පසුගිය දවසක මහනුවර බෝගම්බර බස් පොළෙන් මහනුවර සිට මහියංගණය බලා පිටත් වූ අංක සීපී එන්බී 8514

දරන බස් රියෙන් හසලක බලා යාමට  මගියෙක් ගොඩ විය. ගමන් ගාස්තු අය කිරීමට තමන් වෙත පැමිණි බස් කොන්දොස්තර ගෙන් ඒ මගියා ගමන් ගාස්තුව කියක් වේදැයි විමසීය. හසලකට රුපියල් 337.00ක් කී සැනින් ඔහු සිය මාරු කාසි මල්ලට අත දැමීය.  නිරන්තරුව ගණුදෙනු කිරීමේදී මුහුණ දෙන මාරු කාසි කරදරයට පිළියමක් හැටියට මේ මගියා යම් ප්‍රමාණයක් සිල්ලර කාසිදත් රැගෙන යන්නේ ගණුදෙණු කිරීමේ පහසුව තකාය. විධිමත්ව ව්‍යාපාර කරන සංවිධානය වූ සුපර් මාකර්ට්වල කවුන්ටර්ස් වල වෙළඳ සහායකයන් නම් මෙවැනි කස්ටරමස්ලාට දක්වන්නේ විශේෂ සැලකිල්ලකි.

ඔහු රුපියල් පන්සීයේ නෝට්ටුවක් සමග රුපියල් හතක කාසි දෙකක් සූදානම් කර ගත්තේ අර පුරුද්දට ය. කොන්දොස්තර මහනුවර හසලක ගමන් ප්‍රවේශ පත්‍රය තමන්ට නිකුත් කළ වහාම හසලක බලා යන මගියා සූදානම් කරගෙන සිටි මාරු කාසි දෙක සහ රුපියල් පන්සීයේ නෝට්ටුව කොන්දොස්තර අත තැබීය. කොන්දොස්තර ක්ෂණිකව මාරු කාසි ආපසු මගියා අත තබා රුපියල් පන්සියේ කොළය පමණක් අතට ගත්තේය. හසලක බලා යන මේ මගියා අසුන් ගෙන සිටි ආසනයේ සිටි අනෙක් මගියා මේ ගණුදෙණුව සිදුවූ ආකාරය නිරීක්ෂණය කරමින් සිටියේය. ඒ සමග කොන්දොස්තර ඉතිරි මුදල් නොට්ටු වලින් ගෙවා ඊළඟ මගියා වෙතට හැරිණ.

බලන්න කීයක්ද ඉතිරි සල්ලි දීලා තියෙන්නේ කියලා....  අල්ලපු ආසනයේ අසුන් ගෙන සිටි අමුත්තා අපේ මගියා ගෙන් විමසීය. ඔහු ඒ වන විටද තමන්ට ලැබුණ ඉතිරි මුදල ගණන් බලා තිබිණ.

රුපියල් එකසිය හැටයි. රුපියල් පහේ සහ රුපියල් දෙකේ කාසි දෙක මට ආපහු දීලා මගෙන් රුපියල් තුනක් වැඩිපුර අරගෙන. අපේ කතා නායකයාගේ පිළිතුර ඇසූ අනෙක් මගියාට සිනහ පහළ විය.


එයා මාරු කාසි ආපසු දුන්නේ රුපියල් තුනේ වාසිය බලා ගෙන තමයි. සමහර විට ඔයාගේ රුපියල් හතේ කාසි දෙක ගත්තා නම් ඉතිරි දෙන්න මාරු කාසි ළඟ නො තිබුණා වෙන්නත් පුළුවන්. එහෙම නම් ඒක නම්බුකාර විදියට කියන්න තිබුණා. එහෙම නො කළේ හොර හිත හින්දා. මේක හොරකම් ගසා කෑමක්. කවුරුත් රුපියල් තුනකට යුද්ද කරන්නේ නැහැ. ලංකාවේ සියයට අසුවක් කොන්දොස්තරලා එහෙම තමයි. මේ බස් එකේ යන පනස් දෙදෙනෙකුගෙන් ඔය විදියට රුපියල් තුන ගණනේ මාටියා ගැහුවොත් එයාට ලැඛෙන සුද්ධ ආදායම රුපියල් එකසිය පනහක් නේද?


