මා බලයට පත් වූ දා සිටම රට තුළ අමුතු දේවල් සිදුවිය - ගෝඨාබය රාජපක්‍ෂ ( කුමන්ත්‍රණය - පිටුව 114)
ගෝඨාගේ කුමන්ත්‍රණය කියවා අවසන් කළෙමි. රචනය අවසානයේ මෙම දේශප්‍රේමී රාජ්‍යය නායකයාට එරෙහිව සමාජය පුරා නැගෙන අවළාද ගැන අනුකම්පාවක් මෙන්ම තරහක්ද ඇතිවුණි. දේශප්‍රේමීයාගේ වගකීම තමන්ගේ සහ රටේ සැබෑ තත්වය සමාජය ඉදිරියේ හෙළිදරව් කිරීමයි. සිය කෘතියෙන් ගොඨා සිදුකර ඇත්තේ එයයි.
කෝටි දෙකකට මදක් වැඩි ජනතාවක් වෙසෙන රටක ලක්ෂ හැට නවයක ඡන්දදායකයන් ඔලුවේ තියාගෙන පත්කරගත් පුද්ගලයා ගැන සැබෑව ඔහු විසින්ම ලිඛිතව හෙළිදරව් කර ඇත. ගෝඨා සිය ජනාධිපතිධූරයේ සේවය කර ඇත්තේද, "අමාත්‍යංශයක ලේකම්වරයෙකු", වශයෙන් බව මෙම පොත ඉතාම හොඳින් ඔප්පු කරයි. කෙසේ වෙතත්, ගෝඨා යනු රෝග ලක්ෂණය මිස රෝගය නොවේ. රෝගය යනු සිංහල බෞද්ධ යැයි කියාගත් පාදඩ ව්‍යාජයයි. මෙම රෝගයෙන් හොඳින් වැඩ ගත්තේ පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂය.
ගෝඨා රඟපෑමට දන්නේ නැත. ඔහුගේ විස්ථාරිත පවුලේ සියලුම දෙනා මෙන්ම ඔහු වටේ සිටි සියලුම දෙනා ඉතා හොඳින් රඟපාන විට ඔහු සිතා ඇත්තේ ඔහු පමණක් රඟපාන බවය. දෛවෝපසහගත කාරණය නම්, අවසානයේ නාට්‍යයේ එකම ප්‍රේක්ෂකයා වී ඇත්තේ ඔහු පමණි. අනෙක් සියලුම දෙනා රඟපාන ඇත්තෝය. මෙම අනවබෝධය ලිඛිතව ලියා ප්‍රසිද්ධ කිරීම පැසසිය යුතුය.
සිංහලයින් ශුද්ධ සිංහලෙන්ම කෙලවාගෙන සිටින අයුරු මෙම සිංහල-බෞද්ධ නායකයා සිය කෘතිය මඟින් ඉතාම හොඳින් ඔප්පු කිරීමට සමත් වී ඇත. ඔහු ජනතාවට එය අවබෝධ කරගැනීම සඳහා අවස්ථාවක්ද ලබාදී තිබේ. මීට පෙර රාජ්‍යය පාලනයේ අහු-මුළු වල සිදුවූ කටයුතු ඔහු ප්‍රසිද්ධ වේදිකාවට ගෙනැවිත් ඒවා නිරුවත් කොට ඇත.
ශ්‍රී ලංකාව යනු මොළයක් නැති මීහරක් රැළක් ජාතික වීරයන් බවට පත්කොට දශක ගණනාවක් තිස්සේ ඔවුන්ට රට පාලනය කිරීමට ඉඩදී, අමුතු දිවයින මුතු මෙන් දිලිසේ කියා සිහින දකින දහදුක් විඳින මෝඩ-උඩඟු ජනතාවක් වෙසෙන රටක් බව අවබෝධ කර ගැනීමට සැපයු ඉතාම වැදගත් කෘතියක් ලෙස මෙය හැඳින්විය හැකිය. මේ නිසා මේගැන සිතට දැනෙන දේ ලියා තැබීම වැදගත් වේ.
