හොරාගේ අම්මගෙන් පේන අහනව පන්නයේ කතාවක් අලුතින් ලියමින් තිබේ. ඒ අගමැති මහින්ද රාජපක්ෂගේ කර්තෘත්වය යටතේය. 2015 යහපාලනය ආවේ හොරු අල්ලනවා යැයි රටටම කෑමොර දෙමිනි.

එහෙත් ඇල්ලූ හොරෙක් නැත. ඒ වෙනුවට යහපාලකයෝද හොරු බවට පත්වූහ.

2015 යහපාලනය හොරු කීවේ රාජපක්ෂලාටය. රාජපක්ෂලාට ගෑවුණු අයටය. ඒ අය කවුරු හොරු වුවත් සැවොම එක ටෙක පැටලෙන බව දම්වැලක් සේ මේ සියල්ල පුරුකෙන් පුරුක ඇමිණී ඇති බව රටට ඒත්තු ගිය කරුණුය.

එහෙත් අවසානයේ යහපාලනය කී හොරු ඇල්ලීම නාඩගමක් වී රටම හිනස්සන විහිළුවක් බවට පත්වූහ. 

එහෙත් ප්‍රශ්නය හොරු යැයි කී කතාව ව්‍යාජයක්ද යන්නය. එය ව්‍යාජයක් බවට රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන පත් කළේද යන්නය. සැබැවින්ම සිදුවූයේ පිරිසක්ව රනිල් බේරද්දී තව පිරිසක් සිරිසේන මැදිහත්ව බේරීමය. දෙදෙනා තකට තක මේ කාර්යය ජයටම කළෝය. එහි ආනිසංස මේ දෙදෙනා 2019දී අත්වින්දෝය.Ranil text 06.07

මහින්දගේ මැදිහත්වීම:


2015දී ලද සියලු පව් කමා කර ගන්නට අගමැති මහින්ද දැන් සූදානම්ය. ඒ සිය පවුල පමණක් නොව ඊට ඈඳුණු සැවොමද නිදොස් කොට නිදහස් කරන අටියෙනි. ඒ සඳහා අපූරු අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඔහු ඉදිරිපත් කර ඇත. ඒ ‘දේශපාලන පළිගැනීම්වලට ලක්වූ රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය සේවකයන්ට සහන සැලසීම’ යන හිසින් යුතුවය. 

මෙම අමාත්‍ය මණ්ඩල සංදේශයට අනුව පිහිටවනු ලැබූ පරීක්ෂණ කොමිෂන් සභාවක්ද මේ දිනවල පවත්වාගෙන යනු ලැබේ.

පරීක්ෂණ කොමිෂන් සභාව පත් කරනුයේ අගමැතිගේ ඉල්ලීමට ජනපතිය. ඒ අය මෙසේය. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර උපාලි අබේරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිශ්චයකාර දයා චන්ද්‍රසිරි ජයතිලක සහ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍ර ප්‍රනාන්දු යන අයගෙන්ය.

පරීක්ෂණ කොමිෂන් සභාවක අරමුණ කිසියම් කරුණක් පිළිබඳ විමර්ශනය කොට ඒ පිළිබඳව වාර්තාවක් ලබාදීම වුවත් මෙහි ඇති අපූර්වත්වය නම් පරීක්ෂණ කොමිෂන් සභාවට කරන්නට විමර්ශනයක් නොතබාම එම විමර්ශනත් අගමැති මහින්ද රාජපක්ෂ විසින්ම සිදු කොට එම කල්තබා ගත් තීන්දුවලට මෙම පරීක්ෂණ කොමිෂන් සභාව හරහා නීත්‍යනුකූල පසුබිමක් ලබා ගැනීමට ඉදිරිපත් කිරීමය. 

ඒ පිළිබඳ මනාව තහවුරු වන කරුණු අගමැති ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයෙන්ම දිය හැකිය.


1 788x1024
1.0 පසුබිම:

1.1 2015 ජනාධිපතිවරණයට/මහ මැතිවරණයට පෙර සේවයෙහි නියුතු ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඇතුළු රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනයන්හි සේවක පිරිස් දේශපාලනමය වශයෙන් පළිගැනීම්වලට ලක් කරනු ලැබූහ. මෙසේ ඉඳුරාම පළිගැනීම්වලට ලක්වූ සේවක පිරිසට අමාත්‍ය මණ්ඩලය විසුරුවීමත් සමග රජයේ නිලයන් අහිමි වූ නිලධාරීන්ද රජය වෙනස්වීම නොතකා දිගටම නිලය දැරූ අනෙකුත් සේවකයන් මෙන්ම රජය වෙනස්වීමත් සමග සිය තනතුරුවලින් ඉල්ලා අස්වූ තැනැත්තන්ද ඇතුළත් විණි. ජ්‍යෙෂ්ඨත්වය නොතකා විවිධ තරාතිරම්වල නිලතල දැරූ පුද්ගලයෝද පළිගැනීම්වලට ලක්වූහ.

මෙහි අපූරු කොටස වනුයේ මෙයය.

1.2 නීති ක්ෂේත්‍රයේ වගකිවයුතු නිලයන් දැරූ ජ්‍යෙෂ්ඨ රජයේ නිලධරයන් ගණනාවක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ පරිදි එබඳු දේශපාලන පළිගැනීම් ක්‍රියාත්මක කරනු ලැබූ ආයතනයන්හි පවා ‘දූෂණ විරෝධී කාර්යාංශය’ යන නමින් යුත් එවක අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාලයේ විෂය පථය යටතේ මෙහෙය වූ විශේෂ ඒකකයක් හරහා මෙම පළිගැනීම් ක්‍රියාවලිය මෙහෙයවනු ලැබීය. 

