කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය, මහාචාර්ය සරත් විජේසූරියගේ අභිනව ශාස්ත්‍රිය සංග්‍රහය වන ‘‘අලුත් කවි මංජුසාව’’ පසුගිය දොළොස්වන
(2024/03/12) දින ජනගත කෙරිණ. එහි දී මහාචාර්ය සරත් විජේසූරිය හෝරාවකුත් මිනිත්තු විස්සක් පමණ සභාව ඇමතී ය.
පුද්ගලිකව මට හැඟුණේ එලෙස සභාව ඇමතුවේ ‘‘මහාචාර්ය සරත් විජේසූරිය’’ නොව ‘‘සරත් විජේසූරිය නමැති මිනිසා’’ බව ය. මන්ද එම කතාව සපුරා ම ස්වයං කථනයකි; එතුළ ඔහු ජීවිතයේ ලද: සුඛ, දුක්ඛ, නින්දා, ප්‍රශංසා මෙන් ම බිය ද අන්තර්ගත විය. එබැවින් එම කතාව හැකිතාක් ජනතාව අතරට ගෙන යා යුතු නොවේදැයි මට සිතිණ.
මතු දැක්වෙන්නේ එම සිතිවිල්ල යථාර්ථයක් බවට පත් කරමින් ‘‘සරත් විජේසූරිය නමැති මිනිසා’’ විසින් කරන ලද ස්වයං කථනය පාදක කරගනිමින් සැකසූ ලිපියකි.
අද දින මෙම ශාලාවට ඇතුළු වූ බොහෝ දෙනකු මගේ ඇසූ ප්‍රශ්නය නම්: ‘‘අදින් පසුව විශ්වවිද්‍යාලයට එන්නෙ නැද්ද...?’’, ‘‘අද සමුගන්නවා ද...?’’ යන්න ය. ඇත්ත වශයෙන් ම පවසන්නේ නම් මගේ සේවා කාලය නිල වශයෙන් අවසන් වූයේ මෙම වසරේ ජනවාරි පළමු වන දිනයේ ය. සාමාන්‍ය තත්ත්වය නම් අදාළ පුද්ගලයාට වසර 65ක් සම්පුර්ණ වන දිනයේ ඔහුගේ හෝ ඇයගේ සේවා කාලය හමාර වීම ය. නමුත් මෙම විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ අංශාධිපතිතුමා විසින් මට දෙන ලද විශේෂ වරප්‍රසාදයක් හේතුවෙන් මෙම අධ්‍යයන වසර අවසන් වන තෙක් මට මෙහි රැඳී, ඉගැන්වීම් කටයුතුවල යෙදිය හැකි ය. එසේ නොවන්නට මා දැනටමත් විශ්‍රාමික මහාචාර්යවරයෙකි. මා ඒ පිළිබඳව සඳහන් කළේ එය මට විශාල සතුටක් වන බැවිනි.
මා පළමුවෙන් ම මෙම විශ්වවිද්‍යාලයේ දි දේශනයක් පැවැත්වූයේ පළමු වසරේ විද්‍යාර්ථීන් වෙත ය. ඒ, නූතන කවිය පිළිබඳව ය. දිනය නිශ්චිත වශයෙන් අමතක වුව ද එම දේශනය පැවැත්වූයේ 1985 වසරේ මාර්තු මස එක්තරා දිනක ය. එදා මෙන් ම අද දිනයේ ද පළමු වසරේ විද්‍යාර්ථින් හට උගන්වමින් මගේ සේවා කාලය අවසන් කිරීම සඳහා මට අවස්ථාව උදා වී තිබේ. මම, ඒ පිළිබඳව අපේ සිංහල අංශයේ අංශාධිපති වන මහාචාර්ය සඳගෝමි කෝපරහේවා මහතා වෙත මගේ කෘතඥතාව පුද කරමි.
කළ ගුණානුස්මරණය
මේ අවස්ථාවේ පළමුවෙන් ම කිහිප දෙනකු සිහිපත් කිරීමට කැමති ය. අද මම පවත්වන්නේ ශාස්ත්‍රීය කතාවක් නොව තරමක් පුද්ගලික මට්ටමේ කතාවකි.
මා සිංහල අධ්‍යයන අංශයට බඳවා ගත්තේ මහාචාර්ය හේමපාල විජේවර්ධන මහතා ය. සාහිත්‍ය රස විඳීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මට මග පෙන්වා ඊට අදාළ දේශන කිරීමට පුහුණු වන ලෙස මට පැවරුවේ ද එතුමා ය. මේ අවස්ථාවේ මම එතුමා ගෞරවයෙන් යුතුව සිහිපත් කරමි.
ඊළඟට මම මහාචාර්ය කුසුමා කරුණාරත්න මහත්මිය ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. මට ස්ථිර පත්වීම ලබා දීම සඳහා මෙන් ම මට පසුව පැමිණි කිහිප දෙනෙකුට ම දෙපාර්තමේන්තුවට බැඳීමට හැකි වූයේ එතුමියගේ කැප වීම හේතුවෙනි. එමෙන් ම සිංහල අංශයේ අභිවෘද්ධිය වෙනුවෙන් මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර මහතා ස්වාධීනව ගත් තීරණ ද මම මේ අවස්ථාවේ සිහිපත් කරමි.
සිංහල අධ්‍යයන අංශයේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණත්වයක් ඉසිලූ ආචාර්ය භවතුන්ගෙන් ද මට ඉගෙනගන්නට ලැබිණ. ඒ අතුරෙන් පියසීලී විජේගුනසිංහ ගුරුතුමිය විශේෂයෙන් ම සිහිපත් කළ යුතු ය. සාහිත්‍යකරුවකු ලෙස කිසියම් ස්වාධීනත්වයක් සහිතව ඉදිරියට ගමන් කරන්නට මග පෙන්විමක් කළේ එතුමිය යි. මේ අවස්ථාවේ දී මම එතුමිය ද ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි.
ධර්මසිරි ගමගේ මහතා ද ඒ ආකරයෙන් ම සිහිපත් කළ යුතු පුද්ගලයෙකි. මා විශ්වවිද්‍යාලයට පැමිණෙන වකවානුවේ එතුමා ලේක්හවුස් ආයතනයෙන් ප්‍රකාශයට පත් කළ ‘යොවුන් ජනතා’ පුවත් පතෙහි කර්තෘ ධුරය දැරී ය. එම පුවත්පතෙහි පිටු දෙකක් ම අලුතින් කවි ලියන කවි කිවිඳියන් වෙනුවෙන් වෙන් කරන්නට එතුමා කටයුතු කළේ ය. අද ප්‍රවීණත්වයට පත්ව සිටින කවි කිවිඳියන් බහුතරයක් ම යොවුන් ජනතා පුවත්පතෙහි කවි පිටුවෙන් කාව්‍ය ක්ෂේත්‍රයට පිවිසි අය බව මගේ විශ්වාසය යි. එබැවින් ධර්මසිරි ගමගේ මහතා කළ ඒ සේවය එවක විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථින් වූ බොහෝ දෙනෙකුට ආලෝකයක් ලබා දුන් බව ඉතා ගෞරවයෙන් සිහිපත් කළ යුතු ය.
එදා ගෙදර වැඩ
එමෙන් ම මේ අවස්ථාවේ ඉතා ගෞරවයෙන් සිහිපත් කළ යුතු ආයතනයක් ද පවතී. ඒ, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව ය.
පරම්පරා ගණනාවක වින්දන චින්තන ශක්තිය ගොඩනැගූ, ලංකාවේ තිබූ එක ම ගුවන් විදුලි ආයතනය එය බව මගේ පුද්ගලික විශ්වාසය යි. ඉහළ ම ප්‍රමිතියකින් යුක්ත ගීත අසන්නට අපට අවස්ථාව ලැබිණ. උසස් සාහිත්‍ය රසවින්දනාත්මක වැඩ සටහන් ශ්‍රවණය කරන්නට අපට අවස්ථාව ලැබිණ. එකල එම ආයතනයේ මුල් පුටුවල සිටියේ මෙරට බිහි වූ ඉතාමත් ම විශිෂ්ට පුද්ගලයෝ ය; පරිපාලක නිලධාරිහු ය. කුඩා කල සිට ම අපට ගුවන් විදුලිය බලපෑවේ ය.
එකල අපට ගෙදර වැඩ ලෙස පැවරුණේ සවස ප්‍රවෘත්තිවලට සවන් දීම ය; සවස ප්‍රවෘත්ති මගහැරුණ හොත් රාත්‍රි නවයේ ප්‍රවෘත්ති ශ්‍රවණය කළ යුතු ය. පසු දින පංතියට පැමිණෙනන ගුරුතුමා ‘‘ඊයෙ කවුද ප්‍රවෘත්ති කිව්වෙ... මොකක්ද පළවෙනි ප්‍රවෘත්තිය?’’ යැයි අපෙන් විමසයි. මෙම පැන දෙක කාගෙන් විමසා දැයි නොදන්නා බැවින් අපි සැවොම පුරුද්දක් ලෙස ප්‍රවෘත්තිවලට සවන් දුන්නෙමු. සිංහල භාෂාව යම් තරමකට හෝ හොඳින් පරිහරණය කරන්නට, උච්චාරණය කරන්නට එම විශිෂ්ට නිවේදක නිවේදිකාවන්ගෙන් අපිට විශාල ආලෝකයක් ලැබුණු බවට මම විශ්වාස කරමි. එම පරපුරේ විශිෂ්ට නිවේදිකාවක වූ, අප කවුරුත් දන්නා හඳුනන රම්‍යා වනිගසේකර අද දිනයේ දැයෙන් සමුගන්නී ය. එක් එක් පුද්ගලයා නම් වශයෙන් සඳහන් නොකළ ද ඒ සියලු දෙනා නිල නොවන ගුරුවරු වූ බව මම විශ්වාස කරමි.
සාහිත්‍ය ඉගැන්වීමේ මෙවලම්
කථිචාර්යවරයකු ලෙස මගේ පළමු දේශනය කළේ මෙම ශාලාවේ බව මම කලින් සඳහන් කළෙමි. එම දේශනය ආරම්භ කළේ මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයකිනි. මේ එම ප්‍රකාශය යි.
‘‘කාව්ය වූ කලී මානව ජීවිතයේහි නොගැඹුරු, ගැඹුරු, ඉතාම ගැඹුරු ස්ථාන අපගේ මනසට හසු කර ගැනීමට අපට උපකාර වන භාවනා විශේෂයකි.’’
මා අදත් එය සිහිකරන්නේ එය මගේ නිර්මාණ ජීවිතයට ද, ඉගැන්වීමේ කටයුත්තට ද, ආලෝකයක් වූ වික්‍රමසිංහ මහතාට පිදෙන ගෞරවයක් ලෙසිනි.
