිසක්, ජාතියක විමුක්තිය උදෙසා දිවි පිදූ විරුවන් ලෙස දෙස් විදෙස් අවකාශයන්හි අනුස්මරණය කෙරෙද්දී, සිය ළමා වියේදීම එම යුදබිම්වලදී අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වූ මෙම පිරිස අද ගෙවන දිවිය අතිශයින් දුක්බරය. ඔවුන් බොහෝ දෙනෙකු පැවසුවේ, සියල්ලන් විසින් තමන් අමතක කර ඇති බවයි. ‘‘ඒ විතරක් නෙවෙයි, මොනවහරි කුලීවැඩක් හොයාගන්න නගරෙට ගිහින් එන ටිකටත් මිනිස්සු කතන්දර හදනවා. ඇයි අපිට එහෙම කරන්නේ?“ එක් කාන්තාවක් විමසුවාය.
මඩකලපුව කරවඩ්ඩේ ප්‍රදේශයේදී අපට මුණගැසුණු සෙල්වරාසා සුරේෂ්, 2005 වසරේදී පාසලට යන අතරතුර එල්ටීටීඊය විසින් රැගෙන යන විට ඔහුගේ වයස අවු. 17කි. ඔහු සමග රැගෙන ගිය අනිත් මිතුරන් ජීවතුන් අතර සිටිනවාද නැත්ද කියාවත් ඔහු දන්නේ නැත. හරියටම වසර දෙකකට පසු ඔහු බරපතළ ලෙස ආබාධිත විය.
‘‘2007 මාවඩිඕඩේ කියන ප්‍රදේශයේදි හමුදාව සමග සිදු වූ ගැටුමකදී මට වෙඩි වැදුණා. මගේ එක අතක් මුලින්ම කැඩුණා. අනිත් අතේ ඇඟිලි හතරක් නැහැ. මාස තුනක් වව්නියාව පුනරුත්ථාපන කඳවුරක හිටියා. 2007දිම නැවත ගෙදර එන්න පුළුවන් වුණා. පස්සේ මම ගමට ඇවිත් කසාද බැන්දා. දැන් මට දරුවො දෙන්නෙක් ඉන්නවා.‘‘
‘‘අත් දෙක නැති නිසා රක්ෂාවකට යන්න බැහැ. මගේ අයියාත් යුද්දෙදි නැති වුණා. අපි දෙමළ ජනතාව වෙනුවෙන් යුද්ධයට ගියාට දෙමළ දේශපාලන නායකයින් අපි ගැන බලන්නේ නැහැ. මම කියන්නේ ජීවත්වෙන්න අඩු තරමෙ එළුවෝ හරක් ටිකක් වත් අරන් දෙන්න කියලා.‘‘
‘‘2000 වසරෙදි අපි ගෑනු ළමයි පස්දෙනෙක් වතුර ගේන්න පොදු ළිඳට ගියා. එතනදි සංවිධානේ අය, අපි හතරදෙනෙක් පැහැරගෙන ගියා. එහෙම අරගෙන ගිහින් යාපනයේ කඳවුරක තමයි හිටියේ. 2001 වසරේදී පලෙයිවල තිබුණ සටනකදී මගේ කකුල් දෙකටම බරපතළ හානි සිද්ධ වුණා. එක කකුලක් කැපුවා. අනිත් කකුල ආබාධිතයි. 2004දී ගෙදර එන්න ලැබුණා. 2006දී කසාද බැන්දා. මට ළමයි හතරදෙනෙක් ඉන්නවා. ලොකු දරුවට කථා කරන්න බැහැ. එයා ළමා නිවාසයක ඉන්නේ. ඒ අතරෙ මගේ මහත්තයා මාව දාලා ගියා. අද අන්ත අසරණ තත්වයට පත්වෙලා ඉන්නෙ.‘‘
අම්පාර තිරුක්කෝවිල් හිදී මුණගැසුණු කන්දසාමි ශාන්ත කුමාර්, සිය අත්දැකීම මෙසේ විස්තර කළේය:
‘‘මට අවුරුදු 16දී ඒ අය ඇවිත් මාව අල්ලගෙන ගියා. එහේදී අපිට ආයුධ පුහුණුව දුන්නා. සංවිධානෙන් මට දුන්න නම, ‘සුන්දර රාජන්‘. සටනකදී මට වෙඩි වැදිලා අත සහ කකුල් දෙකම ආබාධයට ලක් වුණා. අවුරුදු 38දි තමයි සංවිධානෙන් මිදිලා ආපහු ගමට ආවෙ. දැන් මගේ වයස අවු. 45යි. ආබාධිත නිසා කවුරුවත් රස්සාවක් දෙන්නෙ නැහැ. ඉතින් විවාහ වුණෙත් නැහැ.‘‘
‘‘අපේ තාත්තට තිබුණ අක්කර දෙකක ඔප්පු සහිත ඉඩම යුද්ධය ඉවර වෙනවාත් එක්කම වන සංරක්ෂණයට අයිති කරගෙන. මට බර වාහන ලයිසන් තියෙනවා මම ඉල්ලීමක් කරනවා විදේශ රටක රියදුරු රැකියාවක් ලබාදෙන්න කියලා.‘‘
සුබ්‍රමනියම් තිරුවාකරන්, මඩකලපුව, කුරුන්ද අඩි, කාංචනකුඩා ගම්මානයෙහි පදිංචිකරුවෙකි. වයස අවුරුදු 16දී ඔහුගේ ඉරණම, වැරදි රූලක ලියැවී තිබිණි.
