leader s

ප්‍රශ්නගත ඖෂධ දෙකක් තම සමාගමේ නිෂ්පාදනය නොකරන බව ඉන්දියාවේ live ealth bio pharma private limited ආයතනයේ අභ්‍යන්තර කළමනාකරුවකු වන ගෝපාල් සිං මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.
 

ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සිට zoom තාක්ෂණය ඔස්සේ සාක්ෂි දෙමින්, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව කියා සිටියාය.

 
මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ (සභාපති) විරාජ් වීරසූරිය, තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවන ලදි.
 
එහිදී මෙම නඩුවේ 239 වන පැමිණිල්ලේ සාක්ෂිකරු ලෙස නම්කර සිටි ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ "live ealth bio pharma private limited" ආයතනයේ අභ්‍යන්තර කටයුතු  පිළිබඳ කළමනාකරු වන ගෝපාල් සිං මහතා විසින් zoom තාක්ෂණය ඔස්සේ සාක්ෂි දීම සිදු කරන ලදී. 
 
ඉන්දියාවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සිට සාක්ෂි ලබාදීම සිදුකළ අතර එහි අධිකරණ කොමසාරිස්වරිය ලෙස තානාපති කාර්යාලයේ ආදිත්‍යා ප්‍රසාදිනී මහත්මිය කටයුතු කළාය. 
 
 
ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ අධිකරණ නිලධාරිනිය ලෙස එහි රෙජිස්ටාර්වරිය කටයුතු කළාය. 
 
අදාළ සාක්ෂි දීම හින්දි භාෂාවෙන් සිදු කෙරුණු අතර කැලණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය උපදේශක සහ හින්දි භාෂා පරිවර්තිකාවක වන ප්‍රභා රත්නායක මහත්මිය විසින් එම සාක්ෂිය එම අවස්ථාවේදීම සිංහල භාෂාවට අධිකරණය හමුවේ පරිවර්තනය කරන ලදී.  
 
මෙම සාක්ෂි විමසීම සඳහා වින්දිතයන් ආරක්ෂා කිරීමේ අධිකාරියේ තාක්ෂණික නිලධාරී වරයෙකු සහභාගි වූ අතර එම සම්පූර්ණ සාක්ෂියේ මුල් පටිගත කිරීමේ පිටපතක් මහාධිකරණ රෙජිස්ටාර්වරියට භාරදෙන ලෙස නියම කළ අතර  තවත් පිටපතක් එම අධිකාරිය භාරයේ තබා ගන්නා ලෙසද ,අධිකරණයේ අවසරයකින් තොරව වෙනත් කිසිදු පුද්ගලයෙකුට එය ලබා නොදෙන ලෙසද නියම කරන ලදී.  
  
මෙම සාක්ෂිකරුගේ අනන්‍යතාවය ජාතික හැඳුනුම්පත සහ ගමන් බලපත්‍රය මගින් තහවුරු කරගත් බව තානාපති කාර්යාලයේ සිට කොමසාරිස්වරිය විසින් අධිකරණයට ප්‍රකාශ කළාය.
 
අනතුරුව නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ලක්මිණී ගිරිහාගම මෙනෙවියගේ මෙහෙයවීමෙන් සාක්ෂි ලබාදීම සිදු කෙරිණි.
 
එහිදී සාක්ෂි ලබාදුන් ගෝපාල් සිං මහතා තමන් අභ්‍යන්තර කටයුතු කළමනාකරු ලෙස කටයුතු කරන live ealth bio pharma private limited ආයතනයට ලිපිනයන් තුනක් ඇති බව ප්‍රකාශ කළ අතර දිවුරුම් දෙන අධිකරණය හමුවේ දිවුරුම් දෙන අවස්ථාවේදී එක් ලිපිනයක් ප්‍රකාශ කළ බව සඳහන් කරමින් අනෙකුත් ලිපිනයන් ප්‍රකාශයට පත් කළේය.
 
"ඔබේ ආයතනය මොනවා සම්බන්ධයෙන් කටයුතු කරන සමාගමක් ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර ඊට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ, තම සමාගම විසින් "pharmaceutical products" නිෂ්පාදනය කරන බවය. 
 
"එම සමාගම ඉන්දියාවේ ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර තිබෙනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ "එය CEDESCO ආයතනයේ ලියාපදිංචි කර ඇති බව"ය. 
 
තමන්ගේ සමාගම ඖෂධ නිෂ්පාදනය කරන සමාගමක් වන අතර එහි නිෂ්පාදන කටයුතු කිරීම සඳහා CEDESCO ආයතනයේ ලියාපදිංචිය අත්‍යවශ්‍ය කරුණක් වන බවද, එම ආයතනයේ අවසරය නොමැතිව කිසිදු නිෂ්පාදනයක් වෙළඳපොළට ඉදිරිපත් කළ නොහැකි බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
"එය ඖෂධ නිෂ්පාදනය සඳහා ඉන්දියානු රජය විසින් අවසර ලබාදෙන ආයතනයද?"යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී " එය ඒ සඳහා ඇති රජයේ ආයතනය බව" සාක්ෂිකරු සඳහන්  කළේය.
 
