මෙරට දේශපාලනයේ විවිධ අවස්ථාවල ප්‍රධාන මාතෘකාවක් වු කුරුඳු ශ්‍රී ලංකාවේ කෘෂි කාර්මික අපනයන කාණ්ඩයේ,

කුළුබඩු අතර ප්‍රධාන තැනක් ගන්නා බෝගයකි.

2018 වසරේ දී එකම දේශපාලන පක්ෂයක දෙපිරිසක් අතර ඇති වු ගැටුමක දි එක් පාර්ශවයක් විසින් අනෙක් පාර්ශවයට කුරුඳු පොලුවලින් පහර දීම හේතුවෙන් ඔවුන්ව හඳුන්වනු ලැබුවේ ‘කුරුඳු පොලු හමුදාව’ ලෙස ය.

පසුගිය වසරේ දී විශ්ව විද්‍යාල සිසුන්ගේ උද්ඝෝෂණයකට හමුදාව කුරුඳු පොලු රැගෙන පැමිණ තිබු බවට සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සංසරණය වු අතර ඒ පිළිබඳව ද සමාජයේ දැඩි කතා බහක් ඇති විය.

ඉන් නොනැවති කුරුඳු ගැන ආන්දෝලනය යළිත් වරක් දේශපාලන කරලියට පැමිණ ඇති අතර ඒ හරහා මෙරට කුරුඳු වගාවේ හා වෙළඳාමේ ඉතිහාසය ගැන සමාජ මාධ්‍ය තුළ වාද විවාද සිදුවන අයුරු ද දක්නට ලැබේ.


 Ceylon Cinnamon 5ඉබේ වැවෙන ශාකයක් ලෙස මෙරට පරිසරය තුළ කුරුඳු ව්‍යප්ත වී තිබු බව මෙන්ම එකල ද ඒ සඳහා වෙළදපොළක් තිබු බව මහාචර්ය නිර්මාල් රංජිත් දේවසිරි කියා සිටියේය.


රජ්පුරුවන්ට කුරුඳු තැලු සලාගම ජන කණ්ඩායම

ලංකාවේ යටත් විජිත සමයේ කුරුඳු ඉතිහාසය සම්බන්ධව අධ්‍යනය කර තිබෙන කොළඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යන අංශයේ මහාචර්ය නිර්මාල් රංජිත් දේවසිරිගෙන් කුරුඳු හා සම්බන්ධ ඉතිහාසය ගැන බීබීසී සිංහල විමසා සිටියේය.

ඉබේ වැවෙන ශාකයක් ලෙස මෙරට පරිසරය තුළ කුරුඳු ව්‍යප්ත වී තිබු බව මෙන්ම එකල ද ඒ සඳහා වෙළදපොළක් තිබු බව මහාචාර්යවරයා කියා සිටියේය.

“සමාන්‍යයෙන් දන්න කාලේ තිබුනේ රජ්පුරුවෝ ශ්‍රමිකයෝ පාවිච්චි කරලා කුරුඳු තලලා ඒවා කොළඹ එහෙම වරායවල්වලට ආපු වෙළෙන්ඳන්ට වික්කා. ඒක තිබුනේ රජවරුන්ගේ ඒකාධිකාරයක් විදියට.සලාගම කියලා කියන ජන කණ්ඩායම ඉන්නවානේ ඒගොල්ලෝ තමයි ඒක කළේ. ඒගොල්ලන්ගේ රාජකාරියට අයිතිය වෙලා තිබුන දෙයක් තමයි ඒගොල්ලෝ කුරුඳු ප්‍රමාණයක් රජ්පුරුවන්ට තලලා දෙන්න ඕනේ වාර්ෂිකව. ඒක සංවිධානය වෙලා තිබුන දෙපාර්තුමේන්තුවට කිව්වේ මහ බද්ද කියලා.”

පෘතුගිසි විසින් ලංකාව ආක්‍රමණය කිරිමෙන් පසුව රජු විසින් කුරුඳු වැවීමට හා කැපීමට අවසර ලබා දී ඇති අතර පසුව ඔවුන් කුරුඳු මිල දී ගන්නා එකම ගැනුම්කරුවන් බවට පත්ව තිබේ.

 

 Ceylon Cinnamon 4ඉන්දියාවේ කුරුඳු හා ලංකාවේ කුරුඳු බැලු බැල්මට එක හා සමාන මුත් ජාන තාක්ෂණයේ දී එහි වෙනස්කම් හඳුනාගැනීමට හැකි වු බව මහාචාර්ය ප්‍රදීපා බණ්ඩාරනායක බීබීසී සිංහල වෙත පැවසුවාය.

 

කුරුඳු වගාව නිසා ඇති වුණ කැරළි

කැරළි කෝලහාල මැදින් කුරුඳු වගා කිරිම පටන් ගත් ආකාරය හා ඒ ඉතිහාස සම්බන්ධයෙන් ද නිර්මාල් දේවසිරි මහාචාර්යවරයා සඳහන් කළේය.

