එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හී පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ

(United Nations Framework Convention on Climate Change - UNFCCC) පාර්ශ්වකරුවන්ගේ 28 වන සමුළුව (Conference of the Parties) නැතිනම් COP28 සමුළුව සඳහා මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් මෙරට 80 දෙනෙකුගේ පමණ කණ්ඩායමක් සහභාගී වෙයි. සමුළුව 2023 නොවැම්බර් 30 සිට දෙසැම්බර් 12 දක්වා පැවැත්වේ. මෙහිදී ‘පාර්ශ්වකරුවන්’‍ යනු 1992 දී එක්සත් ජාතීන්ගේ දේශගුණික සම්මුතියට අත්සන් කළ රටවල් වේ.

cdd

මෙවර සමුළුව සඳහා ශ්‍රී ලංකාවෙන් මෙතරම් විශාල පිරිසකගේ සහභාගීත්වය සිදුවීම තරමක් කතාබහට ලක්ව තිබුණත් මෙම සමුළුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අතිශය වැදගත්ය. එමෙන්ම මෙවර සමුළුව තුළ දී මෙරට විසින් ඉටු කිරීමට නියමිත කාර්ය භාරය ද එතරම්ම වැදගත් වී ඇත. මෙරට විපක්ෂ කණ්ඩායම් විසින් පසුගිය වසරේ ඊජිප්තුවේ පැවැති COP27 සමුළුව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහභාගිත්වය ද අවඥාවට ලක් කළේ රටේ ආර්ථික අර්බුද උත්සන්න මොහොතේ ජනාධිපතිවරයා රටේ මුදල් නාස්ති කරමින් වැඩකට නැති පරිසර රැස්වීමකට සහභාගීවනවාය, සැප ගන්න පිටරට ගොස් ඇතැයි කියමින්ය. එදා මෙම විපක්ෂ කණ්ඩායම් මෙම සමුළුවෙහි වැදගත්කම තේරුම් නොගත් අතර අදටත් ඒ ගැන අවබෝධයකින් තොරය. ගෝලීය වශයෙන් අර්බුදයක් වෙමින් පවතින දේශගුණික විපර්යාස පිළිබඳ ප්‍රශ්නය මෙරට සම්බන්ධයෙන් ද අනාගතයේදී මුහුණදීමට සිදුවීමට නිමිත භයංකර තත්වයකි. ආර්ථික අර්බුදයට වඩා මෙම අනතුර බරපතලය. ගෝලීය උණුසුම වැඩිවී මුහුදු මට්ටම ඉහළ යෑම නිසා ඉදිරි දශක කිහිපයක් ඇතුළත යාපනය අර්ධද්වීපය සහ මෙරට වෙළරබඩ කලාපයේ බොහෝ ප්‍රදේශ මහ මුහදට බිලිවීමේ විශාල ඉඩකඩක් ඇති බව දැනටම ප්‍රකාශයට පත්ව ඇත. මේ අනුව දූපත් රාජ්‍යයක් වන මාලදිවයින මුළුමනින්ම පාහේ මුහුදුබත් වෙනු ඇත. මෙරට ප්‍රශ්නය එතැනින් කෙළවර වන්නේ නැත.

 

