The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : 'වැඩකරන ගැහැනු'

T

The Leader Desk

June 11, 2023 • 10:08 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : 'වැඩකරන ගැහැනු'

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙසේ සඳහන් වන්නේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ වාර්තාවකය.
  • එහි ස්ත්‍රී-පුරුෂ වශයෙන් විශාල පරතරයක් ඇතිව තිබීම හොඳ තත්ත්වයක් නොවේ.
  • ''වැඩ කිරීම'' යන්නට නොයෙක් තේරුම් ඇත.
  • ඒ කිසිත් නොලබා කරන වැඩද ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙසේ සඳහන් වන්නේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ වාර්තාවකය.

එසේ හෙයින්, මෙය උඩින් පල්ලෙන් කියවා පසෙක දැමිය හැකි කාරණයක් නොවේ. අප එසේ කියන්නේ, බොහෝ වාර්තාවලට සිදුවන ඉරණම දැක පුරුදු හෙයිනි.

 

 ශ්‍රම බලකාය යනු රටක වැඩකරන මිනිස්සුය. එහි ස්ත්‍රී-පුරුෂ වශයෙන් විශාල පරතරයක් ඇතිව තිබීම හොඳ තත්ත්වයක් නොවේ. ඉහත වාර්තාවට අනුව, ලෝක මට්ටමින් ගත් කලද ලංකාවේ වැඩකරන ගැහැනුන්ගේ වර්ධනයද පහළ තැනකය. ගැහැනු වැඩට අකැමැති නැත. ගැහැනුන්ට වැඩ කළ හැකිය. පිරිමින් කරන බොහෝ වැඩද ඔවුන්ට කළ හැකිය. එහෙත් පිරිමින්ට වැඩි ඉඩක් හා වැඩි තැනක් ලැබෙන රටවල, ගැහැනු පස්සට විසිවෙති.

 

''වැඩ කිරීම'' යන්නට නොයෙක් තේරුම් ඇත. වැඩ කිරීම යනු රස්සාව ය. වැඩකරන විට වැටුප් හෝ ගෙවීම් ලැබේ. ඒ කිසිත් නොලබා කරන වැඩද ඇත. ඉන් සමහරක්, පින් අතේ වැඩය. සමහරු ඒවායින්ද රස්සා වෙති. ලක්ශාන්ත අතුකෝරාළ කවියා, සිරි ලංකාවේ ගැහැනු වැඩ ගැන අපූරු කෙටි කවියක් ලියා ඇත. ඒ මෙසේය.

 වැඩ ඇරී
වැඩට යති
ගැහැනු 

විජායි නාලිකා කරුණාතිලක කිවිඳිය, වැඩට යන කත නිමිති කරගෙන ලියූ ජනප්‍රිය කවක් මෙසේය.

 ෆයිල් එක දෙක වසා හෙමිහිට  339134614 1422106111526824 2774897748426175104 n
         

ඇඟිලි අත්සන තබා තනියට
නික්ම කන්තෝරුවෙන් විගහට
පැන්නෙ බසයට යන්නගෙදරට

මටත් කලියෙන් ගොසින් ගෙදරට
සෑඳෑ ගොම්මන බලන විට මග
විඩාපත් හිත වඩාගෙන මම
ගෙනත් තැබුවා පුටු සෙටිය උඩ

මහන්සිද මැණිකේ අසාගෙන
ඔච්චමක් කරනා විලාසෙන
පැය කටුව හඬ නගයි නොනැවත
වෙලාවලු රූ බත උයන්නට

කඩෙන් කෑවම රටේ නැති ලෙඩ
කියන අපගේ මහත්තැන් හට
සියලු රෝ දුක් නසාලන්නට
තැබුවෙ ලිප උඩ රතු කැකුළු බත

පුතා කන්නේ නැතිලු වම්බටු
දෝණි නොකනා ගහේ එළබටු
ශීතකරණේ හඬන තිබ්බටු
අදට නිහඬව හිඳිනු මැන බටු

තනා කිරි හොද්දකුත් විගහට
මාළු සාලයො බැද්දෙ තෙලටම
කට්ට සම්බෝලෙකුත් කෙටුවම
ඔන්න රූ බත මේසෙ උඩටම

කුස්සියේ කවුළුව වසන්නට
එබී බැලුවම අහස අඳුරෙම
කිමද - තරු කැටයකින් ඇසුවම
''සඳත් උයලලු එන්නෙ අහසට...!''

