තිස් වසරක් තිස්සේ පැවති යුද්ධයෙන් විපතට පත් වූවන් ලක්ෂ ගණනකි. ඒ අතරින් වැන්දඹුභාවයට පත් කාන්තාවන් පිළිබඳ කතාව ඉතා සංකීර්ණ ය.

මේ ලිපිය, බොහෝ දෙනෙකුට අමතකව ඇති ඔවුන් පිළිබඳව සමීප රූපයකි. වත්මන් ආර්ථික අර්බුදය, ඔවුන්ගේ ජීවිතවලට එල්ල කර ඇති බලපෑම එමගින් විමසා බැලේ. - (රවීන්ද්‍ර මැදගෙදර)

 

thambirasa kovalanතම්බිරාසා කෝවලන්මගේ මහත්තයා ස්වාමිතම්බි කන්දසාමි. මේ සිද්ධිය වෙනකොට එයාගෙ වයස 21යි. මට 19යි. අපට අවුරුදු 1 ½ක දුවක් හිටියා. 1986 ජුනි මාසයේ 08 වැනිදා රජයේ ආරක්ෂක හමුදා ගම වටකරලා කළ සෝදිසි මෙහෙයුමකදි මගේ ස්වාමිපුරුෂයා ඇතුළු කිහිපදෙනෙක් අත්අඩංගුවට ගත්තා. එයා අහිංසකයි, එයා දාල යන්න කියලා මම විලාප දුන්නා. දරුවත් වඩාගෙන ජීප් එක පස්සෙන් දිව්වා. එදා ඉඳල මාස ගාණක් මම පිස්සියෙක් වගේ දුවත් වඩාගෙන පොලිසියක්, කඳවුරක් ගානේ ගියා. හැමතැනකින්ම කිව්වේ “අපි ගෙනාවේ නැහැ” කියලයි. ඒත් පස්සේ දවසක ආරංචි වුණා පිරිසක් කජුවත්ත කැලේට ගෙනත් වෙඩි තියලා, ටයර් දාලා ගිනි ලෑව කියලා. නමුත් බලන්න යන්න හැකියාවක් තිබුණේ නැහැ.” තම්බිරාසා කෝවලන්, විසි හත් වසරකට පසුවත් ඒ බිහිසුණු මතකය අවදි කළේ හඬා වැටෙමිනි.

 

ඇය අපට මුණගැසුණේ, තිස් වසරක යුද්ධයේ මුල් කාලපරිච්ඡේදයේදී සිය සැමියන් අහිමි වීමෙන් වැන්දඹුභාවයට පත් කාන්තාවන්ගේ වර්තමාන ජීවිතය ගැන සොයා බැලීමට නැගෙනහිර පළාතේ අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවල සිදු කළ සංචාරයකදීය. යුක්තිය ඉල්ලා හඬාවැටෙමින්, අපමණ දුක් වේදනා විඳිමින් සිය දියණිය ලොකුමහත් කළ ඇයට ජීවිතයේ සැඳෑ සමයේද යුක්තියක් ඉටු වී නැත.

“දැන් අපේ ගෙදර දුවටයි බෑණටයි දීලා තියෙන්නේ. මම වෙනමම ඒ වත්තේම පැල්පතක් හදාගෙන ජීවත් වෙනවා. මගේ අවිවාහක සහෝරියකුත් මාත් එක්ක ඉන්නවා. දුව බැදපු බෑණටත් රක්ෂාවක් නෑ. කුලී වැඩ තමා කරන්නේ. එයින් ලැබෙන දේ ඔවුන්ට ජීවත් වෙන්නත් මදි. මාස දෙක තුනකට සැරයක් සමෘද්ධියෙන් රුපියල් 1000ක් ලැබෙනවා. නංගිත් ගෙවල්වල ගිහිල්ලා මොනවා හරි කුලී වැඩක් කරලා කීයක් හරි හොයා ගන්නවා. ඒකෙන් තමා අපි ජීවත් වෙන්නේ. අපට කිරි හරකෙක් දෙන්නෙක් ලැබෙනවා නම් ජීවත් වෙන්න පුළුවන්” ඇය පැවසුවාය.


නැගෙනහිර නවදහසක්

 

මේ වන විට නැගෙනහිර පළාතේ පමණක් යුද්ධය හේතුවෙන් වැන්දඹු වූවන් සංඛ්‍යාව 9,000කට ආසන්නය. මඩකලපුව දිස්ත්‍රික්කයේ 2,738ක්, අම්පාර දිස්ත්‍රික්කයේ 4,680ක් සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රිික්කයේ 1,314ක් වශයෙනි.

 

army

 

රණවිරු සේවා අධිකාරියේ දත්ත අනුව ස්වාමිපුරුෂයන් අහිමි වූ රණවිරු වැන්දඹුවන් පමණක් 7,125ක් රට පුරා සිටින බවත්, නැගෙනහිර පළාතේ පමණක් 437ක් සිටින බවත් රණවිරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් කිත්සිරි බණ්ඩාර ඒකනායක මහතා සඳහන් කළේය.