කවියක් කියවීම සෙමින් කළ යුතු බවත්, කෙනෙකුගේ වින්දන කුසලතා වර්ධනය කර ගැනීමට කවිය උචිත ම සාහිත්‍යාංගය බවත් මා ඉගෙන ගත්තේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගෙනි. එතුමාගේ ‘සාහිත්‍ය විද්‍යාව’නමැති කෘතිය පරම්පරා ගණනාවකට සාහිත්‍ය රස වින්දනයේ මූලධර්ම ඉතාමත් ම සරලව, සුගමව ඉගැන්වූ කෘතියකි; එය වටිනා කලා වස්තුවකි.
මගේ සාහිත්‍ය ඉගැන්වීමේ මෙවලම බවට මා පත්කර ගත්තේ කවිය යි. ඊට උචිත නිදසුන් නිරන්තරයෙන් ම අලුත් කවි කිවිඳියන් වෙතින් සොයාගෙන ඒවා රැගෙන දේශන ශාලවෙ වෙත යෑම පුරුද්දක් කරගත්තේ ය. මා දේශනවල දී පරිහරණය කරන කවි කිහිපයක් තිබිණ. මේ දේශන ශාලාවේ, මෙතැන ම සිට, දේශන කෙතරම් ප්‍රමාණයක පවසා ඇති දැයි මට ද නිශ්චය කළ නොහැකි ය. මම ඔවුන්ට ඉගැන්වීමට ආරම්භ කළ එම නිදර්ශන බොහෝ විද්‍යාර්ථින් අද මුහුණු පොත තුළින් සිහිපත් කරයි. ඒ එක කවියකි මේ,
‘‘ජීවිතයට අමාවක ආ වෙලාවට
කාටත් හොරා ඔබ පුන් සඳ වුණා මට
මතු මා යතොත් මට වෙන් කළ අපායට
නෑවිත් ඉන්න ඔබ දෙව් ලොව වලා පිට
අමිහිරි කවි ගහණ මගෙ ජීවිත පොතට
කව් සිළුමිණේ කවියක් විය ඔබ සුමට
එනමුත් කුකවි මට කවිකම් නැති පවට
මේ රස මෙකවි පද බැන්දෙමි ඔබ නමට’’
මෙම මනරම් කවි දෙක ලියූවේ මහාචාර්ය සුනිල් ආරියරත්න ය. එතුමා අද දින මේ අවස්ථාවට සහභාගි වී සිටීම මට විශාල සතුටකි; ගෞරවයකි.
මා නිරන්තරයෙන් ම ඉගැන්වූ තවත් කවියකි, මහාචාර්ය සරච්චන්ද්‍රගේ විලාසිනියකගේ ප්‍රේමය නමැති චම්පු කාව්‍යයේ එන
‘‘ප්රේමය නම් අසනිය කුසුමක් වේ
රිසි වූ කෙනෙකුට පූජා කරන්ට
ලෝබ සිතින් එය පිදුව මනා වේ
පෙරළා ලබන්ට නොසිතා බිඳකුත්’’
මම, මෙම කවි මගේ ශක්ති ප්‍රමාණයෙන් බොහෝ වේලා, නොයෙකුත් මානවලින් විවරණය කළෙමි; විග්‍රහ කළෙමි. එම කවි රස විඳ සාහිත්‍ය රස විඳීමට පුරුදු පුහුණු වූ පරම්පරා කිහිපයක් සිටින බව පසු ගිය දින කිහිපය තුළ මුහුණු පොත තුළින් දක්නට ලැබිණ.
මේ මොහොතේ මට රවින්ද්‍රනාථ තාගෝර්තුමාගේ අදහසක් සිහි වේ. එනම්, ‘‘මේ ලෝකයේ අලුත් කවින් නොමැති වන්නා වූ දවසක පැරණි කවීන් සම්පූර්ණයෙන් ම මිය පරලොව ගොස් ඇති බව අපට ස්ථිර වශයෙන් ම දැනගත හැකිවනු ඇත.’’ යන්න ය.
මෙය මා නිරන්තරයෙන් ම සිහිපත් කරන මනරම්, දීප්තිමත් වැකියකි. මගේ වෘත්තීය ජීවිතය නිම කරමින් ‘‘අලුත් කවි මංජුසාව’’ සම්පාදනය කළේ රවින්ද්‍රනාථ තාගෝර්තුමාගේ මෙම අගනා කියමන හිසින් ගෙන ය. මා මෙම කෘතිය සලකන්නේ: කවියට, මට ජීවිත කාලයක් කවි උගන්වන්නට කවි ලියූ කවියන්ට කිවිඳියන්ට සහ නූතන කවියට මගේ ණය බර තුනී කරගනු පිණිස ගෙවන එක් වාරිකයක් ලෙසිනි.
නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක්
‘‘නව කවි සංග්‍රහය’’ සම්පාදනය වූ අන්දම පිළිබඳව යමක් පැවසිය යුතු ය එකල කවිය පිළිබඳ ඉගැන්වීම සඳහා නිර්දේශ වී තිබුණේ කවියන් තිදෙනකු පමණි. ඒ: ජී. බී. සේනානායක, ගුණදාස අමරසේකර සහ සිරි ගුනසිංහ යන තිදෙනා ය. එම අභ්‍යාස පංතියේ දී සිරි ගුණසිංහගේ කවියක් පිළිබඳ මා විග්‍රහයක් කරන විට සුදු ඇඳුමෙන් සැරසී සිටි, කළු කෙසග කොලුවෙක් නැගිට බොහෝ අභීත හඬින් ප්‍රශ්නයක් විමසී ය. ඔහුගේ ප්‍රශ්නය වූයේ ‘‘අපිට මහගම සේකර කවියා බඳු කවියන් පිළිබඳ උගන්වන්නෙ නැත්තෙ ඇයි...?’’ යන්න ඔහු නැගූ ප්‍රශ්නය යි. ඒ සමග ම ඔහු කටපාඩමින් ම මහගම සේකරගේ කවි දෙක තුනක් ද කීය. ඔහු කරුණාරත්න පරණවිතාන ය. ඒ අනුව බලන විට කරුණාරත්න පරණවිතාන යනු අලුත් කවියන් සහ ඔවුන්ගෙ නිර්මාණ ඉගැන්විම සඳහා උත්තේජනය සැපයූ එක් පුද්ගලයෙකි.
අනතුරුව ජාතික අධ්‍යපන ආයතනය පෙළ පොත් සම්පාදනය කිරීමේ දී ඒ අවස්ථා බොහොමයකට මම ද සම්බන්ධ වුණෙමි. ඇතැම් ජ්‍යේෂ්ඨ ආචාර්යවරු මා එහි කැඳවාගෙන ගිය බව ද මෙහි දී පැවසිය යුතු ය. එම මණ්ඩලවල සිටි බොහෝ අය අලුත් කවියෙක්, කිවිඳියක්, කෙටිකතාකරුවෙක් අදාළ විෂය නිර්දේශවලට ඇතුළත් කිරීමට කැමැත්තක් නොදැක්වූහ. ඔවුන් එක් අවස්ථාවක දී පවසා සිටියේ ජීවතුන් අතර සිටින නිර්මාණකරුවන්ගේ හෝ නිර්මාණකාරියන්ගේ නිර්මාණ ඇතුළත් කළ විට එය මහා කරදරයක් වන බවයි. එවිට මා විමසා සිටියේ ඒ වන විට ජීවතුන් අතර සිටි: ගුණදාස අමරසේකර, සිරි ගුනසිංහ, මොනිකා රුවන් පතිරණ යනාදිහු ජීවතුන් අතර සිටින අය නොවේ ද යන්නය. මේ සම්බන්ධයෙන් විශාල වශයෙන් වාද විවාද ද ඇති විය. එහෙත් අවසන අක්මැත්තෙන් වුව ද කිහිප දෙනෙකු ඇතුළත් කිරීමට ඔවුන්ට සිදු විය. නමුත් ඉන් අනතුරුව අදාළ මණ්ඩල වෙත කිසිදු දිනක මා නොකැඳ වු බව ද පැවසිය යුතු ය.
නව කවි සංග්‍රහය සහ අලුත් කවි මංජුසාව
අනතුරුව මා කුසුමා කරුණාරත්න මහත්මිය හමු වී අලුත් කවි එකතු කර සංග්‍රහයක් සම්පාදනය කරමු යැයි සාකච්ඡා කළේ ය. ඒ සමග ම ඊට සමගාමීව කෙටිකතා සංග්‍රහයක් ද සම්පාදනය කළේ ය. එමෙන් ම විදේශීය කෙටිකතා සංග්‍රහයක් ද සම්පාදනය කළේ ය. සාහිත්‍ය ඉගැන්වීම පිණිස මෙම කෘති ත්‍රත්වය දීර්ඝ කාලයක් මෙම ශාලාවේ දී ම ඉවහල් කරගත්තේ ය. නිල වශයෙන් අලුත් කවීන් බොහෝ දෙනකුට ඉගැන්වීම ඇරඹුවේ මෙම කෘතියෙන් යැයි මම විශ්වාස කරමි. මෙම විශ්වවිද්‍යාලයෙන් බිහි වූ දිප්තිමත් ආදි ශිෂ්‍යයකු වන ලියනගේ අමරකීර්ති මහාචාර්යතුමා ඔහුගේ ‘නව කවි සලකුණ’ නමැති කෘතියේ අපගේ ව්‍යායාමය පිළිබඳ ඉතාමත් ම වැදගත්, ගෞරවනීය සටහනක් තබා ඇත.
ආරියවංශ රණවීර, නන්දන වීරසිංහ, එරික් ඉලයප්පාරච්චි, දයාසේන ගුණසිංහ යනාදි අලුත් කවින්ගේ නිර්මාණ විද්‍යාර්ථින් වන අපි රස වින්දෙමු. එම නිර්මාණ පිළිබද සාකච්ඡා කළෙමු. මහාචාර්ය සුනිල් ආරියරත්න ද මීට සමගාමිව ‘නූතන පද්ය කාව්‍ය සංහිතා’ යන මැයෙන් කෘතියක් සම්පාදනය කළේ ය. මීට අමතරව බොරැල්ලේ පිහිටි ‘විභවි සංස්කෘතික ආයතනය’ මෙහෙය වූ ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන කවිය සහ සාහිත්‍ය පිළිබඳ විවිධ වැඩසටහන් ඉදිරිපත් කිරීම ද මේ වකවානුවේ සිදු වූ තවත් අගනා කටයුත්තකි. විශේෂයෙන් ම ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන නූතන කවිය පිළිබඳ දීප්තිමත් ආලෝක ධාරා ගෙනහැර පෑ ය. අලුතින් කවි ලියන පිරිසක් බිහි වෙන්නට මේ සියලු කටයුතු ඉවහල් වූ බව මගේ විශ්වාසය යි. එමෙන් ම, ‘කවිය යනු කුමනාකාරයේ සාහිත්‍යාංගයක් ද’ යන්න සහ එක ම ස්වරූපයෙන් කවි ලියවිය යුතු නැති බවත්, බහු අර්ථ උද්දිපනය කරන කවි කුමනාකාර ද යන දැනුම විභවි සංස්කෘතික ආයතනයෙන් ලබා දුන් බව මේ අවස්ථාවේ සිහිපත් කරන්නට මම කැමැත්තෙමි.
