මහ බැංකු සේවකයන් වැටුප් වැඩි කර ගැනීම පිළිබඳ පවත්නා සමාජ මාධ්‍ය හා දේශපාලනික කතිකාව හොඳ විමර්ශණයකට මූලාශ්‍රයකි.

මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ මහ බැංකු සේවකයන් වැටුප් වැඩිකර ගැනීම රටේ පැවැත්ම හා වැඩ කරන පන්තියේ හැසිරීම විමසීමය.   

මහ බැංකු සේවක වැටුප් වැඩිවීම සමාජ මාධ්‍ය පුරා විදිලි වේගයෙන් පැතිරුණ කියවීම ( ...අපරාදේ ඉගෙණ ගත්තේ මහ බැංකුවේ පියන් කෙනෙක් වුණා නම්) අනුව සාක්කුවට ලැබෙන දේ හැර සද් භාවයක් මානව හිතවාදී කැපවීමක් නැතිකම වෘත්තීය සමිති ව්‍යාපාර හරහා රෝපනය කළ සමාජවාදය කෙමියුනිස්ට්වාදය අදට වලංගු නැත. මෙහිදී මා ඕ සේතුන්ගේ රතු චිනයත් හෝ චිමිංගේ වියට්නායමයත් උදාහරණයට ගත හැකිය. යන්නන් වාලේ නිදහස් ආර්ථිකය තෝරා ගත් කියුබාව විනාස වුණේ එය සමාජවාදී පෝච්චියේම රෝපනය කිරීම නිසාය.  

 


ලංකාවේ වර්තමාන වැටුප් සහ දීමනා මුල් කර ගත් හැම වෘත්තීය අරගලයම රුපියල් සත මුල් කර ගත් දේශපාලන සටනකට වැඩි යමක් මිස සමාජ හෝ මානව වටිනාකම් වලින් පෝෂණය නොවූ බවට බදු ගෙවන සීමාවේ නැති ගුරු සේවා සාමාජිකයන් දරුවන්ගේ අධ්‍යාපනයට තිත තබා වර්ජන කිරිමෙන් තහවුරු වේ. සිය සේවා තෘප්තිය සමග ලැබෙන මිල පිළිබඳ තාර්කික සාකච්ඡාවක් ගුරු සංහතිය තුළ හෝ තිබුණා නම් වර්ජන කිරිමට පාසල් වාරය ආරම්භ වන තෙක් බලා සිටිය යුතු නැත. 

මේ මානසිකත්වය මහ බැංකු වැටුප් ගැටළුවේදී කියැවුණ උපාධි ගන්ට මහන්සි නොවී මහ බැංකුවේ පියන් කෙනෙක් වුණා නම් ෂෝක් වැනි කියමනෙන් වඩාත් තහවුරු කෙරෙයි. මෙහිදී නවසිය හැත්තැ ගණන්වල විශ්වවිද්‍යාල සිසුන්ගේ මනසට කාන්දු කළ අධිරාජ්‍ය වාදීන්ගේ උපාධි අවශ්‍ය නැත යන බාල මානසිකත්වය අපේ රටට කළ විනාසය සුළුපටු නොවේ. එදා එකී මානසිකත්වයෙන් උද්දාමව උසස් අධ්‍යාපනය අතහැර දෙමාපියන් හඬවා විප්ලවය තෝරා ගත් සමහර සිසූන්  විජේවීර මුදවා ගැනීමට යාපනේ බන්ධනාගාරයට පහර දීමට යාම සඳහා තෝරා ගත්හ. විජේවීර සිය ආරක්ෂාවට බන්ධනාගාර ගතව සිටියේ ස්ව කැමැත්තෙන් කළ බව පසුව හෙළි විය. 