යුද්ධයෙන් වැන්දඹු වූවන් අතර ප්‍රධාන ප්‍රබේද හතරක් හඳුනාගත හැකිය. කෝවලන්ගේ සැමියා මෙන් හුදු සැකයට ලක්වීම නිසා ඝාතනයට හෝ අතුරුදන්වීමට ලක්වූවන්ගේ බිරියන් එක් පිරිසකි. යුද ගැටුම්වලට හෝ බෝම්බ ප්‍රහාරවලට ගොදුරු වූ සිවිල් වැසියන්ගේ බිරියන් තවත් පිරිසකි. අනෙක් පිරිස යුද්ධයට සෘජුව දායක වූ සන්නද්ධ කණ්ඩායම්වල සටන්කරුවන්ගේ හෝ ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ බිරියන්ය. යුද්ධයෙන් සැමියන් අහිමි වීමේ වේදනාව මේ සියලුදෙනාට පොදු වුවද ඔවුන් මුහුණ දෙන සෙසු අභියෝගවල පැහැදිලි වෙනසක් තිබේ.

 

යුද්ධයෙන් ජීවිත අහිමි වූ ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ වැන්දඹුවන්ට වන්දි මුදලක් හා එම සාමාජිකයාට වයස අවු. 55 සම්පූර්ණ වන තුරු ඔවුන් ලබමින් සිටි වැටුප, නිවාස නැති අයට නිවාස ආධාර, දරුවන්ට හොඳ පාසල්වලට ඇතුළු වීමට ප්‍රමුඛතා ලබාදීම, සමහර දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ලබාදීම වැනි පහසුකම් සැලසේ. එය ඔවුන්ට විශාල සහනයකි. එහෙත් යුද්ධයෙන් මියගිය සෙසු අයගේ වැන්දඹුවන්ට ප්‍රමාණවත් ආර්ථික සහනයක් නොලැබීම නිසා ඔවුහු ඉතා අන්ත අසරණ තත්ත්වයට පත් වී සිටිති.  බොහෝ දෙනෙකුට කිසිදු වන්දි මුදලක් හෝ ලැබී නොමැති අතර ස්ථිර ආදායම් මාර්ග නොමැතිවීම හේතුවෙන් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමටද හැකියාව ලැබී නැත. එදිනෙදා කළ කුලී වැඩකින් දිවි ගැටගසා ගන්නට කරන්නට මෙම වැන්දඹුවන්ට මෙන්ම ඔවුන්ගේ ඊළඟ පරපුරටද සිදු ව ඇති බව අපට මුණගැසුණු බොහෝ දෙනෙකු පිළිබඳ අත්දැකීම්වලින් පෙනේ. අද වන විට සමහරුන්ට ලැබෙන්නේ රු.350ක් හෝ රු.250ක් වැනි මාසික දීමනාවකි. එය සමෘද්ධි දීමනා ලෙසද, පිං පඩි ලෙසද, ඔවුන් හඳුන්වයි. අද රටේ පවත්නා ජීවන වියදම අනුව එය එක් දිනක වියදමටවත් ප්‍රමාණවත් නැත.

 

රාජේස්වරී, නේසමලර් සහ ප්‍රියංකා

 

thyagaraja

ත්‍යාගරාජා රාජේස්වරී

 

ත්‍යාගරාජා රාජේස්වරී, මඩකලපුව, වන්දාරම්මුල්ල, ආලයඩි විදීයේ පදිංචි 68 වන වියේ පසුවන වැන්දඹු කාන්තාවකි ‘‘මගේ ස්වාමිපුරුෂයා විතරක් නෙවෙයි, කවදහරි මට පිහිටවෙන්න හිටිය එකම පුතාත් අතුරුදහන් වුණා. 1985දි කුඹුරුවල කුලී වැඩවලට යද්දී මයිලවට්ටුවාන්වලදී කට්ටියක් ඒ දෙන්නව බලහත්කාරයෙන් අරන් ගිහින් තිබුණා. හැමතැනම හොයලා බැලුවවත් අද වන තුරු හමු වුණේ නෑ. ත්‍රස්තවාදීන් අරන් ගියා කියලා තමයි කියන්නේ. ඒ වනවිට මට දූලා තුන්දෙනෙක් හිටියා. ඔවුන් ලොකු මහත් කරගන්න මම වින්ද දුක කියලා නිම කරන්න බැහැ. රජයෙන් කිසිම වන්දියක් ලැබුණෙ නැහැ. වෙනත් කිසිම සංවිධානයකින් ලැබුණෙත් නෑ. සමෘද්ධියෙන් කියලා රු.350/-ක් ලැබෙනවා, එච්චරයි. දැන් මම ලොකු දුව ළඟට වෙලා බොහොම අමාරුවෙන් ජීවත් වෙනවා.