‘නව කවි සංග්‍රහය’ සම්පාදනය කරන විට සිටි නවතම කවියා ලාල් හෑගොඩ කවියා ය. එම කෘතිය නිමා වූයේ ලාල් හෑගොඩ කවියාගෙනි. පසු කලක දී මෙම කෘතියේ සංස්කරණයක් එළිදක්වන්නට කිහිප වතාවක් ම උත්සාහ කළ ද යම් යම් හේතු මත එය සිදු කළ නොහැකි විය. මගේ විශ්වවිද්‍යාල ජීවිතයේ ද යම් සංකීර්ණ අවස්ථා වෙත මුහුණ දෙන්නට මට සිදු විය. ‘අලුත් කවි මංජුසාව’ සම්පාදනය කර තිබෙන්නේ ලාල් හෑගොඩගෙන් පසුව කාව්‍ය ක්ෂේත්‍රයට පිවිසි අලුත් කවි කිවිඳියන්ගේ නිර්මාණ එකතුවකිනි. මෙහි සීමාවක් ලෙස මා සනිටුහන් කර ගත්තේ 2021 වර්ෂය යි. මෙම කෘතිය සම්පාදනය සඳහා 2021 දක්වා කාව්‍ය සංග්‍රහ පළ කර ඇති කවි කිවිඳියන්ගේ කෘති 460ක් මම කියවීමි.
කාව්‍ය සංග්‍රහ 460ක් කියවා, සුදුසු කවි කිහිපයක් තෝරා ගැනීම ඉතාම අසීරු කටයුත්තකි. මෙම කාව්‍ය සංග්‍රහ 40 තුළ තවත් හොඳ ම නිර්මාණකරුවන් සහ නිර්මාණකාරියන් සිටිය හැකි ය. නමුත් කෘතියේ කිසියම් සීමාවක් තබාගත යුතු බැවින් 2021 දක්වා කාව්‍ය සංග්‍රහ පළ කර ඇති කවි කිවිඳියන් අතුරෙන් ප්‍රධාන වශයෙන් පළමු කොටසට කවි කිවිඳියන් 70ක් තෝරා ගත් අතර දෙවන කොටසට තවත් කවි කිවිඳියන් 70ක් තෝරා ගත්තේ ය.
‘නව කවි සංග්‍රහය’ සම්පාදනය කරන සමයේ අපට හමු වූයේ කිවිඳියන් දෙදෙනකු පමණි. ඒ, මොනිකා රුවන්පතිරණ සහ යමුනා මාලණී පෙරේරා ය. නමුත් මෙම ‘අලුත් කවි මංජුසාව’ කෘතිය සම්පාදනය කරන විට කිවිඳියන් අසු පස්දෙනකු මගේ අවධානයට ලක් විය. ඒ අතුරෙන් තෝරා ගත් කිවිඳියන් හතළිහකගේ පමණ නිර්මාණ මෙම කෘතියට ඇතුළත් කළේ ය. අද කවි ලියන කිවිඳියන් කවිය ඉතා ඉහළ තලයකට ඔසවන්නට සමත් වි තිබෙන බව අවධාරණය කළ යුතු ය. එම කිවිඳියන් අතුරෙන් කිහිප දෙනෙක් ම කොළඹ විශ්වවිද්‍යාලයෙන් බිහි වූ අය යි.
විද්‍යුත් මාධ්‍යය, කවිය සහ ගීතය
නූතන කවිය පිළිබඳව අකාරුණික යථාර්ථයක් ද පවතී. අපි ඉගෙනගන්නා සමයේ වින්දන කුසලාව පුහුණු කිරීම සඳහා ගුරුවරු ඉවහල් කර ගත්තේ කවිය යි. එකල ගුරුවරු සැළලිහිණි සංදේශයේ කවි ඉතා අපුරුවට ගායනා කළහ; ගුත්තිල කාව්‍යයේ කවි ගායනා කළහ. එපමණක් නොව කොළඹ යුගයේ කවීන්ගේ කවි ද ගායනය කළහ. කවිය තුළින් රසඥතාව දියුණු කළ හැකිය යන අවබෝධය එකල සිටි ගුරුවරු වටහාගෙන සිටියහ. ඇතැම් විට එය සරච්චන්ද්‍ර මහතාගෙන් උගත් පාඩමක් විය හැකි ය. සාහිත්‍ය ඉගැන්වීමේ දී වින්දන කුසලතාව උරුම කරන්නට කෙනකුට පහසු ම සහ පොහොසත් ම මාධ්‍ය ‘කවිය’ යන්න මගේ පුද්ගලික අදහස ය. එහෙත් අද කවි කියවන පිරිස ඉතාමත් ම අල්ප ය.
වර්තමානයේ කාව්‍ය සංග්‍රහ විශාල ප්‍රමාණයක් පළ වුව ද, කවි ලියන පිරිස විශාල ප්‍රතිභාණයක් පළ කළ ද එම කෘති පළ කරන්නේ ඉතා අසීරුවෙනි. මා දන්නා තරමින් මෙම කවි පොත් සීමිත ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කරන්නේ තමන්ගේ ම වියදමිනි. අනතුරුව තවත් මුදලක් වියදම් කර කෘතිය ජනගතකිරීමක් ද කරන්නේ ය; ඒ සඳහා බොහෝ විට කිසියම් පිරිසක් (ඥාති හිතමිත්‍රාදින්) සහභාගි වෙති; කෘතිය ද මිලදී ගති. එහෙත් ඔවුන් සැබෑ කාව්‍ය පාඨකයෝ ද යන්න ගැටලුවකි. ඒ අනුව වර්තමානයේ කවියේ පාඨක පිරිස ඉතාම කුඩා වී තිබේ. අපේ භාෂා ඥානය දුර්වල වීමට බලපෑ ප්‍රධාන ම හේතුව ද මෙය යි.
මේ සඳහා බලපෑ තවත් ප්‍රධාන හේතුවක් පවතී. එනම් විද්‍යුත් මාධ්‍ය නාලිකා විශාල වශයෙන් බිහි වීම ය; එය හේතුවෙන් ගීතය නමැති සාහිත්‍යාංගය ජනප්‍රිය සාහිත්‍යාංගයක් බවට පත්වීම ය. කවියක් කියවිය යුතු ය; ඒ සඳහා කිසියම් ඉවසීමක් තිබිය යුතු ය; කිසියම් භාෂා ඥානයක් තිබිය යුතු ය. නමුත් ගීතයක් එසේ නොවේ. එය අසා සිටීමෙන් සැහීමකට පත්විය හැකි ය. නමුත් ලංකාවේ විශිෂ්ට ගීත රචක රචකාවන් සැවොම උපන් ප්‍රාගුණ්‍ය ඥානයක් සහිත පිරිසකි; පැරණි සාහිත්‍ය මෙන් ම නූතන සාහිත්‍යය ද පරිශීලනය කළ පිරිසකි. නිදර්ශන අවැසි නම්: ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහගේ සිට මහගම සේකර, මඩවල එස්. රත්නායක, සුනිල් සරත් පෙරේරා, මහාචාර්ය සුනිල් ආරියරත්න, ධර්මසිරි ගමගේ, කුලරත්න ආරියවංශ දක්වා වූ ලයිස්තුවක් ඉදිරිපත් කළ හැකි ය.
වර්තමානයේ පවත්වන රියැලිටි වැඩසටහන් සියල්ලෙහි ම ගීත ගයන ආධුනික ගායික ගායිකාවෝ, සිය කුසලතා පෙන්වීම සඳහා ගායනා කරන්නේ මා මේ සඳහන් කළ රචකයන් විසින් රචිත ගීත ය. නමුත් ඒ කිසිවකුට ස්වාධිනව ගීත කිහිපයක් ගායනා කර අනන්‍යතාවක් සහිත ගායකයකු හෝ ගායිකාවක වන්නට නොහැකි වී ඇත. ඔවුන්ට ගායන කුසලතා තිබුණ ද උසස් පද මාලා නොලැබෙන බව මගේ විශ්වාසය යි. පද මාලා නොලියවෙන්නේ වර්තමානයේ පද මාලා ලියන අයට සාහිත්‍ය ඥානයක් නොමැති වීම හේතුවෙනි. මෙම තත්ත්වය කවිය නමැති සාහිත්‍යාංගය අවභාවිත වීමේ අදෘශ්‍යමාන, අනියම් ප්‍රතිඵලයකි. එමෙන් ම මෙම රියැලිටි වැඩසටහන්වල දී රසවින්දන කුසලතාව වැඩි දියුණු කිරීම සඳහා එදා ගායක ගායිකාවන් ඉතාම හොඳට ගායනා කළ ගීත වර්තමානයේ ඉතා ම නරකට ගායනා කිරීම ද කනගාටුවට කරුණකි.
සිවු පද කවියට මොකද වුණේ...?
‘අලුත් කවි මංජුසාව’ කෘතියට එක ම සිවු පද කවියක් හෝ ඇතුළත් කර නොමැත. එය ප්‍රශ්නයක් කරගන්නා යමෙක් වේ නම් මා ඒ සම්බන්ධයෙන් ද යමක් පැවසිය යුතු ය. සිවු පද ආකාතිනෙකවි ලියන කිවි කිවිඳියෝ රාශියක් සිටිති. මෙම කෘතියේ ප්‍රමාණය සීමා කරගැනීමේ උපක්‍රමයක් ලෙස ‘සිවු පද ආකෘතිය සහ අලුත් කවිය’ නමින් කෘතියක් සම්පාදනය කරන්නට මම බලාපොරොත්තුවෙන් සිටිමි. එම කෘතිය ද මේ සමග ම පළ කරන්නට බලාපොරොත්තු වුව ද මුද්‍රණ වියදම් සහ වෙනත් ගැටලු කිහිපයක් හේතුවෙන් එය දෙවනුව පළ කරන්නට මම බලාපොරොත්තු වෙමි.
සිවු පද ආකෘතිය වෙනම ම කාව්‍ය ප්‍රභේදයක් ලෙස සැලකීමේ දී එහි ස්වරූප ගණනාවක් හඳුනාගත හැකි ය. වර්තමාන කවි කිවිඳියන් ජන කවිදියෝ ජනකවියෙන් ආභාෂය ලබා විශිෂ්ට කාව්‍ය නිර්මාණ බිහි කර ඇත. එමෙන් ම කෝට්ටේ යුගයේ දී උරුම වූ සිවු පද ආකෘතියෙන් අභාෂය ලබා ලියන මනරම් කවි ද ඉඳ හිට කියවන්නට ලැබේ. කොළඹ කවියෙන් සහ හිටිවන කවියෙන් ආභාෂය ලබාගත් කවි විශේෂයක් ද පවතී. මේ ආකාරයේ ස්වරූප පහක් පමණ මා හඳුනාගෙන ඇත. ‘සිවු පද ආකෘතිය සහ අලුත් කවිය’ නමැති කෘතියේ අදාළ කවි සම්බන්ධයෙන් විග්‍රහයක් ද අන්තර්ගත කර ඇත. මෙම කෘතියේ යම් කවියෙක් හෝ කිවිඳියක නියෝජනය නොවන්නේ නම් ඊට හේතුව විය හැකි වන්නේ ඔහුගේ හෝ ඇගේ කවි දෙකක් එම කෘතියේ අන්තර්ගත වීම ය.
