හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඔහුගේ අවුරුදු 09 ක පාලන කාලය තුළ ආර්ථිකයේ හැසිරීම සම්බන්ධ තොරතුරු

ප්‍රකාශයක් මීට දින කිහිපයකට පෙර මාධ්‍යයට නිකුත්කර තිබිණ. එය රටේ ඇතිව තිබෙන බරපතල ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙක විමසූ පංච පුද්ගල විනිසුරු මඬුල්ල විසින් ඉකුත් නොවැම්බර 14 වන දින විසම්මුතික තීන්දුවක් සමගින් රාජපක්ෂලා සහ රජයේ ප්‍රධාන නිලධාරීන් කිහිප දෙනෙකු එම ආර්ථික අර්බුදයට වගකිව යුතු යැයි ඔවුන්ගේ බහුතර තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබු පසුව කෙරුණු ප්‍රකාශයකි.

 

 අධිකරණ තීන්දුව ගැන කිසිදු විග්‍රහයක් විවරණයක් නොමැතිව මහින්ද රාජපක්ෂ ඔහුගේ ප්‍රකාශයෙහි 2006 සිට 2014 අග දක්වා කාලයට සම්බන්ධ මූල්‍ය තොරතුරු හා දත්ත ඉදිරිපත්කර පෙන්වා ඇත්තේ ආර්ථික අර්බුදය 2015 න් පසු යහපාලන ආණ්ඩු කාලයේ සිට දිග හැරුණු බවකි. ඔහුගේ ප්‍රකාශයෙහි ඔහු කියන්නේ මහ බැංකු වාර්තා වලට අනුව 2006 සිට 2009 දක්වා යුද්ධය පැවති අවුරුදු සතරෙහි ඔහුගේ පාලනය යටතේ ආර්ථික වෘද්ධිය සියයට 06 ක් වූ අතර 2010 සිට 2014 අග දක්වා අවුරුදු පහක කාලයෙහි ආර්ථික වෘද්ධිය සියයට 6.8 ක් දක්වා ඉහළ ගිය බවය. එබැවින් ඒ දත්ත මත 2006 සිට 2014 දක්වා මහින්ද රාජපක්ෂ ජනාධිපති යුගයේ සියයට 06 ට වැඩි ආර්ථික වෘද්ධියක් තිබුණේ යැයි අකමැත්තෙන් වුවත් පිළිගන්නට සිදුවන්නකි.

mahinda rajapaksa

මහින්ද රාජපක්ෂ ඔහුගේ පාලන කාලයේ ආර්ථික පැවැත්ම සම්බන්ධව එම ප්‍රකාශයෙහි තව කරුණු ඉදිරිපත්කර ඇත. ඔහු පළමු වරට ජනාධිපතිවරණය ජයග්‍රහණයකර 2005 නොවැම්බරයේ දිවුරුම් දෙන විට ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය ඇමෙරිකානු ඩොලර 1,242 ක් වූ අතර, ඔහු 2015 ජනවාරි ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වන විට එය 3,819 ක් දක්වා ඉහළ ගොස් තිබූ බැව් ඔහු කියන්නේය.

එය නිදහසින් පසු 2005 වන තෙක් ශ්‍රී ලංකාවේ සියලු ආණ්ඩු ලබා ගත් ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදන අගයන් මෙන් දෙගුණයක් යැයිද මහින්ද කියන්නේය. ඊටත් අමතරව මහින්ද ඔහුගේ ප්‍රකාශයෙහි කියන ආකාරයට දළ දේශීය නිෂ්පාදනයට අනුපාතිකව 2014 වසර අවසානය වන විට ණය ප්‍රතිශතය, 2005 වූ සියයට 90 සිට සියයට 69 ට අඩුකර ගෙන තිබිණ. 2005 අගදී 1,922 ක් වූ සමස්ථ කොටස් මිල දර්ශකය 2014 අවසානය වනවිට 7,299 ක්ව තිබූ බවද ඔහු කියා ඇත.

