The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

ලංකාව පොලිස් රාජ්‍යයක් ද? එය දඩබිමක්ද? - (රංජිත් හේනායකආරච්චි)

T

The Leader Desk

June 8, 2023 • 5:29 PM

ලංකාව පොලිස් රාජ්‍යයක් ද? එය  දඩබිමක්ද? - (රංජිත් හේනායකආරච්චි)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට ප්‍රථම තමන්ගේ අනන්‍යතාවය හඳුන්වා දිය යුතුය.
  • ඒ සඳහා ඔවුනට හැඳුනුම්පතක් ඇත.
  • ඔබ කවුද කියා ප්‍රශ්න කළ හොත් හතර හන්දි කැඩී යනු ඇත.
  • පොලිස් රාජ්‍යයක නීතියක් නැති බැවින් පොලිස් සහ රාජ්‍ය ආක්ෂක හමුදාවනට සිය සිතැඟී අනුව හෝ දේශපාලන නියෝග අනුව එලෙස කටයුතු කළ හැක.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීමට ප්‍රථම තමන්ගේ අනන්‍යතාවය හඳුන්වා දිය යුතුය. ඒ සඳහා ඔවුනට හැඳුනුම්පතක් ඇත. ඔවුන් ප්‍රථමයෙන් තම හැඳුනුම් පත පුරවැසියාට පෙන්විය යුතුය. එසේ නොමැතිව “මං පොලිසියෙන්”  කීවාට එය පිළිගත නොහැකි ය. එවැනි අවස්ථාවක සිය රාජකාරි අනන්‍යතාවය ඉදිරිපත් නොකිරීම සිය රාජකාරිය නිසි පරිදි නොකිරීමකි. තම යුතුකම පැහැර හැරීමකි. නීතිය මඟහැරීමකි.

ඒකාධිපති හෝ පැසිස්ට්වාදි රාජ්‍යක එසේ නැත්නම් පොලිස් රාජ්‍යයක එවැනි සම්ප්‍රදායයක් නොමැත. සිවිල් ඇඳුමින් සැරසුණු රහස් පොලිසිය හෝ රහස් හමුදා කාණ්ඩ හෝ එසේ නැත්නම් දේශපාලනඥයින්ගේ කල්ලි හෝ පැමිණ රටෙහි වැසියන්ගෙන් ප්‍රශ්න කරන්නේ, අත්අඩංගුවට ගන්නේ, ඔවුන්ට අඩන්තේට්ටම් කරන්නේ, කිසිම වග විභාගයකින් තොරවය. ඔබ කවුද කියා ප්‍රශ්න කළ හොත් හතර හන්දි කැඩී යනු ඇත. පොලිස් රාජ්‍යයක නීතියක් නැති බැවින් පොලිස් සහ රාජ්‍ය ආක්ෂක හමුදාවනට සිය සිතැඟී අනුව හෝ දේශපාලන නියෝග අනුව එලෙස කටයුතු කළ හැක.

මේ විඩියෝ මගින් දැක ඇති මේ සිදුවීම දෙස බලමු.



ගජේන්ද්‍ර පොන්නම්බලම් මන්ත්‍රීවරයා සහ ගම්වැසි කණ්ඩායමක් එළිමහන් තැනක සාකච්ඡාවක් කරමින් සිටින තැනකට සිවිල් ඇඳුමෙන් සැරසුණු ආගන්තුකයන් දෙදෙනෙකු පැමිණේ. එවිට එම ගම්වැසි පිරිස  ඔබ කවුරු දැයි ප්‍රශ්න කරයි. පිළිතුර වන්නේ අපි පොලිසියෙන් කියාය. එවිට මන්ත්‍රීවරයා සහ ගම්වැසියෝ  පොලිසියෙන් නම් ඔවුන්ගේ හැඳුනුම්පත් ඉදිරිපත් කරන්නැයි ඉල්ලා සිටිති. ඔවුන් සිය හැඳුනුම්පත් ඉදිරිපත් කිරීමට එකඟ නොවෙති. එම තත්වය තුල ඇති වන බහින්බස් වීම දුරදිග ගොස් සිදු වන්නේ කුමක්දැයි ඕනෑම කෙනෙකුට වීඩියෝවෙන් දැක ගත හැක.