ගුවන් විදුලියේ මතක
මෙම අවස්ථාවේ දී තවත් එක් කරුණක් සිහිපත් කළ යුතු ය. එනම්: සාහිත්‍ය ඉගැන්වීම සහ රසවින්දන ක්‍රියාවලිය පිළිබඳ යමක් කළ හැකි ය යන හැඟීම ඇති වූ විට එය දියුණු කර ගැනීමට මා උත්සාහ කළේ ය. ගුවන් විදුලි සංස්ථාවෙන් එම වින්දන කුසලතාව දියුණු කරගත් සේ ම දශක පහකට ආසන්න කාලයක් ගුවන් විදුලියේ විවිධ රස වින්දන වැඩ සටහන් ඉදිරිපත් කිරීමට මට අවස්ථාව ලැබිණ. දිගු කාලයක් මගේ වැඩසටහන නිෂ්පාදනය කළේ සුමනා අබේසිංහ නමැති නිවේදිකාව ය. ඇය ගුවන් විදුලි සංස්ථාවෙන් සමු ගන්නා තුරු ම මගේ වැඩ සටහන් නිෂ්පාදනය කළා ය. එතුමිය එය කළේ ඉතාමත් කැපවීමකිනි. ඇය මට අවසන් කාලයේ පැවසුවේ ‘‘සර් නිදහසේ කතා කරගෙන යන්න... කහින්න වුවමනා නම් කහින්න... හයියෙන් හුස්ම ගන්න වුවමනා නම් හුස්ම ගන්න... මම එය අවශ්‍ය විදියට සංස්කරණය කරල ගන්නම්.’’ යනුවෙනි. පුදුමය වන්නේ වර්තමානයේ ගුවන් විදුලිය ශ්‍රවණය නොකරන්නේ යැයි මතයක් පවතින රටේ මගේ වැඩසටහන් ශ්‍රවණය කළ දහස් ගණනක රසික පිරිසක් මට සම්මුඛ වීම ය; ඔවුන් ඒ සම්බන්ධයෙන් මා සමග සාකච්ඡා කිරීම ය.
එම නිවේදිකාව විශ්‍රාම ගත් පසුව ද සියතින් වියදම් කරගෙන පැමිණ අදාළ වැඩසටහන මෙහෙයවන්නට ඉදිරිපත්වූවා ය. මම ද එම වැඩ සටහනට සහභාගි වූයේ ස්වේච්ඡාවෙනි. ඒ, ගුවන් විදුලි සංස්ථාව යනු අපේ කුසලතා වර්ධනයට, රසවින්දනයේ වර්ධනයට කිසියම් ආලෝකයක් සැපයූ ස්ථානයක් වන බැවිනි. නමුත් සේවයෙන් ඉවත් වූ අය මොන ම ආකාරයෙන් හෝ යළි සේවයට නොකැඳවන ලෙස මහ බැංකුවෙන් චක්‍රලේඛයක් නිකුත් කළ බැවින් එම වැඩසටහන නැවැත්වීමට සිදු විය. පසුව වගකිව යුතු නිලධාරීන් කිහිප දෙනෙකු ම වෙනත් නිෂාදකවරයකු හෝ නිෂ්පාදකවරියක යටතේ එම වැඩසටහන පවත්වාගෙන යැන්නැයි මට ආරාධනා කළේ ය. එසේ වුව ද වසර විස්සකට අධික කාලයක් මා එම වැඩසටහනට සහභාගි කරගත් සුමනා අබේසිංහ මහත්මියට ගරු කිරීමක් වශයෙන් මම එම ආරාධනය ප්‍රතික්ෂේප කළෙමි. නිල නොවන විශ්වවිද්‍යාලයක් ලෙස පැවති ගුවන් විදුලි සංස්ථාවට අත්ව තිබෙන ඉරණම පිළිබඳ දැනෙන්නේ දැඩි කනගාටුවකි. එය අපගේ සංස්කෘතික උරුමය ඝාතනය කළා හා සමාන ය. අපේ ජීවිතයේ අවසාන භාගයේ මෙවන් දෑ ඇසීමට දැකීමට ලැබීම අභාග්‍යසම්පන්න තත්ත්වයක් බව මගේ හැඟීම ය.
චින්තා ලක්ෂ්මී සිංහආරච්චි භූමිකාව
මා නිරන්තරයෙන් ම උත්සාහ කළේ අලුතින් ලියන කෙටිකතා, අලුතින් ලියන කවි යනාදිය පිළිබඳ ඉගැන්වීමට ය. දයාසේන ගුණසිංහ, ජයතිලක කම්මැල්ලවීර, කීර්ති වැලිසරගේ, සයිමන් නවගත්තේගම, අජිත් තිලකසේන යනාදි ලේඛකයන් පිළිබඳව ඉගැන්වීම ආරම්භ කළේ එබැවිනි. එම ක්‍රියාවලිය හේතුවෙන් දැවැන්ත නිර්මාණාවේශයක් ලැබූ පිරිසක් මෙම විශ්වවිද්‍යාලයේ සිටින බව මම හොඳින් ම දනිමි. අනතුරුව සාහිත්‍ය රසවින්දන ක්‍රියාවලියේ දී චින්තා ලක්ෂ්මී සිංහආරච්චි පරිවර්තනය කළ වංග සාහිත්‍ය කෘති ඉගැන්වීම ආරම්භ කළේ ය. ඇය ඉතා අසීරුවෙන් පරිවර්තනය කළ මෙම මුල් කෘති ප්‍රකාශයට පත් කරමින් පාඨකයන් අතරට ගෙම යෑමට, පාඨක සමාජයක් ගොඩ නගන්නට මම මැදිහත් වුණෙමි. චින්තා ලක්ෂ්මී සිංහආරච්චි විසින් පරිවර්තනය කරන ලද: අපූ ත්‍රිත්වය සහ අරණකට පෙම් බැඳ යනාදි කෘති කියවූ විද්‍යාර්ථින් සාහිත්‍ය කෘතියක් කියවා හොඳම පාඨකයන් බවට පත්වූ බව මගේ විශ්වාසය යි. ඇය නිහඬව ම අනුපමේය සේවාවක් කළ පරිවර්තිකාවකි.
‘අරණකට පෙම් බැඳ’ කෘතියේ කතා නායකයා අවසානයේ දී එක උදාන වාක්‍යයක් පවසයි.
‘‘මිනිසාට අවශ්‍ය වන්නේ කුමක් ද? දියුණු වීම ද, ජීවිතයේ සතුටක් විඳීම ද? ජීවිතයේ දියුණුවක් ඇති කරගත් බොහෝ දෙනා ගැන මම දනිමි. එහෙත් ඔවුන්ගේ රස විඳීමේ ශක්තිය මොට වී ඇත. ඔවුන්ට ජීවිතයේ සතුටක්වත් මිහිරක්වත් නොමැති බව මට දැනේ.’’
වසර සිය ගණනකට පෙර විභූතිභූෂණ භන්ද්‍යොපාධ්‍යාය පැවසූ දෙය වර්තමානයේ ඇස් පනාපිට දකින්නට සහ අත්විඳින්නට ලැබී තිබේ.
ගාමිණී වියන්ගොඩ භූමිකාව
අනතුරුව පෙරදිග සාහිත්‍යයට සමගාමීව ලතින් ඇමරිකානු සාහිත්‍ය කියවීම සඳහා විද්‍යාර්ථින් පෙලඹවීමට මා මගේ ශක්ති ප්‍රමාණයෙන් උත්සාහ කළේ ය. ඒ සඳහා පදනම දැමූයේ ගාමිණි වියන්ගොඩ මහතා ය.
ඔහු ලෝක සාහිත්‍යයේ අලුත් කෘති පරිවර්තනය කරන්නට පෙලඹිණි. ඒ සම්බන්ධයෙන් ඔහුට මේ අවස්ථාවේ මම මගේ ගෞරවය පුද කරමි. එතුමා විසින් පරිවර්තනය කරන ලද විශිෂ්ට කෘති ගණනාවක් වසර තිහක පමණ කාලයක් මෙම විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථින් වෙත උගන්වා ඇත. එම කෘතිවලින් කෙතරම් බලපැමක් සිදුවූවා ද යත්, නූතන කිවිඳයන් ගණනාවකගේ කාව්‍ය නිර්මාණ තුළ එම කෘතිවල චරිත ජීවමාන වී ඇත. ඇතැම් විට මෙම තත්ත්වය ගාමිණී වියන්ගොඩ මහතා නොදන්නවා ද විය හැකි ය. මෙහි දී මා වටහා ගත් විශේෂ කරුණ නම් සාහිත්‍ය ඉගැන්වීම නමැති ක්‍රියාවලිය පුළුල් අවකාශයක සිදු වන විට රසික ප්‍රජාවක් පමණක් නොව නිර්මාණ කුසලතා ඇති අයගේ නිර්මාණාවේශය ද අවදි වන බවයි. ඒ පිළිබඳව මට නිහතමානි ආඩම්බරයක් ද පවතී.
ඉගැන්වීමේ පළමු පියවර
මා දශක පහකට වැඩි කාලයක් සාහිත්‍ය උගන්වා ඇත. ඒ අතර නිල වශයෙන් ම වසර තිස් අටක් විශ්වවිද්‍යාලයේ උගන්වා ඇත. ඒ, මගේ විශ්වවිද්‍යාල තෙවන වසරේ සිට ම සාහිත්‍ය ඉගැන්වීමට මා ලද භාග්‍ය හේතුවෙනි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තිබූ බාහිර උපාධි ආයතනයේ ප්‍රථම උපාධි පරීක්ෂණය සඳහා සාහිත්‍ය ඉගැන්වීමට ලැබීම එහි විශේෂ අවස්ථාව ය. ඉගැන්වීමේ හැකියාවක් මා සතුව පවතින බව මට වැටහුණේ එම උපකාරක පංතිවල ඉගැන්වීමෙනි. එකල එම ඉගැන්වීම බාරව සිටි ගුරුවරයා වෙත රැපියල් තිහක් ලැබුණු අතර ඔහු මට පැයකට රුපියල් පහළොවක් ගෙවී ය. ශිෂ්‍ය අවධියේ මගේ වැඩකටයුතු කර ගැනීම සඳහා එය මට විශාල මුදලකි.
