leader s

බ්‍රිජට් බාර්ඩෝ ඊයෙ මියගිහින් තිබුන. ඒ වෙද්දි එයාගෙ වයස අවුරුදු අනූ එකක්. බ්‍රිජට් බාර්ඩෝ කියන්නෙ අපේ ජීවිතේ ශෘංගාරය අවුලපු ගැහැණියක්. ලිංගික නිදහස ගැන පරමාදර්ශයක්. ඒ රෙට්‍රො සෞන්දර්යය සම කරන්න කිසිම සමකාලීන අනුරාගිනියකට බැරි වුනා.

බාර්ඩෝ තිරය මතට ගෙනාවෙ ස්වභාවික ඉරොතිකයක්. ඒ වගේම අහිංසකත්වය එක්ක මුහුවුනු ඉරොතිකයක්. ඒ ශරීරයෙ ස්වාධීනත්වයක් තිබුනත් අයිඩියොලෙ‍ාජියක් තිබුනෙ නෑ. ඒ වල්මත්බව තවත් ශෘංගාරාත්මක වුනා. එයාව අපිට පෙනුනෙ සෙක්ස් පර්ෆෝර්ම් කරනවා වගේ නෙමෙයි. එයා කියන්නෙම සෙක්ස් වගේ.

And god created woman කියන්නෙ බ්‍රිජට් බාර්ඩෝ ශෘංගාරයේ දෙවඟනක් බවට පත් කරපු  චිත්‍රපටිය. එදා ඉඳන් බාර්ඩෝ සෙක්ස් අයිකොනයක් වුනා. බාර්ඩෝට කවදාවත් හොඳ නිළියක් වෙන්න ලැබුනෙ නෑ. එයාට හැමදාම අර සෙක්ස් ප්‍රතිරූපය ඇතුලෙ හිරවෙන්න සිද්ද වුනා. ජින් ලුක් ගොඩාගේ ‘කන්ටෙම්ප්ට්’ වගේ විශිෂ්ට චිත්‍රපටි බා‍ඩෝට ලැබුන. ‍ගොඩා බාර්ඩෝව එක්ස්‍ප්ලොයිට් කරනවා වෙනුවට ක්‍රිටික් එකක් විදිහට සිනමාවට ගේන්න උත්සාහ කළා. මොකද පිරිමි ආශාවන්ගේ වස්තුවක් බවට පත්වෙමින් බ‍ාර්ඩෝට එයාගෙ ආත්මය  අහිමි වෙමිනුයි තිබුනෙ.
image w1280 2
අද සෝෂල් මීඩියාවල, ටික්ටොක්වල ප්‍රදර්ශනාත්මක ඉන්ටිමසියක් මාර්කට් කරන්න වෙහෙසෙන කෙල්ලෙන්ගෙ ජීවිත ගැන ඓතිහාසික අත්දැකීමක් තමයි බාර්ඩෝ. අපි කැමරාවක් ඉස්සරහ ඉඳිද්දි හිතන්නෙ අපි කැමරාව දිහා බලන් ඉන්නවා කියලා. කැමරාව අපි දිහා බලන් ඉන්නා බව ‍බොහෝ විට අපි නොදැනුවත්. කැමරාව බාර්ඩෝ  දිහා බලන් හිටියා නෙමෙයි, එයාව පරිභෝජනය කරන්න ගත්තා. හැමෝම එයාව දැක්කෙ කැමරාව ඇතුලෙන් විතරයි. එයාට මුනගැහුනු පිරිමි බ්‍රිජට් බාර්ඩෝ කියන ප්‍රතිරූපය සමග රාගිකව බැඳුනා මිස ඒ ඇතුලෙ හිරවෙලා හිටපු ගැහැණියට ආදරය කලේ නෑ. කාටවත් එයාව පෙනුනෙවත් නෑ. නිරන්තරයෙන්ම පාවිච්චි වෙනවා කියන හැගීම එයාට තිබුන.