 


මේ කුඩා තීරු ලිපියෙහි, විජායිගේ අගනා නිර්මාණය සම්පූර්ණයෙන්ම උපුටා දැක්වූයේ හේතු තුනක් ඇතිවය. එය මෙතෙක් නොදැන සිටි රසික ජනයාගේ රසවින්දනය පිණිසය. එසේම එය, ලක්ශාන්තගේ වැඩ ඇරී ගෙදර යන ගැහැනියගේම දිගුවකි. තෙවැන්න, ආසියානු ගැහැනිය තම රටවල නිල ශ්‍රම බලකායට අයත් නොවීමට බලපාන ගෙදර දොර වැඩපළ පිළිබඳ චිත්‍රයක්ද එතුළින් පිළිබිඹු වීමය.

 සිරි ලංකාව වැනි රටවල උගත් ගැහැනු, විවාහයෙන් පසු රුකියාවෙන් ඉවත් වෙති. දරු ප්‍රසූතියෙන් පසු ගෙදර නවතිති. ඇතැමෙක් කාර්යාලයේදී මුහුණපෑමට සිදුවන විවිධ කරදර - බලපෑම් නිසා, රුකියාවෙන් ඉවත් වෙති. අපේ රටේ ගැහැනු ශ්‍රම බලකාය මදි යැයි මැසිවිලි නඟන උදවිය මේ කාරණා නොදනිති.

Screen Shot 2017 03 22 at 2.21.51 PM 0

ගැහැනු - පිරිමි ශ්‍රම අසමතුලිතතාව විසඳාගත හැකි එක් ක්‍රමයක් වන්නේ. ඔවුනොවුන් අතර වැඩ සහ වගකීම් බෙදා ගැනීමය. මෑතකදී දුටු පුවතකින් කියැවුණේ, පෙන්සිල්වේනියාවේ පිරිමි, මත්පැන් මිලදී ගැනීමට පෙර සිය බිරිඳගෙන් අවසර ලබාගත යුතු බවය.

තවත් රටක, බිරියට පමණක් නොව සැමියාටද ප්‍රසූත නිවාඩු ලැබේ. ප්‍රධාන වගකිවයුත්තා ආතල් එකේ සිටියදී, ගැහැනිය පමණක් ප්‍රසූත වේදනාව දැරීම පිළිබඳ චෝදනාව මහා බ්‍රහ්මයා වෙතද ගියේය. මඳක් කල්පනා කළ බ්‍රහ්මයා, එය තම නිර්මාණයෙහි වරදක් බව පිළිගෙන, ප්‍රසූත වේදනාව දැරීම පිරිමියා (සැමියා) වෙත පැවරීමට කටයුතු කළේය.

එම වැඩපිළිවෙළ ආරම්භක දිනයේම, ගැහැනියක දරුවකු ප්‍රසූත කිරීමට සැරසුණි. එහෙත් ඇගේ සැමියාට කිසිදු ගාණක් නැත. දරුවා බිහිවීමට ආසන්නය. බිරියගේ කාර්යාලයේ ප්‍රධානියා, මහත් වේදනාවෙන් බෙරිහන් දෙන්නට ගත්තේය. ශ්‍රම බලකාය සමතුලිත කිරීම, බොහෝ පරිස්සමින් කළ යුත්තක් වන්නේ එහෙයිනි.

Kapila kumara

 


(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී
Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම - deshaya.lk)

 

 

සබැඳි ලිපියක් :
මව් පදවිය නිසා වෘත්තිය හැර යන මාධ්‍යවේදිනියෝ - (ශිවන්ති ප්‍රනාන්දු)

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...