බොහෝ රාජ්‍යය නායකයින් සේම ඔවුහු යටතේ සේවය කළ ඇත්තෝ පමණක් නොව එම ඇත්තෝ දෙස දුර සිට බැලූ පුද්ගලයින්ද විවිධාකාරයේ දෑ රචනා කොට ඇත. ඇතැම් රාජ්‍යය නායකයින් බිහිසුණු දේශපාලන රචකයින්ය. ඇතැම් නායකයින් කිසිම දිනක කිසිම රචනාවක් නොලිව්වද ඔවුහු කළ කී දෑ ගැන අදටත් බොහෝ අයවලුන් පර්යේෂණ කරමින් නව රචනා ලියති.
මධ්‍යතන යුගයේ සිටි ප්‍රකට රෝමන් අධිරාජ්‍යයකු වූ චාර්ලිමේන් ලිවීමට නොදත්තෙකි. එසේම ප්‍රකට ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු වූ ඒබ්‍රහම් ලින්කන් ද එසේය. එහෙත් ඔවුහු සැබෑ නායකයෝ වූ අතර ඔවුන් ගැන අදටත් නව රචනා පළවෙමින් තිබේ. අනෙක් අතින් ලෙනින්, හිට්ලර්, නේරු, මාඕ, ලීක්වාන් යූ, චේ ගෙවාරා, ෆිදෙල්, මහතීර්, ඔබාමා, ෂි ජින්පින් ඇතුළු බොහෝ නායකයින් ආකර්ශනීය ලේඛකයින්ය.
ලිවීම කලාවක් මෙන්ම වගකීමකි. වඩාත් හොඳ රචනාවක් ලිවීම සඳහා ගැඹුරු කියවීමක් හෝ තමන්ටම ආවේණික වූ සමාජ අත්දැකීම් සමුදායක් අවශ්‍යය වේ. කියවීම යනු කැපවීමකි. එය තමන් වටේ පොත් ගොඩාක් ගොඩ ගහගෙන සිටීමෙන් කළ නොහැකිය. අත්දැකීම් යනු තම ස්ව කැපකිරීමෙන් ලැබෙන මතකයන් මිස අනුන්ගේ අත්දැකීම් තමන්ගේ කරගෙන ඒවා පිටපත් කිරීම නොවේ.
ඇතැමුන් ලිවීම වගකීමක් ලෙස ඉටු කරති. තවත් අයවලුන් එය තම බලය නැවත නැවත උරගා බැලීමේ මෙවලමක් ලෙස භාවිතා කරති. තවත් අයට ලිවීම පුද්ගලික රසාස්වාදය ( ප්ලේසර්) සඳහා පමණක් හේතුවන අතර ඒවා කියෙව්වද නැතිද යන්න ඔවුන්ට ගැටලුවක් නොවේ. නිදසුනක් ලෙස මෙම මාතලීගේ දිනපොතද පුද්ගලික රසාස්වාදය වෙනුවෙන් මිස සමාජ වගකීම් වෙනුවෙන් ලියන්නක් නොවන බව මෙහිදී සිහිපත් කළ යුතුය. තවත් සමහරුන් පෞද්ගලික නිරවද්‍යතාවය සමාජයට ඒත්තු ගැන්වීම සඳහා ලියති.
ගෝඨාගේ පොත කෙසේ තේරුම් ගත හැකි ද? මෙම පොත රටේ එක් දේශපාලන චරිතයක් තේරුම් ගැනීම සඳහා ලබාදුන් අනගි අවස්ථාවකි. ඔහු සිය ‘පර්සනල් කරෙක්ට්නස්’ (පෞද්ගලික නිරවද්‍යතාවය) උදෙසා මෙය ලියා ඇති බව පෙනේ.
මෙවැනි පොතක් ඔහු විසින්ම ලියා ප්‍රසිද්ධ කිරීම ගැන අප ඔහුට ස්තූති වන්ත විය යුතුය. එය රාජ්‍යය නායකයෙකුගේ කතාවකට වඩා බිඳ වැටුණු මිනිසෙකුගේ විලාපයක විලාසය ගත් ලියවිල්ලක් වුවද අප ජීවත් වන සමාජ ව්‍යුහය තේරුම් ගැනීම සඳහා ඉතාම ප්‍රයෝජනවත් පොතකි.