බාර්ඩෝ ලිංගික විප්ලවයේ දැවැන්ත ප්‍රතිරූපයක් වුනේ එයාගෙ තෝරාගැනීමක් නිසා නෙමෙයි. ඒක එයාගෙ නොදැනීම ඇතුලෙ සිද්ද වුනු දෙයක්. ඒ ‍නොදැනුවත්කම ඇතුලෙ බාර්ඩෝට වෙනම අර්ථකතනයක් ලැබුනා. එයාව වෙනම විදිහකට ඉදිරිපත් කෙරුනා. එයාට දේශපාලනයක් පැවරුනා. එයාට ඇඳුම් මහලා ඇන්දුවා. ‘මට කවදාවත් සෙක්ස් සිම්බල් එකක් වෙන්න උවමනා වුනේ නෑ. අනිත් අය මාව එහෙම කළා’- බාඩෝ කිව්වා.
bardo
බාර්ඩෝට සිනමාව ප්‍රචන්ඩ මාධ්‍යයක් විදිහට දැනුනා. සිනමාව ඇතුලෙන් එයාව නිරුවත් කළා විතරක් නෙමෙයි එයාට එයාව අහිමි කළා. ඒක ශරීරමය ප්‍රචන්ඩත්වයක් ඉක්මවා ගිය මානසික ප්‍රචන්ඩත්වයක් වුනා. බාර්ඩෝ කීප වතාවක්ම ජීවිතය නැති කරනගන්න උත්සාහ කළා. අවුරුදු 39 වෙද්දි එයා සිනමාවෙන් සම්පූර්ණයෙන්ම අයින් වුනා.

‘ඒ අය මගේ ශරීරය නිදහස ගැන බැනර් එකක් විදිහට පාවිච්චි කළා. ඒත් ඒ අය කවදාවත්ම බැලුවෙ නෑ එයින් මගේ ආත්මයට සිද්ද වෙන්නෙ මොකක්ද කියල’ බ්‍රිජට් බාර්ඩෝ

මේක ඇතුලෙ බාර්ඩෝට හති වැටුනා. මේ කියන ලිංගික නිදහසම එයාට ලොකු බරක් වගේ දැනුනා. ඒක නිදහසට වඩා ඩියුටියක් වගේ වුනා. පොදු ප්‍රසිද්ධ ඉන්ටිමසියක් ඇතුලෙ එයා හිස් වුනා.

ඇත්තටම ශෘංගාරය පවතින්නෙ නිහඩතාවය, ප්‍රතිරෝධය, පරතරය වගේ කාරණා උඩ. ලිංගික විප්ලවයෙන් යෝජනා කළ ප්‍රසිද්ධ නිදහස විසින් මේ සියල්ල එකවිට මකා දැම්මා. ඒකත් එක්කම ඩිසයර් එකත් මැකී ගියා. අර්ථවිරහිත ලිංගිකත්වයක් ඉතුරු වුනා.

බාර්ඩෝ සෙක්ස්වලට විරුද්ධ වුනා නෙමෙයි. එයා තමන් විසින් තෝරා නොගත් ආශාවක් වෙනුවෙන් පාවිච්චි වීම නතර කළා. සෙක්ස් කියන්නෙ පුද්ගලික ඉන්ටිමසියක් මිස පොදු දේපොලක් නෙමෙයි කියල තීරණය කළා.

bardot
‘මම මේ ලෝකෙට අයිති නෑ’ කියල එයා ඒ ශෘංගාර සිනමා ලෝකයෙන් අයින් වුනා. අවුරුදු අනූ එකක් වෙනකල් එයා ගත කලේ සත්තු එක්ක. ඒ ඇනිමල් ඇක්ටිවිස්ට් කෙනෙක් විදිහට නෙමෙයි. සත්තුන්ට ආදරය කරන්නියක් විදිහට.  
සත්තු එයා දිහා දැල්වෙන ආශාවෙන් බැලුවෙ නෑ. සත්තු උන්ගෙ ෆැන්ටසි බාර්ඩෝ‍ගෙ ශරීරය මත ප්‍රක්ෂේපනය කලේ නෑ. එයාට එක එක ආකාරයෙන් පර්ෆෝර්ම් කරන්න බලකලේ නෑ. සත්තු එක්ක බාර්ඩෝට බාර්ඩෝ විදිහට ඉන්න පුළුවන්කම ලැබුනා.

fyry5
කැමිල් පැග්ලියා මේක ලස්සනට විස්තර කරනවා. ආකෘතියක් නැති නිදහස කියන්නෙ වියවුලක් කියලා එයා කියනවා. බාර්ඩෝ මුහුන දුන්නෙ මේ ඛේදවාචකයට. මගේ පෙම්වතිය වුණු ඉරොතික බ්‍රිජට් බාර්ඩෝ අතහැර ගිය තැන ඇයට නැවත ඇගේ ජීවිතය මුනගැහෙන්න ඇති. දෙවියන් විසින් මැවූ සොඳුරුතම ස්ත්‍රීත්වයක් වුනු බාර්ඩෝ නැවත දෙවියන් ළගටම යන්න ඇති.

Chinthana D
(සටහන | චින්තන ධර්මදාස)
දේශපාලන හා සමාජ විශ්ලේෂක
අධ්‍යක්ෂ - facultyofsex

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


(උපුටා ගැනීම -Chinthana Dharmadasa  ෆේස්බුක් පිටුවෙන්..)

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්