රියදුරෙකු ලෙස සේවය කළ විජිත ගුණවර්ධන, අම්පාරේ සිට මහනුවර බලා බස් රථයකින් ගමන් කරමින් සිටියදී, අරන්තලාවේදී එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් විය. “මහත්තයා මැරෙනකොට මගේ වයස අවු. 26යි. අපේ එකම පුතාගේ වයස අවුරුද්දයි. මහත්තයාගේ මරණින් පස්සේ අපි ඉතා අසරණ තත්ත්වයට පත් වුණා. රජයෙන් රු. 50,000ක වන්දි මුදලක් ලැබුණා. එච්චරයි. මගේ දෙමාපියන්ගේ උදව්වෙන් දරුවාට උගන්නගන්න පුළුවන් වුණා. දැන් පුතා පොලිස් නිලධාරියෙක්. ඒ දරුවගේ පිහිටෙන් තමයි මම ජීවත්වෙන්නේ.‘‘ හිඟුරාණ, පැරණිගම පදිංචි ප්‍රියන්කා පුෂ්ප කුමාරි මහත්මිය පැවසුවාය.

1985 පෙබරවාරි 4 වෙනිදා රටපුරා නිදහස් උත්සව පැවැත්වෙද්දී මඩකලපුව, වන්දාරටිමුල්ල ප්‍රදේශයේ පැවතියේ වෙනස්ම තත්ත්වයකි. හෙලිකොප්ටර් යානා අහසේ සිට ඔත්තු බලද්දි පාබල හමුදා සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.

 

arumuham

ආරුමුගම් නේසමලර්

 

“එදා එළවළු ගෙන්න කඩමණ්ඩියට ගිය මගේ ස්වාමිපුරුෂයා ඇතුළු පිරිසක් අත්අඩංගුවට අරගෙන තිබුණා. දින කිහිපයකට පස්සෙ, මඩකලපුව රෝහලේ එයාගෙ මළසිරුර තියෙනවා කියලා ආරංචි වුණා. ගිහින් මිනිය හඳුනා ගත්තත් ඒකවත් අපට දුන්නෙ නැහැ.“ වන්දාරම්මුල්ලේ, කලවන්කේනි පදිංචි ආරුමුගම් නේසමලර් (61) පැවසුවාය.

“ඒ වෙද්දි මගේ වයස අවු. 24යි. වැඩිමල් දරුවාගේ වයස අවු. 3යි. බාලයාට මාස 06යි. ජීවත්වෙන්න ආදායම් මාර්ගයක් තිබුණේ නැහැ. දරු දෙන්නා හදාගන්න නොවිඳිනා දුක් වින්දා. ගෙවල්වල කුලී වැඩ කළා, පොල්ලෙලි ගැහුවා, පොල් අතු වියලා විකුණුවා, ඇඳුම් මහලා වික්කා. කව්රුත් අපට උදව් කළේ නැහැ. පසු කලකදී රජයෙන් රු. 50,000ක වන්දියක් ලැබුණා. එච්චරයි. මට හිටපු එකම පුතාත් අවුරුදු දාහතේදී විදුලි සැර වැදිලා මැරුණා. දැන් මම කුලී වැඩක් කරගෙන තනිවම ජීවත් වෙනවා.”

වර්තමාන ආර්ථික අර්බුදයට මුහුණ දෙන්නේ කෙසේදැයි ඇසූ විට, ඇය මෙසේ පැවසුවාය. ‘‘දුවට දරුවෝ හතරදෙනෙක් ඉන්නවා. ඒ ඔක්කොම පාසල් යනවා. බෑණා කුලී වැඩ කරන්නේ. ඔවුන් ජීවත් වෙන්නෙත් ගොඩක් අමාරුවෙන්. මට මහන්න පුළුවන්. මට මහන මැෂිමක් අරන් දුන්නොත් කාටවත් අත නොපා ජීවත් වෙන්න පුළුවන්.‘‘


සුබ්‍රමනියම්, සින්නතම්බි සහ ඥානරතන

thangamalar

සෙල්ලතම්බි තංගමලර්


වන්දාරම්මුල්ල, ආලයඩි වීදියේ පදිංචිව සිටි කනවදි පිල්ලේ සුබ්‍රමනියම් කුඹුරුවල කුලී වැඩ කරමින් තම බිරිඳ හා දරුවන් හත්දෙනෙකු ජීවත්කරවූ ආදරණීය පියෙකි. 1992 පෙබරවාරි 12 වැනිදා ඔහුගේ ජීවිතය අහිමි වූයේ, කුලී වැඩක් සොයා යමින් සිටියදී රජයේ හමුදා සහ එල්ටීටීඊය අතර ඇති වූ වෙඩි හුවමාරුවකට මැදි වීමෙනි. “ඒ වෙනකොට දරුවෝ සේරම බාල වයස්වල හිටියේ. මම එදා ඉඳල කුලී වැඩ කරලා, පලාවර්‍ග විකුණල තමයි දරුවෝ ටික හදා ගත්තේ. කිසිම වන්දියක් ලැබුණෙ නැහැ. දුප්පත්කම නිසා ළමයින්ට නිසි අධ්‍යාපනයක් දෙන්න බැරි වුණා. දැන් මම පිළිකා රෝගියෙක්. එක්වරක් ශල්‍යකර්මයකට ලක්වෙලා ඉන්නේ. බෙහෙත්වලටම විශාල මුදලක් යනවා. ඒව ගන්න සල්ලි නැහැ. සමෘද්ධියෙන් රු.350ක් දෙනවා. වෙනත් කිසිම ආයතනයකින් ආධාරයක් නැහැ.” සුබ්‍රමනියම්ගේ බිරිඳ වන සෙල්ලතම්බි තංගමලර් (65) පැවසුවාය.