අහක යන ප්‍රශ්න

නිවර්තන කලාපීය රටක් වන ශ්‍රී ලංකාව ගොදුරු වන ඛේදාන්තයේ වපසරිය අති විශාලය. එය පරිසරයට, ආර්ථිකයට සහ සමාජයට බරපතල අභියෝග එල්ල කරනු ඇත. උෂ්ණත්වය ඉහළයාම, වර්ෂාපතන රටා වෙනස් වීම, නියඟය, ගංවතුර වැනි ආන්තික කාලගුණික සිදුවීම්වල වාර ගණන සහ තීව්‍රතාවය වැඩි වීම ඇතුළු දේශගුණය ආශ්‍රිත බලපෑම් රාශියක් රටට අත්විඳීමට සිදුවෙනු ඇත. මේ වන විටත් මෙහි මුල් අවස්ථාවලට රට ලක්ව ඇති බව මේ මෑතක සිට වන කාලගුණික වෙනස්කම් විසින් පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවට ඇති ප්‍රධානතම ප්‍රශ්නවලින් එකක් වනු ඇත්තේ දේශගුණික විපර්යාස හේතුවෙන් ජල මූලාශ්‍ර කෙරෙහි ඇති වන බලපෑමයි. වර්ෂාපතන රටාවේ වෙනස්වීම්, විශේෂයෙන් රටේ වියළි කලාපයේ ජල හිඟය හා දීර්ගකාලීන් නියඟ ඇති විය හැක. මෙය කෘෂිකර්මාන්තයට මෙන්ම පානීය ජල සැපයුමට සහ ජල විදුලි උත්පාදනයට දැඩි බලපෑම් ඇති කළ හැකිය. ශ්‍රී ලංකාවේ තවත් ප්‍රධාන ගැටලු‍වක් වන්නේ ගංවතුරය. තීව්‍ර වර්ෂාපතන සිදුවීම් සහ මුහුදු මට්ටම ඉහළ යාම වෙරළබඩ ගංවතුර හා හදිසි ගංවතුර ඇති විය හැක. යටිතල පහසුකම්වලට හානි සිදු කිරීම, ප්‍රජාවන් අවතැන් වීම හා ජීවනෝපායන් කඩාකප්පල් වීම, රටේ ජෛව විවිධත්වය සහ පරිසර පද්ධති ද අවදානමට ලක්වීම වනු ඇත. ශ්‍රී ලංකාව පොහොසත් ජෛව විවිධත්ව පරිසර පද්ධති සඳහා ප්‍රසිද්ධය. නමුත් උෂ්ණත්වය ඉහළ යාම, වර්ෂාපතන රටා වෙනස් වීම නිසා ශාක හා සත්ත්ව විශේෂවල ව්‍යාප්තියට බහුලත්වයට මෙන්ම කොරල්පර සහ අනෙකුත් සාගර පරිසර පද්ධතිවලට හානි විය හැකිය. මේ තත්වයන් ධීවර කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය බලපෑම් සහගතය.

මේ නිසා ශ්‍රී ලංකාවට බරපතල සමාජ-ආර්ථික ප්‍රතිවිපාක ඇති කළ හැකිය. දේශගුණික විපර්යාස හමුවේ සීමිත සම්පත් සහ අනුවර්තනය වීමේ හැකියාව අවම පිරිස්, විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශවල සහ ග්‍රාමීය ප්‍රදේශවල සිටින අය අවදානමට ලක්වීම සිදුවනු ඇත. මේ ආදී වශයෙන් තත්වයන්ගේ බරපතලකම මේ අනුව වටහාගැනීමට හැකිය.

 

රටේ ප්‍රශ්නය විසඳගැනීම

මෙරට පරිසර ප්‍රශ්න ගැන නිරන්තරයෙන් සාකච්ඡාවට නැගෙමින් පවතින අතර රාජ්‍ය පාලනයට චෝදනා කිරීම් ද සුලභ වුවත් ඇත්ත ප්‍රශ්නය ඇත්තේ වෙන තැනකය. මෙරටට පාලනය කළ නොහැකි තැනකය. ලෝක මටට්මින් බැලූ විට මෙරට තුළ සිදුවන පරිසර හානිදායක ක්‍රියාවන් නොගිනිය හැකි තරම් කුඩාය. දේශගුණික විපර්යාසයන්ට ප්‍රධානම හේතුවක් වී ඇති පරිසරයට කාබන් මුහුවීම සලකා බැලු‍විට ලෝකය පරිමාණයට සාපේක්ෂව එය සියයට 0.003 ක තරම් කුඩා දායකත්වයකි. එහෙත් ඉන් අදහස් කෙරෙන්නේ මෙරට තුළ සිදුවන පාරිසරික හානි නොතකා සීටීම ගැටළුවක් නොවන බව නොවේ. මෙරට පරිසරය රැකගැනීම විය යුතුය. මෙරට වනාන්තර ඇතුළ ස්වභාවික පරිසරය රැකගැනීම සහ ඒවා තවදුරටත් පෝෂණය කරමින් ව්‍යාප්ත කිරීම විය යුතුය. මෙරට ජෛව විවිධත්වය රැකගැනීම විය යුතුය. කෙසේ නමුත් මෑත කාලයක සිට මේ වෙනුවෙන් රජය දැඩි අවධානය යොමු කරමින් තිබේ.

zdxfdsfඑමෙන්ම දේශගුණික විපර්යාස ගැටළුවේ වැදගත්කම හඳුනාගනිමින් ශ්‍රී ලංකාව එහි බලපෑම් අවම කිරීමට සහ ඒවාට අනුගත වීමට පියවර ගෙන ඇත. පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කිරීම, ජල කළමනාකරණය වැඩිදියුණු කිරීම, වෙරළ ආරක්‍ෂාව වැඩිදියුණු කිරීම, විවිධ අංශවල දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා ප්‍රතිපත්ති සහ උපාය මාර්ග ක්‍රියාත්මක කර ඇත. නෛතික ප්‍රතිපාදන හඳුන්වා දී ඇත. නව ආයතන රැසක් පිහිටුවා ඇත.