එම ආයතනය විසින් live ealth bio pharma private limited ආයතනයට නිෂ්පාදනය කිරීම සඳහා ඇති ඖෂධ මොනවාදැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී  එලෙස අවසරය ලබාදෙන ලද  ලයිස්තුවක් සාක්ෂිකරු විසින් අධිකරණයට පෙන්වා සිටි අතර " human immunoglobulin 5-6/ml 100ml (හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්) සහ Retopcimab injection 500mg in 50 ml (රිටොප්සිමැබ් ) යන ඖෂධ දෙක තම සමාගමේ නිෂ්පාදනය නොකරන බව" සාක්ෂිකරු කියා සිටියේය. 
 
එසේම එම ඖෂධ දෙක තම සමාගමට නිෂ්පාදනය කිරීම සඳහා අවසර ලබාදී ඇති ලැයිස්තුවේ ඇතුළත් නොවන බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
"ඔබේ සමාගම සමග ශ්‍රී ලංකාවේ ඇති අයිසොලේස් බයෝටෙක් පාමා ඒ ජී ලිමිටඩ් නැමැති සමාගමක් කටයුතු කරනවාද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර "නැත" යන පිළිතුරු සාක්ෂිකරු ලබා දුන්නේය. 
 
"අයිසොලේස් බයෝ ටෙක් පාමා ඒ ජී කියලා සමාගමක් සමග කටයුතු කරනවාද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී එවැනි සමාගමක් සමගද කටයුතු නොකරන බව සාක්ෂිකරු සඳහන් කළේය. 
 
"ඉහත සඳහන් කළ සමාගමේ අධ්‍යක්ෂවරයා වන සුදත් ජානක ප්‍රනාන්දු නමැත්තා සමග ගිවිසුමක් ඇති කරගෙන තිබෙනවාද?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය විමසීමක්  කළ  අතර සාක්ෂිකරු ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ එවැනි ගිවිසුමක් ඇති කරගෙන නොමැති බවය. 
 
"ඉහතින් සඳහන් කළ සුදත් ජානක ප්‍රනාන්දු ට අයත් සමාගමට ඔබ සේවය කරන live ealth bio pharma private limited සමාගමෙන්, ඉහතින් සඳහන් කළ pharmaceutical items  එවා ඇති බවට සඳහන් කර ඇති කරුණ නිවැරදි ද?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය විමසීමක් කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ" එය නිවැරදි නොවන බව" ය.
 
 
"ඔබේ ප්‍රකාශයක් ශ්‍රී ලංකාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේදී සටහන් කරගත්තා මතකද?"යන ප්‍රශ්නය නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය යොමු කළ අවස්ථාවේදී "ඔව් "යන පිළිතුර සාක්ෂිකරු ලබා දුන්නේය. 
 
"එම අවස්ථාවේදී live ealth bio pharma (pvt) ltd යනුවෙන් සඳහන් අයිතම දෙකක් ඔබට පෙන්වා සිටියා මතකද" යනුවෙන් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ "එහිදී අයිතම දෙකක් පෙන්වූ බව තමන්ට මතක ඇති බව"ය. 
 
එම අවස්ථාවේදී අධිකරණය හමුවේ මුද්‍රා තබා තිබූ පෙට්ටිය විවෘත කර එහි වූ අදාළ කුප්පි ඇතුලත් කාඩ්බෝඩ් පෙට්ටි සාක්‍ෂිකරුට පෙන් වූ අතර සාක්ෂිකරු එම පෙට්ටි දෙකම හඳුනාගත් අතර එහි තිබූ කුප්පි හඳුනා ගැනීමක් කළේය.
 
අදාළ පෙට්ටිවල ford item යනුවෙන් සඳහන් කර ඊට තමාගේ අත්සන සහ දිනය යෙදූ බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
එම කාඩ්බෝඩ් පෙට්ටි දෙක සහ එහි ඇතුළත් කුප්පි සාක්ෂිකරුට පෙන්වා සිටි අතර ඔහු ඒවා හඳුනා ගැනීමක් කළේය. 
 
"live ealth bio pharma private limited ආයතනයට වෙබ් පිටුවක් තිබෙනවාද ?"යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර  සාක්ෂිකරු සඳහන් කළේ " එවැනි වෙබ් පිටුවක් ඇති බව"ය.
 
"එහි සමාගම ගැන මොනවාද තියෙන්නේ?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය ප්‍රශ්න කළ අතර තම සමාගම සම්බන්ධයෙන් සියලු තොරතුරු එහි ඇති බව සාක්ෂිකරු සඳහන් කළේය.
 
සමාගම සහ සමාගම විසින් නිෂ්පාදනය කරනු ලබන සියලුම නිෂ්පාදන පිළිබඳ ලැයිස්තුවක් ඇති බව සාක්ෂිකරු කියා සිටියේය. 
 
"අපනයනය කරන ලිස්ට් එකක් එහි තියෙනවද?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී "එවැනි ලැයිස්තුවක් ඇති නමුත් අධිකරණය හමුවේ පෙන්වා සිටි නිෂ්පාදන දෙකම තම ආයතනය විසින් නිෂ්පාදනය නොකරන බව" සාක්ෂිකරු කියා සිටියේය. 
 
සාක්ෂිකරු විසින් හඳුනා ගන්නා ලද පෙට්ටියේ ඇතුළත් ලිපිනය සාක්ෂිකරුට පෙන්වා සිටි අවස්ථාවේදී ඔහු සඳහන් කළේ එහි එම ලිපිනය තම සමාගමේ ලිපිනය නොවන බවය. 
 