පොතේ කරණු බොහෝමයක් ලේකම්වරයෙකු විසින් සිය පුද්ගලික දිනපොතක සටහන් කරගත් සිදුවීම් සහ තොරතුරු රාශියක එකතුවක් ලෙස පෙනේ. එහෙත් මීට එහා ගිය සාධනීය සංවාදයක් ගෝඨාබය රාජපක්‍ෂ මහතාගෙන් බලාපොරොත්තු විය හැකිද? මෙය මොහුට පමණක් ආවේණික කරුණක්ද නොවේ. රටේ බොහෝ තැන්වල ලොකු පුටු වල සිටින උදවිය එනම් බලයේ සිටි සහ බලයට පැමිණීමට පොරකන දේශපාලනඥයින්, නිළධාරීන්, බුද්ධිමතුන් සහ වෘත්තීයවේදීන් යැයි නම්කරගෙන සිටින හොර තක්කඩියන් රැල, ආගමික නායකයින් ඇතුළු සියල්ලම පාහේ මෙහා සමානය. මොවුන්ගේ ජීවිත වල ගාමක බලවේගය බොරුව ය.
විශාල චරිත මෙන් පුම්බා ඇති මෙම චරිත බුද්ධිමය වශයෙන් හිස් සහ ඕනෑම මොහොතක ඕනෑම දෙයක් පාවාදීමට රුසියෝ වෙති. ගෝඨාගේ වෙනස නම් ඔහු සිය දුර්වලතාවයන් සමාජය ඉදිරියේ ප්‍රකාශ කිරීම සඳහා නොපැකිළිව ඉදිරිපත් වීමය. මෙරට පාලක පන්තිය විසින් සිය පැවැත්ම සඳහා දිගින් දිගටම සඟවාතැබූ ඉතිහාසය ගෝඨා විසින් එළියට ඇද දැම්මේය. මෙය මෝඩකමක් ලෙස යමෙකුට විස්තර කළ හැකිය. තවත් අයෙකුට ඊට වෙනත් අර්ථයක් ලබාදිය හැකිය. එය තම තමන්ගේ අවබෝධය සහ පිළිගැනීම මත තීරණය වන සාධකයකි.
භූමියක් සාර්ථක ජාතික රාජ්‍යයක් වීමට නම් එහි පැරණි පදනම් විනාශ විය යුතුය. විනාශ නොවන්නේ නම් විනාශ කළ යුතුය. එය ලංකාවේ සිදු වූයේ නැත. පාලක පන්තිය හෙවත් උයන්ගොඩ බුද්ධිමතාගේ වචනෙන් ගත්කල ප්‍රභූ පැලැන්තිය වෙත පිටතින් සිදුකරන බලපෑම් වලින් එය කළ නොහැකි බව විජේවීර මෙන්ම ප්‍රභාකරන් ඔවුන්ගේ මළමිනී වලින් වඩාත් හොඳින් තේරුම් කර දුන්නේය. උයන්ගොඩ කෙසේ කිව්වත් ලංකාවේ බුද්ධිමතුන් නැතුවා මෙන්ම ප්‍රභූ පැලැන්තියක්ද නැත. සිටින්නේ වෙස් මුහුණු කිහිපක් පැළඳගත් ව්‍යාජ කල්ලි කිහිපයකි. ඒ කල්ලි තම පවුල් සහ කුලක හැඳින්වීම සඳහා "බුද්ධිමත්", "ප්‍රභූ", සහ "නිර්ප්‍රභූ" ඇතුළු නාම භාවිතා කරති. අනුර කුමාර-හරිණි අමරසූරිය දිවිත්වය හරහා මතුවන්නේද මෙම ව්‍යාජ නාට්‍යයේ කොටසක් මිස සැබෑ සමාජ ප්‍රතිසංස්කරණයක් නොවේ. මේවා නිර්වින්දනය කරනු ලැබූ සමාජවල සිදුවන බර්බි-ගර්ල් පන්නයේ වෙළඳ ගැටය. මේවායෙන් සිදුවන්නේ නිර්වින්දනය දීර්ඝ වීම පමණි.
ගෝඨාගේ අසාර්ථකත්වය හරහා සිදු වූයේ රටේ ඇත්ත දැනගැනීමට පොදු සමාජයට අවස්ථාව ලැබීමය. සිය කෘතිය ඔස්සේ ඔහු එය යළිත් ලිඛිතව ඔප්පුකොට ඇත. ගෝඨා සිය ධූරකාලයේදී ඉගෙන ගත් පාඩමක් ගැන මෙසේ කියා ඇත.