පළිගැනීමට ලක් කළ යුත්තේ කවුරුන්ද යන්න පළමුකොට එමගින් තීරණය කෙරුණු අතර ඉන් අනතුරුව ව්‍යාජ චෝදනා ගොනු කිරීමට කටයුතු කරන ලදි. එකී චෝදනා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට (CIABOC) මූල්‍ය අපරාධ විමර්ශන අංශයට (FCID) හෝ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට යොමු කරන ලදි.
මේ අනුව අලුතින් පරීක්ෂණ කොමිෂන් සභාවකට කළ හැක දෙයක් නැත. සියල්ල අගමැති මහින්ද රාජපක්ෂ විසින්ම සොයා ගෙන ඇත. ඊට විසඳුම්ද ඔහු ඉදිරිපත් කර ඇත.


1.4 මෙකී පසුබිම තුළ ප්‍රමුඛතාව ලැබිය යුතු කරුණක් වශයෙන් පළිගැනීමට ලක් වූ තැනැත්තන්ට යෝග්‍ය සහනයක් සලසාලීමේ අරමුණින් ඊට අදාළ සිද්ධීන් හේතු කොටගෙන ඇතිවූ තත්ත්වයන් කෙරෙහි අමාත්‍ය මණ්ඩලය විසින් අවධානය යොමු කිරීම වැදගත් වන අතර එමගින් දැනට රාජ්‍ය සේවයෙහි නිරත තැනැත්තන් විසින් මහජනතාව වෙත කාලෝචිත හා ඵලදායී සේවයක් සලසාලීමට දිරිගැන්වීමක් සිදුවනු ඇත. මෙය නීතියේ ජවය නිසියාකාරයෙන් පවත්වා ගැනීමට මං පාදනු ඇත.

කරුණු සියල්ල මහින්ද සැකහැර සොයාගෙන අවසනය !

අගමැති සහෝදරයාගේ ඉල්ලීම පරිදි ජනපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කළ අතර ඒ අයගේ නම් මුල විය.
ඒ අයට කරන්නට තවත් යමක් ඉතිරි වී ඇත්ද යන්න උභතෝකෝටිකය. කරුණු සියල්ල මහින්ද රාජපක්ෂ සැකහැර සොයාගෙන අවසනය. 

නිලධාරීන් පළිගැනීමට ලක්වූ බවත්, ව්‍යාජ චෝදනා ගොනුකළ බවත් තමන්ට තීරණය කර වන්දි ගෙවීමටද ඔහු තීරණය කර ඇත. එසේ නම් මේ කොමිෂන් සභා පත් කරනුයේ කාව රැටවීමටද?


මේ සිදුකරනුයේ වෙන කිසිවක් නොව තම ඥාතීන්ට හා හිතවතුන්ට සහන සහ වන්දි ලබාදීමට කොමිෂන් සභාව හරහා නීත්‍යනුකූල භාවයක් ලබාගැනීමටය. මහින්ද බොහෝ වැඩ කරනුයේ නීතියක් හදාගෙනය. මේ ද එබන්දකි. 

''මේ සිදුකරනුයේ වෙන කිසිවක් නොව තම ඥාතීන්ට හා හිතවතුන්ට සහන සහ වන්දි ලබාදීමට කොමිෂන් සභාව හරහා නීත්‍යනුකූල භාවයක් ලබාගැනීමටය. මහින්ද බොහෝ වැඩ කරනුයේ නීතියක් හදාගෙනය. මේ ද එබන්දකි. දැන් කොමිෂන් සභාවේ විශ්‍රාමික පිරිසට ඇත්තේ තම අත්සන් යෙදීම පමණකි.'

දැන් කොමිෂන් සභාවේ විශ්‍රාමික පිරිසට ඇත්තේ තම අත්සන් යෙදීම පමණකි. ඉන්පසු කැබිනට් මණ්ඩලය ඇස් පියාගෙන ඊට අනුමැතිය දෙනු ඇත. මන්ද සහන සහ වන්දි ලබන්නෝ ඒ තුළද සිටින නිසාය. මහින්ද කියන ආකාරයට බොරු චෝදනා ලද මැති ඇමතිවරු රොත්තක්ම එහි සිටින නිසාය.

2019.11.27 ඉදිරිපත් කළ අංක 19/3338/202/007 වූ පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. එම අනුමැතිය මත අංක 2157/44 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් 2020.01.09 දින කොමිෂන් සභාවක් පත්කර ඇත.

කල්තබා තීරණය කොට එම තීරණවලට නීත්‍යනුකූල තත්ත්වයක් ලබාගැනීම සඳහා පත් කළ මෙම කොමිෂන් සභාව පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පරීක්ෂණයක් පැවැත්විය යුතු වුවත් ඔවුන් ඊට ප්‍රතිචාර දක්වනු නොපෙනේ. 

මන්ද මේ ගැන අංක HRC/425/2020 යටතේ 2020-02-06 දින පැමිණිල්ලක් සිදුකොට ඇති බැවිනි. ඒත් ඊට ප්‍රතිචාරයක් නැත.

 
[ ටිරන් කුමාර බංගගමආරච්චි - මෙම ලිපිය 2020 ජුනි 06දා 'රාවය' ඊ පුවත්පතේ (ravaya.lk) පලවූවකි]

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්