 

එක්සත් ජාතින්ගේ තිරසර සංවර්ධන 2030 ඉලක්ක 17 ඉටු කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටින අතර මෙම ඉලක්කවලින් වැඩිම අවධානයක් සහ සපුරා ගැනීමට යොමුව තිබෙන්නේත් දේශගුණික පාරිසරික ගැටළු සම්බන්ධයෙනි. එසේම මේ වන විට මෙරට බහුතර ජනතාවද මෙම පාරිසරික ගැටළුව අවබෝධ කරගෙන සහ ඒ වෙනුවෙන් උනන්දුවක් දැක්වීම ද පෙන්නුම් කරන බැවින් රටට අදාල ගැටළු නිරාකරණය වීම ගැන සුබවාදී අපේක්ෂා තබාගත හැකිය. මේ අනුව ශ්‍රී ලංකාවේ දේශගුණික විපර්යාස මගින් එල්ල වන අභියෝගවලට ඵලදායී ලෙස මුහුණ දීම සඳහා රට තුළ අඛණ්ඩ උත්සාහයක නිරත බව පැහැදිලිය.

 

ලෝකයේ ලොකුම සමුළුව

COP28

එහෙත් අර්බුදය වන්නේ ගෝලීයව සිදුවන පාරිසරික ප්‍රශ්නයය. එය විසඳා ගැනීම වෙනුවෙන් ද ශ්‍රී ලංකා රජයට අද මැදිහත් වන්න සිදුව ඇත. මෙහිදී ජාත්‍යන්තර සහයෝගීතාව ඉතා වැදගත් සහ තීරණාත්මක වේ. ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් වඩාත් උන්නදු වන්නේ රටේ අනාගත පැවැත්ම මෙරට දේශපාලනික හෝ ආර්ථික වශයෙන් පමණක් විසඳා ගැනීමේ හැකියාවක් නොමැති බැවිනි. මේ නිසා COP28 සමුළුව සඳහා මෙරට සහභාගිත්වය හා එහි තීන්දු තීරණ වෙනුවෙන් තීරණාත්මක මැදිහත් වීමක් වෙනුවෙන් ක්‍රීයාකාරීවීම මේ මොහොතේ මෙරටට අතිශය වැදගත්ය.

කෙසේ නමුත් COP28 යනු දේශගුණික හෝ පාරිසරික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා වන එකම ප්‍රයත්නය නොවේ. නමුත් මෙය ලෝකයේ පාරිසරික හෝ වේවා වෙනත් අරමුණක් වෙනුවෙන් හෝ පවත්වන විශාලම සමුළුව ලෙස සැලකේ. මෙවර සමුළුව සඳහා ලෝකයේ රාජ්‍ය නායකයන් සියළු දෙනාට ආරාධනා කර ඇති අතර ඉන් 138 දෙනකු සහ තවත් රාජ්‍ය නියෝජිතයන්, රාජ්‍ය නිලධාරීන් මෙන්ම ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සිය ගණනක්, මහා පරිමාණ ව්‍යාපාරික සමාගම් නියෝජිතයන් සිය ගණනක්, පරිසරය සම්බන්ධ සංවිධාන, විද්වතුන් හා ක්‍රියාකාරකයන් සිය ගණනක් ආදී වශයෙන් සහභාගීවන ලෝකයේ වැඩිම අවධානය යොමුවූ දහස් ගණනක සහභාගීත්වය සහිත පුළුල්තම සමුළුව වෙයි. එමෙන්ම මෙවර ඒ ඒ රාජ්‍යයන්වල සමාජ මෙහෙවරේ යෙදෙන තරුණ තරුණියන්ගේ ඉහළ දායකත්වය සමුළුවට ලබාගැනීම කැපී පෙනෙයි.