මා, මගේ ජීවිතය සාහිත්‍යයෙන් ගොඩනගාගත් මිනිසෙකි. ලේඛකයෙක් වීම කුඩා කාලයේ සිට ම පැවති ආශාවකි. බොහෝ දෙනකු පළමුවෙන් ම ලියන්නේ කවි බැවින් මම ද සාමාන්‍ය පෙළ පංතියේ සිටිය දී කවි කිහිපයක් ලිව්වෙමි. මොනිටර් එක්ස්සයිස් පොතක ලියූ ඒ කවි අතර පෙම් කවි ද විරහ කවි ද තිබිණ. එකල කවි පොතක සාමාන්‍ය මිල ශත තිහක් තිස් පහක් පමණ විය. රුපියලක් එකතු කරගත් මා අපේ ගමේ තිබු මුද්‍රණාලයට ගොස් ‘‘මට පොත් තුනක් අච්චු ගහල දෙන්න.’’ යැයි පැවසී ය. එම පුද්ගලයා ‘‘හා... අච්චු ගහල දෙන්නම්.’’ යැයි පවසා මගේ රුපියල ද ගෙන, මා කවි ලියා තිබු මොනිටර් පොත ද ගෙන, කොට කලිසමක් ඇඳ සිටි මගේ කකුල ද අත ගා සතියකින් පමණ එන්නැයි පැවසී ය. ඒ අත ගෑ අතගෑවිල්ලෙන් ම ‘කවි පොත අච්චු නොගැසුවාට කම් නැතැයි’ මට සිතිණ. ඒ පොත තවමත් අච්චු ගසා නැත.
ලේඛන දිවියේ ඇරඹුම
මා කොළඹ විශ්වවිද්‍යාලයට පැමිණෙන වකවානුවේ පොත් කර්මාන්තය දැවැන්ත ලෙස බිඳ වැටී තිබිණ. පොත් පළ කිරීම සිදුවූයේ කියවන්නට පවා අපහසු බාල කඩදාසියේ ය. පොතක් සැලසුම් කරන්නේ කෙසේ ද, එය මුද්‍රණය කරන්නේ කෙසේ ද යන්න මා ඉතා සීරුවෙන් ඉගෙනගත්තේ ය. එලෙස ඉගෙනගෙන ඉතා අසීරුවෙන් මුදලක් එකතු කරගෙන, මා ලියූ පොත් මවිසින් ම ප්‍රකාශ කරන ලදී. එසේ පළ කළ පොත් මිටි බැඳගෙන දෙඅතින් ඔසවාගෙන බොහෝ පොත් සාප්පුවලට ගිය ද විකුණා මුදල් දීමට හෝ එම පොත් බාර නොගත් පොත් සාප්පු බොහෝ ය. මෙම පොත් ප්‍රමාණය මුදල් කරගන්නේ කෙසේදැයි මම කල්පනා කළෙමි. මේ අතර පළාත් සභා පුස්තකාල සඳහා පොත් ලබාගන්නා බවට මට ආරංචියක් ලැබිණ. පොත් පිළිබද මෙන් ම මා පිළිබඳව ද විස්තර ඇතුළත් ලිපි තිස් ගණනක් පමණ එම පළාත් සභා වෙත යැවේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස මගේ පොත්වල පිටපත් කිසියම් ප්‍රමාණයක් මිලදී ගැනීමට කැමති බව දන්වා කුරුණැගල පළාත් සභා කාර්යාලයෙන් මවෙත ලිපියක් ලැබිණ. එම ලිපියට අත්සන් තබා තිබුණේ ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා ය. එය මට විශාල සතුටක් ගෙන දුන් කරුණක් විය.
පසුව පොත් මිටි වශයෙන් සකසා, රාත්‍රියේ කඩයක තබා පාන්දර ම පැමිණ කුරුණෑගල බස් රථයක පොත් මිටි ටික පටවාගෙන ගොස් කුරුණෑගල නගරයෙන් බැසගත්තේ ය. පොත් ටික රැගෙන පළාත් සභා කාර්යාලය අසලට යෑම සඳහා කොපමණ මුදලක් අය කරන්නේ දැයි ත්‍රි රෝද රථ රියදුරකුගෙන් විමසූ විට ඔහු රුපියල් පනහක් ඉල්ලා සිටියේ ය. රුපියල් පනහක් මා සතුව තිබුණ ද එය මට විශාල මුදලකි. මන් ද එකල මගේ මාසික වැටුප රුපියල් එක්දහස් හයසීයකි. එබැවින් ත්‍රී රෝද රථය වෙනුවෙන් රුපියල් පනහක් වැය කිරීමට මට නොසිතිණ. මා කළේ පොත් මිටි දෙකක් දැතට ගෙන, ඉතිරි පොත් මිටි දෙස අවධානය යොමු කරමින් ම හැකි ඉක්මනින් ඉදිරියට ගමන් කර මඳ දුරක් ගොස් ඇඟිලි වේදනා දෙන විට එම පොත් මිටි දෙක එතැන තබා යළිත් ඉතිරි පොත් මිටි දෙක තිබෙන තැනට පැමිණ එය කලින් රැගෙන ගිය පොත් මිටි දෙක තිබෙන ස්ථානයට ගෙන යෑම ය. මේ ආකාරයට දහ දොළොස් වතාවක් ම ඒ මේ අත යමින් පළාත් සභා කාර්යාලයට යන තෙක් ම මාරුවෙන් මාරුවට පොත් මිටි හතර ඔසවාගෙන ගියේ ය. සැබවින් ම ඒ මොහොතේ මට දැනුණේ මහන්සියක් නොව මා රුපියල් පනහක් ඉපැයූවා ය යන සතුට ය. පිටිසර ගමකින් පැමිණි තරුණයෙක් ලෙස ජීවිතය ගොඩ නගාගැනීම මට කළ හැකි ය යන හැඟීම ඇති කළ පළමු අත් දැකීම එය විය.
රෝගී දරුවකුගේ උපත
මා කෙසේ හෝ දෙපයින් නැගී සිටිය හැකි තත්ත්වයට පත්වූ පසුව එක් දෙයක් කල්පනා කළේ ය. මම බිංදුවෙන් ම ආරම්භ කළ පුද්ගලයෙක් වෙමි. මා ඉපදුණේ පවුලේ සත්වන දරුවා ලෙසිනි. මගේ වැඩිමහල් සොයුරා සහ මා අතර පරතරය වසර දහනවයකි. මගේ මවගේ කුසට මා පැමිණි පසු එය මගේ අක්කලාට විශාල ප්‍රශ්නයකට ද මුහුණ දෙන්නට සිදු වී තිබේ. ඇතැම් ගම්වැසියෝ මගේ කළලය නැති කරන්නැයි පවසා විවිධ ගොඩ වෙදකම් ද පවසා ඇත. මගේ පියා ඒ සියලු දෙනාට බැණ එළවා ගත් බව පසු කලෙක මට දැනගන්නට ලැබිණ. අවසන මා මෙලොවට බිහි වන්නේ ද රෝගී දරුවකු ලෙසින. මගේ වැඩිමහල් සොයුරිය පැවසු ආකාරයට නම් ගමේ මිනිසුන් මා බැලීමට පැමිණ ඇත්තේ මැරෙන්නට සිටින දරුවා බලන්නට එනවා ය යන අදහසෙනි. කෙටියෙන් ම පවසතොත් ඔවුන් පැමිණ තිබෙන්නේ සත්වයකු බලන්න එනවා සේ ය. මට මතක ඇති කාලයේ පවා මගේ මව සහ පියා මාව රෙදිකඩක ඔතාගෙන රටේ විවිධ පළාත්වල වෙසෙන විවිධාකාරයේ වෛද්‍යවරු, වෙද මහත්වරු හමුවීමට ගිය බව මට මතක ය. අවසන කිසියම් ප්‍රතිකාරයක් කර මාව සුව කර තිබෙන්නේ ද මගේ පියා ම ය. කුඩා අවදියේ ම මිය යාමට සිටි මා මේ වන විට වසර හැට පහක් ජීවත් වූවා යන්න ම මට ඉමහත් ආඩම්බරයට කරුණකි; එය ඉමහත් වාසනාවක් යැයි මට සිතේ.
මාරයාගේ සම්ප්‍රාප්තිය සහ පලා යෑම
මා ඝාතනය කිරීමට ද කිහිප වතාවක් උත්සා කර තිබෙන බව මෙහි දී සිහිපත් කළ යුතු ය. එය මිනිසුන් මරා දමන කාලයකි. මා සහකාර කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරන සමයේ අපේ දෙපාර්තමේන්තුව පිහිටා තිබුණේ විද්‍යාපිඨ ගොඩනැගිල්ලේ ය. දිනක් එක්තරා පුද්ගලයෙක් අපගේ කාර්යාලයට පැමිණියේ ය; මා ඔහු හඳුනන්නේ ද නැත. ඔහු පැමිණ මගේ නම විමසා මා වෙත විශාල චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළේ ය. එම චෝදනා පත්‍රයේ සාරාංශය වූයේ මා ඔවුන්ගේ දේශපාලන ව්‍යාපාරය හෙළා දැක එයට අවලාද නගන බවයි. ඒ පිළිබඳ පවසන්නට ඇත්තේ කුමක් දැයි ඔහු මගෙන් විමසී ය. මගේ පිළිතුර වූයේ මා එවැනි දෙයක් කර නොමැති බවත් ඒ චෝදනා සියල්ල වැරැදි බවත් ය.
එය ඇසු එම පුද්ගලයා සාක්කුවට අත දමා පිස්තෝලයක් එළියට ගෙන එය විසන්ධි කර පතුරම් ඇතුළු කර අනතුරුව පිස්තෝලය මගේ මේසය මත තැබී ය. මා ආසන්න මේසයේ සිටියේ මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර මහතා ය. නාඳුනන පුද්ගලයා ඔහුට යන්නැයි බලපෑම් කළ ද මහාචාර්යවරයා නොවේ එතැනින් අඟලක් ඉවත් වූයේ. ඔහු සිටි තැන ම ගලක් මෙන් නොසෙල් වී සිටියේ ය. එය මට අද ද පුදුමය එළවනසුලු සිද්ධියකි. මේ වන විට එම මහාචාර්යවරයා සිටින්නේ අසනීපයෙනි. මේ අවස්ථාවේ මම ඔහු ගෞරවයෙන් සිහිපත් කරමි. එදා ඒ නාඳුනන තුවක්කුකරුවා සහ මා සහ ආනන්ද තිස්ස මහාචාර්යවරයා ඝාතනය කළේ නම් අප මරා දැමුවේ කවුද යන්න පවා සොයාගත නොහැකි වනු ඇත.
