The Leader News
BREAKING
Top Ad
විශේෂාංග

කපිල කුමාර කාලිංගගේ හීසරය : පුත්‍ර ප්‍රශ්නය කෙසේද යත්

T

The Leader Desk

September 29, 2024 • 8:22 AM

කපිල කුමාර කාලිංගගේ හීසරය : පුත්‍ර ප්‍රශ්නය කෙසේද යත්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එක් ස්ත්‍රියක් තම පුතු නහවා, පොකුණ අසල හිඳුවා තබා, තමන්ගේ ද ඉස් සෝදා නාන්නට දියට බසී.
  • බිම ඉරක් අඳින පඬිතුමා, දරුවා මැද තබා, සැබෑ මවට ඔහු දෑතින් ද, යකින්න නොහොත් බොරු මවට ඔහු දෙපයින් ද ඇද, තමා සතු කරගන්නා මෙන් පවසයි.
  • බලා සිටින පිරිසට ද, ඇය සැබෑ මව බව වැටහී යයි.
  • ජර්මන් ජාතික බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ “හුණුවටයේ කතාවට” ද තේමා වී ඇත්තේ, ඉහත කී පුත්‍ර ප්‍රශ්නයමයි.
අකුරු ප්‍රමාණය (Font Size):

එක් ස්ත්‍රියක් තම පුතු නහවා, පොකුණ අසල හිඳුවා තබා, තමන්ගේ ද ඉස් සෝදා නාන්නට දියට බසී. ඒ ඇසිල්ලෙහි, ගෑනු වෙසක් මවාගෙන එන යකින්නියක්, දරුවා පැහැරගෙන පලා යයි. ඒ දකින මෑණියෝ ද පසුපස ලුහුබඳී. “මේ මගේ දරුවා”, යකින්න බැණ වදී. “දරුවා මගේ”, මෑණියෝ පවසති.

අවසානයේ මේ කලහය විසඳන්නේ මහෞෂධ පඬිතුමන් විසිනි. බිම ඉරක් අඳින පඬිතුමා, දරුවා මැද තබා, සැබෑ මවට ඔහු දෑතින් ද, යකින්න නොහොත් බොරු මවට ඔහු දෙපයින් ද ඇද, තමා සතු කරගන්නා මෙන් පවසයි. දරුවාට වේදනා දෙනු අකමැත්තෙන්, සැබෑ මව, දරුවා අතහරී. බලා සිටින පිරිසට ද, ඇය සැබෑ මව බව වැටහී යයි. උම්මග්ග ජාතකයේ එන, ‘පුත්‍ර ප්‍රශ්නය’ විසඳෙන්නේ ඒ ආකාරයෙනි.

හුණු වටයේ පොහොට්ටුව - (එරන්ද ගිනිගේ)ජර්මන් ජාතික බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ “හුණුවටයේ කතාවට” ද තේමා වී ඇත්තේ, ඉහත කී පුත්‍ර ප්‍රශ්නයමයි.

 

එක රටක උපන් කතාවක්, මුඛ පරම්පරාගතව නොහොත් කටින් කට පැතිර යමින් රටින් රටට යාම පුරාණයේ දී සිදුවූ දෙයකි. ජාතක කතාවට වසර සිය දහස් ගණනකට පසු, 1948 දී පමණ, ජර්මන් ජාතික බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ “හුණුවටයේ කතාවට” ද තේමා වී ඇත්තේ, ඉහත කී පුත්‍ර ප්‍රශ්නයමයි. එහිදී, කලහය හටගන්නේ දරුවා හදාගත් ගෲෂා නමැති දාසියක්, ඔහුගේ සැබෑ මව වුවත්, දරු සෙනෙහසින් තොර වූ, ආණ්ඩුකාර බිරිඳ නටාලියා අබෙෂ්විල්ලිත් අතරය.

මේ හබය විසඳන්නේ, මහෞෂධ පඬිතුමකු විසින් නොව, සොර දෙටුවකු වූ අසඩක් විසිනි. ඔහු ද, හුණුවටයක් ඇඳ එහි තබන දරුවා දෙපසට ඇදගන්නා මෙන් මව්වරුනට නියෝග කරයි. ගෲෂා, දරුවාට රිදවීමට අකමැතිව පසෙකට වෙයි. පෙර සේම ප්‍රශ්නය විසඳෙයි. වෙනස වන්නේ, හදාගත් මව ජය ගැනීමයි.

 



දෙයක් වේ නම් යම්

සුදුස්සාටම අයිති විය යුතු

කී ලෙස දන පොරණ

ලැබිය යුතු අයමය ලැබිය යුතු

හෙන්රි ජයසේනයන්ගේ පරිවර්තනයෙහි එන ලෙස, හුණුවටයේ කතාවේ ආදර්ශය එයයි.

මේ පූර්විකාව ලිවීමට සිත් වුණේ, ජනපති අසුනින් නැගිට යාමට සිදුවූ, රනිල් වික්‍රමසිංහ මහතා, සමුගැනීමේ කතාවේදී කියූවක් නිසාය. “මා නව ජනපතිතුමාට බාර දෙන්නේ, වැල් පාලමේ රැගෙන ආ, ශ්‍රී ලංකාව නමැති දරුවාය. මෙතැන් සිට ඔහු රැකබලා ගැනීම ඔහු සතුය.