මෙවර COP28 සමුළුව ඩුබායි හි පැවැත්වීම ද මතබේදාත්මක වුවත් එයත් වැදගත්ය. මන්ද එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලෝකයේ වැඩිම තෙල් නිෂ්පාදනය කරන රටවල් 10 න් එකකි. COP28 සමුළුවේ සභාපති ලෙස එම රජය සතු තෙල් සමාගමේ ප්‍රධාන විධායක ද වන එරට කර්මාන්ත හා උසස් තාක්ෂණ අමාත්‍ය සුල්තාන් අල්-ජාබර් පත් කර ඇත. එක්සත් ජාතීන්ගේ දේශගුණික සම්මුතිය උල්ලංඝණය කරමින් තෙල් නිශ්පාදනය කිරීම ගැන චෝදනාවක්ද මේ දිනවලම මෙම සමාගමට එරෙහිව පවතී. බලශක්තිය සඳහා තෙල්, ගෑස් සහ ගල් අඟු‍රු ආදී පොසිල ඉන්ධන දහනය වන විට කාබන්ඩයොක්සයිඩ් වැනි ලෝකය උණුසුම් කරන හරිතාගාර වායු මුදාහැරීම දේශගුණික විපර්යාසවලට ප්‍රධාන හේතුවය. මේ අනුව ඊට දායක වන රාජ්‍යයක මෙම සමුළුව පැවැත්වීම එහි අරමුණු සමඟ වන කතිකාව තවදුරටත් තිව්‍ර කිරීම සිදුවෙනු ඇත.

 

ශ්‍රී ලංකාවේ යෝජනාව

zdfsere

කෙසේ නමුත් මෙම දේශගුණික විපර්යාස ගැටළුව සම්බන්ධයෙන් විශාල වපසරියක පැතිරුණ අර්බුදයන් විසඳා ගැනීමට ඇති නමුත් මෙම සටහන තුළ අවධානයට ලක් කරන්නේ ශ්‍රී ලංකාවේ සහභාගිත්වය පිළිබඳවය.

මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව යෝජනා 03 මුලිකව ඉදිරිපත් කර ඇත.

ඒ අනුව නිවර්තන කලාප මුලපිරීම (The Tropical Belt Initiative), දේශගුණ යුක්ති සංසදය (The Climate Justice Forum) සහ ජාත්‍යන්තර දේශගුණික විපර්යාස පිළිබඳ විශ්වවිද්‍යාලය (The International Climate Change University) යන කරුණු පිළිබඳව ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ අවධානය යොමු වෙයි.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ වැඩපිළිවෙල අනුව දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ශ්වයන්ගේ සමුළුවේ ප්‍රථම මණ්ඩපයට (pavilion) ශ්‍රී ලංකාව සිය සත්කාරකත්වය සපයනු ඇත. ශ්‍රී ලංකාව මෙවැනි සත්කාරකත්වයක් දරන්නේ ප්‍රථම වතාවටය. තවත් විදේශ රාජ්‍යයන් කිහිපයක්ම මෙවැනි මණ්ඩප කිහිපයක් පවත්වනු ලබන අතර මෙවර ශ්‍රී ලංකා මණ්ඩපය දෙසැම්බර් 3 දා ආරම්භ වෙයි. මෙහිදී “තිරසාර නාගරික අනාගතය - ස්වභාවික පාදක විසඳුම් (NSB) සමඟින් දේශගුණික අවදානම්වලට මුහුණ දීම” මැයෙන් මෙම සාකච්ඡා සැසිවාරය පැවැත්වෙනු ඇත. අධික මානව ක්‍රියාදාමයන්, සැලසුම් නොකළ යටිතල පහසුකම් සහ වසර ගණනාවක තිරසාර සංවර්ධන ජයග්‍රහණ ආපසු හැරවීමට ඇති හැකියාවන් ආදිය හේතුවෙන් නාගරික ප්‍රදේශ දේශගුණික ගැට`ඵවලට වැඩි වැඩියෙන් ගොදුරුවීම ගැන අවධානය යොමුවේ. මෙම අවදානම අඩු කිරීම, නාගරික ප්‍රදේශවල ඇති විය හැකි අනතුරුවලට, සිදුවන අලාභහානි වැළැක්වීමට, අවම කිරීමට මෙන්ම දේශගුණික විපර්යාස බලපෑම්වලට සැලකිය යුතු ලෙස වැඩිදියුණු කළ සමාජ, ආර්ථික සහ පාරිසරික ඔරොත්තු දීමේ හැකියාවක් ඇති බව සහතික කිරීම, දේශගුණික විපර්යාස අනුවර්තනය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබාගැනීම. ස්වභාවධර්මය මත පදනම් වූ විසඳුම් සම්මත කිරීම ආදිය මෙහි අපේක්ෂාව වේ.