 



වෛද්‍ය සහ විශ්වවිද්‍යාල වෘත්තිකයන්ට ඩැඩ් දීමනාව වැඩි කිරීමට එරෙහිව රෝහල් වසා ට්‍රොලි තල්ලු කරන්නන් පවා අපටත් දියව් කීම අදටත් වලංගු වේ. එය හරියටම 88-89 කාලයේ ඝාතනයවූ කිසිවෙකු අසා දැක නැති සහෝදරයෙකුට ගෞරව පිණිස දින දෙකක් ලයිට් නිවා ගමන් බිමන් නො ගොස් ගෙදරට වී සිටීමට රටේ ජනතාව බිය ගැන්වූ කඩදාසි නියෝගයට සමානය. ආරක්ෂක අංශ විසින් සිවිල් ජන ජීවිතය අඩපන කළ එකී නියෝගය සහිත කඩදාසි බෙදූ එකාත් විනාශ කළ බව රහසක් නොවේ. එහෙම කළේ සමාජ ආරක්ෂණය හෙවත් ආත්මාරක්ෂාව පිළිබඳ නෛතික සිද්ධාන්තය අනුව බව එකල බලධාරින් සාධාරණය කිරිමත් වර්තමානයේ ප්‍රතිකාර නො ලද රෝගීන් මුන්ට හෙන ගහන්න ඕනැ කියා මාධ්‍ය හමුවේ කෑ ගැසීමත් එක සමානය. මේ තත්වය සමාජ සම්මතයන් ඉක්මවා යාමේ අසාත්මිකතාවන් වන අතර, එවැනි සමාජ ඉලිප්පීම් පිළිබඳව ඉතිහාසය නිසි තක්සේරු දක්වා ඇත.

 

fountain lenin square saintpetersburg
එය තහවුරු කෙරෙන රුසියානු උදාහරණය මෙසේය. ලෝක ප්‍රකට පීටර්ස් බර්ග් නගර නාමය 1924 වසරෙහි ඔක්තෝබර් විප්ලවයේ වීරයා සිහි කිරීමට ලෙනින් ග්‍රෑඩ් යනුවෙන් බව්තීස්ම කෙරිණ. පීටර්ස් බර්ග් යනු ක්‍රි.ව. 1712 පමණ ඈතක සිට කාලය සමග ගොඩ නැගුණ සියවස් ගණනාවක් ලෝක ඉතිහාසය විසින් පෝෂණය කළ පුරාවෘතයකි. එකී ඓතිහාසික විශිෂ්ඨ නගරය 1991දී යළි පීටර්ස් බර්ග් යනුවෙන් අභිධානය කරනු ලැබූ අතර, ඒ පරිවර්තනීය වෙනස සඳහා කිසිවෙකු ලේ හලා අරගල කළේ නැත. පීටර්බර්ග් යනු මහා පිටර් නම් විශිෂ්ඨ රුසියානු අධිරාජයා නිර්මානය කළ මහා විජිතය වේ. එකී සංසිද්ධිය ලෙනින් ප්‍රතික්ෂේප වීමක් ලෙස අර්ථ ගන්වා නැත. මේ ගැන වඩාත් සවිස්තරව විග්‍රහයක් ආචාර්ය ඩබ්ලිව්. ඒ. අබේසිංහ සිය දේශ දේශාන්තරයෙහි නම් අලුත්ම කෘතියේ දැක්වේ.  

 

සම්මතය යනු යථාර්ථයක් වන අතර එය කාලයේ රිද්මය විසින් හසුරුවනු ලබයි. එකී අත්දැකීම අනුව අරගල වර්ජන උද්ඝෝෂණ හර්තාල් කැරළි කෝලාහල යනු ඉතිහාසය විසින් නිශ්චිත කරන්නකි. හාල් මිල වැඩි කලාට හර්තාල් කළ ඇන්ඇම් පෙරේරාට රටේ මුදල් ඇමති ලෙස බත් කෑම තහනම් කිරීමට සිදුවීම ඊට දිය හැකි දේශිය උදාහරණයකි. මේ විස්තර කරන්නේ පටු ආකල්ප අනුව සිදු කෙරෙන සටන් පිළිබඳ කාලයේ විග්‍රහය යි.