 අනුර රනිල් එකතුවෙනවා නම් මරු! - (ආචාර්ය මහේෂ් හපුගොඩ)

මේ නාටකයේ දී, හිටපු ජනපතිතුමා පෙනී සිටින්නේ දරුවා හදාවඩා ගත්, නටාලියා අබෙෂ්විල්ලි ලෙසය. ඔහුට දරු අයිතිය ලබා දෙන්නේ, අරගලය නම් වූ ජනතා රෝහලක් මගිනි. මෙහිදී ගෲෂා වන්නේ, ජාතික ජන බලවේගයයි. ප්‍රශ්නය විසඳූ, සාධාරණ විනිශ්චය ලබා දෙන අසඩක් වන්නේ, පොදු ජනතාවයි. හුණුවටය නාටකය නම්, දරු ප්‍රශ්නය විසඳීමෙන් පසු නිමාවට පත් වෙයි. එහෙත් ‘සිරි ලංකාව’ නමැති දරුවාගේ ප්‍රශ්නය ඇරඹෙන්නේ ද දැන්ය. ගෲෂා නොහොත් මාලිමාවට ලබාදුන් දරුවා, ඈ විසින් සෙනෙහසින් හදාවඩා ගනු ඇත්දැයි, අසඩක් පසෙක සිට බලා හිඳී.

ගෲෂා තම යුතුකම නිසි ලෙස ඉටු නොකළහොත්, අසඩක් විසින් යළිත් දරුවා ලබාගෙන, සුදුස්සකුට බාර කරනු ඇත. පෙනෙන හැටියට නම්, අබෙෂ්විල්ලි මෙහෙසින් යළි දරුවා බාර ගැනීමට කැමති නැත. “ඇයට”, විශ්‍රාම සුවයෙන් හිඳිමින්, “නෙට්ෆ්ලික්ස්” චිත්‍රපට නැරැඹීමට අවශ්‍යය. එසේ හෙයින්, තවත් කවුරු හෝ රාජකීයයකු ඒ සඳහා ඉදිරිපත් වනු ඇත.

සිරි ලංකාව, දරුවකුට සමාන කිරීම උත්ප්‍රාසජනකය. ඒ මොන වගේ දරුවෙක්ද? ජනප්‍රවාදයේ හැටියට, ඔහුගේ පියා, සිංහයෙකි. මව රජ කුමරියකි. වංශ කතාවේ හැටියට පියා ඉන්දියානු ජාතික සොර දෙටුවෙකි. මව යක්ෂ ගෝත්‍රික කාන්තාවකි. මේ දරුවා, මන්දපෝෂිතය. දිළිඳුය. ආබාධිතය.

 

Cartoon SL upper middle income country

ඉගෙනීම සඳහා හොඳ පාසලක් සොයා ගැනීමට නම්, පහේ ශිෂ්‍යත්වය නම් විභාගයකින් සමත් විය යුතුය. ඒ සඳහා උපකාරක පන්ති පවත්වමින්, ගුරුවරු මඩිය තර කරගන්නා අතරේ, මව්පියෝ නැති නට්ටං වෙති. කොහොමටත්, මේ දරුවාගේ මව්පියන් ඉතා දුප්පත්ය. මාසික වැටුපෙන් ජීවත්වීමට බැරිය. මාසික බිල් ගෙවූ විට, වැටුපින් අඩක් ඉවරය. සිරි ලංකා දරුවා, වසර පහෙන් පහට, ඇපකාර පියවරුන්ට, මව්වරුන්ට බාරදීමට සිදුව ඇත්තේ එහෙයිනි. එහෙත් ඒ එකකුවත්, දරුවා හොඳින් හදාවඩා ගත්තේ නැත. දැන්, අලුත් භාරකාරයකුට දරුවා හිමිවී ඇත. දෙමව්පියෝ මහත් බලාපොරොත්තු ඇති කරගෙන සිටිති.

“මේ අන්තිම අවස්ථාවයි. මේ භාරකාරයාටත් බැරි වුණොත්, දරුවා සදා අනාථයි.” බොහෝ දෙනා කියති.

“ඔය දරුවා අපටත් අයිතියි. තව මාස තුනකින් අපි එයාව අයිති කර ගන්නවා.” තවත් පිරිසක් එසේ කියති.

ඔවුන්, සිරි ලංකා දරුවාට මෙතරම් කරුණාවක් දක්වන්නේ ඇයිදැයි සැකයක් උපදී.

 

මැතිවරණ සූදානම හේතුවෙන් ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය නතර කළ යුතු නොවේ - ජෙහාන්  පෙරේරා

‘පුත්‍ර ප්‍රශ්නය’ නමැති කතාවේදී කියැවෙන හැටියට නම්, බොරුකාර යකින්නිය, දරුවා පැහැර ගත්තේ, භක්ෂණය කිරීමටය. දරුවාගේ නීත්‍යානුකූල දෙමව්පියන්, පරිස්සම් විය යුත්තේ එහෙයිනි.

‘සිරි ලංකා’ දරුවා ගැන අසන්නට ලැබුණු උපහාස කියුමකින් දෙකකින්, අද තීරුව අවසන් කරමි.

1. දරුවා, වැල් පාලමෙන් එතෙරට ගෙන යා නොහැකි වූයේ, වී.එයිට් රථ එහි ගමන් කළ නොහැකි නිසාය.

2. හිටපු භාරකාරයා, දරුවා භාර දී ඇත්තේ සුළු මොහොතකටය. ඒ ඔහුගේ කලිසම ඉහළට ඔසවාගනු පිණිසය.

කපිල කුමාර කාලිංගගේ හීසරය : යකා, කොරහ සහ ගෙම්බා(කපිල කුමාර කාලිංග)
ප්‍රවීණ සාහිත්‍යවේදී

Kapilakalinga@gmail.com
(උපුටා ගැනීම : 'හරබර ' -deshaya.lk )

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...