පොතුවිල්, ලාහුගල පදිංචි කේ. උක්කු මැණිකේ (68) ගේ ස්වාමිපුරුෂයා වූ එස්.බී. ඥානරත්න, 1987දී ජීවිතක්ෂයට පත් වූයේ ලාහුගල, සියඹලාණ්ඩුව පාරේ වාහනයකින් ගමන් කරමින් සිටියදී ත්‍රස්තවාදීන් විසින් පුපුරුවාහළ බිම්බෝම්බයකට හසුවීමෙනි. ඔහු රාජ්‍ය ආයතනයක ලිපිකරුවකු මෙන්ම ප්‍රාදේශීය මාධ්‍යවේදියකු ලෙසද කටයුතු කරමින් සිටියේය. ‘‘ඒ වන විට මගේ වයස 28යි. දරුවන් දෙන්නෙක් හිටියා. දුවට 7යි, පුතාට 4යි. නැවත කසාදයක් බඳින්න කියල දෙපාර්ශ්වයෙන්ම බල කළා. ඒත් මම කැමති වුණේ නෑ. මහත්තය වෙනුවෙන් රු. ලක්ෂයක වන්දියක් ලැබුණා. දෙපාර්ශ්වයේම ඥාතීන්ගෙ උදව්වෙන් දරුවො ලොකුමහත් කළා. අද කසාද බැඳල රැකියාවල් කරනවා. මම කරපු කැප කිරීම් ගැන අද මම සතුටු වෙනවා. ඒත් මහත්තයා නැති වුණ දුක වේදනාව සදාකාලිකයි.‘‘ ඇය පැවසුවාය.

 

ගැබිනියකව සිටියදී ‘වැන්දඹුවක’ වුවහොත් ඇති වන මානසික පීඩනය හා අනාරක්ෂිතබව මෙන්ම සමාජයෙන් නැගෙන චෝදනා, ගැරහුම්, අපවාද සුළුපටු නොවේ. 1985 සැප්තැම්බර් 18 දින සිය සැමියා වන කනවදිපිල්ලේ සින්නතම්බි ආරක්ෂක අංශ වෙතින් ඝාතනය වෙද්දී, කුලසේකරම් කරුනෛඅම්මා සිව්මස් ගැබිණියකි. ඒ වන විට ඇයට දරුවන් තිදෙනෙකු ද විය. මඩකලපුව, වන්දාරමුල්ල, කලවන්කේනි පාරේ පදිංචිව සිටින ඇය මෙසේ පැවසුවාය.

karunai amma

කුලසේකරම් කරුණෛ අම්මා

 

‘‘මහත්තය නැතිවෙද්දි මගේ වයස අවු. 28යි. සමාජයෙන් එල්ල වූ සියලු අපවාද මැද දරුවන් ලොකු මහත් කරන්න අපමණ දුක් වින්දා. ලොකු දුවට අවු. 14ක් වුණාට පස්සේ මල්ලිලා තුන් දෙනෙක් එයාට භාර කරල මම රට ගියා. නමුත් බලාපොරොත්තු සාර්ථක වුණේ නැහැ. ඒ නිසා නැවත ලංකාවට ඇවිත් නොවිඳිනා දුක් වින්දා දරුවන් හදා ගන්න. කොහොම හරි පසු කලකදී දරුවන් කසාද බන්දලා දුන්නා. දැන් මම ලොකු දුව ළඟ ඉන්නවා. රජයෙන් රු.250/= ක පිං පඩියක් ලැබෙනවා එච්චරයි. බෑණා කුලී වැඩ කරලා බොහෝම අමාරුවෙන් හම්බකරන දේකින් තමයි මාත් ජීවත් වෙන්නේ. එයාලටත් දරුවො ඉන්නවා. මට කුකුල්ලු ටිකක්වත් දෙනව නම්, ඒ අයට බරක් නොවී ජීවත්වෙන්න පුළුවන්.‘‘


දෙපැත්තෙම ‘රවුන්ඩ්අප් මෙහෙයුම්‘

 

රජයේ හමුදා මෙන්ම කොටි හමුදාවද වරින් වර ගම්වලට පැන ජනතාව “රවුන්ඩප් ”(Roundup) කොට තරුණයන් පැහැරගෙන ගිය අවස්ථාද විරල නොවේ. 1990 ජුනි මස 25 වැනිද එවැනි මෙහෙයුමකින් තරුණයින් හා තරුණ වයසේ සිටි විවාහක පියවරුන් 35ක් පමණ එකම දවසේ එක ගමකින් අල්ලාගෙන ගෙන ගිය බව අක්කරපත්තුව ආලයඩි වෙම්බු ගමේ කනවදිපිල්ලේ අරසෝදයාඋම්මා (59) පැවසුවාය. ඇගේ ස්වාමිපුරුෂයා මෙන්ම සොහොයුරියගේ ස්වාමිපුරුෂයාද එහිදී පැහැරගැනීමට ලක් වී තිබේ.