W A Abeysinghe 1

 

මේ සම්බන්ධව වඩාත් පළල් කියැවීමක් සඳහා නැවත ආචාර්ය ඩබ්ලිව්.ඒ. අබේසිංහ උපුටා දක්වනු කැමැත්තෙමි. “ එදවස බලගතු සෝවියට් දේශයේ බලගතු ස්ටාර්ලින් ගැනත්, චීනයේ මා ඕ සේතුං ගැනත් දැන ගන්නට අවශ්‍ය නම් පිළිවෙලින් ඇලෙක්සැන්දර් සොල්සෙනිත්සින්ගේ මුල් කවය (First Circle) නව කතාවක් අන්චි මිංගේ මැඩම් මා ඕ ( Bocoming Madame Mao)) නවකතාවත් කියවන මෙන් පාඨකයාට ආරාධනය කරමි.” දේශ දේශයන්හී නම් කෘතියේ 184 වෙනි පිට

නැවත මහ බැංකු වැටුප් අලකලංචියට යොමු වේ නම්, පියන් හෝ කාර්යාල සහායකගේ වැටුප ලක්ෂ දෙකකට ආසන්න බවට උලුප්පා දැක්වීමෙන් අනියමන්  ඉහළ ශ්‍රේණීන්ගේ ප්‍රතිලාභ යටපත් කොට පන්ති වෛරයක් නිර්මානය කෙරෙයි. එය ශ්‍රමය පිළිබඳ කෙරෙන ඓතිහාසික මානව හිතවාදි දැක්මට හතුරුකමකි. එසේම ආර්ථික අවපාතය අතර, සිය වැටුප් වැඩි කර ගත් මහ බැංකු බලධාරින් මස් කොක්කේ එල්ලන විපක්ෂ ව්‍යාපාර ශ්‍රී ලංකන් ගුවන් සේවය 13 වෙනි මාසයේ වැටුප නමින් සිය බංකොලොත් ආයතනයෙන් ලක්ෂ ගණන් බෝනස් ලබා ගැනීම ගැන කතා කළේ නැත. වෛද්‍ය සහ විශ්වවිද්‍යාල වෘත්තිකයන්ගේ දීමනාවලට එරෙහිව පාරට බැස්ස විපක්ෂ දේශපාලකයන් පටන් ගත් අපටත් දියව් සටන හා මහා බැංකු සංසිද්ධිය එකට පෙළ ගැස්වූ විට පන්ති අරගලයෙන් පිට පැන වෛරී මානසිකත්වයකින් පරල වී දෙකොන ගිනි ගත් විලක්කුවක් කටේ ගසා ගෙන සිටිනු දැකිය හැකිය. එය සටන් අරමුණු පාවා දීමකට වැඩි යමක් නොවේ. 

 

තවත් මහ බැංකු කොල්ලයක් සජබ හොයාගෙන : වැඩි විස්තර මෙන්න !

රට බංකොලොත්ව පවත්නා පරිසරයක මහ බැංකුවේ සිදු කළ වැටුප් වැඩි කර ගැනීම නො කළ යුතු බවට තර්කයක් නැත. එසේ තිබියදී විපක්ෂය සෞඛ්‍ය කාර්ය මණ්ඩල උසි ගන්වා දොස්තර වරුන්ගේ ප්‍රතිලාභ පෙන්වා ශ්‍රේණී අතර ගැටුමකට මග පෑදීම යනු රජයේ බලධාරින් කොටු කර රට අඩපන කිරීම වුවද ඒ හරහා වැඩබිම් පුරා ශ්‍රේණී වෛරයක් නිර්මානය වීම යම් යථාර්ථය දෙපයින් සිට ගැනීමකි.   

මේ සිද්ධ වන්නේ පෝලිම්වල මිනිසුන් මියගිය රටේ වර්තමාන තත්වය යළි අවුල් කර රටේ ජනතාව 2022ට තල්ලු කර ගෝඨාභය මෙන් රනිල් වික්‍රමසිංහ පළව හැර බලය අල්ලා ගැනීමේ කුමන්ත්‍රණයක් මිස පන්ති අරගලයක් නොවේ.  

