leader s

(විශේෂ වාර්තාකරුවෙකු විසිනි - 2026 පෙබරවාරි 18)


රුපියල් කෝටි 14 කට අධික මහජන මුදලක් කොල්ලකමින්, රටේ අහිංසක රෝගීන්ගේ ජීවිත මරණයේ එළිපත්තට තල්ලු කළ ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් (Immunoglobulin) මෙරටට ගෙන්වීමේ මහා පරිමාණ ජාවාරමට අදාළ නඩු විභාගය, කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මේ වන විට තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකට එළඹ තිබේ.

ඊයේ (17) දිනයේදී, පැමිණිල්ලේ අටවන සාක්ෂිකාරිය වන ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ජ්‍යෙෂ්ඨ ඇගයීම් නිලධාරිනි නිශානි ලංකා කරුණාතිලක මහත්මිය අඛණ්ඩව 6 වන දිනටත් සාක්ෂි කූඩුවට නැගුණාය. විත්තියේ හරස් ප්‍රශ්න සහ පැමිණිල්ලේ මූලික සාක්ෂි විමසීම හමුවේ ඇය අධිකරණයට හෙළි කළේ, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ප්‍රසම්පාදන යාන්ත්‍රණය තුළ මුල්බැසගත් බිහිසුණු පරිපාලන මාෆියාවක සැබෑ නිරුවතයි.

 

Untitled 9
මෙහිදී හෙළිදරව් වූ නීතිමය කරුණු සහ පරිපාලනමය බිඳවැටීම්, නීතියේ ආධිපත්‍යය අපේක්ෂා කරන ඕනෑම පුරවැසියෙකු මවිතයට පත් කරනු නිසැකය.

'ඡායාස්ථ පිටපත්' ලියාපදිංචිය සහ කමිටුව මගහැරිය අංක 38 ගොනුව
 

පළමුවන විත්තිකාර 'සීදුව අයිසොලෙස් බයෝටෙක් ෆාමා' සමාගමේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර බානගල මහතාගේ හරස් ප්‍රශ්න ඇසීමත් සමඟ, ඖෂධ ආනයන ක්‍රියාවලියේ මූලික අත්තිවාරමම ප්‍රශ්න කෙරිණි.

යම් ලේඛනයක නිරවද්‍යතාව තහවුරු කිරීමට එහි "මුල් පිටපත" (Original Document) අත්‍යවශ්‍ය වුවද, ඖෂධ ලියාපදිංචියේදී මුල් අවස්ථාවේදීම නිෂ්පාදිත රටේ ඖෂධ අධිකාරියෙන් ලබාගත් සහතිකයේ (CoPP) ඡායාස්ථ පිටපතක් (Photocopy) ඉදිරිපත් කිරීම පමණක් ප්‍රමාණවත් බව සාක්ෂිකාරිය අධිකරණයේදී පිළිගත්තාය. පසුව එය අන්තර්ජාතික වෙබ් අඩවි හරහා තහවුරු කරගන්නා බව ඇය පැවසුවද, පද්ධතියේ විනිවිදභාවය සුනු විසුනු කර දැමූ පිළිතුරක් ඇයගෙන් ගිලිහුණේ නීතිඥවරයා විසින් අංක 38 දරන ඖෂධ ලියාපදිංචියට අදාළ ලිපි ගොනුව ඇයට පෙන්වූ මොහොතේදීය.

medicine hospital

"මේ ගොනුව ඖෂධ ඇගයීම් කමිටුවට ඉදිරිපත් වූ ගොනුවක් නොවන බව මම වගකීමෙන් කියනවා," යනුවෙන් ඇය ලබා දුන් පිළිතුර අධිකරණය කම්පනයට පත් කළේය.

නීතිමය යථාර්ථය:

2015 අංක 05 දරන ජාතික ඖෂධ නියාමන අධිකාරී පනතට අනුව, ඕනෑම ඖෂධයක් අනිවාර්යයෙන්ම නිසි තාක්ෂණික ඇගයීම් කමිටුවක් හරහා යා යුතුය. එසේ නොගිය ගොනුවක් අධිකාරිය තුළ නිල වශයෙන් පවත්වාගෙන යාම මගින් පෙනී යන්නේ, යම් අදෘශ්‍යමාන දූෂිත හස්තයක් විසින් නීතියේ මූලික අරමුණු හිතාමතාම ඝාතනය කර ඇති බවයි.