රුපියල් එකසිය පනහකින් මක් කරන්නද? අමතක කරලා දානවා..... හසලක බලා යන මගියා කතා කළේ කළකිරීමකිනි.  

එහෙම මුදලේ ප්‍රමාණය ගැන හිතන්න එපා. මේක රටේ ප්‍රශ්නයක්. දිනකට බස් දස දහසක කොන්දොස්තරලා මගින් පනස් දෙනෙකු ගෙන් රුපියල් දෙක ගණනේ මේ විදියට වංචා කළොත්  මුදල රුපියල් මිලියනයක්. ඒක හොරකමක්. මේ විදියෙ හොරකම් කරන අය මහා පරිමානයේ හොරකම් ගැන හිතන්නේ නැහැ. ඒ ගොල්ල තමයි ලක්ෂ හැට හැත්තෑව වෙලා පෝලිමේ ගිහින් ඡන්දෙ දිලා ආණ්ඩු පත් කරන්නෙත්. ඒකයි බරපතල. මේ ගැන හිතන්න. හොරකම රටේ සාමාන්‍ය දෙයක් වෙලා නේද? කොහොමද හොරු අල්ලන්නේ. හොරකම නවත්වන්නේ.


ඒක නම් ඇත්ත. හොරා පාලකයෙක් තෝරන්නෙත් හොරකමට ඉඩක්  තියා ගෙන..... ඒකනේ ප්‍රාදේශීය සභාවට නඩු හත අට තියෙන අය වැඩි මනාප වලින් පත් වෙන්නේ ඒ කතාවට දෙදෙනාම එක්ව සිනහ පහළ කළහ. එසේ කී  මරු කාසි දුන් හසලක යන මගියා තමන් ගැන කතා කළේය.


මම හිටියේ රාජ්‍ය සේවයේ. එක සිවිල් ඉංජින්රුවෙක් හිටියා  එයා ප්‍රසිද්ධියේ කියනවා කොන්ත්‍රාත් එකකින් ගණනක් තියා නො ගත්තා නම් එයාගේ හිතට හරි නැහැ කියලා.

මමත් පැන්ෂන් කාරයෙක්. ඉතින් ඒ ඉංජිනේරුවාගෙයි මේ කොන්දොස්තරගෙයි වෙනසක් නෑනේ. අරයා වෘත්තිකයෙක්. වියතෙක්. සාමන්‍ය සේවකයෙක්. ඉන් පසුව දෙදෙනා නිහඬ වූහ. යම් මෙහොතකට පසුව මාරු සල්ලි දුන් මගියා ඇමතූ අනෙක් අසුණේ සිටි ගමන් සගයා යන්නේ කොහේදැයි විමසීය.

විල්ගමුවේ..
වාස්ගමුව පැත්තේ...
ඔව්.
මං කල්පනා කළේ අර කොන්දොස්තර හාදයා ගැන.  ලජ්ජාව කියන නාමයක් ගෑවිලා නෑ නේද?


ස්කෝලෙට දරුවෙක් දා ගන්න විදුහල්පති සල්ලි ගන්නවා නම්, ඒ වැඩේට ආදී ශිෂ්‍ය සංගම් උදව් කරනවා නම්, බදු ගෙවන්න එපා කියලා ගුරු සංහතියම පාසල්වල ඉගැන්වීම් නතර කරලා වර්ජන කරනවා නම්, ඉල්ලීමක් මුල් කර තමන් උගන්නපු දරුවන්ගේ උත්තර පත්‍ර බලන්නේ නෑ කියලා තර්ජනය කරනවා නම් ඒක හෙටත් එහෙම වෙයි. මාරු කාසි දුන් මගියා බරපතල කතාවක් කීය.


ඒක ඇත්ත. දැන් ඇප නැතිව හිරේ ඉන්න කෙහෙළිය හෙට අනිද්දා ඇප අරන් එයි. නීතිය අනුව එයා හැමදාම තියාගෙන ඉන්න බෑනේ. නඩුව ඇහෙන්න අවුරුදු ගණනක් යයි. ඊට ඉස්සර තියෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී කෙහෙළිය ඉහළින් දිනනවා.