එසේම" එහි සඳහන් දුරකථන අංකය වැරදි බවද, තම ආයතනයේ දුරකථනයට අංකයක් ඇති අතර මෙම පෙට්ටියේ සඳහන් දුරකථන අංකය ට අංක  නවයක් ඇති බව" සාක්‍ෂිකරු කියා සිටියේ ය. එසේම එම පෙට්ටියෙහි සඳහන් විද්‍යුත් ලිපිනය වැරදි බවද සාක්ෂිකරු ප්‍රකාශ කළේය. 
 
"human immunoglobulin 5-6/ml 100ml (හියුමන් ඉමියුනෝග්ලොබියුලීන්) සහ Retopcimab injection 500mg in 50 ml (රිටොප්සිමැබ් )යන ඖෂධ දෙක ඔබේ සමාගමේ නිෂ්පාදනය නොකරන බව අදාළ වෙබ් පිටුවේ සඳහන් කර තිබෙනවාද" යනුවෙන් සාක්ෂිකරු ගෙන් කළ විමසීමට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ එවැනි සටහනක් සිදුකර නොමැති බවය. 
 
"2023 ජනවාරි මස සිට දෙසැම්බර් මස දක්වා ඔබේ ආයතනයේ වෙබ් පිටුව බලා ගැනීමට හැකියාව තිබුණද ?'යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසීමක් කළ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ බව එම වෙබ් පිටුවෙන් සියලු තොරතුරු ලබා ගැනීමට හැකියාව ඇති බවය.
 
එසේම "අදාළ වෙබ් පිටුව 2022 සැප්තැම්බර් මස දින බලන ඕනෑම අයෙකුට බලාගත හැකිව තිබූ පරිදි ක්‍රියාත්මකව තිබුණු බව "ද  සාක්ෂිකරු සඳහන් කළේය. 
 
ඒ සමගම ඔහුගෙන් මූලික සාක්ෂි විමසීම අවසන් කළ අතර පළමුවෙනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටියේ නීතිඥ හරේන්ද්‍ර බානගල මහතා සාක්ෂිකරුට හරස් ප්‍රශ්න කිහිපයක් යොමු කළේය. 
 
 
"ඔබ මෙම ආයතනයේ සේවයට පැමිණියේ කවදාද?" යනුවෙන් නීතිඥවරයා විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ "2023 නොවැම්බර් මස 24 වැනිදා එහි සේවයට පැමිණි බව"ය.
 
"ඔබ මෙම ආයතනයේ අභ්‍යන්තර කළමනාකරු නේද? ඔබ මෙහි අධ්‍යක්ෂක මණ්ඩලයේ කුමන හෝ අවස්ථාවක කටයුතු කර තිබෙනවාද?"යනුවෙන් නීතිඥවරයා විමසීමක් කළ අතර  "ස්වාමීනී, මට මෙම සමාගමේ අධ්‍යක්ෂක තනතුරක් නෑ. මේ කේස් එක සම්බන්ධයෙන් අධිකරණ කටයුතු වලට සහභාගි වීමට සමාගම වෙනුවෙන් පෙනී සිටින්න අවසරය ලැබිලා තියෙනවා."යනුවෙන් සාක්ෂිකරු පිළිතුරක් ලබාදුන්නේය. 
 
"ඔබ අධ්‍යක්ෂක මණ්ඩලය ඇතිකර ගන්නා ගිවිසුම් ගැන දැනුවත් ද?" යන්න නීතිඥවරයා විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකරු තමන් ඒ පිළිබඳව දැනුවත් බව කියා සිටියේය.  
 
2023 නොවැම්බර් 24  දිනට පෙර අධ්‍යක්ෂක මණ්ඩලය ඇතිකරගත් ගිවිසුම් ගැන ඔබට දැනීමක් තිබෙනවා"යනුවෙන් නීතිඥවරයා තවත් ප්‍රශ්නයක් යොමු කළ අතර "ස්වාමීනී, එදිනට පෙර සමාගම ඇතිකරගත් ගිවිසුම් ගැන දන්නේ නෑ. ඒ වන විට මම මෙම සමාගමට සම්බන්ධ වෙලා හිටියේ නෑ. මේ සමග සම්බන්ධ වීමට කලින් ඒ ගැන දැනගෙන හිටියේ නෑ. සමාගමට සම්බන්ධ වීමෙන් පසුව ඇති කරගත් ගිවිසුම් සහ සියලුම ලේඛන සම්බන්ධයෙන් මම කියවලා තියෙන්නේ සමාගම විසින් මට අවසරය ලබාදීලා තියෙනවා මේ කේස් එක ගැන අධිකරණයට කතා කරන්න" යනුවෙන් සාක්ෂිකරු කියා සිටියේය. 
  
"අදාළ ආයතනයේ වෙබ් පිටුවේ තියෙන සත්‍ය තොරතුරු ද?"යි නීතිඥවරයා විමසීමක් කළ අතර  සාක්ෂිකරු සඳහන් කළේ "එහි ඇති තොරතුරු නිවැරදි බව"ය. 
 
සාක්ෂිකරු විසින් සඳහන් නොකළ ලිපිනයක් එහි සඳහන්ව තිබීම සම්බන්ධයෙන් නීතිඥවරයා කරුණු විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එය තම සමාගමට අයත් ගබඩාවට අදාළ ලිපිනයක් බවය.
 