පනතේ 109 වගන්තිය සහ නිල මුද්‍රාවට පමණක් සීමා වූ 'නොදන්නා' අතිරේක ලේකම්වරයා

නඩුවේ දසවන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා ඉදිරිපත් කළ ලේඛනය, සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයේම ඇති ඛේදවාචකය මැනවින් පෙන්වා දුන්නේය.

courtroom lawyer waiting stockcake

2022.12.12 දිනැති අදාළ ලේඛනය නිකුත් කර තිබුණේ ජාතික ඖෂධ නියාමන පනතේ 109 වගන්තිය (හදිසි තත්ත්වයකදී ලියාපදිංචියෙන් නිදහස් කිරීම - Waiver of Registration) යටතේය.

එහෙත් අදාළ ලේඛනයේ 'වෛද්‍ය සුනෙත් අල්විස්' නමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ නිල මුද්‍රාවක් තිබුණද, එවැන්නෙකු පිළිබඳව හෝ එම අත්සන කාගේදැයි තමා කිසිවක් නොදන්නා බව NMRA ජ්‍යෙෂ්ඨ ඇගයීම් නිලධාරිනිය ප්‍රකාශ කළාය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉහළම නිලධාරියෙකුගේ අනන්‍යතාවය, ඖෂධ ලියාපදිංචි කරන ප්‍රධාන අධිකාරියේ නිලධාරීන් නොදැන සිටීමෙන් තහවුරු වන්නේ කුමක්ද? 'හදිසි අවශ්‍යතාවය' නමැති කඩතුරාවට මුවා වී කිසිදු වගවීමකින් තොරව (Zero Accountability) කෝටි ගණනක ලේඛන රහසිගතව හුවමාරු වී ඇති බව නොවේද?

නඩුවේ හදවත බඳු හෙළිදරව්ව: ව්‍යාජ ලේඛන සහ ආපසු හැරුණු නිර්දේශ 105

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවියගේ සාක්ෂි මෙහෙයවීම යටතේ, නඩුවේ බරපතලම අපරාධමය සාක්ෂිය අධිකරණය හමුවේ දිගහැරිණි. ඒ රෝගීන්ට ලබා දුන් ප්‍රශ්නගත Immunoglobulin සහ Rituximab එන්නත් මුදා හැරීම සඳහා නිකුත් කර තිබූ අනුමැති ලිපි සම්බන්ධයෙනි.

සාක්ෂිකාරිය ඉතා පැහැදිලිව අධිකරණයට ප්‍රකාශ කළේ, "ඒවා ඖෂධ නියාමන අධිකාරිය විසින් නිකුත් කර නොමැති ලිපි බව තහවුරු කළා" යනුවෙනි.

 

xddfdsf
අධිකරණමය විග්‍රහය:

මෙය හුදෙක් පරිපාලන අතපසුවීමක් (Administrative Lapse) නොවේ. ජාතික අධිකාරියකින් නිකුත් නොකළ ලිපි මගින් කෝටි ගණනක ඖෂධ වරාය සහ රේගුව හරහා නිදහස් කර ගැනීම යනු, ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 452 සහ 453 වගන්ති යටතේ ගැනෙන 'හිතාමතා ව්‍යාජ ලේඛන සකස් කිරීමේ' (Forgery) සහ පොදු දේපළ පනත යටතේ ගැනෙන 'සාපරාධී ව්‍යපහරණයේ' කූටප්‍රාප්තියයි. මෙය සෘජුවම රාජ්‍ය යාන්ත්‍රණය තුළ සිදුවූ සංවිධානාත්මක අපරාධයකි.

මීට අමතරව, ඖෂධ ඇගයීම් කමිටුව විසින් යොමු කළ නිර්දේශ 105 ක්ම, එවකට ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා (12 වන විත්තිකරු) විසින් ආපසු හරවා එවා ඇති බවද මෙහිදී හෙළි විය. විශේෂඥ කමිටුවල ස්වාධීන තීරණ, එක් පුද්ගලයෙකුගේ බලය මත මෙලෙස යටපත් කිරීම ආයතනික යහපාලනයට එල්ල කළ මරු පහරකි.