COP28 හි ප්‍රධාන සමුළුවට සමගාමීව පැවැත්වෙන මෙම සැසිවාර වැඩසටහන් 25ක් මෙහෙයවීමට ශ්‍රී ලංකාව සූදානම් වන අතර, රාජ්‍ය නායකයින්ගේ සිට රාජ්‍ය නොවන සංවිධාන සහ පෞද්ගලික අංශය දක්වා සිය ගණනක් පාර්ශ්වකරුවන් ඊට සහභාගී වනු ඇත. ඊට අමතරව එහිදී දේශගුණය සම්බන්ධ බහුවිධ ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡාව සහ ලොබි සාකච්ඡා කිහිපයක්ම ශ්‍රී ලංකාව විසින් මූලිකත්වය ගෙන කටයුතු කිරීමට නියමිතය.

 

ගෝලීය සටනේ රැඩිකල් වෙනස

COP28 1

කොහොම නමුත් දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා වන ගොලීය සටනේ ශ්‍රී ලංකාවේ වත්මන් එළැඹුම, එහි “රැඩිකල් වෙනසක්” ඇති කරනු ඇති බව ජනාධිපති රනිල්, රොයිටර් පුවත් සේවයට පවසා තිබිණි. දේශගුණික විපර්යාස අවම කර ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරිපත් කරන ප්‍රධාන යෝජනා 03 අතිශය වැදගත්වීම මත මේ වන විටත් ලෝක අවධානය ඊට විශාල වශයෙන් යොමුව පවතී. මෙහිදි දේශගුණික විශ්වවිද්‍යලය සහ දේශගුණික යුත්තිය සඳහා වන මුලික අදහස පසුගිය සමුළුවේදිත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත්කර තිබු අතර මෙවර ඒ විධිමත්ව සහ ඒ වෙනුවෙන් සමුළුවේ සහය හා එකඟත්වය ලබාගැනීම වෙනුවෙන් වැඩි බරක් යොදා ඇත.

 

නිවර්තන කලාපයට අලුත් තැනක්

‘නිවර්තන කලාපීය මුල පිරීම් සංසදය’ ගැන අදහස මුල් වරට මෙම සමු`ඵවට ඉදිරිපත් කරන්නකි. මෙතෙක් ලෝකයේ අවධානයට නතුව නොතිබුණු නමුත් දේශගුණික විපර්යාස අවම කරගැනීම වෙනුවෙන් වැදගත්ම යෝජනාවක් ලෙස මේ වන විට ජාත්‍යන්තර මට්ටමෙහි සාකච්ඡාවට ලක්ව තිබේ.

දේශගුණික විපර්යාස නිසා පෘථිවි ගෝලයේ සමකය දෙපසට සමාන්තරව පිහිටා ඇති මෙම නිවර්තන කලාපීය තීරුවම සමස්තයක් ලෙස බරපතල අවධානමක ලක්ව තිබේ. ශ්‍රී ලංකාව පිහිටා ඇත්තේ ද මෙම තීරුවෙහිය. මෙම කලාපයට ලෝකයේ භූමි ප්‍රදේශයන්ගෙන් සියයට 40ක් අයත්ය. එක්සත් ජාතින්ගේ සාමාජික රටවලින් 134ක් පූර්ණ හෝ අර්ධ වශයෙන් මෙම තිරුවෙහි පවතී. ලෝක ජනගහනයෙන් අඩක් පමණ මේ කලාපයේ වෙසෙයි. එසේම ලෝකයේ ජෛව විවිධත්වය වැඩිම ප්‍රදේශයය. සුර්ය ශක්තිය, වර්ෂාව, වනගහනය ආදිය වැඩිම ප්‍රදේශයය. මේ කලාපය වැදගත් වන්නේ මේ ආදි වශයෙන් වන විශේෂත්වය නිසාම නොවේ. මේ විශේෂත්වය ලෝකයේම පරිසර පද්ධතිය සමතුලිත කරගැනීමට මෙම කලාපය බලපවත්වන නිසාය. ලෝකයේ දේශගුණික තත්වයන් නැතිනම් ගෝලීය උණුසුම පාලනය කරන ප්‍රදේශය මේ යැයි කියා හැඳින්විය හැකිය.