එංගලන්තයේ ලිපිනයක් එහි ඇතුළත්ව තිබීම සම්බන්ධයෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ ප්‍රචාරණ කටයුතු කිරි සිදු කිරීම සඳහා එම ලිපිනය ඇතුළත් කර ඇති බවය.
 
ඖෂධ නිෂ්පාදනයට ගන්නා අමු ද්‍රව්‍ය සම්බන්ධයෙන් එම වෙබ් අඩවියේ සඳහන් කර තිබීම සම්බන්ධයෙන්ද නීතිඥවරයා විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ නිෂ්පාදනයට අදාළ අමුද්‍රව්‍ය පිළිබඳව එහි සඳහන් වන බවය. 
 
එවැනි අමුද්‍රව්‍ය රටවල් පනහකට අධික සංඛ්‍යාවකට අපනයනය කරන බවද සාක්ෂිකරු එහිදී සඳහන් කළේය.
 
"Active pharmaceutical ingredient's පිළිකා නාශක ඖෂධ නිෂ්පාදනය කිරීම සඳහා අපනයනය කිරීමක් කරනවා ද?" යනුවෙන් නීතිඥවරයා ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකරු කියා සිටියේ තමන් ඒ පිළිබඳව පැවසීමට හරියටම නොදන්නා බවය. එසේ විය හැකි බවද සාක්ෂිකරු කියා සිටියේය. 
 
නීතිඥවරයා: ඔබ වෙබ් එක පරීක්ෂා කළාද?
 
 සාක්ෂිකරු : ස්වාමීනී සියයට සියයක් පරීක්ෂා කර නෑ. වර්තමාන තත්ත්වය ගැන තමයි දන්නේ. ඒවා පරිශීලනය කරමින් යනවා.
 
නීතිඥවරයා :ඔබව මේ නඩුවට සාක්ෂි දීම සම්බන්ධයෙන් යෝජනා කළ බව කිව්වනේ?
 
සාක්ෂිකරු: එහෙමයි ස්වාමීනී 
 
නීතිඥවරයා: අදාළ ලිපි ලේඛන පරිහරණය කළ බවත් කිව්වානේ?
 
සාක්ෂිකරු :ඔව් ස්වාමීනී 
 
නීතිඥවරයා :වෙබ් පිටුව සම්බන්ධයෙන් සාක්ෂි දුන්නනේ?
 
සාක්ෂිකරු: ඔව් ස්වාමීනි 
 
නීතිඥවරයා: ඔබට විශ්වාසයෙන් කියන්න බැරිද ඔබේ වෙබ් එකෙහි තියෙන දේ අතර පිළිකා නාශක සඳහා ගන්න දේවල් හදනවා කියලා තිබෙන බව? ඒ වෙබ් පිටුවේ තියෙනවාද API පිළිකා නාශක ඖෂධ නිෂ්පාදනය සඳහා අපනයනය කරන බවට?
 
සාක්ෂිකරු: මට ඒ ගැන දැනුමක් නෑ ස්වාමීනි 
 
නීතිඥවරයා: මා යෝජනා කරනවා ඔබ ඔය ආයතනයේ වෙබ් පිටුව ගැනවත් නොදැනයි සාක්ෂි ලබාදෙන්නේ කියලා 
 
සාක්ෂිකරු: ස්වාමීනි ,අපේ සමාගම මේ කියන ප්‍රඩක්ට් දෙක ගැහුවේ නෑ. ඒ වගේම අපි SEDESCO හරහා නිෂ්පාදනය කලේත් නෑ, පිට රටකට යවලත් නෑ.
 
නීතිඥවරයා: රටවල් කීයකට ඔබේ සමාගම ඖෂධ සහ වෙනත් දේවල් අපනයනය කරනවාද? 
 
සාක්ෂිකරු :පනහකට වැඩියි 
 
නීතිඥවරයා: නිවැරදිව ඒ ගැන සඳහන් කිරීමට ඔබට හැකියාවක් නැද්ද?
 
සාක්ෂිකරු: අපේ සමාගම යම් රටක වෙනත් නිෂ්පාදනයක් කිරීමට පෙර එය එම රටේ ලියාපදිංචි කරනවා. ඒ රටේ අනුමැතිය ලැබුණු පසු SEDESCO ආයතනයට එය ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීම සිදුකරනවා. එවිට පමණයි එය අපිට  අපනයන සිදුකරන්න පුළුවන්. 
 
නීතිඥවරයා: ඔබ අදාළ අමුද්‍රව්‍ය කොපමණ පිටරටට යවනවා ද කියලා හරියට දන්නෙත් නෑනේ?
 
සාක්ෂිකරු: නෑ ස්වාමීනි ඒ පිළිබඳ ව විස්තර දැනට මා ලඟ නෑ 
 
එම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව දෙවැනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය.  
 
 
එහිදී සාක්ෂිකරු සඳහන් කළේ ඉන්දියාව ඖෂධ වර්ග විශාල වශයෙන් ඖෂධ නිෂ්පාදනය කරන අතර තම සමාගම ද නිෂ්පාදන ගණනාවක් සිදුකරන බවය. එම ඖෂධ නිෂ්පාදනය කිරීම සහ ඒ තත්ත්වයන් පිළිබඳව ඉන්දීය මධ්‍යම රජයේ සහ ප්‍රාන්ත රජයේ අධීක්ෂණය ට නිරන්තරයෙන් ලක්වන බවද සාක්ෂිකරු එහිදී හරස් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සඳහන් කළේය. 
 