යුක්තියේ තුලනය: විත්තියටත් සාධාරණ අවස්ථාවක්
 

කෙසේ වෙතත්, කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරු මඩුල්ල යුක්තිය පසිඳලීමේ පූර්ණ විනිවිදභාවය මෙහිදී ද තහවුරු කළේය. දෙවන විත්තිකාර වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා කළ ඉල්ලීමකට අනුව, අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය සහ රහස් පොලිස් (CID) නිලධාරීන් ඉදිරියේ අදාළ ඖෂධ 17 කට අදාළ ලේඛන පරීක්ෂා කිරීමට විත්තියට අවසර හිමි විය. අපක්ෂපාතී නඩු විභාගයක් (Fair Trial) සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති අයිතිය අධිකරණය විසින් මැනවින් ආරක්ෂා කර ඇති බව මින් පෙනී යයි.

125
ප්‍රියන්ත ලියනගේ (සභාපති), විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙබරවාරි 18 වැනිදා දක්වා කල් තැබුණු මෙම නඩුව, තවත් එක් මූල්‍ය වංචා නඩුවක් පමණක් නොවේ. පද්ධතියේ දුර්වලතා හඳුනාගෙන, ජනතා ජීවිත සමඟ සූදු කෙළිමින්, කෝටි ගණනින් මහජන මුදල් ගිලදැමූ නිලධාරීවාදයේ සහ දූෂිත දේශපාලනයේ සැඟවුණු හස්තයන් නිරුවත් කෙරෙන ප්‍රබලතම නීතිමය කැඩපතක් බවට මෙම නඩු විභාගය පත්වෙමින් තිබේ.

නඩු වාර්තාව
17/02/2026


විදේශ රටක නිෂ්පාදිත යම් ඖෂධයක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේදී එම නිෂ්පාදනයට අදාළ මුල් සහතිකය අනවශ්‍ය බවත් අයදුම් පත්‍රය සමඟ නිෂ්පාදිත රටේ ඖෂධ අධිකාරියේ බලධාරීන්ගෙන් ලබාගත් නිෂ්පාදනයට අදාළ සහතිකයේ ඡායස්ථ   පිටපතක් ඖෂධ ඇගයීම් කමිටුවට ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් බවත් ඖෂධ නියාමන අධිකාරියේ ඇගයීම් නිලධාරිනි නිශානි ලංකා කරුණාතිලක මහත්මිය කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සාක්ෂි දෙමින් ඊයේ (17) පැවසුවාය.

එකී ඡායාස්ථ  පිටපත මගින් පෙන්වා දී ඇති ඖෂධ එරටේ නිෂ්පාදනය කර අලෙවි කරන්නේද යන කරුණු අන්තර්ජාතික වශයෙන් පිළිගත් ක්‍රමවේද අනුගමනය කර ගනිමින් සොයා බැලීමක් කරනා බවත් පළමු වන විත්තිකාර සීදුව අයිසොලෙස් බයෝටෙක් ෆාමා  සමාගමේ හිමිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ හරේන්ද්‍ර  බානගල මහතා නැගූ, හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් පැමිණිල්ලේ අටවන සාක්ෂිකාරිය වන නිශාණි ලංකා කරුණාතිලක මහත්මිය හයවන දිනටත් සාක්ෂි දෙමින් පැවසුවාය.

 

w6uy6
නීතිඥ හරේන්ද්‍ර බානගල ;
ඔබතුමිය පැමිණිල්ලේ මෙහෙයවීම යටතේ සාක්ෂි දෙමින් පැවසුවා ඖෂධවේදය පිළිබඳ කොළඹ විශ්ව විද්‍යාලයෙන් ඩිප්ලෝමා පාඨමාලාව හා විවෘත විශ්ව විද්‍යාලයෙන් ඖෂධ වේදය පිළිබඳ උපාධියක් ලැබූ බව. ඖෂධවේදය ඩිප්ලෝමා පාඨමාලාවේදී ඔබතුමිය හැදෑරූ විෂයයන් මොනවාද?

සාක්ෂිකාරිය ;
ඩිප්ලෝමා පාඨමාලාවේදී විෂයන් 20 ක් පමණ හා උපාධිය හැදෑරීමේදී විෂයන් 30ක් පමණ උගන්වනවා. මට එකින් එක කියන්න බැහැ සහතික තියෙනවා පෙන්වන්න.  

නීතිඥ හරේන්ද්‍ර බානගල;
මම අහන සරල ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න. වසර දෙකක් වූ ඩිප්ලෝමා පාඨමාලාවේදී ඉගෙනගත් ප්‍රධාන විෂයන් මොනවාද?