ඒ අනුව මෙම කලාපය ආරක්ෂ කරගැනීමෙන් ගෝලීය දේශගුණික විපර්යාස අවම කිරීම වෙනුවෙන් ඉහළම දායක්තවයක් සපයනු ඇත. මෙහිදී ඉන්දියන් සාගරය කාබන් ගිල්වනයක් (Carbon Sink) ලෙස ප්‍රවර්ධනය කිරීමට නිවර්තන කලාපයේ රටවල් සම්බන්ධ කිරීම කෙරෙහි අවධානය යොමු කිරීම ද අපේක්ෂා කෙරේ. මේ වෙනුවෙන් වන ආයෝජනය කිරීමේ වැඩසටහනක් නිර්මාණය කිරීමට මෙම සමුළුව හරහා මුලපිරීමක් කළ යුතුවීම ශ්‍රී ලංකාව ඉදිරිපත්කර තිබෙන යෝජනාවය. මෙවැනි යෝජනාවක් මෙම සමුළුවට හෝ පෙර පැවැති පාරිසරක හෝ වෙනයම් සමුළුවකට ඉදිරිපත් කෙරෙන මුල් අවස්ථාවත් මෙයය.

 

යුක්තිය මිළ අධිකය

zdsfsdfs

දේශගුණික යුක්තිය පිළිබද යෝජනාව ද ශ්‍රී ලංකාව විසින් මුල් වරට ඉදිරිපත් කළ වැදගත් යෝජනාවකි. මෙය දේශගුණික විපර්යාසවලින් වැඩිම බලපෑමක් සිදුවන සංවර්ධනය වෙමින් පවතින් රටවලට සහ කුඩා දූපත් රාජ්‍යයන්වලට වන හානිය වලක්වා ගැනීම සහ යළි ප්‍රතිසංස්කරණය වෙනුවෙන් වන ඉල්ලීමකි. දේශගුණික විපර්යාසවලට වැඩිම දායකත්වයක් සපයා ඇති සංවර්ධිත රාජ්‍යයන් විසින් මෙම කුඩා රාජ්‍යයන් රැකගැනීම වෙනුවෙන් මුල්‍ය දායකත්වයක් හෝ වන්දියක් ගෙවිය යුතු බව ජනාධිපති රනිල් පසුගිය සමුළුවේදී ද දැඩිව කියා සිටි දෙයකි. එම නිසාම ඒ වෙනුවෙන් නව ජාත්‍යන්තර කතිකාවක් ඇතිවිය.

 

මෙම දේශගුණික යුක්තිය පිළිබද සංසදය යෝජනා කිරීම එම අරමුණ ඉටුකරගැනීම සදහා සක්‍රීය මැදිහත් වීමකි. ලෝකයේ සෑම රටක්ම මෙම දේශගුණික අර්බුදයට අඩු වැඩි වශයෙන් වගකිව යුතු නමුත් වර්තමානයෙහි ගැටළුව විසදාගැනීම වෙනුවෙන් වන මැදිහත් වීමේදි මේ සඳහා දරන්න වන වියදම දැවැන්තය. එම වැය බරට සංවර්ධිත රාජ්‍යන්හි යුක්ති සහගත මැදිහත් වීමක් කුඩා රටවල් වෙත අව්‍යශ්‍යමය. මන්ද මේ ප්‍රශ්නය ඉතා උග්‍රකරවීම සිදු කළේ සංවර්ධිත රාජ්‍යයන් විසිනි. එසේම මේ වියදම දැරීමේ සාධාරණ හැකියාවක් මේ කුඩා රටවලට නැත.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් බැලූ විටත් මුහුණදීමට සිදුවන අනතුර මෙරට වැරැද්දක් නොවේ. එමෙන්ම සිදුව තිබෙන සහ සිදුවීමට නියමිත තත්වයන් යළි නිවැරදි කිරීමට, පිළිසකර කරගැනීම වෙනුවෙන්, නැතිනම් හරිත ආර්ථිකයක් වෙත මාරුවීමට ශ්‍රී ලංකාවට ඩොලර් බිලියයන් 26.5 වැය බරක් දරන්න සිදුවන බවට ඇස්තමේන්තු කර ඇති බව පසුගිය සැසිවාරයේදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබිණි.

 

මේ අතර 2040 වන විට ශ්‍රී ලංකාව ශුද්ධ ශුන්‍ය විමෝචකයක් බවට පත්වීමට ඇමරිකානු ඩොලර් බිලියන 100 ක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය අඟහරුවාදා රොයිටර් පුවත් සේවයට ප්‍රකාශ කර තිබිණි. විශේෂයෙන්ම ආර්ථික අර්බුදවලට ගොදුරුව ඩොලර් බිලියන පනහක හැටක පමණ විශාළ ණය ගැටළුවකට මුහුණ දී තිබෙන රටකට, පිටස්තර බලපෑමක් නිසා සිදුවන හානිය වලක්වා ගැනීමට තබා ඒ ගැන හිතන්නවත්, වැය කරන්න මුදල් නැත. ඒ වැය කළත් එය යුක්ති සහගත නැත. ඒ ඊට වගකිව යුත්තන් අදාල වන්දිය ගෙවිය යුතු නිසාය.