“කුරුඳුවලට පාවිච්චි කරන්න පුලුවන් සලාගම ජනයා විතරයි අනිත් අයව එහෙම සම්ප්‍රදායිකව ගන්න බැහැ. සලාගම ජනයා සීමිත ප්‍රමාණයක් හිටියේ එතකොට අවශ්‍ය කුරුඳු ප්‍රමාණය අමාරුයි ඒගොල්ලන්ගෙන් ගන්න. ඒ කාලේ වසංගත රෝග තිබුනා, යුද්ධ තිබුනා, සමහර වෙලාවට පැනලා යනවා ඒ නිසා ජනගහනය අඩු වෙලා තිබුනේ. ඒක නිසා නීති දාන්න වුණා ඒ ශ්‍රමය ලබා ගන්න ඒක ටිකක් පීඩනයක් වෙලා කැරළි ඇති වුණා, ඒ වගේ ප්‍රශ්න වුණා. අනිත් එක හේන් කොටනකොට කුරුඳු ගස් විනාශ වුණා ඉතින් ඒකටත් නීති දාන්න වුණා එතකොටත් මිනිස්සු කැරළි ගැහුවා ඒ වගේ ප්‍රශ්න තිබුනා.”

“ඔය අතර එක්දහස් හත්සිය හැත්තෑ ගණන්වල තමයි කුරුඳු වගා කරන්න පටන් ගත්තේ. ඒගොල්ලෝ ඒක කාලයක් හිතමින් හිටියා. හේතු කිහිපයක් හින්දා ඒගොල්ලෝ කුරුඳු වගා කරන එක පටන් ගන්නේ නැතුව හිටියා. එක විශ්වාසයක් තිබුනා කුරුඳු වගා කරන්න බෑ කියලා. තව බයක් තිබුනා කුරුඳු වගා කරන්න ගත්තොත් මේක තව තැන්වලට ගෙනිහින් වෙන අය වගා කරයි කියලා. කොහොමහරි එක්දාස් හත්සිය ගණන්වල කුරුඳු ප්ලාන්ටේෂන් විදියට වගා කරන්න පටන් ගත්තා.” යැයි තම අධ්‍යනයන්ගෙන් උගත් දේ මහාචාර්යවරයා එලෙස විස්තර කළේය.

 Ceylon Cinnamon 3

මීගමුවේ හොඳම කුරුඳු

කුරුඳු වතු ව්‍යාප්තිය සම්බන්ධව මහාචාර්යවරයා කියා සිටි අතර එකල මීගමුව ප්‍රදේශයෙන් ලබා ගන්නා කුරුඳු හොඳම තත්ත්වයේ ඒවා බවට ප්‍රචලිතව තිබු බව සඳහන් කළේය.

“මීගමුව, කදිරාන හරියේ ඉදලා පෑලියගොඩ හරියට වෙනකම් ලොකු වත්තක් තිබුනා. කොල්ලුපිටියේ ඉදන් මීතොටමුල්ල හරියට වෙනකම් වගේ වත්තක් තිබුනා ඒකට කිව්වේ මරදාන වත්ත කියලා. ඒක අඩු වෙලා, අඩු වෙලා තමයි දැන් ඔය කුරුඳුවත්ත කියන හරියේ විතරක් ඉතුරු වුණේ. තව මොරටුව පැත්තේ එහෙම තිබුනා. පස්සේ ඕවා නැති වෙලා ගිහින් කළුතර, ගාල්ල දිස්ත්‍රික්කවලට සීමා වුණා කුරුඳු වතු. මීගමුව පැත්තේ එහෙම ගොඩක් කුරුඳු වතු තිබුනා. ඒ පැත්තේ කුරුඳු තමයි හොඳම කුරුඳු විදියට සැලකුණේ.”

 

 Ceylon Cinnamon 2පෘතුගිසි විසින් ලංකාව ආක්‍රමණය කිරිමෙන් පසුව රජු විසින් කුරුඳු වැවීමට හා කැපීමට අවසර ලබා දී ඇති අතර පසුව ඔවුන් කුරුඳු මිල දී ගන්නා එකම ගැනුම්කරුවන් බවට පත්ව තිබේ.


වසර 200කට වඩා පැවති ගැටලු විසඳු ජාන පරික්ෂණ

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි ජෛව තාක්ෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා මහාචාර්ය ප්‍රදීපා බණ්ඩාරනායක කුරුඳු සම්බන්ධව ජාන පරික්ෂණයට සම්බන්ධව ක්‍රියා කරන ලද විද්‍යාඥවරියකි.

ඇමෙරිකාවේ අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් සිටිය දී ශ්‍රී ලංකාවේ කුරුඳුවල ගුණාත්මක භාවය සම්බන්ධව පළ වු ලිපියක් කියවිමෙන් පසුව කුරුඳු පිළිබඳව පර්යේෂණ කිරිමට උනන්දුවක් ඇති වුවා යැයි මහාචාර්යවරිය බීබීසී සිංහල වෙත කියා සිටියාය.