ඔව්නේ. මිනි මරලා එල්ලූම් ගහට නියම වෙලා හිටිය චොකා මල්ලිව 2020 මහ ඡන්දෙදි රත්නපුරේ මිනිස්සු වැඩිම මනාපයෙන් දිනෙව්වේ. එයා හිරේ ඉඳලා පාර්ලිමේන්තු ඇවිත් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දෙත් දුන්නා.

මෙහෙම බලපුවාම ලංකාව පුදුම රටක්නේ.  


එහෙව් රටේ හොරකම අවසන් කරලා හොරා කාපු සල්ලි වලින් රට දියුණු කරනවා කියන එක විහිළුවක්. ඡන්දෙකට මිනිසුන්ගේ ඇබ්බැහිකම් වෙනස් කරන්න පුළුවන් ද ?

ඒ වුණාට ඒක විශ්වාස කරලා ලක්ෂ ගණනක් ඡන්දෙත් දෙයි.


ඇත්තටම එතකොට ලංකාවේ හොරු කවුද? මාරු කාසි දුන් මගියා සිය ගමන් සගයා ගෙන් විමසා සිටියේය. සුළු මොහොතක් නිහඬව සිටි ගමන් සගයා යළි කතා කළේය.

මම බදු උපදේශකයෙක්. මේ යන්නෙත් එහෙම වැඩකට. පහුගිය දවසක ෆයිල් ගොඩක් අරන් කෙනෙක් මාව හම්බවෙන්න කන්තෝරුවට ආවා.

ඉතින්......

එයා 2017 සිට උපයන විට බද්ද ගෙවලා නෑ. හිඟ මුදල මිලියන 17ක ඇරියස් ගෙවන්න කියලා නෝටිස් ඇවිත් ඒකට වාර්තාවක් හදා ගන්න ආවේ. මම වැඩේ බාරගෙන රටේ තත්වය ගැන ටිකක් කතා කළා. මාරු කාසි දුන් මගියා බාධා නො කර තනාවට සවන්  දී  ගෙන සිටියි.

එයා කියන්නේ අලූත් ආණ්ඩුවක් අවශ්‍යයි කියලා. මා ඇහුවා 2020ත් පත් කළේ අලුත් ආණ්ඩුවක් නේද? කියලා...

තවම රට පාලනය කරන්නේ හොරු. පාලකයා එළවන්නේ නැතිව රට හදන්න බැහැ. රනිලුත් පල් හොරා කියලා  කියාගෙන ගියා.


රුපියල් 129ට පැට්‍රල් ලීටරය දුන්න යහ පාලනය  ගෙදර යවලා පත් කර ගත්ත ආණ්ඩුව ෆේල්. පැට්‍රල් ලීටරය රුපියල් දාහටවත් ගන්න බැරිවුණා නේද කියලා මං ඇහුවා ඒ ඡන්දෙදි ගෙදර යවපු රනිල් නේද යන්තම් අපේ ජාම බේරලා දුන්නේ ඉතින් අලුත් ආණ්ඩු ඇවිත් ආයෙක් අපි අමාරුවේ වැටෙයිනේ කියලා.


ඒ වුණාට රනිල් දිනන්නේ නෑ. අර සේවාදායකයා තදින් කතා කරනවා.

ඉතින් රනිල් කවදාවත් දිනලා නෑනේ. මම එයාට විහිළුවක් කළා.

හිනා වෙන්න එපා. ඔහු වහා බැරෑරුම් මුහුණකින් මා දිහා බැළුවා. මම මාතෘකාව වෙනස් කළා.

මහත්තයා. මට නම් තෙරෙන්නේ නෑ. හොරු කවුද නිවැරදි කවුද කියලා. දැන් මහත්තයා මාව හම් වෙන්න ආවේ බදු නො ගෙවීම ගැන ප්‍රශ්නයකට... බදු ගෙවන්න ඕනැ නේද? මහත්තයාගේ මට්ටමෙන් මිලියන 17ක ඇරියස් එකක්.

මට දැන් ගෙවන්න බැහැ. බිස්නස් වැටිලා. පඩි ගෙවන්නෙත් අමාරුවෙන් ඔහු අර ගැම්මෙන්ම කතා කළා.

මේ බදු වාර්තාව වැරදිද කියලා මං බලන්නම්.