 

knawadipilleiකනවදි පිල්ලේ අර්සෝදය අම්මා‘‘මහත්තයා මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ කම්කරුවෙක්. එතකොට මගේ වයස 24 යි. මට දරුවන් දෙන්නෙක් හිටියා. බාලයාගේ වයස මාස දෙකයි. දරුවෝ හදා ගන්න කුලී වැඩ කළා. අතින් වී කොටල දුන්නා. ආප්ප, ඉඳිආප්ප හදල වික්කා. දරුවෝ නිසා නොවිඳිනා දුක් වින්දා. දැන් දුව බැඳලා. පුතා කුලී වැඩ කරන්නේ. අක්කයි, මාවයි ජීවත් කරවන්නේ පුතා තමයි. රජයෙන් මුලින් රු. 50,000ක් දුන්නා. වෙන කිසිම කෙනෙක් උදව් කළේ නැහැ. ඡන්දෙ කාලෙට විතරක් ඇවිත් බොරු පොරොන්දු දීල යනවා එච්චරයි.‘‘

ආලියාඩිවෙම්බු පදිංචි අරුල්රාජා පොන්සෙල්වී (56) ගේ ස්වාමිපුරුෂයා අහිමි වූයේ 1990 ජූලි 25 වැනිදා රජයේ හමුදාව සිදු කළ එවැනිම මෙහෙයුමකිනි. ‘‘ඔය කියන මිනිහා අපි අල්ලාගෙන එද්දි මගදී පැනලා දිව්වා. අපිට අල්ලගන්න බැරි වුණා, දැන් අපි ළඟ නැහැ. කියලා, මගේ මහත්තයා අල්ලන් ගිය S.T.F. කඳවුරෙන් කිව්වා. නමුත් අවු. 05කට පස්සේ මරණ සහතිකයක් දුන්නා.‘‘ ඇය පැවසුවාය. ‘‘S.T.F. එකෙන් අරන් යනකොට ඔහුගේ වයස 30යි. මගේ 24යි. ඒ වනකොට අපිට පුංචි දරුවෝ තුන්දෙනෙක් හිටියා. පසු කාලයකදී  රජයෙන් රු.50,000ක් දුන්නා එච්චරයි. වෙන කිසිම කෙනෙක් උදව් කළේ නැහැ. කවුරුත් අපි ගැන බැලුවේ නැහැ. දරුවෝ අමාරුවෙන් තමයි හදා ගන්නේ. වෙන විවාහයක් ගැන හිතුවේවත් නැහැ. දරුවන්ට ඉගැන්නුවා. මගේ සහෝදරයෝ උදව් කළා. දැන් ලොකු දුව ළඟට වෙලා ඉන්නවා.‘‘

arulඅරුල්රාජා පොන්සෙල්වි‘‘ඔවුනුත් බොහොම අමාරුවෙන් කුලී වැඩ කරලා තමා ජීවත් වෙන්නෙ. ඔවුන්ටත් දැන් දරුවෝ ඉන්නවා. ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට විශාල මුදලක් අවශ්‍ය වෙනවා. ස්වයං රැකියාවක් විදියට පොඩි කඩයක් දාගන්න මූලික ආධාර මුදලක් ලැබෙනවා නම් මට පුළුවන් බරක් නොවී ජීවත්වෙන්න.‘‘

නාගර් බුහාරි උම්මානාගර් බුහාරි උම්මාඅයියන්කේනි, එරාවුර් පදිංචි නාගූර් බුහාරිඋම්මා හැත්තෑ හැවිරිදි කාන්තාවකි. 1990 අගෝස්තු මාසයේ 12 වෙනිදා රාත්‍රියේ ඇගේ ගම වට කළ එල්ටීටීඊය ගමේ සියලුම දෙනා ක්‍රීඩාංගණයට ගාල් කළහ. පසුව කොටසක් රඳවාගෙන අනෙක් අයට පහර දී වෙඩි තබමින් පන්නා දැමූහ. එදින ඝාතනයට ලක් වූ ගම්වැසියන් සංඛ්‍යාව 121කි. බුහාරිඋම්මාගේ ස්වාමිපුරුෂයා සහ 16 හැවිරිදි දියණියද ඒ අතර වූහ.