" මම ඉගෙන ගත් දෙයක් වන්නේ ‘සිස්ටම් චේන්ජ්’ ගැන බෙරිහන් දෙන බොහෝ අයට ඇත්තටම අවශ්‍ය වන්නේ මඩ වගුර ගොඩ කිරීමට නොව, මඩ වගුර තුළ ජීවත් වීමට බවයි. බොහෝ අය ප්‍රසිද්ධියේ ‘ක්‍රමය වෙනස් කිරීම’ ගැන කතා කළ ද ඔවුන් දේශපාලනයට සම්බන්ධ වන්නේ විවිධ අපේක්ෂාවන් නිසා ය.... ඔවුන්ගේ සියලූ ප්‍රයත්නවල සැබෑ අරමුණ වූයේ ක්‍රමයට ඇතුල්වීම මිස එය වෙනස් කිරීම නොවේ. ( පිටුව - 69)".
මේ කතාව සහතික ඇත්තය.
අප මෙහිදී එක දෙයක් තේරුම් ගත යුතුව ඇත. ජාතියක් ලෙස අප වැටී ඇති ගැඹුර මින් පැහැදිළිය. වැටී ඇති මඩ වගුරේ ගැඹුර දැන ගැනීම වැදගත් වන්නේ ඉන් ගොඩ ඒමටය. වගුරට වැටුණු වුන් සදාකාලීක නින්දේ පසුවන්නේ නම් ඔවුහු මියයන තුරු එහි නිදිවදිනු ඇත. ඊට සිංහල, බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, මුස්ලිම් කියා වෙනසක් නැත.
එහෙත් ඉඳ හිට හෝ පිටින් ඇසෙන සද්දයක් නිසා අඩ නින්දේ පසුවන අයවලුන්ගෙන් කිහිප දෙනෙකු හෝ අවදි වී වගුරෙන් ගොඩ ඒමට උත්සහ කරනු ඇත. එසේ උත්සහ දරන කිහිප දෙනෙකු කාලයාගේ අවෑමෙන් ඉන් ගොඩ ඒමට සමත් වනු ඇත. වත්මන් සමාජය මෙහෙවන ප්‍රභූ යැයි නම් කරගත් පැරණි සමාජ නියෝජනය කරන ඇවිදින මළ කඳන් වලට නිසි ගෞරවය දක්වා භූමදානය කොට නව සමාජවලට අවශ්‍යය අඩිතාලම දැමීමට සමත්වන්නේ එම කිහිප දෙනාය. එය භාරදූර කාර්යයකි. ගෝඨාගේ පොත ඒ සඳහා වැදගත් කියවීමකි.
ගෝඨාගේ රචනාව මෙම සමාජ යථාර්තය අපට උගන්වමින් තවත් බිහිසුණු ඇත්තක් වෙතට අපව තල්ලු කර ඇත. එනම් දුර්වල සිංහල බෞද්ධ වර්ගවාදී ගැමියාගේ මානසික ව්‍යාධිය මෙහි කරුණු වලින් වඩාත් බිහිසුණු ලෙස පිළිබිඹු කරන්නේය. මෙම දුර්වල ව්‍යාධිය සිංහලයින්ට ප්‍රමෝදය ලබාදෙන අතර එමඟින් ඔවුන්ගේ උඩඟුකමට විශාල ධෛර්යයක් ලැබේ.
ව්‍යාධියක් ප්‍රමෝදය ලබාදෙන සාධකයක් වූ විට ඊට ප්‍රතිකාර සෙවීමට එම ව්‍යාධියට ගොදුරු වූ කල්ලිය කිසිම අන්දමකින් කටයුතු කරන්නේ නැත. ඒ වෙනුවට ඔවුහු කරන්නේ එම ව්‍යාධිය සමාජය පුරා ව්‍යාප්ත කිරීමටය. ඥාණා මෑණියෝ ජීවත් වූයේ ගෝඨා හෝ ඔහුගේ බිරිඳ තුළ පමණක් නොව, ඔහු ජනාධිපති වූ පසු රතුනූල් බැඳගත් සිංහල බෞද්ධයින් බොහෝ වූහ. සිංහලයාගේ ඉතිහාසයේ පදනම සැකස් වී ඇත්තේ මෙතනය.
ශ්‍රී ලංකාව මේ ආකාරයෙන් හෝ බේරී තිබීම ගැන අප සතුටුවිය යුතු නොවේද?
මාතලීගේ දිනපොතේ පෙර ලිපි:
ජෙල් විමල් සහ ජිම් ලාල් : ජවිපෙ මෙන්ම සිංහලයා ලාල් කාන්තට විරුද්ධ ඇයි?