එම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව දොළොස් වෙන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජනාධිපති නීතිඥ චමින්ද අතුකෝරල මහතා සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කළ අතර "2023 ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිශානී කරුණාතිලක නමැත්තියකගෙන් ඊ මේල් පණිවිඩයක් ලැබී තිබෙනවාද?" යනුවෙන් සාක්ෂිකරුගෙන් විමසීමක් කළේය. එහිදී එවැනි ඊ මේල් පණිවිඩයක් ලැබුණු බව සාක්ෂිකරු සඳහන් කළේය 
 
"එහි හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොප්සි මැබ් යන ඖෂධ දෙක සම්බන්ධයෙන් එහි සඳහන් කර තිබුණාද ?"යනුවෙන් ජනාධිපති නීතිඥවරයා විමසූ අවස්ථාවේදී සාක්ෂිකරු සඳහන් කළේ එම ඖෂධ සම්බන්ධයෙන් එහි සඳහන්ව තිබූ බවය. 
 
මෙම සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීමක් සිදු නොකරන බව සෙසු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියහ.
 
එම හරස් ප්‍රශ්න විමසීමෙන් අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එම සාක්ෂිකරුගෙන් නැවත ප්‍රශ්නය විමසීම සිදු කළාය.
 
ඉන්අනතුරුව පැමිණිල්ලේ සාක්ෂිකාරියක වන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ඇගයීම් නිලධාරී උදේශිකා විජේරත්න මහත්මිය විසින් සාක්ෂි ලබාදීම සිදු කළාය
 
තමන් 2017 වසරේ සිට ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කටයුතු කරන අතර අහිතකර ඖෂධ ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් වන වාර්තා තම අංශයට ලැබෙන බව සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
"එසේ වාර්තා ලැබූ විට ඔබට තියෙන වගකීම කුමක්ද?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර්  ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකාරිය ඊට පිළිතුරු දෙමින් සඳහන් කළේ "ස්වාමීනී අවදානම් වූ ඖෂධ ප්‍රතික්‍රියාවක් වාර්තා වූ විට එය කමිටුව වෙත යොමු කරනවා. එය සෑම මසකම තුන්වෙනි සතියේ රැස් වෙනවා 2023 වසරේදී එම කොමිටුවට අදාළව WhatsApp group එකක් නිර්මාණය කළා. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා NMQAL ආයතනයේ අධ්‍යක්ෂවරයා, වෛද්‍ය රජීව සිල්වා වෛද්‍ය රෝහණී ප්‍රනාන්දු සහ තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකු එම එකට සම්බන්ධ කර සිටියා" යනුවෙනි.
 
අදාළ කමිටුව සති තුනකට වරක් රැස්වන අතර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වෙනත් සාමාජිකයකු ඉල්ලීමක් කළ විටක ද අදාළ රැස්වීම කැඳවීමට තමන් කටයුතු කරන බව සාක්ෂිකාරිය සඳහන් කළාය
 
අවදානම් ඇගයීම් කමිටුව රැස් වෙන විට වෛද්‍ය සැපයුම් ඒකකයේ නිලධාරීන් නිරීක්ෂකයන් ලෙස ඊට සහභාගි වන බව සඳහන් කළ සාක්ෂිකාරිය ඖෂධ වේදීන් ද අදාල සටහන් තබා ගැනීම සඳහා තමන්ට එම රැස්වීමට සහභාගි වන බව පැවසුවාය. 
 
අදාළ වට්සැප් ගෲප් එකේ ඇතුලත් පණිවිඩ වල මුහුණත් ඡායාරූප තමන් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් බවද සාක්‍ෂිකාරිය කියා සිටියාය. 
 
Adverse drug reaction (ADR) තත්ත්වයක්  ඇති වී මරණයක් වාර්තා වූ විට අදාළ කමිටුව රැස්වීම සිදුකරන බවද  එවැනි තත්ත්වයක් ඇති වූ විට අදාල ඖෂධය with hold කිරීමට ප්‍රධාන විධායක නිලධාරීවරයා විසින් කටයුතු කරන බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
 
ඊට පෙර මෙම ඖෂධය සම්බන්ධයෙන් මාතලේ රෝහලෙන් වාර්තා වූ අතර ඒ පිළිබඳව වෛද්‍ය වෛද්‍ය රජීව සිල්වා මහතා දුරකථන මාර්ගයෙන් තමන් දැනුවත් කළ බවද ඒ අනුව මාතලේ රෝහලෙන් අදාළ වාර්තා ගෙන්වා ගැනීමට කටයුතු කළ බවත් සාක්ෂිකාරිය සඳහන් කළාය 
 
 "2023 සැප්තැම්බර් මස 23 වැනිදා මෙම ගෲප් එකට ඡායාරූප වගයක් ලැබුණද ? යන්න නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය විමසා සිටි අතර සාක්ෂිකාරිය සඳහන් කළේ වෛද්‍ය විශේෂඥ වෛද්‍ය රජීව ද සිල්වා විසින් එම ඖෂධයක ඡායාරූපයක් එහි යොමු කර තිබූ බවය. 
 