 “ඒ වෙද්දි මට දරුවෝ පස්දෙනෙක් හිටියා. ජීවත් වුණේ බොහොම අමාරුවෙන්. මාස කීපයකට පස්සේ රජයෙන් කියල ප්‍රේමදාස මැතිනිය ඇවිත් රු.50,000ක් දුන්නා. එච්චරයි. වෙනත් කවුරුවත් අපිට උදව්වක් කළේ නැ. දැන් සමෘද්ධි සහනාධාරයක් ලැබෙනවා. දැන් දුවගේ ගෙදරට වෙලා ජීවත් වෙනවා. ඇයටත් දැන් මාව මහ බරක් වෙලා තියෙන්නේ. බෑණටත් රස්සාවක් නෑ. එළහරක් කිහිපදෙනෙක් හරි එළුවෝ කිහිපදෙනෙක් හරි ලැබෙනවා නම් දරුවන්ටත් බරක් නොවී ජීවත් වෙන්න පුළුවන්.‘‘

ආබාධිත වීම සහ වැන්දඹු වීම යන ඉරණම් දෙකටම එකවර ගොදුරු වූ කාන්තාවකද අපට  මුණගැසිණි.

 

nor

මහමුද් නූර් උම්මා

 

73 හැවිරිදි මහමුද් නූර්උම්මා, එරාවුර්පත්තු අයන්කේනි රෝහල පාරේ පදිංචි පාදයක් අහිමි කාන්තාවකි. 1995 අගෝස්තු 29 දා එල්ල වූ එල්ටීටීඊ ප්‍රහාරයකින් ඇගේ ස්වාමි පුරුෂයා වූ මොහොමඩ් අසානාර් ඝාතනය වූ අතර ඇගේ පාදයක් අහිමි විය. “මහත්තයා මැරෙනකොට අපිට ළමයි හයදෙනෙක් හිටියා. අද වන විට ඔවුන් සියලුදෙනාම කසාද බැඳලා. වන්දි වශයෙන් රු. 50,000ක් රජයෙන් ලැබුණා. වෙන කිසි දෙයක් ලැබුණේ නෑ. දැන් මාසිකව ආබාධිත දීමනාව රු. 5,000ක් ලැබෙනවා. ඒකෙන් තමයි ජීවත් වෙන්නේ.


ජනතාව කියන්නෙ ඇත්තම නෙවෙයි


චෙන්කලඩි සංචාරයෙන් පසු අප එරාවූර්පත්තු චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කේ. තනබාලසුන්දරම් හමු වී ජනතාව දැක්වූ අදහස් කීපයක් ඔහු වෙත ඉදිරිපත් කළෙමු. ඔහු මෙසේ පැවසුවේය.

 

කේ. තනබාලසුන්දරම් ප් රා

එරාවූර්පත්තු චෙන්කලඩි ප්‍රාදේශීය ලේකම් කේ. තනබාලසුන්දරම්

 

“පවත්නා ක්‍රමවල ගැටලු තියෙන බව මම පිළිගන්නවා. හැබැයි. ජනතාව කියන සියල්ල ඇත්ත නෙවෙයි. රජය දැන් නැවත සමීක්ෂණය කර සැබෑ වින්දිතයින් හඳුනාගෙන නාමලේඛන පරිගණකගත කර ගෙන යනවා. දැනට අපි ළඟ තියෙන දත්ත අනුව වැන්දඹු කාන්තාවන් 1,070ක් ඉන්නවා. එයින් යුද්ධය නිසා වැන්දඹුවන් වූ කාන්තාවන් ගණන 395ක්. මේ අයගෙන් සමහර දෙනෙකුට වන්දි මුදල් දීල තියෙනවා. සමහර දෙනාට නිවාස ආධාර දීල තියෙනවා, නිවාස තනල දීල තියෙනවා, මහජනාධාර දෙනවා, ඒක ප්‍රමාණවත් නැහැ කියල පිළිගන්නවා. නමුත් රජයේ නීති රීති, ප්‍රතිපත්ති අපට වෙනස් කරන්න බැහැ. ඒ නීති රීති අනුව දෙන්න බැරි අයත් ඉන්නවා. පුළුවන් අයට දෙන්න පුළුවන් හැමදේම දීල තියෙනවා.‘‘ හෙතෙම පැවසුවේය.

 

‘රණවිරු‘ පවුල්වල අද දවස

 

සැමියන් අහිමි වීමේ අනවරත වේදනාව දරාගෙන නමුත්, අන්ත අසරණභාවයට පත් නොවී සිය ජීවිත පවත්වාගෙන යා හැකි වී ඇත්තේ, රජයේ ආරක්ෂක අංශවල සේවයේ නිරතව සිටියදී ජීවිත අහිමිවූවන්ගේ පවුල්වල අයට පමණි. ඒ, රජයෙන් ඔවුන්ට යම් සාධාරණයක් ඉටු කර ඇති නිසාය.