බදු ගෙව්වේ නෑ තමයි. ඒත් අමාරුයි.  දැන් මට ගෙවන්න සල්ලි නෑ. 2022 මගේ බිස්නස් වැටුණා.

බදු ගෙවලා නැහැ කියලා දයා ගමගේ ගැන නිතර පත්තරවල යනවා.

ඔව් කෝටි ගණනක් නේ. සෙල්ලමක්ද?


දයා ගමගේ සහ මේ මහත්තයා අතර වෙනස හිඟ බදු මුදලේ ප්‍රමාණය විතරයි. දෙන්නම රටට යුතුකම් ඉටු කරලා නෑ නේද? කෙහෙළියලා චොකා මල්ලිලා දිනවන, බදු නො ගෙවන රුපියල් දෙකත් හොරා කන මිනිස්සු නේද රටේ පල් හොරු. එසේ කී මම සතියකින් තත්වය මොකක්ද කියලා කෝල් එකක් දෙන්න කියලා එයාව පිටත් කළා. ඕකයි රටේ තත්වය. ඔක්කොම අපි සුදනෝ කියනවා. ගමන් සගයා සිය කතාව අවසන් කළේ එසේය.


දයා ගමගේ මේ බස් එකේ කොන්දා කෙහෙළියලාට චොකා මල්ලිලාට ඡන්දෙ දෙන බදු ගෙවන් නැතුව රටේ අනික් එවුන්ට හොරු කියලා ආණ්ඩු පෙරළන්න හදන මිනිස්සු හැර මිහිඳු හාමුදුරුවෝ ඇහුවා වාගේ තවත් ඡන්ද දායකයන් රටේ සිටීද කියලා අහන්න වෙන්නේ නේද? මාරු කාසි දුන් මගියා එසේ කියා සිනාසිණ.


මං බදු උපදේශකයෙක් කිව්වානේ. මාලිමාවේ නායකයන් සියළු දෙනා ඒ අය කියන විදියට අඳින්නේ පළඳින්නේ ගමන් බිමන් වලට වැට්‍රල් ගහලා දෙන්නේ පාක්ෂිකයන් යහළුවන් කියලා කියනවානේ. ඒ අය ලබන මන්ත්‍රී වැටුප පක්ෂ අරමුදලට දෙනවා කියනවා. එතකොට ඒ අය කන්නේ බොන්නේ දරුවන්ට උගන්වන්නේ විවාහ කරලා දෙන්නේ පක්ෂ අරමුදලින්ද කියලා කවුරුත් අහන්නේ නෑනේ. පාරේ හිගා කන යාචකයවන්ගේ බැංකු පොත් වලත් ලක්ෂ ගණන් තියෙනවා. ජීවත්වන ක්‍රමය අනුව මාලිමා නායකයන් සහ අනෙක් දේශපාලනඥයන් අතර වෙනසක් නෑනේ. මේ ගොල්ල වාසි ගන්නේ දෙශපාලන පක්ෂ අරමුදල් විගණනය කරන්න බෑ කියන රීතිය යටතේ.


මම පරණ කතාවක් කියන්නම. ලංකාවේ ඉස්සර හිටියා ජයනෙත්ති කියලා සිවිල් නිලධාරියෙක්. එයා චීන ලංකා රබර් ගිවිසුම අත්සන් කරන වැඩේට චීන ගිය කණ්ඩායමේ කෙනෙක්. එයා පස්සේ කාලෙක කීවා රබර් හාල් හුවමාරුවට අමතරව චීනෙන් දෙන හැම හාල් සේරුවකටම සතයක කොමිස් එකක් දෙන්න චීන ආණ්ඩුව එකඟ වුණා කියලා. ඒ කොමිස් ගත්තේ කවුද කියලා කියපු බවක් දන්නේ නැහැ. ඒත් මේ කියන කාලේ චීනය කොමියුනිස්ට්. පාලකයා මාඕ සේතුන්.  වෙළඳාම සම්බන්ධව එක් දහස් නවසිය පනස් ගණන් වලත් චීන පාලකයන් කල්පනා කළේ එහෙම. අපෙ මිනිස්සු හොරකම නැති කරන්න බලය ඉල්ලනවා.

chandrasiri senevirathne(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්