 

පොසිල ඉන්ධන පදනම් කරගත් වසර සිය ගණනාවත් තිස්සේ ගොඩනඟනු ලැබු සංවර්ධන ක්‍රියාදාමයක් ආපසු හරවා, හරිත ආර්ථික සංවර්ධන ක්‍රමවේදයකට සමස්තය මාරු කිරීම පහසු නැත. ඩොලර් බිලියන සිය ගණනක් ඒ වෙනුවෙන් වැය වීම අනුව පෙන්වා දෙන්නේ මෙහි ඇති අසීරුතාවයය. එහෙත් මේ දීර්ග කාලිනව හෝ මෙය ක්‍රමක්‍රමයෙන් සිදු කරගත යුතු අනිවාර්ය ක්‍රියාදාමකි. මන්ද අනාගතයෙදී සංවර්ධිත විදේශ රාජ්‍යයක, ජාත්‍යන්තර සංවිධානයක යම් ආධාරයක් හෝ රටට ලැබෙනු ඇත්තේ මේ දේශගුණික විපර්යාස අවම කිරීම් වෙනුවෙන් ගෙන තිබෙන පියවරයන්ට සාපේක්ෂවය. මෑත කාලයේ ජාත්‍යන්තර ආධාර වෙනුවෙන් මානව හිමිකම් සුරැකීම නිර්ණායකයක්ව තිබෙනවා සේ මෙම දේශගුණික සාධකය නුදුරේම අනිවාර්යයක් වෙනු ඇත. මේ නිසා අනාගත ලංකාවේ කවරකු රාජ්‍ය බලය අත්පත්කරගත්තත් මෙයට මුහුණ දීමට සිදුවෙනු ඇත. ඒ අනුව ජනපති රනිල් අද කරමින් සිටින්නේ අනාගත පාලකයන්ටත් රාජ්‍යයේ පාලනය පහසු කිරීමේ දේශපාලනික හා ආර්ථික මෙහෙයුමක් බව පැහැදිලිය.

 

අලුතෙන් හිතන මිනිස්සු

zxdgsdgf

එහෙත් මුදල් ලැබුණ පළියට මේ කිසිවක් සිදු කළ නොහැක. සියවස් ගණනාවක් පරම්පරා ගනනාවක් හුරු වුණ, පෝෂණය කළ දැනුම් පද්ධතියක්, ආකල්ප, නීති රිතී වෙනස් කිරීම සහ ඒ වෙනසට විකල්පව අලුත් භාවිතයන් වෙත යොමුවීම මෙන්ම එය වඩාත් නිවැරදි ලෙස කිරීම වෙනුවෙන් අලුත් දැනුමක් අවශ්‍යය, අලුත් හැදැරීම් අවශ්‍යය, අලුත් පරියේෂණ අවශ්‍යය. එමෙන්ම අලුත් ශ්‍රම බලකායක් අවශ්‍යය. අලුත් දේශගුණික හා පාරිසරික ප්‍රතිපත්ති තීරණය කළ යුතුය. එය මෙරටට පමණක් නොව ලෝක මට්ටමින්ම එසේය.

 

මේ අනුව දේශගුණික විපර්යාස පිළිබඳ වන චතුරාර්ය සත්‍යය අවබොධකර ගැනීම කේන්ද්‍ර වුණු ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යනයක් විය යුතුය. දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලක අවශ්‍යතාවය ජනාධිපති රනිල් මතු කළේ මේ වෙනුවෙනි. දේශගුණික විපර්යාස පිළිබඳ හැදෑරීමට පර්යේෂණ ආදිය කිරීමට ලෝකය පුරා විශ්වවිද්‍යාල මට්ටමින් ඒකක හෝ වෙනත් ආයතන තිබුණද මේ වෙනුවෙන්ම වන ජාත්‍යන්තර සහයෝගයක් මැදිහත් වීමක් සහිත පොදු අරමුණක් වෙනුවෙන් වන පුළුල් අධ්‍යයන ආයතනයක් ක්‍රියාත්මක නොවේ.