1997 සැප්තැම්බර් 23 දා මධ්‍යම කඳවුර පොලීසියේ සේවයේ නිරතව සිටියදී එල්ටීටීඊ ප්‍රහාරයකින් මියගිය පො.කො. ගාමිණී ජයසුන්දරගේ බිරිඳ වන අම්පාර, දමන අලහේනේ පදිංචි ජේ.ජී. නිරෝෂා ජීවනී අපට මුණගැසිණි.

“නැති වෙනකොට මහත්තයාගෙ වයස අවු. 25යි. මගේ වයස අවු. 23 යි. ඒ වනකොට අපට දුවක් හිටියා. ඇගේ වයස අවුරුද්දයි මාස 09යි. අවුරුදු ගණනක් යනතුරු ඒ වේදනාව, දුක විඳදරා ගන්න බැරි වුණා. විවාහ යෝජනා ආවා. නමුත් දුව නිසා ඒවා ප්‍රතික්ෂේප කළා. තරුණ ගැහැණියක්, දුවක් සමඟ තනියම ඉන්නකොට සමාජයෙන් එල්ලවෙන බලපෑම්, අපහාස උපහාස ආවා. නමුත් ඒවා එක කනකින් අහල අනෙක් කනෙන් පිට කරලා අපේ ගමන අපි ගියා. දුවට ඉගැන්නුවා. පසුගිය ජනවාරි මාසයේ දුව බන්දලා දුන්නා. අමාරුවෙන් හරි  අවු. 23 ඉඳල අවු. 48ක් වනතුරු කරපු කැපකිරීම් ගැන අද සතුටක්, ආත්මතෘප්තියක් තියෙනවා. ආර්ථික අමාරුකම් තිබුණේ නැහැ. මහත්තයාගේ වැටුප ලැබෙනවා. දෙපාර්ශ්වයේ වැඩිහිටියන් උදව් කළා. නමුත් මහත්තයාගේ අඩුව නම් තදින්ම දැනෙනවා. ඒ මතකයන් එක්ක ජීවත් වෙනවා. ඇය පැවසුවාය.


ත්‍රිකුණාමලය දිස්ත්‍රික් රණවිරු වැන්දඹු කාන්තා සංසදයේ ලේකම් ඒ.ඩබ්.පී. ප්‍රීතිලංකා (48) මෙසේ පැවසුවාය.
 
ඒ.ඩබ්.පී. ප් රීති ලංකාඒ.ඩබ්.පී. ප්‍රීතිලංකා
“මගේ මහත්තයා වැඩ කළේ පොලීසියේ. 1995 අගෝස්තු 29 දා 6 කණුව එල්ටීටීඊ බෝම්බ ප්‍රහාරයකින් තමයි මහත්තයා නැති වුණා. එතකොට මගේ වයස21 යි. අපට එක දුවක් හිටියා. එයාගේ වයස 1 ½යි. මහත්තයාගේ මරණය අපට විඳ දරාගන්න බැරි උනා. අපි ගොඩක් අසරණ වුණා. එතකොට අපි හිටියේ මහත්තයලගේ මහගෙදර. විවිධ තාඩන, පීඩන, අවලාද, අපහාස වින්දා. ජීවත්වෙන්න ඉඳිආප්ප, ආප්ප හදලා විකුණුවා. පසු කාලෙක මහත්තයාගේ වැටුප ලැබුණා. ඒකෙන් දුවට හොඳට ඉගැන්නුවා. දැන් ලැබෙන්නේ විශ්‍රාම වැටුප. ඒක පොඩි මුදලක්. රණවිරු ගම්මායෙන් ගෙයක් ලැබුණා. රණවිරු සේවා අධිකාරියෙන් රු. ලක්ෂ 12ක් ලැබුණා. මගෙන් ලක්ෂ 12ක් දලා පොලීසියේ ශ්‍රම දායකත්වයෙන් තමයි ගේ හදලා දුන්නේ.‘‘


කාටත් අමතක වූ  පිරිසක්
 
 
යුද්ධයෙන් ජීවිත අහිමි වූ පුරුෂයින්ගේ වැන්දඹුවන් සොයා ගිය ගමනේදී අපිට හමු වූ සියලුදෙනා මේ වන විට වයස අවු. 50 ඉක්ම වූ වැන්දඹු මාතාවන් බවට පත් වී හුදකලාව දිවි ගෙවති. ඔවුන් සියලුදෙනාගේම ස්වාමිපුරුෂයන් අහිමි වී ඇත්තේ තරුණ වියේදී වීම ඛේදවාචකයකි. අපගේ සමීක්ෂණයට ලක් වූවන්ගෙන් කිසිවකු නැවත විවාහ වී නැත. එමෙන්ම බහුතරයක් දෙනාට කිසිදු හවුහරණක් නොමැතිව දරුවන් හදාවඩා ගැනීමට සිදුව තිබීමත්, ඒ හේතුවෙන් දරුවන්ගේ අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට අසීරු වීමත් කැපී පෙනේ. අපගේ සමීක්ෂණයට පාදක වූ නියැදියෙන්, සිවිල් පුද්ගයන්ගේ බිරියන් 11 දෙනා අතුරෙන් 6 දෙනෙකුට රු. 50,000 බැගින් වන්දි ලබා දී ඇති අතර එක් අයකුට රු. ලක්ෂයක වන්දියක් ලැබා දී තිබේ. 4 දෙනෙකුට කිසිදු වන්දියක් ලැබී නැත. ඇතැම් ඝාතන පැහැදිලිවම ‘සාපරාධී මනුෂ්‍ය ඝාතන‘ බව පෙනී යන නමුත් ඒ සම්බන්ධයෙන් යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාදාමයක් හෝ දියත් වී නොමැති බව පැහැදිලිව පෙනී යන කරුණකි. ඔවුන්ගේ මහළු දිවියද සුරක්ෂිත නොමැති බවත්, වර්තමාන ආර්ථික අර්බුදය තුළ ඔවුන් දැඩි පීඩනයකට  පත්ව ඇති බවත් පැහැදිලි විය.
 