මඩකලපුව, කාංචනකුඩා, කර්යත්කාන්තිව් හි පදිංචි සිවානන්දම් ගෝකුලම්, 2006 වසර වන විට 16 හැවිරිදි පාසල් සිසුවෙකි.
වඩිවෙල් වසන්ති අපට හමුවුණේ මඩකලපුව තාන්ඩිඅඩි වව්නතිව් ප්‍රදේශයේදීය. ඇගේ අත්දැකීමද පෙර කී කතා මෙන්ම බියකරුය.
‘‘1996 දී මම පාසැල් යද්දි තමයි එල්.ටී.ටී.ඊ. එක ඇවිත් මාව අරන් ගියේ. එතකොට මගේ වයස අව්රුදු 14 යි. මම අව්රුදු 10ක් සංවිධානයේ හිටියා. 1998 අලිමංකඩ සටනේදි තමයි මට වෙඩි වැදුණේ. ඒකෙන් මගේ වම් පැත්තේ එක ඇහැක් පේන්නේ නැහැ. ඒ පැත්තෙම කන ඇහෙන්නෙත් නැහැ. 2006 වසරේදි මම ගෙදරට ආවා. 2007දී කසාද බැන්දා 2008දී පුතා මට හම්බ වුණා. ඊට පස්සේ බැදපු කෙනා මාව දාලා ගියා.‘‘
‘‘එදා ඉදලා ජීවත්වීම ප්‍රශ්නයක්. මගේ අම්මයි තාත්තයි දෙන්නම වයසයි. මේ සියලුදෙනා ගැන බලන්න වෙලා තියෙන්නේ මට. මම උදේ මඩකලපුව ටවුමට ගිහින් මොකක් හරි වැඩක් කරනවා දවසට රුපියල් 200ක් දෙනවා. පොල්ලෙලි ගැහුවොත් 250ක් හම්බ වෙනවා. රජයෙන් කියලා මට මොනවත් හම්බවෙන්නේ නැහැ.‘‘
‘‘මම එල්.ටී.ටී.ඊ් සංවිධානයට බැඳුණේ කැමැත්තෙන්. අපි කීප දෙනෙක් ගිහිල්ලා සංවිධානයට එකතු වුණා. 2001 වසරේදි යාපනයේ හමුදාව සමග පැවැති සටනකදි මගේ කකුලට බට්ටෙක් පෑගිලා තුවාල වුණා. එක කකුලක් කපන්න සිද්ධ වුණා. මම ගෙදර ආවේ 2007 වසරේදි. පස්සේ පුනරුත්ථාපනය වෙලා, විවාහ වුණා. මට දරුවන් දෙන්නෙක් ඉන්නවා. පිරිමි දරුවා ආබාධිත තත්වයේ ඉන්නේ එයාගේ ඉනෙන් පහළ පණ නැහැ. දැනට මම කුඹුරු කරලා ජීවත්වෙනවා.‘‘
අපට හමු වූ වැඩිම හානියට ලක් වූ පුද්ගලයා අත් දෙකම හා කකුල් දෙකම අහිමිවූවෙකි. එහෙත් ඔහු මාධ්‍යයට මුහුණදීමට කැමැති වූයේ නැත. තවමත් ඔත්තු සේවා තමන් නිරීක්ෂණය කරන බවට දැඩි සැකයකින් පසුවීම හා හිටපු එල්ටීටීඊ සටන්කරුවකු ලෙස ප්‍රකට වීම පාසල් යන දියණියට හානිකර වේය යන අදහස ඒ තීරණයට හේතු වූ බව පෙනිණි. අපි ඔහුගේ කැමැත්තට ඉඩ දුනිමු.