 

 
අද උදෑසන මම මෙම වීඩියෝව අන්තර්ජාලයෙන් බැලුවෙමි. ඇත්තෙන්ම මගේ මනසට මතුවූ පැනය වන්නේ ලංකාව පොලිස් රාජ්‍යයක් ද යන්නය.



ඇත්තෙන්ම මෙම නිලධාරීන් හැසිරෙන්නේ පුරවැසියන් තුට්ටුවකට ගණන් නොගන්නා අධිපති මහන්තත්වයකිනි. ඔවුනගේ ක්‍රියාව ප්‍රජාතන්ත්‍රවාදී රටක සිදු විය යුතු සහ සිදු විය හැකි දෙයක් නොවේ. ඔවුන්ගේ හැසිරීම තනිකරම අධිකාරිවාදීය. ඒකාධිපති පාලනයකට ඔබින එකක්ය. ප්‍රජාතන්ත්‍රවාදී රටක නම් එම නිලධාරි හැසිරීම දඬුවම් ලැබිය යුතු වරදකි.



මහජන ඡන්දයෙන් තේරී පත්වූ මංත්‍රීවරයකුට බොහෝ විට ඔහු දෙමළ වූ නිසාම මෙම පොලිස් නිලධාරීන් සලකන්නේ අත පල්ලෙන් වැටුණු අයකු ගණනටය.

එලෙසින්ම පසුගිය දිනවල ප්‍රහසන ශිල්පිනියක් වූ නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම වටා ගෙතෙන්නේ ද මෙවැනිම ක්‍රියාදාමයකි. ඇය ඉදිරිපත් කළ වැඩසටහනක් පිළිබඳව විවිධ පැතිවලින් කළ චෝදනා නිසා ඇයව අත්අඩංගුවට ගනී. දැන් අපට මතු වන ප්‍රශ්නය වන්නේ යම්කිසි කෙනෙකුට එරෙහිව තවත් පුද්ගලයින් පැමිණිලි කළ පමණින්ම චෝදනාවට සාධාරණ හේතු නොමැතිව කෙනෙකු අත්අඩංගුවට ගැනීම නිවැරදි ද යන්නය. ‍ප්‍රජාතන්ත්‍රවාදී රටක නම් එසේ කරන්නේ නැත. විශේෂයෙන්ම පොලිසියට පැමිණිල්ලක් ලැබුණි නම් ඔවුන් ඒ පිළිබඳව විමසා කාරණය සොයා බලා නීති විරෝධී ක්‍රියාවක් සිදුවී තිබේද යන්න උසාවියට ඉදිරිපත් කළ යුතුය. මෙහිදී පොලිසිය මේ පිළිබඳව නිවැරදි විමසුමක් නොකරමින් ඇයව අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කරයි.  

මට මෙහිදී මතක් වන්නේ මා ජීවත් වන ජර්මනියේ නාට්සි රාජ්‍ය තුල විනිසුරන් කිසිම සොයා බැලීමක් නොකර එස් එස් පොලීසියට අවනත වූ අයුරුයි. ප්‍රජාතන්ත්‍රවාදී රටවල එසේ සිදුවන්නේ නැත.



ඉතිහාසය සහ අද ද ඒකාධිපති පාලන ක්‍රම ස්වාධීන අධිකරණය විනාශ කිරීම ප්‍රථම පියවරක් සේ සලකති. පොලිස් රාජ්‍යයක සියල්ල සිදු වන්නේ දේශපාලන අධිකාරියේ උවමනාවන් ඉටු කරන යටපත් කිරීමේ මෙවලමක් ලෙස ක්‍රියාත්මක වන පොලිසි සහ අධිකරණ පද්ධතිය මතය.

ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් ද? එසේ නැත්නම් පොලිස් රාජ්‍යයක් ද? එය නෑකම් කියන්නේ පැසිස්ට්වාදී රාජ්‍යයකටද? වැනි ප්‍රශ්න මතු වන සන්දර්භය එයයි.