සාක්ෂිකාරිය ;
යම් ඖෂධයක් නිෂ්පාදනය කරන්නේ කොහොමද? ඒ සඳහා බලපාන ඖෂධ පාලන පනත ඒ සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍ය ඇතුළු ප්‍රධාන කරුණු එහිදී හදාරන්න ලැබෙනවා.

විත්තියේ නීතිඥ ;
ප්‍රායෝගික දැනුම ලබා ගන්නේ කොහොමද?

සාක්ෂිකාරිය ;
රසායනාගාර මගින් ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙනවා.

විත්තියේ නීතිඥ ;
විදේශ රටවල නිෂ්පාදනය කරනු ලබන ඖෂධ ලංකාවේ ලියාපදිංචි කිරීමේ ක්‍රියාදාමය ගැන ඔබ කීවා.  මම ඔබගෙන් අහන්නේ යුරෝපා රටවල නෙමෙයි ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂධයක් එරටේ ලියාපදිංචි කරන ආයතනය මොකක්ද? එකී ලියාපදිංචියට අදාල නිවැරදි භාවය තහවුරු කරගන්නේ කොහොමද?

සාක්ෂිකාරිය ;
ඒ සඳහා පිළිගත් අන්තර්ජාතික ක්‍රමවේදයක් තිබෙනවා. එරටේ නිල වෙබ් අඩවියට පිවිසිලා  සැබෑවටම එම නිෂ්පාදනය එරටේ සිදුකරනවාද කියලා සොයා බලන්න පුළුවන්. ආනයනකරු ඖෂධ ලියාපදිංචියට අදාළ  සහතිකයක පිටපතක් ඉදිරිපත් කළත් එහි නිර්වද්‍යභාවය තහවුරු කරගන්න පුළුවන්.

විත්තියේ නීතිඥ ;
ඖෂධ ආනයනකරු ඉදිරිපත් කරන නිෂ්පාදනයට හෝ ලියාපදිංචියට අදාල කරුණු තහවුරු කරගන්නවාද මුල් අවස්ථාවේදීම?

සාක්ෂිකාරිය ;
නෑ මුල් අවස්ථාවේදී බලන්නේ ලියාපදිංචියට අදාල මුල් පිටපත තිබෙනවාද කියලා විතරයි.

මෙම අවස්ථාවේ දී විත්තියේ නීතිඥවරයා සාක්ෂිකාරියට ලිපි ගොණුවක් ඉදිරිපත් කර අංක 38 දරණ එම  ගොනුවේ ඖෂධ ලියාපදිංචියට අදාල සීඕපීපී (copp) සහතිකය එහි ඇතිදැයි විමසයි.

සාක්ෂිකාරිය ;
කොප් සහතිකය ලංකාවට නිකුත් කළ යුතු එකක් වෙන්න ඕන නෑ.  එකී නිෂ්පාදන වෙනත් රටවල අලෙවි කර ඇති බව සනාථ කිරීමට අදාළ සහතික අපි ඉල්ලා සිටිනවා.

විත්තියේ නීතිඥවරයා ;
මා ඔබට ඉදිරිපත් කළ ඖෂධ ලියාපදිංචියට අදාළ ලිපි ගොනුවේ නිවැරදිභාවය තහවුරු කරන්න අවශ්‍ය ලේඛන ඇගයීම් කමිටුවට ඉදිරිපත් කර තිබෙනවාද? ඔබතුමියට කියන්න පුළුවන්ද ඒක ඇගයීම් කමිටුවට ඉදිරිපත් කළා කියලා?

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ;
මම එම ප්‍රශ්නයට විරුද්ධයි. ඇගයීම් කමිටු වාර්තා ගොනු පන්දාහක් විතර තියෙනවා.

සාක්ෂිකාරිය ;
මේ ගොනුව ඖෂධ ඇගයීම් කමිටුවට ඉදිරිපත් වූ ගොනුවක් නොවන බව මම වගකීමෙන් කියනවා.


දසවන විත්තිකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා 36 වන ගොනුවේ පැ 116 ලෙස ලකුණු කර ඇති ලේඛනවල පස්වන පිටුවේ 2022.12.12 දිනැති, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපි ශීර්ෂ යටතේ ඇති ලිපිය සාක්ෂිකාරියට පෙන්වයි.

ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන ;  
මේ ලේඛනයේ අත්සන් කර ඇත්තේ කවුද කියලා ඔබ දන්නවාද?  

සාක්ෂිකාරිය ;
නෑ ස්වාමීනි

ජනාධිපති නීතිඥවරයා ;
එහි වෛද්‍ය සුනෙත් අල්විස් යැයි සඳහන් නිල මුද්‍රාවක් තබා තිබෙනවා නේද? ඒ වෛද්‍ය සුනෙත් අල්විස් කවුද කියලා ඔබ දන්නවාද?

සාක්ෂිකාරිය ;
නෑ ස්වාමීනී ඔහු ගැන දන්නේ නෑ.


ජනාධිපති නීතිඥවරයා ;
එම ලේඛනය අනුව ඖෂධ ඇගයීම් කමිටු සහතික ලබා දීම ගැන ජාතික ඖෂධ නියාමන පනතේ 109 වගන්තිය යටතේ නිකුත් කර ඇති බවත්  එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සුනේත් අල්විස් අත්සන් කර ඇති බවත් සඳහන් නේද? එමගින් ඖෂධ ඇගයීම් කමිටුවේ නිර්දේශ ඉල්ලා සිටින ඖෂධ වර්ග හය මොනවාද ?

(සාක්ෂිකාරිය එම ඖෂධවල නම් විවෘත අධිකරණය හමුවේ කියවයි)


එකී ඖෂධ ඇගයීම් වාර්තා නිකුත් කළ ආයතන හයේ නම් එකී ආවරණ ලිපියේ සඳහන් වෙනවා නේද?

සාක්ෂිකාරිය ;
ඔව් ස්වාමීනි

Probate Court Hearing
පැමිණිල්ල මෙහෙයවූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ඊයේ (17) පෙරවරු 10.00 ට පමණ  හයවන දිනටත් එම සාක්ෂිකාරියගේ මූලික සාක්ෂි මෙහෙයවීම සිදුකළ අතර දහවල් 12.06 ට පමණ  මූලික සාක්ෂි මෙහෙයවීම අවසන් කළාය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් කුප්පි 6195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයූම් අංශයට සපයා රුපියල් කෝටි 14 කට  අධික මුදලක් වංක ලෙස ව්‍යපහරණය කිරීම ඇතුළු චෝදනා 13ක් යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා තිබිණි. එම නඩුව ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය හා තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේදී පැවැත්විණි.

එම නඩුව කැඳවූ අවස්ථාවේදී දෙවන විත්තිකාර වෛද්‍ය සැපයුම් අංශයේ හිටපු අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා අධිකරණය අමතමින් මෙලෙස පැවසීය.

 

keheliyaa dfgfd
ස්වාමීනි, පී දෙක ලෙස නම් කර ඇති වෛද්‍ය සැපයුම් අංශය භාරයේ තිබෙන ඖෂධ 17 ක්  සැපයීමට අදාල ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පසුගිය ජනවාරි 17 වැනිදා මෝසම් පත්‍රයක් මගින් මා ගරු අධිකරණයෙන් ඉල්ලා සිටියා. මගේ සේවා දායකයා වෙනුවෙන් හරස් ප්‍රශ්න නැගීමේදී එකී ලේඛන ඉතා වැදගත් වන නිසයි මා එම ඉල්ලීම කළේ. ඒ අනුව එම ලේඛන අද දින අධිකරණයට ඉදිරිපත් කර ඇති බවයි දැනගන්නට ලැබුණේ.