එසේම මහ බැංකුවේ පියන්ලාට හිමිවූ ප්‍රතිලාභය පමණක් හුවා දැක්වීමෙන් ඉහළ ශ්‍රේණින් ලද ප්‍රතිලාභ අනියමින් යටපත් කෙරෙයි. පාරිභෝගික මනු කියවා වාර්තා කිරීමට විදුලි බල මණ්ඩලය යොදවා ගත් කණ්ඩායම කිසි විටෙක අලුත් වැඩියාවන් හෝ විදුලි බලාගාර සේවා සඳහා යොදා ගත්තේ නැත. පැවරුණ එකම රාජකාරිය ගෙයින් ගෙට ගොස් මනු කියවා වාර්තා කරන්නන්ට වඩාත් හොඳින් මනු කියවීම වෙනුවෙන් අමතර ගෙවීමක් නිර්දේශ කිරීම බරපතල විෂමාචාරයකි. ඒ හරහා තැපැල් දෙපාර්තමේන්කුවේ ගෙන් ගෙට ගොස් ලියුම් බෙදන සේවක පිරිස් කඩිනමින් ලියුම් බෙදීම හෝ වැඩි ගාස්තු අය කරන සීඝ්‍රගාමි සහ ලියා පදිංචි තැපැල් ලේඛන හෝ භාණ්ඩ බෙදීම සඳහා විශේෂ දීමනාවක් අපේක්ෂාවෙන් වෘත්තීය සටනක් දියත් නො වීම රටේ වාසනාවකි. මේ මානසිකත්වය එක දිගට පිපිරෙන බිම් බෝම්බ වැනිය.

 


නවෝත්පාදක හරහා වැඩි වැටුප් පරිමාවන් ආයතනික වශයෙන් දිනා ගැනීම ලෝකයේ කෙහෙත් සිදු වන්නකි. එහෙත් අරුන්ට දුන්නා නම් අපටත් දියම් තියරියෙන් සාමකාමී වැඩ බිම්වල අක්‍රිය කිරීමට සැලසුම් කිරීම රටේ  ආර්ථිකය පමණක් නොව ශක්තිමත් පුද්ගලික ව්‍යාපාරවල පැවැත්මටද තර්ජනයකි. 

ඉරු දින අතිකාල සඳහා පැය අසූවක වටිනාකමකට හිමිකම් කීමට වාසනාව ලබා ඇති  වරාය සේවක අයිතිය අනෙක් රාජ්‍ය ආයතන සේවකයන් ඉල්ලා වෘත්තිය අරගල කළොත් තත්වය කුමක් විය හැකිද? ශ්‍රේණි භේදයකින් තොරව ලංවිම සේවකයන් ලබා ගන්නා පුද්ගලික ණය මුදල් සඳහා ගෙවිය යුතු මුළු පොලී ප්‍රමාණය ලංවිම ආදායමින් ගෙවීමත් ලංවිම සමහර ශ්‍රේණි වලින් වැටුපෙන් රාජ්‍ය භාණ්ඩාගාරයට ගෙවිය යුතු බදු මුදල් ලංවිම ආදායමෙන් ගෙවීමත් වෘත්තීය අයිතියක් සේ සලකති. එකී පූර්වාදර්ශය අනෙකුත් රාජ්‍ය ආයතන සේවක මණ්ඩල විසින් අයිතියක් ලෙස ඉල්ලා සිටියොත් ආයතනවලට දෙවියන්ගේම පිහිට පමණකි. එසේම වරාය ලංවිම ආදි ආයතනික සේවකයන් බුක්ති විඳීන සු විශේෂ වරප්‍රසාදවල මූල්‍ය වටිනාකම ඔවුන්ගේ වැටුපට එක් කොට බැලිය හැකි නම් එකී ආයතන මහ බැංකුවේ වැටුප් පරිමාවන් ඉක්මවා යා හැකිය. 

එසේම රජයේ රෝහල් වාට්ටු සේවයේ නියුක්ත සමහර සේවකයන් සේවා මුර අවසන් කොට නිවෙස් කරා යන්නේ රෝහල් ජල සැපයුමෙන් ජල ස්නානය කිරීමෙන් පසුව ය. ඔවුන් තුවා වෙනුවට සිරුර පිසදා ගැනීමට රෝගින් සඳහා සපයා ඇති ගෝස් නම් මිල අධික ද්‍රව්‍ය යොදා ගැනීම රහසක් නොවේ. එවැනි සේවක සාමාජිකයන් දෛනිකව පුද්ගලික භාවිතය පිණිස පරිහරණය කරන රජයේ සම්පත්වල මූල්‍ය වටිනාකම් ප්‍රතිලාභ හැටියට තක්සේරු කළොත් එය මහ බැංකුවේ සේවක පුද්ගල වැටුප් වැටුප් වැඩි කිරීමටත් වඩා අප්‍රසන්න කතාවකි. 