අනතුරුව දිගින් දිගටම විවිධ චෝදනා එල්ල කළ නාඳුනන තුවක්කුකරුවා, පතුරම් පුරවා මගේ මේසය මත තබා තිබු පිස්තෝලය අතට ගන්නවාත් සමග ම තවත් දෙදෙනෙක් දෙපාර්තමේන්තුව ඇතුළට පැමිණියහ. මට ඉතා දැඩි ලෙස මරණ බිය දැනිණ. ඒ වන විට මගේ වැඩිමහල් පුතු ඉපදී සිටියේ ය; මා විශ්වවිද්‍යාලයට පැමිණියේ මිනුවන්ගොඩ සිට ය. එදින මට ආපසු ගෙදර යෑමට හැකිවේවි ද බැරි වේවි ද යනුවෙන් මා කල්පනා කළේ ය. එක් වරම ශාලාවෙන් පිටතට ගිය නාඳුනන තුවක්කුකරුවා කිසිවකු සමග කිසියම් දෙයක් සාකච්ඡා කර නැවත පැමිණ ‘‘තමුසෙ එහෙම ඒව කළේ ම නැද්ද...?’’ යැයි යළිත් මගෙන් විමසී ය. එවර ද මගේ එක ම පිළිතුර වූයේ ‘‘නෑ...’’ යන්න ය. ඉන් පසු ඔහු මට අණක් නිකුත් කළේ ය. එනම්, කඩදාසියක් රැගෙන ඔහු එල්ල කළ චෝදනාවලට අදාළ කිසිවක් ම නොකළ බවට සිය වතාවක් ලියන ලෙස ය. මරණ බියෙන් සිටි මා ඔහුගේ අණට කීකරු විය. අනතුරුව මා ලියූ කොළය අතට ගත් නාඳුනන තුවක්කුකරුවා එය කියවා, ඔහුගේ සාක්කුවෙන් ලයිටරයක් ගෙන, එම කොළය මගේ මේසය මත දමා පුලුස්සා පිස්තෝලයේ මුව මගේ නළල මත තබා ‘‘අපි හම්බවෙමුකො වෙලාවක.’’ යැයි පවසා පිටව ගියේ ය. මෙම පුද්ගලයා එකල සිටි විභාග කොමසාරිස්වරයකුගේ පුතකු බව පසුව දැනගන්නට ලැබිණ. මේ අවස්ථාවේ වුව ද ඔහුගේ නම පැවසීම නුසුදුසු බැවින් මම ඉන් ඔබ්බට කිසිවක් නොකියමි. මෙම සිදුවීම පිළිබඳ ජීවමාන සාක්ෂිය මහාචාර්ය ආනන්ද කිස්ස කුමාර මහතා ය. ඉන් අනතුරුව ද විවිධ අවස්ථාවල දී මා වෙත මරණ තර්ජන එල්ල විය. ඒ සියල්ල මේ මොහොතේ පැවසීමෙන් පලක් නොවන බැවින් මෙතුවක් කාලයක් මා ජීවත් වීම සම්බන්ධයෙන් මම සතුටට පත්වෙමි.
පොත් කර්මාන්තය සඳහා දායකත්වය
පොත් පළ කිරීමේ ක්‍රියාවලිය ඉතා පහළ මට්ටමෙන් ආරම්භ කළ මා ඉතාමත් ඉහළ ප්‍රමිතියකින් පොත් පළ කළ යුතුය යන ඒකායන අදිටනින් එම කටයුත්ත ආරම්භ කළේ ය. එසේ පළ කළ පළමු කෘතිය වූයේ ලියනගේ අමරකීර්ති විසින් පරිවර්තනය කරන ලද ‘මහා පුරුෂයකුට බිරිඳක්ව’ නමැති කෘතියයි.
ඒ වන විට එබඳු උසස් තත්ත්වයේ පොත් දෙක තුනකට වඩා පළ වී නොතිබුණ බව පැහැදිලිව ම පැවසිය හැකි ය. ඉන් එකක් නම් ආර්. ප්‍රේමදාස විසින් රචිත ‘ගොළු මුහුද’ මව මගේ මතකයේ පවතී.
‘මහා පුරුෂයකුට බිරිඳක්ව’මෙම කෘතිය පළ කළ මා එය ශිෂ්‍ය ප්‍රජාව අතර කියවීම සඳහා පෙලඹවීමක් ද ඇති කළේ ය. කෘතිය පොත් සාප්පු වෙත බාර දීම සඳහා දයාවංශ ජයකොඩි ආයතනයට ගිය මොහොතේ එහි අධිපති දයාවංශ ජයකොඩි මහතා ‘‘විජේසූරිය මහත්තය දාල තියෙන්නෙ ලෝක ලෙඩක්නෙ...’’ යැයි පැවසී ය. ඒ ලෝක ලෙඩේ කුමක් දැයි මා විමසු විට දයාවංශ ජයකොඩි මහතා ‘‘ දැන් ඉතිං අපේ කර්තෘවරුත් ඇවිල්ල කියාවි මේ විදියට පොත් අච්චු ගහන්න කියල...’’ යැයි පැවසී ය.
මෙම වකවානුවේ පොත් අච්චු ගැසුවේ ‘ඩිමයි’ කොළයේ ය. දයාවංශ ජයකොඩි මහතාගේ පැනයට පිළිතුරු දුන් මා පැවසුවේ ‘‘ඉතිං ඒක හොඳයිනෙ...’’ යනුවෙනි. ඔහු පෙරළා පිළිතුරු දෙමින් පැවසුවේ ‘‘ඔයා නං කියයි හොඳයි තමයි කියල...’’ යනුවෙනි. එදා ඔහු එසේ පැවසුව ද මේ වන විට ලංකාවේ සියලු ම ප්‍රකාශන ආයතන ඉස්තරම් කඩදාසිවලින් පොත් පළ කිරීමේ ක්‍රියාවලියේ නිරතව සිටියි. වර්තමානයේ එසේ ඉහළ ප්‍රමිතියෙන් යුතු පොත් පළ කරන සියලු ආයතන වෙත අදෘශ්‍යමානව මා කුඩා හෝ නායකත්වයක් ලබා දීම පිළිබඳව මම තනිව ම ආඩම්බර වෙමි. එය කිසිවකු පිළගත්ත ද නොගත්ත ද එය මට ගැටලුවක් නොවේ. මෙහි යථා තත්වය ලියනගේ අමරකිර්ති සහ ජනක ඉනිමංකඩ දන්නා බව මට විශ්වාස ය.
‘මහා පුරුෂයකුට බිරිඳක්ව’ නමැති කෘතිය පරිවර්තනය කිරීමෙන් ලියනගේ අමරකිර්ති ද විශාල දීප්තියක් පළ කළේ ය. එමෙන් ම එය පළ කිරීමෙන් පසු මා ද කිසියම් ප්‍රතිලාබයක් ලැබු බව පවසන්නේ සතුටිනි.
දෙමාපියන් වෙනුවෙන්...
මා ජීවිත කාලය තුළ දී හමු වී දැන හඳුනා ගත් විශාල චරිත මේ වන විට සමාජයේ විවිධ අවකාශවල, විවිධ කටයුතුවල නිරතව සිටිති. සත්‍ය වශයෙන් ම ඔවුන් මගේ ශිෂ්‍ය ශිෂයාවන් යැයි පැවසීමට මා අකමැති ය. ඒ අන් කිසිවක් නිසා නොව ඔවුන් දීප්තිමත් චරිත බවට පත්ව තිබෙන්නේ ඔවුන් සතුව පැවති විවිධ විභවතා හේතුවෙනි. ඔවුන් සමග මෙබිමෙහි විවිධ කටයුතු කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳ මෙනෙහි කරන විට විශ්වවිද්‍යාලයෙන් සමුගෙන යන්නට සිටින මේ මොහොතේ මට දැනේනේ මහත් ආශ්වාදයකි. එමෙන් ම මම මා පිළිබඳව ද ආඩම්බර වෙමි.
මා යම් ආර්ථික ස්ථාවරයකට පැමිණි පසු දෙමාපියන් වෙනුවෙන් හෝ පිං අතේ යමක් කළ යුතු යැයි කල්පනා කළේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස වසරක් පාසා මට සම්මුඛ වූ ආර්ථික අපහසුතා සහිත විද්‍යාර්ථින් එකසිය පනස් දෙනකුට පමණ වසරක් පාසා කිසියම් මුදලක් ලබා දුන්නේ ය. ඒ, ඇතැම් විද්‍යාර්ථින් ඔවුනට පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් විශ්වවිද්‍යාලය හැර යන්නට පවා සුදානම් වු අවස්ථා බහුල ය. ඒ ඇතැම් විද්‍යාර්ථින් මට පුද්ගලිකව කතා කළ අතර ඇතැම් විද්‍යාර්ථින් ම’විසින් ම හඳුනාගන්නා ලදී.
ඔවුන් සියලු දෙනාගේ ආත්ම අභිමානය ආරක්ෂා කරමින් එදා මා එලෙස උපකාර කළ බොහෝ පිරිස් අද සමාජයේ විවිධ වෘත්තිවල නියැළි සිටිති. ඒ ඇතැම් අය සිවිල් පරිපාලකයෝ ය; තවකෙක් විදුහල්පතිවරයෙකි. තවත් අය විවිධ ආයතන ප්‍රධානිහු ය. ඔවුන් බොහෝ දෙනෙක් අද මෙම අවස්ථාවට ද සහභාගි වී සිටිති. ඒ වෙනුවෙන් මම ඔවුන්ට මගේ ආචාරය පුද කරන්නෙමි. එබැවින් මා කිසිදු ආකාරයකින් ණයකරුවකු නොවන බව මට විශ්වාස ය.
ණයත් නැත... බයත් නැත...
මා ඉගෙනගන්නා සමයේ මහපොළ ශිෂ්‍යත්වය නොතිබිණ; නමුත් රුපියල් 85ක ශිෂ්‍යාධාරයක් ලැබිණ. විශ්වවිද්‍යාලයෙන් පිට වූ පසු රැකියාවක් ලද විට එය රජයට දැනුම් දිය යුතු ය. මට රැකියාව ලද අවස්ථාවේ ම මම එය දැනුම් දුන්නෙමි. එසේ දැන් වූ පසු අප වෙත ලබා දුන් ශිෂයාධාරය කොටස් වශයෙන් ආපසු බාරගත්තේ ය. එය එකල පැවති වැඩ පිළිවෙළකි.
මගේ පියා මිය ගිය පසු දැඩි ආර්ථික අපහසුතාවකින් දිවි ගෙවූ මට සමූපකාර ප්‍රාදේශිකයක රැකියාවක් ලැබිණ. එහි දී මා ලද මුළු වැටුප රුපියල් 67.50කි. එම මුදලින් රුපියල් 35ක් වියදම් කර මා තුන්වන වතාවට උසස් පෙළ විභාගයට පෙනී සිටියේ ය. මා විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේ ඒ තුන්වන වතාවේ දී ය. එබැවින් මගේ ජීවිතය ආවර්ජනය කළ විට මට සතුටු වීමට සහ ආඩම්බර වීමට හේතු තිබේ. මා කිසිවකුට ණයත් නැත බයත් නැත යැයි මා පවසන්නේ එබැවිනි.