පුනරුත්ථාපනය සහ ජීවනාධාර
යුද්ධයට සම්බන්ධ වූවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳව අදාළ බලධාරීන් බොහෝ අභිමානයෙන් කතා කරන නමුත් අපේ සමීක්ෂණයට පාදක වූ නව දෙනාගෙන් පුනරුත්ථාපනයට ලක් වී ඇත්තේ සිව් දෙනෙකු පමණි. කාන්තාවන් තිදෙනාද ඇතුළු ඉතිරි පස් දෙනාම, එනම් බහුතරය කිසිදු ආකාරයක පුනරුත්ථාපන වැඩපිළිවෙළකට හසු වී නැත. එමෙන්ම පාසල් අධ්‍යාපනය ලබමින් සිටියදී පැහැරගැනීමට ලක් වූ ඒ කිසිවකුට, බිඳවැටුණු අධ්‍යාපනය යළි ආරම්භ කිරීමට හෝ වෘත්තීය පුහුණුවකට අවස්ථාවක් ලැබී නැත.
විවාහය, දරුවන් හා පවුල් ජීවිත
අපේ සමීක්ෂණයට ලක් වූ නව දෙනාගෙන් එක් අයකු හැර අටදෙනෙකුම විවාහ දිවියට ඇතුළත්ව සිටීම විශේෂ කාරණයකි. ඉන් දෙදෙනෙකුගේ ස්වාමිපුරුෂයන් පවුල් හැර ගොස් ඇති අතර එක් අයකුගේ ස්වාමිපුරුෂයා රැකියාවක් කරගත නොහැකි දැඩි අසනීප තත්ත්වයක පසුවෙයි. විවාහ වූ සියලු දෙනාට දරුවන් සිටින අතර එම පවුල් අටෙහි සමස්ත දරුවන් සංඛ්‍යාව 15කි. ඒ සියලුම දෙනා පාසල් වියෙහි පසුවෙති. එයින් දෙදෙනෙකු විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ය. දැඩි ආර්ථික පීඩනයක් තුළ ඉතා අසීරුවෙන් දිවි ගෙවන මෙම දරුවෝ පෝෂණය, සෞඛ්‍යය, සමාජානුයෝජනය, අධ්‍යාපනය ආදී බොහෝ පැතිවලින් ගැටලුවලට මුහුණ දෙති. ඔවුන්ගේ මව්වරුන්ට හෝ පියවරුන්ට ළමා විය අහිමි විය; තරුණ විය අසුන්දර විය; වැඩිහිටි විය අතිශයින්ම දුෂ්කර විය. මහළුවිය ගැන සිතාගැනීමටවත් නොහැක. ඔවුන්ගේ දරු පරපුර මේ විසම චක්‍රයෙන් ගලවාගැනීමට නම්, මෙම දරුවන් වෙනුවෙන් අතිශය දැනුවත් හා සංවිධිත වැඩපිළිවෙළක් නොපමාව දියත් විය යුතුව තිබේ. එසේ වුවද වඳපීදුණු රාජ්‍යතන්ත්‍රයකින් එවැනි ආශ්චර්යයක් සිදු වෙතැයි සිතිය නොහැක. දරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳව උනන්දුවක් දක්වන විද්වත් පාර්ශ්වවල අවධානය මේ කෙරෙහි යොමු විය යුත්තේ එබැවිනි.
මෙම අධ්‍යයනයේදී අපේ ප්‍රමුඛ අවධානය යොමු වූයේ ආබාධිතබව, අඩු අධ්‍යාපනය, දැඩි දරිද්‍රතාව හා තවත් සමාජයීය හේතු මත ආන්තීකරණයට ලක්ව සිටින මෙම පවුල් කෙරෙහි වර්තමාන ආර්ථික අර්බුදය විසින් ඇති කර තිබෙන පීඩනයයි. එම පවුල්වලින් කිසිවකට ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති අතර ආබාධිතවූවන් සඳහා පිරිනැමෙන රු 5,000ක දීමනාව බහුතරයකගේ එකම ස්ථිර ආදායම් මාර්ගයයි. ඇතැම් අයට එම දීමනාව නොලැබෙන අතර ඉතා සුළු සමෘද්ධි දීමනාවක් පමණක් ලැබේ. දීමනා දෙකම ලැබෙන්නේ තිදෙනෙකුට පමණි. අපේ අධ්‍යයනයට ලක් වූ නව දෙනා අතුරින් විධිමත් තොරතුරු ලබාගත හැකි වූ අට දෙනාගේ දීමනා ලැබීම මෙසේ සාරාංශගත කළ හැකිය.