දූෂණ වංචා මැඩ නව පාලනයක් සඳහා බලය ඉල්ලා කෑ මොරදෙන විපක්ෂ කණ්ඩායම් රටේ යහපත පිණිස වෘත්තීය සමිති මෙහෙයවීමට කිසිදාක නායකත්වය දී නැත. රටේ පාලකයාට එරෙහිව විපක්ෂය ජන මනස තුළ ඇති කරන වෛරය සහ සාවද්‍ය මත ඔවුන් බලයට පත්වූ පසුව වෙනස් කළ හැකි  එය ලෝකයේ අටවෙනි පුදුමය විය හැකිය.

 

428675384 792393389586950 8157932842301717029 n
පසුගිය 28 වෙනි බදාදා කොළඹ පැවති අන්තර් ආගමික සමුළුව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පොලිස් බලතල හැර අන් සියලු බලතල බෙදීමට අවශ්‍ය සහාය ආණ්ඩුව ලබා දෙන බව අවධාරණය කළේය. එහිදී ආගමික සමුළුව ඇමතූ විපක්ෂ නියෝජිතයන් බලය බෙදීම පිළිබඳව සිය ස්ථාවරය ප්‍රකාශ නො කිරීමට ප්‍රවේශම් විය.  

සජබයේ එරාන් වික්‍රමරත්නට අනුව වර්තමානයේ ආර්ථීක අර්බුදයක් නැත. ඇත්තේ නීතියේ ආධිපත්‍ය පිළිබඳ කඩා වැටීමක් පමණකි. මහාචාර්ය ජී.එල්.පීරිස් කීවේ පළාත් පාලන ආයතන ක්‍රියක්මක නොවන වටපිටාවක බලය බෙදීමෙන් පලක් නැති බවය. මාලිමාව නියෝජනය කළ නලින්ද ජයතිස්ස කළේ මැතිවරණ නො පැවැත්වීම පිළිබඳ මාලිමා අවනඩුව නැවත කියා පෑමට මෙම නිර්දේශපාලනික වේදිකාව පාවිච්චි කිරීමය.  රටම දන්නා පරිදි 1987 වසරෙන් පසුව පළාත් සභා ආයතන සක්‍රියව පැවති වසර 37 ක් පුරා බලය බෙදීමට ගත් සියලු ප්‍රයත්නයන් පටු දේශපාලන උවමනා වෙනුවෙන් ආගම්වාදි ජාති වාදි සටන් පාඨ හරහා ව්‍යර්ථ කළහ.

මෙහිදී මහ බැංකු පාලකයන් තමන්ට රිසි සේ බෙදා ගැනීම කිසිසේත් නො කළ යුතු බව නැවත අවධාරණය කරන අතර එකී සංසිද්ධිය දඩ මීමා කර ගනිමින් වැළ යන අතට මැස්ස ගැහීමේ ව්‍යාපාරයේ බංකොලොත් භාවය සිහිපත් කරයි. එසේම හැම ක්ෂේත්‍රයකම වැඩි වැටුප් ඉල්ලා සටන් කරන ව්‍යාපාර තුළ රටේ පැවැත්ම කෙරෙහි කුමන්ත්‍රණ බව අවධාරණය කර සිටියි. මාසික වැටුප් නො ලබන දෛනික සේවා හා නිෂ්දපාදනයන් හරහා ජීවිතය ගැට ගසා ගන්නා බහුතර ජනතාව මේ දේශපාලන සූදුව නිසා පීඩාවට පත්වීම ගැන සිවිල් සංවිධාන ගැඹුරින් ප්‍රතික්‍රියා දැක්විය යුතු බව සිහිපත් කරයි.  

කේ.එච්.ජේ. විජයදාස - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්