පොලිස් රාජ්‍යයක දඩබිම වන්නේ දේශයයි.  දඩයම් වන්නේ රටෙහි වැසියන්ය. පසුගිය වකවානුවේ පොලිස් අත්අඩංගුවට පත් පුද්ගලයින් පැන යාමට තැත් කිරීම හෝ ආයුධ පෙන්වීමට ගොස් ආයුධ අමෝරා පොලිසියට පහර දීමට තැත් කිරීම ආදී හේතූන් කියමින් මරා දැමූ බව ප්‍රකට ය. ඒ වාගේම පසුගිය දිනක පොලිස් අත්අඩංගුවට ගත් ආර්. රාජකුමාරි පොලිස් අත්අඩංගුවේදී මිය යන අතර ඇය පොලිස් අත්අඩංගුවට ගත් නමුත් පොතෙහි නම පවා සඳහන් නොකළ බවත් හෙළිදරව් වේ. මේ සියලු දේවල් වලින් පෙන්වන්නේ ලංකාවේ පොලිසි ක්‍රියා කරන්නේ පොලිස් රාජ්‍යයක ආකාරයෙන් බවයි.

ලංකාවේ දේශපාලනය මෙන්ම දේශපාලඥයින් කිසිදිනක තමන්ගේ අතීතය පාඩම් ඉගෙන නොගන්නා බව නැවත නැවතත් ඔප්පු වෙමින් තිබේ. පොලිසිය වැනි ලංකා රාජ්‍ය ආයතනයන් ක්‍රියාත්මක වන්නේද කිසි දිනක සිය ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගනිමිනි.



අද ජනාධිපති රනිල් වික්‍රමසිංහටද  විශේෂයෙන්ම රනිල්ගේ මාමා ජේ ආර් ජයවර්ධන ඇතුළු කණ්ඩායමේ ජාතිවාදී දේශපාලනය හේතු කොට ගෙන මතුවූ යුද්ධයකින් මුළු ලංකා සමාජයම ගිලී ගිය බව යුද්ධය අවසාන වී වසර දහතුනක් යනවිට අමතක වී ඇති බව පෙනේ. එදා ජේ ආර් ජයවර්ධනගේ ත්‍රස්තවාදය මැඩලීමේ මුවාවෙන් කර්නල් වීරතුංග යටතේ මාස තුනකින් ත්‍රස්තවාදය විනාශ කිරීමට උතුරට යැවූ පොලිස් හමුදා උතුරේ කල මිනිස් සහ සංස්කෘතික ඝාතනයන් හේතුවෙන් කුපිත වූ දෙමළ තරුණ ජනයා සන්නද්ධ දේශපාලන කණ්ඩායම් වෙත තල්ලු කරනු ලැබීය.



ලෝකය පුරා සිටි දෙමළ තරුණ තරුණියෝ තම තාක්ෂණ දැනුම සමග නැවත ලංකාවට පැමිණ ලංකාවේ ක්‍රියාත්මක වූ තරුණ කල්ලි වල කොටස්කරුවන් බවට පත් වූහ. එම යුද්ධය වසර විසි ගණනාවක් දිගට ඇදී ගිය අතර මුළු රටේම ආර්ථිකය සුන්නද්ධූලි කර දැමුණු අතර රටේ වටිනා මිනිස් ජීවිත ලක්ෂ එක හමාරක පමණ ප්‍රමාණයක් විනාශ වී ගියේය. ඒ වාගේම දෙමළ සහ සිංහල ජන කණ්ඩායම් අතර විශාල දුරස් වීමක් ඒ තුළින් ඇති කරනු ලැබීය. එම දුරස් කිරීම ගණනය කළ නොහැකි තරමක විශාල පාඩුවකි.

නමුත් මේ කිසිදු නිෂේධාත්මක අත්දැකීමකින් අද බලයේ සිටින රනිල් වික්‍රමසිංහ යමක් ඉගෙන ගත්තා යැයි මට නම් නොසිතේ.

මෙම පසුබිමෙහි දැන් අපි ගජේන්ද්‍ර පොන්නම්බලම් මන්ත්‍රීවරයා සමග ගැටෙන සිවිල් පොලිස් භටයන් හැසිරෙන ආකාරය දෙස යළි බලමු. ඔවුන් උතුරේ දී ජනතා නියෝජිතයකු සමග වචන හුවමාරු කරගන්නේ මහත් මහන්තත්වයකිනි. යම් ආකාරයකින් දකුණේ මන්ත්‍රීවරයෙකුට ඔවුන් මේ ආකාරයෙන් කතා කරයි ද යන්න සිතා ගත නොහැකිය. අප හොඳින් දන්නා පරිදි ඔවුන් දේශපාලනඥයින්ගේ අතකොළු හෙන්චයියන් ලෙස ක්‍රියාත්මක වනවා මිස නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත.