එම ඖෂධ සම්බන්ධයෙන් ඉක්මනින් පියවර ගැනීම සුදුසු වන බවට වෛද්‍යවරයා විසින් එහි සටහනක් තබා ඇති බවද සාක්ෂිකාරිය කියා සිටියාය.අදාළ පණිවිඩය තමන් සේවය නිම වී නිවස බලා දුම්රියෙන් ගමන් කරමින් සිටියදී දුටු බවද එම අවස්ථාවේදීම e mail එකක් මගින් එය වෛද්‍ය සැපයුම් ඒකකයට දන්වා යැවූ බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
"msd එකට එය යොමු කළේ ඇයි?" යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ "සෆ්රැක් කමිටුවේ තීරණයක් අනුමැතිය පරිදි යොමු කළා. msd එකෙන් තමයි ඖෂධ තාවකාලිකව අත්හිටුවීමක් හෝ ඉවත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. වෛද්‍ය සැපයුමෙන් එය msg එකට අනිවාර්යෙන්ම දැනුම් දිය යුතුයි ඒ අනුව වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂවරයා වෙත යොමු කළා ඒ ගැන සෆ්රැක් කමිටුවටත් දැනුම් දුන්නා."
 
"ඊට අදාළ ලිපිය CEO ගෙ අත්සනින් යැවිය යුතුයි එම ලිපිය ඊළඟ දිනයේදී ඒ ඔහුගේ අත්සනින් එවන බවත්  pronto පද්ධතියට ඇතුළත් කරන බවත් මා සඳහන් කර යැව්වා. ඒ් වන විට රෝහල්වල pronto පද්ධතියක් ක්‍රියාත්මක වුණේ නැහැ නමුත් වෛද්‍ය වෛද්‍ය සැපයුම් ඒකකයේ එය ක්‍රියාත්මක වුණා " යනුවෙන් සඳහන් කළ සාක්ෂිකාරිය ඒ වන විට CEO ලෙස විජිත් ගුණසේකර මහතා කටයුතු කළ බව සඳහන් කළාය .ඔහු මෙම අධිකරණයේ මෙම නඩුවේ දොළොස්වන විත්තිකරු ලෙස සිටින බවට ඇය හඳුනා ගැනීමක් කළාය. 
 
වෛද්‍ය සැපයුම් ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස වෛද්‍ය කපිල වික්‍රමනායක මහතා කටයුතු කළ අතර ඔහු ද මෙම අධිකරණයේ  විත්තිකරුවෙකු ලෙස සිටින බව සාක්ෂිකාරිය හඳුනා ගත්තාය 
 
"2023 සැප්තැම්බර් 21 දින රාජකාරියට වාර්තා කිරීම කර ඔබ මොකක්ද කළේ?" යනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරිය විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ තමා අදාළ ලිපියක් සකස් කිරීමට වෙනත් අයෙකුට උපදෙස් ලබා දුන් බවය. 
 
"කාටද ඉදිරිපත් කළේ ?"යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්නයක් යොමු කළ අතර සාක්ෂිකාරිය සඳහන් කළේ CEO වෙත එයා යොමු කළ බවය 
 
CEO කමිටු සාමාජිකයෙක් වන බවත් ඔහුට අදාළ ලිපිය එදිනම යොමු කළ බවත් ලිපිය සකස් කළ පාලිකා නමැති ඖෂධවේදිනිය සඳහන් කළ බව සාක්ෂිකාරිය ප්‍රකාශ කළාය. 
 
ඇය එම ලිපියේ තිබූ පාලිකා සුරංගි නමැත්තියගේ අත්අකුරු හඳුනාගෙන ඒ සම්බන්ධයෙන් සාක්ෂියක් ලබාදීමට කටයුතු කළ අවස්ථාවේදී දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අසේල සේරසිංහ මහතා ඊට විරෝධය පළ කරමින් සඳහන් කළේ වෙනත් අයෙකුගේ කටයුතු සම්බන්ධයෙන් මෙම සාක්‍ෂිකාරිය සාක්ෂි ලබාදීමට කටයුතු කරන බැවින් එම ලිපිය සකස් කළ තැනැත්තිය මෙම අධිකරණයට පැමිණෙන්නේද යන්න දැන ගැනීමට අවශ්‍ය බවය. 
 
එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළේ එම තැනැත්තිය මේ වනතෙක් අධිකරණයට කැඳවාගෙන සාක්ෂි විමසීමට අවශ්‍ය නම් ඇය කැඳවීමේ හැකියාව ඇති බවය.
 
අනතුරුව නැවත සාක්ෂිකාරියගේ අවධානය අදාළ ලිපියට යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එහි දොළොස්වන චූදිතගේ අත්සන with hold කිරීමක් කර නොහැකිදැයි ප්‍රශ්න කර අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ අනුමැතියකින් තොරව ලිපියක් යැවිය නොහැකි බවය.
 
lowyer woman
 
ඖෂධයක් නැවැත්වීම සඳහා වන තීරණය සෆ්රැක් කමිටුවට හෝ NMQAL අධ්‍යක්ෂකට සිදුකළ හැකිය බවද ද සාක්ෂිකාරිය සඳහන් කළාය 
 