නීතිඥ අසේල සේරසිංහ මහතා කළ ඉල්ලීම අධිකරණය නිකුත් කළ නියෝග අනුව වෛද්‍ය සැපයුම් අංශයේ ප්‍රධාන ඝණකාධිකාරීවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළ ලේඛන ගොනු අධිකරණ රෙජිස්ටාර්වරිය ඉදිරියේදී වෛද්‍ය සැපයුම් අංශයේ ඝනකාධිකාරිවරයා හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පරීක්ෂා කර බැලීමට විනිසුරු මඩුල්ල නීතිඥ අසේල සේරසිංහ මහතාට අවසර ලබා දුන්නේය. එහිදී පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණි ඉගිරිහාගම මෙනෙවිය හයවන දිනටත් පැමිණිල්ලේ අටවන සාක්ෂිකාරිය වෙත ලේඛන රැසක් ඉදිරිපත් කොට ඒවා පැමිණිල්ලේ සාක්ෂි ලෙස එම සාක්ෂිකාරිය මගින් අධිකරණය හමුවේ ලකුණු කිරීමට පියවර ගත්තාය.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් එම සාක්ෂිකාරිය පැමිණිල්ලේ 130 ලෙස ලකුණු කළ නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා එම ලිපිය යොමු කර තිබූ බවත් එවකට එම තනතුර දැරුවේ කවුදැයි? තමාට දැනුවත් භාවයක් නොමැති බවත් අධිකරණයට පැවසුවාය. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යැව් ලිපියක් 12 වන විත්තිකරුට ලැබී තිබුනේ කෙලෙසදැයි තමා නොදන්නා බවත් ඖෂධ ඇගයීම් කමිටුව විසින් යොමු කර තිබූ නිර්දේශ 105 ක් එවකට ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා ලෙස කටයුතු කළ 12 වන විත්තිකරු ආපසු හරවා එවා එකී නිර්දේශ ලබාදීමට ප්‍රමාද වීමට අදාළ හේතු විමසීමක් කර තිබූ බවත් සාක්ෂිකාරිය එහිදී පැවසුවාය. පැ 130 ලෙස නම් කළ එම ගොනුව 2023.10.19 වැනිදා සිය අංශයට ඒවා තිබූ බවද පැවසූ සාක්ෂිකාරිය හියුමන් ඉමියුහෝග්ලොබිලින් එන්නත් සම්බන්ධයෙන් යම් විමර්ශනයක් ඖෂධ නියාමන සුරක්ෂිත කමිටුව විසින් සිදු කරමින් තිබූ බවට තමාට අවබෝධයක් ඇතැයි ද පැවසුවාය.

 

sql injection attacks
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ;
ඖෂධ නියාමන සුරක්ෂිත කමිටුවට අමතරව වෙනත් ආයතනයක් හෝ විමර්ශන අංශයක් පෙරකී  හියුමන් හිමියුහෝග්ලොබිලීන් එන්නත් පිළිබඳව යම් විමර්ශනයක් සිදුකරමින් තිබූ බව ඔබ දන්නවාද ?

සාක්ෂිකාරිය ;
නෑ ස්වාමීනී  මට ඒ ගැන අවබෝධයක් නෑ.


නියෝජ්‍ය සොළිසිටර් ජනරාල්වරිය ;
ආපසු හරවා එවන ලද එම ලිපි 105 අතරේ කුමන වර්ගයේ ලිපිද තිබුනේ ?

සාක්ෂිකාරිය ;
ප්‍රධාන වශයෙන් ලිපි වර්ග තුනක් තිබුණා ඖෂධ සැපයීමට අදාලව ඖෂධ ඇගයීම් කමිටුව විසින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට අදාළව නිකුත් කළ නිර්දේශ ඖෂධ පරිත්‍යාගයන්වලට හා පුද්ගලික ආයතන  වෙත නිකුත් කරන ලද ඖෂධ ඇගයීම් කමිටු වාර්තා ඒ අතර තිබුණා.


නියෝජ්‍ය සොළිසිටර් ජෙනරාල්වරිය  ;  
ඉමියුහෝග්ලොබිලීන් එන්නත් සම්බන්ධයෙන් ඖෂධ ලියාපදිංචිය මුදා හැරීම පිළිබඳ එම ලිපිවල සඳහන් වුණාද ? ප්‍රශ්න ගත එකී එන්නත් වලට අමතරව Rituximab එන්නත් ලියාපදිංචිය මුදා හැරීමට අදාලව ලිපි දෙක ඔබ දුටුවාද?

සාක්ෂිකාරිය ;
ඖෂධ නියාමන සුරක්ෂිත කමිටුව විමසූ අවස්ථාවේ එම ලිපි පෙන්වා සිටියා. දෙවන ලිපිය විමර්ශන නිලධාරීන් පෙන්වා සිටියා. ඒවා ඖෂධ නියාමන අධිකාරිය නිකුත් කර නොමැති බව තහවුරු කළා.


නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ;
එම ලිපි හඳුනාගන්න පුළුවන්ද?

මෙම අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර්  ජෙනරාල්වරිය විසින් පැ 95 ගොනුවේ 190 පිටුව සාක්ෂිකාරියට පෙන්වා සිටියාය.