ඇත්තෙන්ම පොන්නම්බලම් මන්ත්‍රීවරයා සමග මෙම පොලිස් නිලධාරීන් හැසිරෙන ආකාරය දුටු මට ඇතිවූ හැඟීම නම් මේ ආකාරයෙන් මේ රටේ පොලිසිය හැසිරේ නම් නැවත වරක් කේන්තියට සහ අවමානයට පත් වන තරුණ ජනයා ප්‍රචණ්ඩත්වය කරා යොමු නොවනු ඇද්ද යන්නයි. බිත්තියටම හේත්තු කරනු ලබන සුලු තර සහ පීඩිත ජන ප්‍රජාවන් අතුරින් ප්‍රචණ්ඩත්වය මතු වීම ලොව අත්දැක තිබේ.

ලාංකික පාලක දේශපාලනඥයින් යනු අඥාන අභිමානයකින් හිස උදුම්මාගත් ජීවීන් කොටසක් වන බව මේ සෑම දෙයකින්ම පැහැදිලි වෙයි. එක්කෝ මෙවැනි පොලිස් රාජ්‍යමය හැසිරීම් මගින් ඇති විය හැකි අනතුර පිළිබඳව ඔවුන්ට අබ මල් රේණුවක තරම්වත් වැටහීමක් නැත. නැත්නම් සිය ඒකාධිපති ගමනට හේතු බවට පත් කර ගත හැකි  ප්‍රතිප්‍රචණ්ඩත්වයක් පාලකයින් අපේක්ෂා කරනවා විය හැක.



අද අපි මේ ගමන් කරන්නේ පොලිස් රාජ්‍යයක දඩ බිමකට ද, ලංකාව යනු දේශපාලන අධිකාරියට එරෙහිව මත ප්‍රකාශ කරන්නන් දඩයම් කිරීමට නිදහස දී ඇති දඩබිමක් ද යන හැඟීම් මගේ මනසෙහි විවාද කරයි.

ලිබරල් මුහුණක් පෙන්වමින් වැඩවසම් සහ ඒකාධිපති මනස් වලින් හිස් තෝන්තු කරගත් පාලකයන් මේ දඩයම් අරඹා ඇත්තේ ඔවුනගේ අධිපතිවාදී මනස් තෘප්තිමත් කර ගැනීමටයි.



රටක් ගැන සිතන්නේ නම් ඒ රටේ ජනතාව ගැන සිතන්නේ නම් මේ පාලකයින් නිදහසින් පසු ලංකා සමාජයට සහ ලංකා රාජ්‍යයට ජාතිවාදය නිසා සිදු වූ හානිය මතක තිබිය යුතුය. නමුත් පෙනෙන්නේ ඔවුනට එහි වගේ වගක් නැති බවකි. මෙයින් පෙන්නුම් කරන්නේ ඔවුන් තමන්ගේ මුග්ධ අභිමානය වෙනුවෙන් ඕනෑම දෙයක් කැප කරමින් තමාගේ මජර තෘප්තිය වෙනුවෙන් කටයුතු කරන බවයි.

සිදුවිය යුත්තේ රටෙහි අභිවෘද්ධිය සඳහා පෙනී සිටින දේශපාලන බලවේග, සිවිල් සමාජ බලවේග සහ සියලුම පුද්ගලයින් එකට එක් වී මෙම කාලකන්නි   දේශපාලන සංස්කෘතිය අතුගා දමා ඒ වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් දේශපාලන සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කිරීමයි. රටෙහි සමාජ සහ දේශපාලන බලවේගයන්ට ඒ සඳහා බුද්ධිය ලැබේවා යි මගේ පැතුමයි.

ranjith henayakaarachchi(රංජිත් හේනායක ආරච්චි)
සමාජ හා දේශපාලන ක්‍රියාකාරික
lranjith@hotmail.de

08.06.2023

 

 

 

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...