එක් කනක් නොඇසීම හා එක් ඇසක් නොපෙනීම හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත්ව සිටින වඩිවේල් වසන්ති පැවසුවේ, ආබාධිත දීමනාව ලබාගැනීම සඳහා දිගින් දිගටම උත්සාහ දැරූ නමුත් තවමත් සාධාරණයක් ඉටු නොවුණු බවයි.
‘‘මගේ බාහිර පෙනුම දිහා බලලා, ඔයා මොන ආබාධිතද කියල අහනවා. දැන් හය වතාවක් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළා. නමුත් මට තවම මොනවත් හම්බවෙන්නේ නැහැ. රස්සාවක් කර ගන්න බැරි නිසා ඉල්ලන්නේ“
මේ පිළිබඳව අප කළ විමසීමේදී එරාවුර් කෝරලේපත්තු ප්‍රා.ලේ. ගෝපාලපිල්ලෙයි ධනපාලසිංහම් මහතා පැවසුවේ තම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ආබාධිත වූවන් 912 දෙනෙකු සිටින අතර, රු. 5,000 දීමනාව ලබා දී ඇත්තේ එයින් 256 දෙනෙකුට පමණක් බවයි. මුදල් ලැබුණොත් ඉතිරි අයටද එම දීමනාව ලබා දීමට කටයුතු කරන බව ඔහු පැවසුවේය.
එරාවුර් කෝරලේපත්තු ප්‍රා.ලේ. ගෝපාලපිල්ලෙයි ධනපාලසිංහම්
ඔබ වෙනුවෙන් ඉටු විය යුතු සාධාරණය කුමක්දැයි, අපි ඔවුන් සියලුම දෙනාගෙන් ඇසුවෙමු. ඔවුන් සියලුම දෙනාගේ පළමු ඉල්ලීම වූයේ තමන්ට ස්වාධීනව ජීවත්වීම සඳහා ජීවනමාර්ගයක් සලසා දෙන ලෙසය. ඒ සඳහා ප්‍රාග්ධනය නොමැතිවීම බොහෝ දෙනෙකු මුහුණදෙන ගැටලුවයි. ඔවුන්ගෙන් ඇතැමෙක් දැනටමත් එළුවන් බැලීම, රටකජු විකිණීම, ගඩොල් කැපීම, කුලී වැඩ, කුඹුරු වැඩ ආදී කටයුතුවල සුළු වශයෙන් නිරත වෙති.
අනෙක් ඉල්ලීම නම්, තම ඉරණම දරුවන්ට අත් නොවන පරිදි ඔවුන්ගේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට නන් අයුරින් සහාය වීමය. එමෙන්ම ආබාධ සහිත දරුවන් සම්බන්ධයෙන් යම් සහායක් ලබා දීමය. ඔවුන්ගේ සමස්ත ඉල්ලීම් මෙසේ සාරංශගත කළ හැකිය:
# සත්ත්ව පාලනයට අවස්ථාව සැලසීම- තිදෙනෙක්
# සුදුසු ජීවන මාර්ගයක් සැලසීම- දෙදෙනෙක්
# රියදුරු රැකියාවක්- එක් අයෙක්
# ජංගම වෙළෙඳාම සඳහා ට්‍රයිසිකලයක්- එක් අයෙක්
# දරුවාට පාසල් යෑමට බයිසිකලයක් - එක් අයෙක්
# දරුවාගේ අධ්‍යාපනයට අනුග්‍රහයක්- එක් අයෙක්
# ආබාධිත දරුවාගේ සුබසාධනය- එක් අයෙක්.
අප දැනටමත් හඳුනාගෙන ඇති, අනාගතය පිළිබඳ බරපතළ අවදානම් රේඛාවක සිටින පාසල් වියේ දරු දැරියන් 15 දෙනාද ඇතුළුව, අපට තවමත් මුණ නොගැසුණු සියලු ආබාධිත ළමා සොල්දාදුවන්ගේ දරු දැරියන්, වැඩදායී පුරවැසියන් බවට පත් කිරීම සඳහා මැදිහත්වීමේ අවශ්‍යතාවද ඒ සමගම සටහන් කර නොතැබුවොත් අඩුවකි.