“1826 දී බොටනිකල් නම දෙනකොට ඒ කට්ටිය පාවිච්චි කරළා තියෙන්නේ ඉන්දියාවේ ටයිප්ස්පෙසිමන් (Type specimen) එකක් එතකොට තමයි ඔය සිනමාමම් වේරම් (Cinnamomum verum) කියන නම ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අපේ අය ගිහිල්ලා සිනමාමම් සෙලනිකම් (Cinnamomum zeylanicum) නම අපිට ඕන කියලා තියෙනවා. එතකොට එයාලා අපේ එකත් ඉන්දියාවේ එක වගේ කෙමිකලුත් එක සමානයි ඒක නිසා අපිට ඕගොල්ලන්ට නම දෙන්න බැහැ මේක අපිට කන්සිඩර් කරන්න පුලුවන් වෙන්නේ සිනෝනිම් එකක් විදියට කියලා තියෙනවා.” යැයි මෙරට කුරුඳුවල විද්‍යාත්මක නාමයේ ගැටලු ඇති වු ඉතිහාසය ඇය පැහැදිලි කළාය.

සිලෝන් සිනමන් හෙවත් සත්‍ය කුරුඳු ඇත්තේ ලංකාවේ පමණක් බව මෙන්ම ඉන්දියාවේ ඇති කුරුඳුවලට වඩා වෙනස් ඒවා බව වසර 200කට පමණ පසුව මහාචාර්යවරිය ඇතුළු පිරිස සිය ජාන තාක්ෂණික දැනුම උපයෝගි කරගෙන කරන ලද පර්යේෂණවලින් හඳුනාගෙන එය පර්යේෂණ පත්‍රිකාවක පළ කර එම අනන්‍යතාවය ලංකාවට ලබා ගැනිමට සමත්ව ඇත.

ඉන්දියාවේ කුරුඳු හා ලංකාවේ කුරුඳු බැලු බැල්මට එක හා සමාන මුත් ජාන තාක්ෂණයේ දී එහි වෙනස්කම් හඳුනාගැනීමට හැකි වු බව මහාචාර්ය ප්‍රදීපා බණ්ඩාරනායක බීබීසී සිංහල වෙත පැවසුවාය.

“අපි හොයාගත්ත ජාන සංයුතියක කොටසක් අපි දෙගොල්ලො වෙනස් වෙන තැනක්, ඒකෙන් අපි ටෙස් කිට් එකක් හදලා තියෙනවා. එතකොට පිසීආර් ටෙස්ට් කරනවා වගේ කොවිඩ් ටෙස්ටින් වගේ එතකොට අපිට බෝතලයක් ගත්තොත් කියන්න පුලුවන් චීන එකයි, ඉන්දියාවේ එකයි, අපේ එකයි වර්ග තුනම තියෙනවා හෝ මේකේ තියෙන්නේ අපේ එක විතරයි කියලා.”

එම ක්‍රමය හරහා ලංකාවේ කුරුඳු සඳහා සහතියක් ලබා දෙන ක්‍රමයක් ලබා දී අපනයනය කිරීමට හැකි වුවහොත් ලෝක වෙළඳපළේ මෙරට කුරුඳු සඳහා වඩා වැඩි ඉල්ලුමක් ලබා ගැනීමට හැකි වනු ඇති බව ද මහාචාර්යවරිය කියා සිටියාය.


 Ceylon Cinnamon 1ලෝක වෙළඳපොළේ වාර්ෂික කුරුඳු ඉල්ලුම මෙට්‍ර්ක්ටොන් එක් ලක්ෂ පනස් දහස ඉක්මවයි


කුරුඳු සංවර්ධන දෙපාර්තුමේන්තුව

මෙරට ආර්ථිකයට කුරුඳුවලින් ලැබෙන දායකත්වය නිසාම එහි වැදගත්කම සලකා රජය විසින් පසුගිය වසරේ සිට කුරුඳු සංවර්ධන දෙපාර්තුමේන්තුව ආරම්භ කර ඇත.

එහි ප්‍රධාන කාර්යාලය පිහිටා ඇත්තේ කුරුඳු වගාව වැඩියෙන්ම සිදුවන ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය ප්‍රදේශයේ ය.

“කුරුඳු බෝගයේ වගාවේ ඉඳලා අපනයනය දක්වා සියලුම කටයුතු නියාමනය වෙන්නේ මේ දෙපාර්තුමේන්තුවෙන්. කුරුඳු අලුතින් වගා කරන්න, තියෙන ඉඩම්වල ඵලදායිතාවය වැඩි දියුණු කරන්න, සම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව අගය වැඩි කරපු නිෂ්පාදන හදලා අලුත් වෙළඳපොළවල්වලට ඒවා යවන්න කටයුතු කරමින් යනවා මේ දෙපාර්තුමේන්තුවෙන්.” යැයි එම දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ජනක ලින්දර බීබීසී සිංහල වෙත පැවසීය.

ලෝක වෙළඳපොළේ වාර්ෂික කුරුඳු ඉල්ලුම මෙට්‍ර්ක්ටොන් එක් ලක්ෂ පනස් දහස ඉක්මවයි. 2023 වසරේ දී මෙරටින් කුරුඳු ටොන් දහනම දහස් හයසියකට ආසන්න ප්‍රමාණයක් අපනයනය කර ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

(BBC සිංහල සේවය)

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්