උපහාර කලාපයක්
පසුගිය දින කිහිපයේ දී මුහුණු පොත තුළ මා වෙනුවෙන් බොහෝ ඇගයීම් සටහන් ලියා තිබූ බව ඔබ සැම ද දකින්නට ඇතුවාට සැක නැත. නම් වශයෙන් සඳහන් නොකළ ද බොහෝ අය ලියා තිබුණහ. එය මට දැනුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ දී මගෙන් ඉගෙනගත් විද්‍යාර්ථීන් මා වෙනුවෙන් උපහාර කලාපයක් පළ කළා සේ ය. සාමාන්‍යයෙන් නම් බොහෝ උපහාර කලාප පළ කෙරෙන්නේ අදාළ පුද්ගලයාගේ ම මැදිහත් වීමෙනි. එවන් තත්ත්වයක් තුළ මගේ අනුදැනුමින් තොරව ම එසේ තැබූ සටහන් මට අප්‍රමාණ ගෞරවයකි; උපහාරයකි. එසේ ලියූ සියලු දෙනා හට මම හිස නමා බුහුමන් කරමි. ඒ අතර මා, මා වෙනුවෙන් ම උපහාර කවියක් ද ලියාගත්තේ ය.
කළොත් ගුරු සේවේ
සුවඳ පත නල සේ වේ
නොම කර එ සේවේ
බදිනු කව් නලු කෙසේ වේ
පැරකුම්බා සිරිතෙහි උගන්වන මෙම කවිය හෝ අපගේ ගුරුවරුන්ට මතකයේ තිබේ නම් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මෙතරම් ධනය කැප කරන රටක මහා පරිමාණ උපකාරක පංති සංස්කෘතියක් බිහි නොවේය යන්න මගේ විශ්වාසය යි.
මම හෝ අපේ පවුලේ කිසිවකු කිසිම දිනක උපකාරක පංතියකින් ඉගෙනගත් අය නොවෙමු. අප යමක් ඉගෙන ගත්තේ නම් ඒ පාසලෙනි; අපට යමක් ඉගැන්වූයේ නම් ඒ අපේ ගුරුවරු ය; ගුරුවරියෝ ය. විභාග පවත්වන සමයේ එම ගුරුවරු ගුරුවරියෝ අපට සවස් කාලයේ පාසලේ ම ඉගැන්වූයේ ඔවුන්ගේ වියදමින් බනිස් ගෙඩියක් මිලදි ගෙන දී අපේ කුස පුරවමිනි. එකල සිටියේ එබඳු ගුරුවරු ය; ගුරුවරියෝ ය. අප හට පොත පත කියවීමේ ආශාව ඇති කළේ ද ඔවුහු ම ය. තවදුරටත් පවසන්නේ නම් ‘සාහිත්‍ය උණ’නමැති රෝගය අපට බෝ කළේ ද ඔවුහු ම ය.
සාහිත්‍ය උණ සහ නාට්‍ය උණ
මා විශ්වවිද්‍යාලයට පැමිණීමට පෙර සිට ම කොළඹ පැවති සාහිත්‍ය සම්මන්ත්‍රණ යනාදියට සහභාගි වී ඇත. මගේ මතකයේ තිබෙන එක් අවස්ථාවක් නම් නන්දා මාලනි වෙනුවෙන් කොළඹ මහජන පුස්තකාලයේ පැවති සම්මන්ත්‍රණයකි. එවකට මා උසස් පෙළ සිසිවකු හෝ විශ්වවිද්‍යාලයේ පලමු වසර සිසුවකු වන්නට ඇත. එම සම්මන්ත්‍රණයට සහභාගි වූ මා මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා සමග වාද කළ බව ද මට මතක ය. ඒ, අපිට පැවති සාහිත උණෙහි ප්‍රතිඵලයකි. ඒ සාහිත උණ අපට බරපතළ ලෙස වැලඳී තිබිණ. නමුත් අද විද්‍යාර්ථින්ට එම උණ නොවැලඳීම කනගාටුවට කරුණකි. එබදු උණ වැලදුණු කිසිවකු වර්තමානයේ පිටත අවකාශයේ දී දක්නට නොමැත.
ලංකාවේ පිහිටි හොඳ ම රඟහල් සියල්ල පිහිටා තිබෙන්නේ අපේ විශ්වවිද්‍යාලය අවට ය. එකල ජෝන් ද සිල්වා රඟහල ද පැවතිණ. ලයනල් වෙන්ට්ඩ් ශාලාවට පයින් ගමන් කළ හැකි දුරකි. එකල නාට්‍ය බැලීමට මුදල් නොමැතිව සිටි අපට යහළුවකුගෙන් අපූරු ඔත්තුවක් ලැබිණ. එනම් නාට්‍ය ආරම්භ වූ වහාම පිටුපස දොර විවර කරන බවත්, ඊට පසු එම දොරෙන් ඇතුළු වී නාට්‍ය නැරඹිය හැකි බවයි. ඒ අනුව අප දිනක් ගොස් බැලූ විට එය ඇත්තක් බව වැටහිණ. එම ශාලාව බාරකරු ලෙස කටයුතු කළේ වැඩිහිටියෙකි. අපෙන් කිසිදු හානියක් නොවන බව ඔහුට හැඟෙන්නට ඇත. එබැවින් ලංකාවේ නිෂ්පාදනය කළ හොඳ ම නාට්‍ය බොහෝ ප්‍රමාණයක් ලයනල් වෙන්ට්ඩ් ශාලාවේ පිටුපස දොරෙන් ගොස් නැරඹීමේ වරම අපිට හිමි විය.
එම පුද්ගලයා පිළිබඳව ද යමක් පැවසිය යුතු ය. කාලයාගේ ඇවැමෙන් එම පුද්ගලයා අප පිළිබඳ හොඳින් අවබෝධ කරගත්තේ ය. ඔහුට අප පිළිබඳව දාරක ස්නේහයක් ද හටගත්තා විය හැකි ය. එබැවින් නාට්‍ය අවසන් වු පසු අප සියලු දෙනා කැඳවා ශාලාව අතුගා පිරිසිදු කරන්නැයි පවසන්නේ ය. අපි ද ඉතා ඕනෑකමින් එම කටයුත්ත ඉටු කර දුන්නෙමු. ශාලාව පිරිසිදු කළ පසු ඔහු අප හට රහුමානියා හෝටලයෙන් බිරියානි පැකට්ටුව බැගින් ගෙනවිත් දුන්නේ ය. ඒ සියල්ල ජීවිතයේ ප්‍රබල අත්දැකීම් ය. පුද්ගලයකුට දෙපයින් නැගී සිටීමට හැකිවන්නේ ඔහු හෝ ඇය ලබන අත් දැකීම් තුළිනි. බහුතර දේශපාලනඥයන් හොරකම් කර දියුණු වන්නට උත්සාහ කරන්නේ ඔවුන්ට එම අත්දැකීම් නොමැති බැවිනි.
මෙහි සිටින විද්‍යාර්ථින් හට මා පවසන්නේ: තමන්ට ලොකු ශක්තියක් පවතින බවයි. විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට ලැබීම ම භාග්‍යයක් ලෙස සැලකිය යුතු ය. ඔබ ජීවිතය නිස්කාරනේ නාස්ති නොකළ යුතු ය. අගනුවර විශ්වවිද්‍යාලයක ඉගෙනගන්නවා යනු ඔබට අධ්‍යාපනය ලබැගත හැකි පුළුල් අවකාශ විවෘත වී තිබෙන තෝතැන්නකි. ඔබ ඒ හැම දෙයකට ම සහභාගි විය යුතු ය. නමුත් සිදුවන්නේ කුමක් ද...? විශාල බෑගයක් ද පිටෙහි රුවාගෙන පැමිණ සවස හතර වන විට විශ්වවිද්‍යාලයෙන් පිටවිම පමණි. මා යහළුවන්ගෙන් මුදල් එකතු කර නාට්‍ය ප්‍රදර්ශනය කරන මොහොතේ පවා මේ පිරිස සවස පහ වන විට බැගය ද කර පින්නාගෙන පිටවෙති. ඒ, නාට්‍යයේ හොදම අවස්ථාව විය හැකි ය. මෙබදු වාතාවරණයක් තුළ සාහිත්‍ය කලා රසය ඔවුන්ට ලබා දෙන්නේ කෙසේ ද...? මෙය මට මහත් පුදුමයකි. මීට ප්‍රධාන හේතුව ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළ පවතින ඛේදවාචකය නොවේ ද...? රසඥතාවක් සහිත දරුවන් බිහි කිරිමට අද ගුරුවරුන් අසමත් වී ඇත.
කීර්තිමත් පුද්ගල ඇසුර
ලංකාවේ විශිෂ්ටතම චරිත පෞද්ගලිකව ම ඇසුරු කරන්නට තරම් මා භාග්‍යවන්ත වූයේ ධර්මසිරි ගමගේ මහතාගේ ඇසුර හේතුවෙනි. මහාචාර්ය සරච්චන්ද්‍ර, විශාරද අමරදේව, පනී භාරත, අරිසෙන් අහඅබුදු, සුගතපාල ද සිල්වා, සයිමන් නවගත්තේගම, අජිත් තිලකසේන, සිරිල් සී. පෙරේරා, කේ. ජි. කරුණාතිලක, දයානන්ද ගුණවර්ධන, ජී. බී. සේනානායක, ගුණදාස අමරසේකර, මඩවල එස් රත්නායක, කේ. ජයතිලක, සෝමවීර සේනානායක, නන්දා මාලනී, සුනිල් ආරියරත්න, කුලරත්න ආරියවංශ පමණක් නොව නලින්ද සිල්වා පවා ඉතා සමීපව ඇසුරු කරන්නට ලැබිණ. එකල මහාචාර්ය නලින්ද සිල්වා නාථ දෙවියන් නොඇදහූ බවත්, ඔහු නියම ගණිතඥයකු ලෙස මෙම විශ්වවිද්‍යාලයේ කටයුතු කළ බවත් මෙහි දී සඳහන් කළ යුතු ය.
යට නම් සඳහන් කළ බොහෝ පුද්ගලයන් මට පුද්ගලිකව එවූ ලිපි තවමත් මා සන්තකයේ පවතී. ඔවුන්ගේ ඇසුර තුළින් මා මගේ ජීවිතයට බොහෝ දෑ ඉගෙනගත්තේ ය; ඔවුන්ගේ නිවස්න වෙත ගොස් රැය පහන් කළ අවස්ථා ද තිබිණ. එබදු අවස්ථාවල දී මා ඔවුන් වෙතින් ලද අධ්‍යාපනය විශ්වවිද්‍යාලය තුළින් ලද අධ්‍යාපනයට වඩා බෙහෙවින් ගැඹුරු දැනුමක් ලබාගත් අධ්‍යාපනයක් ලෙස සැලකීම අතිශයෝක්තියක් නොවේ. ඉද හිට දිනක මෙම: උගත්, ශ්‍රෙෂ්ඨ, විශිෂ්ට පුද්ගලයන් සමග ඔසු පැන් ස්වල්පයක් පානය කිරීමට භාග්‍යය ලද බව ද සඳහන් කරනු කැමති ය.