එහිදී පැ 407ලකුණු කර ඇති ලිපිය සාක්ෂිකාරියගේ අවධානයට යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය එහි සඳහන් වෙනවා "live ealth bio pharma (private limited) ආයතනයේ ඖෂධ ව්‍යාජ බව NMRA විසින් තීරණය කළ බව .එහෙම සඳහන් කළේ ඇයි යනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය ප්‍රශ්න කළ අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකට අදාළව ලබාගත් තොරතුරු මත පදනම්ව අදාළ ලිපිය සකස් කිරීමක් කළ බවය. එම ලිපිය තමන් විසින් සකස් කළ බව ද සාක්ෂි කාරිය සඳහන් කළාය.
 
with hold කිරීමේ තීරණය ඇතුළත් ලිපිය අත්සන් කිරීම දහයයි පස්වෙනි දින යොමු කර ඇති අතර එය දහයයි හත දින අත්සන් කර ඇති අතර නමවෙනි දින ලැබුණ බවද සාක්ෂිකාරිය සඳහන් කළාය.
 
"වෛද්‍ය සැපයුම් ඒකකය ඉන්පසු කුමක්ද සිදු කළේ?" යනුවෙන් විමසා සිටි අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ තමන්ට ඒ ගැන දැනුමක් නොමැති බවය. Pronto පද්ධතිය බැලීමට හැකියාව ඇත්තේ කාටද යන්න ගැන තමන්ට අවබෝධයක් නොමැති බවද සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
අදාළ ඖෂධය withdraw සිදුකළ නිර්දේශය අනුව ලිපියක් සකස් කල යුතු නමුත් ඒ වන විටත් අදාළ ඖෂධය with hold කර තිබූ නිසා එවැනි ලිපියක් CEOට යොමු කිරීමක් සිදු නොකළ බව සාක්ෂිකාරිය සඳහන් කළාය. 
 
ඒ සමගම මූලික සාක්ෂි විමසීම අවසන් කළ අතර පළමු වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිට නීතිඥ මහතා ඇයගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළේය. 
 
අනතුරුව දෙවන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි අසේල සේරසිංහ මහතා සාක්ෂිකාරයගෙන් ප්‍රශ්න විමසීමක් සිදුකළ අතර ඉන් අනතුරුව දොළොස්වෙනි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි  නීතිඥවරයා සාක්ෂිකාරියට ප්‍රශ්න කිහිපයක් යොමු කළේය 
 
එම ප්‍රශ්න කෙළින් වලින් අනතුරුව සෙසු විත්තිකරුවන් වෙනුවෙන් සාක්ෂිකාරියට හරස් ප්‍රශ්න යොමු කිරීමක් සිදු නොකරන බව නීතිඥවරුන් විසින් අධිකරණයට දැනුම් දුන් අතර සාමාජික විනිසුරු විරාජ් වීරසූරිය මහතා සාක්ෂිකාරිය වෙත ප්‍රශ්න කිහිපයක් යොමු කළේය. 
 
"වෛද්‍ය රජීව මහතා පණිවිඩයක් එවූ විට ඔබ ඊමේල් පණිවිඩයක් කියවූ බව සඳහන් කළා එය සිදු කළේ කොහේදීද ?"යනුවෙන් විනිසුරු විරාජ් වීරසූරිය මහතා සාක්ෂිකාරියගෙන් විමසා සිටි අතර සාක්ෂිකාරිය සදහන් කළේ තමන් ඒ වන විට සේවය අවසන්ව දුම්රියෙන් ගමන් කරමින් සිටි අතර ඒ වන විට කොල්ලුපිටිය ප්‍රදේශයේ පමණ සිටින්නට ඇති බවය. 
 
"වෛද්‍ය රජීව මහතා with hold කරන්න කියලා තියෙන්නේ හතරයි විසි පහට .ඔබ ඊමේල් එක යවලා තියෙන්නේ හතරයි පනස් පහට. ක්ෂණිකවම ක්‍රියාත්මක වෙන්න බැරි වුණේ ඇයි"? යනුවෙන් ප්‍රශ්න කල අවස්ථාවේදී සාක්ෂිකාරිය සඳහන් කළේ "ස්වාමීනී ,මම හතරයි පහළව වන විට සේවය අවසන් කරලා හිටියේ. දුම්රිය ස්ථානයට ගිහින් දුම්රියට නැග්ගට පස්සේ තමයි ෆෝන් එක බැලුවේ. එම වේලාවේම අදාළ ඊමේල් පණිවිඩය යොමු කළා." 
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: මේ ඖෂධයෙන් ADR කියලා ඔබ ඊට පෙර දැනුවත් වෙලා හිටියා නේද? 
 
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනී ,නමුත් මට ඒ වෙලාවේ ක්‍රියාත්මක වෙන්න COA ගෙන් උපදෙසක් ලැබුණ නෑ
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: ජාතික රෝහලේ ADR තුනක් වාර්තා වෙලා තිබුණා නේද?
 
සාක්ෂිකාරිය :ඔහු ස්වාමීනී. 
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: ඒ සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂක විසින් පැමිණිල්ලකුත් කර තිබුණ නේද?
 
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනි 
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: ඊට අදාළව කොලිටි ලොග් එකක් තිබුණ නේද? 
 