 

 ඒ ගැන ඔහු උදම් අනන්නේ එවැනි ආර්ථික වර්ධනයක් ඔහු ලැබුවේ යුද්ධයද කරමින් 2007 ගෝලීය ආහාර අහේනියක්ද, 2008 - 2009 ගෝලීය ආර්ථික බිඳ වැටීමක්ද ලෝක ඉතිහාසයෙහි බොර තෙල් සඳහා මෙතෙක් වැඩිම මිලක්ද තිබූ පසුබිමක යැයි කියා ය. ඔහුගේ දත්ත හා සංඛ්‍යාලේඛන පැත්තකින් තැබුවත් මහින්ද රාජපක්ෂ යටතේ වූ ආර්ථික කලමනාකරණය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදී ඇති සහතිකය ඔහුගේ කියමන් සනාථ කරන්නේය.

 ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔවුන්ගේ 2014 සැප්තැම්බරයේදී නිකුත් කළ අංක 14/285 දරණ ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාවෙහි සඳහන් කර ඇත්තේ “ආර්ථිකය සියයට 07 ක පමණ ශක්තිමත් වෘද්ධියක් පවත්වා ගනු ඇතැයි අපේක්ෂිතය. ඉදිරියේදී උද්ධමනය තනි ඉලක්කම් අතර මැද ස්ථානයක නතර විය හැක. තව දුරටත් විදේශ සංචිත ඉහළ යෑමේ විදේශ පුණරාවර්තන ගිණුම අඩු මට්ටමකින් වූවත් වර්ධනය වනු ඇත. වෙළඳපල චලනයන් හා දේශගුණික හේතු නිසාවෙන් ඉදිරි මාවතෙහි ගොඩැලි කිහිපයක් හමුවිය හැකි වූවත් ඉදිරියේ එතරම් බරපතල අවදානම් තත්ත්වයක් නොපෙනේ.” යනුවෙන් ය. (මේ සිංහල මගේය)

 එයට අදාල සන්දර්භය ලෙස සටහන් වන්නේ “සාර්ව ආර්ථික ක්‍රියාකාරිත්වය සාමාන්‍යයෙන් බලාපොරොත්තු වූවාට වඩා යහපත්ය. 2012 සියයට 6.3 ක් වූ දළ දේශීය නිෂ්පාදිතය 2013 දී සියයට 7.3 දක්වා ඉහළ ගොස් තිබිණ. උද්ධමනය සියයට 05 ට වඩා අඩු ය. විදේශ පුණරාවර්තන ගිණුමෙහි ශේෂය වඩා යහපත්ව ඇත.” යනුවෙනි. (මේ සිංහලත් මගේය)

 107287057 press pm

 මහින්දගේ පාලනය අවසන් කෙරුණු 2014 වසර අවසානය වන විටද ආර්ථිකය යහපත්ව තිබිණැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එවැනි සහතික දෙන්නේ නම්, අවුරුදු 08 ට පමණ පසු 2022 වන විට ආර්ථික බිඳ වැටීමට වගිකව යුත්තේ කාගේ ආණ්ඩුවද? මහින්දගෙන් පසු 2015 ජනවාරියේ සිට 2019 ඔක්තෝම්බර අවසානය දක්වා වූ යහපාලන ආණ්ඩුවේ නායක අගමැති වික්‍රමසිංහ සමග ඒ ආණ්ඩුවේ ඇමතිවරුන් ඊට වගකිව නොයුතුද?