ඔවුන්ගේ ජීවිතවලට කඩාවැටුණු හෙණගෙඩිවල පරිමාණය අනුව මේ ඉල්ලීම් කොයිතරම් පුංචිද? අහිංසකද? දුක්බරද? මේවා ඉටු කළ නොහැකි පමණට රාජ්‍යයත් සමාජයත් පුංචිද? දුප්පත්ද? අකාරුණිකද??
‘ආබාධිත දුව තමයි අපිව බලාගන්නෙ
සින්නතම්බි බේබි (65) වව්නතිව්
‘‘මගේ දුව (වඩිවේල් වසන්ති) පාසැල් යද්දි තමයි සංවිධානයට අරන් ගියේ. එදා ඉඳන් අපි හිටිවේ හරිම වේදානවෙන්. කන්න ගත්ත කෑම එක අපිට කන්න බැරි වුණා. අද එයි හෙට එයි කියලා බලන් හිටියා. අපි ආයේ දුව දැක්කේ හරියටම අවුරුදු 11කට පස්සෙ. 2007 වසරේදී අපි දුවව බන්දලා දුන්නා. ඒත් බැඳපු කෙනා දුව දාලා ගියා. දුවට දරුවෙක් ඉන්නවා මමයි මහත්තයයි දෙන්නම වයසයි. මහත්තයාට මොනවත් තේරෙන්නේ නැහැ. එයා ලෙඩින්. අපිට කන්න දෙන්න ඕනේ, බෙහෙත් අරන් දෙන්න ඕනේ. මේවා සියල්ල කරන්න වෙලා තියෙන්නේ දුවට. නමුත් එයාට ඒ ඔක්කොම කරන්න බැහැ . යුද්ධයට අරන් ගිය නිසා එයාට ඉගෙන ගන්න බැරි වුණා. ආබාධිත වුණා. දැන් එයා මඩකලපුව නගරයට ගිහින් කුලි වැඩක් කරලා කීයක් හරි අරන් එන එකෙන් තමයි අපි ජීවත් වෙන්නේ. මේ දරුවට යම් ආධාරයක් හෝ ස්වයං රුකියාවක් කරන්න අවස්ථාවක් දෙන්න කියලා තමයි මම ඉල්ලන්නේ.‘‘
නිසි වැඩපිළිවෙළක් හැදිය යුතුමයි -
දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී- විමලවීර දිසානායක
වසර 14 කට පසුවත්, යුද්ධයෙන් පීඩාවට පත් වුණු, ආබාධිත තත්වයට පත්වුණු ජනතාවගේ දුක් ගැනවිලි විසඳීමට ප්‍රමාණවත් වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙලා නැහැ කියන එක අපි පිළිගත යුතුයි. වර්ගවාදය සහ අන්තවාදය තවම මේ රටේ තියෙනවා. කොහොම වුණත් යුද්ධයෙන් අසරණ වූ, ආබාධිත වූ, දේපළ හානි වූ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාගේ ජීවිත නැවත ගොඩනැගිය යුතු වෙනවා. මේ පිළිබඳව ක්‍රියාත්මක විය හැකි විධිමත් සහ ක්‍රමවත් ආයතනයක් ගොඩනැගුණේ නැහැ. ඒ සඳහා අපි ජාතික හා ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි වැඩපිළිවෙළක් හැදිය යුතුමයි.
එදා විමුක්තිය වෙනුවෙන් සටන්වැදුණු වීරයන් ලෙස සැලකූ අය අද දෙමළ සමාජය තුළම අසරණ වෙලා. දෙමළ දේශපාලන පක්ෂවත්, ඩයස්පෝරාව වත් ඔවුන් ගැන කිසිම සොයාබැලීමක් කරන්නෙ නැහැ. ඒත් එදා සිංහල බෞද්ධ ආණ්ඩුවක් හැටියට හැඳින්වූ රාජපක්ෂ ආණ්ඩුවේ පාලනය කාලේදී හමුදාවට භාරවු 12,000ක් පමණ සටන්කාමීන් පුනරුත්ථානය කරලා නිවෙස්වලට යවලා තියෙනවා.
පිල්ලෙයාන් ඉන්නවා, කරුණා ඉන්නවා, ඇයි මගෙන් අහන්නේ?
මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී - ශානක්‍යන් රාජපුත්‍රම් රාසමාණික්කම්
යුද්ධයෙන් පීඩාවට පත් විශාල පිරිසක් මේ රටේ ඉන්නවා. ඔබ කියන ඔය ආබාධිත පිරිස කොහෙන් හමුවුණාද මම දන්නේ නැහැ. ඒ අය ගැන විතරක් නෙවෙයි, යුද්ධයෙන් අතුරුදහන් වූ අය ගැන ඇයි කථා කරන්නේ නැත්තේ? මේ පිරිස ගැන මම හරියට දන්නේ නැහැ. ඒ අය ගැන බලන්න ඕන අපි නෙවෙයි, රජය. ඇයි පිල්ලෙයාන් ඉන්නවා, කරුණා අම්මාන් ඉන්නවා, ඒ අයට මේ ගැන සොයල මේ ගැටලුවලට විසඳුම් දෙන්න පුළුවන්. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිකම දරන්නේ ඒ අය. මිනිස්සු හැමවිටම මහජන නියෝජිතයන්ට බණිනවා මටත් බණිනවා. ඒක ඒ මිනිස්සුන්ගේ හැටි. මේ ප්‍රශ්නවලට විසඳුම් දෙන්න අපි ආණ්ඩු කළේ නැහැ.
''අයිතිවාසිකම් කඩවී ඇත්නම්, පියවර ගත හැකියි''
මානව හිමිකම් කොමිෂන් සභාවේ අම්පාර සම්බන්ධිකරණ නිලධාරි -චන්ද්‍රසිරි විතානගේ
ශ්‍රී ලංකාවේ ඕනෑම පුද්ගලයෙකුගේ මානව හිමිකම් ආරක්ෂා කරන්න, මානව හිමිකම් කොමිසම් සභාව බැඳිලා ඉන්නවා. එවැනි අසරණ වූ පිරිසක් ඉන්නවා නම් ඒ අය ගැන අපිට හොයන්න පුළුවන්. යම් කෙනෙකුගේ අයිතිවාසිකම් කඩවෙලා තියෙනවා නම්, ඒ පිළිබඳව කටයුතු කරන්න පුළුවන්.
මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවල ආසාධාරණයට ලක් වූ එවැනි අය ගැන අපිට පැමිණිලි තිබුණේ නැහැ. නමුත් පැමිණිල්ලක්ම අවශ්‍ය නැහැ. මාධ්‍යවේදියෙක් හැටියට ඔබ අපිට කියපු තොරතුරු අනුව අපට කටයුතු කරන්න පුළුවන්. මානව හිමිකම් කොමිෂන් සභාවේ ගරු සභාපතිතුමිය දැනුවත් කර නොපමාව ඒ ගැන සොයා බලා කටයුතු කරන්න අපි සූදානම්.
''ළමා සොල්දාදුවන් 594ක් අධ්‍යාපනයට නැවත යොමු කළා''-
පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි
අවසාන සටනෙන් පසුව 12,195ක් පමණ එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් ආරක්ෂක අංශවලට භාර වුණා. මේ අය අතර වයස අව්රුදු 18ට අඩු 594 දෙනෙක් හිටියා. අපි ඒ සියලුදෙනාම පුනරුත්ථාපනය කළා. ළමා සොල්දාවුවන් වශයෙන් පැහැරගෙන ගිය ළමයි 594 දෙනෙක් හිටියා. ඒ සියලු දෙනාම නැවත පාසැල් යවන්න කටයුතු කළා. 2010 සාමාන්‍යපෙළ විභාගයට ඉන් 166 දෙනෙක් ඉදිරිපත් වී 91 දෙනෙක් සමත් වුණා. 2010 උසස්පෙළ ගණිත අංශයෙන් 4 දෙනෙකුත් වාණිජ අංශයෙන් 35 දෙනෙකුත්, කලා අංශයෙන් 162 දෙනෙකුක් සමත් වුණා. ඔවුන් අතරින් සමහර අය අද වෛද්‍යවරුන් ලෙසත් කටයුතු කරනවා.
අපි මේ අය නැවත ආයුධ නොගන්න තත්ත්වයට පුනරුත්ථාපනය කළා. ඒ අය වෙනුවෙන් විවිධ පහසුකම් දුන්නා. නිවාස හදාගන්න සල්ලි දුන්නා. ස්වයංරැකියා සදහා ආධාර දුන්නා, අඩු පොලියට ණය දුන්නා. ඒ අයගේ ගැටලු වෙනුවෙන් පෙනී හිටියා. නමුත් අපිට සම්බන්ධ නොවුණු සුළු පිරිසක් අතරින්පතර ඉන්නවා.