 

ඒ අනුව මෙම යෝජනාවට මේ වන විටත් ජාත්‍යන්තර අවවධානය යොමුව ඇති අතර මේ සඳහා ක්‍රියාකාරී සහ මුල්‍ය පහසුකම් ලබා දීමටද යම් ජාත්‍යන්තර එකඟත්වයන්ද ලැබී තිබේ. මේ වෙනුවෙන් දැනටමත් කොත්මලේ ප්‍රදේශයේ අක්කර 600 ක භූමි භාගයක් වෙන් කර ඇති අතර මෙම විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධ ශක්‍යතා අධ්‍යනයක් දකුණු කොරියාවේ එක්සිම් බැංකුවේ ප්‍රතිපාදන සහිතව සිදු වෙමින්ද පවතී. මෙවර COP28 සමුළුවේදිත් තවදුරටත් උත්සහ කරන්නේ මේ සඳහා ජාත්‍යන්තර මැදිහත්වීම ලබා ගැනීමටය.

 

මේ වෑයම තනිව රජවන්න නොවේ

zsfsaefd

මෙම මුලික යෝජනා තුන පමණක් සලකා බැලු විට ගෝලීය දේශගුණික විපර්යාස අර්බුදය විසඳාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව දරණ වෑයම අවිවාදයෙන්ම ප්‍රශස්තය. මෙවර සමුළුව තුළ දී මෙරට සහභාගිත්වට විශේෂ වැදගත්කමක් ලැබෙන්නේද එබැවිනි. ජනාධිපතිවරයා සමග 80 දෙදෙනෙකුගේ පමණ කණ්ඩායමක් සහභාගී වන්නේ ඩුබායි සැපගැනීමට නොවන බව මේ අනුව පැහැදිලි විය යුතුය.

අනෙක් වැදගත් කාරණය නම් මෙම මැදිහත්වීම හුදු පාරිසරික ප්‍රශ්නයක් විසඳාගැනීම සඳහා පමණක් නොවන බවය. මෙරට මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුදය විසඳාගැනීම වෙනුවෙන්ද මෙම දේශගුණික විපර්යාස විසඳා ගැනීමට ඉදිරිපත් කරන විසඳුම විසින් විශාල දායකත්වයක් සපයනු ඇත. මෙම යෝජනා තුන පමණක්ම ක්‍රියාත්මක වීම හරහා මෙරටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගලා එනු ඇත. ඒ මාර්ග ගණනාවකින් සිදු වනු ඇත. සෘජු මුල්‍යමය ආයෝජන, ණය ආධාර, සහනාධාර, ප්‍රධානයන් ආදිය සිදුවනු ඇති අතර සංචාරක ව්‍යාපාරය වර්ධනය වැනි අතිරේක ලාබයන්ද මේ තුළ නිසැකවම සිදුවෙනු ඇත.

 

මේ අනුව මෙරට අභිප්‍රායන් දිනා ගැනීම වෙනුවෙන් මෙම සමුළුව සාර්ථක කරගැනීම සඳහා මෙරට රජය දරණ වෑයම සඳහා මෙරට සියළු පාර්ශ්වල සහය හිමිවිය යුතුය. මෙය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලනික හෝ පෞද්ගලික ලාභය වෙනුවෙන් සිදු කරන්නක් නොවේ. මෙය රටේ අනාගතය වෙනුවෙන්, අනාගත පරපුර වෙනුවෙන්, මේ රට ආරක්ෂා කිරීමට ගන්නා දැවැන්ත සහ උත්කෘෂ්ඨ මෙහෙයුමකි. මෙහි සියළු ප්‍රතිලාභයන් අනාගත ශ්‍රී ලංකාවටය. එය විපක්ෂ කොටස් අවබෝධකරගත යුතුය. ජනතාව අවබෝධකරගත යුතුය. මේ දේශගුණික අර්බුදය විසඳා ගැනීමට අසමත් වුවහොත් අනාගතයේදි ජීවත්ව සිටීමට වාසනාවන්ත වන ලෝකවාසීන්ට කතා කිරීමට ඉතුරුවන්නේ වියලි කේඩෑරී වී ගිය අවසානයේ මුහුදු බත් වී විනාශ වී ගිය ශ්‍රී ලංකාව නැමැති සුන්දර දූපතක් තිබුණාය කියන එක ගැනය.

ජයතුංග බණ්ඩාර
Chatham Street Journal - 2023/12/03

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්