යහපාලන ආණ්ඩුවේ කෙරුවාව ගැන මහින්ද ඉදිරිපත් කරන දත්ත හා සංඛ්‍යාලේඛන වලට අනුව, ඔවුන්ගේ පළමු අවුරුද්ද අවසාන වනවිට 2015 වසර අගදී ආර්ථික වෘද්ධිය සියයට 4.2 දක්වා පහත වැටී 2019 අවසාන වනවිට සෘණ අගයකට සමාන සියයට 0.2 ක් වී යැයි ඔහු කියන්නේය. මේ දත්ත මහින්ද ඉදිරිපත් කරන්නේ 2016 ජුනි මස අගමැති වික්‍රමසිංහගේ ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල සමග අත්සන් කළ ආර්ථික සහන වැඩසටහනක්ද ක්‍රියාත්මක කිරීමෙන් පසුව තිබූ තත්ත්වය සම්බන්ධයෙනි. ඔහු ඉදිරිපත් කර ඇති සංඛ්‍යා ලේඛන වලට අනුව ඔහු විසින් දළ දේශීය නිෂ්පාදනයට අනුපාතිකව සියයට 69 දක්වා අඩු කළ ණය ප්‍රතිශතය යහපාලන ආණ්ඩුව යටතේ 2019 වන විට නැවත සියයට 89 දක්වා ඉහළ ගොස් ඇත.

මහින්දගේ ප්‍රකාශයෙන් සතියකට පසුවත් විපක්ෂයේ ආර්ථික විශේෂඥයින් ඔවුන්ගේ යහපාලන ආණ්ඩු කාලය සම්බන්ධයෙන් මහින්ද ඉදිරිපත් කළ මේ සංඛ්‍යා ලේඛන හා දත්ත වැරදි යැයි කියා නැත. විශේෂයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2014 සැප්තැම්බර මස ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ වාර්තාවෙන් මහින්දගේ ආණ්ඩු පාලනය යටතේ වූ ආර්ථිකය ගැන කෙරෙන යහපත් සඳහන් කිරීම්ද ප්‍රශ්නකර නැත. එබැවින් 2015 සිට යහපාලන ආණ්ඩුව යටතේ අගමැති වික්‍රමසිංහ සමග ඒ ඇමති මණ්ඩලයේ ප්‍රධානීන් වූ රවි කරුණානායකලා, සජිත් ප්‍රේමදාසලා, ලක්ෂමන් කිරිඇල්ලලා, චම්පික රණවකලා, හර්ෂ ද සිල්වලා, එරාන් වික්‍රමරත්නලා මේ ආර්ථිකය බිඳ දැමීමට වගකිව යුතු නොවන්නේද?

BLUE PRINT 750x375

 ඇත්ත කතාව නම්, අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මෙවැනි ආර්ථික බංකොලොත්වීම් සඳහා ආණ්ඩු වගකිව යුත්තේ පාර්ලිමේන්තු විසින් ඔවුන්ට ලබා දෙන අවසරය අනුවය. ආණ්ඩුව රාජපක්ෂගේ වූවත් වික්‍රමසිංහගේ වූවත් ආණ්ඩුව කාගේ වූවත් මහජන මුදල් සම්බන්ධ මූලික හා අවසාන වගකීම ඇත්තේ පාර්ලිමේන්තුවට ය. එනිසා ආණ්ඩු විසින් රටට අහිතකර, විනාසකාරී ආර්ථික ප්‍රතිපත්ති සම්මත කර ක්‍රියාත්මක කිරීමේ අවසන් වගකීම බාරගත යුත්තේ පාර්ලිමේන්තුවය.

නිදසුනක් ලෙස, 2020 හෝ 2021 සම්මත කළ වැට් බදු, ජාතිය ගොඩ නැගීමේ බදු, ආර්ථික සේවා බදු වැනි බදු අයකිරීම් සඳහාවන පනත් පාර්ලිමේන්තුවේ සම්මත කළ පසු ඒ සම්බන්ධයෙන් වගකිව යුත්තේ ඇමති මණ්ඩලයක් හෝ අවුරුදු 08 ට 10 ට කලින් සිටි රාජ්‍ය නායකයින් නොවේ. එයට වගිකව යුත්තේ එදා පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටි මන්ත්‍රීවරුන් සියල්ලන්ම ය. මෑත කාලයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඔවුන්ට මහජනතාව වෙනුවෙන් වගකීමක් ඇතැයි පිළිගෙන කටයුතු කර නැත. ඒ ගැන ඇති ඉතාම සරළ නිදසුන වන්නේ මේ 2024 අයවැයද සමගින් පසුගිය අවුරුදු 06 ක කාලයේ පාර්ලිමේන්තුව විසින් සම්මත කළ වාර්ෂික අයවැය සියල්ල නීති විරෝධි අයවැය යැයි කිසිවකු කතා නොකිරීමය.