මගේ පාසල සහ සරසවිය
මගේ පාසල ද සිහිපත් කළ යුතු ය. ඒ, මිනුවන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලය යි; මට සාහිත්‍ය උණ බෝ කළ විද්‍යාලය ද මිනුවන්ගොට මධ්‍ය මහා විද්‍යාලය යි. මා ඇසුරු කළ බොහෝ පිරිස් බොහෝ පාසල්වල ඉගෙනගත් අය වෙති. නමුත් මා හෝඩිය පංතියේ සිට උසස් පෙළ දක්වා ඉගෙනගත්තේ මිනුවන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයෙන් ම පමණි. අනතතුරුව කොළඹ විශ්වවිද්‍යාලයට පැමිණ, වයස වසර හැට පහක් වෙද්දි විශ්‍රාම යන්නේ ද මේ විශ්වවිද්‍යාලයෙන්ම ය. මගේ අධයාපන ආයතන දෙක මෙපෙමණකි. එබැවින් මෙම ආයතන දෙකට ම මා ණය ගැති ය.
සිංහල භාෂාවේ ඉරණම
විශ්‍රාම යන්නට බිය නැතිදැයි පසු ගිය දෙනෙක මගේ බිරිඳ මගෙන් විමසුවා ය. මම පැහැදිලිව ම දුන් පිළිතුර ‘‘නැහැ’’ යන්න ය. නමුත් සත්‍ය වශයෙන් ම මා සිත තුළ දුකක් පවතී. කුමක් ද ඒ දුක...? ඒ දුක නම් සිංහල විෂයට අද අත් වී තිබෙන ඉරණම යි. එය මට පෙම්වතාගේ දෑස් ඉදිරිපිට පෙම්වතිය කෙලෙසිම බඳු දෙයකි.
මගේ පුද්ගලික අදහස අනුව නම් සිංහල යනු විෂයයක් පමණක් ම නොවේ. මෙහි සිටින ආර්ථික විද්‍යාඥයන්, සමාජ විද්‍යාඥයන් යනාදි සියලු දෙනා වෙත අදාළ නිසි බුහුමන දක්වන අතර ම මා පවසන්නේ බොහෝ විෂය ඉගෙන, උපාධියක් ද රැගෙන, විශ්වවිද්‍යාලයෙන් නික්මුනු පසු ඔවුන් එම විෂයයෙන් වියුක්ත වන බවයි. නමුත් සිංහල විෂය එලෙස වියුක්ත වන විෂයයක් නොවේ. කිසියම් පුද්ගලයකුගේ ජීවිතාවබෝධය පුළුල් කරන්නට, මනුෂ්‍ය සම්බන්ධතා ගොඩනැගෙන්නේ කෙසේ ද, බිඳ වැටෙන්නේ කෙසේ ද යන්න තනිවම ඉගෙන ගත හැකි විෂය සිංහළ විෂය යි.
මෙම පිරිස මෙලෙස අවම වූයේ ඇයි...? මේ වන විට උසස් පෙළ සිංහල හදාරණ පිරිස පනස් දහසක් පමණ වන තෙක් පහළ බැස ඇති බව දැනගන්නට ලැබිණ. එම පනස් දහසෙන් ද උසස් පෙළ සමත් වන්නේ අඩකටත් අඩු පිරිසකි. එම පිරිසෙන් ද විශ්වවිද්‍යාල වරම් ලබන්නේ කොපමණ අඩු පිරිසක් ද...? එම තත්ත්වය තුළ සාහිත්‍ය, භාෂාව හදාරන කොපමණ පිරිසක් විශ්වවිද්‍යාල තුළට ඇතුළත් වේ ද...? ඒ පිළිබඳ සිතන විට ඇති වන්නේ කනගාටුවකි. එය මෙලෙස සිදු වූයේ ඇයි...? එක් හේතුවක් නම්, සිංහල විෂය සම්පාදනය කරන, එයට අරක් ගත් පණ්ඩිතයන් පිරිසක් මෙම විෂය නිර්දේශ යාවත් කාලින කිරීමට අසමත් වීම ය.
මහාචාර්ය ජේ. බි. දිසානායක යනු භාෂව මාධ්‍යයක් ලෙස උගන්වන්නේ කෙසේද යන්න පිළිබඳව විද්‍යාත්මක දැනුමක් ලබා ඇති පුද්ගලයෙකි. වාග් විද්‍යාඥයකු ලෙස ඔහු සම්පාදනය කළ පොත් බහුතරයක් ම පූර්වවාදි කෘති ය. එබදු විප්ලවවාදි මහාචාර්යවරයකු වන ඔහුට මෙම විෂය නිර්දේශ සකසන අවස්ථා සඳහා සම්බන්ධ වීමට ලැබිණ. නමුත් එම අවස්ථාවල දී අවශ්‍ය ලෙස ඔහු තම මතය වෙනුවෙන් පෙනී නොසිටියේ ය. එබැවින් සිංහල විෂය සඳහා අද උගන්වන දේ ගුරුවරුන්ට ද ශිෂ්‍ය ශිෂ්‍යවන්ට ද අප්‍රසන්න වී තිබේ.
විශ්වවිද්‍යාලයට පැමිණි පසු ඉගැන්විය යුතු ව්‍යුහාත්මක දේ උසස් පෙළ දරුවන්ට උගන්වන්නේ ඇයි...? භාෂාව පරිහරණය කිරීමට අවශ්‍ය පුහුණුව එම දරුවන්ට ලබා දෙන්නට අසමත් වී තිබෙන්නේ ඇයි...? බ්‍රිතාන්‍ය කවුන්සලයට ගිය දරුවකු වසරක් තුළ ඉංග්‍රිසි ලිවීමට සහ කියවීමට පුහුණු වන්නේ ය. එසේ නම් උපතේ සිට කතා කරන සිංහල භාෂාව ලියන්නට නොහැකි වන්නේ ඇයි...? එසේ සිදුවන්නේ අදාළ මණ්ඩලවල අරක් ගෙන සිටින මරිමෝඩ බලධරයන්ගේ තීරණ හේතුවෙනි. එසේ අරක් ගත් පුද්ගලයන් මෙම විෂය නිර්දේශවල කුඩා හෝ වෙනසක් සිදුකරන්නට කිසිවකු යෝජනා කළ සැණින් එය ශරිරයෙන් ඇටයක් ගලවාගන්නවා සේ සිතා කෑ මොර දෙන්නේ ය.
දෙවන කාරණ ය වන්නේ දැනට පවතින ඉසඩ් කොර් ක්‍රමය අනුව හර විෂයය සහ බැර විෂයය වශයෙන් දෙකක් පැවතීම ය. ගුරුවරු දරුවන්ට උපදෙස් දෙන්නේ බැර විෂය තෝරා ගන්නා ලෙස ය. ඒ අනුව ගත් විට සිංහල විෂය යනු හර විෂයයකි. එබැවින් සිංහල විෂය අත්හරින තත්ත්වයක් පවතී. මෙම තීන්දුව වෙනස් කළ නොහැකිව පවතින්නේ සිංහල මහාචාර්යවරු කිහිප දෙනෙකුගේ ම මැදිහත් වීම හේතුවෙන් වීම ඉතාම කනගාටුදායක ය.
මා සිතන ආකාරයට මගේ විශ්වවිද්‍යාල කාලය තුළ තිදෙනෙක් හැර අති බහුතරයක් දෙනා මට දෝෂාරෝපණය කර ඇත; අවලාද නගා ඇත. එසේ නැගූ දෝෂාරෝපණ සහ අවලාද ඉවසිය හැකි ශක්තියක් මට තිබිණ. එම ඉවසීම මට ඉගැන්වූයේ ද සාහිත්‍යය යි. එබැවින් මම ඔවුන්ට දයානුකම්පාව දක්වමි.
‘ගැහැනියක්’ කෘතියට පෙරවදනක් ලියන මාර්ටින් වික්‍රමසිංහ ‘‘පවුකාරයාට දයානුකම්පාව දැක්විය යුතු ය’’ යනුවෙන් සඳහන් කර ඇත. මගේ ජීවිතයේ සාමාන්‍ය දෘෂ්ටිය බවට පත්වූයේ ද එයයි. එබැවින් වසර 38ක් විශ්වවිද්‍යාලයේ ද, ඊට අමතරව තවත් වසර ගණනාවක් පිටත ද උගන්වා තිබෙන මට ඉතා ළෙන්ගතු, දැඩි ලෙස ආදරය කරන විද්‍යාර්ථීන් සමභාරයක් සිටින බව පසුගිය දින කිහිපයේ දැනගැනීම මට මා පිළිබඳ ආඩම්බර වන්නට හේතුවක් නොවේ ද...?
මම හොඳ ද නරක ද...?
මා පිළිබඳ දන්නේ මා පමණි. වෙනත් කිසිවකු මා පිළිබඳ නොදනී. මම හොඳ මිනිසෙකුදැයි ප්‍රශ්නයක් විමසුවහොත් පිළිතුර ‘‘නැහැ’’ යන්න ය. මා නරක ම මිනිසෙකුදැයි විමසුවහොත් එයට පිළිතුර ද ‘‘නැහැ’’ යන්න ය. මා සාහිත්‍ය උගන්වන විට සිහිපත් කළ සුභාෂිතය කෘතියේ එන කවියක් තිබිණ.
නොදොස් කෙනෙකු මෙදියත උපදනේ නැත
යනු එම පද්‍යය යි.
සර්ව සම්පුර්ණ මිනිසුන් මෙලොව ඉපදි නැති බවත්, ඉපදෙන්නේ නැති බවත් අලගියවන්න මුකවෙටිතුමා එදා පවසා ඇත.
මගේ විද්‍යාර්ථින් හට මා ඉතා ගෞරවයෙන් පවසා සිටින්නේ: හොඳ මිනිසකු නොව යහපත් මිනිසකු වන්න; තමන්ට අනර්ථයක් සිදු නොකරගෙන, අනුනට ද අනර්ථයක් නොකරන පුද්ගලයෙක් වන්න; ස්වාධීනව දෙපයින් නැගී සිටිමට පුරුදු වන්න; ඕනැම අවස්ථාවක දී තීරණයක් ගත හැකි පුද්ගලයකු වන්න; යම් කිසිවක් විනිශ්චය කළ හැකි මතයක් දරන පුද්ගලයකු වන්න.
සටහන -
(ජයසිරි අලවත්ත)
නිදහස් ලේඛක
2024/03/17
සබැඳි ලිපි :
‘අලුත් කවි මංජුසාව’ 12වන දින විවෘත කෙරේ