 
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් කරන ලද විමසීමකට පිළිතුරු දුන් එහි නිලධාරිනියක් පැවසුවේ යුද වැන්දඹුවන් පිළිබඳ දත්ත ඔවුන් සතුව නොමැති බවයි. රණවිරු සේවා අධිකාරිය යුද්ධයෙන් මියගිය හා ආබාධිත වූ ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ හා එම පවුල්වල සුබසාධනය සඳහාම පිහිටුවා ඇති ආයතනයක් වුවද ඔවුන් සතුව ඇති තොරතුරුවලද බරපතළ පරස්පරතා තිබේ.

පොදුවේ ගත් විට පෙනෙන්නට ඇති තත්ත්වය නම්, යුද්ධයෙන් විපතට පත් වැන්දඹුවන් සම්බන්ධයෙන් මේ වන විට කිසිදු පාර්ශ්වයක ප්‍රමාණවත් අවධානයක් නොමැති බවයි. ඔවුන්ට සිදු වූ හානිය කිසිදා යළි පිළිසකර කළ නොහැකි බවත්, ඔවුන්ගේ දරුවන්ගේ ජීවිත පවා දැඩි පසුබෑම්වලට  ලක් වී ඇති බවත් කටුක යථාර්ථයකි. අඩු තරමින් ඔවුන්ගේ මහළු දිවිය හෝ සුරක්ෂිත කිරීම පිණිස අවධානය යොමු කළ යුතු නොවේද?


''විධිමත් සොයාබැලීමක් අවශ්‍යයි'' -නිමාලි විනීෂියා
විවෘත විශ්වවිද්‍යාලයේ, සමාජවිද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

 
Nimali Vineeshiyaනිමාලි විනීෂියාමුලින්ම, මොවුන් ජීවත්වන සමාජ සංස්කෘතික වටපිටාව පිළිබඳ නිසි අවබෝධයක් ලබාගත යුතුයි. විවිධ උප සංස්කෘතික ලක්ෂණයන් ඔස්සේ ඔවුන් තවදුරටත් සමාජය කෙසේ අනුමත කරන්නේද යන්න, අපට ඒ ඔස්සේ හඳුනාගත හැකි වෙනවා. සැලකියයුතු පිරිසක් වයස්ගත වී ඇති හෙයින් ඔවුන් අතුරින් තවදුරටත් ආර්ථික නිෂ්පාදන ක්‍රියාවලියට දායක කර ගත හැකි පිරිස කවුරුන්ද, නොහැකි පිරිස කවුරුන්ද යන වග හඳුනාගැනීම මූලික විය යුතුයි. එසේ තවදුරටත් ආර්ථික ක්‍රියාවලියක නිරත විය හැකි පිරිස් වෙත සුදුසු ආර්ථික ක්‍රියාකාරකම් හඳුන්වා දිය හැකියි. එහිදී ප්‍රදේශයට සුවිශේෂී ලක්ෂණ කෙරෙහි අවධානය යොමු කළ හැකියි.

එසේ ආර්ථික ක්‍රියාකාරකම්වල නිරත විය නොහැකි පිරිස් සමාජයෙන් අවාසිසහගත තත්ත්වයන්ට පත් වූ, නොඑසේ නම් ‘ආන්තීකරණයට‘ ලක් වූ පිරිසක් ලෙස හඳුනා ගනිමින් ඔවුන් ප්‍රධාන ප්‍රවාහයට ගෙන එන්නේ කෙසේද යන්න පිළිබඳව රජය සමග සාකච්ඡා කළ හැකියි. විශේෂයෙන් සමාජ ආරක්ෂණ මණ්ඩලය, සමාජසේවා දෙපාර්තමේන්තුව, වැඩිහිටි ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති රාජ්‍ය ආයතන මේ සඳහා දායක කර ගත හැකියි.


 

රවින්ද් ර මැදගෙදර 1(රවීන්ද්‍ර මැදගෙදර)

නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(උපදේශනය සහ අනුග්‍රාහක දායකත්වය ඉන්ටර්නිවුස් ශ්‍රී ලංකා ආයතනයෙනි.)


 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්