මෙවැනි බරපතල ආර්ථික අර්බුදයකට රට මුහුණ දෙන්නේ නීති විරෝධී අයවැයකට අනුව ආර්ථිකය පවත්වා ගැනීමට පාර්ලිමේන්තුව විසින් ආණ්ඩු වලට ලබා දෙන නිදිහස හේතුවෙනි.

මේ රටේ 2003 අංක 03 දරණ “රාජ්‍ය මූල්‍ය කලමනාකරණ වගකීම් පනතේ” විධි විධාන වලට අනුව 2006 සිට අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 05 ට නොවැඩි විය යුතු අතර, 2013 දී කෙරුණු සංශෝධනය මගින් සියයට 60 ක් වූ මධ්‍යම ආණ්ඩුවේ ණය ප්‍රතිශතයේ උපරිම සීමාව සියයට 80 දක්වා ඉහළ දැමින. ඒ සඳහා අනුගතවීමට පනත මගින් 2020 දක්වා කල් දෙනු ලැබිණ. එය දැන් රටේ නීතියකි. පාර්ලිමේන්තුවට නීති උල්ලංඝණය කිරීමේ අවසරයක් හෝ බලයක් නැත. එනමුත් එම නීතිය උල්ලංඝණය කරමින් පාර්ලිමේන්තු විසින් නොකඩවා අයවැය 05 ක් සම්මත කර ඇත. මෙවර 2024 අයවැයද එවැනිමය. මෙවර අයවැය හිඟය සියයට 9.1 කි. එය සම්මත කිරීම එනිසා නීති විරෝධීය. නීති විරෝධී වූවත් එය සම්මත කෙරෙණු ඇත.

parliament gallery 24052019 ESK

 පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 ම මහජන මුදල් සම්බන්ධ ඔවුන්ගේ වගකීම එළෙස නිරුවත්වම අත හරින විට, රට ආර්ථික වශයෙන් බංකොලොත් නොවුනහොත් එය පුදුමයකි. ආණ්ඩුවේ ප්‍රධානීන් පමණක් ආර්ථික විනාශ සඳහා වගකීමට බැඳීමේ බාල බොළඳ විපක්ෂ දේශපාලනය විසින් ඉදිරියේදීවත් මේ අවුල නොලිහනු ඇත. එබැවින් රාජ්‍ය නොවන සංවිධාන සහ ආචාර්ය මහාචාර්යවරුන් කර ගැසිය යුත්තේ විපක්ෂයේ මේ බාල විරෝධයට නොවේ. ඔවුන් කර ගැසිය යුත්තේ සමාජ වගකීමටය. එබැවින් මා ඔවුන්ට යෝජනා කරන්නේ 2003 අංක 03 දරණ “රාජ්‍ය මූල්‍ය කලමනාකරණ වගකීම් පනතේ” විධි විධාන වලට පටහැනිව අයවැය සම්මත කිරීමට ඡන්දය දෙන සියලු මන්ත්‍රීවරුන්ට එරෙහිව ඔවුන්ගේ පුරවැසි අයිතිවාසිකම් අහෝසි කරන මෙන් ඉල්ලා අධිකරණයට යන මෙන්ය.

kusal perera 

(කුසල් පෙරේරා)
ප්‍රවීන දේශපාලන විචාරක හා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

2023 දෙසැම්බර 01

 

සබැඳි ලිපි :

ලංකාවේ ආර්ථික අර්බුදයේ මූලාරම්භය ගැන මහින්දගෙන් පැහැදිලි කිරීමක්

මහින්දගෙන් විශේෂ ප්‍රකාශයක්

රට බංකොළොත් කළේ යහපාලන නඩයයි - මහින්ද රාජපක්ෂ

'ගෝඨාභය, මහින්ද, බැසිල් ඇතුළු පිරිස වත්මන් අර්බුදයට වග කිව යුතුයි' - ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්