 

cvxdf
වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි 18 වැනිදා පෙරවරු 10.00 දක්වා කල්තැබිණි. රජයේ අධිනීතීඥ ලිෂාන් රත්නායක මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවිය පැමිණිල්ල මෙහෙයවූූ අතර  නීතිඥ හරේන්ද්‍ර  බානගල, අසේල සේරසිංහ, ඉසුරු ජයවර්ධන, ජ්‍යෙෂ්ඨ නීතිඥ අසෝක සේරසිංහ,  දිනුෂ් රන්දෙනිය, රහුල් ජයතිලක, රවිහංස විජේසිංහ, ඉසුරු අබේගුණවර්ධන, කසුන් සරච්චන්ද්‍ර, ජ්‍යෙෂ්ඨ නීතිඥ චමින්ද අතුකෝරාල, අමිත ආරියරත්න හා ගයන්ත විජය සුන්දර යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා විත්තිය නියෝජනය කළේය.

සබැඳි ලිපි :

 මාරාන්තික එන්නත් වංචාව: 'කටකතා සාක්ෂි' ගැන විනිසුරු දෙබස සහ නීතියේ තරාදියෙන් මනින රාජ්‍ය යාන්ත්‍රණයේ පාවාදීම

ප්‍රමිතියෙන් තොර එන්නත් නඩුව: විදේශගත ලිපිකාරියගේ සටහන් සහ සාක්ෂි ආඥාපනතේ අභියෝගය - මහාධිකරණයේ තීරණාත්මක දිනයක්

ඖෂධ මාෆියාවට පාර කැපූ 'විශේෂ සීඝ්‍රගාමී ක්‍රමවේදය' එළියට ! -  NMRA නිලධාරිනියගෙන් අධිකරණය හමුවේ තීරණාත්මක හෙළිදරව්වක්

ඖෂධයේ ‘උප්පැන්න සහතිකය’ අතුරුදහන් ද? : ඉමියුනොග්ලොබියුලින් නඩුවේ තීරණාත්මක සාක්ෂිය සහ නීතියේ විවරණය 

ඉමියුනොග්ලොබියුලින් ත්‍රී පුද්ගල නඩු විභාගය: ඉන්දියානු ණය මුදල සහ භාණ්ඩාගාරයේ 'අමතක වීම': ප්‍රමිතියෙන් තොර ඖෂධ නඩුවේ හුදකලා චෝදනාව පුපුරා යයි ද?

එන්නත් නඩුවෙන් මතුවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය අර්බුදය ! - රාජ්‍ය මූල්‍ය පාලනය, පරිපාලන වගවීම සහ 'නොකියවූ' ගිවිසුම්... 

ඉමියුනොග්ලොබියුලින් ත්‍රී පුද්ගල නඩු විභාගය: පරිපාලනමය පහසුව සහ විත්තිකරුවන්ගේ ව්‍යවස්ථාපිත අයිතිය අතර ඝට්ටනයක්?

ඉමියුනොග්ලොබියුලින් ත්‍රී පුද්ගල නඩු විභාගය : ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ 'අදෘශ්‍යමාන' ගිවිසුම සහ මුදල් අමාත්‍යාංශයේ 'මාධ්‍ය දැනුම'

ඉමියුනොග්ලොබියුලින් ත්‍රී  පුද්ගල නඩු විභාගය : ඇත්ත එළියට එන විට බොරුව නිරුවත් වෙයි !

විශේෂඥ ලේබලය පිටුපස සැඟවුණු ප්‍රසම්පාදන මාෆියාවේ නිරුවත: ඉමියුනොග්ලොබියුලින් නඩුවෙන් 'වෙස් මුහුණු' ගැලවෙයි

ඉමියුනොග්ලොබියුලින් නඩුව උණුසුම් වෙයි: නීතිමය බාධා මැද විත්තියෙන් දැඩි ප්‍රහාරයක්

වසර 10ක් පුරා 'බාල ඖෂධ' තිබුණත් CID ගියේ අදයි! - ප්‍රසම්පාදන ලොක්කන්ගේ "තෝරා බේරා දඬුවම් දීමේ" ප්‍රතිපත්තිය එන්නත් නඩුවෙන් හෙළිවේ

ප්‍රමිතියෙන් තොර එන්නත් නඩුවේ සැඟවුණු පැතිකඩ සහ 'නිලධාරිවාදී අමතකවීම්'

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්