සාක්ෂිකාරිය :ADR වාර්තා වුණාම මරණයක් වාර්තා වුණොත් එදිනම සෆ්රැක් කමිටවට දැනුම්දී එය රැස් කිරීමට කටයුතු කරනවා. එසේ නැත්නම් සති තුනකට වරක් තමයි රැස්වෙන්නේ. 
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: මරණයක් වාර්තා වුණේ නැත්නම් ADR එක කොපමණ දරුණු වුණත් කමිටුව රැස් කරන්නේ නැද්ද?මෙහිදී ඇනපිලැක්සිස් තත්ත්වයන් නේද වාර්තා වී තිබුණේ?
 
සාක්ෂිකාරිය: ඔව් ස්වාමීනී, නමුත් CEO හෝ කමිටු සාමාජිකයන් එය රැස්කිරීමට ඉල්ලා සිටියේ නෑ. ඒ නිසා මම එසේ කටයුතු කළේ නෑ.
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: ඇනපිලැක්සස් වාර්තා වෙලා පැමිණිල්ලකුත් කරල තියෙද්දී ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඔබට වගකීමක් නැද්ද?
 
සාක්ෂිකාරිය: මට ඩිරෙක්ෂන් එකක් ලැබුනේ නෑ ස්වාමීනී. එසේ ලැබුණේ නැත්නම් එතනින් එහාට මම හිතන්නේ නෑ. 
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: රෝහලක කටයුතු පැය විසි හතරක් වෙනවා නේද?
 
සාක්ෂිකාරිය: ඒ ගැන මට අවබෝධයක් නෑ.
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: නිකමටවත් බෙහෙතක් ගන්න රජය රෝහලකට ගිහින් නැද්ද?
 
සාක්ෂිකාරිය: ගිහින් තියෙනවා ස්වාමීනි ,ඇඩ්මීට් වෙලත් තියෙනවා නමුත් ඒ පිළිබඳව අවබෝධයක් නැහැ.
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: කමිටුවේ අරමුණ මැරුණට පසුව තීරණ ගැනීමද? එහෙම නැත්නම් එහෙම වෙන්න කලින් පියවර ගැනීම ද?
 
සාක්ෂිකාරිය: දෙකම කළ යුතුයි කමිටුව සති තුනකට වරක් තමයි රැස්වෙන්නේ එහි ඕනෑම අයෙකුට පුළුවන් කමිටුව රැස් කරන්න කියන්න. එවිට කමිටුව රැස් කිරීම තමයි මගේ වගකීම 
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: ඒ වන විට රජයේ රෝහල්වල මොන වගේ තත්ත්වයක්ද තිබුනේ? 2022 ට සාපේක්ෂව ADR වාර්තා වීම වැඩි වී තිබුණා.
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: වෛද්‍ය රජීව ලබාදුන් උපදෙස් අනුව ඔබ රාජකාරියට හරියට කළාද?
 
සාක්ෂිකාරිය: වෛද්‍ය සැපයුම් වැඩසටහන එකක් යැව්වා. එය යැවීම පමණයි කළ හැක්කේ.
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න දැනුත් ක්‍රමවේදයක් නැද්ද?
 
සාක්ෂිකාරිය :මේ වන විට online ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමය 2023 විට වන විට තිබුණේ නැහැ. 2024 දී අලුත් මාර්ගෝපදේශ සකස් කර රෝහල්වලට යැව්වා.
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: එහි තියෙන්නේ සතිය දිනවල පමණක් දැනුවත් කිරීම් කරන්න කියන එකද?
 
සාක්ෂිකාරිය: නෑ ස්වාමීනී, අප්‍රමාදව වාර්තා කරන්න කියලා උපදෙස් දීල තියෙනවා.
 
විනිසුරු විරාජ් වීරසූරිය මහතා: 2023 දී ඒක වුණාද?
 
සාක්ෂිකාරිය: නෑ ස්වාමීනී ADR වාර්තා වී ඇත්තෙත් පැය 24කට වඩා කාලයක් අරගෙන. 
 
ඒ අනුව සාක්ෂිකාරියගෙන් එදිනට නියමිත සාක්ෂි ලබා ගැනීම අවසන් කරන ලදී.
 
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ ලබාගත් බවට සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුණි.
 
medicine 20260131
හියුමන් ඉමියුනොග්ලොබියුලීන් සහ රිටොප්සිමැබ් ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444 ක් වංක ලෙස පරිහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ,ඊට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 13 ක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් එල්ල කර තිබේ.
 
අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ හිමිකරු ජානක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක,එම අංශයේ සහකාර අධ්‍යක්ෂ පීස් ශානිතිනී සොලමන්, ගණකාධිකාරී නිරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර,සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් අංශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් හේරත් මුදියන්සේලාගේ ධර්ම සිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් (විදේශ ගත වී සිටී.) සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයකු වන වෛද්‍ය අරඹේ ගෙදර තුසිත සුදර්ශන, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර මෙහි විත්තිකරු වෝ වෙති.
 
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, විජයදාස රාජපක්ෂ, ඩග්ලස් දේවානන්ද, රොෂාන් රණසිංහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඇතුළු වෛද්‍යවරු ඇතුළු සාක්ෂිකරුවන් 350 ක්ද සංඛ්‍යාවක්ද නඩු භාණ්ඩ 300කට ආසන්න සංඛ්‍යාවක් ද ඉදිරිපත් කර ඇත.
 
 
නෙල්කා මැදගෙදර

(ද ලීඩර් අධිකරණ වාර්තාකාරිනි)


ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව - පසුගිය ලිපි මෙතනින් බලන්න 

 

whatsapp 202507155

නවතම පුවත්